Sunday, 28 May 2017

ශ්‍රී ලංකාවේ ගං වතුර උවදුර

සංඝයා වහන්සේලා ආධාර බෙදීමේ 
ලංකාවේ ගං වතුර තත්වය නිසා මුකුත් ලියන්න හිතෙන්නෙත් නැහැ. අද දවස පුරාම ෆේස්බුක් එකේ පෝස්ට් බල බල ගංවතුර තත්වය ගැන හිත හිත හිටියේ. සොඳුරු සිත වගේ බ්ලොග් ලියන යෙහෙලියන් ගේ ගෙවල් යට වෙලා. කල්‍යාණ මිත්‍ර ඉන්න ගෙවල් හරිය යට වෙලා. පස්සේ වැඩි තොරතුරු ලැබෙයි. ඒ අතරේ චන්දන ගුණසේකර සොයුරා මෙහෙ ආධාර එකතු කරන බව දැන ගන්නට ලැබී ඔහුගේ ගිණුමට ආධාරයක් බැර කලා. අපිට ඉතින් කරන්න පුළුවන් එච්චරයි පිට රටක ඉඳන්. හැකි තරම් ෆේස්බුක් ආපදා සහන ගැන තියෙන පෝස්ට් ෂෙයාර් කලා .

දේශකයා කියල තිබ්බ පරිස්සමින් ෂෙයාර් කරන්න කියල සමහර ඒවා පණිවුඩ බොරු ඒවා වෙන්න පුළුවන් නිසා. එතන තිබ්බ ප්‍රශ්නය තමා කොහොමද නිවැරදි එක කොහොමද වැරදි එක තෝරා ගන්නේ කියල.
යාපාරත්න මහතා 

ගුවන් හමුදා නිලධාරියෙක් වන යාපාරත්න මහතා තවත් අයෙක් බේරා ගන්න  යද්දී තමන්ගේ ජීවිතය පුද කරල තියනවා. ඔහු ඇත්තටම වීරයෙක්. ඔහුගේ චූටි පුතු කඳුළු සලන අයුරු දැක්කම අපේ දෑසටත් කඳුළු උනනවා. එතන කේබල් එක කැඩුන නම් ඇයි එහෙම කැඩෙන්න පුළුවන් කේබල් එකක් හෙලිකොප්ටරයේ සවි කරලා තිබුනේ කියන එක ප්‍රශ්නයක්. මේ අනතුර ඉවර වුනහම ඒ ගැන පරීක්ෂණයක් වත් තියයිද අඩුම තරමේ.
සතුන් සාමකාමීව ඉන් හිටිං තැන බෙදා ගෙන (පින්තුරයේ අයිතිකරු නොදනී) 

ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අතරවාරයේ දරුණුවට ජාතිවාදය පවා ඇදී ඒම. ගිය පාර ගං වතුරේදී මුස්ලිම් අය උදව් කලේ නැහැ කියල මේ පාරත් එම පින්තුරම දාල තියනවා දැක්ක. ඒ වීඩියෝව එක්කම. ඒ අතර සංඝයා වහන්සේලා,  කතෝලික පියතුමන් ලා මෙන්ම ඇතැම් මුස්ලිම් සහෝදරවරුත්  උදව් කරනවා දැක්කා. මට හිතෙන්නේ ෆේස්බුක් එකේ ජාතිවාදී පින්තූර පළ කරන උදවිය බිමේ නැති බවයි. නැතිනම් ඔය හැම දෙයක්ම පේන්න එපාය. ජවිපෙ රතු තරුව වගේම වෙනත් සංවිධානද රූපවාහිනී ආයතනද සහනාධාර  බෙදන බව පෙනුනා. මේ හැම දෙයක්ම සකර්බර්ග් ගේ ෆේස්බුක් එකෙන් තමයි දැක බලාගත්තේ .

ගංවතුර සහනාධාර හෙම සපයන්න වගේම අනතුරට පත්වෙලා ඉන්න අය බේරා ගන්නත් සමාජ ජාලා කොතරම් වැදගත් ද කියල මෙයින් පෙනෙනවා. සමාජ ජාලා වලට තහංචි පනවන්න හිතන් ඉන්න අය මෙන්ම ඒවායේ ගාස්තු වැඩි කරන අයත්  මේ ගැන කල්පනා කෙරුවොත් හොඳයි.

