Friday 23 February 2018

බංගලි ගමයා ගේ සෝවියට් නංගි

සෝවියට් දේශය ගැන ලිවීමේදී දෙයාකාරයක පිරිසකට පිළිතුරු සැපයීමට සිදුවේ. මින් එක කණ්ඩායමක් බොහෝ විට ඇමෙරිකා එක්සත් ජනපදය හෝ එවැනි සංවර්ධිත රටක ජිවත් වන අය හෝ ශ්‍රී ලංකාවේ සිටින තමන් පොහොසත් හා උගත් පැලැන්තියේ යයි සිතන අයයි.  ඔවුන්ට අනුව සෝවියට් දේශය අභ්‍යවකාශයට චන්ද්‍රිකා  නොයැවූ අතර බටහිරින් සියල්ල  සොරකම් කර තිබේ. එසේම හිට්ලර්, බෙල්ජියමේ ලියෝපෝල්ඩ් ආදිපාද  හෝ අනිකුත් සියලු ධනවාදී පැත්තේ නායකයන්ට වඩා ලෙනින් හා ස්ටාලින් මිනී මරා තිබේ.

අනිත් කොටස ශ්‍රී ලංකාවේ වමට සම්බන්ධ පක්ෂ වල ක්‍රියාකාරී අය හෝ සහයෝගය දෙන අයයි. ඔවුන්ට අනුව සෝවියට් දේශය ඉතා දියුණුවට තිබු රටකි. අප පැතිය  යුතු සමාජයක් තිබුණු ලෙනින් හා ස්ටාලින් නිර්ධන පන්තියේ බලය ලෝකයට පෙන්වූ සමාජවාදී රාජ්‍යයකි. සෝවියට් දේශය ගැන යන්තම් හෝ විවේචනයක් කළොත් සරම් උස්සාගෙන වලියට එති.

ඔය දෙපැත්තම අමතක කළහොත් සෝවියට් දේශය යනු ඉතා සුවිශේෂ රටක් බවත්,   ලෝකයේ  තිබු විශාලතම රාජ්‍යය බවත් එහි පැවති  දේශපාලන ක්‍රමය තවත් කිසිම රටක නොතිබූ බවත් සිහි කළ යුතුය.  ලෙනින් විසින් රාජ්‍ය බලය ගත් පසු මුල් අවධියේ මුළු රටටම  (හැම පැල්පත ටම  නොවේ) විදුලිය දුන් බවත්, දරුණු යුද්ධය නැවැත්වූ බවත් ගොවියන්ට ඉඩම් දුන් බවත් සත්‍යයකි.  ස්ටාලින් එය අතිශයින් දරුණු ඒකාධිපති පාලනයකට යටත් කළ බවත් විප්ලවකාරීන් ඇතුළු මිනිසුන් බොහොමයක් මරා දැමු බවත් සත්‍යයකි. නමුත් ස්ටාලින් ගෙන් පසු කාලය තුල රටේ මිනිසුන් යම් තරමකට  වඩා නිදහස් සමාජයක ජිවත් වූ බවත් රට දියුණු බව ත් එලෙසම සත්‍යයකි. අප ඉගෙනීමට ගියේ ලංකාවට මෙන්ම ලෝකයේ  තවත් බොහෝ රටවලට  වඩා එසේ දියුණු වූ රටකටය. කවුරු මොනවා කීවත් එයද සත්‍යයකි.

 මේ කතාව ලියන්නේ සෝවියට් දේශයේ පැවති  සාමාජිය  වටපිටාව හා සංස්කෘතිය පැහැදිලි කිරීමේ ප්‍රයත්නයක් වශයෙනි.
තවමත් තිබෙන අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය 2016 මා  ගත් පින්තුරයකි 
මා සිටියේ දකුණු කලවරේ තුන්වෙනි තට්ටුවේ කාමරයේ ය  

අපේ ශිෂ්‍ය නේවාසිකාගාරය තරමක විශාල එකකි. ඉහත  පින්තුරය මා ගත්තේ  2016 රුසියාවට ගිය විටදීය. එහි සාමාන්‍යයෙන් මාසයකට වරක් හෝ දෙවරක් ඩිස්කෝ එකක් පැවැත්වෙයි. මෙය සංවිධානය කරන්නේ ස්තුඩ් සවියේත් හෙවත් නේවාසිකාගාරයේ ශිෂ්‍ය සභාවයි.   සාමාන්‍යයෙන් ගැහැණු හෝ පිරිමි සිසුවකු යහළු කර ගැනීමට හෝ සිකුරාදා හෝ සෙනසුරාදා නිකමට හෝ ඩිස්කෝ එකට ඔලුව දමා පැමිණීම  බොහෝ සිසුන් කරන දෙයකි. වැඩිපුරම අරාබි හා ලතින් ඇමෙරිකානු සිසුන් එහි සිටි අතර අපේ නේවාසිකාගාරයේ වැඩිපුර සිටියේ රුසියානුන් නිසා රුසියානු කොල්ලන් කෙල්ලන්  බොහොමයක්ද  ඩිස්කෝ එකේ දැකිය හැකි විය. ඒ දිනවල ඩිස්කෝ එකේ නිතර වැයුණු ගීත වලින් එකක් නම් ස්ටේටස් ක්වෝ (status quo- You are in the army now)  ගේ  "ඔබ දැන් හමුදාවේ" ගීතයයි.

ගොර්බචොව් ගේ පෙරෙස්ට්‍රොයිකා ග්ලාස්නස්ත් සමය නිසා වැඩි අවුලක් නැතිවම බටහිර ගීත වාදනය විය. අපි වැඩිපුරම  සිසුවියන් වටා  නැටුවේ මොඩර්න් ටෝකින් ගීත වලටය.  "ඔබ මගේ හදවත  ඔබ මගේ ආත්මය " ගීතය ද  ජනප්‍රිය එකක් විය.



මේ කාලයේ ඩිස්කෝ එකේ ප්‍රබලව නැටූ චරිතයක් වූයේ ස්වේතා ය. පිරුණු ලැමක්‌   හා පියකරු මුහුණක් ඇති ස්වේතා යමෙක් වරක් දෙවරක් නොව තෙවරක් වුවත් හැරී බලන රූ සපුවකට උරුම කම් කීවාය.  ස්වේතා ට කිසියම් රෙපියුටේෂන් එකක් හෙවත් ප්‍රසිද්ධියක් තිබුණි. එනම් හැම නැටුමක් අවසානයේම ස්වේතා තමන් කැමති කොල්ලෙක්   සමග කාමරයට යන බවයි. සින්දු දෙක තුනක්  අවසන් වන විට ප්‍රීතිමත් මුහුණක්  සමග කොල්ලා ද  මදක් බීමත්  ස්වේතා ද නැවත ඩිස්කෝ එකට පැමිණෙයි.  මෙසේ හතර පස් වතාවක් ම  රෑ 12.00 ට පමණ ඩිස්කෝ එක අවසන් වන තුරු මේ ක්‍රියාවලිය සිදුවේ. කිසිම විටෙක එකම පිරිමියෙකු දෙවරක් ගෙන නොයෑමට ඉතා ප්‍රජාතන්ත්‍රවාදී  සමාජවාදී ස්වේතා පරිස්සම් වූවාය

මුළු සතිය පුරා  ස්වේතා යනු හොඳට පන්ති යන හොඳට ඉගෙන ගන්නා සිසුවියකි. විභාග වලින් කිසිසේත් අසමත් නොවෙන  එකියකි. ඉන්පසු සති අග නොවැරදීම ඩිස්කෝ එකට යන ස්වේතා හොඳට නැටීමද හැම  නැටුමක් දෙකක්  අවසානයේ කොල්ලෙකු සමග අතුරුදහන් වීමද නොවරදවා සිදුවිය.

කිව යුතු වන්නේ ස්වෙතාට අමුතු නමක් වෙනත් රටවල මෙන් කවුරුත් පට නොබැඳීමයි. ඇයට easy going යන්නට සමාන с легким характером  ලේසි චරිතයක්  යනුවෙන් හඳුන්වා දීමක් හැරුණු  විට කිසිවෙක් ඇගේ හැසිරීමට අවුලක් නොපෙන්වූහ.

එකම දෙය රාත්‍රියේ කොල්ලෙකු සමග වැනි වැනී කොරිඩෝරයේ හමුවන ස්වෙතා ගෙන් මේ කී වෙනියද යනුවෙන් ඇසීම පුරුද්දක් වශයෙන් අප කිහිප දෙනෙකු කිරීමයි. එවැනි වෙලාවක අද රාත්‍රියේ පස් වැන්නා හෝ හයවැන්නා යයි හඬ නගා සිනාසී කීමට  ස්වේතා ද පුරුදු වී සිටියාය. අවුරුදු දෙක තුනකට පසු ස්වේතා හැම විටම ඩිස්කෝ එකේදී  අල්ලා ගත්තේ  අලුතෙන් එන ලාබාල සිසුන්ය. ඇගේ වසරේ අය ස්වේතා ගැන දැන  සිටි නිසා ඈ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුහ.

