Thursday 29 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - පස්වන කොටස

මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි  -1

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - දෙවන   කොටස 

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - තෙවන  කොටස 

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - හතරවන  කොටස

ඉහත හතරවන කොටසේ ඕල්කට් තුමා හා බ්ලවට්ස්කි මැතිනිය මළවුන් සමග හෙවත් එහා ලෝකයේ මාස්ටර් හෝ ගුරුන් සමග කතා කිරීම විශ්වාස කරන බොහෝ දෙනෙක් වෙති. ඒ අතර යතිවරුන්ද බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් මෙන්ම  විද්‍යාඥයන් පවා වෙති. බොහෝ අය මේවා ප්‍රසිද්ධියේ පිළිගන්නේ නැත. ඒ තමන්ව උපහාසයට ලක්වේ යයි බියෙනි. අනාගාරික ධර්මපාල තුමා බුදු දහම අනාත්මවාදී යයි කියා ඕල්කට් තුමන්ලා සමග පසු කලෙක විරසක වුනු බව අසා ඇත්තෙමි.

මළවුන් සමග කතා කරන්නන් හෙවත් මිඩියම් ලා සාමාන්‍ය ආගම් සමග සම්බන්ධයක් නැත. කතෝලික ආගමේ, මෙන්ම බුදු දහමේද සිය දිවි නසා ගැනීම පාපයක් බව සඳහන් වේ. මා නිරීක්ෂණය කළ දෙයක් නම් තම දිවි නසා ගැනීම් නිසා අහිමි වූ තම ලයාදරයන්ට හිමි වන්නේ අපාය යයි දේශනා කරන ආගම් නිසා ඒවායින්  ඉවත්වී මෙවැනි  කණ්ඩායම් වල පිහිට පතා මිනිසුන් එන බවයි.. දැන් දැන් එංගලන්තයේ නිදහස් සෞඛ්‍ය සේවාව මෙවැනි අයට අවශ්‍ය මානසික සායන පැවැත්වූවත් ඇමෙරිකාවේ එවැන්නක් නොමැතිව තිබුණා යයි සිතමි.

එතැනට යාමට කලින්  මේ අත්දැකීමද සටහන් කිරීම වැදගත් යයි සිතමි.

මේ කාලයේදී මම මගේ මව රැගෙන ඉන්දියාවේ වන්දනාවක ගියෙමි.  ඒ ගමන ගැන කතා කිහිපයක් මේ බ්ලොගයේ ද මා පළ කල පොතේ ද තිබේ. වන්දනා නඩය  සංඝයාවහන්සේ ලාගේ ප්‍රධානත්වයෙන් මහමෙවුනා  උයනේ හවස පහන් පුජාවක් පැවැත්වූහ. පහල ඇත්තේ එදා ගත් පින්තූර කිහිපයකි.
රාත්‍රියේ පහන් දල්වා ඇති අයුරු 


මගේ මව ඈත බලා  සිටියි. 

මේ පහන් පෙළේ දර්ශනය චමත්කාරය දනවයි.


රැහැයි ශබ්දයක් වත් නැති ඉතා නිහඬ රාත්‍රියේ මේ පහන් පුජාව ඇත්තෙන්ම සුන්දරය. නිරාගමිකයකු වුවද මේ අතීත නටබුන් තුල රාත්‍රී මදනළත්  සමග සෙමෙන් සැලෙන පහන් දැල්ලේ චමත්කාරයෙන් මත්වනු නියතය. ඉතින් මේ රාත්‍රියේ සැවොම පහන් පත්තු කරද්දී මගේ මව මා  අතටද තෙල්, ඉටිපන්දම්  ආදිය දුන්නාය. ඈත කෙළවරේ ගරා වැටුන චෛත්‍යයක් වටා මම පහන් දැල්වුයෙමි. හැමෝම එකතු වී සිටින්නේ මැද හරියේය. මේ අඳුරු පැත්තට කවුරුත් එන්නේ නැත. මගේ පිටුපස මදක් ඈතින් උපාසිකා උපාසිකාවෝ පහ හයක් පමණ පහන් දල්වති. ගරා වැටුණු චෛත්‍යයේ අඳුරු පැත්තේ කවුරු නැත. හාමුදුරුවන් හා අනිකුත් ඉන්න අය සිටින මැද  පැත්තට වෙන්නට පමණක් හැමෝම පහන් දල්වනවා මිස අඳුරු පැති වලට යන්නේ නැත.

 ඉන්දියාවේ මේ පෙදෙසේ විදුලි පහන් නැත. එනිසා පළාතම ගණ අඳුරුය.  මා ඒ පැත්තේ පහන් පත්තු කරද්දී මට අඩි දහයක් පමණ ඉදිරියෙන් තවත් අයෙකු යන බව දුටිමි. යනවාට වඩා සුදු උඩුකය පාවෙයි. එය අනිත් පැත්තට යන්නාක්  මෙන් නැතිවී ගියේය. ඒ පැත්තේ අනිත් අය පහන් පත්තු කරනවා ඇති යයි සිතා මම අනිත් පැත්තට ගමන් කලෙමි. ඒ  අර උදවිය තවම පහන් පත්තු කරමින් සිටි තැන පසු කරමිනි. අනිත් පැත්තෙන් කවුරුත් ආවේ නැත. පහන් පත්තු කරද නැත.  මම නැවත මැදට පැමිණ අර උපසිකාවනට කවුදෝ සුදු හැඳගත් රුපයක් පහන් පත්තු කරන තැන  දුටු බවත් ඉන්පසු දැඩි අඳුරේ  මේ පැත්තට පාවී මෙන් එන සෙයක් දුටු බවත්  කියා ඔවුන් ගෙන් කෙනෙක් ඒ පැත්තට ගියාදැයි ඇසුවෙමි. මා දෙස බියමුසු නෙතින් බැලූ සියල්ලෝම එතනින් ආත බූත කඩාගෙන පැන ගියහ.. ඔවුන් හාමුදුරුවන්ට මේ විස්තරය කිව්  බව මට වැටහුනේ හාමුදුරුවන්  කියූ කතාවකිනි.
"මහත්තයා හරි වාසනාවන්තයි. මාත් නිතර අහල තියෙනවා දෙවි දේවතාවෝ වඳින්න එනව කියල. අපේ හිමිවරු නිතර දැකල තියනවා. මම දැකල නම් නැහැ. නමුත් සමහර අයට විතරයි ඕව පේන්නේ."  දෙවියන් නම් අර අය බියෙන් මෙන් ඉවත්ව ගියේ ඇයි දැයි මට ප්‍රශ්නයක් විය. තමන් නිතිපතා වන්දනා කරන දෙවියන්ට මිනිසුන් ඇත්තටම බයද? පුතා දෙවියෙක් දැකීම ගැන මවද සතුටින් හිටියාය.