මේ වගේ විපත් එනකොට වතුරට අහු නොවී තිබෙන ප්‍රතිමා , පන්සල් පල්ලි ගැන භක්තිවන්තයෝ පොස්ට් දානවා. ඒ සමහර ඒවාට හිනා යන බවත් ඇත්ත . ඒ අතරේම දේවාලයක් යටවීම ගැන, තමන්ගේ දේවාලය බේරා නොගැනීම ගැන  දෙවියන්ට හිනා වෙන ඒවත් තිබුණා. මම නම් හිතන්නේ ඔය දෙකම අනවශ්‍යයයි කියල මේ වගේ වෙලාවක.  මමත් අදේවවාදියෙක් තමයි. නමුත් ඒවා කතා කරන්න වෙලාවක් තැනක් තියනවා. මිනිසුන්ට වෙන ආපදාවකදී ඒවා එච්චර අදාළ නැහැ. කොටින්ම අනතුරට ලක්වෙලා ඉන්න කෙනෙකු ගෙන් ඔහුගේ ආගම , භක්තිය ගැන අහල වැඩක් නැහැ. ඔහුට/ඇයට  දේශපාලනය උගන්වන්න යන්නටත්   අවශ්‍ය නැහැ. බේරන්න පුලුවන්නම් බේරන්න. උදව් කරන්න  පුලුවන්නම් උදව් කරන්න.

රජයේ ප්‍රතිචාරය නැවතත් හුඟක්ම ප්‍රමාදයි. ආපදා සඳහා  ඉන්න ඇමැතිවරයා කොහෙද ගිහින්. නියෝජ්‍ය එක්කෙනා  හිටියේ ලංකාවේ  වුනත් කොහෙද කියල හොයා ගන්න නැහැ. අගමැතිතුමා පස්සේ කතා කරලා තිබුන. මංගල  සමරවීර මහතාත් ගිහින් තිබුන මාතර. බුකියේ ස්කෝර් කලේ නියෝජ්‍ය අමාත්‍ය තෙවරප්පෙරුම.  ජනාධිපති තුමා  නිල චාරිකාවක නිසා සමාව දෙන්න පුළුවන් කියමු. අනිත් අය?  මොකක්ද මේ තියෙන පසුබෑම.

හැබැයි ඉතින් හමුදාවන්  සහ  පොලිසියේ ආධාර සහ ක්‍රියාකාරිත්වයත් රජය යටතේ තමා ගැනෙන්නේ කියන එකත් හුඟක් අය අමතක කරලා  තිබුන. කෙසේ වෙතත් රජයේ දේශපාලකයන් ගේ ප්‍රතිචාරය ඉතා මන්දගාමියි. ඒ අතර තමන්ට රථ වාහන ගන්න පරිපුරක ඇස්තමේන්තුවක් සම්මත  කරගෙන තිබුන. ඒක පස්සේ ඕනේ නම් කරගන්න තිබුන නේද? ඒකද  දැවෙන අවශ්‍යතාවය. මේ රජයට කොහොමත් 2020න් පස්සේ ඉන්න අවශ්‍යතාවයක් නැහැ කියල තමයි පෙන්වන්නේ. පොඩි කාලෙකට කියක් හරි හොයාගෙන යන්න  ආපු කට්ටියක් කියල කාටහරි හිතුනොත් ඒකෙ වැරැද්දක් කියන්න පුලුවන්ද?

මේ අතරේ සුජීව කොකාවල  හොඳ ලිපියක් පළ කරලා තිබුණ ඔහුගේ බ්ලොගයේ.  "එම්බා ගංගා දුවයනු දුවයනු දුවයනු දුවයනු ." කියලා. ඔහු අරඹල  තියෙන  කතිකාවත ඉදිරියට ගෙනි යන්න පුලුවන්නම් හොඳයි. මේ ගංවතුර වසර  කිහිපයකට වතාවක් වත් එන දෙයක්.  නමුත් හොඳ විසඳුමක් නැහැ. 

 මගේ අදහස නම් ටිකක් බොළඳ එකක් වෙන්න පුළුවන්. කැළණි ගඟ ගංගා තුන හතරකින් පටන් අරන් සීතාවක පෙදෙසේ දී තමා එකතු වෙන්නේ. ඒ ලඟින්ම වගේ  කැළණි ගඟ , මහ ඔය හා දැදුරු ඔය ට එනකන් හරස් ඇලක් කපලා වැඩි වතුර ඒ පැත්තට යවන එක හොඳ නැත්ද? මේ ඇල සෑහෙන්න දිග වෙයි.  බෝට්ටු යවන්න ඒ කියන්නේ ගමනාගමනයත් පුලුවන් වෙන්න හදන්න පුළුවන්. 
කැළණි ගඟ 
සීතාවක  පෙදෙස 
තෙත්  කලාපයට වැස්සත් පුත්තලමින් එහාට ඉඩෝරය. දැදුරු ඔයත් සමහර කාල වලට ගලනවා තමයි. දැදුරු  ඔය දක්වා ගෙන යන ඇල ඉන් එහාටත් කපන්න පුළුවන්. අනුරාධපුර වගේ පැතිවල වතුර නිසා හැදෙන වකුගඩු රෝග වලටත් කිසියම් විසඳුමක් සපයන්න පුළුවන්. නමුත් මේ වගේ ව්‍යාපෘතියක් කියන්නේ විශාල එකක්. 

මේ ගැන ලිපියක් අයිලන්ඩ් පත්තරේ තිබ්බ කියල සුජීව කියල තියෙනවා.  ඒ මෙතන.  මම නම් විශාල වේල්ලවල් බැඳලා වතුර හරවනවට කැමති නැහැ. ඇලවල් හරහා වතුර හැරවීම ආදී කාලයේ සිට කරන පරිසරයට වැඩි හානියක් නොවන දෙයක්. වේල්ලක් හැදුව වගේ නෙමෙයි. 
කළු ගඟ හා රටේ දකුණු පැත්ත පිළිබඳවත් මගේ තියෙන්නේ එවැනිම අදහසක්. 
කළු ගඟ ඇරඹෙන තැන් 
කළු ගඟ හැදෙන්න කලින් එන ඇළ මාර් ග කිහිපයක් තිබෙනවා. මේක ටිකක් අමාරු  කර්තව්‍යයක්. ඒත් කරන්න බැරි කමක් නැහැ. රත්නපුරයත් බේරා ගෙන කරන්න  පුළුවන් වැඩක්. වතුර අඩු හම්බන්තොට පැත්තට යන විධිහට.

හැබැයි මේ දේවල් වලට මගේ තියෙන දැනුම අඩුයි. අපිට හිතෙන දේවල් වගේ නෙමේ. ශ්‍රී ලංකාවේ තියෙන තත්වයන් හුඟක් සලකලා බලල කරන්න ඕනේ ඉතා බැරෑරුම් කර්තව්‍යයක්.

  ඒ අතරෙම මේ විධිහට කරුණු කාරණා සිද්ධ වුනොත් රජයක් වැඩක් නැහැ, අපි අපිටම රට පාලනය වුනත් කරගන්න  පුළුවන් කියල මිනිස්සු හිතන්න පටන් ගනීවි.

අපි ඉපදුන අපේ නෑදෑ සහෝදර සහෝදරියන් , යහළු මිත්‍රයන් ඉවත් වන රට අපට හැමදාම සමීපයි අපි කොහේ ජිවත් වුනත්. මේ ව්‍යසෙනයෙන්නුත් බේරිලා වෙනද වගේම  වීර්යයෙන් නැගිටීවි කියන පුංචි බලාපොරොත්තුවක් හිතේ තියෙනවා.

පින්තූර: AP/PT ඉන්දියන් එක්ස්ප්‍රෙස් ලිපියක්  සහ ගූගල් මැප්ස් 

37 comments:

  1. හැකි පමනින් උදව් කරා

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා :)
      උදෙන්ම නැගිටලා වගේ. අපට තවම රෑ (ඒ කියන්නේ 00.45 am)

      Delete
  2. ඔබගේ කතාව 100 %හරි.
    දවස් දෙකක් වැස්සොත් ගංවතුර ගලලා වැව් වාන්දමනවා. සති දෙකක් පෑව්වොත් වැව් හිදිලා වතුර නෑ කියනවා. මේවා ගැන සොයාබලන්න නිසි වැඩපිලිවක් වත් කිසිම සැලසුමක් වත් නෑ අපේ රටේ දේශපාලුවන් පිටරටින් හිගා කන්න ආදායම් මාර්ගයක් කරගන්න හදනවාද මන්දා.
    මහජනයා අවතැන්වු ජනතාවට දෙන්න හැකි පමණින් උදව් උපකාර කරද්දි පාර්ලිමෙන්තුවට යන දිනෙක වියදම හරි මන්ත‍්‍රිවරු ඇමතිවරුන්ගේ දිනක වැටුප වත් දෙන්න පෙලබෙන්නේ නෑ. සමහරවිට මහජනයා මේවා ඔක්කෝම කරන හින්දා අපි මොකටද කරන්නේ කියලා ගෙදරටවෙලා ටිවි බලනවා ඇති.

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ අලස බව lethargy කියල මම හිතන්නේ. ඕනෑ කමක් නැති කම හෝ ඕන කමක් තිබුනත් අලස කම වගේ දෙයක්. ම්නිසුන්ට තියෙන උනන්දුව ප්‍රශ්නයක් විසඳන්න දේශපාලකයන්ට නැහැ වගේ.

      Delete
  3. //මගේ අදහස ටිකක් බොළඳ එකක් වෙන්න පුළුවන්. කැළණි ගඟ ගංගා තුන හතරකින් පටන් අරන් සීතාවක පෙදෙසේ දී තමා එකතු වෙන්නේ. ඒ ලඟින්ම වගේ කැළණි ගඟ , මහ ඔය හා දැදුරු ඔය ට එනකන් හරස් ඇලක් කපලා වැඩි වතුර ඒ පැත්තට යවන එක හොඳ නැත්ද? මේ ඇල සෑහෙන්න දිග වෙයි. බෝට්ටු යවන්න ඒ කියන්නේ ගමනාගමනයත් පුලුවන් වෙන්න හදන්න පුළුවන්. // ඔහුගේ අදහස ඉතා හොඳ අදහසක් අජිත්...

    මට මතක්වුනේ ඇමෙරිකාවේ Arizona / Nevada බෝඩරයේ ඇති “Hoover Dam” ව්‍යාපෘතිය. ග්රෑන්ඩ් කැනියන් හරහා ගලා බසින කොලරාඩෝ ගංගාව, වසන්තයේ උදාවත් සමග ඉහලින් ඇති අයිස් දියවී සැම වසරකම පහත පිහිටී බිම් වලට සිදුවන විනාශය පාලනය කිරීමත්, වියලි-කර්කෂ කැලිෆෝනියා හා ඇරිසෝනා වල ඇති වගා බිම් වලට වසර මුළුල්ලේ ස්ථාවර ජලසම්පාදනයක් ලබාගැනීමත් ජලවිදුලිය නිෂ්පාදනයත් අරමුණ කොට, නවසිය විසි ගනන් වල අවසානයේ සිට රටේ පැවතී ආර්ථික අවපාතයත් හේතු කොට ඉදිකරන ලද සුවිසල් බැම්ම සහ එමගින් නිර්මාණය කරන ලද "Lake Mead" නමැති ජලාශය.

    මෙම ව්‍යාපෘතියෙන් කැලිපෝනියා, ඇරිසෝනා, නෙවාඩා ප්රාන්ත වලට ජලවිදුලිය සපයන අතර ඉදිකරනලද ජලාශය විවිධ recreational කටයුතු වල යෙදෙන්නන්ට විනෝද වීමට තෝතැන්නකි.

    (කෙසේ වෙතත්, මෙමගින් කොලරාඩෝ ගංගාව මුහුදට වැටුණ මෙක්සිකෝවේ "Gulf of California" පෙදෙස් වලට ජලය නොලැබී යාම, සත්ව දාම විනාශ වී යාම වැනි පරිසර හානි සිදුවී ඇත.)

