Monday 27 February 2017

අභ්‍යවකාශ පර්යේෂණ වලට කරන වියදම් අනවශ්‍ය ද? මේවා වැඩි හරියක් බොරුද?

මේ ප්‍රශ්නය මුලින්ම අසා තිබුනේ කොකාවල මහතාගේ බ්ලොග් අඩවියේ මේ ලිපියේය. ඉන්පසු කල්‍යාණමිත්‍ර මහතා ද එවැනිම පැනයක් යොමු කර තිබුනේ මා ලියූ මේ ලිපියටය.  නමුත් මේ ප්‍රශ්නය ඉතා සුලබ එකකි. නාසාව, රුසියාව හෝ වෙනත් යුරෝපීය රටවල් කරන අභ්‍යවකාශ පර්යේෂණ මුදල් නාස්තියක් ලෙස දකින බොහෝ පිරිසක් බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රටවල වෙසෙති. එම මුදලින් අප්‍රිකාවේ බඩගිනි නිවන්නට කතා කරන අයද සිටිති.

මිනිසා කියන්නේ මේ ලොව පරිණාමවාදයට අනුව විකාශනය වූ හෝ දේවවාදයට අනුව මැවූ සතෙකි.  කොයි විධිහෙන් ගත්තත් මිනිසා විශාල  කුතුහලයක්  සහිත  මොළය වැඩුණු , සිතා මතා වැඩ කරන සතෙකි.

හිතා බලන්න. පළමුවෙන්ම ගින්දර සොයා ගත් ආදී කල්පික මානවයා ගැන. ඔහු නිරීක්ෂණය කරන්නට ඇති ලැව් ගිනි. එසේම ගල් දෙකක් ගැටෙන විට ගින්නක් ඇතිවෙන හැටි. අකුණක් වැඩි ගසක් ගිනි ගන්නා හැටි. ගින්න දෙවියෙක් යයි (අදත් සමහරු සිතති) සිතූ හැටි. ගින්න හසුරුවන අයුරු ආදී මානවයා  සොයා ගත්තේ මිට වසර මිලියන් 0.2 ත් 1.7 ත් අතර යයි විකිපෙඩියාවේ කියවේ.

අනිත් පිරිමින් හා ගැහැණුන් දඩයමේ යන්නට මොහුට හෝ ඇයට කතා කරන්නට ඇති.
"නැහැ මම එන්නම් පස්සේ. මම මේ ගින්න හදන්න යන්නේ. " ගල් දෙකක් අතුල්ලමින් හෝ ලී කෝටු  දෙකක් අතුල්ලමින් ඔහු හෝ ඇය කියන්නට ඇත.
"අර ළමයි බඩ  ගින්නේ. අපට බඩ ගිනි. මස් ටිකක් හොයන්න වරෙන්. බොරුවට වෙලාව නාස්ති කරන්න එපා". ඔවුන් කියන්නට ඇත.
"අපේ ඔය ගල් මුදල් වියදම් කරන්නට එපා". (මා  උපකල්පනය කරන්නේ  ලස්සන කැටයම් සහිත පාෂාණ ඔවුන් හුවමාරු ඒකකයක් ලෙස භාවිතා කරන්නට ඇති කියාය)

ඔහු හෝ ඇය එසේ නොකලා නම් අපේ පරිණාමය තව ප්‍රමාද වන්නට ඉඩ තිබිණි.

නමුත් ගින්න සොයාගෙන එයින් මස් පළහා කන්නට මෙන්ම සීතල දුරු කර ගන්නටද ඔවුහු ඉගෙනගත්හ. මානවයාගේ පරිණාමයට ඉන් සිදුවුයේ අති විශාල මෙහයකි.

ඔවුන්ගේ කුතුහලය එතනින් නතර වූයේ නැත. මිනිසා  දැනුම සොයා ගියේ නිසඟයෙනි. ඔවුන් දර්ශනවාදීන් වූයේද එහෙයිනි. දර්ශනවාදී දැනුමේ ඔන්ටෝලොජිය යනු මේ දේවල් කුමක්ද යන්න විමසීමයි. එපිස්ටමලොජිය යනු අප මේ දේවල් දන්නේ කෙසේද යන්න යි. මේ දෙක එකිනෙකට ඇතැම් විට සමපාත වුවද දැනුම සොයා යාමේදී මිනිසා පසුබට වූයේ නැත. මරණයෙන් වන්දි ගෙවමින් ඔවුන් ඒ සඳහා ඉදිරපත් වූහ. (සොක්‍රටීස් ගේ සිට )

තාරක විද්‍යාව යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. ඉන්දියාවේ සිට චීනය දක්වාත් අලෙක්සන්ද්රියාවේ සිට ඔලිම්පස් දක්වාත් අපේ ආදිතමයින් තාරකා  ගැන අධ්‍යයනය කළහ. තාරකා පද්ධති සටහන් කළහ. ඒවාට දෙවියන්ගේ නම් දුන්හ. එසේම ඉරබටු තරුව හෝ වෙනත් තරු පිහිටන ආකාරය දැනගෙන  නාවික ගමනාගමනය හසුරුවා ගත්හ. කාන්තාර වලදී මග සොයා ගත්හ.

ඕලන්ද ජාතික ලිපෙර්ශි මෙන්ම මත්යෙස් සොයාගත් දුර දක්නය ගැලිලියෝ වැඩි දියුණු කළේ තාරකා  නිරික්ෂනයටය. නමුත් ඉන්පසු දුර දක්නය නාවික ගමනා ගමනයට භාවිතා විය.
අක්ෂාංශ දේශාංශ  භාවිතාවට ආවේත් යුරෝපිය ජාතීන්ට ලෝකය වටා ගමනේ යෙදෙන්නට  මෙන්ම  අධිරාජ්‍ය ගොඩ නගන්නට උදව් වුයේද මේ සොයා ගැනීම් මය.  අමෙරිගෝ වෙස්පුචි සඳේ  සහ අඟහරු ග්‍රහයාගේ පිහිටීම අනුව තමන්  සිටින  දේශාංශය ප්‍රථම වරට මැන්නේය.  ඒ 1600 ගණන් වලය.

එම ඈත අතීතයේ සිට මෑත අතීතයට එමු. දෙවන ලෝක සංග්‍රාමය අවධියේ ජර්මානුවන් V  2 රොකට්ටුව නිෂ්පාදනය කළහ. මිනිසුන් 22 මරා  දමමින් ලන්ඩනයට ප්‍රහාරයක් එල්ල කෙරුනේ 1944 දීය. ජර්මනිය යුදයෙන් පරාජය වූ පසු මේ යුදෙව් හා ජර්මන් විද්‍යාඥයන් ඇමෙරිකාවට සහ සෝවියට් දේශයට රැගෙන ගියහ.

මේ රටවල් දෙකේ අභ්‍යවකාශ  ගමන් වලට අවශ්‍ය රොකට් තැනීම් ඇරඹුණේ ඉන් පසුවය. වර්නන් වොන් බ්‍රවුන් ඇමෙරිකා  එක්සත් ජනපදයට ප්‍රථම රොකට්ටුව දුන්නේ එලෙසය.  එසේ ඇරඹුන අභ්‍යවකාශ  තරණයේ ප්‍රථම භාගය ජය ගත්තේ සෝවියට් දේශයයි.  ඒ ප්‍රථම චන්ද්‍රිකාව අභාවකාශයට යැවීමෙන්, ප්‍රථම ජීවියෙක් (ලයිකා බැල්ල ) යැවීමෙන් හා ප්‍රථම මිනිසා යැවීමෙනි. ඉන්පසු ඇමෙරිකා එක්සත් ජනපදය අභ්‍යවකාශය ජය ගත්තේ  සෝවියට් දේශය පරයා  යමිනි.

ඒ කෙසේ වුවද දැනුත් හොඳම  හා බලවත්ම  රොකට් තාක්ෂනය සතුව ඇත්තේ රුසියාව අත බව නාසා ආයතනයද පිලි ගනී. ඔවුන්ගේ මෙන්ම යුරෝපියඅභ්‍යවකාශ ආයතනයේ උපකරණ ආදිය  ජාත්‍යන්තර අභ්‍යවකාශ යානයට ගෙන යන්නේ සෝවියට් රොකට්ටුය. සෝවියට් දේශය තමා ලත් දියුණුවේ වැඩි හරියක් භාවිතා කලේ න්‍යෂ්ටිකඅවි නිෂ්පාදනය සඳහා මෙන්ම යුධෝපකරණ නිෂ්දපානයන්ටය. එතරම් වැඩි දියුණු නොවුණු අති විශාල  පරිගණකයන්ද කැමරාවන්ද මේ අභ්‍යවකාශ තාක්ෂණයෙන් ඔවුන්ට ලැබුණු දේවල්ය.

එහෙත්  ඇමෙරිකා  එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් අභ්‍යවකාශය ජය ගැනීමට ගිය ගමනේ අතුරු  ප්‍රතිඵල ඉතා හොඳින් ලබා ගත්හ. සෝවියට් විද්‍යාඥයන්ට සහ නව නිපැයුම් කරුවන්ට ලොකු තැනක් ලැබුනේ නැත.   අවශ්‍ය නම් සෝවියට් දේශයේ විරයා  යන සම්මානය ලැබුණි . හොඳ නිවසක්  ලැබුණි. එපමණකි. අභ්‍යවකාශ  විද්‍යාඥයන්  කෑම බීම සියල්ලම මෙන්ම  හොඳ නිවෙස් ද ඇති ඔවුනටම සුවිශේෂ වූ තාරකා  නගරයේ ජිවත් වූහ. (දැන් නම්  රුසියාවේ තත්වය වෙනස්ය)

සෝවියට් හා ඇමෙරිකානු චන්ද්‍රකා තාක්ෂනය නිසා පණිවුඩ හුවමාරු ක්‍රම දියුණු විය. අද මොබයිල් තාක්ෂනය මෙන්ම වයර්ලස් තාක්ෂණයද දියුණු වූයේ ඒ නිසාය.

 ඇමෙරිකාවේ එම නිපැයුම් තම තම තමන්ගේ නමට ලියා පදිංචි  කල හැකිය. මේ  නිසා අභ්‍යවකාශ වස්තුන්  ගැන සෙවීම,  අභ්‍යවකාශ තරණයන් හා ඒ සම්බන්ධ පර්යේෂණ වල අතුරු ප්‍රතිඵල ජනතාවට  ලබා දෙන්නට ඔවුනට හැකි වුනි. පරිගණක තාක්ෂණයේ දියුණුව මෙන්ම නොයෙක් ප්රෝග්‍රමින්ග් භාෂාවන් දියුණු වීමටද තද බලපෑමක් තිබුණි.

සෝලර්  පැනෙල් හෙවත් හිරු එළියෙන් විදුලිය නිපදවීම මුලින්ම කෙරුනේ අභ්‍යවකාශ යානා වල හා චන්ද්‍රිකා  වල ප්‍රයෝජනයටය.  දැන් අපේ නිවසේද සෝලර් පැනෙල් තිබේ. හදවත් වල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය  කුඩා මෝටරය ද එවැනිම අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව නිසා ලැබුණු  නිපැයුමකි. එසේම ජලය පිරිපහදු කිරීමේ ක්‍රම කිහිපයක්ම දියුණු වුයේද මේ නිසාමය. අවශ්‍ය නම් මෙවැනි බ්ලොග් ලිපි දහයක් ලිවීමට තරම් කරුණු එක් රැස්  කරගත හැකිය.

නාසා  ආයතනයෙන්  පල කරන ස්පිනොෆ්ෆ් නම් සඟරාවක් තිබේ (මෙන්න  යොමුව)  එහි ඇත්තේ අභ්‍යවකාශ තරණය මෙන්ම එම වස්තුන් ගැන ඉගෙනීම සඳහා යොදා ගන්නා විද්‍යාඥ කාලය, ශ්‍රමය මෙන්ම මුදලේද අතුරු ප්‍රතිඵල ගැනය.

මේ වසරේ සඟරාවේ රොබෝටික්ස් දියුණුව ගැන ලියා  ඇති තැනෙක රොකි 7 නමැති රොබට් යන්ත්‍රය රෝහල් වල භාවිතාව සඳහා යොදා ගන්නා  හැටි  පැහැදිලි කර  තිබේ. මෙයට  අරමුදල් යොදවා ඇත්තේ  නාසා  ජෙට් ප්‍රොපල්ෂන් ආයතනයයි. නාසා ආයතනය සඳේ පින්තුර වැඩි දියුණු කිරීමට  තැත් කිරීමෙන් MRI හා CT ස්කෑන් තාක්ෂනය දියුණු වූ බව ඔබ දන්නවාද ? 

ඉහත පින්තුරයෙන් දැක්වෙන පරිදි (ත්‍රිමාණ ඡායාරූප එන්ඩොස්කොපි) මොළයේ ස්කෑන් සහ ඔපරේෂන් කිරීමට අවශ්‍ය තාක්ෂණයන්හි බොහොමයක දියුණුවට මේ පර්යේෂණ බලපා  තිබේ.

වෙනත් ග්‍රහලෝක සෙවීම හා ජිවය සෙවීම:

මා ඉහත දැක්වූ පරිදි  ලෝකයේ ජිවය ඇති වුයේ කෙසේද යන්න  ආදී කාලයේ සිටම අපට වද  දුන් ප්‍රශ්නයකි. බොහොමයක් දාර්ශනිකයන් මේ ප්‍රශ්නයට සිත යොමු කළහ.  සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගේ දේශනයක මෙන්ම ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන්ද මේ සඳහා වෙහෙසුනහ. ඇතැම් ආගමික  ශාස්තෘන් වහන්සේලා සර්ව බලදාරී දෙවියෙක් ගැන කිවූහ.

නමුත් අපට සමාන ග්‍රහලෝක මේ අනන්ත විශ්වයේ තිබෙන බව දැන  ගැනීමම අප ලද ජයග්‍රහණයකි. අප දන්නා විශ්වයේ බිලියන් 100 පමණ තාරකා තිබේ. එසේ නම් ඒවා වටා ගමන් කරන ග්‍රහලෝක තව කොපමණ සංඛ්‍යාවක් ඇත්ද? අප හා අපේ සුර්යයා අතර  අප වැනිම ජීවයක් (ලෝකයේ මිලියන් 8.7 පමණ වන  ජීවී විශේෂයන් ගනනක් තිබේ  )  තිබිය හැකි දුර ප්‍රදේශය හැබිටබල් සෝන් යනුවෙන් හැඳින්වේ. ඉතින් එවැනිම දුර ප්‍රමාණයක තවත්  ග්‍රහලෝකයක් තිබෙන්නේ නම් මෙහි  ජීවය අහම්බෙන් ඇතිවූ විධිහටම එවැනි තැනක ද ජීවයක් ඇතිවිමේ සම්භාවිතාවක්  තිබේ.

එය අපට  දෙයාකාරයකින් වැදගත්ය. එනම් අප පමණක් නොව වෙනත් ජීවයන්ද විශ්වයේ ඇති බවට දැනෙන ප්‍රබල සාක්ෂියකි. එවන් පිටසක්වළ ජීවීන්  සමුහයක් අපට වඩා බලවත් නම්  ඔවුන්ගේ ආක්‍රමණයකින් ලෝකය බේරා  ගැනීමටද අපට සිදුවනු ඇත. කොතරම් සුරංගනා කතාවක් ලෙස සිතිය හැකි වුවද එවැනි සම්භාවිතාවක් තිබෙන බවට ආචර්ය ස්ටීවන් හෝකින්ස් මහතාද අදහසක් පළ කළේය.

අනිත් ප්‍රශ්නය නම් මිට අවුරුදු 30000 කට ප්‍රථම අස්ටරොයිඩයක් වැදී ඩයිනෝසරයන් විනාශ වූ බවට ඇති මතයයි. අප සිටින පෙදෙසට කුයිපර් බෙල්ට් නමැති අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ  කෙළවර පෙදෙසින් ධුම කේතු, අස්ටරෝයිඩ  නිතර පැමිණේ. ඉන් විශාල එකක් හදිසියේ වැදුනොත් වෙන විනාශය කිව නොහැකිය. එසේ ලඟින්ම ගිය ඒවා කිහිපයක්ම පසුගිය  දශකයේ විය.  ඇමෙරිකාව හා රුසියාවද මේවා ගැන නිතර සෙවිල්ලෙන් සිටිති. අප කවදාවත්  ඔවුන්ට ස්තූති කර තිබේද?

අවසන් වශයෙන් මෙම ගණනයන් කිරීම සඳහා උපයෝගී කර ගන්නා  ක්‍රම වේදයන් ඉහත ලිපියේ පැහැදිලි කලෙමි.  අවශ්‍ය අයට මේ වෙබ් අඩවියෙන්  වලින් එම පර්යේෂණ දත්ත බැලිය හැකිය. ග්‍රහලෝක හත  සොයා ගැනීමට පෙර ග්‍රහ ලෝක තුනක් ට්‍රාන්සිට් ක්‍රමයෙන් සොයා ගත්තේ බෙල්ජියමේ ලීජ් විශ්ව විද්‍යාලයේ ට්‍රපිස්ට් නම් දුරේක්ෂය  භාවිතා කරන කණ්ඩායමකි.  එය තව දුරටත් පරික්ෂා  කර ග්‍රහලෝක හතක්  සොයා ගන්නට උපකාරී වුනේ නාසා හි ස්පිට්සර් දුරේක්ෂයයි. ඒ පර්යේෂණ දත්ත ඕනෑම කෙනෙකුට බැලිය හැකි පරිදි පළ කර තිබේ.

ඉහත  පින්තුරයෙන් (ආලෝක වක්‍ර light curves) පෙන්වන්නේ ග්‍රහලෝක හතෙන් පැමිණි ආලෝක දීප්තිය වෙනස් වන අයුරුය. මේවා බොරු දත්ත නොවේ. මා ක්වින් මේරි විශ්ව විද්‍යාලයේ උගත් අවධියේද මෙවැනි දත්ත නිරීක්ෂණය කිරමට අපට ගුරුවරුන් විසින් ලබා දුනි.

මුලින්ම හඳේ පස් ගෙනා රුසියාවද දැන් නැවතත් අභ්‍යවකාශ ගවේෂණයට එක්වී සිටීම සතුටකි. ඔවුන් 2018 දී නැවත සඳ වෙත යානයක් යවනු ඇත. ඉන්දියාවද, චීනයද මේ රටවල්  ගොන්නට අළුතින්  එකතු වී ඇත. මේ ශතවර්ෂය ඉතාමත් පැහැදිලිව මානව වර්ගයා ඉදිරි පිම්මක් පනිනු ඇති බව මගේ විශ්වාසයයි.

අජිත් ධර්මකීර්ති
සාමාජික - රාජකීය  තාරකා  විද්‍යා සංගමය

පින්තුරය:https://clipartfest.com/download/aec1d960ec939b4a3806d41febca7407d81d1762.html
https://www.nasa.gov/sites/default/files/files/Benefits-Stemming-from-Space-Exploration-2013-TAGGED.pdf
ස්පින්ඔෆ්ෆ් සඟරාව - https://spinoff.nasa.gov/Spinoff2017/index.html
https://arxiv.org/abs/1605.00616
http://www.sciencemag.org/news/2016/04/renaissance-russian-space-science
light curves 

Thursday 23 February 2017

ග්‍රහ ලෝක හතක නව සෞරග්‍රහ මණ්ඩලයක් - ග්‍රහ ලෝක තුනක ජලය ?

ට්‍රපිස්ට් - 1 පද්ධතිය 
හදිසියේ ම දුටු මේ පුවතින් ඉමහත් සතුටක් දැනුනි.  එනම් යුරෝපියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය එක්ව කළ දීර්ඝ නිරීක්ෂණ හා පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස කුඩා වාමන (dwarf ) සූර්යයෙකු සමග ග්‍රහලෝක හතකින් සමන්විත  සෞරග්‍රහ මණ්ඩලයක් 2017 ෆෙබරවරි 22 වැනි බදාදා සොයාගෙන තිබේ.  මෙය හැඳින්වෙන්නේ ට්‍රපිස්ට් -1 (TRAPPIST -1) යනුවෙනි. අපට ආලෝක වර්ෂ 40 (එනම් හැතැප්ම ට්‍රිලියන් 235 පමණ ) ඈතින් පිහිටා  තිබෙන මෙම මණ්ඩලය සොයාගත් කණ්ඩායමේ නායක මයිකල් ගිලන් පවසන්නේ මෙහි විශේෂත්වයන් දෙකක් තිබෙන බවයි . එකක් නම් මේවා සියල්ල විශාලත්වයෙන් පෘථිවිය ට සමාන ඒවා වීමයි. නමුත් අපට වඩා වැදගත් වන්නේ දෙවන හේතුවයි.
එම ග්‍රහලෝකයක් මෙසේ විය හැක -Credits: NASA/JPL-Caltech


එනම් මින් ග්‍රහ ලෝක තුනක්ම තිබෙන්නේ ජිවය  පැවතිය හැකි සීමාවේ වීමය  ("habitable zone alias goldilocks zone'). මෙය හැබිටබල් සෝන් හෙවත් පැරණි ළමා කතාවක් වන  ගොල්ඩිලොක් හි දැරියගේ නමින් ද  හැඳින්වේ. එනම් මේ ග්‍රහලෝක තුන තමන්ගේ සුර්යයා ගේ සිට ඇති දුර අපේ පෘතුවිය අපේ හිරුට ඇති දුරට සමාන දුරකින් (මද වෙනස් කම් සහිතව) පිහිටා  තිබේ. එහි තේරුම නම්  මේවායේ ජිවය පැවතීමට අවශ්‍ය ද්‍රව ජලය තිබිය හැකි වීමය. ජලය තිබී නම් මහා සාගරද තිබිය හැකිය. එසේ සාගර තිබේනම් ජීවයට ද පැවතිය හැකිය.


පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළ තවත් විද්‍යාඥයෙකු වන ඇමරි ට්‍රයාඩ් (Amaury Triaud) පවසා තිබෙන්නේ මෙම පද්ධතියේ වාමන සුර්යයා නිපදවන බල ශක්තිය අපේ සුර්යයාට වඩා  බොහෝ අඩු බවයි. එසේම ග්‍රහ ලෝක පද්ධතියද එකිනෙකාට ලඟින් පිහිට තිබේ. එනිසා ජලය පිහිටීමේ සහ ජිවය පැවැතීමේ සම්භාවිතාව වැඩිය. 


නාසා ආයතනයෙන් එලි දක්වන ලද වීඩියෝවක් ඉහත තිබේ. (Credits: NASA)

මෙසේ වෙනත් සුර්යයන්  වටා ග්‍රහලෝක තිබෙන බව දැන ගන්නේ කෙස්ද? මෙවැනි ග්‍රහලෝකයක්  නම් කරන්නේ  ට්‍රාන්සිට් එක්සෝප්ලැනෙට් (Transiting exoplanets) යනුවෙනි. "ට්‍රාන්සිට්" යනු හරහා ගමන් කරන යන තේරුම දෙන්නකි.

පළමු ක්‍රමය නම් බලවත් දුරේක්ෂයකින් කෙලින්ම නිරීක්ෂණය කිරීමයි. (direct imaging) මෙසේ නිරීක්ෂණය කර ග්‍රහලෝකයක් සොයාගත් ප්‍රථම දුරේක්ෂය ස්ටෙයාර් (STARE) නම් සෙන්ටිමීටර් 10 ක (කාචයක්) අපර්චර් එකක් තිබුණකි. අද අපට බ්‍රහස්පති, සෙනසුරු හෝ ඔවුන්ගේ චන්ද්‍රයන් මේ ක්‍රමයට නිවසේදී වුවද නිරීක්ෂණය කළ හැකිය.



ඊළඟ ක්‍රමය කොරෝනග්‍රපි (Coronagraphy) ලෙස හැඳින්වේ. උපකරණය දිසාවට එන හිරුගේ රශ්මි කදම්බය කිසියම් පෙත්තක් (disk) වැනි යමකින් සඟවා එය නිරීක්ෂණය කරනු ලැබේ. එසේ කරන විට කෙළින් ම බැලූ විට නොපෙනන සැඟවී මෙන් තිබෙන වස්තූන් අදුරු තිත් ලෙස පෙනේ. මේ ක්‍රමයට ග්‍රහලෝකයක් සෙවීමට නම් ඒවා තමන්ගේ හිරුට ඉතා ලංව පිහිට තිබිය යුතුය. පහත පින්තූරයේ පෙනෙන්නේ ෆොමල්හට් නමැති තාරකාව අසල එසේ ඩිස්ක් එකකින් වැසීමෙන්  ෆොමල්හට් b ග්‍රහලෝකය සොයා ගැනුණු අන්දමයි.

තවත් ක්‍රමයක් වන්නේ ග්‍රහලෝක තම සුර්යයා සමග පිහිටා  තිබෙන කෝණය ගණනය කිරීමයි. මෙය ඇන්ගියුලර් ඩිෆරන්ස් ඉමේජින් (Angular difference imaging) ලෙස හැඳින්වේ. HR8799 නමැති තාරකාව වටා  යන ග්‍රහ ලෝක තුනක් මේ ආකාරයෙන් සොයා ගන්න ලදී.