අපේ වසර වල  බංගලා දේශයෙන් පැමිණි සිසුවෙක්ද විය. ඔහුගේ නම රහමන් යයි කියමු. ඔහු තවමත්  මොස්කව් වල ජිවත් වන නිසා  නියම නම නොකියමි.  මේ සිසුවාගේ විශේෂත්වය වූයේ ඔහු පැමිණ තිබුනේ බංගලා දේශයේත් ඈත පෙදෙසකින් බවට තිබු රාවයයි. හෙවත් ඔහු බංගලි ගමරාළ කෙනෙකි. අපේ සිටි ඉන්දියානුවන් හා නේපාලි සිසුන්ටද ඔහු විලේජර් හෙවත් ගමයෙක් විය.  ඔහු දකින හැම තැන දීම වටේටම කෙල ගසන කෙනෙකි. ඔහු බංගලා දේශයෙන් ගෙනා  බුලත් කන බවද සමහරු කීහ.
(ලන්ඩනයට පැමිණෙන ඇතැම් සංගීතඥයන්, දේශකයන්, විචාරකයන් ද කාරා  පාරේ කෙළ ගසනු මම  දැක ඇත්තෙමි.)  මේ කාරා කෙල ගැසීම යුරෝපයේ සලකන්නේ අවිනීත ක්‍රියාවක් ලෙසටය.

මේ බංගලි සිසුවා රහමන් වෙළදාම්  කරන්නට සිසුන් රැගෙන එන ස්ටීරියෝ, කොම්පියුටර්   පෙට්ටි තම කරේ හෝ හිසේ තබාගෙන යයි.  ඩෙනිම් ආදී දේවල් ද එසේ හිසේ තබාගෙන ඔහු නේවාසිකාගාර අතරින් යනු බොහෝ විට  පෙනේ. වෙනත් කිසිවෙකු  මේ දේවල් මෙසේ එළිපිට  කලේ නැත. බොහෝ අය කිවේ මේ ගම මහතා මෙසේ නීති විරෝධී  වෙළඳම් එළිපිට කලේ කේජිබි එක සමගත් හොඳින්  සිටි නිසා බවයි.

හතර වන අවුරුද්ද වන විට අප වැඩිය ඩිස්කෝ ගියේ නැත. ස්වේතා නම් සිකුරාදා හෝ   සෙනසුරාදා දිනවල කොරිඩෝරයේ කාගේ හෝ  අතක් රැගෙන යනු දුටුවෙමු.  ස්වේතා කුමන නොම්මරය පසු කරන්නේද යන්න දැන  ගැනීමටද අවශ්‍යතාවයක් කාටවත් තිබුනේ නැත.

 බංගලි ගමරාල හදිසියේ  ඩිස්කෝ එකට ගිහින් තිබුණි. ඔහු හමුවීමට එතරම් සරු නැති පිට නගරයකින් පැමිණි බංගලි යහළුවන්  පිරිසකට අපේ ඩිස්කෝ එක පෙන්වීමට හා කවදාවත් නටා නැති වුවද උන් ඉදිරියේ ඔහු නැටීමටද  ගොස් තිබුණි. බන්ගලියා ගේ වාසනාවට හෝ අවාසනාවට (මා නම් සිතන්නේ වාසනාවට කියායි. ) ඔහු එදා නටා ඇත්තේ  ස්වේතා සමගය. එදා දවසේ අවසන් නැටුම වී ඇති එයත්  සමගම  ස්වේතා හා රහමන් දෙදෙනා  ඔහුගේ කාමරයට ගොස් ඇත.

මාස තුන හතරකට පසු ආරංචි  වූයේ ස්වේතා ගර්භණී වී ඇති බවය. ඇය කියා ඇත්තේ දරුවා බංගලියා ගේ බවයි. බංගලියා හතර අතේ දිවුරමින් දරුවා ඔහුගේ නොවන බව කියා ඇත. හැබැයි නීතිය  නම් නීතියයි. දරුවා ඔහුගේ නම් ඔහු කසාද  බැඳිය යුතුය.

නියමිත කාලය අවසන් වුන පසු බංගලියා ද දරුවා ඉපදෙන දවසට රෝහලට ගොස් ඇත. ස්වේතා කිව්වා නිවැරදිය. ලස්සන බංගලි පැටියෙකු ස්වේතාට ලැබී තිබුණි.

දරුවා ලැබුණු පසු මදක් විවේකී ව සිටි ස්වේතා  බංගලියා   සමග එක කාමරයක පදිංචියට ගියාය.  ඇය ඉන්පසු කවදාවත් ඩිස්කෝ එකකට ආවේ නැත. ඇය හඳුනන   අය බංගලියා ටද හදුන්වා  දුන් ස්වේතා බංගලි යාගේ "නීති විරෝධී" ව්‍යාපාර වල  පරිපාලිකාව වූවාය (business manager). බංගලියා සමග මිස වැඩිය එලි පහලියට නොගියාය.

අපි විශ්ව විද්‍යාල පාඨමාලා  අවසන් කරන සමයේ බංගලියා සෑහෙන ධනවතෙකු වී සිටියේය. පසුව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරුන් වූ රුසියාවේම  උගත් ව්‍යාපාරයෙහි දක්ෂ  සිසුන් දෙතුන් දෙනෙකු මෙන් බංගලියා ද  මෝටර් රථයක හා ෆ්ලැට් එකක්  හිමි කරුවෙකු විය.

සෝවියට් දේශය කඩා වැටුණු පසු  1994 වසරේ මුල් භාගයේ මම කිසියම් කරුණු කිහිපයක් සඳහා නැවතත් රුසියාවට  ගියෙමි. අපේ විශ්ව විද්‍යාලය පිහිටි පෙදෙසේ තිබුණු සුන්දර  අවන්හලක  කිසිවෙකු සමග හිඳගෙන සිටියෙමි.

 ආසියානු පැහැයති දරුවන් දෙදෙනෙකු ගේ අත් අල්ලාගෙන මුස්ලිම් ගැහැනියක ලෙස හිස වසාගත් රුසියානු කාන්තාවක් සුඛෝපභෝගී වාහනයකින් බැස්සාය. පිළිවෙලකට පොෂ් ටයි කෝට් පැළඳි බංගලියා අනිත් පැත්තෙන් බැස ආවේය. මා ස්වේතා හඳුනා ගත්තේ එලෙසය. ඔවුන්  ඒ වනවිට මොස්කව් වල තට්ටු නිවාස  දෙකක, සුපර් මාකට් දෙක තුනක, කම්හලක  හා ග්‍රීෂ්ම බංගලාවක (දාචා) හිමිකරුවන්ව සිටියහ.

ඕනෑම ගමරාළ කෙනෙකුට හොඳ බිස්නස් මොඩලයක් තිබිය යුතු තරමටම හොඳ බිස්නස් මැනේජර්  කෙනෙක් ද සිටිය යුතුය.





Wednesday 14 February 2018

ජෙහාන් ලෙනින් – LENIN AS A PERVERT

Lenin As a Godfather
මම ජෙහාන් ලෙනින් කියල ලිපියක් ලිව්වා කිහිප දවසකට කලින්. ලෙනින් ගහපු ගේමක් ගැන. සමහර වාමාංශික අයට ඒ ලිපිය වැඩිය දිරෙව්වෙ නැහැ කියලත් තේරුණා. නමුත් මම ලියන සමහර ලිපි ගැන ත්‍රිමාණ සඟරාවේ  අවධානය යොමු වන බවත් වැටහුනා.

මේ පාර චන්දෙන් රාජපක්ෂ මහත්මය පොල් ලෙල්ලක් දැම්මත් දිනනවලු. මිනිසුන්ට තමන් හසුරුවන්න "පියෙක්" ඕනේ. හුඟක් වෙලාවට හිතන්නේ නැති මිනිසුන්ට.


මම හුඟක් වෙලාවට ලිපියක් ලියන්නේ තවත් දහසක් දේවල් ඔලුවේ තියාගෙන. ඒ කියන්නේ ඒ ලිපි වලින් මතුවන අදහස කෙලින්ම මතුපිටින්  කියන අදහස නොවෙන්න පුළුවන්.  මම හුඟක් කාලෙකට කලින් ත්‍රිමාණ සඟරාවේ "වර්තමාන නංගිලා " ගැන  ලියූ ලිපියකට සෝවියට් දේශයේ නංගිලා ගැනත් ලිව්වා. සෝවියට් ඉතිහාසය ගැන මම අත්දැකපු දේ ලියන්න පටන් ගත්තේ ඊට පස්සේ.

ජෙහාන්ලෙනින් ගැන ඇතුලෙන් කියවෙන්නේ මේ වගේ කතාවක්.

ලෙනින් එවැන්නක් කලේ නම් එය කලේ තමන්ගේ පවුල් සංස්ථාව ගොඩ නැංවීමට හෝ ජිවත් වෙන්න වෙන කරන්න දෙයක් නොමැති තත්වයක් තුල නෙමෙයි. අවුරුදු ගණනක අප්‍රතිහත කැපවීම තුලින් ලැබුණු අවස්ථාව  ප්‍රයෝජනයට ගෙන සමාජවාදී රටක් පිලිබඳ ඔහුගේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමක්. මේ ලිපිය කියවන ඇතැම් මාක්ස්වාදීන් වටහා ගන්නේ එය ලෙනින්ට පහරදීමක් හෝ විවේචනයක් හැටියට. එහෙම නැත්නම් ලෙනින් ජෙහාන් නමැති චරිතයකට සමාන කිරීමක් ලෙස. විනයගරුක පක්ෂයක් සෑදීම හා ඔවුන් තමන් සත්‍ය ලෙස හඳුනාගත් මතවාදයෙන් පෝෂණය කිරීම  තමයි ලෙනින් ගේ ලොකුම ගේම් එක. ජර්මනිය සමග ගහපු ගිවිසුම තමයි ඉනිමග. නැත්නම් කෙරෙන්ස්කි රජයේ වල කැපූ උදැල්ල.

