Sunday 13 April 2014

ධනවාදී රටක සමාජවාදී ගම



ධනවාදී රටක සමාජවාදී ගම


මගේ බිරිඳගේ පැත්තේ නෑදෑයෝ ඒ කියන්නේ මගේ බිරිඳගේ මව් පියන් ඉන්නේ කොබර්ග් කියන බැවෙරියානු (ජර්මනියේ ලොකු ප්‍රාන්ත රාජ්‍යයක්) ප්‍රාන්තයේ. මේක පරණ බටහිර ජර්මනියේ ලස්සන නගරයක්.  බිරිඳගේ නෑදෑයෝ පරණ බටහිර ජර්මනියේ මෙන්ම නැගෙනහිර ජර්මනියේද වාසය කරනවා. මේ කියන්න යන්නේ පරණ නැගෙනහිර ජර්මනියට අයත්ව තිබු කුඩා ගමක් ගැන. ජර්මනිය එක රටක් බවට පත්වෙලා දැන් අවුරුදු 24 ක්. ඒ නිසා ධනවාදී සමාජ ක්‍රමයට තමයි අනුගත වෙලා තියෙන්නේ පරණ නැගෙනහිර  ජර්මන් කොටසත්. මේ කුඩා නගරයේ මගේ බිරිඳගේ නෑදෑයන්  සිටින නිසා අපි නිතර එහෙ යනවා. තුරින්ගියා කඳු අතර තිබෙන ලස්සන නගරයක් නිසා සහ හිම ක්‍රීඩාවල යෙදෙන්නට (skiing) ලෙහෙසි පහසු නිසා. හිම ක්‍රීඩාවල යෙදෙන්නට සාමාන්‍යයෙන් සංචාරකයන් යන්නේ ඇල්ප්ස් වලට . එහෙ ගාමිෂ්  කියන නගරයේ සිට ට්‍සුග්ස්පිට්ස් (Zugspitze) කියන ලොකු කඳුකරයට. නමුත් අපි මේ කුඩා ගමට ගියාම නොමිලයේම ස්කි කරන්න හැකියි. අනික අපේ නෑදෑය  තමා ස්කි කරන භාණ්ඩ කුලියට දෙන ආයතනයේ ඉන්නේ. ඉතින් එයා අපට මේවා නිකම්ම දෙනවා. මේ කුඩා ගමේ නම කර්ස්දොර්ෆ්.
ඉතින් මේ ගමේ ජන සංඛ්‍යාව 650ක් විතර ඇති.

http://en.wikipedia.org/wiki/Cursdorf

මේ ගම හා අහල පහල ගම් සාමාන්‍ය අපි මොස්කව් වල දැකපු විධිහට වඩා වෙනස්. රාජ්‍ය ධනවාදී හෙවත් සමාජවාදීහැඩය තිබු රටවලට සුපුරුදු තට්ටු ගෙවල් වෙනුවට මෙහි තිබෙන්නේ තනි ගෙවල් (තට්ටු දෙකේ සිට තට්ටු කීපයක් ඇති). මේවා හුඟක් විශාලයි. දැන් ලංකාවේ හදන විශාල ගෙවල් වගේ. අනික මේවා හදල ගොඩක් කල්. නැගෙනහිර ජර්මනියේ තිබු රජය මේවා ආණ්ඩුවට ගත්තේ නැහැ. ඒ කාලේ හිටි අය හෝ ඔවුන්ගෙන් පැවත එන ඥාතීන් තමා ඒ ගෙවල් වල ඉන්නේ. මේ ගමේ තවත් වැදගත් අංග කීපයක් තියෙනවා. එනම් ගිනි නිවන හමුදා භට කණ්ඩායම හා එහි මුලස්ථානය. ඒක බලා ගන්නේ ගමේ අයම ස්වේච්චාවෙන්. නිවාඩු තියෙන වෙලාවට ගමේ අය ගිහින් එතැන් අස්පස් කරලා දාල එනවා. ඊළඟට වෙලාව තියෙනේ වෙලාවට ගිනි භටයන් වශයෙන් පුහුණු වෙනවා. ගින්නකදී ලගම ඉන්න පුහුණු වූ අය දුවල ගිහින් ගිනි නිවන යන්ත්‍රය අරන් යනවා ගින්න නිවන්න. ගමේ අය ගෙවන බද්දෙන් කොටසක් කෙලින්ම ඒකේ නඩත්තුවට යනවා.

අපේ නෑදෑයට අවසරයක් දීල තියෙනවා ආණ්ඩුවෙන් ගෝන්නු මරන්න. ගෝනෙක් මැරුවම මෙයා මස් ටික බෙදල දෙනවා. එයාට කෙනෙක්ගෙන් ඒ වෙනුවට ඔවුන්ගේ ගෙදර හදන කුකුලුන් ගෙන් බිත්තර ලැබෙනවා. තව කෙනෙක් ගෙදර හදපු චෙරි පානයක් (මධ්‍යසාර සහිත පානයකි) දෙනවා. තව අය අල, කැරට් ආදී දේ දෙනවා, ගමේ වඩුවා ඇවිත් කැඩිච්ච තැනක් හදල දෙනවා. මුදලට වඩා භාණ්ඩ හා සේවා හුවමාරුවක් සිද්ධ වෙන්නේ.;එතකොට මුළු ජර්මනියට අදාලව සිදුවන ආර්ථික උද්ධමනය මොවුන්ට දැනෙන්නේ නැහැ. ඔවුන් කිසියම් භාණ්ඩ හුවමාරු ක්‍රම වේදයක් සකසාගෙන තිබෙනවා මේ විධිහට.

