Friday, 12 June 2015

ඩීසල් බලාගාර මාෆියාවට මුහුණ දීම හා සමාජවාදී නිවාස

ඇමති චම්පික රණවක ඩිසල් මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවට පුවතක් දුටිමි. ලංකා විදුලි බල මණ්ඩලය  ඩිසල් තාප බලාගාර වලට  ඉතා විශාල මුදලක් ගෙවයි. ඒ අතර ඉහත ඇමතිවරයා ම බයිසිකලයකින් යන දර්ශනයක් ද දුටිමි. මට හිතෙන්නේ මෙයට වෙනස් විධිහකට බලාගාර වසන්නේ නැතිව තරඟය අඩු කර පාරිභෝගිකයා ගෙවන විදුලි මිල අඩු කර ගැනීමක් කල යුතු බවයි. ඒ හදිසියකට හෝ ඔවුන් (ඩිසල් බලාගාර )  ඕනෑ විය හැකි බැවිනි.
රයිගම් හන්දියේ රයිගමයා  කීප වතාවක්ම සුර්ය බලයෙන් විදුලිය ඉපදවීම ගැන ලියා තිබේ. ඔහුගේ නවතම ලිපිය මෙතන ඇත.  පරණ නැගෙනහිර ජර්මනියට අයත්ව තිබු දැන් ජර්මනියේ තුරින්ගියා  ප්‍රාන්තයේ  ධනවාදී රටක සමාජවාදී ගමක් ගැන මින් පෙර  පැවසුවෙමි. එයට මෙතනින් යන්න.  මගේ බිරිඳගේ සොයුරිය හා ස්වාමි පුරුෂයා ඉන්නේ මේ ගමේය. ඔවුන්ගේ තට්ටු පහක නිවසේ යටම තට්ටුව (underground level) වෙන් කර තිබෙන්නේ තාපය නිපදවන  උදුනකටය. ඔවුන්ගේ වහලේ  සුර්ය කෝෂ තහඩු (සුර්ය පැනල) සවි කර තිබේ . කෑම  පිළියෙළ කරන විට නිපදවෙන තාපය ප්‍රධාන පයිප්ප ජාලයට සවි කර තිබෙන්නේ ඒ තාපයෙන් ප්‍රයෝජනය ගෙන නිවස උණුසුම් කිරීමට හා වතුර උණුසුම් කිරීමටය. ඊළඟට ඉවත ලන ආහාර , කඩදාසි ආදී ඓන්ද්‍රිය (ඔර්ගනික) අපද්‍රවය පහල තිබෙන උදුනට දමා  ඒවා දහනය කර එයින් නිවසට අවශ්‍ය තාපය ලබාගැනේ ( වතුර උණු කිරීම ආදියට). මේ උදුනටම වත්තෙන් ලැබෙන දර ද භාවිතා කරනු ලැබේ. ඉතින් ඔවුන්ගේ විදුලි වියදම හා ගෑස්  වියදම ඉතා අඩුය. උඩම තට්ටුව සිත කාලයට මදක් සීතල වුනත් එහි සිටින  නිවසේ තරුණ ළමයිනට එය ගණනක් නැත . උඩට යනවිට ජලය සීතල වෙන නිසා වැසිකිලි හා නන කාමර ඇත්තේ පහලය.  ග්‍රීෂ්ම කාලයට සුර්ය තාප විදුලිය වැඩි නම් ඔවුන්ට එය  ප්‍රධාන ජාලයට  විකුණා මුදල් ලබා ගනී. ඒ නිසා ඒ පැත්තෙනුත් ආණ්ඩුවට අත  නොපා ජිවත් වෙන්නට හැකි වී තිබේ. නමුත් මේ සියල්ල කර ගැනීමට මුල් මුල්‍ය  ආධාරය දී ඇත්තේ ජර්මන් රජයෙනි. ගමේ අනිත් නිවාසයන්ද මේ ආකාරයට වෙනස් කර ඇත. මා මුලින් සිතා  සිටියේ සෝවියට් දේශයේ මෙන් නිවෙස්  සියල්ල රජයට අයිතිය කියායි. සොයා බැලු විට මෙහි තත්වය වෙනස්ය.

 සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු සියලුම පුද්ගලික නිවාස රජයට පවරා ගත් පසු, මුලදී හොඳින් සංරක්ෂණය වූ ධනවතුන් ගේ හා මධ්‍යම පාන්තිකයන්ගේ නිවෙස් වලට පදිංචියට පැමිණි ජනතාව ඒවා හොඳින් බලා  කියා ගත්තේ නැත. එසේ කිරීමට දැනුමක් හෝ සම්පත් තිබුනේ ද නැත. අනිත් කරුණ නම් ඒවා ආණ්ඩුව සතු නිසා ඒවා බලා කියා ගැනීමට  ජීවත්වූ කිසිවෙකුගේ උනන්දුවක් තිබුනේද නැත.  ඒ නිසා ඒ ගෙවල් පසු කලෙක ඉතා ජරාජීර්ණ වී ගියේය. ඉන්පසු 60-70 අවධියේ විශාල තට්ටු නිවාස ව්‍යාපෘති ඇති කරන තෙක් දැඩි නිවාස  හිඟයක් තිබුණි. ඒ නිවාසයන් රැක  බලා ගත්තේ ප්‍රාදේශීය සභා හා නගර සභා නිසා ඒවායේද අලුත්වැඩියා කිරීමේ ප්‍රශ්න තිබුණි. තමන්ට අයිති නැති නිසා ජනතාව උනන්දුවක් ගත්තේ ගෙවල් වල ඇතුලත හොඳින් තබා ගන්නට පමණි.  එකී නිවාස උණුසුම් කිරීමට නැවතීමකින්  තොරව ක්‍රියාත්මක වූ තාපකයන් නිසා බලාගාර නිපදවන තාපයද නාස්ති වුනි. විදුලියත් ඒ ලෙසම නාස්තිකාරී ලෙස භාවිතා වුනි.  න්‍යෂ්ටික බලාගාර වලින් එන විදුලියේ මිල ඉතාම ලාභ නිසා මෙය කිසිවෙකු ගණන් ගත්තේද නැත.
පරණ කියුබන් නිවසක්:
කියුබාවේ සමහර නිවාසත් මෙලෙසම ජරා ජිර්ණ බව දක්නට ලැබේ. ඒවා අලුත්වැඩියා කිරීමට කියුබානු රජයට මුදල් නැත. ඇමෙරිකානු සම්භාධක නිසා භාණ්ඩද නැත. රාවුල් කැස්ත්‍රෝ පසු ගිය අවුරුදු දෙකේ  සිට තමන් ජිවත් වන නිවෙස් වල අයිතිය කියුබනුවන්ට පවරා  දෙන්නට  පටන් ගත්තේය. දැන් කියුබානුවන්ට  නිවාස  විකුණන්නත්  පවරා දෙන්නටත් හැකිය. මේ ගැන සඳහනක් කරන එක් බීබීසී වාර්තාකරුවෙකු පැවසුවේ දැන් කියුබාව නිවාස අයිති කර ගැනීමට ඉඩ දීමෙන් ප්‍රාග්ධනය නැවත ඇති කර ඇති නිසා කියුබාව ධනවාදී ගමනකට මුල පුරා  ඇති බවයි.

විකිනීමට ඇති කියුබන් නිවසක්:

නිවෙස් හිමියෙකු ගේ නිවසේ වටිනාකම ප්‍රාග්ධනය නම් ඔහු එම ප්‍රාග්ධනයෙන් සූරා කන්නේ කවුද?  ඔහු ගෙවල් කිහිපයක් මිලදී ගෙන , නැවත නැවතත්  විකුණා ලාභ ලබා කම්හලක් පිහිටුවා ධනපතියෙකු වුවහොත් එම තර්කයට එකඟ විය හැක. නමුත් වැසියන් බොහොමයකට තමන්ගේම  නිවස හිමි වීම ධනවාදයට යාමක්ද?

දැන් අර නැගෙනහිර ජර්මන් ගමේ හැම නිවසක් ම ඉතා හොඳින් රැක  ගෙන තිබුනේ ජර්මන් රජය නිවාස  පවරා නොගත් නිසාය. ස්ලාවෝයි ජිජැක් ඉපදී හැදී වැදුන පරණ  යුගොස්ලාවියාවට  අයත් ස්ලෝවෙනියාවේ නිවෙස් රජයට පවරා ගත්තේ නැත. ඒවායේ  අයිතිකරුගේ හිමිකම වෙනස් කලෙත් නැත. රටවල් දෙකේම  නිවාස  නැති අයට රජය විසින් තට්ටු නිවාස සාදා ලබා දුන්  අතර ඒවායේ අයිතියෙන්  භාගයක් රජය යටතේත් ඉතිරි භාගය නිවස හිමියා  යටතේත් තබා ගන්නා ලදී. මෙයින් සිදුවුනේ හොදින් රැක  බලා ගත් නිවාස  පද්ධතියක්  තවමත් තිබීමයි.  එංගලන්තයේ හවුසින් ඇසෝසියේෂන් වල ක්‍රියාත්මක වෙන්නෙත් මේ  ක්‍රමයමයි.
මාග්‍රට් තැචර් යනු මා  කැමති දේශපාලනඥයෙක් නොවේ. ඇය  අන්ත දක්ෂිනාන්ශයට අයත් අගමැති වරියක ලෙස පෙනී සිටියාය. නමුත් ඇගේ එක වැඩ සටහනකට මා කැමතිය. එනම් රජය යටතේ පැවති කවුන්සිල් ගෙවල් හෙවත්  සහනාධාර යටතේ දුන් රජයේ ගෙවල් එම වැසියන්ටම ඒවා අඩු මුදලකට මිලදී ගන්නට සැලැස්වීමයි. ඇය එය කලේ ඒවා නඩත්තුවට යන වියදම ඉතිරි කර ගැනීමට වුවත් බොහෝ අය ඒවා මිලදී ගෙන නඩත්තු කළහ. නැත්නම් දරුවන්ට දුන්හ.

දැන් ඉතින් මාතෘකාවට යමු.  මම  විදුලි ඉංජිනේරු උපාධිය සෝවියට් ක්‍රමයට අනුව අවසන් අවුරුදු දෙකේ ස්පෙෂලයිස් (විශේෂ?) කලේ තාප විදුලි බලාගාර සම්බන්ධවය. මා උපාධිය ලබා ගත්තේ  1991 දීය. ලංකා විදුලි බල මණ්ඩලයේ ආචාර්ය සියඹලාපිටිය මහතා ඉතාමත් කරුණාවෙන් මා හට  ත්‍රිකුණාමලයේ සෑදීමට යන ගල් අඟුරු බලාගාරයේ විස්තර ලබා දුනි. මා සැලසුම් කල මෙගාවොට් 2 x 150 බලාගාරයක් සඳහා වන තීසිසය  හා ප්‍රොජෙක්ට් එක නිම කලේ ඒ අනුවය. එහිදී විදුලි බල මණ්ඩලයේ generation planning (විදුලි බල උත්පාදන සැලසුම් අංශය ) අංශයේ සැලසුම් එතුමා පැහැදිලි කර දුන් අතර මට පෙනී ගියේ ලංකාවේ විදුලි ඉංජිනේරුවන් රටේ අවශ්‍යතාවයන්ට අනුව අවශ්‍ය විදුලි බලය අනාගතයේ නිපදවීම සඳහා ඉතා හොඳින් සැලසුම් කර තිබු බවයි. ගල් අඟුරු යොදා ගන්නා තාප විදුලි බලාගාර පිහිටුවීම ත් එම සැලසුමටම අයත් විය. නමුත් යුද්ධය හා දේශපාලන ඇඟිලි ගැසීම් නිසා මේවා සාක්ෂාත් කර ගැනීමට ඉංජිනේරුවන්ට හැකියාවක් තිබුනේ නැත. යුද්ධය අවසානයේ මහින්ද රජය විසින් ගල් අඟුරු බලාගාරය සාදා නිම කලත් 1995-96 සද නිම කිරීමට තුබූ එය  අවුරුදු විස්සකට පසු (දැන් 2015)  පසුවී සෑදීමේ එතරම් තේරුමක්ද නැත. වෙනත් පරිසර හිතකාමී විදුලි ව්‍යපෘති 2015 වනවිට ඇති කිරීමට සැලසුම්  කල විදුලි ඉංජිනේරුවන්ගේ  සැලසුම් සියල්ල වතුරේය. ලංකාවේ සිදුවන්නේ සැලසුම් වලට වැඩ කිරීම නොව කොමිස්, චන්ද සහ ප්‍රශ්නයට පිළිතුර වෙනුවට මුක්කු ගැසීමට කරන වැඩ නිසා,  පාඩු පිට දුවන විදුලි බල මණ්ඩලයක් හා මිල අධික විදුලිය නිෂ්පාදනයක් රටට උරුම වී තිබේ.
මා  විදුලි ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබා එම රැකියාවේම වැඩ නොකලත් ඒ පිලිබඳ ඉමහත් උනන්දුවක් මට ඇත. ඒ නිසා අවුරුදු තුනකට ඉහතදී සුර්ය පැනල  නිවසේ වහලේ සවිකර විදුලි බලය නිපදවීම පිළිබඳව  සොයා බැලුවෙමි.  එතැනදී එය ඉතා මිල අධික බවත් එනම් පවුම් 20000 පමණ වැය  වන බවත් නිපදවෙන විදුලියෙන් මේ වියදම සපුරා ගන්නට අවුරුදු 25ක් ගතවන බවත් දැනගෙන ඉතාමත් අධෛර්යට පත්වුණෙමි.

නමුත් පසුගිය අවුරුදු දෙක තුල විදුලිය නිපදවන ක්‍රම ගැන විශාල වෙනසක් ජපන් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරිම නිසා ඇතිවුනි.  ජර්මනිය න්‍යෂ්ටික බලාගාර  අඩු කරමින් වෙනත් මාර්ග වලින් විදුලිය ඉපදවීම වේගවත් කරන ලදී . නිවාස  හිමියන්ට ණය ආධාර ලබා  දෙමින් සුර්ය පැනල  මෙන්ම ඔර්ගනික අපද්‍රව්‍ය වලින් විදුලිය හා තාපය ලබා ගැනීමේ ක්‍රමවේදයන් අත්හදා බැලීමටද උනන්දුවක් ඇති කරන ලදී . දැනට මිලියන් 1.5 කට ආසන්න ෆොටෝවෝල්ටයික්  photovoltaics (PV)  පැනල ජර්මනිය පුරා සවි කර තිබේ. යුරෝපා සංගමය විසින් වෙනත් ආකාරයේ විදුලි උපදවන  ක්‍රම භාවිතා කිරීම වැඩි කිරීමට සාමාජික රටවලට බල  කරන ලදී.

 මේ නිසා බ්‍රිතාන්‍ය රජයටද  සුර්ය පැනෙල සවි කිරීම  සඳහා නිවෙස් හිමියන්ට ණය  ආධාර  දෙන්නට සිදු වුනි.  මින් සුර්ය පැනෙල විකුණන සමාගම් වැඩි  වීමත් මිනිසුන් ඒවා සවි කිරීම  වැඩි වීමත් සහ ඒවා සවි කිරීම  සඳහා වෙළඳ සමාගම්  බොහොමයක් බිහි වීමද සිදු වුනි. මේ උනන්දුවට  තව හේතුවක් වූයේ නිවැසියන් විදුලි පද්ධතියට හෙවත් ග්‍රිඩ් එකට දෙන කිලෝ වොට් එකකට පැන්ස  14ක් රජය මගින් ගෙවීමයි.
සවි කිරීම් වැඩි වීමත් සමග ගිය දෙසැම්බරයේ බ්‍රිතාන්‍ය රජය විදුලිය නිපදවන ඒකකයකට ගෙවන මුදල 2015 සිට පැන්ස  13 ට අඩු කරන බව  ප්‍රකාශයට පත් කළේය. මේ නිසා නැවතත් සොයා බැලූ අපට පෙනී ගියේ සූර්ය පැනෙල වල ගාණ ඉතාමත් සිඝ්‍රයෙන් අඩුවී ඇති බවයි. චීනයේ නිපදවෙන ලාභ පැනල  පවුම් 5000ට අඩු වෙනුත්  (පැනල 16ක් සම්පුරණයෙන් සවි කිරීමට යන මුදල ) හොඳ වර්ගයේ පැනෙල පවුම් 8000 පමණ මුදලකටත් සවි කිරීමට හැක. ඒ අවුරුදු දෙකකට කලින් තිබු ගණනින් භාගයකටත් වඩා අඩු වීමකි.
 බිරිඳත් මමත් කලේ හොඳම පැනෙල මොනවාද කියා සොයා බැලීමයි.  සමාගම් කීපයකට පැමිණ අපට ක්වොටේෂන් (ඉදි කිරීමට මිල ගණන්) දෙන ලෙසද ඇරයුම් කළෙමු.
 අපි සොයා ගත් ආකාරයට චීන පැනල ලාභම ඒවා වන මුත් ඒවායේ තත්ත්ව වාර්තා ඉතාමත් දුර්වලය. ඒවා අවුරුදු 4ක් පමණ හොඳට වැඩ කලත් ඉන්පසු 50% පමණ ධාරිතාව අඩුවී විදුලිය නිපදවේ. කල් පැවතීම අතින්ද ඒවා ඉතා දුර්වල මට්ටමක පවතී. ඉන්පසු  අපි සොයා බැලුවේ මිල ගණනින් ටිකක් ඉහල  මැලේසියාවේ නිපදවන පැනල පිලිබඳවය. ඒවා තරමක් දුරට හොඳ අතර වසර 10 ක් පමණ මුළු ධාරිතාවයෙන් වැඩ කරයි. නමුත් සවිකිරීමට ලාභම චීන ඒවා බව කියමින්  බොහෝ සමාගම් අප පසුපස ආහ. ඇමෙරිකානු සමාගමකින් මැලේසියාවේ නිෂ්පාදනය කරන ඒවාත් හොඳ බව අපි දුටිමු. 

නමුත් ජර්මන් නිෂ්පාදන තත්වයෙන් ඉතා උසස් බව අප‍ට වැටහුනේ ජර්මන් වෙබ්සයිට් වලින් හා ඒවා නිපදවන කරමාන්ත ශාලා වලට කතා කිරීමෙන් පසුවය. ස්වීඩනය වැනි රටවල පවා  භාවිතා වන්නේත් ඒවාය. අවුරුදු 20 - 25ක පමණ කාලයක් තුල  සුර්ය කෝෂ නිපදවා ලබාගත් අත්දැකීම් වලින් පිරුණු ජර්මන් සමාගම් බොහෝ කල් පවතින සුර්ය පැනල හොඳින් නිමවති. අපි විසින් මිලදී ගත්  ඇන්ටාරිස් නමැති පැනල වර්ගය ඔවුන්ගේ කර්මාන්ත ශාලාවේ ඇති  පර්යේෂනාගාරයේ නොයෙකුත් තත්වයන්ට අනුව පරික්ෂණ සිදු කරමින් සැම විටම උසස් තත්වයෙන් නිමවීමට යත්න දරා තිබු බවත් මේ නිසා මේ පැනලයක් අවුරුදු 20කට පසුත් 95% ට වැඩ ධාරිතාවකින් වැඩ කරන බවත් ඔප්පු කර පෙන්වීමට ඔවුන්ට හැකිය. එසේම ඔවුන් අවුරුදු 30 කට නොමිලේ රක්ෂණයක් (ගැරන්ටි) පවා සහතික වෙති . එනම් අවුරුදු 30කට ආසන්න වෙත්  දී  80%  ධාරිතාවකින් විදුලිය නිපද වුවේ නැත්නම් ඔවුන් නොමිලයේම පැනල් එවන බවට ලිඛිතව පොරොන්දු වෙති. බොහෝ අය අපට කීවේ එංගලන්තයේ හිරු එළිය ඇති කාලය අඩු  නිසා මෙලෙස විදුලිය නිපදවීම ලාභයක් නැති බවයි.  නමුත් අප කලේ ඒ පිලිබඳ උපදෙස් දෙන අය සමග එක්ව ගණනය කිරීමයි. මේ ගණනය කිරීමේදී,  අප නිවසේ දහවලට නොසිටින කාලය අතර නිපදවෙන විදුලිය ග්‍රිඩ් එකට දෙන අතරේදී අප විසින් දහවල හෝ හවස වොෂින් මැෂින්, ඩිෂ් වොෂර් ආදිය ක්‍රියාත්මක කලොත් සුර්ය කෝෂ මගින් සපයන විදුලිය ඒ සඳහා පාවිච්චි කල හැකි බවද සැලකිල්ලට ගතිමු. රාත්‍රියට රුපවාහිනිය හා කොම්පියුටර, ශීතකරණය, ලයිට් වලට අපට විදුලිය සපයන සමාගමේ විදුලිය යෙදවෙයි. ආණ්ඩුව අපට ගෙවන මුදලත් අප ඉතිරි කරන මුදලත් සලකා  බැලුවිට අවුරුදු හයක් ඇතුලත  අප ආයෝජන  කල මුදල අපට ලැබෙන බව පෙනී ගියේය. මේ නිසා අප මෙහිදී රජයේ ණය මුදල ප්‍රතික්ෂේප කෙළෙමු. එවිට අපට අවශ්‍ය ලෙස සියල්ල කර ගැනීමට හැකි වූ අතර අපට රජයට මුදලක් ගෙවන්නට සිදුවන්නේද නැත.
 දෙසැම්බර් මාසයේ සිට අප විසින් විදුලිය නිපදවා ග්‍රිඩ් එකට දෙන අතර අපට පළමු චෙක්පතද ලැබුණි.  එසේම විදුලි බිලද ඉතාමත් සිඝ්‍රයෙන් අඩු විය. 
මේ ලෙසට එංගලන්තයට හිරු පෑව්වොත් අවුරුදු පහකින් පමණ අප කල ආයෝජනය ලැබෙනු ඇත. ඉන් පසුව විදුලිය නිකම්ම වගේය.
පහල තිබෙන්නේ වහලේ උඩ කොටසයි.


මෙහි තිබෙන්නේ  වහලේ පහල කොටසයි. 
මේ තිබෙන්නේ  විදුලිය පරිවර්තනය කරන ඉන්වර්ටරයයි.
බොහෝවිට ශීත කාලයේත් හිරු එලිය තිබෙන අතර දෙසැම්බරයේ විදුලිය නිපදවෙනු පහත ඇති මිටරයෙන් පෙනේ. 
මේ ඊයේ ජුනි 11  එක පැනල් සෙට් (8ක ) එකකින් නිපදවු විදුලියයි.
මේ තිබෙන්නේ අනිත් පැනල් 8යි 

මා  මෙහිදී යෝජනාවක් කරන අතර ප්‍රශ්නයක්ද ඉදිරිපත් කරමි. 
යෝජනාව නම්  ශ්‍රී ලංකාවේ රජය විසින් පැනල සවි කිරීමට නිවෙස්  හිමියන්ට ඉතා සහන කොන්දේසි යටතේ ණය ආධාර ලබා දිය යුතුයි. එසේම ඔවුන් විසින් ද සුර්ය පැනල  සහිත විදුලිය නිපදවන කෙත් (බලාගාර වැනි) පිහිටුවිය යුතුයි. එංගලන්තයේ අපට අවුරුදු හයකින් යෝජනා කල මුදල ලැබේ නම්, අවුරුද්ද පුරා තද හිරු එලිය ඇති ලංකාවේ එය අවුරුදු 3 කින් ලැබෙනු ඇත. විදුලි පාරිභෝගිකයන් ට ආදායමකුත් තම විදුලිය විකිණීමෙන් ලැබෙනු ඇත.

ප්‍රශ්නය නම් ලංකාවේ බොහෝ සමාජවාදී පක්ෂ ගිරවුන් මෙන් සමාජවාදය පිහිටුවිමේදී  සියල්ල  ජනසතු කරන බව කියති. එනම් ඇත්තටම වන්නේ රජය සතු වීමකි. (නිර්ධන පන්ති ආඥාදායකත්වය හෝ වේවා ) මෙයට නිවෙස් ද අයත්ය. යුගෝස්ලාවියාවේ හා නැගෙනහිර ජර්මනියේ රජයට පවරා නොගත් නිවාස දැනුත් නියම අයිතිකාරයන් ජිවත් වෙමින් හොඳින් තිබේ. රුසියාවේ රජයේ නිවාස ඉතා දුර්වල මට්ටමක පවතී. රාවුල් කස්ත්‍රෝ කියුබාවේ නිවෙස් නැවත ගෙහිමියන්ට පවරා දෙයි.

ප්‍රතිපත්ති වෙනස් කිරීමට කාලය හරිද?

අපේ නිවසක්  නොවේ නම් මුදල් වියදම් කර සුර්ය බලයෙන් විදුලිය නිපදවා රජයටත් කොටසක් දීමට මට අවශ්‍යතාවයක් ඇති වෙයිද? 


ප.ලි. මගේ යහළුවෙකු මතක් කර  දුන්නා  අපට ලංකා විදුලි බල මණ්ඩලයේ ට්‍රේනිං  එක ලැබීමට සැලැස්වුයේ හා ආචාර්ය සියඹලාපිටිය මහතාගේ උදව් ලබා දුන්නෙත් එවකට එහි සේවය කල ආචාර්ය නිමල් විජයින්දු මහතායි. ඔහු දැන් ඕස්ට්‍රේලියාවේ  සේවය කරනවා. 

32 comments:

  1. පුද්ගල අභිලාෂයන්ට මුල් තැන නොදී කරන සම්පත් කළමනාකරණයක් සාර්ථක වීමට ඇත්තේ අඩු ඉඩකඩකි. එසේ වීමට නම් මිනිස් චින්තනය සාමූහික චින්තනයක් බවට පරිණාමය විය යුතුය. තවමත් අපි බොහෝ දෙනෙකු සිතන්නේ තනි පුද්ගලයින් වශයෙන් හෝ වැඩිම වුනොත් පවුල් ඒකකයක් ලෙසිනි. ඔබේ දැනුම ඔබ විසින් ප්‍රයෝගිකව ප්‍රයෝජනයට ගැනීම සතුටට කරුණක් මෙන්ම වෙනත් අයට ආදර්ශයකි.

    ReplyDelete
  2. මා කියන්නේ සාමුහික චින්තනයන් සම්පුර්ණ වීමට නම් අප බොහෝ දුර මිනිසුන් වශයෙන් ඉදිරියට යා යුතු බවයි. හැමෝගෙම ගෙවල් ජනසතු වී මිනිසුන් අතට බලය ලැබේ නම් ප්‍රශ්නයක් නැත. එවිට අප‍ට අවශ්‍ය ලෙස නිදහසේ ජිවත් විය හැකි අතර රජයේ වැඩද අපට කළමනාකරණය කල හැකිය. එවැනි සමාජයක් බලෙන් සෑදිය නොහැක.

    ReplyDelete
    Replies
    1. මා මුල සිටම නොකියවූ නිසා ඔබේ අදහස් මට එතරම්ම පැහැදිලිව තිබුණේ නැත. මගේ අදහසද මෙයට තරමක් සමානය. මිනිසුන් අභ්‍යන්තරයෙන් පරිණාමය වීමට පෙර කෘතිමව සමාජ ආකෘතිය වෙනස් කිරීම කිසිසේත්ම කල් පවතින හෝ වඩා හොඳ විසඳුමක් විය නොහැකිය. අනෙක් අතට මිනිසුන් අභ්‍යන්තරයෙන් පරිණාමය වේනම් වෙනත් කෘතීම වෙනසක් අවශ්‍ය වන්නේද නැත. සමාජයද ස්වභාවිකවම පරිණාමය වනු ඇත.

      Delete
    2. සමාජයේ ස්වභාවික පරිණාමය දේශපාලන බලය වෙනස් වීමේදී සමහරවිට ප්‍රචණ්ඩ වීමට ඉඩ තිබේ. නමුත් සමාජය තුල සාමුහික චින්තනයේ පරිණාමය ස්වභාවික ලෙස සිදුවීමට ඉඩ හල යුතුය. පොදු බව බලෙන් ඇති කල නොහැකි බව අප අත්දැකීමෙන් උගත්තෙමු.

      Delete
    3. අජිත්ගේ ලිපිය වගේම ඉකොනොමැට්ටා සහ පැවති සංවාදය ද ඉතාම වටිනවා දෙදෙනාටම ස්තුතියි

      Delete
    4. ඔබට ස්තුතියි.

      Delete
  3. මට මතකයි දවසක් නිවිස් වලට පෙන්නුවා සූර්ය කෝෂ ව්‍යාපෘතියක් පටන්ගන්නවා කියලා.ඒත් ඉතින් අවුරුදු ගාණක් වෙනවා තාමත් නෑ.ආණ්ඩුත් පෙරලුනා ඒත් වෙනසක් නෑ.මෙවැනි යෝජනා වාද කාලයෙන් කාලයට සමාජයට එනවා.කොහොම උනත් ඔබ තුමාගේ උත්සහාය වටානවා.ජනසතුකිරීම් පිළිබද දැන් මට තියෙන්නේ නොපැහැදිලි චිත්‍රයක්.මොකද ඔබ කිව්වා වගේ රජය සතු වීමක්.නැගෙනහිර ජර්මනියේ අනුගමනය කරන ක්‍රමය වඩාත් සුුදුසුයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මා කියන්නෙත් එයයි. ජනසතු වීම කියල අප කරන්නේ රජය සතු කිරීමයි. ඉන් පසු කුමන හෝ පක්ෂයක් නිලධාරින් ඒවා පාලනය කරනු මිස මිනිසුන් හට අයිතියක් ඇති බව මිනිසුන්ට නොදැනේ. විය යුත්තේ ජනතාව සතු කිරීම හෙවත් මිනිසුන් සතු කිරීමයි. නිර්ශන පන්ති ආඥා දායකත්වයට යට කරනවා කියා කරන්නෙත් කොමියුනිස්ට් නිලධාරී රෝත්තකට ගසා කන්නට ඉඩ දීම හෝ මුකුත් නොකර සිටීමට ඉඩ දීමයි.

      Delete
  4. දැන ගන්නට තියන තොරතුරු අනුව කියුබානු දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රය හා ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳාම (සෝවියට් බසාර් වගේ) දැන් නැගෙමින් පවතිනවා.

    මේ වගේ දේවල් ලිවිම මචං ඉතා හොඳයි. මා ලියු පරිදි අවුරුදු 5-6 කින් අපේ නම් සම්පුර්ණම ආයෝජනය ආවරණය වෙනවා. ඉන් පසු ලැබෙන දෙයක් ශුද්ධ ලාභයක්. මහා පරිමාණ ව්‍යාපෘති වලට නොයා සමකය අවට රටවල් වලටත් මේ තත්වය ප්‍රයෝජනය ගන්න පුළුවන්. නිවෙසියන්ට දෙන ණය ආපසු අය කර ගැනීම, ඔවුන් ඉතිරි කරන විදුලි බිල් පතෙන්ම හැකියි. නමුත් පරණ යකඩ විකුණන්නට හා ඒවා ගෙනත් හයි කරන්නට අපට ණය දෙන සමාජවාදී චීනයෙන් මෙවැනි ව්‍යාපෘතියකට ණයක් ගන්න හැකි වේදැයි සැකයි.

    ReplyDelete
    Replies
    1. මම කියල තියෙන්නෙත් අපිටත් අවුරුදු 5- 6 ක් ඇතුලත ආයෝජනය ආවරණය වෙනවා කියලයි. සමාජවාදී චීනයෙන් නම් බැරිවෙයි. නමුත් කලොත් හොඳයි. ජර්මනියෙන් ගන්න පුළුවන් වෙයි. මම නගන අනිත් ප්‍රශ්නය තම නිවස ජනසතු කිරීම කොතරම් සාධාරණද යන්න? සමාජවාදි රටවල් ජිවත් වූ අපේ අත්දැකීම් වලට අනුව.