මේ ගැන පසුව සිතූ මට සිතුනේ මා දුටුවේ දෘෂ්ටි මායාවක් බවය.  ඉන්දියාව අධික උෂ්ණත්වයකින් යුතු රටකි. දහවලට එහි ඇති උෂ්ණත්වය ශ්‍රී ලංකාවටත් වඩා වැඩිය. අනික මේ සමහර පැතිවල ගහකොළ ද එතරම් නැත. එනිසා මිරිඟුව වැනි දේ ඇති වීම සාමාන්‍ය දෙයකි. අධික උෂ්ණත්වය ඇති දහවලේ මිරිඟුවක් දැකීම සාමාන්‍ය දෙයකි.  දහවලේ අධික උෂ්ණත්වය නිසා උඩට යන ජල වාෂ්ප වලින් වලාකුළු සෑදෙන බවද සැවොම දන්නා කරුණකි. මේ ජාල වාෂ්ප හැමෙකක්ම උඩ  අහසට යන්නේ නැති අතර සමහර ඒවා පොලොව මතුපිට වෙයි. හවස සීතල වාතය මේ නිසාය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි 
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි 

පොළොව අසල ඝනීභවනය (අන්තර්ජාලයෙනි)
ඉතින් මේ සීතල ජල බින්දු වලින් සෑදුන තාවකාලික දර්පනයක් වැන්නකින් මගේම හෝ එතන සිටි උපාසිකා/උපාසක කෙනෙකුගේ රුවක් පරාවර්තනය වී මට පෙනෙන්නට ඇත. අවට තිබු පහන්වල ආලෝකය පරාවර්තනය වන්නට ඇත. මා ඉවතට යන විට එයත් පාවී ගියේ මේ නිසා විය යුතුය.

පසුව බුද්ධගයාවේදී එහි තුබූ පොත් හලට ගියෙමි. එහිදී ඉතා වැදගත් පොතක් හමුවිය. එම පොත මහායාන බුදු දහමේ ප්‍රබලයන් වන නාගර්ජුන හිමි හා දම්මකිත්ති හිමි (150-200 AD)  අතර වන සංවාද ගැන ලියූ එකකි. ගෞතම බුදුන් ගෙන් පසු සිටි හොඳම ම බෞද්ධ දාර්ශනිකයන් වන ඔවුන්ගෙන් නාගර්ජුන ශුන්යාතය නමැති සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේය.  මේ අදහස් මේ ලිපි පෙලට ගලපන්නේ පසුවටය.

 ඊළඟ ලිපියෙන් සියදිවි නසා ගත්  දෙමළ බෝම්බකරුවකු හා 88-89 සමයේ මියගිය ජවිපෙ සාමාජිකයකු ඇත්තටම කතා කළේ දැයි විමසමි. එම ලිපියෙන්  පසු මගේ අවසන් පරීක්ෂණය ගැනද  පැහැදිලි කරමි.