මට පරණ නැගෙනහිර ජර්මන් වැසියෙක් මෙහෙම දෙයක් කිව්වා. ස්ටාසි හෙවත් නැගෙනහිර ජර්මන් රහස් පොලිසිය නැති එක තමා හොඳම. අපේ ඔළුවට උඩින් කවුරුත් නැහැ. නිදහස් කියලා . එහෙම නිදහස දුන්නම ඉබේම සමාජවාදී ක්‍රමයකට හුරු වෙච්ච මිනිස්සු ටිකක්.

තවත් දෙයක් කියන්න ඕනේ. බල ශක්ති පාවිච්චිය පිළිබඳව. ඒ ගෙවල් වලට සීත කාලයට උණුසුම් කරගන්න ලොකු වියදමක් යනවා ගෑස් පාවිච්චි කරනවා නම්. මේවා විශාල නිවාස නිසා. ඔවුන් මේ අතින් ඉන්නේ අපට හුඟක් ඉදිරියෙන් (එංගලන්තයටත් වඩා). වහලවල් වල සුර්ය කෝෂ තහඩු සවි කරලා තියෙන්නේ. ඊළඟටකෑම උයනකොට යන තාපය ප්‍රධාන පයිප්ප ජලයට සවි කරලා තියෙන්නේ ඒ තාපයෙන් ප්‍රයෝජනය ගන්න ගේ උණුසුම් කරන්න හා වතුර උණුසුම් කරන්න,. ඊළඟට ඉවත ලන ආහාර, කඩදාසි ආදී කාබනික  අපද්‍රවය වෙනම උදුනකට දානවා. ඒවා දහනය කරන නිසා එයිනුත් තාපය ලැබෙනවා. වතුර උනුකරන්න. මේ උදුනටම වත්තෙන් එන දරත් දානවා. ඉතින් විදුලි වියදම හා ගෑස් වියදම ඉතා අඩුයි . ග්‍රීෂ්ම කාලයට සුර්ය තාප විදුලිය වැඩි නම් ඔවුන්ට ඒක ප්‍රධාන මධ්‍යම ජාලයට විකුනන්න උනත් පුළුවන්. ඒ නිසා ඒ පැත්තෙනුත් ආණ්ඩුවට අත නොපා ජිවත් වෙන්න පුළුවන්. හැබැයි මුල් මුල්‍ය ආධාරය දීල තිබෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුවෙන්.

6 comments:

  1. ඔබේ බිරිද ජර්මන් ජාතිකයෙක්ද

    ReplyDelete
    Replies
    1. ඔව් . ඒක ලිව්වේ මම මේ බොරු නෙමේ ලියන්නේ පෙන්වන්න. මේ නෑදෑය මගේ බිරිඳගේ සොහොයුරිය බැඳලා ඉන්න මල්ලිගේ තාත්තා.

      Delete
  2. ස්වෙච්ඡාවෙන්ම මෙහෙම සමාජවාදී ක්‍රමයක් ගමක මිනිස්සු හදාගෙන ඉන්නවනම් හරිම සුන්දරයි.මෙහෙම දේවල් අපේ ගමක වුනත් කරන්න බැරි වෙන්නෙ නෑ කියල මට හිතෙනවා. මට වරෙක හිතුන දෙයක් තමයි මේ වගෙ දෙයක්.
    එක ගමක එක බෝගයක් වවනවා.තව ගමක තව බෝගයක්.මේ විදියට එක් සත්ව නිෂ්පාදනයක් එක ගමක. ඔහොම කළාම යම් බෙදාගැනීමේ ක්‍රමවේදයක් හැදුවොත් අතරමැදියාට යැවෙන ප්‍රවාහන හා වෙනත් වියදම් නැතිව නැවුම් නිෂ්පාදන ලබා ගන්න පුළුවන් වෙනව.මේක සමූපකාර ක්‍රමයක් ලෙස හෝ වෙනත් ක්‍රමයකට කළ හැකියි

    ReplyDelete
    Replies
    1. මේකත් ඇත්ත තමයි. නමුත් එහෙම කරන කොට අර පොල්පොට් වගේ අන්තයට යන්න හොඳ නැහැ. මට අමතක වුණා තව දෙයක්. මට පරණ නැගෙනහිර ජර්මන් වැසියෙක් කිවූ දේ. ස්ටාසි (නැගෙනහිර ජර්මන් රහස් පොලිසිය ) නැති එක තමා හොඳම. අපේ ඔළුවට උඩින් කවුරුත් නැහැ. නිදහස් කියලා . එහෙම නිදහස දුන්නම ඉබේම සමාජවාදී ක්‍රමයකට හුරු වෙච්ච මිනිස්සු ටිකක්.

      Delete
  3. Replies
    1. ස්තූතියි යොමුවට.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .