Sunday 28 January 2018

හබරළ යාය, සයිබර්යාය, නෙළුම් යාය හැර තවත් යාය වල් ඇත්ද මහරජ

පහුගිය දවස් වල ඊමේල් සෑහෙන ප්‍රමාණයක් ලැබුන යාය උළෙලක් ගැන අහල . ඒ වගේම මෙසෙන්ජර් එකෙනුත් සමහරු ඇහුව. ජනවාරි මාසෙත් අවසාන වීගෙන යන නිසා වෙන්න ඇති.

හැබැයි ඒ කියන්නේ මම හිතන් හිටියට වඩා ඒ වැඩේට නිහඬව  හරි සහයෝගය දුන් කට්ටිය, කැමති වෙලා හිටි කට්ටිය ඉඳල තියනවා.  ඒ වගේම ඉතින් හිත යටින් කැමති වුනත්, එළිපිට අකමැති බව පෙන්වන අයත් ඉන්නවා. ඉතින් මම කල්පනා ඒ හැමෝම වෙනුවෙන් විස්තරයක් හොයල දාන්න. ඔව් ඔව් අර අහවල් යායේ සම්මාන උළෙල වැඩේ ගැන.

අනික " ගම ජවිපෙට භාර දෙමු" කියල වයිබර්, ෆේස්බුක් මෙසෙන්ජර් , වට්සැප් වලින් එන වීඩියෝ සහ මෙසේජ් සංඛ්‍යාව නිසා ඔය පණිවිඩ බලන එකත් මදකට නතර කරලා තියෙන්නේ. භාර දෙන්නවත් මට ඔය ගමක් භාර වෙලා හිටියේ නැහැ කියල කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ.

සම්මාන උළෙලවල් ගැන මුකුත් කියන්න දන්නේ නැති නිසා පොඩ්ඩක් හොයල බැලුව. දැනට දැන  ගත්තේ මෙපමණයි. හුඟක් වෙලාවට මාර්තු මාසයේ සම්මාන උළෙල පොජ්ජ පැවැත්වෙන්නේ නැහැ.

එතකොට කවදා  හෝ පවත්වනවාද කියන ප්‍රශ්නයට පිළිතුර තමා  ජූනි හෝ ජුලි මාසයට කල් දමල කියන එක.  ලංකාවේ  තියනවලු ඊ සොසයටි (e-society) කියල එකක්. ඒ ගොල්ලන්ගේ සහභාගිත්වයෙන් සහ සංවිධායකත්වයෙන්  ලු මීළඟ සම්මාන  උළෙල පැවැත්වෙන්නේ.  ඒ ගොල්ලෝ කරනවයි කියන්නේ නෙළුම් යාය සම්මාන උළෙලේම දිගුවක් ලෙස සයිබර් සම්මාන උළෙලක් ලු. බ්ලොග් වලට අමතරව  ෆේස්බුක් ආදී  සමාජ ජාලා හා වෙනත්  වෙබ් අඩවි වල පළවන නිර්මාණත් සලකා  බලනවලු.

එතකොට නෙළුම් යාය පදනම? ඒ ගොල්ලෝ "පීරියඩ් පවර්ටි " කියල ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවලු ළඟදීම පොලොන්නරුව පැත්තේ.  (දැනට ගුරුත්වාකර්ෂණ  බලය වැඩියෙන්ම රැඳිලා තියෙන්නේ ඒ හරියේ වෙන්න ඕනේ.) .  ඒ කියන්නේ සනීපාරක්ෂක තුවා ආදිය මිලදී ගන්න නොහැකි කාන්තාවන්ට  උදව් කරන ප්‍රොජෙක්ට් එකක්. එංගලන්තයේත් තියන ප්‍රශ්නයක්.

ඊට අමතරව නෙළුම්  පදනමෙන් පටන් ගන්න වලු  යාය ගුවන් විදුලියක් සහ යාය රූපවාහිනී සේවයක්. යාය ගුවන් විදුලිය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ගේ මුලිකත්වයෙන් ලු පටන් ගන්නේ.දක්ෂයන් ආවොත් කැමැත්තෙන් භාර ගන්නවලු.

නෙලුම් යායේ පළවන බ්ලොග් ලිපි පිළිබඳව මම දන්නා විධිහට දැනට කටයුතු කරන්නේ ලංකානිව්ස්වෙබ් හි උප කර්තෘ උපුල්.  ඒ කියන්නේ ලංකා  නිව්ස් වෙබ් හි නෙළුම් යාය සහ සයිබර් යාය විශේෂාංග පිටු  වලත් නෙලුම් යාය වෙබ් අඩවියෙත්. තම  ලිපි පල කර ගන්න අවශ්‍ය අයට මේ ලිපිනයට යැව්ව හැකියි . Deputy Editor : deputyeditor@lankanewsweb.net . තත්වය ළඟදීම වෙනස් වන්නට නියමිතයි ලු අළුත් පිරිසක් සමග.

ඔන්න ඔපමණයි දන්නේ. වැඩි විස්තර අහන්න තියෙන්නේ ඒ වෙබ් අඩවියෙන්ම තමයි.  

මට පණිවුඩ එවා හා කතා කළ, දිරිමත් කළ සහෘදයන්  සියල්ලටම ස්තූතියි. 






Wednesday 24 January 2018

අහවල් ඡන්දය

මගේ පරණම යාළුවෙක් හදිසියේ පසුගියදා දුරකථනයෙන් මා ඇමතීය.

"මචන්  මොකද කරන්නේ චන්දෙ ගැන "
"මොන චන්දෙද "
"මේ ලංකාවේ චන්දෙ"
"මම මොනවා කරන්නද? චන්දෙ දෙන්න කියලය, මෙහේනේ ඉන්නේ "
"නැහැ බං , මට නම් හිතන්නේ ජේවීපී එකට සපෝර්ට් කරන්න . උඹ මොකද කියන්නේ "
"මොනවා කියන්නද? මට කොහොමත් චන්දයක් නැහැ. අනික ඔය චන්දෙන් මොකවත් වෙනස් වෙන්නේ නැහැනේ. ඕක නිකම් ප්‍රාදේශීය සභා  චන්දයක්. ආණ්ඩුව කොහොමත් දන්නවා තමන් ජනප්‍රිය කමින් අඩුයි කියල. නමුත් ආණ්ඩුව වැටෙන එකක් නැහැ.  දෙන කෙනා කොහොමත් දෙන්නේ තමන් අවුරුදු ගාණක් ඡන්දේ දුන් පක්ෂේටම තමයි "

"ඒකනේ  මචන් ඒ නිසාම තමයි ජවිපෙට ප්‍රාදේශීය සභාවල  බලය දෙන්න ඕනේ. උන්ගේ  හොර බොරු නැහැනේ. අනුර කුමාර හෙම කොච්චර හොඳට පාර්ලිමේන්තුවේ කතා කරනවද? උන් වැඩක් කරයි බන් ගමයි, ප්‍රදේශයයි  දුන්නොත්?"

"මට ඇත්තටම කියන්නේ දෙයක් නැහැ. ඒ ගොල්ලෝ හොඳට තර්ක කරනවා  නම් තමයි. බැදුම්කරයට,  පරණ ආණ්ඩුවේ දූෂණ වලට විරුද්ධව හෙම."

"ඒකනේ සපෝර්ට් එකට මොනවා හරි ලියපන්කො"

ඇතැම් බ්ලොග් ලියන මහත්වරුන් කිහිප දෙනෙක්ම  ජවිපෙ ප්‍රාදේශීය සභා චන්දයට සහය දෙන බව දුටුවෙමි.

මට නම් ඇත්තේ අර දයාපාල තිරාණගම මහතා  මේ දිනවල ෆෙස්බුකේ දිගින් දිගටම පල කරන අදහස් වලට සමානව සෑහෙන විචිකිච්ඡාවකි.

මේ ඔහුගේ අදහසකි.
"යුරෝපීය අවතාරය සහ අපේ අවතාරය
****************************************
ශාස්ත්‍රාලීය උගතුන් අලුත් ප්‍රචාරක උපක්‍රම මගින් පලාත්පාලන චන්දයේදී චන්දදායකයින් බිය කිරීම සහ ජවිපෙ පිළිබඳව දෘෂ්ටිමය සහ දේශපාලන වෙනස් මත දරන්නන් ගේ සිත් සතන් තුල බිය ජනිත කිරීම ට මහත් වෑයමක් දරමින් සිටින බව පෙනේ.ලංකාවේ චන්ද දායකයන් බිය කිරීම දැන් එතරම් ලේසි කරුණක් නොවේ.මෙබඳු බිය කිරීම මගින් ඔවුන්ට තිබෙන චන්ද නැති වීමට ද පුළුවන.
මාක්ස් සහ එංගල්ස් කොමිනිස්ට් වාදයේ අවතාරය යුරෝපීය රටවල හොල්මන් කරන බව ප්‍රකාශ කළ දේශපාලන සන්ධර්භය අතිශයින්ම වෙනස්ය. නිවැරදිය.ලෙනින්ගේ අභාවයෙන් පසුවසෝවියට් සංගමයේ ලක්ෂ ගණනින් නඩු විභාගයක් නොමැතිව ඝාතනය කරන විට සහ ජවිපෙ විසින් වාමන්ශිකයන් 1987-89 තුල මහා මග දඩාවතේ යන බල්ලන්ටත් වඩා කුරිරු ලෙස මාර දමන විට මේ අවතාරයඉටු කරන ලද අපකීර්තිමත් කාර්යභාරය වෙනස්ය.
ද්‍රවිඩ ජනතාව ට විරුද්ධ 30 වසරක යුධයේදී බර අවිවලින් පහර දෙන ලෙස උපදෙස් දුන් සහ ඔවුන්ට පහර දීම සඳහා යුධ අගල් කපන විට මෙය නැවතත් ජනතා ද්‍රෝහී සබැ අවතාරයක් විය.ද්‍රවිඩ ජනතාවාද ඒ පැත්තෙන් මේ අවතාරයට බිය විය යුතුය.
සමහර විට ජවිපෙට උපදෙස්දෙන්නන් පවා මෙයට බිය යුතුය.සර්වාධිකාරීත්වය සඳහා මාන බලන පක්ෂයන් අවසානයේ තම සතුරන්ට එරෙහිව පමණක් නොව මිතුරන්ට ද සලකන්නේ එකම ආකාරයේ කෘරත්වයකිනි .ජවිපෙ සිය අතීත අනුගාමිකයන්ට සලකා ඇති ආකාරය සහ වර්තමානයේ ඔවුන්ට දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ අයට කර ඇති තර්ජනයන් ගෙන් මෙය හොඳින් පැහැදිලිය.
ජවිපෙ තම ඉතිහාසය තුල පාර්ලිමේන්තුවාදී පක්ෂයක් ම නොවීය.තම අතීතය ප්‍රතිනිර්මාණය නොකරන බවට කිසිම සහතිකයක් ඔවුන් දී නොමැත.එබඳු තත්වයක් යටතේ අවතාර කතා කියමින් බිය කිරීම ශාස්ත්‍රාලීයඋගතුන් ට ඔබින දෙයක් නොවේ.
අප ජීවිතයට අසීමිත ලෙස ආශ කරමි.නමුත් යුක්තියට සහ අසාධාරණයට විරුධව නැගිසිටිමේදී එයට සිමාවන් පැනවේ." දයාපාල තිරාණගම (උපුටා ගැනීම අවසන්)

පළමුවැන්න නම් අනුර කුමාර මහතා පරණ වැරදි වලට සමාව ඉල්ලීමය. හැත්තෑ එකේ කැරැල්ල හා 88-89 භිෂණය ගැන සමාව ඉල්ලනවා නම් ශ්‍රී ලංකාවේ  ප්‍රධාන පක්ෂ තුනම ශ්‍රීලනිපය, එජාපය හා ජවිපෙ එකිනෙකා ගෙන් හා ශ්‍රී ලංකා  ජනතාව ගෙන් සමාව ඉල්ලිය යුතුය. අනිකුත් වාමාංශික පක්ෂද අඩු වැඩි වශයෙන් මේ සිදුවීම් වලට  වග කිව යුතු නිසා ඔවුන් වැඩ සහභාගී කර ගත යුතුය.  කොමිෂන් සභා පත් කරගත යුතු කාරණයකි එය.

ශ්‍රී ලනිපය 71 දී හා එජාපය අසූ ගණන් වල මර්දනයක් ගෙන ගිය බව සත්‍යයකි. ජවිපෙ කැරැල්ලට මග පෑදීමට සිරිමා ගේ රජයේ ඇතැම් ක්‍රියාදාමයන් අනුබලයක් වුනු අතර,  ජවිපෙ තහනම් කරමින් හා වෙනත් අන්දමක මර්දනයක් ගෙන ගිය ජේ ආර් ගේ රජයටද 88-89 භිෂණය ගැන ප්‍රබල වගකීමක් ඇත. එනිසා අනුර කුමාර මහතා  හා ජවිපෙ කල යුතුව තිබුනේ හෝ තිබෙන්නේ ජවිපෙ පැත්තෙන් ස්වයං විවේචනයකට යාමය.

දයා  පතිරණගේ සිට නන්දන මාරසිංහ දක්වාද, ඇතැම්  වාමාංශික හා එජාප  නායකයන්ගේ මරණ දක්වාද වන කතිකාවේ දී  ජවිපෙ සාමාජිකයන් හෝ පෙරටුගාමී සමාජවාදීන් වරදක් දකින්නේ එවකට තිබූ රජයේ පමණි. එවකට තිබූ ජවිපෙ වගකීමක් ඔවුන්ට පෙනෙන්නේම නැත.

අද ඔවුන් කියන්නේ,  ඉහත කී ඇතැම් කරුණුද, එවකට  පැවති රජය කළ යුද්ධයට කොන්දේසි විරහිත සහයක් දුන් සෝමවංශ ගේ ජවිපෙ ගැනද අමතක කර මෙවර ඡන්දය දෙන ලෙසය.

හොඳයි මිනිසුන් ඒවා අමතක කළා යයි සිතමු.

නමුත් මෑතක දී පැවති උත්සව වලදී ඇතැම් ජවිපෙ නායකයන්ට පාක්ෂිකයන් වැස්සට කුඩ අල්ලන් යන අයුරුද, අනුර කුමාර මහතා  නිර්ධන පන්තිය ගැන කතා කරමින් ගුවන් යානා වල පළමු පන්තියේ යන අයුරු පෙනන ඡායාරූපද සමාජ ජාලා  වල සංසරණය වේ.    එසේම සමන්මලී නම් අපේක්ෂිකාවක ගැහැණුන්ට  බීම මිලදී  ගැනීම තහනම් කිරීමේ  යල් පැනගිය සුද්දා  ගේ නිතියට  පක්ෂව කතා කළ වගක්ද පුවත්පත් ආදියේ  පළවේ.
ගැහැණුන් බොන එක හොඳ නැහැ - සමන්මලී 
ලංකාවේ මිනිස්සු බොන විධිහට වෙරි වෙලා වැටෙන්නට බීමත් වීමට කාටවත් ඕන කමක් ඇතැයි මම නොසිතමි. ගැහැණියෙක්  වයින් වීදුරුවක් බොන එකේ  ප්‍රශ්නයකුත් ඇතැයි යයිද නොසිතමි.

තවත් නායකයෙක් උඩරට මගුල් ඇඳුමින් (නිලමේ ඇඳුමින්) සැරසී  විවාහ වෙනු ද දැක ඇත්තෙමි. ප්‍රශ්නය වන්නේ ඔහුට පෞද්ගලිකව ඒ සඳහා අයිතියක් තිබුනද ඔහු කියන  ඔහුගේ පන්ති ව්‍යාපාරයට එය ගැලපෙන්නේ නැති කමයි.

තවත්  වෛද්‍යවරයෙකු යයි කියා ගන්නා එම පක්ෂයේම අයෙක් සමලිංගික මිනිසුන් සහ ගැහැනුන් ට අයිතීන් නැතියයි  කියයි. ලෝකයේ බොහෝ රටවල් ඒ පිළිබඳව ඉදිරිගාමිව බලද්දී වාමාංශික යයි කියා ගන්නා පක්ෂයක් අන්ත පසුගාමී  බවක් පෙන්වයි.

අනුර කුමාර මහතා ගුවන් යානාවක පළමු පන්තියේ 

අර අනුරගේ පින්තූරය  ගැන ජවිපෙ පාක්ෂිකයෙක් ලිය එවූ ප්‍රතිචාරයකි මේ.

"පැහැදිලිම මේ ඡායාරූපය ජනතා විමුක්ති පෙරමුණේ නව ප්‍රවණතාවක් පිළිබඳ හැදෑරීමට ඇරයුම් කරන සංකේතාත්මක ඡායාරූපයකි. එම නව ප්‍රවණතාවය වන්නේ අන් කිසිවක් නොව, යල් පැන ගිය දේ බැහැර කර ජනසම්මතවාදී පක්ෂයක් වශයෙන් ඉදිරියට ඒමේ ප්‍රවණතාවයයි. පවත්නා ක්‍රමය තුළම, එයට අභියෝග කරමින් හැසිරෙමින් ඔවුහු සිද්ධාන්ත වැළඳගත් බොල් පොළොවෙන් මහ පොළොවට බැස සිටිති. ඒ නිසා අනුර කුමාර දිසානායක යනු වත්මන් දේශපාලන භාවිතය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දිශානතිය පිළිබඳ රූපකයකි. එනම් මෙටෆෝ එකකි. එම රූපකය අප කියවා ගත යුත්තේ හුදු අන්තවාදය සහ පටු අදහස් බැහැර කරමින් නවමු මානයක සිට ය.
එනිසා පංති වෛරයෙන් යුතුව කරන හුදු නර්මාලාප වෙනුවට අප සිහිතබා ගත යුත්තේ අප මේ ජීවත් වන්නේ 18 වන සියවසේ නොව 21 වන සියවසේ බව ය. රජරට මිනුම් දෙපාර්තමේන්තුවේ මැනුම් කම්කරුවෙකුගේ හා අකුරු නොදත් සාමාන්‍ය කාන්තාවකගේ පුතෙකු වන අනුර කුමාර දිසානායක හෙවත් ‘අරවින්ද‘, දූෂණයකින් තොරව කාර්යක්ෂමව රට වෙනුවෙන් තමන්ගේ කාර්යය ඉටු කරන්නේ නම් ඒ සඳහා ඔහු කාගේ ජෙට් එකේ - කුමන ව්‍යාපාරික පන්තියේ ගියත් අපට ප්‍රශ්නයක් නැත."(උපුටා ගැනීම අවසන්)

ඒ කියන්නේ  ජවිපෙ පාක්ෂිකයන්  කියන්නේ මේවාද අමතක කර දමන ලෙසය.
මේ මහතා කියන පන්ති වෛරය කරලියට ගේන්නේ මාක්ස්වාදී පක්ෂ බව ඔහුටම අමතක වී ඇත. මටත් අනුර පළවෙනි පන්තියේ ගියාට ගාණක් වත් නැත. මුදල් ඉතිරි කර ගැනීමට මම යන්නේ එකොනොමි ක්ලාස් එකේය. කම්පනියෙන් යනවා නම් ඉඳහිට වැඩි මුදලක් ගෙවන හෝටල් වල නතර වීම මගෙත් සිරිතය. අනුර කුමාර මහතාට හොඳ කම්පැනියකින් ගුවන් ටිකට් පත අරන් දුන්නා විය හැකිය. එංගල්ස් ට කම්හල් තිබුණු එකේ අනුර පළමු පන්තියෙන් යාම ප්‍රශ්නයක් කර ගන්නට අවශ්‍ය නැත.

කෙසේ හෝ වේවා 21 වැනි සියවසට යන්නට නම් ඔවුන් සමන්මලී, දොස්තර නලින්ද  ජයතිස්ස , විජිත හේරත් වැනි සාමාජිකයන් මුලින්ම එතනට ගෙන යන්නේ නම් වඩා හොඳය. එසේම මේ සටහනට අනුව ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී පක්ෂයක් වී ඇත. එසේ නම් තව දුරටටත් එය මහජනයාගෙන් සඟවා තබා නොගෙන කෙලින්ම වේදිකාවේ ප්‍රකාශයට පත් කිරම වඩා අවංකය.

ඒ අතරේ සමන්ත විද්‍යාරත්න මහතා වන අයද  සිටිති. අසාධාරණයට ලක් වුවන් සඳහා පෙනී සිටීම, තමන් ජිවත් වන ප්‍රදේශයේ පරිසරය රැක  ගැනීමට පෙනී සිටීම, ඒ ඒ ප්‍රදේශයේ දුර්වල දුෂිත ප්‍රාදේශීය  පාලනයන්ට නොබියව එරෙහි වීම මගින් ජනතා අයිතීන් රැක ගන්නට සටන් කරන එවැනි මහතුන් ද එම පක්ෂයේ ම සිටිති.

ඔය අතරේ ටිචර්ලාට කියා බලෙන් වන්දවා ගන්න දේශපාලකයන් කිහිප දෙනෙක් ද, දුෂණ චෝදනා එල්ල වුනු බොහෝ දෙනෙක්ද අනිකුත් පක්ෂ වලින් තරඟ  කරති. එවැනි අයට  චන්දය දෙන්නට සැදී පැහැදී සිටිනා බොහොමයක් චන්දදායකයන් ද අවාසනාවකට මෙන්  සිටිති.


මේ ඡන්දයෙන් රජය පරාජය වීමක් සිදු නොවුනත් මෙය රජයට කිසියම් බලපෑමක් කල හැකි ඡන්දයකි. වෙන වැදගත්කමක් මේ ඡන්දයේ නැත.

එනිසා චන්දය දෙනවා නම් චන්දය ඉල්ලන පුද්ගලයා ගැන තක්සේරුවක් කර වඩා ක්‍රියාකාරී ලෙස ගමට උදව් කරන,  සමාජයට ගමට  අවැඩක් නොකරන බවට සහතිකයක් දිය  හැකි  , අවම වශයෙන් කිසිම   වංචා දුෂණ චෝදනාවකට,  තග් කමකට චෝදනා  නැති,  ඕනෑම පක්ෂයක අයෙකුට චන්දය දී ඔවුන් දිනවිය යුතු බව ඇර කියන්නට දෙයක් නැත.

මේ මට ලැබුණු තවත් පින්තුරයකි.
සිංගප්පුරුවේ ඇමති මණ්ඩලය 

මේ පින්තූරයේ අරමුණ උගතුන් පත් කර ගැනීම නිසා සිංගප්පුරුව දියුණු වී ඇති යයි පෙන්වීමකි. එහි වරදක් නැත. උපාධියක් ගත් පමණි යමෙක් උගතෙක් වේ යයි හෝ රට පාලනය කිරීමට  හැකි වේ යයි සිතීම මුලාවකි. උගත් යයි කියන අයගේ වරදවල් ඕනෑ තරම් තිබේ. එහත් එය හොඳ ආරම්භයකි.

මගේ විවේචනයට විරුද්ධ අයට  සාධාරණය ඉටු කරනු වස් මහින්ද (ඔව් මහින්ද තමයි නම :) ) නම්  ජවිපෙ හිතවතෙකු එවූ සටහනක්ද මෙහි පල කරමි.

"සියලු  ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන කාරුණික ආයාචනයයි.පලාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවත්වීමට සූදානම් මොහෝතේ  මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනෙකුට යවන්න. ඔවුන් තව පස් දෙනෙකු වෙත යැවීම තුලින් දම්වැලක් පරිදි ව්‍යාප්ත කරමු.
1. දූෂිත පුද්ගලයන්, අයථා ක්‍රම මගින් මුදල් උපයන්නන්, පරිසරයට අහිතකර ව්‍යාපාර සිදු කරන්නන්, හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට චන්දය දීමෙන් වැලකී සිටින්න .
2. පෙර සිටි, අලස, අක්‍රීය, කාමයට සහ සුරාවට ලැදි, ලිංගික අල්ලස් ඉල්ලා සිටින පුද්ගලයන් නැවත පත්කිරීමෙන් වලකින්න .
3. පවුල් පසුබිම හොඳ , උගත්, වැදගත් පුද්ගලයකුට පමණක් ඔබේ වටිනා චන්දය භාවිතා කරන්න .
4. අන් අයට අපහාස හා අගරු කරන පුද්ගලයන්ට  චන්දය දීමෙන් වලකින්න .
5. ඉදිරියේදි මොවුන් පලාත් සභාවටත් , පාර්ලිමේන්තුවටත් පත් විය හැකි නිසා බුද්ධිමත්ව ඔබගේ චන්දය භාවිතා කරන්න .
6. පරිසරයට හානී කරන පුද්ගලයන්, නීතී විරෝධී ලෙස ගස් කපන , වැලි ගොඩ දමන පුද්ගලයන් තෝරා පත් කර ගැනීමෙන් වැලකී සිටින්න .
7. චන්ද නීති කඩ කරමින් වාහන පෙළපාලි යන, පෝස්ටර් ගසන , පුද්ගලයන්ට විරුද්ධ වන්න .
8. දෙමව්පියන්ට ගරු නොකරන , බොරුවෙන් ජීවත්වන පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන්න.
9. කාන්තාවන්ට ගරු නොකරන , ගමේ චන්ඩි කම් කරන පුද්ගලයන්ට වැරදිලාවත් චන්දය පාවිච්චි කිරීමෙන් වලකින්න.
10. ඔබේ චන්දය තුලින් රටට සේවය කල හැකි නිවැරදි පුද්ගලයකු බිහි කරා යන නිහතමානී ආත්ම අභිමානය ඇතිව ජීවත් වීමට පුළුවන් පුද්ගලයකුට පමණක් ඔබේ චන්දය භාවිතා කරන්න .
රට වෙනස් කිරීමට ප්‍රථම අපි වෙනස් වෙමු.දේශපාලන වහල් භාවයෙන් අත් මිදෙමු.පරම්පරාවෙන් දේශපාලනය කරනවා වෙනුවට හොඳ පුද්ගලයන් ඉදිරිපත් කරන පක්ෂ වලට හා පුද්ගලයන්ට පමණක් චන්දය දෙමු.පුද්ගලයෙකුට හෝ නායකයෙකුට තනිව රටක් වෙනස් කිරීමට නොහැකියි. අප වෙනස් වීම තුලින් ජාතිය ගොඩ නැගීමට ඔබට හා මට අවස්ථාව ඇත.කරුණාකර මෙම පණිවිඩය සියලුම මිතුරන්ට යවන්න. ඔබගේ කොටස නියමිත පරිදි සිදුකිරීමෙන් ජාතිය ගොඩනැගීමට උර දීමට ඔබ ඔබටම පොරොන්දු වෙන්න." (උපුටා ගැනීම අවසන්.)

පවුල් පසුබිම් හෙවිම නම් විකාරයකි. කාගෙවත් පවුල් පසුබිමින් කාටවත් වැඩක් නැත. නමුත් අංක 1, 2, 4, 5, 6, 7, 8, 9, 10. කාරණා වලට එකඟ විය හැකිය. මම මත්පැන් බොන අයෙක්මි. එනිසා මත්පැන් තහනමට සහය දී බොරු උපාසක කම් පෙන්වීමට මට අවශ්‍ය  නැත.

දේශපාලන වහල් භාවයෙන් අත් මිදීමද හොඳ දෙයකි. ඉතින්  ඔබේ ජාතිය ගොඩ නැගීමට එහෙනම් ඡන්දය දෙන්න. එංගලන්තයේ ජිවත් වන නිසා මට නම් ඡන්දය දෙන්නට නොහැකිය.

හැබැයි ගම ලබා ගෙන රට ලබා ගැනීමට නම් ජවිපෙ හා එහි සාමාජිකත්වය තව  දුරටත් තවත් සාධනීය ලෙස වෙනස් විය යුතු යයි සිතේ.






Thursday 18 January 2018

ජෙහාන් ලෙනින්

ලෙනින් දුම්රියෙන් පෙත්රෝග්‍රාඩ් වලට පැමිණ , ස්ටාලින් මුල් පින්තුරයේ හිටියේ නැත. මෙය ව්‍යාජ එකකි 
පසු ගිය ලිපියක කුඹියො ගැන  කරන ලද සංවාදයක වාමාංශික පක්ෂ ශාක්‍යා හෝල්ඩින්ග් එකේ දුන්න ගේම වගේ දේ සැබෑවට කරන්නේ නැහැ කියල මතයක් ඉදිරිපත් වුනාලු. ඒකට මම දුන්  පිළිතුරත් එතනම තියනවා.

වාමාංශික පක්ෂ විතරක් නෙමේ  සාමාන්‍යයෙන් නූල් අදින්නේ. එක කොම්පැනියක් තමන්ට තරඟයක් දෙන තවත් කොම්පැනියක් තියනවා නම් ඒවාට දෙන ගේම්  ඔයිට වඩා දරුණුයි සමහර විටක. කර්මාන්ත රහස් සොරකම් කිරීම (industrial espionage), අකර්මණ්‍ය  කිරීම් ආදිය බොහෝ විට හැටේ දශකයේ පටන්ම සිදු වුන දේවල්.

මේ කියන්න යන්නේ ලෝක ඉතිහාසය වෙනස් කරපු තවත් ගේමක් ගැන. ජර්මනිය පළමු ලෝක යුද්ධ සමයේ තමන්ගේ රට බේරා ගැනීමට ට ජෙහාන් කෙනෙකුගෙන් උදව් ගත් සැටි. ජර්මන් කයිසර් විල්හෙල්ම් II ගේ ජර්මනිය යුද්ධයෙන්  හොඳටම බැට කාල හිටියේ 1917 වන විට නමුත් පැරදිලා නැහැ. රුසියාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය යුද්ධය අමාරුවෙන් ඇදගෙන යනවා. නමුත් රුසියාව වත් බ්‍රිතාන්‍යය වත් සම්පුර්ණයෙන් වැටිලා හිටියෙත්  නැහැ. ජර්මනිය යුද්ධයට ආවේ ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යයේ සහයට.

ඉතා ප්‍රසිද්ධ වෙස්ටර්න් ෆ්‍රන්ට් හෙවත් බටහිර පෙරමුණේ තමා ප්‍රධාන යුධ ක්‍රියා සිදුවුනේ.  "බටහිර පෙරමුණේ හැම දෙයක්ම නිසලයි" All Quiet on the Western Front කියන ප්‍රසිද්ධ නවකතාව අහල ඇති හුඟක්  අය. එනමින් චිත්‍රපටයකුත් හැදුනා. යුද්ධයේ දරුණු කම සහ යුද්ධයක ජයග්‍රාහකයෙක් නැත යන්න තමා තේමාව.

බටහිර පෙරමුණේ අරාස් වල සිදුවූ  යුද්ධය මින් ප්‍රධාන එකක්. එය සිදුවුනේ 1917 වසරේ අප්‍රේල් 9 සිට 12 දක්වා. ජර්මන් සොල්දාදුවෝ 20,000 සහ කැනේඩියන් සොල්දාදුවන්  10,000 පමණ මියගොස් තිබෙනවා. ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් කියන රුසියානුවා තමන්ගේ බිරිඳ සමග රුසියාවට  යන්න ස්විට්සර්ලන්තයේ සූරිච් වලින් දුම්රියට නගින්නේ එදා, අප්‍රේල් 9 , 1917.

ලෙනින් ගිය පෙට්ටියේ තවත් විප්ලවීය රුසියානුන් හිටියා. පෙට්ටිය ජර්මන් සොල්දාදුවන් විසින් මුර කලා. හේතුව ජර්මනිය හා රුසියාව එකිනෙකා  සමග යුධ කරන සතුරු රටවල් දෙකක් නිසාම නෙමෙයි. විල්හෙල්ම් කයිසර් ගේ අන්තිම තුරුම්පුවත් මේක නිසා.

මේ මාසයේ තමයි ඇමරිකාවත් යුධයට ඇවිත් තිබුණේ. මේ නිසා අනිවාර්යයෙන්ම ජර්මනිය පරදින්න නියමිතයි. රුසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, කැනඩාව , ඔස්ට්‍රේලියාව පමණක් නොව ඇමෙරිකාවටත් මුහුණ දෙන්න ජර්මනියට සහ තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යය ට  බැහැ.

ඉතින් කයිසර් ගේ සූදුව තමයි මේ ලෙනින් කියන මාක්ස්වාදී විප්ලව වාදියා රුසියාවේ පිටර්ස්බර්ග් හෙවත් පෙට්‍රොග්‍රාඩ් (පෙබරවාරි විප්ලවයෙන් පසු) නුවරට හොර රහසේ යැවීම. මොකද පිටර්ස්බර්ග් වල ඒ වන විටත් කලබල. වැඩ වර්ජන, පෙළපාලි, ගොවි විරෝධතා, සහ ආණ්ඩුවේ අගමැති  කෙරෙන්ස්කිට හමුදාවේ ජෙනරාල් ලා  වත් ඇමතිවරු වත් පාලනය කර ගන්න ට බැරි වීම.  (මේ වනවිට පෙබරවාරි විප්ලවයෙන් සාර් ගේ ආණ්ඩුව බලයෙන් පහ කරලා රුසියානු සමුහාණ්ඩුවක් පිහිටුවල ඉවරයි. දුර්වල සාර් රජු, දුෂිත ඇමතිවරු,  සිටුවරු  හා ඒ මදිවට හිටි රස්පුටින් එළවලා ඉවරයි.) .

ඉතින්මේ  දුම්රිය මැදිරියේ රුසියානු රාජ්‍යයේ කැරලි ඇති කරන්න ලෙනින්ට දුන් විශාල මුදල් සම්භාරයකුත් තිබුන(ලු). ලෙනින් ගෙන් ජර්මනිය අපේක්ෂා කළේ තව තවත් වර්ජන ආදිය ඇති කරලා, සොල්දාදුවන් කළකිරවල කෙරෙන්ස්කි ගේ  ආණ්ඩුව අස්ථාවර කරන්න.  එතකොට දුර්වල ඒ පැත්ත ජයග්‍රහණය කරලා ඇමෙරිකාවට මුහුණ දෙන්න.

ලෙනින් පිටුවහල් කළ අයෙක් නිසා කොහොමටත් රුසියාවට යන්න  පුළුවන් කමක් තිබ්බේ නැහැ. මුදල් අතිනුත් අමාරුවෙන් හිටියේ. නමුත් රුසියාවේ තිබ්බ තත්වය අනුව ලෙනින් නොයාත් බැහැ. එනිසා ලෙනින් ඩීල් එක ගැහුවා.

ආවට පස්සේ මොකද වුනේ. මේ ටික වොල්කගොනොව් හෙම තමන්ගේ "ලෙනින්" කියන පොතේ මෙන්ම "ට්‍රොට්ස්කි" කියන පොතේත්  රසවත්ව විස්තර කරනවා. මේ දත්ත දැන් ඕන කෙනෙකුට බලන්න පුළුවන්. පූටින් පරණ ලියවිලි ආදිය මුදා හැරලා තියෙන්නේ. ලෙනින් රුසියාවට ඇවිත් අර කියපු විධිහටම වැඩේ කරගෙන ගියා . නමුත් පැමිණ මාස දෙකක් යනකොට ලෙනින්ට තේරුම් යන්න ගත්ත කෙරෙන්ස්කිගේ ප්රොවින්ෂල් ආණ්ඩුව දුර්වල බව. ඔහු ට්‍රොට්ස්කිට කිව්වා බෝල්ෂෙවික් පක්ෂය සෑහෙන්න විනය ගරුක එකක්. ඕන නියෝගයක් පිලි පදින්න පුළුවන් විධිහට කාඩර්  වරු හදල තියෙන්නේ. විප්ලවයක් කරල කෙරෙන්ස්කි ආණ්ඩුව පහ කරලා බලය ගමු කියල.

ඕකට ට්‍රොට්ස්කි මුලදී අකමැති වුනත් ලෙනින් ගේ පැහැදිලි කිරීම් හමුවේ ඔහු එකඟ වුණා. කොමියුනිස්ට් වාදී රජයක් හදල නිර්ධන  පන්ති ආඥා දායකත්වයක්  පිහිටුවනවා කියල ලෙනින් කිව්වේ ඔහුගේ බෝල්ෂෙවික් පක්ෂයට පාලනය භාර අරගෙන ඒකාධිපති පාලනයක් ගෙන යන එකට. නිර්ධන පන්ති ආඥා දායකත්වය (dictatorship) කියල කිව්වේ ඒකට. කොටින්ම පෙබරවාරි මාසයේ සිට තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අහෝසි වෙනවා. ට්‍රොට්ස්කි මේකට එකඟ වුණා. එනිසා අන්තිමට වුනේ ජර්මනිය වත් හිතුවේ නැති දෙයක්.

හැබැයි ලෙනින් ජර්මනිය අමතක කලේ නැහැ. ට්‍රොට්ස්කි යවල බ්‍රෙස්ට්-ලිතොව්ස්කි සාම ගිවිසුම 1918 මාර්තු 3 වනදා  අත්සන් කලා . ළඳරු සෝවියට් ආණ්ඩුව එක පසෙකත් ජර්මනිය, ඔස්ට්රෝ හංගේරියාව, බල්ගේරියාව, තුර්කිය   එක පසෙකත්.  මෙහිදී ලිත්වා, ලැට්වියා , ලිතුවේනියා කියන රටවල් ජර්මනියට දෙන්න වුණා. යුක්‍රේනය ට නිදහස දෙන්න  වුණා. තුර්කියට කෑල්ලක් ගියා.  මේ නිසා සමහර රුසියානුන් ලෙනින් ව සලකන්නේ දේශ ද්‍රෝහියෙක් හැටියට.  පුටින් අර කිව්වේ ලෙනින් රුසියාව යට බෝම්බයක් තැන්පත් කරලා බිඳලා දැම්ම කියල. ඒ මේකට.

නමුත් ඔහු සෝවියට් රාජ්‍යය ඉන් පස්සේ ගොඩ නැගුවා. (යුක්‍රේනය 1922 දී නැවතත් දීර්ඝ සිවිල් යුද්ධයකින් පස්සේ  සෝවියට් දේශය යටතට ආව)

ජර්මනිය පළමු ලෝක යුද්ධයෙන් පරාජය වුණා 1918 දෙසැම්බරයේ දී.  අර ගිවිසුම අහෝසි වුණා. නමුත් සෝවියට් දේශයට හෝ රුසියාවට ට අහිමිවූ රටවල් නැවත ලැබුනේ නැහැ.

ජෙහාන් ලෙනින්  ගේ හොඳම ගෝලයා ජෙහාන් ස්ටාලින්, ලෙනින් වෙඩි වැදිලා පස්සේ හෘදයාබාධයක් හැදිලා  අසනීප වෙච්ච ගමන් නිවාස අඩස්සියට දැම්ම බිරිඳ නදෙෂ්දා  එක්ක.  ඒ කියන්නේ කෙලින්ම නෙමේ. වක්‍රව කාටවත් වැඩිය හමුවෙන්න යන්න නොදී. ට්‍රොට්ස්කි එළවලා  පොලිටි බියුරෝ එකේ භාගෙකටත් වැඩිය මැරුව.

හැබැයි මේ සෝවියට් දේශයම, මේ ස්ටාලින් ගේම  නායකත්වය යටතේ දෙවන  ලෝක යුද්ධයේ දී හිට්ලර් ගේ ජර්මනිය පරදවන්න ලොකු කාර්යභාරයක් කලා. අර පළමු ගිවිසුමින්  නැතිවුණු රටවල් සියල්ල 1945 වෙන කොට නැවත අල්ල ගත්ත පමණක් නොවේ. ජර්මනියේ දේශ සීමාව දක්වා වන රටවල් සමාජවාදී පාලනයකට යටත් වුණා.

ජෙහාන් ල පාවිච්චි  කරන එක බොහොම පරිස්සමින් කරන්න  ඕන වැඩක්.

ලෙනින් ගේ දුම්රිය ගමන

පුටින් ගේ බෝම්බ  කතාව 

  ඔය උඩ පින්තූරය එඩිට් කරපු එකක්. ස්ටාලින් විසින්.

Tuesday 16 January 2018

සෙනෙහසින් ඔබට …- සිතුවිලි අරණ

මේ දවස් වල හැමෝම වගේ අලුත් බ්ලොග් හඳුන්වා දෙනවා. මාතලන් එකක් හඳුන්වා දීල තියෙනවා පොලියානා ගේ . එතකොට ඉයන් හඳුන්වා දීල තියෙනවා. මටත් එකක් හම්බ වුණා. දැනට ප්‍රා ජේ යි කමියයි විතරයි ඒ පැත්තේ ගිහින් තියෙන්නේ.

සිතුවිලි අරණට මෙතනින් යන්න.

Related image

සිතුවිලි අරනක

දැහැනකට සමවැදී

කියවද්දි ඔබ – මගේ හදවත
මගේ දෙනයන තුලින් ඉහිරුනු

කඳුලු පිනි  කැටි සෙමින් පිසදා

තුරුළු කරගෙන ඔබේ වදනින්

අහිංසක  මගේ හද වෙත

සිසිලසක්  ගෙනා බව

නොදනී මුත් ඔබ සබඳ
ලෙන්ගතු වදන් වැකි

හිත  යටින් පිරවෙද්දී

රිදුනු හද හිනැහුනා

මගහැරී තිබුනු  දුක් .

හිත නිවන සොඳුරු හිත

හිමිව ඇති සබඳ ඔබ

තුති ඔබට සහා ඔබේ

සන්වේදී හද මඬලට

තැවරුවාට හිතේ පාට .

වසන්තය ඉක්මවෙමින් තිබූ…..

සිනහව වියපත් වෙමින් තිබූ…….

ජීවිතය මගහැරුනු

ව්ඩාබර මගේ හිතට

සිසිලසක්  ගෙනාවාට

Monday 8 January 2018

ඉරානය, කූඹියෝ හා වමේ නොවන වම සමග ශාක්‍යා

කුඹීයෝ 
එපිසෝඩ් ම 39කට පස්සේ මුකුත් ලිව්වේ නැත්නම් හිතට මදිකමක් වගේ. වමේ පැත්තෙන් හොඳ විචාරයක් කියෙව්වා ළඟදී . ඒක  ලියල තිබ්බේ අක්ෂය බ්ලොග් අඩවියට නජිත් ඉන්දික විසින්. මෙතනින් යන්න පුළුවන්. ඔහු කියන විධිහට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩත් කුඹියෝ ගැන කතා කරලා තියනවා. ඒකනම් දැක්කේ නැහැ. නජිත් ඉන්දිකගේ විචාරය හුඟක්ම නිවැරදියි  වම පැත්තෙන් ගත්තොත්.  ඒ කියන්නේ ජෙහාන් සහ ප්‍රියන්තගේ ග්‍රාමීය මූලයන් ගැන , සහ එම තරුණයන් ගෙන් සමහරක් රැඩිකල් වුනේ කොහොමද සහ වර්තමාන ලිබරල්වාදී සමාජය තුල වමේ පක්ෂ වල දියාරු වීමක් ඇත්තේ ඇයිද යන්න ගැන.
"ජෙහාන් සහ ප්‍රියන්ත දෙපොලම ග්‍රාමීය මූලයක් සහිත තරුණ චරිත. පලමුවැන්නා නාගරික ජීවිතයේ ඇතැම් සූක්ෂමතා අවශෝෂණය කරගැනීම නිසා 'ස්මාට්' තත්වයට පත්වූ අයෙක් වන අතර දෙවැන්නා සතුව එම සූක්ෂමතා නැහැ. ජෙහාන් ගතකරන ජීවිතය නරුමයි. තමුන් ගේම්කාරයෙක් බව ඔහු දන්නවා. ඒ ගැන ඔහු ආඩම්බරයි. සතුටුයි. " (උපුටා ගැනීම අවසන්)

හැබැයි ඔහුත් හීනියට වගේ පොඩි චෝදනාවක්  කරනවා වෘත්තීය සමිති ගැන නිර්මාණකරු දක්වන අපහාසාත්මක නැමියාව සහ ශාක්‍යා නම් ව්‍යාපාරිකයා  උත්කර්ෂයට නැංවීම ගැන. මෙන්න මෙතන.
"කූඹියෝ නාටකය තුල ශාක්‍යා හෝල්ඩිංස් මෝඩ විධිහට උත්කර්ෂයට නංවා තිබෙන හැටි, වෘත්තීය සමිති හා කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කිරීම කලු පාටින් පින්තාරු කරලා තිබෙන හැටි සහ ඒවා නරුමවාදී වෙලද දෘෂ්ටිවාදය සමග සම්බන්ධ විධිහ ආදී දේවල් මේ සටහන තුල සාකච්ඡා කලේ නැහැ." (උපුටා ගැනීම අවසන්)

මම ෆේස්බුක් එක දැක්ක තවත් වමේ කෙනෙක් ප්‍රබල ලෙස විවේචනයක් ඉදිරිපත් කරල තියනවා. වමේ පක්ෂයක් අල්ලාගෙන මඩ ගැහීමක් හැටියට තමා ඔහු මේ රූපවාහිනී නාටකය දැකල තියෙන්නේ. ඒ අතරේම ඔහු කියනව කුඹියෝ නිර්මාණකරු, නිර්මාණකරණය ගැන  විතරක් නෙමේ  ලෝකය ගැනවත්  හරියට නොදන්නා දුබලයෙක් කියල. මම පිළිතුරක් ලියන්න හදන්නේ අන්න ඒකට.

මුලින්ම පටන් ගමු අර රෝහින්ගියා ගේම් එකෙන්. (සවුදි අත දැමීම සහ මගේ ලිපිය ) . හැමෝම දන්නවා බුරුම හමුදාව සහ බුරුම අන්තවාදීන් පොඩි හරි හේතුවක් දුන්නොත් රෝහින්ගියා වරුන්ට ගහනවා  මරනවා කියල. ඒක අනිවාර්යයෙන්ම වැරදියි. උන්ව හෙළා දකින්න ඕනේ. ඒකෙ දෙකක් නැහැ. හැබැයි ඒ ක්‍රියාවලියම වෙන ගේම් කාරයෙක් (මෙතනදී සවුදිය) භාවිතා කරනවා තමන්ගේ දේශපාලන සර්වයිවල් එකට. එතැනදී රෝහින්ගියාවේ අහිංසක මිනිස්සු මැරෙන එක උන්ට ප්‍රශ්නයක් නෙමේ. රෝහින්ගියා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් බුරුමයට පීඩනය එල්ල කරලා. රෝහින්ගියා වරුන්ට ඒ ප්‍රදේශවල පාලනයට බලතල බෙදා දීල. මොකදබුරුමයේ අවුන් සුකී පත් කලේ එහෙම කරලා නෙමෙයිද?

දැන් ඉරානේ වෙන්නේ මොකක්ද? අවංකවම කියනවා නම් ඉරානය කියන්නේ මම කැමතිම රටක් නෙමේ. ඒ රටේ මිනිස්සු හුඟක් නිදහසට කැමති, ඉතා  දීර්ඝ ඉතිහාසයක් ඇති, විද්‍යාව, කලාව සංස්කෘතිය ආදියෙන් ඉතාමත්  ඉදිරියෙන් හිටි ජාතියක්. දැඩි ඒක පාක්ෂික ආගමික රාජ්‍ය ක්‍රමයක් නිසා ඔවුන් පීඩාවට පත්වෙලා කියලත් කිව්ව හැකියි.
  ස්වීඩනයේ ඉපදුනු, මගේ බිරිඳගේ යෙහෙලියක් (ඉරාන දෙමාපියන්) ඉරාන පරිගණක ඉංජිනේරුවෙක් බැඳලා ලන්ඩනයේ  හිටිය. ඔවුන් ඉරානයට ගිය වෙලාවේ ඔහුගේ අත අල්ලාගෙන පාරේ යද්දී අත් අඩංගුවට පත්වෙලා. ඊට පස්සේ ඔලුව වහගෙන හිටියේ නැහැ කියලත් චෝදනා කරලා අවුරුදු ගාණකට හිරේ යන්න ඉඳිද්දී බොහොම අමාරුවෙන් බේරිලා ඇවිත්. ඔවුන් අපට කිව්වේ, අමුත්තෙක් නිවසට එනවා නම්, නිවස තුලදී  පවා සැමියා හා අනිත් පිරිමින් වෙනමත් ඇය, ඔහුගේ  මව හා අනිත් ගැහැනුන් සමග වෙනමත්  සිටිය යුතුයි ලු.ඔවුන්  දැන් නෙදර්ලන්තයේ සතුටින් ජිවත් වෙනවා.

ඉතින් ඒ වගේ  රජයක්, පාලනයක් පෙරලන්න පෙළපාලි ඇතිවෙනවා තමයි. නමුත් ඒවා නිකන් ඇති වෙන්නේ නැහැ. ජෙහාන්ලා දෙතුන් දෙනෙක් ඉන්නවා ඕව අවුස්සන්න. උදව්ව එන්නේ  ඊශ්‍රායලයෙන් හෝ  අමෙරිකාවෙන් බවත් රහසක් නෙමෙයි. ඉතින් ඒ  වගේ උද්ඝෝෂණ වලදී මිනිස්සු මැරෙනවා. සමහර වෙලාවට වැඩේ පත්තු කරන ජෙහාන්ල  එහෙම අපේක්ෂා කරන්නේ නැති වුනත්. ඔතන තව කට්ටිය ඉන්නවා මිනියක් දෙකක් බාවන්න බලාගෙන. ඕකයි  ඇත්ත.
මයිඩන් චතුරශ්‍රයේ උද්ඝෝෂණ 

දැන් උක්රයිනයේ කීව් නගරයේ පුටින් ට පක්ෂ යනුකෝවිච් කියන චන්දයෙන් පත් වෙච්ච අගමැති එලවන්න  මයිඩන් කියන චතුරශ්‍රයේ  2014 දී ඇතිවුන  කලබල මතකද? ජෙහාන් ල දෙතුන් දෙනෙක්ම ක්‍රියාත්මක වුනානේ. ඉන් යුරෝපියන්  ජෙහාන්ලට ඕන වුනේ දිගටම උද්ඝෝෂණ ගෙනියන්න. නමුත් ජර්මන්, ඇමෙරිකන් ජෙහාන්ලා කට්ටියක් ඉන් එහා ගියා. අවට තට්ටු නිවෙස්  වල ඉඳන් කවුරු හරි උද්ඝෝෂකයන්ට වෙඩි  තිබ්බ. යනුකොවිච් ගේ පොලිසිය අනිත් පැත්තට වෙඩි තිබ්බා . උද්ඝෝෂකයෝ 100 විතර මැරිලා යනුකොවිච් ට යන්න  වුනා. නමුත් අද දන්නවා  අර 100 ට වෙඩි තිබ්බේ  යනුකෝවිච් අණ   කරලා,  පොලිසිය හෝ හමුදාව නෙමේ කියල.  නමුත් වැඩේ වුනානේ.

ඔහොම බැලුවොත් එක්තරා දූපතක  රජ්ජුරුවන් වහන්සේ ට හාල්පාරු ඇමති මණ්ඩලේ කුත් රටේ ප්‍රදේශ පාලනය කරන ගොබ්බයො රැසකුත් හිටිය මතකද. වංචාව දූෂණය පිරිච්ච තට්ටුවක්. ඕනෑම ජෙහාන් කෙනකුට අල්ලගන්න පුළුවන් කට්ටියක්. ඒ ජෙහාන් ලත් දැනන් හිටිය අර ෆැසිස්ට් බුරුම හමුදාව වගේම පොඩි තල්ලුවක් දුන්නොත් මිනිහෙක් මරන්න, වෙන ජාතියකට සබ්බුව දෙන්න, ගෙවල් කඩන්න හැකි පිරිසක්  මේ අතර ඉන්නවා කියල. ජෙහාන් ල වැඩේ හොඳට කළා. රජ්ජුරුවෝ ගෙදර ගියා. රජ්ජුරුවෝ කියලත් සර්ව සාධාරණව හිටියේ නැහැ නොවැ. ජෙහාන්ලට බනින්නත් බැහැ.

ඊළඟට බලමුකෝ ප්‍රධාන වමේ පක්ෂයක් ගැන. ඒක දෙකට කැඩිච්ච වෙලාවේ, දෙකට තුනට  කඩන්නයි, ඊටත් පස්සේ කැඩිච්ච  කට්ටිය සම්මේලන තියන කොට ප්‍රධාන නළුවෝ, නිළියෝ උස්සන්නයි, උස්සල හංගන්නයි  ජෙහන්ලා අතර මැදි  වුනාද නැත්ද කියල කවුද දන්නේ?

ඊටත් පස්සේ ඒ ප්‍රධාන නළුවා ජිවිතේ බේරාගෙන ගිහින් ආපහු  මැතිවරණයක් ලංවෙන කොට ආයේ තමන් ගේ  රටට එන්නත් අර ජෙහාන් කෙනෙක් ම උදව්  කළාද නැත්ද කවුද දන්නේ?

එංගලන්තයේ පෙන්නුවා ඇමෙරිකන් TV සීරීස් එකක්. හොලිවුඩ් එකේ ලිංගික හිංසා කරන, ගැහැණු මරණ , අපචාර කරන අය  බේරා ගෙන ශේප් කරන්න ගේම් දෙන අයිරිෂ් පවුලක ජෙහාන් කෙනෙක් ගැන. රේ ඩොනවන්. අන්තිමට  තමන් ගැනම කළකිරෙන  රේ ඩොනවන් සිය දිවී හානි කර ගන්නව. දැන් කවුරු හරි කියනවනම් ඒක සම්පුර්ණයෙන්ම  ප්‍රබන්ධයක් කියල හාවේ වෙන්ෂ්ටයින් ගැන පොඩ්ඩක්  කියවන්න. ඔය ජෙහාන් ල තමන් ගැනම කළකිරෙන වෙලාවලුත් තියනවා. එතකොට ළඟම ඉන්න අයත් ඇදගෙන තමයි ප්‍රපාතයට වැටෙන්නේ.

ඉතින් අර වමේ මල්ලි,  කුඹියෝ රුපවාහිනී නාට්‍යයේ නිර්මාණකරු ලෝකය ගැන දන්නේ නැහැ කියන කොට මට හිතෙනව කවුද මෙතන  ඇත්තට ම ලෝකය ගැන දන්නේ නැත්තේ කියල. අනික ඔය ගේම් ගහන්නේ වමේ පක්ෂ කියල පෙන්නුම් කරගෙන ඉන්න පක්ෂ විතරක් නෙමෙයි නේ. හැමෝම  ගහන ඒවනෙ. අනික ශාක්‍යා එකේ ෆැන්ටස්ටික් බුම්බස්ටික් අයිතිකාරයන්ට  වුනත් ගේම් දෙක තුනක් ගහගන්නේ  නැතිව ඔතනට  එන්නේ නැහැ. එන්නත් බැහැ.

නජිත්  ඉන්දිකට මතකද දන්නේ නැහැ 1980 වැඩ වර්ජනය. ඒ කාලේ ප්‍රගතිශීලිම විප්ලවකාරිම පක්ෂයේ නායකයා උපදෙස් දුන්න කියනවනේ කම්හල්, වැඩපල, ඔෆිස් වල තම පක්ෂයේ කියල අනික් අය දන්නවා නම් විතරක් ස්ට්‍රයික් කරන්න. නැත්නම් රස්සාව බේරාගෙන ඉන්න කියල. මොකද අරගොල්ලෝ එලියට දැම්ම ගමන්  අලුතින් එන ප්‍රියන්ත මහ උල්පතගම ආදී නවකයන්ට   මග පෙන්වල වෘත්තීය සමිති හදන්න වෙන්නේ රැකියා බේරාගෙන ඉතිරි වෙන තමන්ගේ කට්ටිය නිසා. ඒක එහෙමම  වුනානේ. නැත්ද මම අහන්නේ? කී  දෙනෙකුට රස්සා නැති වුනාද?

අනික ඉන්දික මහතා අපි දැක්කේ අන්තරේ දේශපාලන රැලි වලදිනේ. අන්තරේ වුනත් එතුමාට ඕනෑ විධිහට මෙහෙයවන්න බැහැනේ.මුලික කමිටුව ඇරුනහම  ඒ කාලේ ඉඳන්ම පක්ෂයක් දෙකක් සහ ජෙහාන් ල කිහිප දෙනෙක්  අතරමැදිව හිටියනේ. නැත්ද? ඒවා එහෙම තමයි හැම තැනම.

දැන් දියුණුයි කියන රටක් වන බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය හෙම වෘත්තීය සමිති වලට සහයෝගය දෙනවා සාමාන්‍යයෙන්. මේ ලඟදී  ටියුබ් රියදුරන් වර්ජනයක් කලා. හේතුව අස් කරනව කියල නෝටිස් එකක් රියදුරෙකුට දුන් නිසා. රියැදුර කලින් දවසේ හොඳටම බීල වැඩට ඇවිත් වැඩ කරන තැන නිදාගෙන. කම්කරු පක්ෂයට වුනත් පුලුවන්ද ඔය වගේ වර්ජනයකට උදව් කරන්න. නමුත් ඒ ගොල්ල කට පියාගෙන හිටියේ. වෘත්තීය සමිති වල බලය ඒ වගේ. අවශ්‍ය දේටයි එපා දේටයි  ඔක්කොටම වර්ජනය යොදා ගත්තම ඒවත් මිනිස්සු අතරේ අප්‍රසාදයට පත්වෙනවා නේද?  ඔය වගේ දේවල් පෙන්වා දෙන එක ඒ අරගල වලට විරුද්ධ වීමම නෙමෙයි. මිනිසුන්ව දැනුවත් කිරීමක්.

හරි දේට කෑ ගහපන්. බොරු දේට තමන්ගේ පැත්තේ වුනත් විරුද්ධ  වෙයන්. මං හිතන්නේ ඒක  තමයි පණිවිඩය.

කුඹියෝ නිර්මාණයත්  එය ඉදිරිපත් කරන නළු නිළියනුත් ඉතාමත්ම දක්ෂයි. රඟපෑම් විශිෂ්ඨයි. සෑහෙන කාලෙකට පස්සේ සිංහල භාෂාවෙන්  නාට්‍යයක් බලන්න පිටරට අපටත් අවස්ථාවක් දුන්නට ඇත්තටම ස්තුතියි.

"කුඹියෝ", "සහෝදරයා" සහ "පැරිසියට යන පාර" රස විඳින ගමන්.


ප.ලි.- කූඹීයෝ ගැන තවත් සටහනක් : කුඹී කෑම , සහෝදර පෙම සහ අනිත් එක



Thursday 4 January 2018

ගිය වසරේ ලිපි කිහිපයක් ගැන නව වසරේ සිතුවිල්ලක්

අවුරුද්ද අවසන් වෙන්න කලින් ලිපි කිහිපයක්  ලියන්න හිතේ තිබුනත් වැඩ අධික කම නිසා ලියා ගන්න බැරි වුන. දැන් 2018 අවුරුද්දත් එළඹිලා. පසුගිය  අවුරුද්ද පුරාම  බ්ලොගය කියවන්න පැමිණි මිතුරු මිතුරියන්ට ස්තූති කරන ගමන්ම ලියපු කිසියම් ලිපි කිහිපයක් ගැන නැවත  සමාලෝචනයක් කරන්න  හිතුන.

 පහුගිය දවසක මගේ බිරිඳට හදිසි අනතුරක් සිදු වුණා. සති කිහිපයකට කලින් මේ පැත්තට ලොකු කුණාටුවක් හැමුවා. ගෙයි පිටිපස්සේ ඉඳගන්න තිබුන ඔන්චිල්ලා පුටුව (පින්තුරේ තියෙන එක වගේ) කැරකිලා වැටුන. ඒක ඇඹරිලා තිබුනේ. බිරිඳ ඕක උස්සල නැවත හිටවන්න යද්දී එක පැත්තක තියන යකඩ කණු දෙක එකතු වෙන කොටස කකුළට අත ඇරිලා. මහපට ඇඟිල්ලේ නියපොත්ත ගැලවිලා ඇඟිල්ල නවන තැන අස්ථිය බිඳිලා. දුවලට නිවාඩු නිසා ඒ ගොල්ල ගෙදර. මම ඔෆිස් එකේ. දුව කෝල් එකක් දීල කිව්වා ගෙදර එන්න හදිසි අනතුරක් කියල. විස්තරේ ඇහුවම දූ කීවේ අම්මගේ පයේ ඇඟිල්ලක් කැඩිලා. මම එයාට  උපදෙස් දුන්න වහාම 999 (හදිසි අනතුරු සේවය) එකට කෝල් කරල ඇම්බියුලන්ස් එකට කතා කරන්න කියල. "අම්ම එපා කියනවා. ඒත් ලේ ගොඩයි" කියල දුව කියාපි. බිරිඳත් මොනවාද කියල කෑ ගහනවා ඇහුනා. මමත් එහෙම්ම බොස්ට "ගෙදර යනවා හදිසියක්" කියල මෙසේජ් එකක් දාල ඉක්මනින්ම ආවා. සාමාන්‍යයෙන් විනාඩි 5-10 අතර කාලයක් තුල මට වාහනෙන් ගෙදර ආව හැකියි.