ඉන්පසු මා "මළවුන් සමග කතා කිරීම" පිළිබඳව උපේක්ෂාවෙන් සලකන හේතූන්  පැහැදිලි කරමි.

~~~~~ මතු සම්බන්ධයි.


ජලය වාෂ්ප වන හැටි හා පින්තූරය : http://water.usgs.gov/edu/watercyclecondensation.html
http://www1.lsbu.ac.uk/water/density_anomalies.html
http://www.engineeringtoolbox.com/water-vapor-saturation-pressure-air-d_689.html

(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

Saturday 24 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - හතරවන කොටස

මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි  -1

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - දෙවන   කොටස 

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - තෙවන  කොටස 

පෙරේදා මා සිටියේ මැක්ලැරෙන් F1 වාහන සමාගම භුමියේ  සීඑන්එන් ස්ටුඩියෝ එකේය. එහි CNN සමාගමේ "මේ ලොවින් එපිටට " යන රුපවාහිනී සමුඛ සාකච්චා වැඩ සටහන පටිගත කෙරුණි. මට එය නරඹන්නට අරාධනා  කලේ රාජකීය තාරක විද්‍යා සංගමයයි. ඒ මා  එහි සාමාජිකයකු හෙයිනි. එහි තේමාව "out of this world " "මේ ලොවින් එපිටට " යන්න මළවුන්ගේ ලෝකය ගැන නොවේ. පෘතුවියෙන් එහා ගමනක් ගැනය. අඟහරු ලොවට යාමට සැරසෙන කණ්ඩායමේ එක අයෙකුද එහි සමාගමේ සභාපතිද එහි විය. ඒ ගැන ඉදිරියේ දී ලිවීමට සිතමි.

   එඩ්ගාර් කේසි පොත් කියවන මට "වේලයෙන් පිටු පස " කණ්ඩායමේ අයෙක් යෝජනා කල දෙයක් ඉමහත් කුතුහලයක් දැනවීය. ඒ සිල්වර් බර්ච් නමැති ආත්මවාදී ඇමෙරිකානු ආදී වාසි (රතු ඉන්දියානු) මිඩියම් ගැන කියවන ලෙසයි. මේ මිඩියම්  වරු ගේ නම්ද අර මුල් වාසීන්ගේ (රතු ඉන්දියන්) නම් මෙන් අමුතුය. සුදු බර්ච් ගස ඔහුගේ නමයි.  ඔහුගේම කටහඩින් දෙන රිඩින් (reading) හෙවත් මළවුන් ගේ කතා මෙතැන ඇසිය හැකිය.

"සුදු බර්ච් ගස" ගෙන්වන්නේ මොරිස් බබනෙල් නමැති මිඩියම්  හෙවත් සිල්වර් ගේ මාධ්‍යය වශයෙන් කටයුතු කළ තැනැත්තායි. . සුදු බර්ච්  කියන්නේ ඔහුට මාස්ටර්ලා  හෙවත් ගුරුන් විස්තර සපයන බවය.  කේසිට සියලු විස්තර දෙන්නේ කලින් සිටි වෛද්‍යවරයෙකු ගේ ආත්මයකි. සෘෂි වරයෙක්ද විය හැක. මේ විස්තර දෙන අය හඳුන්වන්නේ මාස්ටර් හෙවත් ගුරු හැටියටය. ඔවුන් විස්තර ගන්නේ මහා පුස්තකාලයක් වැනි තැනකිනි. ලෝකයේ ජිවත් වන හැමෝගේ ම  විස්තර,  බල්ලන්, බළලුන් ගේ පවා,  එහි ඇත.

 මම මේ ගැන අපේ කණ්ඩායමෙන් ඇසුවෙමි.  මෙහිදී ලවුලෙන් ප්‍රකාශ කලේ ඇගේ මියගිය පියා ප්‍රථමයෙන් පෙනී සිටින බවත් ඔහු හරහා ඇය අනිකුත් අය ගෙන්වන බවත්ය. මෙහිදී මා කිවේ එසේනම් ඇය කථා කළේ මගේ පියාට නොවන බවයි.  මගේ පියා දාන ශාලාවේ සිටි නිසා එය විස්තර කළ හැකි අතර ඇගේ පියා  ඒ ගැන නොදන්නා බවද ඇය කීවාය.
සිල්වර් බර්ච් 

ඉන්පසු මා කීවේ ඒ ඇගේ පියා  නොව අර සිල්වර් බර්ච් හෝ කේසි කි ජාතියේ මාස්ටර් කෙනෙක් විය හැකි බවත් එසේ නැති නම් ලංකාවේ හාමුදුරුවරු කියන ආකාරයට භූතාත්ම, ප්‍රේතාත්ම  විය හැකි බවත් කෙසේ නමුත්, මා ඒවා කිසි දිනෙක විශ්වාස නොකළ බවත්ය. ඇය හෝ අනිත් අය භූතාත්ම කතාවට එකඟ නොවූ අතර ඔවුන් කීවේ  මේ මළ ගිය ආත්ම පෙන්නුම් කරන්නට උදව් දෙන අය හොඳ මිනිස් ජිවිත ගත කළ තමන්ට හොඳින් ජිවත් වීමට උපදෙස් දෙන සුපිරිසුදු ආත්ම බවයි. ඔවුන් ජිවත් වන්නේ අපට තලයක් දෙකින් උඩින් බවද ඔවුහු කීහ. (astral plane) එම තල මොනවාද යයි ඇසීමේදී එසේ තල හත අටක් ඇති අතර උඩට යන්නට යන්නට එම තලවල අය බලවත් බවද ඔවුහු කීහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ  සිට කණ්ඩායමට ලොගින් වෙන ඩිව් නමැති පරීක්ෂකයෙක් හමුවිය. ඔහු සමග කුළුපග වීමේදී මම ඔහු සිටින තැන ගැන විස්තරයක් කලෙමි. ඒ මට එසේ කළ හැකි දැයි බලන්නටය. ඔහු සමග තවත් තැනැත්තෙක්  සිටින බවත් ඔහු අත් කොට ටි ෂර්ට් එකක් ඇඳ සිටින බවත් පැවසුවෙමි. (මට එසේ පෙනුනේ සිතේ හැඳි රූපයක් මගිනි)

 ඩිව් කිවේ ඒ ඔහුගේ සහෝදරයා බවය. ඔවුන් දෙදෙනාම මේ සාකච්චාවට උනන්දුවක් දක්වන බවය. පසුව විස්තර සොයා බලන විට දැන  ගන්නට ලැබුනේ ඩිව් ගේ සහෝදරයා රාජකීය විද්‍යාලයේ මගේම ඒලෙවල් පන්තියේ උගත් මිතුරකු බවය. ඔවුන් රෝමානු කතෝලිකයන්ය. රෝමානු කතෝලික අය මෙවැනි දේ විශ්වාස කරන බව දැන ගැනීමම මට පුදුමයක් බව කීවෙමි.

ඩිව් ගේ සහෝදරයා වන මගේ පන්ති මිතුරා මට ශ්‍රී ලංකාවෙන් පොත් තුනක් එවීය. ශ්‍රී ලංකාවේ බෞද්ධ කාන්තාවක් රෝමානු කතෝලිකයකු වන කෙනත් සමහ විවාහ වී සිට ඇත. ඔවුන් අවුරුදු 30 පමණ එකට ජිවත් වූ පසු ඔහු හදිසියේම මිය ගියේය. ඇය ඔහුගේ මරණයට තමන් වග කිව යුතු යයි සිතූ  තැනැත්තියකි. ඇය අලෝමා නමැති මිඩියම් කෙනෙකු හමුවුණු පසු, මියගිය  කෙනත් ඇය හරහා කතා කර ඇත. මේ කාන්තාව (රානි) ඉන්පසු ඒවා පළ කර ඇත. එම පොත් තුන නම් - Beyond the veil, Lead me to the Real, Death is not the end යන ඒවාය.   කෙනත් නමැති මියගිය තැනැත්තා ද ආලෝකයක් ගැන කතා කරන අතර මාස්ටර් ලා ගැනද විස්තර කරන බව ඔහුගේ බිරිඳ ලියු පොත් වල තිබේ.

ශ්‍රී ලංකාවේ බෞද්ධ, හින්දු , රෝමානු කතෝලික හා මුස්ලිම් ජනතාව ගෙන් සමහරු මේ මළවුන් ගෙන්වීම්  විශ්වාස කරති. මුස්ලිම් වරුන්ගේ ෂියා නිකාය ඒවා තදින් විශ්වාස කරති.

පසුව ශ්‍රී ලංකාවට ගිය මා  ඔවුන් දෙදෙනාම මුණ ගැසුනෙමි.  මගේ මිතුරාට බුදු දහම ගැන හොඳ දැනුමක් තිබේ, අපි පන්සල් ගිය අවස්ථාවල  ඒවා ගැන බොහෝ විස්තර මගේ බිරිඳට කියා දුන්නේ ඔහුය.  මා මේ ලිපිය ඔවුන් දෙදෙනාටම යවන අතර ඔවුන්ට මා වැරදි යමක් කියා ඇත්නම් නිවැරදි කළ හැකිය. 

තවත් දිනෙකදී  මගේ කාමරයේ නිවසක ඇති පින්තුරයක් ගැන සමන්තා නමැත්තියක් පැවසුවාය. එය ඇයට පෙනෙන  අන්දමට මගේ බිරිඳ සුදු ඇඳුමක් ඇඳ  සිටින අතර මා සිටින්නේ සිට ගෙනය.  මේ කියන්නේ මම පලමු ලිපියේ දක්වා ඇති අපේ මංගල ඡායාරූපය ගැනය. පසුව දැනගත් පරිදි සමන්තා ගේ පියා හා පියාගේ පියා  (සීයා) හා මව  ජර්මන්ය. ඔවුන් මගේ ජර්මන් බිරිඳගේ ප්‍රාන්තයෙන් සංක්‍රමණය වූවන්ය. මේ සමන්තා  පසුව කණ්ඩායමෙන් ඉවත්ව ගිය පළමු තැනැත්තියයි.

මගේ බිරිඳ මේ විස්තරයට කැමැත්ත පළ කලේ නැත. ඔවුන් අපේ නිවසට භූතයන් එවති යයි ඇය බිය පළ කළාය. එවැනි කිසිවක් සිදු නොවන බවත් ඔවුන් කිසියම් ආකාරයක මායාවක් (මැජික් එකක්)  ක්‍රියාත්මක කරන බවත් පවසා ඇය අස්වැසුවෙමි.

මෙහිදී ලවුලෙන් ඇගේ ඉංගිසි ජාතික සම්භවය ගැන අපට පැවසුවාය. ඒ අනුව ඇගේ මිත්තණිය ලන්ඩනයේය. වඩා  හොඳින් විමසා බලන විට ඇය පොන්ඩර්ස් එන්ඩ් නම් පෙදෙසේ ජිවත් වූ කෙනෙකි. ඒ කියන්නේ මා  ජිවත් වන නිවසේ සිට කිලෝමීටර එකහමාරක් ඈතින් ඇති එන්ෆිල්ඩ් නගරයේම අනු කොටසකි.  ලවුලෙන් කිවේ මේ සම්බන්ධකම් අහම්බයක් නොව එම සම්බන්ධකම් නිසාම සමහර විට ඇයට හා සමන්තා ට මේ විස්තර කිව හැකි බවය. මගේ අදහස වූයේ ලෝකය අපට ලොකුවට පෙනුනත් විශ්වයට අනුව කුඩා බවත් මේවා නිකම්ම නිකම් අහම්බයන් බවත්ය.

ලවුලන්ගේ සැමියා ගේ පියා යුගෝස්ලාවියාවේ (එවකට සමාජවාදී සමුහාණ්ඩුව) ස්ලොවේකියා  රටේ බ්‍රට්‍රිස්වාලාවා  නගරයෙන් කැනඩාවට සංක්‍රමණය වූ කෙනෙකි. ඒ කියන්නේ අගේ සැමියාට ස්ලෝවේකියන් කතා කළ හැකිය. අපේ නිවසට  ඒ කාලයේ ළමයි බැලීමට පැමිණි නැනී ද ස්ලෝවේකියාවේ බ්‍රට්‍රිස්වාලාවා වල ඉපදුනු යුවතියකි. ලවුලෙන් මා හගිස්වන්නට මේ කරුණද භාවිතා කළාය.

සිල්වර් බර්ච් ගැන සොයද්දී මට හමුවුයේ හෙලේනා බ්ලවට්ස්කිය.  මෙය මට  මහත් පුදුමයට කරුණක් විය. ඒ මා බ්ලවට්ස්කි ගැන කලින් කියවා තිබීමයි.  කොළඹ විශාඛා විදුහලේ උගත් මගේ සොයුරිය ළඟ කර්නල් ඕල්කට් තුමා,  ඇනී  බෙසන්ට් හා බ්ලවට්ස්කි ගේ පින්තුර රැගත් පොත් පිංචක් තිබුණි. එයට හේතුව ඕල්කට් හා බ්ලවට්ස්කි විසින් පිහිටවූ  තියෝසොපිකල්  සොසයිටි (දෙවියන් ගැන දැනුම හෝ පරම විඥාණාර්ථ සමාගම) මගින් බෞද්ධ විදුහල් වන ආනන්ද, නාලන්ද, ධර්මරාජ හා විශාඛා වැනි විදුහල් පිහිටුවීමයි.

හෙලේනා පෙත්රෝව්නා බ්ලවට්ස්කි යනු රුසියානු රදළ (aristocratic) කාන්තාවකි . ඇගේ පියා රුසියානු හමුදාවේ සේවය කළ ජර්මන් රදළ සෙන්පතියෙකි. මවද  රුසියානු රදළ කාන්තාවකි. හෙලේනා  බ්ලවට්ස්කි මිඩියම් කෙනෙකි. ඇය සම්බන්ධ කරගන්නා මළගිය මාස්ටර් ලාගේ නම් වන්නේ මොර්යා හා කුට් හූමිය. මොවුන් කව්දැයි ඇයවත් දන්නේ නැත.  කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් යනු  ඇගේ මිතුරෙකි. සැකෙවින් කතා ව  කියතොත් මලගිය ලෝකයේ මාස්ටර් ලා  විසින් දේව සභාවක් ගැන කියා තිබේ. ඈත පෙරදිග රටක සත්‍යය සොයා ඔවුන් යා යුතු බවත් ඔවුන් සත්‍යය වටහා ගන්නා බවත් පවසා ඇත. ඕල්කට් හා හෙලේනා දෙදෙනාම ඉන්දියාව  බලා නැව් නැගුනහ. එහි  අර්ද්‍යා නගරයේ තම සංගමයේ මුලස්ථානය පිහිටුවා ගත් ඔවුන් දෙදෙනා ආර්ය සමාජය නම් සංවිධානයක් ගොඩ නැගුහ. එහිදී බෞද්ධාගම වැළඳ ගත් මුල්ම බටහිරයන් වුයේද ඔවුන්ය.

පසුව ලංකාවට  (ceylon) පැමිණ බෞද්ධ පුනරුදයක් ඇති කරන්නට අනගාරික ධර්මපාල තුමාට උදව් කළේත්, බෞද්ධ පාසැල් පිහිටුවන්නට ජෙරමියෙස් ඩයස්, ඇනි බෙසන්ට් ආදීන්ට උදව් කළේත් මොවුන්ය.

මේ අනුව වර්තමාන ලංකාවේ  බුද්ධාගම පිහිටුවා ඇත්තේ බටහිරයන් දෙදෙනෙකුට මළවුන් කියූ සාස්තරයකටය.  එනම් භූතයන් හා ප්‍රේතයන්ට විරුද්ධ හාමුදුරුවරුන්ගේ ඒ මුළු ආගම ම පිහිටුවන්නට උදව් කල දෙදෙනා  භූතයන්ගෙන් අවවාද  ගත් යයි. එසේ නැත්නම් මේ භූතයන් ගෙන් ලද නියෝගයක් නොව ආනන්ද මෛත්‍රය හිමි කියන ආකාරයට දේව සභාවකින් ලත් නියෝගයක්ය.  ආනන්දය, නාලන්දය ආදී විද්‍යාල පිහිටුවන්නට උපදෙස් දෙන්නට ඇත්තේද මළවුන්  යයි මෙහිදී සැක  ඇතිවේ. කෙසේ වුවද එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවට වූවේ හොඳකි.  ආචාර්ය නලින් ද සිල්වා මහතා  බටහිර බුදු දහමට මෙතරම් බැන වදින්නේ සමහර විට මේ  නිසා විය යුතුය.

මට වැටහෙන ලෙසට ක්‍රි ව. 217 වට්ටගාමිණී අභය රජු විසින් පිහිටුවන ලද අභයගිරි විහාරය පැවති  සමයේ දී ශ්‍රී ලංකාවේ  නියම බුදු දහම පැවතුනි. මහාවිහාර අභයගිරි ප්‍රශ්නය මත බෙදී වෙන්වී පසුව සොළින් විසින් විනාශ කරන ලද අභයගිරි විහාරය මහායානික බුදු දහමේ මුලස්ථානයකි.

මේ වන විට  2007 වසර වූ අතර මම  මෙහිදී මේ සියල්ල තනිකරම මායාවක් බව ලවුලෙන් ට පැවසුවෙමි. මා ලංකාවේදී  මේ දේව සභා කතා කවදාවත් විශ්වාස නොකළ බවද පැවසුවෙමි.

මෙහිදී තවත් අයෙකු පැහැදිලි කිරීමක්  කරන්නට ඉදිරිපත් විය. මේ තැනැත්තා ගේ  යහළුවා වා ජේම්ස් ****** මරා  දමා  ඇත්තේ ඔහු කියන ආකාරයට ඇමෙරිකන් ඔත්තු සේවා මගිනි. ඒ මැද පෙරදිග තෙල් වලට විරුද්ධ යමක් ඔහු සොයා ගෙන ඇති නිසා බව කීය.  ඔහු මරා දමා ඇත්තේ පොටෑසියම් ක්ලෝරයිඩ් ඉන්ජෙක්ෂන් එකක් ගසා කෘත්‍රිම හෘදයාබාධයක් සාදවාය. එහිදී පොටෑසියම් දිය වෙන නිසා මරණ පරීක්ෂණයක දී සොයා ගැනීමට නොහැකිය. මේ යහළුවා  සිරින්ජය සොයාගෙන තිබේ. එදා සිට ඔහු ජිවත් වන්නේ හොරෙන්ය.

එසේම ඔහු පැවසුවේ,  ඔහු එම රහස් ඔත්තු සේවාවේ රිමෝට් (remote viewing) බැලීම වැඩ සටහනේ සිටි බවයි. ඔවුන්ගේ කාර්යය වුයේ මැද  පෙරදිග ආදී ඇමෙරිකානු හමුදා ඇති පෙදෙස් දෙස  සිතෙන් බැලිය හැකිද  යන්න  සොයා බැලීමයි. එම වැඩ සටහන පසුව නවතා  දැමුවාක් බවද ඔහු කියා සිටියේය.

මෙය මා යහලුවෙකුට පැවසුවෙමි. ඔහුගේ අදහස වුයේ මේ කණ්ඩායමම රහස් ඔත්තු කරුවන් විය හැකි බවත් ඔවුන් මගේ චිස්තර මුලින් සොයා බලා පසුව මා  පුදුමයට පත් කරන්නට ඒවා කියන බවත්ය.  මේ සිද්ධීන් එසේ විය නොහැකි යයි කියා ඉවත දැමුවෙමි.  ඔවුන්ට එසේ කිරීමට  හේතුවක් නැත.

මම මෙයින් පසු කණ්ඩායමෙන්  ඉවත්ව යාමට සැරසී  සිටියෙමි. මේ කාලයේ මගේ ලංකාවේ මිතුරා වෛද්‍ය බ්‍රයන් වයිස් ගැන කියවන ලෙස දැන්විය. ඔහුගේ many lives many masters ආදී පොත් සියල්ල මා  ළඟ තිබේ. යුදෙව් වෛද්‍යවරයෙකු  වන ඔහු පුනරුත්පත්තිය විශ්වාස  කරයි. past life regression  (අතීත භව වලට යාම) නමැති මෝහන  ක්‍රමයකින් අතීත පුනර්භාවයන් ගැන  කියන බව කියති. ඔහු ලන්ඩනයට නිතර පැමිණෙන  මුත් මට ඔහු ගේ සම්මන්ත්‍රණයකට යාමට නොහැකි විනි.

වයිස් ගේ පොත්ද කියවූ නමුත් මගේ අදහස්  දැඩි ලෙස වෙනස් කරන්නට ඒවාට නොහැකි විය. මේ වන විට වසර 2008 ද එළඹ තිබුණි. ලවුලන් ගේ අන්තිම රිඩින් එක හෙවත් කියැවීම ලැබුනේ මේ දිනවලය. මේ වනවිට ඇය මුදලට මෙසේ මළවුන් ගෙන්වීම ද  අරඹා තිබුණි.

~ මතු සම්බන්ධයි.

සිල්වර් බර්ච් - http://www.silverbirchpublishing.co.uk/page.asp?pageid=3
ඔහුගේ කටහඬ - https://www.youtube.com/watch?v=3aFtkVRrizU
ඇමෙරිකානු මුල් වැසියන් වන මීඩියම් ලා ගේ නම්: http://whitecrowbooks.com/michaeltymn/entry/why_red_indians_so_often_control_mediums
හෙලේනා බ්ලවට්ස්කි - https://en.wikipedia.org/wiki/Helena_Blavatsky
http://www.magickalmind.com/blavatsky.htm

(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

Wednesday 21 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - තෙවන කොටස

මුල් ලිපි:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි  -1

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි - දෙවන   කොටස 

මෙයින් පසු මා බොහෝ විට තැත් කළේ මේ මළවුන් ගෙන්වීම සත්‍යයක්ද යන්න  සෙවීමටය. ජෝන් එඩ්වර්ඩ් නමැති ප්‍රසිද්ධ මීඩියම් හෙවත් මළවුන් ගෙන්වීමේ මාධ්‍යයක් වශයෙන් කටයුතු කරන්නාගේ "එහා ලොවට තරණය " (crossing over) නමැති රූපවාහිනී වැඩ සටහන දිගින් දිගටම නැරඹුවෙමි. එසේම එඩ්ගාර් කේසිගේ පොත් රැගෙන කියවූයෙමි. මේ පොත්වල අඩංගු දෑ ගැන "වේලය පිටුපසින් " කණ්ඩායම සමග වාද විවාද කළෙමි.  මට සැබවින්ම සිතුනේ ජෝන් එඩ්වර්ඩ් කරන්නේ මුදල් රැගෙන බොරුවක් බවය. මිනිසුන් තමන්ගේ මියගිය නෑදෑයින් සමග කතා කරන්නට අවශ්‍ය වන්නේ ඔවුන්ට නොයෙකුත් මානසික ප්‍රශ්න තිබෙන නිසා බවට වාද කලෙමි. එසේම එඩ්ගාර් කේසි ගේ බෙහෙත් වර්ග බොහොමයක් ඉන්දියාවේ ආයුර්වේදී බෙහෙත් බවත් ඔහු ආයුර්වේද පොතකින් ඒවා සොරකම් කර නොදැනුවත් අමෙරිකානුන් රැවටු බවත් මට සිතිනි.

එඩ්ගාර් කේසි බොහෝ අනාගත කියවීම් ආදිය කලේ ස්වයං මෝහනයකට ලක්වීමෙනි. "නිදා ගෙන පේන කියන්නා " ලෙස ඔහුව හැඳින්වූයේ එබැවිනි. ඔහු බයිබලය හිස තබාගෙන නිදාගත් පසු එය මුළුමනින්ම මතක තිබු බව කියවේ. ඔහු බොහෝ තෙල් නිධි ඇති ස්ථානද සොයා දී තිබේ යයි කියති. ඔහු ක්‍රිස්තියානි වූවද පුනරුත්පත්තිය දැඩි ලෙස විශ්වාස කළ අතර තමන්ගෙන් සුවය ලැබීමට හා අනාගතය දැන ගැනීම සඳහා එන්නන්ගේ පෙර ආත්ම ගැන කීමද කළේය. මෙය ඔහුගේ ක්‍රිස්තියානි ආගමට විරුද්ධ වූ නිසා ඔහුට ඇතැම් ඇමෙරිකානු ආගමික සංස්ථාවන්ගේ දැඩි විරෝධයද එල්ල විනි. මට ඔහුව පෙනුනේ ලංකාවේ සිටින පේන  කියන්නෙක් මෙනි. ලංකාවේදී ඒවා විශ්වාස නොකළ මට කේසිගේ කථා විශ්වාස කිරීමට  අපහසු විය.

මෙහිදී මට තේරුම් ගියේ ජැමි හෙවත් ලවුලන් ඇතුළු පිරිස කිසිදු පල්ලියකට  නොයන බවත් ඇතැම් අය ස්පිරිචුවලිස්ට්  (ආත්මීය) පල්ලියට යන බවත්ය.  මෙහි ශාඛාවක් එන්ෆිල්ඩ් වලද තිබුණු අතර මම එයට වරක් දෙවරක් ගියෙමි.  මේ පල්ලිය බිහිවන්නේ මරණින් මතු ආත්මයක් වශයෙන් මළවුන් සිටී යයි විශ්වාස කිරීම  හා ඔවුන් සමග කතා කිරීම ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි ආගම් සියල්ල ප්‍රතික්ෂේප කිරීම නිසාය. මෙහි ප්‍රධානින් සියල්ල මිඩියම් හෙවත් මළවුන් සමග අදහස් හුවමාරු කරන්නන් වන අතර එයට යන වන්දනාකරුවන්ද එය විශ්වාස කරන අයම වීය. නමුත් තමන්ගේ දෙවියන් වශයෙන් ජේසුස්වහන්සේව  ඇදහීම ඔවුන් දිගටම කරගෙන යාම විශේෂත්වය විය.  ජේසූන් මරණයෙන් පසු පැමිණ කතා කල බව ඔවුන් විශ්වාස කරති.

එම පල්ලියේදී එක් මීඩියම් කෙනෙක් (හෙවත් මළවුන්ගේ මාධ්‍යය) මට කතා කර දෙදෙනෙකු මා  හමුවීමට පැමිණ සිටින බව දන්වා කිසියම් විස්තර වගයක්  කළාය. ඒවා මෙහි සඳහන් කිරීමට නොවටිනා විස්තර  ලෙස හැදින්විය හැකිය. මා  ගුර්කා (එංගලන්ත හමුදාවේ ගුර්කා භටයන්) වරයෙකු ලෙස සලකා කියන දෙයක් ලෙස පෙනී ගිය නිසා මට යටි සිතින් සිනා සෙමින් එතැනින් පැමිණියෙමි. නැවත එතනට නොගිය මා මුලු විස්තරයම අපේ "වේලයෙන්  පිටුපස " පර්යේෂණ කාණ්ඩයට පවසා දැඩි විවේචනයක් කලෙමි.

අර පළමු ලිපියේ සඳහන් කළ අමරාවතී පන්සල වැදගත් වන්නේ මෙතනය. එම අවුරුද්දේ සුපුරුදු ලෙස ලංකාවේ දානයට මූල්‍ය සහය දෙන අතරේ අමරාවතියට    දානය දීමට සැරසුනෙමි. එහි අප හැමෝමත්,  පැමිණෙන යහළුවනුත් ආහාර පිස රැගෙන එන අතර භික්ෂූන් හා ස්වායත්තව සේවය කරන අය දානය ගත් පසු ඉතිරි සියල්ලෝම එහිම සිට දහවල් දානය බෙදා ගනිති. දානය ගෙනා අයගේ නම් හා මියගිය ඥාතීන්ගේ නම් පිළිවෙලට කියවනු ලැබේ.

මම ලවුලෙන් (ජැමී) ගෙන් මේ පිළිබඳව විමසුවෙමි. එදින  දානය රැගෙන යද්දී මගේ පය බුමුතුරුණකට පැටලුනු බව කීවාය . (ඒ දිනවල අපේ නිවසේ බිම කාපට් කර තිබුණි.) මා එවිට ඇයට කිවේ එවැනි දෙයක් ඕනෑම කෙනෙකුට කිව හැකි බවත් හැම නිවසකම වාගේ කාපට් තිබෙන බවත්ය. (කාපට් වලට පය පැටලීමද මට නිතර වෙන දෙයකි.) මෙහිදී ඇයට මදක් තරහා ගිය බවද පෙනුනි.

ඉන්පසු ඇය කියනා ලෙසට මගේ පියා සමග සම්බන්ධ වූවාය. මෙහිදී පැහැදිලි කළ යුත්තේ ලවුලෙන් ඇන්ග්ලිකන් කාන්තාවක වූ නමුදු කිසිදු  දේවස්ථානයකට නොයන්නියක් බවයි. එතැන සිටි බොහෝ අය ද එසේය.  ඔවුන් බොහෝ දෙනා බෞද්ධාගම ගැන අසා නොතිබූ අතර හින්දු ආගමේ ආකාරයට කර්මය විශ්වාස කළ අය වුහ. ඉහත සඳහන්  කළ එඩ්ගාර් කේසි පන්නයේ කර්මය විශ්වාස කළ අයද විය.

මෙසේ පල්ලි නොයාමට හේතුව ඔවුන් Witch  හෙවත් මායාකාරියන් ලෙස සමාජය හංවඩු ගසන නිසා බව මට විස්තර කළහ.  අලෙක්සන්ද්රියාවේ හිපාටියා ගෙන් පටන් ගෙන යුරෝපයේ බොහෝ ගැහැණුන් පුළුස්සා මරා දැමුණු බවද කිහ.  මෙසේ යුරෝපයේ මරා දැමුණු අවසාන කාන්තාව ස්විට්සර්ලන්තයේ අන්නා ගොල්ඩි ය.
අමරාවතියේ දාන ශාලාව 

 එදින ලවුලෙන් කීවේ  මා උස ජනෙල් තිබෙන විශාල ශාලාවක සිටි බවයි.  දානයක් දෙන විහාරයක එසේ තිබිය හැකි බව මම කීවෙමි. ලවුලෙන් කීවේ ඇය ජිවිතයේ කිසි දිනෙක විහාරයකට හෝ කෝවිලකට පා තබා නොමැති අතර ඒවා කළුද සුදුද වත් නොදන්නා බවයි. මෙහිදී දානයක් යනු කුමක්දැයි ඔවුන්ට පහදා දෙන්නට සිදු විය. එතන සිටි (චැට් රූම් එකේ) බොහෝ අය මියගිය ඥාතීන් සිහිකර දානයක් දීම හොඳ ක්‍රියාවක්  ලෙස සිතූ බව ඔවුන්ගේ පණිවිඩ වලින් වැටහිණි. එසේම ඔවුන්ගේ අදහස වූයේ යාචකයන්ට දානයන් දිය යුතු බවයි.