වඩාත්ම සාර්ථක ක්‍රමයක් වන්නේ සංක්‍රාන්ති හෙවත් ට්‍රාන්සිට් (transit method) කරයි. දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක 3565 න්  බහුතරයක් සොයාගෙන  ඇත්තේ මෙලෙසය.

සාමාන්‍යයෙන් ඈත තිබෙන තාරකාවකින් එන එළියේ දීප්තිය (brightness)  බලවත් දුරේක්ෂ මගින් නිරික්ෂනය කළ හැකිය. මාස ගණනාවක් හෝ අවුරුදු ගණනාවක් තිස්සේ කරන එම නිරීක්ෂණ  වලින් එම දීප්තියෙ නොයෙකුත් ආලෝක චක්‍ර වගු  (light curve graphs) ඇඳිය හැකිය. මෙම වගු බොහොමයක් ඇඳීමෙන් පසු ඒවා  නැවත නිරීක්ෂණය කරන විට මෙම ආලෝක වගු වල ඇතැම් තැන වල බැස්මක් නිරීක්ෂණය කල හැකිය. පහත පින්තූරය බලන්න. ඒ අර තාරකාව හරහා ග්‍රහලෝකය ගමන් කරන විට දීප්තියේ අඩුවක් පෙනෙන අන්දම නිරීක්ෂණය කරන්න.
ට්‍රාන්සිට් ක්‍රමය 

මෙය නිවසේදීද අත්හදා බැලිය හැකිය, නිවසේ ලාම්පුවක් (table light) උඩින් නූලක්  බැඳි බෝලයක් එල්ලන්න. ඉන්පසු එය ලාම්පුව වටා කරකවන ලෙස කෙනෙකුට භාර දෙන්න. ඔබ ලාම්පුව දෙස බලන දිශාව හරහා බෝලය යනවිට එමගින් ලාම්පුවේ  ආලෝකය වැසෙන  අයුරු නිරීක්ෂණය කරන්න.


ට්‍රාන්සිට් ක්‍රමය තව  දුරටත් 
ට්‍රාන්සිට් ක්‍රමයෙන් ගන්නා ආලෝකයේ දීප්තිය රැගත් වගුවක් 

මෙසේ  ලබා ගන්නා දත්ත  එකතු කර කොපමණ දීප්තියෙ අඩු වීම් ඇත්දැයි නිරික්ෂනය කළ හැකිය. ඉන්පසු ග්‍රහලෝක කිහිපයක්ඒ තාරකාව වටා යනු ඇත්දැයි යන කාල (දින වකවානු) ගණනය කිරීමෙන් සොයා ගත හැකිය.

තවත් ජනප්‍රිය ක්‍රමයක්  වන්නේ තාරකාව තිබෙන තැන හරියටම අස්ට්‍රොමෙට්‍රි (Astrometry ) නම් ක්‍රමයෙන් සොයාගෙන ඉන්පසු එම තාරකාවේ ඇතිවන කැළඹීම් (wobbles - චලනයන් ) අවට තිබෙන  අනිකුත් තාරකාවල් වලට සාපේක්ෂව නිරික්ෂනය කිරීමයි. එසේ කැළඹීම් ඇති වන්නේ එය වටා යන ග්‍රහලෝකයක් ඇති බැවිනි.  මේ චලන නිසා ආලෝක චක්‍ර වල වර්ණයේ වෙනස් කම් ඇතිවේ.

රේඩියල් වෙලෝසිටි  හෙවත් කේන්ද්‍රීය ප්‍රවේගය යන ක්‍රමයෙන් හිරු වටා යන ග්‍රහලෝකය මගින් ඇති කරන චලනයන්  (wobble)  හා  ආලෝකයේ වර්ණයන් ගේ වෙනස් කම් නිරික්ෂනය කළ ගණිතමය ලෙස  ඔප්පු කළ හැකිය.

මේ නාසා වීඩියෝව ක්‍රම පහක් ගැන රූප සහිතව හොඳ විස්තරයක් දෙයි. 


අප සිටින්නේ මේ නව ශත වර්ෂයේ සිදුවන ප්‍රබලම හෙළිදරව්වක් ඉදිරියේද?


මුලාශ්‍ර: https://www.nasa.gov/press-release/nasa-telescope-reveals-largest-batch-of-earth-size-habitable-zone-planets-around
A nearby star has seven temperate Earth-size planets
නාසා වීඩියෝව: https://exoplanets.nasa.gov/interactable/11/
ඉහළම පින්තූරය =http://www.telegraph.co.uk/science/2017/02/22/nasa-announcement-live/

Monday 20 February 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

අන්නා කරේනිනා චිත්‍රපටියේ කීරා නයිට්ලි 
දැනට වසර හතරකට පමණ පෙර මගේ බ්ලොගයේ මා මිතුරු සරෝජ් පතිරණ ලියු "ද්‍රෝහියාගේ දියණිය"  ග්‍රන්ථය ට හඳුන්වාදීමක් ලියුවෙමි. මේ හඳුන්වා දීමම මදක් වෙනස් කරමින්, පසු ගිය වසරේ   මගේ හා ඔහුගේ පොත්  ලන්ඩනයට හඳුන්වාදීමේදී රුසියානු සාහිත්‍යය  පූර්ව  විප්ලවීය හා පශ්චාත් විප්ලවීය යනුවෙන් කොටස් දෙකකට බෙදිය හැකි බවත් විප්ලවයෙන්  පසු රුසියානු සාහිත්‍යය  බොහෝ විට සෝවියට් සාහිත්‍යය සමග බද්ධවූ බවත් පැවසුවෙමි.

එසේම සෝවියට් සාහිත්‍යය සමාජවාදී යථාර්ථවාදය අනුයමින් කරන ලද නිර්මාණ හා එසේ අනුගමනය නොකරන නිර්මාණ ලෙස බෙදිය හැකි බවත් පසු කාලීනව සෝවියට් විරෝධී සාහිත්‍යයක් ගොඩ නැගුනු බවත් පැවසුවෙමි.

පූර්ව විප්ලවීය රුසියානු සාහිත්‍යය සහ කලාව ගැන කතා කරනවිට පොතක් ලියන්නට හැකි තරම් කරුණු සොයා ගත හැක. රුසියානු සම්භාවනීය සාහිත්‍යය ඒකාලෝක කල මහා ගත්  කතුවරුන් බොහොමයක් වූහ . මේ  කෘතීන් බොහොමයක් විශ්ව සාහිත්‍යයේ ඉහළම ස්ථානයේ වැජඹේ. එංගලන්තයේ කේම්බ්‍රිජ් , ඔක්ස්ෆර්ඩ් යන විශ්ව විද්‍යාල පමණක් නොව බර්ලින් විශ්ව විද්‍යාලය, ලෝක ප්‍රසිද්ධ  ලිප්සිග් ආදී ජර්මන් විශ්ව විද්‍යාල වලද ප්‍රංශයේ සොරෝබෝන් සරසවියෙහි ද රුසියානු හා උක්රයින සාහිත්‍යය උගන්වන පාඨමාලා තිබේ.

පූර්ව  විප්ලවීය රුසියානු සාහිත්‍යයේ  බැබලෙන ප්‍රබලම ගත්  කතුවරයා  ලෙස සැලකෙන ලියෝ ටෝල්ස්ටෝයි "රුසියානු විප්ලවයේ හදවත" ලෙස හැඳින්වූයේ ඔක්තෝබර් විප්ලවයේ නිර්මාතෘ වූ ව්ලැඩිමීර් ඉලිච් ලෙනින් ය. ටෝල්ස්ටෝයි  රුසියානු සාර්වාදී සමාජය මැනැවින් විග්‍රහ කරමින් ලිවිම ලෙනින් ගේ මේ කියමනට පාදක විය.  එසේ නැතිව සිටුවරයෙකු වූ ටෝල්ස්ටෝයි වාමාංශික අරගල ගැන ලිව්වේ නැත. ලෙනින් ගේ විචක්ෂණ ශීලි මොළයට තමන්ගේ පැත්තේ යයි නොසිතිය හැකි ලියවිල්ලක්, පොතක් පමණක් නොව නාට්‍යයක් පවා තම පැත්තට  හරවාගෙන විචාරයන් ලිවිය හැකි අමුතුම දක්ෂතාවයක් තිබුණි.

රුසියානු සාහිත්‍යය ගැන කතා කරනවිට චිත්‍රපට වලට පවා නැගුණු ටෝල්ස්ටෝයි ගේ අන්නා කරෙනිනා  හා යුද්ධය හා සාමය පොත් හැඳින්විය හැකිය. මේ මෑතකදී  බීබීසී ආයතනය "යුද්ධය හා සාමය" නැවත රුපවාහිනී චිත්‍රපටයක් ලෙස කොටස් වශයෙන් පෙන්වන ලද අතර එය ඉතා ජනප්‍රිය විය. මේවායේ පිළිඹිබු වන්නේ එවකට රුසියන් සමාජයේ අතිශයින්  පොහොසත් සාර් රජ පවුල ,  නොයෙකුත් ඉඩම් හා මාළිගා හිමි රදළයන් සහ  හමුදා සෙන්පතියන් ගේ ජිවිතයන්‍ ය.  එසේම  ඔවුන් බාහිර සමාජයෙන් වෙන්ව ගෙවූ එම සුඛෝපභෝගී ආකාරයේ ජිවිත හා ඔවුන් විසින් නොසලකා හරින ලද බාහිර සමාජයේ පරතරයද මේ පොත් වල මැනවින් පිළිඹිබු විය..

ෆියෝදෝර් දොස්තයෙව්ස්කි ගේ "අපරාධය සහ දඬුවම", "කරමාසොව් සහෝදරයෝ" මෙන්ම නිකොලායි ගොගොල් (උක්රයින ජාතික) ගේ "මළ මිනිස්සු" ද එලෙසින්ම විශිෂ්ට කෘතීන් ලෙස සැළකේ. ශ්‍රී ලංකාවට ද පැමිණි ඇන්ටෝව් චෙකොව්   ප්‍රසිද්ධ නාට්‍ය රචකයෙක් විය. ඔහුගේ "සොයුරියන් තිදෙනා", "චෙරි ගහ යට සහ "බල්ලා  කැටුව යන කාන්තාව" ප්‍රසිද්ධ නාට්‍යයන්ය. මහා කවියෙකු මෙන්ම ඔපෙරා තනන්නෙකු ලෙස චිර ප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ "කපිතන්ගේ දියණිය " නව කතාව මෙන්ම ඔපෙරාව  ද චිත්‍රපටයකට නැගුනු  "යෙව්ගෙනි අනිගින් " ද ලොවම  දනී.

නිර්භයව අඩු වයසේ තරුණියක හා මැදිවියේ මිනිසෙකු අතර පෙම් සබඳකමේ කතාව  "ලොලිතා" ලීයූවේ රුසියානු ජාතික   නබෝකොව්ය. එසේම ඉවාන් තුර්ගේනිව් (පියවරු සහ පුත්තු) , මිහයිල් ලෙර්මන්තොව් (අපේ කාලයේ වීරයෙක්) ද ඉතා ප්‍රසිද්ධ ගත් කතු වරුන්ය.

මේ රුසියානු සාහිත්‍යය ගැන ඉතා කෙටියෙන්ය.

සෝවියට් සාහිත්‍යයට යාමට පෙර ලංකාවේ වමේ මුලාශ්‍රය සොයමු.

ආචාර්ය එන් එම් පෙරේරා 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වමේ පක්ෂය ගොඩ නැගු අයගෙන් කෙනෙක් වන  නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා උගත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේය.  කොළඹ විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා ප්‍රසිද්ධ ආර්ථික අධ්‍යනය සඳහා වන ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (London  School of Economics ) ආචාර්ය උපාධිය ලබා ගත්තේ ජර්මන් වයිමාර් රජයේ ව්‍යවස්ථාව හදාරා ඒ ගැන ලිවීමෙනි. ඔහු DSc හෙවත් (Doctor of Science) විද්‍යාචාර්ය උපාධිය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් (ULC ) ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා  විය.
බොරළුගොඩ සිංහයා හෙවත් පිලිප් ගුණවර්ධන 

ඔහුත් සමග ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමට පුරෝගාමී වූ අනෙක් තැනැත්තා ලංකාවට  ට්‍රොට්ස්කිවාදය හඳුන්වා දුන් බොරලුගොඩ සිංහයා යයි විරුදාවලි ලත් පිලිප් ගුණවර්ධනය. මේ අතරට එක්වූ තුන් වැන්නා පානදුර  ශාන්ත ජෝන් විදුහලේ හා කොළඹ  රාජකීය විද්‍යාලයේ උගත් කොල්වින් ආර් ද සිල්වා මහතාය. ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් මුලික උපාධිය ලබා කිංග්ස් කොලේජ් වෙතින් ආචාර්ය උපාධිය ලත් ඔහුගේ තීසිසය වූයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයයි.
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා  

එන් එම් (ඇන් ඇම් ලෙසින් ජනතාව හැඳින්වූ)  සහ කොල්වින් දෙදෙනාම "ඉන්දියා, සිලෝන් සහ බුරුම බොල්ෂෙවික්  ලෙනින්වාදී පක්ෂයේ " සාමාජිකයන් වූ (ඉන්දියාවේදී) අතර ලංකාවට  පැමිණි කොල්වින් බොල්ෂෙවික් සමසමාජ පක්ෂය පිහිටුවන ලදී.  එංගලන්තයේ ඉගෙන ගත්   ඇන් ඇම් සහ කොල්වින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට විරුද්ධව සුරියමල් ව්‍යාපාරය (පොපි මලට එරෙහිව) ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකාවේ ජනතාව  එම ව්‍යාපාරය ට  ඉමහත් සහයක් දුනි.
එන් එම් සහ ජේ ආර් 

ප්‍රථම වමේ පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය පිහිටවන්නට ක්‍රියා කල ඉතිරි දෙදෙනා නම් ලෙස්ලිගුණවර්ධන (ශාන්ත තෝමස් විද්‍යාලය හා  London  School of Economics ) හා රොබට් ගුණවර්ධනය. 

මේ අතර සිදුවූ වැදගත්ම සිද්ධියක් වූයේ  ලෙනින් සමග විප්ලවයේදී උරෙනුර ගැටී ක්‍රියාකළ ප්‍රථම රතු හමුදාවේ අණ දෙන්දනා  වූ ලියොන්  ට්‍රොට්ස්කි නමැති රුසියානු -යුදෙව් විප්ලවවාදියා  වසර 1940 දී සෝවියට් පාලක ජෝර්ජියානු ජාතික ස්ටාලින් ගේ අණින්  මරා දමනු ලැබිය.  ඇන් ඇම් සහ කොල්වින් මෙය නොදැන සිටින්නට විධිහක් නැත.

බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලද ඔවුන්ට බ්‍රිතාන්‍ය  සමාජවාදීන් ගේ ක්‍රියා කලාපය හොඳින් හදාරන්නට ඉඩ ලැබුණි. ඔවුන් සෝවියට් දේශයේ ස්ටලින්වාදයට  නොව බ්‍රිතානයේ වඩා ජනප්‍රියව තිබු ට්‍රොට්ස්කිවාදයට වඩා හිතවත් වුනි.

මේ කිසිවෙක් රුසියන් සාහිත්‍යය කෙසේ වෙතත් සෝවියට් සාහිත්‍යය  තදින් පරිශීලනය  කලා යයි කියන්නට සාධක නොමැත. 

මෙනිසා පැරණි වමේ නායකයන් ට සෝවියට් සාහිත්‍යය පරිවර්තන වලින් බලපෑමක් සිදු නොවුණු බවට ඉතා සාධාරණ ලෙස තර්ක කළ හැකිය.

මේ අතීත කතාවේ තවත්   වැදගත් තැන්  දෙකක් තිබේ. එනම් 1935 ලංකා සමසමාජය පිහිටවූ පසු ඔවුන් ලෙනින් පිහිටවූ තෙවැනි ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළහ.  ස්ටාලින් ගේ සමය වන විට නොයෙකුත් රටවල  සමාජවාදී පක්ෂ වලින් සැදුම් ලත් මෙම ජාත්‍යන්තර සභාව  අක්‍රීයව පැවතුනි. ට්‍රොට්ස්කි සෝවියට් දේශයෙන් පිටුවහල් කළපසු පිහිටවූ හතරවැනි  ජාත්‍යන්තරයට එක්  වීම ගැන  තීරණය කිරීමට කළ  චන්ද විමසීමේදී වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ සහ එම් ජි මෙන්ඩිස් එයට විරුද්ධව චන්දය පාවිච්චි  කළහ.

සෝවියට් දේශයට පක්ෂවූ (ස්ටාලින්වාදයට පක්ෂ )  එක්සත් සමාජවාදී පක්ෂය බිහි වූයේ මින් පසුවය. එය පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සේ නම් කෙරුණි.
වෛද්‍ය එස් ඒ වික්‍රමසිංහ 

ගාල්ලේ මහින්දයේ ආදී සිසුවකු වූ සුගීෂ්වර වික්‍රමසිංහ කොළඹ  ආනන්දයේ ත් ඉන්පසු ලංකා මෙඩිකල් කොලේජ් හිත් උගෙනුම ලැබුවේය. එංගලන්තයේ ආචාර්ය උපාධිය සඳහා  උගනිද්දී කොල්වින්, ඇන් ඇම් සහ ලෙස්ලි ගුණවර්ධන සමග එක්ව ලන්ඩනයේ අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාර වලට එක්  විය.

දෙවන ලෝක යුද්ධය පටන් ගත් පසු සමසමාජය බ්‍රිතාන්‍ය විරෝධී ප්‍රතිපත්තියක් ගනිද්දී එස් ඒ වික්‍රමසිංහ ඇතුළු පිරිස ගත්තේ සෝවියට් දේශයේ පැත්තයි. සෝවියට් වරු බ්‍රිතාන්‍යය හා ඇමරිකාව සමග යුද්ධයේ දී එක්වීම නිසා බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව කරන ක්‍රියා වලට එම අවුරුදු පහ තුල එක්සත් සමාජවාදීන් ගේ  සහයක් තිබුනේ නැත. 

මේ කාලය වනවිට කිසිම සෝවියට් සාහිත්‍යය ක් ලංකාවේ තිබුණා යයි  කිව නොහැකිය.    ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයේ අඩිතාලම දැමුවේ ලන්ඩනයේ සිට අධ්‍යයනය  හමාර කර ගිය ලන්ඩනයේ රැඩිකල් වාම ව්‍යාපාරය සමග සිටි තරුණ පිරිසක් විසිනි.

මතු සම්බන්ධයි. 

- ද්‍රෝහියාගේ දියණිය: https://kolambagamaya.blogspot.co.uk/2013/08/blog-post_22.html
- යුද්ධය හා සාමය -https://www.theguardian.com/tv-and-radio/2016/jan/26/russia-verdict-on-bbc-war-and-peace-reviews

Wednesday 15 February 2017

බටහිර බෙහෙත් සහ ආයුර්වේද බෙහෙත් සමසමව භාවිත කරමුද?

සයිටම් පිලිබඳ මධ්‍යස්ත අදහසක්  ලිපිය ලියන විට ලාංකික සිතුවිලි නමැති බ්ලොග් කරු විසින් හොඳ  ප්‍රතිචාර වගයක් දමා තිබුණා. මේ අනුව කල්පනා කරන විට පරණ මතකයන් කිහිපයක් ඇවිස්සුනා.

පළමුවැන්න නම් අපේ දරුවන්ට අපි ට්‍රිපල් එන්නත නමින් හඳුන්වන MMR වැක්සින් එක ලබා නොදුන් බව. ඒ කාලයේ වෛද්‍ය ඇන්ඩ්රු වේක්ෆිල්ඩ් එම එන්නතත් ඕටිස්ම් නමැති රෝගී තත්වය සහ ළමුන්ගේ  උදරාබාධ  තත්වයන් අතරත් සම්බන්ධතාවක් හැකි බවට පර්යේෂණයක් පළකලා.  

නමුත් සිදුවූයේ එංගලන්තයේ ඖශධ සමාගම් වෙනම පරීක්ෂණ කරලා, වෛද්‍ය සභාව විරුද්ධ වෙලා. එන්නත් නොගහත්  ළමයි මැරෙනවා කියල වේක්ෆිල්ඩ් ගේ වෛද්‍ය බලපත්‍රය තහනම් කලා.  මේ කතාව නිසා පසු ගිය කාලේ බ්‍රිතාන්‍ය රජයට බොහෝ පාඩු සිදුවුණා එන්නත් විනාශ කරන්න  වෙලා. මොකද මිනිස්සු එන්නත ළමයින්ට දෙන්න ප්‍රතික්ෂේප කලා.
 වේක්ෆිල්ඩ් (අන්තර්ජාලයෙන්)


මම ලංකාවේ වෛද්‍යවරුන් වන  යහළුවන්ගෙන් ඇහුව. ඒ ගොල්ලෝ කිව්වා මේ එන්නත ප්‍රශ්නයක් නැහැ කියල. නමුත් මට හදිසියේ ඉංග්‍රීසි ජාතිකයෝ දෙදෙනෙක් හමු වුණා. දෙදෙනාගේම ළමයින්ට අර එන්නත දීල, දෙන්නටම autism තියනවා. මේ විස්තර අඩුවෙන් තමා පුවත්පත් වල ලියන්නේ. බොහෝවිට පුවත්පත් වලට ලියන මාධ්‍යවේදීන්ට නොයෙකුත් විධිහේ ගෙවීම් කරනවා.  එනිසා එන්නතට පක්ෂ බොහෝ ලිපි පළවුණා.


 මම වහාම එක එන්නතකට පවුම් 70 ගානේ ගෙවල පෞද්ගලික රෝහලකින් එන්නත් තුනක් ගැහුවා ළමයට.දෙවෙනි ළමයටත් ඒකම කලා . ළමයි දෙන්නම ඉස්කෝලෙන් ගන්න බැහැ කීව MMR ගහල නැහැ කියල. GP සර්ජරි එකේ නර්ස් කීව කවුන්සිල් එක නඩු දැම්මොත් අපට ළමයි නැතිවෙයි කියල. මම රිසිට් අරගෙන පෙන්නුවා අපි එන්නත් තුන වෙන වෙනම දීලා තියෙන්නේ. එකට දෙන්න ඕනේ කියල නීතියක් නැතිබවත් පෙන්වා දුන්න. පස්සේ අපි එන්නත් දීලා තියෙන බව ඔවුන්  පිලි ගත්ත. 


මගේ බිරිඳ අපේ දරුවන් පොඩි කාලේ පැරසිටිමෝල් (ළමයින්ට දෙන්නේ කැල්පොල් වැනි අඩු මාත්‍රාවක් ඇති බෙහෙත) නියුරෆෙන් හෙම දෙනවට විරුද්ධ වුණා . එනිසා අපි ඒ බෙහෙත් දුන්නේ නිවාඩු ගිය වෙලේක අසනීපයක් වුනොත් හෝ හදිසියකදී පමණයි.

  මගේ බිරිඳ බඩේ අමාරුවට කමමයිල් තේ දුන්නා. නැත්නම් මාදුරු (caraway seed ) තඹ දුන්න. කැස්සට තවත් ජර්මන් තේ වර්ගයක් තිබුන.  අපේ පස් පංගුව (පත්පාඩගම් , වෙනිවල්ටගැට  ආදී ) වැනි පැකට් එකක් ජර්මන් ෆාමසි එකකින් ගෙනත් තිබ්බ. මේ නිසා මම ඇහුවා කොහොමද මේවා ගැන දන්නේ කියල. එතකොට තමා දැන ගත්තේ ජර්මන් දොස්තරවරුන් විසින් මේ අනිත් ප්‍රතිකාර විධි ගැන රෝගියාව දැනුවත් කළ යුතුයි කියල.

එනිසා අදත් අපි සමහන්, කොත්තමල්ලි, සහ පස්පංගුව මුලික සෙම් ප්‍රතිශ්‍යාවක් හෝ උණක් හැදුනොත්  භාවිතා කරනව. කරවිල කනවා සීනි අඩුවෙන්න. කරපිංචා මැල්ලුම හදනව කොලෙස්ටරෝල් බහින්න. එම අතරතුර බටහිර බෙහෙතුත් ගන්නවා. මොකද ඒවා ඉක්මනින් ප්‍රතිඵල ගෙන දෙන නිසා. විද්‍යාවේ දියුණුව අපි හෙලා දකින්නේ නැහැ. නමුත් බටහිර බෙහෙත් වලින් එන අතුරු ආබාධ  ගැන අප දැනුවත් විය යුතුයි.


උදාහරණයකට ගත්තොත් කොලෙස්ටරෝල් අඩු කරන්න දෙන සිම්වස්ටනින් නිසා හන්දිපත්  රුදාව , මාංශ දියවී යාම වැනි දේ හැදෙනවා. නමුත් ලාභ බෙහතක් නිසා හැමෝටම දෙනවා.  චෝදනා  කලොත් පමණක්  ඒ වෙනුවට අස්ටර්වස්ටටින් දෙනවා. ඒක ඊට වැඩිය ගණන් බෙහෙතක්. ඒ බෙහෙතින් උගුරේ සේම හිරවෙන ගතියක් තිබෙනවා. වඩා හොඳ දේ ව්‍යායාම කරලා කන කෑම වලිනුත් ප්‍රවේසම් වෙන එක. 


මෙන්න ලංකික සිතුවිලි ගේ ප්‍රතිචාරය:


ඔබ ඉතා වටිනා මාතෘකාවක් තමයි තෝරගන තියෙන්නේ, දැනටනම් මගේ ස්ථාවරය මුනින්ම මම කියන්නම් එනම් නවීන බටහිර වෙදකම වෙත යොමුවෙන පුද්ගලයෙක් ඒ දේශ බැලිය යුත්තේ විශ්වාශයෙන් නොව බලවත් සැකය කිනුයි.

මම දැන් මගේ අද්දැකීම කියන්නම් මගේ පියා 2003 දී පුද්ගලික වෛද්‍යවරයකු විසින් පරික්ෂා කිරීමෙන් පසු කියන්නේ හැකි ඉක්මනින් රෝහල් ගතවන ලෙසයි, අපි ජාතික රෝහල වෙත යොමුවෙන්නේ මේ නිසයි, ඉහත පුද්ගලික වෛද්‍යවරයා  ECG මහින් මේ තීරණය ගත්ත, රෝහල් ගතවූ වහාම ඔහුට streptokinase නමැති රුධිර කැටි පාලනය කිරීමට දෙන ඔසුවක් ලබාදුන්නා, සිදුඋනේ මෙය අසාත්මික වීමයි, මම මගේ පියාගේ ඇද ලග සිටින විටදී මම දැක්ක ඔහුගේ සේලයින්  වලට ලබාදෙමින් තමයි තිබුනේ, මම ඔහුගේ අපහසුතාවය දැක්ක විට වහාම ළඟ  සිටින හෙද මහතා දැනුවත් කළා. එතන සිටි එක හෙද මහතකු වේගයෙන් දොස්තර මහතා සොයා ගිය අතර අනෙක් හෙද මහතා කරමින් සිටි වැඩේ නවතා ඉක්මනින් කිසියම් බෙහෙතක් සාදන්න පටන්ගත්ත, වාට්ටුවේ වෛද්‍යවරයා  ආ වහාම ඔහු අදාළ සේලයින්  එක ඉවත් කල අතර කිසියම් දෙයක් අර හෙද මහතා ට පැවසුවා ඔහු එය කියනවත් සමග සාදා නිමකළ ඔසුව දොස්තර මහතාට ලබාදුන්නා, මෙම බෙහෙත ලබාදුන් පසු මගේ පියා සුව අතට පැමිණියා.

දැන් දොස්තර මහතුන් ගෙන් සිදුවුනේ කුමක්දැයි අහපුවහම ඔවුන් කිව්වේ " ඕගොල්ලෝ  හොදටම අමාරු උනාමනේ ගෙනාවේ " ලෙසයි ඖෂධ  වේදිනියක් වූ මගේ මව කිව්වේ "ඉතින් ඩොක්ටර් ඇවිදගන්නේ ආවේ කොහොමද මෙහෙම උනේ කියලයි, "
ඉන් පැයකට පමණ පසු මගේ නැන්දනියක් (ඇය එවක ජෙෂ්ට වෛද්‍යවරියක්  ලෙස රාජ්‍ය සේවයේ සිටියා) පැමිණ මගේ පියාට ලබාදුන් බෙහෙත් ගැන විස්තර බැලූ වහම අදාළවෛද්‍යවරයා මුණගැසුනා, ඔවුන් ඇයට පවසා ඇත්තේ streptokinase අසාත්මික තාවයක් මගේ පියාට ඇතිවී ඇති බවයි.

ඔබට මතක ඇති මම කලින් කිව්වා හෙද මහතකු විසින් කිසියම් ඔසුවක් සෑදුවා කියල ඔහු සාදල තියන්නේ hydrocortisone. කියන ඔසුවයි දොස්තර මෙය පිලියල කිරීමට අණදීමට පෙරම ඔහු දැනසිටියා සිදුවී ඇත්තේ කුමක්ද කියල (ඔබට හිතන්න පුළුවන් මෙවැනි රෝගීන් කොතරම් ප්‍රමාණයක් මෙහෙම වෙලා තියනවද කියල මේ හෙද මහතාට මෙහෙම අද්දැකීමක් තියෙන්න) මේ දොස්තරලා වරද අපේ පිට පැටෙව්වත් ඇත්තනම්  ඔවුන්ගේ ඔසුවක් තමයි විසවී ඇත්තේ.

මේ ඔසුවල නම් දැනගත් වහාම මම ගෙදර පැමිණි විට අන්තර්ජාලය ඔස්සේ සෙවීමේදී සොයාගත්ත මේ streptokinase හොඳ  ඔසුවක් ලෙස පාවිච්චි උනත් අසාත්මික තාවයකදී මියයන්න උනත් පුළුවන් බව.

මිට ආදේශක වඩා හොද ඔසු තිබුණත් මිලෙන් වැඩි නිසා රජයේ රෝහල් වල පාවිච්චි උනේ නෑ.

මේ තමයි මට මුල්ම බටහිර ක්‍රමය ගැන අප්‍රසාදය ඇතිඋනේ .

ඉන් අවුරුදු කීපයකට පසු මගේ පියා ගේ බඩට මදක් ඉහලින් වේදනාවක් ආව මෙය දිනෙන් දින වැඩි උනා මම විවිද විශේෂන්යයන් ලගට ගෙනිච්චත් ඔවුන්ට ලෙඩේ හොයන්න බැරිඋනා විවිද පර්යේෂණ කරන්න කිව්වත් ඒ එකකින් වත් රෝගය සොයන්න බැරිඋනා අවසාන ලෙස මම ඔහුව වේදමහතකු ලගට ගෙනගියා ඔහු විසින් පරික්ෂාකර සිංහල බෙහෙත් වට්ටෝරෝවක් ලියා දුන්න මේ බෙහෙත් දෙනකොට ඔහු කිව්වා මෙය බෙහෙත් වර්ග දෙකක් ගැනීම නිසා ආමාශයේ ඇතිවී ඇති තත්වයක් කියල, ඇත්තටම මගේ පියා කලක් සිට ගනිමින් තිබුන මෙට්ෆෝමින් නමැති ඔසුව ඔහුගේ දොස්තරවරිය වෙනස් කරල තිබුන මොකද තවදුරටත් එය ඔහුට ප්‍රමාණවත් නැති නිසා.

දැන් වෙදමහතා කිව්වා මේ බෙහෙත් වලින් අපහසු තාවය සුව වෙයි හැබැයි දියවැඩියාව කෙසේ හෝ පාලනය කලයුතු බව. දැන් සති 2ට පමණ පසු මගේ පියාගේ අසනීපය සෑහෙන්න සුව උනා දැන් ආහාර පාලනය සහ සිංහල බෙහෙත් වලින් දියවැඩියාවත් පාලනය උනා, මසක් පමණ යනවිට වේදනාව නැත්තටම නැති උනා හැබැයි වෙදමහතා කිව්වේ දියවැඩියාව පාලනය කිරීම අවශ්‍ය බවත් යම් විදියකින් දියවැඩියා  මට්ටම වැඩි වෙනවනම් ඉංග්‍රීසි බෙහෙත් ගන්න සිදුවෙන බවයි, ඒ වගේම ඔහු කිව්වා ඉංග්‍රීසි බෙහෙත් ගත්තොත් නැවත වේදනාව පැමිණෙන බව.

මෙහෙම කලක් ආහාර පාලනයෙන් මනාව දියවැඩියාව පාලනය උනත් ඔහු ටිකකලකින් තමන් කැමති කෑම ගැනීමට පටන්ගත්ත, එක දිනකදී මම glucometer පරික්ෂා කිරීමේදී දැක්කේ සිනි මට්ටම ඉතා ඉහල බවයි. මෙනිසා මම කිව්වා බටහිර ඔවුෂද ගන්න ඕනේ කියල, ඔහු එය පාවිච්චියත් සමගම නැවත වේදනාව පැමිණියා.

දැන් නැවත වේදබෙහෙත් අරගෙන ආහාර පාලනය කරලා වේදනාව නැති කරගෙන තියනවා, මෙහිදී අප දැනගත් යුතු වැදගත් දෙයක් තියනවා එනම් දක්ෂ සිංහල වදමහතුන් සොයාගැනීම ඉතා අපහසුයි ඔබ සොයාගත්තොත් ඔවුන් දෙන බෙහෙත් සෑදීම සහ ගැනීමත් ඉතා අපහසුයි, නමුත් මතක තියාගන්න ඕනේ දේ ඉතා සෙමින් අසනීපය නිට්ටාවට සුව වෙනවා, අනෙක් කරුණ තමයි සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙගේත් වගේ වේගවත් නෑ මෙනිසා යමක් එපා කියල තියනවනම් මොනම හෙතුවක් නිසාවත් එය නොකළ යුතුයි. එහෙම විනයක් නැත්තනම් හොදම දේ බටහිර වෙදකමට යොමුවීමයි.

මෙයට පසු මම සිංහල වෙදකම ගැන පැහැදීම වැඩි උනා නමුත් කොමෙන්ටුව දික්වන නිසා මම නවතින්නම්.
අවසාන ලෙස ඔබ සිංහල බෙහෙත් වලට යොමුවෙනවා නම් ඔබ දැනගන්න ඕනේ සිංහල වෙදුන් නාමයෙන් ඉන්න හොරු වගේම බාගෙට දැනගත් අයත් ඉන්නවා, ඔබ කිසියම් වේද මහතකු විශාල ලෙස මුදල් අයකරනවනම් තේරුම් ගන්න ඕනේ ඔබ නියම සිංහල වේදමහතකු ගෙන් නෙමේ බෙගේත් ගන්නේ කියල. සිංහල වෙදකම තනිකරම තියෙන්නේ ආත්ම තෘප්තිය මත මිසක් මුදල් ඉපයීම මත නොවන බව. හැබැයි සමහර සිංහල බෙහෙත් තියනවා ඉතා ඉහල මිලක් වෙන, ඒ වගේ බෙහෙත් වලට මිසක් වේදමහත්තයට විශාල වශයෙන් අයකිරීමක් සිංහල වෙදකමේ වෙන්නේ නෑ.

//මෙය ඇනෝ ප්‍රතිචාරයකි.
http://www.diabetes.org/research-and-practice/patient-access-to-research/cinnamon-extract-improves.html?referrer=https://www.google.ca/
//
මෙහෙම දෙයක් තියනවා අජිත්, අපට දෙන බටහිර බෙහෙත් වල භයානක අතුරු ආබධ තියනවා නමුත් මේ බෙහෙත් වලත් අතුරු ආබාද අඩු ඒවා තියනවා, ප්‍රශ්නේ කියන්නේ රජයේ වගේම පුද්ගලික රෝහල් වලත් මේ බෙහෙත් නෙමෙයි දෙන්නේ.

මෙය අපේ රටේ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් මෙහෙමයි, ඔබ දන්නවා ඇති ලගදි ඩොනල්ඩ් ට්‍රුම්ප් විසින්
https://www.thestar.com/news/world/2017/01/10/trump-asks-anti-vaccine-advocate-to-chair-a-vaccine-commission.html
විසින් Robert F. Kennedy Jr ව පත්කරනවා වැක්සින් වල ප්‍රමිතිය පරික්ෂ කිරීමට.

Robert F. Kennedy Jr කියන්නේ වැක්සින් වලට විරුද්ධ  කෙනෙක් හැටියයිමාධ්‍ය  හදුන්වන්නේ නමුත් ඔහු කියනවා තමුන් තම දරුවන්ට වැක්සින් ලබාදුන් බවත් ඔහු ලබාදුන් වැක්සින් single-dose vials බවත් (එනම් මේම වැක්සින් වලට අහිතකර රසායනික ද්‍රව්‍ය  අඩංගු වෙන්නේ නෑ.)
https://www.youtube.com/watch?v=Yd3xdAp9_Zk

මේ තමයි විද්‍යාත්මක කතාව https://www.ncbi.nlm.nih.gov/pubmed/14758432
මේ single-dose vials ඉතා මිලෙන් අධිකයි මේ නිසා මෙය ගැන දැනුවත් අය මිසක් නොදැනුවත් අය ලබාගන්නේ නෑ (ශ්‍රී ලංකාවේ නම් මේ ගැන දැනගත්ත නොදැන ගත්තත් ලබාදෙන්නේ multi-dose vaccine vials පමණයි.

සිංහල බෙහෙත් ගන්නවානම් පුද්ගලයෙකුගේ  විනයක් තියන්න ඕනේ. ඒ තමයි ලබාදෙන බෙහෙත් නිසි ප්‍රමිතියෙන් ගන්න ඕනේ අසනීපයට අහිතකර දේ කිසිවිටකත් නොගත යුතුයි. මේ දේවල් පිළිපදින්න බැරිනම් සිංහල බෙහෙත් වලට යොමුවීම මෝඩකමක්, අනෙක් අතට සිංහල වේද මහතුන් විවිද ලෙඩ වලට ප්‍රතිකාර කිරීමට දක්ශ අය ඉන්නේ විවිද තැන්වල මෙනිසා මහන්සිය නොබලා ඔවුන් වෙත යන්න වෙනවා.

අවසාන ලෙස කියන්න ඕනේ බටහිර බෙහෙත් නිපදවන සමාගම් වල එකම අරමුන ලාභය උපරිම කිරීම තමයි මේ සදහා ඔවුන් නීතිය නමාගෙන තියනවා ඇමරිකාවේ පවා මොවුන් ඩොලර් බිලියන ගණන් මාධ්‍ය  සදහා වැයකරනවා ලගදි ඇමරිකාවේ ABC ආයතනයේ හිටපු මාධ්‍යවේදිනියක් අපුරු පුවතක් ඇගේ අඩවියේ පලකලා

https://sharylattkisson.com/cdc-scientist-confesses-to-destroying-study-documents-on-link-between-vaccines-and-autism-in-black-boys-but-crickets/

ඇය විසින් මේ මායාව ගැන https://www.youtube.com/watch?v=-bYAQ-ZZtEU අපුරු විවරණයක් කරනවා.

මම දන්නා විදියටනම් ඔබටබටහිර  බෙහෙත් වලට යොමුවෙනවානම් ඔබ ඉතාම දැනුවත් බාවයෙන් එය කලයුතු වෙනවා නැත්නම් ඔබට කනගාටුවිමට සිදුවෙනු ඇති.

තව කියන්න දෙයක් අමතක උනා, කිසියම් කෙනෙකුට දියවැඩියාව තියනවනම් සහ ගෙදර glucometer තියනවනම් මේ පරීක්ෂණය ගෙදරදී කරලා බලන්න.

පච්චපෙරුමාල් සහල් විශාවනිය තැනකින් මිලදීගන දිනක් ආහාරයට ගෙන පසුදින රුදිරය පරික්ෂා කරලා බලන්න ඔබ පුදුම වෙයි කොතරම් රුදිරයේ සිනි අඩුවී ඇද්ද කියල.

අපි ගන්න අහාරයේ පාලනය සහ වියායාම විශාල ලෙස මිට උපකාර වෙනවා.

"පච්චපෙරුමාල් සහල්" කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණි සහල් වර්ගයක් මේ සහලේ ඇති වැදගත්කම තමයි වෙලදපොලේ ඇති අනෙක් සහල්වලින් වෙන්කර හදුනාගැනීමේ පහසුව මේ නිසා යම් කෙනෙක් වෙනත් සහල් වර්ගයක් සමග මිශ්‍ර කලොත් පහසුවෙන් දැනගන්න පුළුවන්.

මේ දේශීය සහල් වලට කෘමිනාශක වගේම රසායනික පොහොර දැම්මොත් මේ පැල මැරෙනවා මෙනිසා මේවට රසායනික පොහොර දමන්න බෑ නමුත් කුට වෙළදුන් කරන්නේ මේවා වෙලදපොලේ ඇති වෙනත් සහල් සමග මිශ්‍ර කරනවා.

සුවදැල් කියන්නේ දියවැඩියාවට ඉතා ගුණ සහලක් නමුත් මේ සහල් ඇටය හරියටම සම්බා හාල් වලට සමානයි මෙනිසා මේ සහල් වෙලදපොලේ සම්බා සමග මිශ්‍ර කරනවා.

කොහොම උනත් මේ පැරණි සහල් වලින් හදන කැද වර්ග තියනවා, මගේ පියාගේ දියවැඩියා මට්ටම වේගයෙන් ඉහල යනවා පාන් හෝ සුදු බත් ආහාරයට ගන්න විට, මම මේ දේශීය සහල් වර්ග වලින් පිලියල කල කැද ලබාදුන්නට පසු glucometer මගින් පරික්ෂා කිරීමේදී සිනි මට්ටම ඉතා සුලුවෙනුයි වැඩිවී තියෙන්නේ . මම කරපු දෙය
මෙය කියවන අනෙක් යටත් glucometer එකෙක් තියනවනම් පරික්ෂා කරන්න පුළුවන්.

මෙහෙමයි දොස්තර andrew wakefield ගේ සහතිකය තහනම් කිරීමට හේතුවෙන්නේ එක්සත් රාජධානිය තුල කල පර්යේෂණයකින් නෙමෙයි ඇමරිකාවේ CDC ආයතනය විසින් කල පර්යේෂණයක තොරතුරු පදනම් කරගෙන එනම් දොස්තර විලියම් තොම්සන් ඇතුළු ප්‍රධානින් 3 දෙනෙක් කිව්වා ඔවිසම් සහ වක්සින් අතර සම්බන්දයක් නැති බව නමුත් වසර 10 ට පසු 2014 දී දොස්තර විලියම් තොම්සන් කියනවා 340% වක්සින් හා ඔටිසම් අතර සම්බන්දයක් කළු ජාතික ඇතිබව තිබුන වාර්තාව ඔවුන් විනාශ කල බව මෙන්න තියනවා ඇමරිකාවේ කොන්ග්රසයේදී මෙය සාකච්චා වෙනවා https://www.youtube.com/watch?v=qxr-cv-JuI8&t=13s

ඉහත දොස්තර් andrew wakefield ගේ විතරක් නෙමෙයි විද්‍යාසහතිකය අහෝසි කරන්නේ තව දොස්තර වරු 3 ක් ඉන්නවා, නමුත් එංගලන්ත අදිකරණය ඉදිරියේ සටන් කරන්නේ professor John Walker-Smith පමණයි මිට පවුම් ලක්ෂ 5ක් වැයවෙනවා, මෙතරම් මුදලක් නැති අනෙක් විද්‍යාවරු අධිකරණය ඉදිරියට යන්නේ නෑ.

මේ තියෙන්නේ ඔහු ජයග්‍රහණය කල ලිපියයි http://www.independent.co.uk/life-style/health-and-families/health-news/mmr-doctor-john-walker-smith-wins-high-court-appeal-7543114.html

අද ශ්‍රී ලංකාවේ දරුවකු පාසලකට ඇතුළු කිරීමට ඉස්සල්ල දරුවාට කිසියම් මානසික ආබාදයක් තියනවද කියල අහන්න තරම් මේ තත්වය දුරදිග ගිහිල්ල ඉවරයි.

මෙන්න බලන්න http://www.divaina.com/2013/10/15/feature03.html දිවයින පත්තරේ බලන්න. 1996 දී 10,000 ට 6 වූ ඔටිසම් රෝගීන් 2013 දී 100 ට 1 ක් දක්වා වර්දනය වෙලා දැන් වෙනකොට මෙය 50 ට 1 ක් දක්වා පැමිණිලා ඉවරයි.

andrew wakefield ගේ කතාව ලොකුවට ගියාට මෙයට දෙන්නේ ඉතා අඩු වටිනාකමක්.

ඉදිරියේ ට්‍රම්ප් මේ ගැන පියවර ගන්න බවට දැනටමත් හිතන්න පුළුවන් ඔහු මේ පිළිබදව https://www.youtube.com/watch?v=_wiam6ui88E
Robert F. Kennedy Jr. ව පත්කරනවා
මේ සිදුවීම ජනතාව අතරට ගෙනයාම මගින් ට්‍රම්ප් තමාගේ ජනප්‍රිය බව ඇතිකරන අතර ඔවුෂධ මාෆියාවට බලවත් පහරක් දෙනු ඇති, හැබැයි මෙය කිරීමට ඉස්සල්ල ට්‍රම්ප් ව එලවන්න මේ සමාගම් කටයුතු කරයි.

ජනමාධ්‍ය මේ ගැන නිහඩ ඩොලර් බිලියන ගණනක වෙළද දැන්වීම් ඔවුන් ට අහිමි වන නිසා මේක තමයි ඔවුන් නිහඩ තාවය පවත්වන්නේ ABC ආයතනයේ හිටපූSharyl Attkisson https://sharylattkisson.com/cdc-scientist-confesses-to-destroying-study-documents-on-link-between-vaccines-and-autism-in-black-boys-but-crickets/




Saturday 11 February 2017

සයිටම් පිලිබඳ මධස්ථ සිතින්

මෙයට අවුරුදු විස්සකට ප්‍රථම මගේ පියා හදිසියේ මියගියේ වයස හැට එකක්ව තිබියදීය. ඔහුගේ ව්‍යාධිය මුලදී හඳුනා නොගත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කළේ වෙනත් ලෙඩ වලටය. මෙකල ද ලන්ඩනයේ වාසය කළ මම  ඔහුට ප්‍රතිකාර කිරීමට නොයෙකුත් පෞද්ගලික රෝහල් වල චැනල් කිරීම් කිරීමට පවුලේ අය මෙහෙයවුයෙමි. එසේම බොහෝ රෝග පරීක්ෂණද කළෙමු.  නමුත් රෝගය ගැන හරි අදහසක් නොතිබුණි.

 වරක් හදිසියේ අසනීපවී පුංචි  බොරැල්ලේ රජයේ මහා රෝහලට ගිය විට එහි සිටි දක්ෂ වෛද්‍යවරයෙකු  මගේ පියාගේ රෝගය හෙමක්‍රොමටෝසිස්   hemochromatosis  නැමති රුධිරයේ යකඩ ලවණය  වැඩි වීමේ රෝගය බවට හදුනා ගත්තේය. මෙය බොහෝ විට සංජානිය ආබාධ හෙවත් පරම්පරාවෙන් සෑදෙන රෝගයක් ලෙස හැඳින්වේ.  ඔහු ප්ලාස්මා පාරවිලනයභාවිතා  කරමින් පියාට වෙදකම් කල අතර අපට මුදල් වියදම් වුයේ එම බෝතලයක් ලේ බැංකුවෙන් ගැනීමට පමණි. එසේම පියාටද සෑහෙන සුවයක් ලැබුණි.

ඒ දක්ෂ අවංක දොස්තර මහතා කිසියම් ප්‍රශ්නයක් ඇතිවීම නිසා වෙනත් රටකට ගිය බව ආරංචි විය. ඉන්පසු රජයේ රෝහලේ අනිකුත් වෛද්‍යවරු මගේ පියාට එම පාරවිලනය කිරීම හා ඔහු නියම කළ බෙහෙත් දීම ප්‍රතික්ෂේප කළහ.  එසේම ඔවුන් නැවතත් ඔහුට ඇත්තේ හෙපටයිටිස් සී වැනි රෝගයකි වරෙක කී  අතර මත්පැන් බීම නිසා සිරෝසිස් හැදී ඇති බව කියමින් ඇතැම් හෙද මහත්මියන් පවා අකරුණාවෙන් කතා කළහ.

මේ නිසා ප්‍රසිද්ධ වෛද්‍ය විශේෂන්ඥයකු චැනල් කර නැවතත් පුද්ගලික රෝහලකට පියා  රැගෙන  පරීක්ෂණ කර නිමකර එම විශේෂන්ඥ වෛද්‍යවරයා සේවය කරන රජයේ රෝහලටම ඇතුලත් කරන ලදී. (මෙය ලංකාවේ ක්‍රමයයි)  ඔහු මගේ පියා ගේ ව්‍යාධිය අර පෙරකී වෛද්‍යවරයා කියූ පරිදිම  හෙමක්‍රොමටෝසිස් යයි අනුමත කල අතර ප්ලාස්මා පාරවිලනයට  ප්‍රථම  තවත්  පරීක්ෂණ කිරීම අවශ්‍ය බව කියමින් අර රුධිර පරීක්ෂණ ආදී සියල්ලම නැවත කරන ලදී. අපේ පවුලේ අය ආයාචනා කලද ඔහු ප්ලාස්මා ප්‍රතිකාරය ලබා දුන්නේ  නැත.

මපියා  දිනෙන් දින දුබල වුනු අතර එක දිනක් වෛද්‍ය සිසුන් සමුහයකට මගේ පියා පෙන්වමින් ඔහු කියා ඇත්තේ "මෙයා වැඩි කල් ඉන්නේ නැහැ. මේ ලෙඩේට බෙහෙත් කරන්න අමාරුයි.  මුහුදු මට්ටමින් ඉතා උඩ  ජිවත් වෙන්න ඔක්සිජන් වැඩි ප්‍රමානයක් පෙනහළු වලට ගැනීමට රුධිරයේ යකඩ වැඩියෙන් තිබුනත්එ, මුදු මට්ටමේ ජිවත් වනවිට එම  අවශ්‍යතාවය නැතිවී යන නිසා එම ලවණය අක්මාවේ තැන්පති වී පසු කලෙක සිරෝසිස් වලට පෙරලෙන  බවත්  කියා තිබේ. " එසේ කියා බලාපොරොත්තු තබා ගත නොහැකි රෝගියකු වශයෙන් හඳුන්වා දී තිබේ. සේලයින් දී තිබුනත් හොඳ සිහියෙන් සිටි පියා ඔහු බැලීමට පැමිණි ඖෂධවේදිනියක වන මගේ සොයුරියට මේ බව කඳුළු ගලමින් කියා තිබේ. සොයුරිය මට කිවේ ලංකාවේ ඇතැම්  දොස්තරවරුන්ගේ උඩඟු බව නිසාම කිසිවක් කිව නොහැකි බවයි.

මා කළේ එම රෝහලේ දුරකථනය සොයාගෙන මා එංගලන්තයෙන් කියා ඉංග්‍රීසියෙන් ඔවුන් ඇමතීමයි. ලංකාවේ එයට කිසියම් ගරුත්වයක් ඇතිබව අත්දැකීමෙන් දනිමි. එම වෛද්‍යවරයා වාට්ටු පරික්ෂා කර අවසාන වන වෙලාව හොයාගෙන ඔහුට කතා කල මම මේ ගැන චෝදනා කළෙමි. මගේ පියා  මිය යන්නට ආසන්නව සිටිය හෝ නැතා  ඔහු ඉදිරියේ එසේ කීමට කොතරම් ලොක්කෙක් වුවත්  මෙම වෛද්‍යවරයාට ඇති අයිතිය කුමක් දැයි විමසුවෙමි. ඔහු කීවේ මපියා නිදාගෙන  සිටී යයි සිතා  එසේ කී බවයි. ඔහු එයට කණගාටු වන බවත් පැවසීය. මා  එංගලන්තයේ සිටින බව දැන ගත් ඔහු පියා ඉක්මනින් ගමන් කිරමට හැකිවන ලෙස සෑහෙන දුරට සනීප කර දෙන බවත් එංගලන්තයේ ඔහු දන්නා වෛද්‍යවරයෙකුට යොමු කර අක්මාව  බද්ධ කිරීමට අවස්ථාවක් සලසා දෙන බවටත් පොරොන්දු විය .

එසේ නම් වෙද  සිසුන්ට එසේ කීයේ ඇයිදැයි ඇසු  විට තමන් කළේ  ඉගෙන ගන්නා අයට කරුණක් පැහැදිලි කල බව පමණක් යයි ඔහු පැවසුවේය.

නමුත් ඉන් සතියකට පමණ පසු මගේ පියාගේ ඇඳ ට යාබද ඇඳට ඉන්ෆ්ලුවන්සා සහිත රෝගියකු ගෙනෙන ලදී. (හෝ උවමනාවෙන් මාරු කරන ලදී). දුබල  අක්මාව නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වලව තුබූ මගේ පියා  නිවුමෝනියාව සෑදී අප හැර ගියේය. මගේ සොයුරිය මේ ගැන ප්‍රශ්න කල විට උක්ත වෛද්‍යවරයා කණගාටුව ප්‍රකාශ කර තිබුණි.

නැවත නැවතත්  පරීක්ෂණ කරමින් මුදල් අයකරමින් ඔහු කල විගඩම කුමක්  දැයි ප්‍රශ්න කල විට මා හඳුනන වෛද්‍යවරියක කීවේ මේ බොහෝ මහාචාර්ය හෝ විශේෂන්ඥ වෙදදුරන්ගේ ළමුන් එක්කෝ විදේශ රටක (පිඑම්සිය රජයට පවරා  ගෙනය)  ඉගෙන ගන්නා  බැවින් ඔවුන්ගේ වියදම් පියවීමට මෙසේ කටයුතු කරන බවය. ඇගේ අදහස වූයේ  එය සාමාන්‍ය  දෙයක් බව යයි මට සිතුනි.

ඉන්පසු අපට වෛද්‍යවරුන් මෙන්ම සමස්ත රෝහල් පද්ධතිය කෙරෙහිම ඇති වූයේ කළ කිරීමකි.

තවත් වරෙක ලංකාවට පැමිණි විටෙක  මගේ දරුවා අසනීප ගතියක් හා උණ ගතියක්  පෙන්නුම් කළෙන්  මීගමුවේ පෞද්ගලික රෝහලකට (විශාල දිස්පෙන්සරියක් වැනි)  ගියෙමි.  එහිදී වෛද්‍යවරිය අති විශාල පෙති වර්ග සමුහයක් දුන්නාය. ඒ සියල්ලට රුපියල් දහසකට වඩා වියදම් විය. (පවුම් වලින් එතරම් මුදලක් නොවූවත් පැරසිටිමෝල් ද ඒ අතර විය  ) නමුත් ඒ බෙහෙත් සියල්ලම මගේ බිරිඳ විසින් කුණු කුඩයට දමන ලදී. වඩා  හොඳ වාතාශ්‍රය සහිත තැනකට ගිය විට දරුවා ඉබේම ප්‍රකෘති තත්වයට පත් විය.

මෙසේ අනවශ්‍ය බෙහෙත් දෙන්නේ ඇයිදැයි ඇසූ විට මගේ යහළු දොස්තර මහතෙකු කිවේ එසේ කුමන හෝ බෙහතක් නොදුන්නොත් වෙදා හොඳ නැති යයි ලංකාවේ මිනිසුන් මැසිවිලි නගන බවය. බෙහෙත් පෙති දෙන තරමට දොස්තර හොඳ යයි ඔවුන් වර්ණනා  කරන බවද කීය. කොටින්ම ඔහු තුල  වූයේ ලංකාවේ අසනීප වී පිළියම් ගැනීමට එන ජනතාව ගැන අවන්ඥා සහගත හැඟීමකි යයි මට සිතුනි.

මේ නිසා බොහෝ විට මට සිතුනේ පෞද්ගලික රෝහල් තිබීම හොඳ  යයි කියාය. නමුත් මගේ මව හදිසියේ අසනීප වූ විටෙක හා තවත් ඥාතියකු අසනීප වූ විටෙක ද ඔවුන් පෞද්ගලික තැනකින් බෙහෙත්  ගත්තත් හදිසියට ගියේ එහිවූ ප්‍රාදේශීය  රෝහලටයි. වෛද්‍ය මහතුන් නොපමාව නිවැරදි ප්‍රතිකාර කළ නිසා එහිදී ඔවුන් සුවවී නිවසටද පැමිණියහ. එනිසා රටේ ජනතාවට එංගලන්තයේ NHS මෙන් නොමිලේ ප්‍රතිකාර දෙන රෝහල් පද්ධතියක්  අනිවාර්යයෙන්ම තිබිය යුතු යයි සිතමි.

මේ අදහස සනාථ කරන තවත් සිද්ධියක් පසුගිය දෙසැම්බරයේ සිදුවිය. ඒ මගේ ළඟම ඥාතියෙකුට හෘදයාබාධයක් හදිසියේ සෑදීමයි. ඔහු සිටි දුර ප්‍රමාණය අනුව කොළඹ රජයේ රෝහල ට හෝ වෙනත් පෞද්ගලික රෝහලකට ගෙනයාමට වෙලාවක් නොතිබුණු අතර ඔහුගේ යහළුවන් ඒ අසල මිනිත්තු පහක දුරින් පිහිටි උක්ත ප්‍රාදේශීය රෝහලට ඔහු ඇතුලත් කළහ. ඔහුට සෙලවීමටවත් නොදුන් වෛද්‍යවරු  සහ හෙදියන් දින දෙකක් ම  රෝගියා  ළඟම සිට ප්‍රතිකාර  කළහ. මා  එහි යන විට ඥාතියා තරම  සුවයක් ලබා සිටියත් රෝගී තත්වය ගැන දැන ගැනීමට පවුලේ අයට නොහැකි විය.  එයට හේතුව ශ්‍රී  ලංකාවේ වෛද්‍යවරුන් හෝ හෙදියන් රෝගයන් ගැන කිසිම  කරුණක් නොකීමයි. ඔවුන් (පවුලේ අය) ඇසීමටද බයය.

මා වෛද්‍යවරුන් හමුව ඒ ගැන විමසීම් කර තත්වය දැන  ගතිමි. ඔවුහු කාරුණිකව තත්වය පැහැදිලි කළහ. පසුව මගේ මිතුරෙකුගේ ගේ වෛද්‍යවරියක් වන බිරිඳක් ද පැමිණ තොරතුරු අසා දැනගත්තාය. මා  එහිදී පැහැදිලිවම දුටුවේ තරමක් තදින් කටයුතු කලද එම තරුණ වෛද්‍යවරුන් හා හෙදියන්ද කරුණාවන්ත බවය. වාට්ටුවද  පිරිසිදුය. ඔවුන් නිතර උද්යෝගයෙන් වැඩ කරති. එතරම්ම  ප්‍රමාණයක් ලෙඩුන් ද සිටිති. ඔවුන්ගේ කාර්යය ලෙහෙසි පහසු නොවේ. නමුත් ඔවුන් හැකි පමණ තම උපරිමයෙන් කටයුතු කරමින් ලෙඩුන්ගේ ජිවිත බේරා  දෙති. එතනට පැමිණෙන   ඉතා දිළිඳු ලෙඩුන්ට ද සමසේ ප්‍රතිකාර කරති. දොස්තරවරුන්ට පමණක් අවලාද කළ නොහැක්කේ මේ නිසාය.

එසේම සෞඛ්‍ය  අමාත්‍ය රාජිත  සේනාරත්න මහතා විසින් හෘදරෝග සැත්කම් සඳහා නොමිලේ  ස්ටෙන්ට් ආදිය ලබා දුන්නද වෙද්‍යවරු කොම්පැනි වලින් මිලදී ගන්නට කියා බල කරන බව  රාවය පුවත්පතේ පළවී තිබුණි. ඔවුන්ට ඒ සඳහා කොමිෂන් ලැබේ යයිද මෙය ජාවාරමක් යයිද කියා තිබේ.  මම එය මගේ ෆේස්බුක් බිත්තියේ ද බෙදා ගතිමි.
නමුත් සොයා බැලුවිට පෞද්ගලික රෝහල් වල හා ශ්‍රී ජයවර්ධන පුර වැනි භාගයක් රජයට අයිති රෝහල් වල ස්ටෙන්ට් දැමීමට ලක්ෂ තුනක් පමණ අය කරන බවත් ස්ටෙන්ට් දෙකකට ලක්ෂ හයක් පමණ යන බවත් දැන ගතිමි. නමුත් හදිසි ලෙඩුන් සියල්ලන්ටම මහා රෝහලේ නොමිලේ ස්ටෙන්ට් ලබා දෙති. කොටින්ම  අර කතාව සත්‍යයක් නොවේ යයි රෝගීන් කිහිප දෙනෙකුම  අපේ ඥාතීන්ට පවසා තිබුණි. එකම ප්‍රශ්නය දිනකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අති විශාල නිසා බොහෝ අයට බලා සිටින්නට සිදුවී තිබීමයි. එතරම් හදිසි නැති රෝගීන් ට දින නියම  වන්නේ පරක්කු වීය. එවැනි අය සමහරවිට අර ස්ටේන්ට් විකුණන සමාගම් වල අය සමග කතා කර ඔවුන් සමග පෞද්ගලික රෝහලකට ගොස් ඒවා කර ගනිති.  බොහෝ  විට සිදු වන්නේ එයයි.

බොහෝ මධ්‍යම පන්තික හා පහල මධ්‍යම පන්තික රෝගීන් මහා රෝහලට පැමිණ සුවය ලබා යති.

මේ නිදහස් සෞඛ්‍ය සේවය රැක ගත යුත්තේ ඒ නිසාය.  නිදහස් සෞඛ්‍ය සේවය රැක ගැනීමට නම් එහි සේවය කිරීමට  අවශ්‍ය  වෛද්‍යවරු ද නිදහස් අධ්‍යාපනයෙන්ම බිහි විය යුතුය.


මේ නිසාත් සයිටම් පිලිබඳ  විරෝධය දක්වන මිතුරන් මෙන්ම  සහයෝගය දක්වන මිතුරන්ද ඇති නිසා මේ පිළිබඳව මිතුරු වෛද්‍යවරු  කිහිප දෙනෙකු ගෙන් අදහස් විමසීමි.

- සයිටම් එකට   විරෝධය දක්වන වෛද්‍යවරු 


සයිටම් හි ප්‍රමිතිය ඉතා අවුල්ය. ඔවුන්ට හරියට උගන්වන්නේ නැත. ගුරුවරු දක්ෂ හෝ එතරම් උගත් අය  නොවේ. ප්‍රයෝගික පුහුණුව නැත. සයිටම් සිසුන්  සමග වැඩ කර තිබේ. ඔවුන්ට වඩා  විදේශ වලින් පැමිණි අය ඇඩ්වාන්ස් වැඩිය.

සයිටම් එකේ හෑන්ඩ්ස් ඔන් ප්‍රක්ටිස් නැත. එහි  උගන්වන්නේ ඇක්ට් 16 වත් සමත් නැති විදේශ  වල උගත් අයයි. එවැනි අය ඉන්ටර්න් නොකර තමන්ගේ සිසුන්ට සායනික පුහුණුව ලබා දෙන්නේ කෙසේද? ඒ ගුරුවරුන්ද ඇක්ට් 16 සමත්විය යුතුය. (ඇක්ට් 16 යනු වෛද්‍ය සභාව විසින් විදේශවල සිට එන වෛද්‍යවරුන් සඳහා පවත් වන විභාගයයි)

දේශීය සිසුන් එම් සී කියු කරන අතර ඇක්ට් සික්ස්ටින් ඒ හා සමානය. ඊට අමතරව විදේශ වලින් එන  සිසුන් (වෛද්‍යවරුන්) තවත් ප්‍රශ්න පත්‍ර තුනක් කරති.

එනිසා සයිටම් සිසුන් අනිවාර්යයෙන්ම එම් සි කියූ කල යුතුය. එසේ කර මෙරිට් ලිස්ට් එකක ට යා යුතුය. සයිටම් එක වසා දමනවා නම් වඩා හොඳය.

- සයිටම් එකට  අනුකම්පාව  දක්වන වෛද්‍යවරු 

මම දන්නා දොස්තර කෙනෙක් ගේ ළමයෙක් කොතලාවල ඩිෆෙන්ස් එකේ ඉගෙන ගන්නවා. එයාගේ අපොස ප්‍රතිඵල හොඳයි. නමුත් කලම්බු යන්න බැරිවුනා. ඉතින් කොතලාවල එකට යන්න හොඳනම් සයිටම් බැරි ඇයි ?

මම: ප්‍රමිතිය නැති නිසා නේද?

ඉතින් ප්‍රමිතිය  හැදුවාම ඉවරනේ. ආණ්ඩුවෙන් බල කරලා. ආණ්ඩුවට ඕක කරන්න පුළුවන්නේ.
මම දන්නා දුප්පත් ළමයෙක් ඉන්නවා. එයාගේ උසස් පෙළ ප්‍රතිඵල ඉතා හොඳයි. නමුත් දිස්ත්‍රික් බේසිස් නිසා කොළඹින් යන්න බැරි වුණා. අම්මල තාත්තල දුප්පත්. ඒ ළමයගේ එංගලන්තේ ඉන්න නෑදෑයෙක් මුදල් එවනවා ඉගෙන ගන්න . ඒ ළමයට පව් නැත්ද?

මම: එක ළමයෙක් නිසා මුළු අධ්‍යාපන  ක්‍රමයක්ම විනාශ වෙන්න ඕනෙද?

නැහැ. නමුත් තව ළමයි හුඟක් ඉන්නවා අපි වගේ මධ්‍යම පන්තික අයගේ. පිටරටවල නෑදෑයෝ ඉන්න අයගේ.  ඇමතිගේ ළමයත් ඇති.

මම: එතකොට අපොස අසමත් කට්ටිය?

එහෙම අය ඉන්නවා නම් ඉවත් කරන්න ඕනේ? තුන් දෙනෙක් විතර ඉන්නව කියල තමා ආරංචිය. එඑහෙම නම් ඒ අය හොයල ඉවත් කෙරුවම ඉවරයි.  හරි දැන් ඔයා  කියන්නේ සෝවියට් දේශයට ආපු හැමෝම උසස් පෙළ පාස්ද ? විජේවීර ගියේ උසස් පෙළින්ද?

මම: ආණ්ඩුවෙන් යැව්ව (UGC එකෙන්)   හැමෝම වගේ උසස් පෙළ සමත්. විජේවීර හිටිය කාලේ උසස් පෙළ විභාගේ තිබුනද? නැත්නම් ඒ දවස් වල ගන්න ඇත්තේ සාමාන්‍ය පෙළින්  වෙන්නඇති.
 No automatic alt text available.
හරි ගිය ආණ්ඩුව කාලේ තමා මිලියන හයසීයක් වියදම් කරලා ණයක්  දුන්නේ. මේක පිහිටෙව්වේ. ඔව් ඒ ගොල්ල (සයිටම් අධිකාරය)  බොරු කිව්වා රුසියාවේ විශ්ව විද්‍යාලයකින් උපාධිය දෙනවා කියලා.  නමුත් දැන් තිබෙන තත්වයේ හැටියට ප්‍රමිතිය නැත්නම් ඒක හදල මේ වෛද්‍ය විද්‍යාලයට ඉඩ දෙන්නේ ඕනේ. ලංකාවේ  දොස්තර හිඟයක් තිබෙනවා. දැන් විශ්ව විද්‍යාලම  කීයක්  තියෙනවද? ඒත් මදි. අපොස සමතුන් වැඩියි. ඇයි මොකද වෙන්නේ  තව කෙනෙකුට චාන්ස් එකක් දුන්නම?

අනික ඔයා ඉන්න එංගලන්තේම කොච්චර  දොස්තරලට වේකන්සි තියනවද? ඇයි ඒවාට යවන්න  බැරි?

මට මගේ අදහසක් කීමට නොහැකි තරමට මේ දෙපාර්ශවයම  නිවැරදි යයි සිතේ.

මෙහදී මගේ ඇතැම් යහළුවන්ගේ දෙබිඩි බවද ප්‍රශ්නයකි. සයිටම් එක අහෝසි කරන්නට කියන ඔවුන්ගේ දුවා  දරුවන් පෞද්ගලික ටියුෂන් පන්ති වලට යන බව දනිමි. ඔවුන් හොඳ පාසල් සොයා දරුවන් ඇතුළු කල බවද දනිමි.  සමහරුන්ට දරුවන් යවන්නට වෙන්නේද ගෙවන විශ්ව විද්‍යාල වලටය. තවත් දරුවන් පිරිසකට එවැනි අවස්ථාවක් අහිමි කිරීම සාධාරණද?

මගේ දරුවන් ටියුෂන් යන්නේ නැත.  අපොස උසස් පෙළ කරන විට මම ටියුෂන් නොගිය මුත් අවසන් වසරේ යහළුවන්ගේ පෙරැත්තයට  බණ්ඩාරගේ රිවිෂන් ක්ලාස් එකකට ගියෙමි.  බැංකු පේලි දමා දාඩිය දාගෙන  දේශනය අහන්  හිටි,  ටියුට් ලැබුණු ඒ පන්තියෙන් වුනු සෙතක් නැත.

හෝඩියේ පන්තියේ සිටම ටියුෂන් ගොස් විභාග පාස්  කරන සංස්කෘතියක් ඇති රටක එක පෞද්ගලික වෙද  විදුහලක් වැසීමට කීමේ තේරුමක් තිබේද? කන්නන්ගර මහතා  අපට ලබා දුන් නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ  වැනසී ගොස් නැතිද?

ත්‍රීමා විතාන දිවි දී රැකගත් අයිතිය තවමත් තිබේද? ත්‍රිමා ගේ දෙමාපියන්ට දරුවෙකු නැතිවීමත් ඔවුන් අසරණ වීමත් හැර ශ්‍රී ලකාවේ විප්ලවයක් සිදු වුනිද? අධ්‍යාපනය පෞද්ගලිකරණය වී නැත්ද?

වාමාංශික අදහස් දක්වන්නන් අතරින් මේ පිලිබඳ හොඳම විවරණය දීප්ති විසින් ලබා දී ඇති සිතමි.

"අපොස උසුස් පෙළ විභාගය පිලිබඳ සුජාත භාවය අහෝසි වී යනු ඇත. ඒ කියන්නේ වෙනත් රටවල තිබෙන ලෙස ලන්ඩන් ඒ ලෙවල් වැනි ඒවා වල  තිබෙන ක්‍රමයටම විභාග දෙපාර්තමේන්තුවේ බලපෑම මේ නඩු  තීන්දුව නිසා නැතිවී යනු ඇත. ස්ටේට් යුනිවර්සිටි වලට දුප්පත් ළමයි පමණක් ඇතුළු වනු ඇත.  ඉදිරි කාලය තුල ගුණාත්මක වෛද්‍යවරයා සහ ප්‍රමාණාත්මක වෛද්‍යවරයා යනුවෙන් දෙපිරිසක් ඇතිවීමට නියමිතයි.

ඒ අනුව පහළ  පන්තියේ හා ඉහළ  පන්තියේ වෛද්‍යවරු දෙපිරිසක් ඇති වීමට නියමිතය. 


විශ්ව විද්‍යාල අතාර්කික වීමට නියමිතය.  (මේවා දැනටම  සිදුවී තිබේ) UGC එකේ පැවතීමේ අවශ්‍ය තාවයක් නැතිව යනු ඇත. මානව ශාස්ත්‍ර පීඨ වල (සමාජ විද්‍යාව,, දේශපාලන විද්‍යාව  ආදී ) සුජාත භාවය නැතිවනු ඇත.  


යහපත් පැත්ත නම්  බණ්ඩාරනායක දර්ශනය ඉගෙන ගැනීමට ඔක්ස්ෆර්ඩ් ගියා  මෙන් ඉහළ  පන්තිය තමන්ගේ අධ්‍යාත්මික පෝෂණය සඳහා මානව ශාස්ත්‍ර ඉගෙනීමට විදේශ වලට  යනු ඇත.  


(මා ඉතාම කැමති කොටස) ලංකාවට නිදහස ලැබූ පසු කන්නගර ගේ නිදහස් අධ්‍යාපනය නිසා යම්කිසි උන්නතිකාමයක් පහල පන්ති වලට තිබුණි.  එනම් තමාගේ දක්ෂතාවය  හෝ කුසලතාවය මත සමාජ ඉණිමගේ ඉහළට යාමේ හැකියාව තිබීමයි. ඔවුන් ඉහළට ගොස් කළේ කුමක්ද? ඔවුන් ශ්‍රී ලංකාව  විනාශ කරන ලදී.  ශ්‍රී ලංකාවේ ද්වි භාෂා කතා කරන උගතුන් නැති වී ගොස් සිංහල පමණක් කතා කරන, ජාතිවාදයට නැඹුරුවී  රට විනාශ කරන ලද පරපුර මේ කන්නන්ගර නිසා බිහිවූ අයයි. 


මේ නඩු තීන්දුව නිසා ඒ අයගේ අනාගතය අඳුරු වේ.  (හදිසියේම ඉතාමත් අතාර්කික  ලෙස ගිය ආණ්ඩුවේ කොටසක් සයිටම් විරෝධයට එක්වීම මෙයින් මැනවින් පැහැදිලි වේ) 



දීප්ති කුමාර ගුණරත්න ගේ අදහසට මෙතනින් සවන්  දෙන්න 

- මගේ අදහස


බ්‍රිතාන්‍යය , ඇමෙරිකාව ආදී රටවල් කිහිපයක් හැර යුරෝපයේ  පොහොසත් රටවල් උසස් අධ්‍යාපනය නොමිලේ ලබා දෙයි. ඔවුන් සලකන්නේ එය අයිතියක් වශයෙනි.

එසේ නම් ප්‍රශ්නය වන්නේ අධ්‍යාපන විකිණීමට  එකඟ වෙනවා ද නැත්ද යන්නය? එසේ නැතුව සයිටම් එකට විරුද්ධ වෙනවා ද නැත්ද යන්න නොවේ? මෙහිදී ජවිපෙ, පෙසප ප්‍රමුඛ  වාමාංශික පක්ෂ දැනට කරන්නේ බොරුවක් යයි මට සිතේ. රජයේ වෛද්‍ය සංගමයට   ඇති ප්‍රමිතිය පිලිබඳ ප්‍රශ්නය සයිටම් වැසීම දක්වා මිස අනිකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වැසීම  දක්වා ගෙන නොගොස්, ටියුෂන් කඩ වලට නොයා පාසලින් පමණක් ඉගෙන ගන්නා සිසුන්  ඇති,  රටේ අධ්‍යාපනය  සම්පුර්ණයෙන්ම  නිදහස් කිරීමක්  දක්වා ගෙන නොගොස්  අතර මැදි විසඳුමක් සෙවීම කෙළවර වන්නේ තවත් දීර්ඝ විශ්ව විද්‍යාල වැසීමකින් විය හැකිය.

අධ්‍යාපනය හුවමාරු භාණ්ඩයක් වී ඇති විටෙක සයිටම් වැසීමෙන් ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගත හැකිද?

මගේ ප්‍රශ්නය දීප්ති කියන අන්දමට මෙවන්වූ වාමාංශික ව්‍යාපාරයක් හා පෙළ ගැසෙන්නේ කෙසේද යන්නය?


සයිටම් අවුල එස් බී ගේ වැඩක් - ව්ලොග් එකක්