මේ මනුස්සය අර ලේ ගලන ඇඟිල්ලත් එක්ක කකුල ඇදගෙන නාන කාමරේට ගිහින් තුවාලේ හෝදලා පොඩි බැන්ඩේජ් එකක් බැඳගෙන මම එනතුරු බලාගෙන ඉන්නව.  ඇවිද ගන්නත් බැහැ. මමත් එහෙම්ම  එයාවත් වත්තන් කරගෙන කාරෙකට දාගත්ත. තුවාලේ වේදනාවට එයා ට අමාරුයි කියලත් මට තේරුණා. සිහියත් නැතිවෙයි කියල මට බයයි. ඒත් මම ඇහුව "ඔයාට පිස්සුද මම එනකන්ම හිටියේ. 999 කතා කරලා ඇම්බියුලන්ස් එක ගෙන්න ගන්නේ නැතිව. ඒ මිනිස්සු තුවාලෙට තාවකාලික බැන්ඩේජ් එකක් දාල රෝහලට ගෙනියනව නේද" කියල.
"ඇම්බියුලන්ස් එකට කලින් ඔයා ගෙදර එනව කියල මට විශ්වාසයි" කියල එයා කිව්වා. ඒක ඇහැව්වම හිත සසල වුණා. එහෙම  කියල අර වේදනාවත් මැඩගෙන මගේ වම් අත තදින් අල්ල ගෙන හිටිය රෝහලට යනකම්ම්. ඉඳ හිට මගේ ඇත තින් මිරිකෙන කොට මට තේරුණා එය දැඩි වේදනාවකින් ඉන්නේ කියල.  බෙහෙත් දැම්මට පස්සේ දිනයක් දුන්න කැඩුම් බිඳුම් අංශයට යන්න. එතනින් කකුලට දාන්න වෙනම  සපත්තුවක් දෙනවා කිහිලි කරු දෙකකුත් එක්ක. දැන්නම් හොඳයි එයාට. ඒත් මම කිව්වා මිට පස්සේ නම් ඔහොම කරන්න  එපා. මාව විශ්වාස කලාට කමක් නැහැ. ඔයා  ඇම්බියුලන්ස් එකටත් කතා කරන්න කියල. ඒ  එක්කම මම කිව්වා "ඔයාට නම් පුදුම දරා  ගැනීමේ ශක්තියක් තියෙන්නේ. අඬන්නේ වත් නැතිව ලේ ගලන ඇඟිල්ලත් හෝදලා බැන්ඩේජ් කරගෙන මං එනකන් හිටියනේ  කියල"

ඊට පස්සේ මට මතක් වුනේ මම "ගුරු ගීතය " ට ලියපු විචාරයක්. මේ තිබෙන්නේ එයයි.   "අයිත්මාතව් හැඬවූ ගම්ලතුන්  ගේ ශෝකාන්තය " .  චිත්‍රපටියේ අවස්ථා කිහිපයකදීම අල්තිනයි වැලහින්නියක මෙන් හඬන දර්ශන මගේ සිත් ගත්තේ නැහැ.

මට වැටහුනේ එයට හේතුව සෝවියට් දේශයේ මා  දුටු හා දැන  හඳුනා සිටි තරුණියන් මෙන්ම ඉන් පසුව එංගලන්තයේ ජිවත් වීමේදී හඳුනා ගත් තරුණියන් හා ගැහැණුන් දැඩි ලෙස වැලපෙන අන්දමක් නොදැකීම  නිසා හටගත් නුහුරු ගතිය නිසා කියල හිතෙනවා. සිනමා නිර්මාණයේ හඬන අවස්ථා වැඩියි කියලත් එවෙලේ හිතුන.

බටහිර ගැහැණුන් මෙන්ම සෝවියට් ගැහැනුන් ද වේදනාවන්  දරා ගැනීමට හුඟක් දක්ෂයි. මගේ සොයුරියන් ගෙන් එක් අයෙක් හඬනවා මම දැකල නැහැ. නමුත් අනිත් සොහොයුරිය ඉතා ඉක්මනින්ම හඬන්නට පෙළඹෙන බවත් මම දන්නවා. දැන් මට සිතෙන්නේ මගේ ලිපියේ එම කොටස ගැන නැවත සිතා බැලිය යුතු බවක්. ගම්ලත් මහතා  බොහෝ විට ආසියාතික ප්‍රේක්ෂකයාට සමීප වන්නට උත්සාහ  දරා ඇති යයි  කියල දැන් හිතෙන්නේ.
මේ තිබෙන්නේ මගේ බිරිඳ ඒ ගැන ලියු ලිපියයි. එහිදී ඇයට ද මේ හඬා වැළපීම් ප්‍රශ්නයක් වුවත් සමස්තයක් ලෙස ඇය එම චිත්‍රපටය උසස්  එකක් බවට නිගමනය කරනවා  එම කොටසට මගේ දියණියන් දෙදෙනාද මදක් උපහාසාත්මක ලෙස  සිනා සුනේ ඔවුන්ටද එවැනි වැළපීම් නුපුරුදු නිසා. මේ අනුව බලන කොට සමස්තයක් ලෙස ගතහොත් චිත්‍රපටය සාර්ථක බව ට මටද නිගමනයකට එළඹිය හැකියි.

හෙන්රි වර්ණකුලසූරිය මහතාගේ පොත් දෙකක් ගැන  "විල්ලර වාඩියෙන් දඩ කඳවුරට " කියල ලිපියක් ලිව්වා කාලෙකට කලින්. ඉන් පස්සේ අවසන් වරට තරංගනී රසිකා ගේ "දේශ ද්‍රෝහියෙකුගේ නිර්මල හෘදය" කියෙව්වා. දෙවැන්න  ගැන ලියු ලිපිය මේ. රසික සුරියආරච්චි තමන්ගේ ලිපියේ "බත්තලංගුණ්ඩුව " ගැනත් සඳහන් කරනවා. මම ඉන් පස්සේ වෙඩිවර්ධන මහතා ලියූ  "මගේ ආදරණිය යක්ෂණි " පොතත් කියෙව්වා. "විල්ලර වාඩිය" හා "දඩ කඳවුර" කෘති දෙක කතෝලික ජනයා ගැන මෙන්ම ලංකාවේ දේශපාලනය  දෙසත්  ඒක පාක්ෂිකව බලල ලියපු  කෘති දෙකක් හැටියටයි මට දැන් පෙනෙන්නේ. එයට මූලික හේතුවක් තමා තරංගනී රෙසිකා ගේ පොත. එහි එන චරිත මට  හුඟක් සමීපයි. ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරපු විප්ලවවාදී චරිත ලංකාවේ ඕන තරම් හිටිය. කතෝලික ජනතාව පවා යුද්ධය හා ආගම වාදය යන අන්ත දෙක මැද්දේ හිර වෙලා සිටියා. එහෙම සිටියදී පවා ඔවුන්ගේ තරුණ පෙළ  ජවිපෙ හා වෙනත් සංවිධාන සමගත් සමබන්ධ වුණා. හෙන්රිගේ ඒකපාක්ෂික වාදය මතු පිටට එන්නේ ඔය ගැන කතා කරද්දී.

එනිසා මම ලියපු මේ වාක්‍යය "යථාර්තය පිලිබඳ සම්පුර්ණයෙන් නොව යථාර්තය පිලිබඳ තමන්ගේ ප්‍රක්ෂේපණය කෘතියක  දක්වන්නට කතුවරයෙකුට හැකිය. විල්ලරවාඩිය හා දඩ කඳවුර ඒ ප්‍රක්ෂේපණය සාර්ථකව ඉටු කර ඇත." ඉල්ලා අස් කර ගන්න වෙනවා. හෙන්රිගේ ප්‍රක්ෂේපනය යථාර්තය පිළිබඳ  ඔහුගේ පෞද්ගලික ෆැන්ටසියක් පමණයි. ඔහු පෞද්ගලික ෆැන්ටසියක් සමාජ ගත කරනවා "මේක තමයි මම දැක්කේ. ඔයාල දකින්නෙත් ඒක"  කියල. නමුත් මේ පොත් හෙන්රි තමන් විසින්ම  මවා  ගත්ත දේශපාලන කටු කම්බි වැටක් ඇතුළට වෙලා ලියපු පොත් දෙකක් හැටියට තමයි මට පෙනෙන්නේ.

ඉතින් දැන් නැවත  තවත් අවුරුද්දක් ඇවිත්. මම දැක්ක දෙතුන් දෙනෙක් කියල තියනව අවුරුදු සුභ පැතුම් වලින් වැඩක් නැහැ. ඒවලින් වෙන දෙයක් නැහැ. යාලුවෝ හම්බ වුනාද? නැහැනේ. වගේ කතා. මට නම් හොඳ යහළුවෝ කිහිප දෙනෙක්ම හම්බ වුනා මේ අවුරුද්ද ඇතුළත. හොඳ බ්ලොග් ලිපි කියෙව්වා. වසරේ අසාර්ථක බවක් දැනුනේ නැහැ. ජිවිතේ ප්‍රශ්න තියනවා තමයි. නමුත් අවුරුද්දක් දවසට සුභ පැතුමක් එන එකත් මහා ලොකු ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නැහැ.

ඉතින් සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.