මිනිස්සු තේරුම් ගන්නේ එක එක විධිහට. ඒක හැටි. මනෝ විශ්ලේෂණය වගේ උපකරණයක් වැදගත් වන්නේ ඒකට.

මේ තියෙන්නේ ත්‍රිමාණ සඟරාවේ ජෙහාන් ලෙනින් ට දැක්වූ ප්‍රතිචාරය.  තේරුම් ගන්න වෙනත් ලිපි කිහිපයක්ම කියවන්න සිදු වුණා . ඉතින්  ඊයේ හවස පුරාම කලේ ඒක .  මගේ මනසට අභියෝගයක් වෙන ලිපි කියවන්න මම හුඟක් කැමතියි.  ඒක මම සිටින ස්ථාවරය විවේචනය කරන ලිපිද නැත්ද  කියන  එක අදාල නැහැ.  මේක ලිව්වේ දීප්ති හෝ මහේෂ් නම් ඒ දෙන්නටමත් ස්තූතියි.

උපුටා ගැනීම: ත්‍රිමාණ
Lenin and his local ideas

මෙම ලිපියෙහි අරමුණ “සංකේතීය පියා ගොඩනැගීමේ”[Lenin] දේශපාලන ව්‍යාපෘථිය මනෝ විශ්ලේෂණය ආශ්‍රයෙන් විග්‍රහ කිරීමයි.

ශ්‍රී ලංකාව තුළ “සංකේතීය පියා” පිළිබඳ සංවාදය ආරම්භ කරනු ලබන්නේ 2002 ජූනි-ජූලි ලන්ඩන් කලාපයට Zizek යන ලේඛකයා විසින් ලියන ලද “පියාගේ භූමිකාව ගැන නැවත සිතා බැලීමක්” යන ලිපියෙනි. මින් පසුව ඉතා වේගයෙන් වර්ධනය වූ මෙම සංවාදය විශාල වශයෙන් zizek සාහිත්‍ය තුළත්, ඉන් පසුව එම සාහිත්‍ය ආශ්‍රයෙන් පුවත්පත් හා සඟරා තුළ පල කරන ලද වෙනත් ලිපි තුළත් දැකිය හැකිය. මෙම සංවාදයෙහි මූලික පාර්ශ්වකරු වන්නේ Zizek බැවින් සංකේතීය පියා පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මතු වූ සංවාදය zizekගේ අදහස් පදනම් කරගෙන විග්‍රහ කරමු. උක්ත කතුවරයා ඇතුළු zizek විසින් රැගෙන එන ලද සංවාදයේ මූලික කරුණු කිහිපයක් වෙත අප මුලින්ම හැරෙමු:

1) සංකේතීය පියා පිළිබඳව zizek  නිර්වචනය:
“නූතන සමාජයේ මහ අනෙකා බලවත් යන්නෙන් අදහස් වන්නේ එම සමාජය තුළ පියාගේ භූමිකාව ප්‍රබලය යන්නයි. යම් බලාධිකාරයක් දරනවා යන්නයි. මෙයින් අදහස් කරන්නේ ලංකාවේ අය හිතනවා වගේ පියා ශරීරයෙන් ශක්තිමත් හෝ තමන්ට කැමති ඕනෑම දෙයක් කරන්නට පුළුවන් වැනි අදහසක් නොවන බව අප වටහා ගත යුතුය. මෙතන අදහස් වන්නේ පියා මානසික වශයෙන් බලවත් කියන එකයි. එනම් පියාගේ මානසික ලෝකය ඉතා පුළුල්ය කියන එකයි … ඒක කරන්න පුළුවන් වෙන්නේ නූතන සමාජයේ මානසික පියෙක් සිටි නිසයි. යම් කිසි සමාජයක පියා මානසිකව පුළුල් ශක්තිමත් බලයක් දරන්නේ නැත්නම් එම සමාජයේ මිනිසුන් අනන්‍යතා අර්බුදයකට ගොදුරු වෙනවා. ඒ සමාජයේ දියුණු පුද්ගලිකත්වයක් සහිත මිනිසුන් බිහිවන්නේ නෑ.”

2) සමාජය තුළ සංකේත පියා විනාශ වීම:
2-1 “සංකේත පියා – එනම් භාෂාවේ හා සංස්කෘතියේ පිළිවෙල – නිකම්ම මිනිසුන් විසින් සමාජයීයව ප්‍රචලිත කරනු ලබන අදහස් මත පමණක් රඳා නොපවතියි. එම අදහස් ඓයින්ද්‍රීයව දරාගත් ශරීර, එනම් සමාජ ආයතන, ශික්ෂණ ව්‍යාපාර, සමාජ පරමාදර්ශ යනාදිය නොමැතිව යථාර්ථයට පැවතිය නොහැකිය. සංකේතීය පියාගේ මෙම භෞතික රූපකාය ඒ අනුව සමාජීයව නිෂ්පාදනය කරන ලද්දකි… යුරෝපයට අදාලව ගතහොත් අද අප හඳුනා ගන්නා යථාර්ථයෙන් සංකේතීය පියා ගොඩනැගුනේ කාර්මික නිෂ්පාදනය සමාජීයව සංවිධානය කිරීම මගින්ය.”

2-2 “අද මාධ්‍ය විසින් කරනු ලබන්නේ, මිනිසාට හුස්ම ගැනීමට ඉඩ දෙන මෙම සංකේතීය අවකාශය විනාශ කිරීමයි. නූතන මාධ්‍ය මිනිස් ශිෂ්ඨාචාරයේ ප්‍රධානතම සතුරා බව අප මතක තබා ගත යුතුය. 80 දශකයේ විවෘත ආර්ථිකයත් සමඟ නගර වලට රිංගාගත් ග්‍රාමීය මැට්ටන් හා පාරවල් අයිනේ ගංජා ගැසූ ලක්ෂපති වැනි නාගරික ලුම්පනුන් වැනි අය විනාශ කරමින් සිටින්නේ ඉංග්‍රීසි පියා විසින් අමාරුවෙන් ශික්ෂණය කර ගොඩනගා ගිය අපගේ සංකේත විශ්වයය.”

2-3 “තවද, ඉහත නීතිය හා සංස්කෘතික පිළිවෙල ප්‍රධාන වශයෙන්ම කාර්මික නගරවල නිදහස් සමාජ පංතීන් විසින් නායකත්වය දී ගොඩනගන ලද්දකි… කෙසේ වුවද මෙහි අදහස නම්, මෙම සංකේත පිළිවෙල යථාර්ථයක් වන්නේ එය හුදෙක් අදහස් තුළ ප්‍රකාශයට පත් වන නිසා නොවේ. එම යථාර්ථය දරාගත් භෞතික ශරීර ලෙස නූතන නාගරික දේශපාලන ව්‍යාපාර, ආයතන, ශික්ෂණයන් යනාදිය තහවුරු වීම නිසාය. යුරෝපීයයන් තම ජීවන පරමාදර්ශය නගරය තුළ දකින්නේ සහ එයට ගරු කර්න්නේ නිෂ්පාදනය (දේශපාලන ක්‍රියාව) මගින් භෞතිකව නගරය විසින් ගම පරාජය කිරීම නිසාය.”

2-4 “යුරෝපයට අදාලව ගතහොත් ඉහත පරිවර්තනය (කාර්මීකරණය නිසා ඉහත සංකේතීය පිළිවෙල ගොඩනැගීම) ලංකාවේ සිදු වී නැත‍. . . නමුත් ඉංග්‍රීසි යටත්විජිත පාලනය යටතේදී යුරෝපීය නූතනවාදී යථාර්ථය කැඩපත කරගත් රාජ්‍ය ආයතන ලංකාවේදී ස්ථාපිත කෙරිනි… ලංකාවේ නූතන පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දය, රාජ්‍ය පරිපාලනය, පොලීසිය, පාසැල් සහ පොදු සුභසාධන ආයතන, කලාව, ජාතිය, කොළඹ කේන්ද්‍රීය බුද්ධාගම, නීතිය සහ පොලීසිය යනාදී සියල්ලම යටත්විජිත පාලනයේ නිර්මිතයන් ය. මෙම සමාජ – දේශපාලන පිළිවෙල දරාගෙන සිටි භෞතික ශරීරය අන් කිසිවක් නොව බ්‍රිතාන්‍යයේ නූතනවාදී දේශපාලනයයි.”

3) ලංකාවේ සංකේතීය පියා නැති බැවින් සිටින්නේ දෙබිඩි මිනිසුන්ය:
(මෙම කරුණ සාධනය කරන zizek ලියවීම් ඉතා බහුලය. එපමණකුදු නොව මේවා විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටියි. අප මෙහිදී කරන්නේ ඉන් කිහිපයක් උපුටා දැක්වීම පමණි.)

3-1) ඒත් ධම්මගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. අපිත් එක්ක හිටපු ධම්ම දැන් ඉන්නේ අපේ මානසික ලෝකයේ මිසක් කඩවත ඉඳන් කොළඹ විශ්ව විද්‍යාලයට එන ශරීරය ඇතුළෙ නෙවෙයි. කැමති නම් ප්‍රශ්න අහන්න. එතකොට ඒ ශරීරය තුළින් බට්ටි උත්තර දෙයි. කාරෙක උත්තර දෙයි.

3-2 zizekට තැන් තැන්වල සෙට්වෙලා බනින කට්ටිය ගොඩක් ඉන්නවා. .. මේ ගොල්ලෝ එකට එක් වෙලා මොන මොන දේ කථා කළත් මේ ගොල්ලෝ එකිනෙකාට නොකියන දෙයක් තියනවා. ඒක තමයි “අරුන් මගේ නියම තැන දන්නවා” කියන එක … අපිට පුළුවන් වෙලා තියනවා අනිත් අය තුළ අපි ගැන මේ වගේ අදහසක් ඇති කරවන්න. .. ලාංකිකයාගේ සැඟවුණු මනස සෙවීමේ ක්‍රමවිද්‍යාව හැමෝටම කියලා දෙන්න ඕනි කියලා අපි තීරණයකට ආවා… ලාංකීයත්වය මනෝ විශ්ලේෂණාත්මකව හිස්ටරිකයි. සමාජ විද්‍යාත්මකව පාදඩයි.
(මෙම ලිපියේ ඉතා සිත් ගන්නාසුළු කොටසක් නම්, මෙහි ‘ස්වාමියා’ සහ ‘කැප කිරීම’ පිළිබඳව ගෙනෙන අදහසයි. සත්‍යය ඇත්තේ පිටත, සැමටම පෙනෙන ලෙස යයි ලැකාන් පවසන විට ඔහු කෙතරම් නිවැරදිද?)


4) ස්ත්‍රිය සහ සංකේත පියා:

4-1 “සංකේත පියෙකු නිර්මාණය කිරීමට තරම් නිෂ්පාදන ආර්ථිකයක් නොමැති හේතුවෙන් ලාංකික පිරිමියාට ගැහැණිය වෙනුවෙන් වෙස් මුහුණක් නිර්මාණය කිරීමට නොහැකි වීම හා ඒ පොළොව තුළ රොහානියානු කථිකාව අධිනිෂ්වය වීම.”

4-2 ඒ වගේම “ස්ත්‍රිත්වය යනු වෙස් මුහුණක්”, යන ප්‍රවාදයත් “ස්ත්‍රිය යනු පුරුෂයාගේ රෝග ලක්ෂණයක්” යන ප්‍රවාදයත් මෙතනදී අපට වැදගත්. වේෂනිරූපණයත්, දුකත් පීතෲ භූමිකාවේ ගැටළු සහගත පරාවර්තනයත් බව අප සාඛච්ඡා කළා. එවන්නෙකුට ස්ත්‍රියකට වෙස් මුහුණක් තනා දෙන්නට සමත්වන සංකේතීය ඛණ්ඩාංකයක් නොමැති වීම අනිවාර්යතාවයක්‍. මෙහි ප්‍රතිඵලය තමයි ස්ත්‍රිය හිස්ටෙරික විශ්වයයක් තුළට ගමන් කිරීම. හිස්ටෙරිකයෙකු අනිකෙකු තුළින් ඉල්ලා සිටින්නේ පරිපූර්ණ පිරිමියාය. හිස්ටෙරිකයෙකුගේ අතෘප්තිමත් ප්‍රශ්න කිරීම ඉදිරියේ පරිපූර්ණ පුරුෂත්වයක් අත් කර ගැනීමට නම් අයෙකුට විශාල සංකේත විශ්වයක් තිබිය යුතුය. හිස්ටෙරිකයා වෙනුවෙන් වන පරිපූර්ණ පිරිමියා සඳහා වඩාත් උචිත වන්නේ පූර්වජ පියාය.

ලිපිය කියවීමේදී භාවිතා කළ අනිකුත් මුලාශ්‍ර:

http://www.independent.co.uk/voices/russian-revolution-100-lenin-bolshevik-capitalism-marxism-communists-soviets-a8040136.html
Perhaps the key achievement of Lenin was that he silently dropped the orthodox Marxist notion of revolution as a necessary step in historical progress. Instead he followed Louis Antoine Saint-Just’s insight that a revolutionary is like a seaman navigating in uncharted territories.
This was Lenin’s answer to the big problem of western Marxism: how is it that the working class does not constitute itself as a revolutionary agent? Western Marxism, at the time, was in a constant search for other social agents who could play the role of the revolutionary agent, as the understudy replacing the indisposed working class: third-world peasants, students and intellectuals; and the excluded … up to the refugees hailed today by some desperate leftists as “nomadic proletarians”.

http://www.lacan.com/essays/?page_id=393
The exclusion of the fundamental signifier, the Name-of-the-Father, does not constitute a repression in the sense that the exclusion, the zero reduction of the Name-of-the-Father effected by foreclosure, is not homogeneous in relation to the exclusion brought about by repression. We should then consider two sorts of exclusions that are structurally different. There exists a profound difference between exclusion of the Name-of-the-Father from the unconscious of the subject and the exclusion of the repressed from the consciousness of the subject. Whereas in the latter what is excluded—the repressed—could cause a process of re-appropriation by the subject (it is what Freud defines as the purpose of the analytic treatment of neurosis), in the case of psychotic foreclosure exclusion prevents any possibility of subjective re-appropriation. In other words, what is at stake is totally inert and irreversible exclusion.
The first is a dialectical exclusion—what is excluded belongs to the essence of the subject—the second one is an exclusion devoid of dialectics—what is excluded does not belong to the subject because it has never been inscribed in it. This different status of exclusion in foreclosure and in repression also explains the diverse modalities of what is excluded. In repression what is excluded returns in the symbolic formations of the unconscious (dreams, symptoms, parapraxis, lapses…). In foreclosure there is no return of the excluded as symbolic formations, in foreclosure the excluded returns in the real. Whereas the symptom holds vis-à-vis the subject a status of extimacy (extimité), of ­interior-­exterior or “foreign internal territory” as Freud noted, the elementary phenomena of psychosis (hallucination, delirium) get control of the subject by coming from the outside.
symbolic father: Lacan starts out from the threshold of history when the imago of the father appears who is bound up with the pacifying function of the ego ideal.[2] Coming as he does on the threshold of history, this must be the symbolic Father. Lacan thinks that it’s the reason in the contemporary family as an institution that the Oedipus can only appear in patriarchal form.[3] The one who does not accept castration, namely the primal father, triggers the formation of the set whose members do accept it.[4]

Monday 12 February 2018

ඉන්දියාව සමග නැගිටිමු

ජේ ආර්  රජීව් 
ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය ශ්‍රී ලංකාවේ ආර්ථිකය විවෘත කරන විට ඉන්දියාවේ තිබුනේ සංවෘත භාග සමාජවාදී ආර්ථික ක්‍රමයකි. කලබල වුනු ඉන්දියාවට  ඇමෙරිකන් හිතවාදී ජේ ආර් රජය පාලනය කරන්නට හොඳ අවස්ථාවක් දුන්නේ ජේ ආර් මය. ඒ 1983 සිදුවූ දෙමළ  ජන සංහාරයට ඉඩ සැලසීමෙනි. ඉන්පසු දෙමළ කැරලි කරුවන්ගේ සංවිධාන කිහිපයක්ම පුහුණු කරන්නට හා ශ්‍රී ලංකා හමුදා සමග සටන් කරන්නටත් රටේ ආර්ථිකය අඩපණ  කරන ප්‍රහාර එල්ල කිරීමටත් මේ කණ්ඩායම් හරහා ඉන්දියාවට හැකි විය. මෙහි අවසන් ප්‍රතිඵලය වුයේ වඩමාරච්චි සටන නතර කරමින් සිදුවූ පරිප්පු ආක්‍රමණයයි.

ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාව ජීවත්වීමට නුසුදුසු  දරුණු රටක් බවට පත්වුණි. ශ්‍රී ලංකාවේ උතුර හා දකුණ එකම ලේ විලක් විය. මේ තත්වයට ජේ ආර්, ප්‍රේමදාස,  සිරිමාවෝ , විජේවීර , ප්‍රභාකරන් පමණක් නොව ඉන්දියාවද වගකිව යුතු විය. ඉන්දියාවට පළමු ප්‍රහාරය ලැබුනේ තමන්ම කිරි පෙවූ නයි  පැටියා ගෙනි. තම ජාතියේ අභිමානය රැක  ගෙන ප්‍රභාකරන් රජීව් ගාන්ධි එර්දි කළේය.

ඉන්දියාවට චන්ද්‍රිකා  සමග ප්‍රශ්නයක් නොතිබුණු නිසා දෙමළ කැරලිකරුවන් සමග යුද්ධය අතර වුවද, රටේ ආර්ථිකය දියුණු වූයේ නැති වුවද චන්ද්‍රිකා බණ්ඩාරනායක   දෙවරක්ම රට පාලනය කිරීමට තේරී පත් වූවාය.  නමුත් ඉන්දියාව තම අගමැති මරා දැමීමට අණ  කළ  ප්‍රභාකරන් අමතක කලේ නැත.

චන්ද්‍රිකා  ගේ  දෙවන පාලන සමයේ දී  රනිල් වික්‍රමසිංහ සහ එජාපය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන රජයක් පිහිටෙව්වේය. බටහිර රටවල උදව්වෙන් ඔහු සාම ගිවිසුමක් අත්සන් කර ගිවිසුම විමසීමට ලංකාවේ තවමත් කුප්‍රකට මොනිටරින් මිෂන් (SLMM) එකක්ද ස්ථාපිත කළේය. ඔහුගේ වැඩ පිළිවෙල,  LTTE දෙකඩවී කරුණා ගේ නායකත්වයෙන් තවත් කොටසක් බිහි වීමට හේතුවක්  විය. එසේම LTTE ප්‍රදේශ වලට රුපවාහිනී හා නොයෙකුත් සූඛොපභොගි උපකරණ යැවුනි. ඉන්දියාව සිටියේ විමසිල්ලෙනි.
ඇමෙරිකාවේ හා යුරෝපයේ සහය රනිල් වික්‍රමසිංහ රජය ට හිමි විය. සිංහලයන් බහුතරයක් අසතුටු වුවද දෙමල බහුතරයක් සිටියේ සාම විරාමයක් ලැබීමේ සතුටිනි.

කවුරුත් වැඩිපුර නොදන්නා කාරණයක් නම් තරන්ජිත් සිං  සඳු නමැති මහතකු වසර 2000 දී  ශ්‍රී  ලංකාවේ  ඉන්දීය තානාපති කාර්යාලයට දේශපාලන නිලධාරියා වශයෙන්  පත්වීමක් රැගෙන පැමිණි බවයි.

එසේම  ජනතා විමුක්ති පෙරමුණ නමැති වාමාංශික පක්ෂයේ නායකයා ශ්‍රී ලංකාවේ පැවති 88-90 භීෂණ  සමයේ ඉන්දියාවේ උදව්වෙන් බටහිරට පැනගොස් ජීවිතය  බේරා ගත්  අයෙකි.

ඉන්දියාවේ රහස් ඔත්තු සේවයේ නම රෝ හෙවත් පරීක්ෂණ හා විශේල්ෂණ කිරීමේ කාර්යන්ශයයි.

ශ්‍රී ලංකාවට සුනාමිය පැමිණියේ වසර 2004 දීය . දකුණට ලැබුනා  සේ උතුරේ  විනාශ වූ පෙදෙස් වලටද ආධාර අවශ්‍යය. ආධාර දීමට අන්තර් සුනාමි සහන මණ්ඩලයක් LTTE සමග  සමග හැදීමට රනිල් ගේ රජය කැමැත්ත පල කල අතර චන්ද්‍රිකා  ජනාධිපතිනියගේ විරුද්ධත්වයක් තිබුනේ නැත. මෙහිදී බටහිර රටල ආධාර කෙලින්ම උතුරේ LTTE සංවිධානයට ලැබේ. ප්‍රභාකරන්, තමිල් සෙල්වම්, බාලසිංහම්  ආදීන් ලෝකයේ දෙමල ඩයස්පෝරාව සිටි  රටවල් වල වීරයන් විය.

ඉන්දියාවට අනුව බටහිර සුනාමි  ආධාර කෙලින්ම ලැබෙන්නේ  තමන් කිරිපොවා ඇති දැඩි කළ එහෙත්  පසුව දෂ්ට කළ නයි හාමිටය.

රටේ මේ සහන මණ්ඩලයට විරෝධතා වැඩි විය. ඉදිරියෙන්ම සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. එසේම ජාතික හෙළ උරුමයද විය. චන්ද්‍රිකා,  රනිල් රජයේ  ඇමතිවරුන් තිදෙනෙක් අස්  කරමින් පාලනය තමන් අතට ගත්තාය. රනිල් ගෙදර ගියේය.

බටහිරට හිතැති කදිරගාමර් මරා දැමුණු අතර මහින්ද  රාජපක්ෂ අගමැති විය.

තරන්ජිත් සින් සඳු දේශපාලන නිලධාරී මහතා  2004 දී ඉන්දියන් තානාපති කාර්යාලයෙන් වෙනත් පත්වීමක් ලබා නික්ම ගියේය.

මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වූ 2005 චන්දයේදී ජවිපෙ හා හෙළ උරුමයේ සහයෙන් ඔහුට 50.29% කුත් රනිල් වික්‍රමසිංහට 48.43% කුත් ලැබුණි. ප්‍රභාකරන් හිටියේද මහින්දගේ පැත්තේය. ඔහු දෙමළ චන්ද වර්ජනය කිරීමට නියෝග කර චන්දය  දැමීමට ගිය දෙමළ  චන්ද දායකයකු ගේ අතක්ද කැපුවේය.   දෙමළ චන්ද තිබුනා නම් මහින්ද 2005 දී බලයට පත් වන්නේ නැත.

කවුරුන් මොනවා කීවත් යුද්ධය සමයේදී මතුපිටින් කිසිදු සහයක් දෙන බවක් නොපෙන්වුවත් ඉන්දියාව LTTE   සමග ශ්‍රී ලංකා හමුදාවල යුද්ධයට හා මහින්ද රජයට ආධාර කළේය. ඒ ආධාර චැනල් කිරීම සඳහා විශේෂ පුද්ගලයෙක් බැසිල්  නමින් සිටියේය.බැසිල් තමන්ට පැවරුණු කාර්යය මැනවින් ඉටු කළේය. කරුණා  අම්මාන් සිටියේ ඉන්දියාව  පැත්තේය. මහින්ද රජයට කඳුකරයේ තොන්ඩමන් (ඉන්දියාව) ගේ සහය ලැබුණි. නයි හාමි ගේ බෙල්ල කපන තුරු ඉන්දියාව  මහින්ද රජයට සහය දුන්නේය. ඉන්පසු ඇතිවුණු යුධ අපරාධයක්  සේ හැඳින්වෙන  සුදු කොඩි සිද්ධියේ ඉන්දියන්  ජාතිකයෙකු වන විජේ නම්බියාර් ද ගෑවී සිටි. මේ සිද්ධියේ දී  මියගිය කොටි පොලිස්පති නඩේසන් කතා කර තිබුනේද බැසිල් ටය.( මේ සිද්ධියේ බැසිල් ගේ වරදක් නැත.  ඉන්දියා ව එය දනී.)

දෙවන ජනාධිපතිවරණයෙන් 2010 දී 57% පමණ චන්ද සංඛ්‍යාවක් දිනා  රාජපක්ෂ මහතා  රටේ දැඩි සංවර්ධනයක් දියත් කලේ යුධයෙන්  පසුවය. රටට යුද අවි වලින් ආධාර දුන් චීනය ආර්ථික තලයේද බලවතෙකි. මහින්ද රජය ණය ගත්තේ ඔවුන් ගෙනි. ඉන්දියාවද ආධාර දුන් නමුත් ඔවුනට චීනයට සම වීමට නොහැකි වුනි. හම්බන්තොට   නැව් නො ආ වරාය  හා ගුවන් යානා  නොඑන ගුවන් තොටුපල චීන ආධාර වලින් හැදුනි. කොළඹ  මුහුද ගොඩ කර නව වරාය  නගරයක් හැදෙයි.  විශාල හෝටල් ඉඩම් චීන කොම්පැනි වලට සින්නක්කර ලැබෙයි.  කාලයක් මුළුල්ලේ රජයන් කිහිපයක සිහිනයක්ව තිබූ අධිවේගී  මාර්ගය විවෘත  වුනි. අසූ  ගණන් වල හදන්නට සැලසුම් කර තිබූ  ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ චීන ආධාර වලින් නිම වුනි.

ඉන්දියාව මෙන්ම  බටහිරද කලබල විය. මහින්ද රජයට බටහිර යුධ අපරාධ තර්ජන එල්ල වීමද වැඩිවිය. රටේ ජාති වාදී   ප්‍රශ්න ඇති වෙමින්  ජාතිවාදී සංවිධාන පැන නැගුණි. මහින්ද රජයේ ද ද 2001-2004 රනිල් රජයේ මෙන්ම දුෂිත මැති  ඇමතිවරුන් හා නිලධාරීන් පොකුරු වශයෙන් බිහි වුනි. රාජපක්ෂ රජය රටේ නිතිය තැකුවේ  නැති අතර සංචාරකයනට පවා තර්ජන එල්ල වුනි.  කොටින්ම රජය ඉතා  අපකීර්තිමත් තත්වයකට පත්ව තිබුණු අතර මාධ්‍ය  නිදහසටද තර්ජන එල්ල වී තිබුණි.