    එදා මෙම ව්‍යාපෘතිය නිසා කාන්තාරයේ තිබුන ලාස්වේගාස් සුදු පුරවරය ඉතා ඉහළ දියුණුවකට පත්විය. අද මෙම ව්යාවපෘතියේ තවත් අමතර අදායමක් වී ඇත්තේ ලාස්වේගාස් වෙත පැමිණෙන සංචාරකයන්ය. ඔවුන් බොහොමයක් නොවරදවාම කැදවන්නාවූ සුවිශේෂී සංචාරක ආකර්ෂණයක්වී ඇත්තේ “Hoover Dam” විදුලි ජනන ව්‍යාපෘතිය දැකබලගනීම සහ "Lake Mead" ජලාශයේ ජලක්රී්ඩා මෙන්ම අවට කදවුරැ බැදීම (camping කිරීම) සදහාය.

    https://en.wikipedia.org/wiki/Colorado_River

    https://en.wikipedia.org/wiki/Hoover_Dam

    https://en.wikipedia.org/wiki/Lake_Mead

    ReplyDelete
    Replies
    1. ඇනෝ මෙතන මගේ ලියල තියෙනෙන් සුජීව කොකාවල මහතා ගේ අදහස් නෙමෙයි. මගේ අදහස. ඔහුගේ අදහස එම බ්ලොග් ලිපියේ තිබෙනවා. එය දිවයින පුවත්පතේ පසුව පළ කර තිබෙනවා. ඔබගේ අදහසට සහ යොමු වලට ඉතාමත් ස්තූතියි. ඇත්තටම ලාස් වේගාස් කියන්නේ එම ගංගාව හැරවීම නිසා ලැබුණු විශිෂ්ඨ ප්‍රතිඵලයක් නේද? ඇත්තටම මා හරි හැටි නොදැන සිටි කරුණක්.

      Delete
  4. බුකියේ චාමර වීරසිංහ දීපු සහයෝගය තෙවා වගේමයි. ඒ ගැනත් ලියන්න තිවුණෙ
    මහින්ද සමරසිංහ කෝ? අගලවත්ත මිනිහගෙනෙ..... මිනිහව දකින්නවත් නෑ.. පුදුම කාලකණ්ණි.

    ReplyDelete
    Replies
    1. මම හරියට දැක්කේ නැහැ. ස්තූතියි. කිහිප දෙනෙක්ම දැක්ක. කලින් වගේම නලින් දිල්රුක්ෂ, ජවිපෙ කට්ටිය, තෙවරප්පෙරුම, චන්දන ගුණසේකර ආදීන්

      Delete
  5. ඇත්ත මොනවත් ලියන්න කියන්න හිතෙන්නෙ නෑ තමයි... දුකයි.. පුංචි පුංචි දේවල් ඇරුණම මේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වැඩි දෙයක් කරන්න බැහැනෙ කියල දැනෙද්දි ඒ දුක තවත් වැඩිවෙනවා.

    ReplyDelete
  6. අජිත්, කැළණි ගඟ හැරවීම ගැන සවිතරව ලියල තිබුන ගිය අව්රුද්දෙ වගතුග බ්ලොග් එකේ.

    කැළණි ගංවතුර - II (කැළණි ගඟ දකුණට හරවමු !!!)

    ReplyDelete
    Replies
    1. ඒ ලිපියත් හොඳයි. මෙහෙම් අදහසක් ආව . සුජීව කොකාවල හා ඒ ගැන දැනුමක් තියෙන කිහිප දෙනෙක් ගේ ප්‍රධානත්වයෙන් කැළණි ගඟ හැරවීම හෝ ඇළක් කැපීම පිලිබඳ සංවිධානයක් හදන්න. මේ වගේ වැඩ නැත්නම් කෙරෙන්නේ නැහැ.

      Delete
  7. හැමදාමත් පොළවට පස්වෙන මිනිස්සුන්ට ඉන් පෙර අදාළ ස්ථාණ වලින් ඉවත් කිරීමේ විධිමත් වැඩ පිළිවෙලක් නොමැති වීම කරුමයක්

    ReplyDelete
    Replies
    1. එක තමයි. සමහර රටවල තියනවා වගේ මේ වගේ දෙයකට ස්වාධින සංවිධානයක් හැදුවොත් මොකද?

      Delete
  8. ගොඩක් වැදගත් දැනුවත් කිරීම් සහිත ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉරංග

      Delete
  9. මට නම් ඔය ප්‍රශ්නේ ගැන හිතෙන්නේ මෙහෙම දෙයක් ..අහසෙන් වැටෙන වතුර මුහුදට යනකම් නැත්තම් ..පොළොවට උරා ගන්නකම් ඒවා ගමන් කරන විදි ක්‍රම පද්ධති ස්වභාවික විදිහට හැදිලා තියෙන්නේ..වසර දහස් ගානක ඉඳලා ...ගංගා දෙපස වනාන්තර පතන බිම් එලි කිරීම ,වගුරු බිම් ගොඩ කිරීම ,ජල පෝෂක වසා දැමීම ,වැලි ගොඩ දැමීම ..සහ මිනිස්සුන්ට ආතල් දෙන්න කරන කොන්ක්‍රීට් සංවර්ධනය වගේ හේතු ගණනාවක් නිසා මේ ස්වභාවික ජල කළමනාකරණ පද්ධතිය විනාස වෙලා ඉවරයි ..අපි දියුණුව කියලා ගන්නේ කොහේ හරි දියුණු රටක තියෙන ආකෘතියක්නේ...උන් හයිවේ හදනකොට මේ ප්‍රශ්න ඔක්කොම ගැන හිතනවා ,,අපේ මිනිස්සු චන්ද ගැන හිතනවා,ඒකයි මේ ප්‍රශ්නේ ...දැන් මේක ගැන සීරියස් හිතලා සැලසුමකට වැඩ කරේ නැත්තම් ඉස්සරහට මෙහෙත් බන්ගලිදේශේ වගේ වෙනවා ෂුවර්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. ශ්‍රී ලනක්ව එහෙම වෙන්ට රටක් අනුගමනය කලා කියා ඔබ හිතනවද? චීනය වගේ රටක්? මම හිතුවේ පරිසරය ගැන හිතලා කරනවා කියල. දක්ෂිණ අධිවේගය ගත්තොත් චන්ද්‍රික ආණ්ඩුව කාලේ ඉඳන්ම තිබ්බ ව්‍යාපෘතියක් නේ.

      Delete
    2. මම කියන්න උත්සාහ කරේ බටහිර මොඩලය කියන එක ...හයි වේ ,තට්ටු ගොඩනැගිලි ...සංවර්ධනය කියන එකට නිර්වචනයක් ...නැත්තම් අපේ රටේ සංවර්ධනය කෙබඳු විය යුතුද කියලා නිර්නායකයක් අපට නෑ

      Delete
    3. බටහිර මොඩලය වැරදියි කියල ඒ ගොල්ලම කියනවනේ. චයිනා වුනත් හෙන අප්සෙට්. සමහර පැතිවල වායු දූෂණය හෙම. සෝවියට් දේශයේ පරිසරය ගැන සැලකුවෙම නැහැ. රුසියාව දැනුත් එහෙමයි.

      Delete
  10. අපේ ගෙවල් යට උනේ නෑ. ගිංගඟ උතුරනකොට අපේ පැත්තේ වැහි වතුර බහින්නේ නැති නිසා වෙලවල් වතුරෙන් පිරෙනවා.ඊළඟට පාරවල් යට වෙනවා.. පාර මට්ටමේම තියෙන ගෙවල් වලටත් වතුර දානවා.. ඊට වඩා වතුර වැඩි වෙන්නේ නෑ.. වෙන කොහෙන් හරි වතුර මුහුදට යනවා.. හැබැයි වතුර පිරුණම බහින්න ගොඩ දවසක් යනවා.. ඒ වගේම කරන්ට් එක යනවා.. එහෙම උනාම ගොඩක් කරදරයි.. ඒත් සේසතම වතුරට ගහන ගිහිං උන්හිටි තැන් අහිමිවෙච්ච මිනිස්සු එක්ක බලනකොට අපේ දුක මොන දුකක්ද? ස්තුතියි මතක තිබිලා හොයල බලපු හැමෝටම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්‍යාණ. මම හිතුව ඒත් ගාල්ලට ගලල කිව්වහම ප්‍රෂනයක්ද දන්නේ නැහැ කියල. ඉවාන් ට වුනත්. කරදරයක් වුනේ නැති එක ලොකු දෙයක්.

      Delete
  11. ඇත්තටම රජයේ පැත්තෙන් ඇයි මේ විදිහට වැඩ පරක්කු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙයට හේතුව ආපදා පෙර සූදානම (Disaster Preparedness) නැති වීමයි.
      https://rasikalogy.blogspot.com/2017/06/what-hell-is-disaster-preparedness.html

      Delete
    2. කුරහන් මල්ලි ඇත්තටම ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක්. නායකයෝ අතුරුදහන් වීම.
      @රසික හරියට හරි.