      Delete
    2. ඕස්ට්‍රේලියාවේ රජයේ නිවාස වල, සුබසාධන අරමුදල් වලින් ජිවත් වන පිරිස්, මේ නිවාස "බලාකියා" ගන්නේ කොහොමද කියා අපට නිතර අහන්නට ලැබෙනවා. මේක මචං මනුෂ්‍යත්වයේ සනාතන ප්‍රශ්නයක්ද? අප අනාගතයේ වෙනස් වේවිද?

      Delete
    3. මිනිස්සු දියුණු වෙන්න ඕනේ හැම දේටම. ඔය කියන හැම දේම පොදු කරලා හදන සමාජයක් ගෙනි යන්න බැහැ නැත්නම්. අනාගතයේ වෙනස් වන්නට නම් අප මේ සංවාදය මෙතනින් එහාට ගෙන යා යුතුයි. සිංහලෙන් විතරක් නෙමේ අනිත් භාෂා වලිනුත්. අනික රජය සතු කර ගන්නවා කියන්නේ මිනිසුන් සතු වීම නෙමේ කියල අපි අත් දැකීමෙන් දැන් දන්නවා.

      Delete
  5. මෙහේ කරන්න හැදුවේ සියල්ල රජය සතු සහ පෞද්ගලික දේපල මහින්ද සතු ක්‍රමයක් නේ. දැන් ඉන්න පිස්සු හුටං සිහල උරුමය එක්ක එක්කාසු වෙලා කොරන්න දඟලන්නෙත් ඒ වගේම කුණුහබ්බ ආර්ථිකයක්. ආර්ථිකය තනියෙම යූ ඇන් පී යට දුන්නොත් ඇර වෙන සරණක් නම් නෑ.

    චම්පිකලා එක දවසක් ටී වී එකේ පේන්න බයිසිකලේ ගියාට වැඩක් නෑ. අනිත් වෙලාවට වාහන 10-15 ක් එපාය එයාලට. ඇයි එතකොට පක්ෂේ උන්ට. එයාලගේ නෝනලට. ළමයි ඉස්කෝළවල යවන්න කීයක් කියලා රාජකාරිද අප්පා ඒ මිනිස්සුන්ට. අපරාදේ බයිසිකොලේ ගියේ. පයින් ගියා නම් ඊටත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ඒ බයිසිකල් ගියෙත් අර විමල් විරවංශ ගියා වගේ තමා මට හිතෙන්නේ. සියල්ල රජය සතු කරලා ලංකාවේ ආර්ථිකය ගොඩ නගන්න බහ කියල මට නම් හිතිලා ඉවරයි. එච්චරට හොරු.

      Delete
    2. අනේ මොනවට කියනවද? ඔය ඩීසල් බලාගාර වැඩිපුරම හැදුවේ මොන ආණ්ඩුවද කියල අපි දන්නෙ නෑ හොඳේ. 2003 හදපු බලාගාරේ 2023 වෙනකම් ගිවිසුම් අත්සන් කලේ මොන ජයසූරිය ද කියලා අපි දන්නෙ නෑ හොඳේ. මෙහෙමත් අන්ධ චින්තනයක්.

      Delete
    3. නොරොච්චෝලේ පටන් ගන්නෙ නැතුව ඕකුන් කරපු පාඩුව කීයද කියලත් හොයල බැලුවනම්. මෙගාවොට් සිය ගානක් අවුරුදු 20ක් රුපියල් විස්සකට වඩා වැඩි මිලකට ගන්නකොට බිලියන කීයක් යනවද? ඒවා මේගා නෙවෙයි ගිගා නෙවෙයි ටෙරා ඩීල්. පරක්කු වෙලා හරි හදපු එක වටිනවා. නැත්තම් මෙලහකට අවුරුද්දකට මාස කීපයක් අපිට විදුලිය කපලා පැය ගාණක්. ලාබෙට දුවන නිසා ඉදිකිරීම් පිරිවැයත් ආවරණය වෙනවා. ඔය චම්පිකයා ඩීසල් බලාගාර ටිකක් වැහුවෙත් ඒකේ පිහිටෙන් මිසක් වෙන මොකක් නිසාවත් නෙවෙයි. යූ.ඇන්.පී. කාරයෝ හිටියනම් තාමත් නොරොච්චොලේ නෑ. එහෙම කරල ඔය බලාගාර වල ගිවිසුම් කාලය දික් කරල දෙනවා. ඔන්න මහ ලොකු ආර්ථිකේ.

      Delete
    4. ඇනෝ කියනවා හරි මන් හිතන්නේ. ඩීසල් බලාගාර වැඩිපුරම හැදුවේ 90 දශකයේ එජාප ආණ්ඩුව මං හිතන්නේ. ජයලත් ජයවර්ධන හෙම සම්බන්ධයි නේද? //2003 හදපු බලාගාරේ 2023 වෙනකම් ගිවිසුම් අත්සන් කලේ මොන ජයසූරිය ද කියලා අපි දන්නෙ නෑ හොඳේ.// මේක මම දන්නේ නැහැ. අර්ජුන රණතුංග ඩීසල් කට්ටිය එක්ක සම්බන්ධයි හෝ එයාලටත් බලාගාර තිබෙනවා කියල මම අහලා තිබෙනවා. ඇනෝ දනන් විස්තර ලියන්න.

      Delete
    5. //නොරොච්චෝලේ පටන් ගන්නෙ නැතුව ඕකුන් කරපු පාඩුව කීයද කියලත් හොයල බැලුවනම්. මෙගාවොට් සිය ගානක් අවුරුදු 20ක් රුපියල් විස්සකට වඩා වැඩි මිලකට ගන්නකොට බිලියන කීයක් යනවද?// මම නොරොච්චෝලේ හදපු එකේ වැරැද්දක් නෙමයි ලිපියේ කියල තිබෙන්නේ. අනුවේ දශකයේ යුඇන්පී ආණ්ඩුව, ඊට පස්සේ ආපු ශ්‍රී ලංකා ආණ්ඩුව පටන් ඒ අය නොරොච්චෝලේ හැදුව නම් ඊට පස්සේ එන මහින්ද රජයට අනිත් alternative විදුලිය ගැන හිතන්න තිබ්බ. ඒකනේ සැලසුම. නමුත් නොරොච්චෝලේ ගොඩක් පහු වෙලා හදපු එකෙන් අර කලින් තිබ්බ වටිනාකම අඩු වීමක් වුනා . මේක ඒ කරපු රජයට වරදක් හැටියට ලීව එකක් නෙමෙයි. විදුලි උත්පාදනය සම්බන්ධව හිතල ලිව්වා දෙයක්.

      Delete
  6. ධනවාදී ජර්මනිය තුල සමාජවාදී ගම්මාන බිහිවීමට හේතුව යුරෝපය තුල තවමත් ඉතිරිවී තිබෙන කතෝලික චින්තනයේ බලපෑම නිසයි. නමුත් එයට පැවැත්මක් නෑ මේ වනවිට යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට කතෝලික චින්තනය පැරදී. කතෝලික චින්තනය වඳවෙමින් පවතිනවා.
    සමාජවාදී ගම්මාන විතරක් නෙමෙයි බටහිර සම්භාව්‍ය සංගීතය බටහිර විවාහයද (බටහිර කාන්තාවන් තවමත් විවාහ වූ පසු සැමියාගේ වාසකම පාවිච්චි කරන බව සලකන්න) කතෝලික චින්තනය මත පදනම්වූ දේ නිසා ඒවාටත් අනාගතයක් නෑ.
    නමුත් යුරෙිා්පය තුල මුස්ලිම් බලය වැඩිවන විට යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුල මෙයට විසඳුමක් නැතිවුවහොත් නැවත වසර 80කට පෙර වූවාක් මෙන් කතෝලික චින්තනය මතුවිය හැකියි.

    ReplyDelete
    Replies
    1. යුරෝපයේ ගෑනූ බඩවෙන්න හේතුවත් කතෝලික චින්තනයේ බෑලපෑම.............අයියෝ සල්ලි.
      මූ නම් නලින් ද සිල්වගේ නාත දෙයියෝ වෑහිච්ච ඵකෙක්.
      ඔය ඹබ කියන රෙද්දේ කතෝලික ච්න්තනයත් යුදෙවු ක්‍රිස්තියානි චින්තනයටත් මුස්ලින් චින්තනයටත් වෑඩිය සමාජවාදී චින්තනය උතුම් වගේම සාර්තකයි (අඩුපාඩුද සහිතව ).....උපතින් කතෝලිකයකු ලෙසයි මම කියන්නේ.කතෝලික,යුදෙවු ක්‍රිස්තියානි, මුස්ලිම් ඔය ඔක්කොම චින්තන හූරන් කන වෙළදපල ක්‍රමයට කඩේ ගියා මිසක් වෙන කරපු බක්කක් නෑ......
      ඔය කියන ආගම ඵක්ක හවුල් උන දනවාදී ක්‍රමය අවුලට යන හෑමවිටම සමාජවාදී චින්තනය උඩට ඵන්නේ ඵකයි.නමුත් ඵ්ම තර්ජ්නය දෑනට කලමනාකරණය කරගන්න දනවාදියෝ දෑනට සමත්වෙලා තියනවා.නමුත් මේ බොරුවට වෑඩි ආයුසක් නෑ.
      මියයන තක්කඩි දනවාදයට දාන ඔය ඔක්කොම ආගමික පෑලෑස්තර අනගතයේදී ගෑලවිලායාවී !

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. //ධනවාදී ජර්මනිය තුල සමාජවාදී ගම්මාන බිහිවීමට හේතුව යුරෝපය තුල තවමත් ඉතිරිවී තිබෙන කතෝලික චින්තනයේ බලපෑම නිසයි.// සම්පුර්ණයෙන්ම වැරදි කතාවක්. මම කියන ගම්මානය කර්ස්දොෆ්. ඒක තියෙන්නේ පරණ නැගෙනහිර ජර්මනියේ තුරින්ගියා ප්‍රාන්තයේ. එහෙ මිනිස්සු ආගම අදහන්නේ නැහැ. අදහන කට්ටියත් ප්‍රොතෙස්තන්ත. අවුරුදු 800 ඉඳන්. පදනමක් නැති කතාවක්.
    //බටහිර කාන්තාවන් තවමත් විවාහ වූ පසු සැමියාගේ වාසකම පාවිච්චි කරන බව සලකන්න// තවත් තේරුමක් නැති කතාවක්. බටහිර කාන්තාවක් වන මගේ බිරිඳ භාවිතා කරන්නේ ඇගේ වාසගම. මගේ වාසගම නොවේ. ඇගේ සොයුරිය භාවිතා කරන්නේත් ඇගේ වාසගම. යුරෝපය තුල මුස්ලිම් අන්තවාදී බලය වැඩි වෙනවාට මමත් කැමති නැහැ. අපි එයට විරුද්ධව සටන් කරනවා මුස්ලිම් ප්‍රගතිශීලින් සමග. යුදෙව් - ක්‍රිස්තියානි චින්තන එකිනෙකට විරුද්ධ දෙකක්.

    ReplyDelete
  9. හොඳ දැනුවත් කිරීමක් අජිත් අයියා.අපිට මුහුණ දෙන්න තියෙන බලශක්ති අර්බුධය පොඩි එකක් නොවන නිසා සමකය ආසන්නේ ඉන්න අපිට ඉර කියන්නේ ලොකු සම්පතක්.මම හිතනවා රජය විසින් රටේ යටිතල පහසුකම් දියුණු කරන්න කටයුතු කරනවා වගේම මේ වගේ ව්‍යාපාති උදෙසාද ප්‍රමුඛතාව දිය යුතුයි කියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. රටක් හදන්න නම් රටේ ජිවත් වන මිනිසුන්ගේ සහයෝගය ගන්නත් ඔවුන්ව දැනුවත් කරන්නත් රජයක් කටයුතු කල යුතුයි කියල මම හිතන්නේ. අනික රජයෙන් සහනාධාර වශයෙන් ලැබෙන දේ රැක ගන්න මිනිසුන්ගේ උනන්දුවක් නැහැ කියන එකත් පැහැදිලි කරන්න ඕනේ.

      Delete
  10. රජය ආධාර නොදුන්නත් කමක් නෑ අජිත්, විදුලි හුවමාරු ක්‍රමයක් එනව නම්. මේවා ගැන හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරල මිනිස්සුන්ට අත්වන වාසිය පොඩ්ඩක් පැහැදිලි කරල දෙනව නම් ගන්න මිනිස්සු ඕන තරම් ඉඳීවි.

    (උඹේ මේ සීරීස් එක පුදුමාකාර රසවත් බවක් තියනව. හෑම ලිපියක්ම ආසාවෙන් කියෙව්ව)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ් දිරි ගැන්වීමට. තමන් ග්‍රිඩ් එකට දෙන විදුලියට ගෙවීමක් ලබනවා නම් හොඳයි. මට කෙනෙක් කීව ලංකාවේ දැන් සමාගම් තිබෙනවා කියල සුර්ය පැනල සවි කරන. නමුත් හුඟක් ගණන් බවත් ලැබෙන ලාභය ගැන හුඟක් අයට දැනීමක් නැති බවත් කීවා. මේ නිසයි රජය මැදිහත් විය යුත්තේ.

      Delete
  11. මටත් අදහසක් තියෙනවා ගේ හදල ඉවර වෙලා මේ වගේ සෝලර් පැනල් ටිකක් හයි කරගන්න. අර කියපු මැලේසියන් බ්‍රෑන්ඩ් එක මොකක් ද? මෙහෙන් යන කාලෙක අරන් යන්න පුළුවන් ටිකක් ලාබෙට.

    මේ වගේ ලිපි තමයි පත්තර වල යන්න ඕනේ. මේ වගේ දේවල් ගැන උනන්දු වෙන කෙනෙකුට උනත් හරි විස්තරයක් දැනගෙන වැඩක් කරන්න හිතෙනවා මේ විදියේ ප්‍රායෝගික අත්දැකීම් දැම්මම.

    ReplyDelete
    Replies
    1. පුත්‍ර ජයා වේ ගන්න පුලුවන්ද දන්නේ නැහැ. මැලේසියන් හොඳ ඒවා තිබෙනවා. පුලුවන්නම් කරන්න.
      http://www.solarpanelmalaysia.com/
      ස්තුතියි ඇගයුමට.

      Delete
  12. ස්තුතියි අජිත් මේ කතාව පටන් ගත්ත ට. ඔයා කරලා තියෙන්නේ ලොකු වැඩක්.

    මමත් ඔය වැඩේ කළා. ලංකාවේ අපි ග්‍රිඩ් එකට දෙන විදුලියට අපට මුදලක් ගෙවන්නෙ නැහැ. ඒක අපේ ගිණුමට තමයි යන්නෙ. ඒ විදුලිය වසර 10ක් ඇතුලත අපේ පාවිච්චියට ගන්න පුළුවන් නොමිලේම.

    අපේ ගෙදර කරන්ට් පාවිච්චිය යුනිට් 140ක් 150ක් විතර වුනා. මම ගත්තෙ 3.5kW ඉන්වර්ටරයක් එක්ක 2kW පැනල් (වොට් 250 * 8). ලංකාවෙ එක පැනලයක් දවසකට යුනිට් එකක් විතර විදුලිය ලබා දෙනවා. ඉතින් අපි විදුලියෙන් උයන්න පටන් ගත්තා. එතකොට අපේ ගෑස් බිලත් ඉතුරුයි. අවුරුද්දක්ම අපි ගෙව්වෙ මාසෙකට රුපියල් 30 ගානෙ, විදුලියට. ඊට පස්සෙ පුතාට රෑට නිදාගන්න අපහසු නිසා එයයි ආච්චියි නිදාගන්න කාමරේට වායු සමීකරණ යන්ත්‍රයක් සවි කළා. රස්නෙ වැඩි නිසා දහදිය දැම්මම රෑට ඇහැරෙනවා. ආච්චි සෙත්තපෝච්චි වුනා ගිය දෙසම්බරේ. දැන් අපි තුන්දෙනා ඒ කාමරේ නිදාගන්නවා. විදුලිය පාවිච්චිය දැන් ටිකක් වැඩි වෙලා. පහුගිය මාස දෙකේම යුනිට් 70, 80 වගේ ප්‍රමානවල් අමතරව අපි ග්‍රිඩ් එකෙන් අරගෙන තිබුණා. දැන් තව පැනල් දාන්න කාලෙ හරි වගේ. අපේ පාවිච්චිය දැන් යුනිට් 300කට වැඩියි. මට අජිත්ට වගේ තොරගන්නවත් රිසර්ච් කරන්නවත් වුනේ නැහැ. තිබුන හොඳම කොම්පැනියක් තෝරගෙන ඒගොල්ලන් ඉන්ස්ටෝල් කරන බඩු තමයි ගන්න වුනේ. ඉන්වර්ටරය ඊශ්‍රායලයෙන්. පැනල් චීනෙන්. මගේ අදහස තිබුනෙ ප්ලග් ඉන් හයිබ්‍රිඩ් කාර් එකකුත් ගන්න. ඒත් තවම ඒක කරගන්න බැරි වුණා. ඒත් මම ඉලෙක්ත්රික් බයික් එකක් ගත්තා. :-)

    අද හෙටම එල්.පී. ගෑස් ජෙනරේටරෙකුත් ගන්නයි ලෑස්තිය, හදිසි බිඳ වැටීම් වලට මුහුණ දෙන්න. හදිසියෙවත් රැයක් විදුලිය නැති වුනොත් අපට නින්දක් නැති වෙන නිසා. :-(

    මගේ ලොකු ආසාවක් තියෙනවා ස්වයංපෝෂිත වෙන්න. මේක එකේ එක කොටසක්. වතුරත් පොළොවෙන් ගන්නයි මට ඕන වුණේ. එත් අපි ඉන්න නගරෙ භූ ජලය බොන්නවත් සෝදන්නවත් පිරිසිදු මදි. එක නිසා ඒ අදහස අතහරින්න වුනා.

    Tried to post this on 18th but apparently, it has failed. Posting today, on 24th and last evening the generator came home and now I can face a power outage any time.
    - Amal Fernando

    ReplyDelete
    Replies
    1. නියමයි අමල්. මම දනනවා ඔය ඒ කලෙත් උත්සහ කලා කියල ස්වයං පෝෂිත වෙන්න. ඒ වගේම පරිසරය රැක ගන්න. අපි ආණ්ඩුව කරන අයට බල කරන්න ඕනේ රට මේ තත්වයට ගේ න්න. ඔයාලගේ අත් දැකීම අනිත් අයට දෙන්න මුදලක් ගෙවල මේ වගේ වැඩ වලට උනන්දුවක් දෙන්න. ආණ්ඩුවෙන් ගෙවන්නේ නැතුව හරි ඔයා කරපු එක ලොකු දෙයක්.

      Delete
    2. Thanks for posting....
      - Amal.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.