ඉන්දියාව බලා  සිටි අවස්ථාව එළඹුණේ මහින්ද විසින්ම නව ජනාධිපතිවරණයක්  කැඳවීම මගිනි.මෛත්‍රිපාල සිරිසේනට එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානයේ සහය ලැබුණු අතර 51.28% ප්‍රතිශතයක්ද  මහින්ද රාජපක්ෂට 47.58% ද ලැබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ  නැවතත් අගමැති විය. බොහෝ ස්වාධින කොමිසම් සභා පිහිටවනු ලැබීය . මාධ්‍ය නිදහස එයාකාරයෙන්ම  ලැබුණි. නොයෙකුත් ජනතා හිතවාදී  පනත් සම්මත වුනි. එහෙත් ඉන්දියාවෙන්  බලාපොරොත්තු වූ පරිදි ආර්ථික ආධාර ලැබුනේ නැත. රනිල් ගේ රජයේ සරණට සිටියේ ද   චීනයයි. අන්තිමේදී ඉන්දියාව අකමැති වුවද හම්බන්තොට  වරාය චිනයටම දෙන්නට සිදුවිය. කොළඹ වරාය  නගරය ද ඉන්දියාවේ අභිප්‍රායට එරෙහිව චිනයටම දෙන්නට රනිල්ට සිදුවිය.

රනිල් රජය ව්‍යවස්ථාවක්  හදා අවසානය. නමුත් එය සම්මත කර ගන්නට ඔවුන්ට නොහැකිය.

කලින් ලංකාවේ සිටි තරන්ජිත් සිං  සඳු මහතා මෙවර ශ්‍රී  ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස 2017 ජනවාරි 24 දා  පත්ව ආයේය.

බැසිල් මහතා ඉන්දියාවේ පරණ හිතවතෙකි.

මෙම වසරේ 2018 පෙබරවරි 10 පැවති  පළාත් පාලන චන්දයෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවන පොදු ජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධායකත්වයෙන් යුක්තව ප්‍රබල ජයග්‍රහණයක් ලැබිය. තනිව ගත්තොත්  එජාපය  හේදී  ගොස්ය.

එය එසේ වුවද මහින්ද ගේ පොදු ජන පෙරමුණට ලැබුණු චන්ද සංඛ්‍යාව 44.69 % කි.

වසර දෙකකින් පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට මේ චන්ද ප්‍රමාණය හොඳටම මදිය. තෙවන බලය වන ලක්ෂ හතක චන්ද සහිත ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය වඩා  ලංව සිටින්නේ නමට කොමියුනිස්ට්වාදී චිනයටය.

මහින්ද මහතා  තම පුත්‍ර නාමල් සමග  විපක්ෂ නායක  සම්පන්දන් බැලීමට නොබෝදා රෝහලට ගියේය. උතුරේ විග්නේශ්වරන් ට  දකුණේ දදේශපාලන නායකයෙකුට  ඥාති සම්බන්ධයක් ඇත්තේය. තොන්ඩමන් තමන්ගේ සීයා ලෙසටම  පළාත් පාලන ආයතනය සඳහා  ඩිල් එකක් ගසා  අවසානය.

බුකියේ සිටින ලංකාවේ සමහර විද්වතුන් රටේ සිංහල අහවල් එක, පෞරාණික   සභ්‍යත්වය, බ්‍රිගේඩියර් සහ  අරක මේක රනිල් නොසැලකූ නිසා  ඔහු පරාජය වී යයි කියති. ඔහුගේ පක්ෂයේ දුෂිතයන් ද සිටිති. මහින්ද ගේ රජයේද 2015 දුෂිතයන් සිටියහ. නමුත්  රටේ චන්ද සංඛ්‍යාව දුෂිතයන් නිසාම වෙනස් වන්නේ නැත.

පරීක්ෂණ හා විශේල්ෂණ කාර්යාංශය වුවද   එය හොදින් දනී.

ලිව්වාද කියා මතක නැත. කලින් ලංකාවේ සිටි තරන්ජිත් සිං  සඳු මහතා මෙවර ශ්‍රී  ලංකාවේ ඉන්දියානු තානාපතිවරයා ලෙස 2017 ජනවාරි 24 දා  පත්ව ආයේය.


ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මිට වඩා හොඳ අවස්ථාවක්  තවත් නැත. රටේ ප්‍රධාන පක්ෂ දෙකම හිර වෙලාය. (හිර කරලාය?)  ව්‍යවස්ථාවට මම නම් විරුද්ධ නැත.

ශ්‍රී ලංකාව කොහෙන් හෝ පටන් ගත යුතුය. ලේ හෙලුවා  හොඳටම ඇතිය.


Sunday 11 February 2018

පළාත් පාලන සභා චන්ද ප්‍රතිඵල - සුළු නිරීක්ෂණයක්

පළාත් පාලන සභා වල  චන්ද ප්‍රතිඵල වලින් පොහොට්ටුව වැඩි පළාත් පාලන සභා සංඛ්‍යාවක් දිනා  ඇත. ඔවුන්ට හද පිරි සුභ පැතුම්. අනාවැකි දුන් බොහෝ පණ්ඩිතයන්ට වැරදී ඇත. මේ ප්‍රතිඵල ගත්තේ ලංකාදීප පුවත් පතිනි.
 මට තේරෙන්නේ නැත්තේ මෙයයි. මා වෙනත් රටක ජිවත් වන නිසා විය යුතුයි.  මෙය  පළාත් පාලන චන්දයකි. බොහෝ අය  ආණ්ඩුව අස්විය යුතු යයි කියති. දැන් බ්‍රිතාන්‍යය වැනි රටවල වුවද  ආණ්ඩුවේ ගමන මැද පළාත් කවුන්සිල් චන්දවලින්  බලයේ සිටින  ආණ්ඩුව බොහෝ විට පරදී. ඒ මිනිසුන් තමන්ගේ විරෝධය ප්‍රකශ කරන ආකාරයයි.  නමුත් ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැත.

ප්‍රතිඵලයබලන්න :
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 44.84%
එක්සත් ජාතික පක්ෂය 31.49%
එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.82%
ජනතා විමුක්ති පෙරමුණ 6.18%
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -5.02 %
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 %

දැන් පවතින ආණ්ඩුව යනු   එක්සත් ජාතික පක්ෂය+ එක්සත් ජනතා නිදහස් සන්ධානය+ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන අයගේ සභාගයකි. එනම් ඔවුන්ගේ චන්ද ප්‍රතිශත එකතුව = 31.49%+8.82+5.02 =45.33%
SLPP හෙවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇත්තේ   44.85%කි.
මේ පැවැත්වුනේ ජනාධිපති තරඟයක් නම් බොහෝ විට  ඉලංකෙයි තමිල් අරසු කච්චි - 3,62 % චන්ද වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ආණ්ඩුවට මිස මහින්ද මහතාට නොවේ. එවිට ඔවුන් ට   48.95% ප්‍රතිශතයක් ඇත.
අලුත් ප්‍රතිඵලය ලංකාදීපයෙන් 

බොහොමයක්  පොහොට්ටුවේ ආධාරකරුවන් ජනතා විමුක්ති පෙරමුණට කැමති නැත. ඔවුන් ගෙන් සමහරු RIP JVP යනුවෙන්ද ලියා තිබෙනු දුටිමි. චන්ද වලින් 6.18% ගත් ජවිපෙ මිය ගොස් නැත. ඔවුන් තවමත් ශ්‍රී ලංකාවේ   දකුණේ තුන්වන බලවේගයයි.  එකම දේ ඔවුන්ගේ චන්ද අඩුවී හෝ වැඩිවී නොමැත.ඔවුන් ගේ  පක්ෂයට පොහිට්ටුවන් බනින නිසාම ඔවුන්ගේ චන්ද දායකයන්ද මහින්ද මහතාගේ නියෝජිතයාට චන්දය නුදුන්නොත් අනිත් පැත්ත 48.95+6.18%=55.13% පළමු වටයෙන්ම ජනාධිපති චන්දයෙන් ගොඩය.

ආණ්ඩුවට අස්වන්නට කියන්නේ කුමන පදනමකින්ද යන්න මට නොතේරේ. නමුත් එජාපය ප්‍රමුඛ රජය නම් මේ පණිවුඩය හිතට ගත  යුතුය. බොහොමයක් වයස වැඩි ඇමතිවරුන් ගේ කල්ක්‍රියාව ජනතාව  අනුමත කර නැත.  බොහෝ අය රජයට පැමිණ ඇත්තේ  කුට්ටියක් කඩාගෙන පවුල හා හිතවතුන් රැක  ගැනීමට  මිස රට පාලනයට නොවන බව එජාප පක්ෂිකයන්ට ද වැටහී  ඇත. ආණ්ඩුව ඒ ගැන දැඩි ලෙස පියවරක් ගත යුතුව ඇත. එසේම දුන් පොරොන්දු වලින් බොහොමයක් ඉටු නොකර සිටින තත්වයක් තුල ඊළඟ චන්දයෙන් පැරදීමේ අවකාශය වැඩිය.

ආදී කල්පික වම හා පරණ වම ගැන කියන්නට තියෙන්නේ දැන්නම් පරණ කෝච්චිය ගොස්ය. අලුත් විදුලි දුම්රියක් එනු ඇත. ඉඩ දී ඉවත් වන්න. නැත්නම් විදුලි දුම්රියට නගින්න.