      Delete
  12. /* මේ වගේ විපත් එනකොට වතුරට අහු නොවී තිබෙන ප්‍රතිමා , පන්සල් පල්ලි ගැන භක්තිවන්තයෝ පොස්ට් දානවා. ඒ සමහර ඒවාට හිනා යන බවත් ඇත්ත . ඒ අතරේම දේවාලයක් යටවීම ගැන, තමන්ගේ දේවාලය බේරා නොගැනීම ගැන දෙවියන්ට හිනා වෙන ඒවත් තිබුණා. */

    සමාජය මිත්‍යාවෙන් ගලවා ගැනීමට මේ උවදුර භාවිතා කළ හැකි නම්, එය හොඳ දෙයක් කළ යුතු දෙයක් ළෙසයි මා නම් දකින්නේ!
    https://rasikalogy.blogspot.com/2017/05/excellent-by-products-of-flood-disaster.html

    ReplyDelete
    Replies
    1. සමාජය මිත්‍යාවෙන් ගලවන්න උවදුරු භාවිතා කරන එක හෙමේ දේවල් වෙන්නේ අහවක් එක ඇදහුවේ නැති නිසා එක යයි කීම වගේම මෝඩකමක් හැටියටයි මම නම් දකින්නේ.

      Delete
  13. ඕක ඇනුවල් ෆෙස්ටිවල් එකක් වගේ සමරන්න පුරුදු නොවී කරන්න තියෙන දේ තමයි දිගු කාලීන විසදුමකට එන එක.. පහත් බිම් වල ඉන්න අය සුදුසු තැනක පදිංචි කරවන එක

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තමන්ගේ ඉඩම් දාල යන්න කැමති නැහැනේ. ඒ නිසා ගෙවල් කණු උද හැදුව නම් හොඳ නැත්ද? ගෙවල් දෙන්න ගියහම වෙන්නේ දූෂණ වංචා. ඇත්තටම දැන් කරන්නේ අනුවලී සමරබ්න එකනම් තමයි.

      Delete
  14. කේබල් එක කැඩී යාම ගැන අනිවාර්යයෙන් ම පරීක්ෂණයක් සිදු කල යුතුයි. එම කේබල් නිසි ප්රමිතියට අනුව නිපදවූවාද ? එසේනම් නිර්දේශිත පරීක්ෂණ වලට අවශ්‍ය කාල වලදී යොමු කලාද ? එසේනම් එහි ආයුකාලය ඉක්මගොස් තිඛුනාද ? එය පාවිච්චි කල වාර ගනන නිර්දේශිත ප්මානයට අනුකූලද? එසවූ බර නිර්දේශිත බරට වඩා වැඩිද? මේ සියල්ලටම උත්තරය ධනාත්මක නම්, කේබලය නිශ්පාදනය කල සමාගම මේ සම්බන්ධයෙන් වගකිවයුතු යි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඔබේ අදහසට එකඟයි. කේබල් සමාගමෙන් වන්දියක් ඒ පවුලට අරන් දෙන්න ඕනේ. මම හිතනවා ගුවන් හමුදාව හා රජය වන්දියක් දෙයි කියල. රාජකාරියේ යෙදී සිටියදී ජීවිතය නැති වූ නිසා.

      Delete
  15. ඔන්න මාත් මේ පැත්තෙ ආවා...
    වැදගත් ලිපි වලින් බ්ලොග් එක පිරිලා තියන හැටි නම් දැක්කා.
    ඒ හැම එකක්ම හෙමින් සැරේ කියවන්න ඕනි
    මගෙන් සුබ පැතුම් අයියෙ!!!

    ජයවේවා!!!

    ReplyDelete
  16. අදහස් තියන මිනිහට බලය නෑ.බලය තියන මිනිහට මෙලෝ අදහසක් නෑ.තමුං ගැන ඇරෙන්ඩ.ඔය චක්‍රය බිඳිනකං රටේ මොනම ප්‍රශ්නෙකට වත් විසදුම් නෑ

    ReplyDelete
    Replies
    1. හරියට හරි. බලය නැති අපි නිකන් ඔහේ ලියනවා, කෑ ගහනවා විතරයි.

      Delete
    2. "අදහස් තියන මිනිහට බලය නෑ.බලය තියන මිනිහට මෙලෝ අදහසක් නෑ" මගෙත් හිතට තදින් වැදුනා

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.