නව ප්‍රතිඵලයට අනුව:
මේ  තමයි අලුත්ම අලුත් ප්‍රතිපල:
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 4941952 - 44.65%,
එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය-32.61%+8.94%+4.44%=46.01%
ඉලංකෙයි තමිල් අරසු කච්චි -3.07%, ජවිපෙ 6.27% - ජනතා විමුක්ති පෙරමුණේ සහයක් නොමැතිව මහින්ද  මහතාගේ අපේක්ෂකයකු ජනාධිපතිවරණය දිනන්නේ නැත. මේ අනුව පොහොට්ටුව හෙවත් ඒකාබද්ධ   විපක්ෂයට ජනාධිපති  ක්‍රමය අහෝසි කරන නව ව්‍යවස්ථාවට  එකඟ වීමට සිදුවේ. ඔවුනට දිනිය හැක්කේ එවිට පමණි. ජෙහාන් ගේ ගේම දැන් තේරෙන්නේ යයි සිතමි. (බැසිල් හා ඉන්දියාව)

Saturday 10 February 2018

යුද්ධයෙන් සමහරුන් ලැබූ අතුරු ඵල (fringe benefits) හෙවත් අපේ කාලයේ දේශපාලන අනාථයා

යුධ අනාථයන් 
මේ විවේචනයක් නොවේ.  ශ්‍රී ලංකාවේ පැවැති  යුද්ධයෙන් එයට සම්බන්ධයක් නැති තවත් කොටසක් අතුරු ඵල (fringe benefits) ලැබූ හැටි කීමකි. යුද්ධයෙන් නොයෙකුත් වරදාන ලැබූ අය ගැන නොයෙකුත් කතා ඇත. ඒ කිසිවකු ඒ සඳහා දඬුවම් විඳ ද නැත. හැමෝම කරනවා නම් අපි කෙරුවම මොකද යන්න උද්ධෘත පාඨය වී ඇති සමයක ඒ ගැන අපට කළ හැකි දෙයක්ද නැත.

මේ කාලයකට කලින් සිදුවූ දෙයකි. ස්ථානය බ්‍රිතාන්‍ය ආගමන විගමන කාර්යාලයයි . දේශපාලන අනාථ භාවය හෙවත් අසයිලම් ඉල්ලා සිටින දමිල ජාතිකයෙකුගෙන් භාරගැනීම් නිලධාරියා ප්‍රශ්න අසයි. මේ මුලික සාකච්ඡාව වන අතර මෙයින් අසමත් වුවහොත් ට්‍රිබියුනල් එකට ඇපීල් කළ හැකියි.

පරිවර්තකයා ලංකාවේ යාපනයේ දෙමල අයෙකි.
නිලධාරියට ( නි.) සැකයක් ඇතිවේ. මේ නිසා මෙවැනි ප්‍රශ්නයක් අසයි.,

( නි.) "ඔබ ලංකාවේ කොහේද".

අයදුම්කරු - "මම කැන්ඩි "

( නි.) "කැන්ඩි කොහේද තියෙන්නේ ලංකාවේ "
"කැන්ඩි තියෙන්නේ කොළඹ " වීසා නිලධාරියා නුවර සංචාරය කළ අයෙකි.
"කොළඹ කොයි හරියේද"
"කොළඹ ළඟම කිමී 15 - 20 ක් වගේ "
( නි.) "ඔබ ලංකාවේ වෙන්න බැහැ, මෙයා ඇත්තටම කොහෙන්ද කියල අහන්න "
දෙමළ පරිවර්තක ප්‍රශ්නය අහයි.
අයදුම්කරු කෝපවී කෑ ගසා පෙරලි කරයි.
නිලධාරියා සිතියමක් පෙන්වා ඔහු ගේ නිවස පිහිටියේ කොහේ දැයි අසයි. ඔහු පෙන්වන්නේ කඳාන ප්‍රදේශයයි. ඔහුට වචන පැටලී ඇත.
පසුව ඔවුන් සොයා ගන්නා ලද්දේ ඔහු දකුණු  ඉන්දියානු ජාතිකයකු බවයි. එංගලන්තයට මිනිසුන් එවන කල්ලියක් මගින් මුලින් ශ්‍රී ලංකාවට යවා කඳාන ප්‍රදේශයේ තාවකාලිකව රඳවා ලංකාවේ ගමන් බලපත්‍රයක් සමග එංගලන්තයට එවා ඇත. ශ්‍රී ලංකා පොලිස් වාර්තාවක්ද සහිතවය. මෙවැනි සිද්දීන් බොහොමයකි. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයෙන් බ්‍රිතාන්‍ය වීසා දීම නවත්වා  අයැදුම්පත් චෙන්නායි වලට යැවීම තවත් එක් හේතුවක් ද  විය හැකිය. ඔවුන්ට (චෙන්නායි)  මෙවැන්නන් හඳනා ගැනීම පහසු යයි සිතන්නට ඇත. (අනික් හේතුන් අතර හොර වීසා සිද්ධියක් හා වීසා දීමට කළ දේශපාලන බලපෑමක් යයි කියති ). සිද්දිය එලියට ආවේ පරිවර්තකයා මගිනි. යාපනයේ දෙමළ මහතා දකුණු ඉන්දියානු දෙමළා ට කැමති නැත. (උඩින් හොඳ හිත පෙන්වීම  වෙනත් දෙයකි. )


මෙය ලිව්වේ බුකියේදී මම එරන්දිට මා දැමු ප්‍රතිචාරයකට ළාබාල තරුණියක් එංගලන්තයේ ඉමිග්රේෂන් ට්‍රිබියුනල් ගැන වාදයකට ආ බැවිනි. 
ඒ කාලයේ ලංකාවේ යුද්ධය නිසා අනාථ වුවන් ලෙස බොහෝ දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් මෙහි පැමිණියහ. LTTE සංවිධානය මෙන්ම වෙනත් සංවිධානද මේ ගේමට සම්බන්ධ විය. 
මේ එන අය ගෙවන මුදලින් කඳාන කොටහේන වැනි ප්‍රදේශ වල නිවාස  රැගෙන ඔවුන් එහි තබා තිබුණි. ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඇතුලේ සහයක්ද දේශපාලන බලපෑම් මත පැමිණි සහයක්ද තිබුණි. 
මෙසේ එංගලන්තයට ගෙනා  මිනිසුන් ගෙන් ඔවුන් කප්පම් ද ගත්හ.  එසේම මෙහි පවතින පෙළපාලි වලට සහභාගී වීමද අනිවාර්ය වීය.

පොලිස් වාර්තා ගැනීමට සිංහල රාළහාමි කෙනෙකුට පවුම් 50-100 අතර මුදලක් පගා දෙනු ලැබේ.
ඔවුන්ට ගැහු සාක්ෂිද ඇත. ගහන්න ඇත්තේද සල්ලි වලට විය යුතුය .

මේවාට  උදව් දුන් අය අතර පසුගිය ආණ්ඩුවේ දේශප්‍රේමින් කිහිප දෙනෙකුද  සිටියේ යයි කියති. එම ද්වේෂප්‍රෙමින් කියා ඇත්තේ, " ලන්ඩන් නේ යන්නේ. සුද්දට නේ කෙලවෙන්නේ" කියයි. ලැබෙන මුදල් සාක්කුවේ දමා ගෙන දෙමල විරෝධී වේදිකා වලටද ගොඩ වූවන් සිටියේ යයි ද කියති.

පකිස්ථානු ජාතිකයන් මෑතකදී සිරියානුන් ලෙස ජර්මනියේ දේශපාලන අනාථ  භාවය ගෙන තිබුනි. 

මේ කවුරු කොහොම ලන්ඩනයට ආවත් මට ප්‍රශ්නයක් නැත. මම නම් කියන්නේ යන්නට පුළුවන් නම් ඕනෑම ක්‍රමයකින් ගියාට ආවාට  කමක් නැත කියයි. මිනිසුන් සටන් කරන්නේ ජිවත් වන්නටය. මෙයත් එවැනිම සටනකි. කැන්ඩි ගැන කියා දේශපාලන අනාථ භාවය ඉල්ලන එකා ගැන මගේ තරහක් නම් නැත.

මේ තවත් එවැනිම කථාවකි.
Asylum seeker from Sri Lanka let himself be tortured with hot iron bars to support his bid to stay in Britain


Wednesday 7 February 2018

දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීම හෙවත් බ්‍රිගේඩියර් රංගනය

ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ අභිනය 
දිනය: 2018 පෙබරවාරි 07
ස්ථානය : ලන්ඩනයේ ටුටීන් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දමිළ නිවසක්
දමිළ මහත්මයෙකු වන ගනේෂ් ඉතාමත් භක්තියෙන් යුතුව හමුදා ඇඳුමක් ලාගත් නිලධාරියෙකු ගේ රුවකට  හඳුන්කූරු අල්ලයි. සුදු හඳුන් දැමූ තාච්චියක් අල්ලමින් ඔහුගේ පිළිරුව අනිත් දෙවියන් වන ශිව, ගණ දෙවියන් ආදීන් අසලින් තබයි.  නිවසේ සීනුව නාද වේ.  ගනේෂ් ගේ බිරිඳ පාර්වතී දොර හරියි.
යොවුන් වියේ දෙමල තරුණයෙකු ඇතුළු වේ. ගනේෂ් ගේ ක්‍රියව දකින ඔහු පරල වී කෑ ගසයි.
"ගනේෂ් මාමා ඔහෙට පිස්සු තද වෙලාද මේ සිංහල ආමි එකේ ලේ පිපාසිත සොල්දාදුවෙකුට වඳින්න? මොන යකා වැහිලද ඔහෙට ?"
පාර්වතී කොල්ලා අස්වසයි. "කෑ ගහන්න එපා පුතා. අපේ දෙවියෝ එතුමාව අපට එවල තියෙන්නේ. බ්‍රිගේඩියර් තුමා හරි හොඳයි. එතුමා නැත්නම් අපි ඉවරයි. අන්කල් ගෙන් අහන්න විස්තරේ "
"මොන පිස්සුද ආන්ටි. අපේ පවුලේ කි දෙනෙක් මැරුණද යුද්දෙන්"
"මේකයි පුතා." ගනේෂ් රැල්  බුහුරු හැර උගුර පාදයි.
"මේකයි. අර අපේ නීතිඥයයි, ටිජීටිඑෆ් (රටින් පිට දෙමල රාජ්‍යය) එකේ කට්ටියයි කිව්වනේ මට අර ලංකාවේ  තානාපති කාර්යාලේ ඉස්සරහ උද්ඝෝෂනේ ට යන්න  කියල"
"ඔව් ඉතින්"
" ඒ කිව්වේ උද්ඝෝෂනේ මම ඉන්න  ෆොටෝ ටිකක් ගහල ගෙනත් දෙන්න කියා කිව්වනේ. ඊට පස්සේ අපෙ පවුලේ දේශපාලන අනාථ බව ඉල්ලන  අයදුම්පතට ඇතුල් කරනන් ඕනේ කියල. අපට හිරිහැර වුණා කියල තියෙන සාක්කි මදි කියල"
"ඔව් ඉතින් මේ සිංහල සෝල්ජර් මෙතන මොකද කියලනේ මම ඇහුවේ "
"ඒ නිකන් සොල්ජර් නෙමේ. බ්‍රිගේඩියර් මහත්තයෙක්.  මහත්තය එලියට ඇවිත් අපේ එවුන් එක්ක කතා කරානෙ . අර ඉන්දියාවේ චෙන්නායි හිටන් ආපු නඩා මල්ලිත් හිටිය. ඌ එක එක ඒවා කියල මහත්තයා තරහ ගැස්සුවා. "
"ඉතින්"
"එයාට තරහ ගිය පාර බෙල්ල කපනවයි කියල මෙහෙම පෙන්නුවා " ඔහු එය අභිනයෙන් රඟ දක්වයි .
"ඊට පස්සේ "
"ඊට පස්සේ මොනාද . අපේ එකෙක් ඒක වීඩියෝ කරලා. අපි හැමෝටම කොපිය ගානේ දුන්න. ඒක  නීතිඥයා ටත් ටිජීටී එෆ් එකෙන් දීල. අපේ අසයිලම් වැඩේ ටක්කෙටම හරිලු දැන්. ඕවගේ මරණිය තැනකට (රටකට ) යවන්නේ නැහැලු ආගමන විගමන  මහේස්ත්‍රාත් කීයටවත් "
"මාරයි නේ"
"ඔව් වීසා හම්බ වුණාම  ලංකාවට ගිහිල්ල එමු."
ඉන්පසු තිදෙනාම එකතුව බ්‍රිගේඩියර් තුමාගේ පිළිරුවට මල් මාලයක් පළඳා උපහාර දැක්වූහ.

මම මේ ලිව්වේ ප්‍රබන්ධයකි. එහෙත් සත්‍යය එතරම් දුර නැත. කොන්සර්වේටිව් පක්ෂය සඳහා වන දෙමළ ජාතිකයන් (Tamils for Conservatives) සංවිධානයේ සභාපති වන අර්ජුන් ආසිර්වාදන් මහතා මගේ මිතුරෙකුට ඊයේ කියා ඇති පුවත මෙසේය.

පසුගිය පෙබරවාරි හතර වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට  පැවති  ද්‍රවිඩ ජාතිකයන් ගේ උද්ඝෝෂණයට සහභගි වුනු අයගෙන් සීයට අනූවක්  පමණ විසා ප්‍රශ්න තිබෙන අය වෙති. සමහරු බ්‍රිතාන්‍යයෙන්  පිටුවහල් කිරීම  සඳහා ලිපිද ලැබී ඇති අයයි. මොවුන් මෙහෙයවා ඇත්තේ ටිජීටිෆ් හෙවත් "රටින් පිට දෙමල අයගේ ඊලාම් රාජ්‍යය (Transitional Government of Tamil Eelam) නම් සංවිධානයකිනි. LTTE සංවිධානය තහනම් වූවාට මෙම සංවිධානය තහනම් නැත.

මේ උද්ඝෝෂණයේ සිටි  සමහරුන් මෙහි වෙසෙන දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් බවටද හඳුනාගෙන ඇත.

ආසිර්වාදන් මහතා කියන පරිදි එම උද්ඝෝෂණයේ පරමාර්ථය වී ඇත්තේ පින්තුර ටිකක් ගැනීමය. ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ දී සිට ගන්නා පින්තුර සමහරක් ටිජීටිෆ් එකට මුදල් එකතු කරන්නට උපයෝගී කරගනිති. අනිත් පින්තුර අසයිලම් හෙවත් දේශපාලන අනාථ භාවය හෙවත් වීසා ලබා ගැනීමේ අයදුම්පත සඳහාය. බොහෝ අයට නඩු තිබේ. මේ පින්තූර භාවිතා කරන්නේ එම ආගමන නඩු සඳහාය.  එය බොහෝ අය දන්නා දෙයකි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා  හොඳ අයකු නිහතමානී අයකු බව බොහෝ අය කියති. එහෙත් ඔහු බෙල්ල කපන බවට කල තර්ජනාත්මක රංගනය  එතරම් කල්පනා කර කල දෙයක් බව නොපෙනේ. එයට හේතුව ඉහත අයදුම් පත් වලට පෙන්වන්නට ඔහු නිරායාසයෙන්ම හොඳ වීඩියෝවක් තනා දී තිබීමයි.

එම වීඩියෝව බලන ආගමන විගමන මහේස්ත්‍රාත් වරු (Immigration tribunal) ඉහේ අත ගසා ගනු ඇත. මෙවැනි තානාපති නිලධාරියෙක් සිටින රටකට ඔවුන්ට මේ දේශපාලන  අනාථයින් යැවිය නොහැකිය. ඔවුන්ගේ ද රස්සා ගහලා  යන වැඩකි. ඔවුන්ට එම අයදුම්පත්ලාභීන් ට "allow " (බ්‍රිතාන්‍යයේ ජිවත් වීමට -ඉඩ දුන්නා ) යන මුද්‍රාව තැබීමට  අනිවාර්යයෙන්ම සිදු වේ.

එසේම ශ්‍රී ලංකා ජනාධිපති වරයාද කළ ඇත්තේ කල දුටු කල වල ඉහ ගැනීමකි. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා  මේ අවස්ථාවේ ලංකාවට ගෙන්වුවොත් එය ඔහුට අවාසියකි. ඔහු එංගලන්තයේ සිටින තරමට  ජනාධිපතිවරයා ගේ චන්ද ව්‍යාපාරයට වාසි සහගතය.

හැබැයි ප්‍රියංකර මහතාට මම නම් කියන්නේ ලංකාවට යන ලෙසය. හේතුව  බ්‍රිතාන්‍ය නීතියට අනුව ඔවුන්ට ඔහුව "persona non grata" පර්සනා නන් ග්‍රාටා ලෙස නම් කළ හැකිය. එසේ කළ විට ඔහුගේ තානාපති මුක්තිය අහිමි වේ. (diplomatic immunity) ඉන් පසු ඔහුට නඩු දැමිය හැකිය.  එම අවස්ථාවට  පත් වීමට අවශ්‍ය නැත.

බුකියේ වීරයන්ට කියන්නට තියෙන්නේ මෙයයි. වෙල්ලස්සේ කැරැල්ලේදී සුද්දා ගේ  වෙඩි උණ්ඩයට දුවගෙන ඇවිත් මිය යාම වීර කමක් බව ඇත්තය. සුද්දා  ගේ තුවක්කු සමග සමග කොට අසිපත් වලින් කෙලින්ම සටනට යාම අගය කළ යුතු  නිර්භීත කමකි. නමුත් මොළේ තිබුනා  නම් කරන්නට තිබුනේ කන්ද උඩරට වන දුර්ග , දුෂ්කර මාවත් ආදිය උපයෝගී කර ගනිමින් ගරිල්ලා යුද්ධයක් අවුරුදු ගාණක් තිස්සේ දියත් කිරීමය. එසේ කළානම් සුද්දා කන්ද උඩරට දාලා යන්නේ අටසිය ගණන් වලය. එසේ නම් අදත්  වෙල්ලස්ස සශ්‍රීක පෙදෙසක් වනු ඇත.




//wikipedia- In diplomacy, a persona non grata (Latin: "person not appreciated",) is a foreign person whose entering or remaining in a particular country is prohibited by that country's government. Being so named is the most serious form of censure which a country can apply to foreign diplomats, who are otherwise protected by diplomatic immunity from arrest and other normal kinds of prosecution.//