අපේ දෙවියන් කෙළවරක  සිටින බවද ඊජිප්තු ප්‍රතිමාවක් මෙන් බවද කීවාය. මෙය ඈ නොදැනුවත්කමින් කී දෙයක්දැයි විමසීමි.

දාන ශාලාවේ පන්සලේ භාවිතයට පූජා කළ ද්‍රව්‍ය 
 ඉන්පසු ඇය කීවේ මගෙන් හුරුබුහුටි කුඩා ළදැරියක් වතුර ඉල්ලු බවයි. ඇය හැඳ සිටියේ ඩෙනිම් ජැකට්ටුවක් බවද මල් වැටුන ඇඳුමක් ඇඳ සිටි බවද තව  දුරටත් පැවසුවාය. මේ දැරිය මගේ දියණියක් නොවූවත් බොහෝ ළඟ කෙනෙකු බවද කීවාය.

මා කැමති වූවා හෝ නැති වුවත් ඇය මෙහිදී පවසන්නේ සත්‍ය බවට මට පිළිගන්නට සිදුවිය.  මා  කුඩා කාලයේ සිට හදුනන යහළුවකු ගේ ප්‍රථම දරුවා වුයේ මේ කුඩා දියණියයි.  අපේ යහළුවන් අතරින් පළමුව විවාහ වූයේ ඔහුය. යහළුවන් කණ්ඩායමේම ආදරය ලත් සුරතල් දරු පැටියා වුයේ මේ හුරුබුහුටි පොඩිත්තියයි. ඇය ජර්මනියේ පැවැත්වූ අපේ විවාහ උත්සවයටද දෙමාපියන් සමග සහභාගී වූවාය.  ඇය මගෙන් වතුර බොන්නට ඉල්ලු බව හා ඇය ඇඳ  සිටි ඇඳුම පවා නිවැරදි ලෙස කිවේ කෙසේද යන්න මට එවේලේ සිතා ගත නොහැකි විය.

අප මිතුරියක වූ කුඩා දියණිය ගේ මව මේ විස්තරයට නොපහන් බවක් දැක්වූවාය.  මා මේ පිළිබඳව මගේ මවට පැවසූ විට ඇගේ පිළිතුර විස්මය දනවන සුළු විය. ඇය මා මළවුන්ට කතාකිරීම වහාම නවතා දැමිය යුතු බව පැවසුවාය. හේතුව පන්සලේ හාමුදුරුවන් කී  දෙයකි. මේ  ගෙන්වන්නේ භූතයන් හා ප්‍රේතයන් බව ඔහු කියා ඇත.  එසේ භූත ලෝකයේ ඉපදී ඇති නිසා ගෙන්වන්නට පුළුවන් බවද කියා ඇත. මගේ මව හාමුදුරුවන්ගේ වදන් වලින් ශෝකයට පත්වූ නිසාත් ඇගේ සිත තව  දුරටත් පාරන්නට නොහැකි නිසාත්  මා එය නවතන බව පැවසුවෙමි. මගේ පියා  එවැනි ආත්මයක ඉපදී ඇති කීම මගේ සොයුරියන්ද කෝපයට පත් කරවන්නක් විය.

මේ හාමුදුරුවෝම "නයනේ" ගේ ප්‍රතිචාරයේ පැවසූ පරිදි පන්සලේ තාප්පය වටේ විදුලි ආලෝකය හා තවත් වැටක් ගැසීමට මවට යෝජනා කර තිබුණි. පියාට දිව්‍යාත්මයක් ලබා දීම එහි අරමුණ යයි කියා තිබේ.

මෙහිදී මට මතක් වන තවත් සිද්ධියක් තිබේ. පියා මියගොස් හත් දවසේ දානය මේ පන්සලට දෙන්නට කතා කරද්දී සියලුම හාමුදුරුවරු උපාධි සඳහා ඉගෙනීම් වලට යන බැවින් හා, ලොකු හාමුදුරුවන් අසනීප නිසාත් හීල් දානය  පමණක් එවන ලෙස දන්වා තිබිණි.  මගේ මව මෙයට අකමැති වුවාය. මට පසුව දැන  ගන්නට ලැබුනේ මගේ පියා  හා මව දිගටම වැඳුම් පිදුම්  කල කොළඹ පන්සලක  නායක හිමියන් ඇතුළු හිමිවරුන් පැමිණීම ගැන මේ හාමුදුරුවන් අසතුට පළ කල බවයි. එහිදී මම කියා සිටියේ පන්සලට දානය මින්පසු නොදෙන්න කියායි. මා එසේ කියූ බව දැනගත් නායක හිමි  හත් දවසේ දානය එදිනම දවාලට  සුපුරුදු ලෙස පූජා කිරීම සඳහා  කැමති වී තිබිණි.

කෙසේ හෝ මව හාමුදුරුවරුන්  කී දේ අසා,  මෙසේ පියා ගැන මළවුන් ගෙන්වන්නන් ගෙන් විමසීම  ගැන දෝෂාරෝපණය කළ පසු මා ලවුලෙන් ට මේ විස්තරය කීවෙමි. මට අවශ්‍ය වුයේ ඔවුන් මෙය කෙසේ කරන්නේද කියා දැන ගැනීමටය. ඇගේ විධි ක්‍රමය ගැන මගේ අවිශ්වාසය දත්  ඇය මෙහිදී මට උදව් කිරීමට එකඟ වුවාය. කිසිවක් තදින් සොයා බැලීමෙන් තොරව නොපිළිගැනීමේ ලක්ෂණය ගැන ඇගේ කිසියම් සුහදත්වයක් හා අවබෝධයක් තිබිණි. ඉහත එඩ්ගාර් කේසි ආදින් ගේ පොත් මිලයට ගෙන මිඩියම් කෙනෙකු වන්නට මා උත්සාහ කළේ ඉන් පසුවය.

ප.ලි.
මගේ මව දිගටම ඉහත කී පන්සලට පියා  වෙනුවෙන් පොසොන් මාසයේ දානමය පිංකම කරන අතර ඇය දෙසීයකට වැඩි සිල් ගන්නා උපාසක උපසිකාවන්ටද දානය පිරිනමන්නි මහත් බැතියෙනි. මමද වරක් එයට ලංකාවේදී සහභාගී වුනෙමි.
නායක හිමි මගේ පියා දැන් "දේව සභාවක " සිටින බව හෙවත් හොඳ තැනක සිටින බව කියා තිබේ. "එංගලන්තයේ සිටින ළමයා ද " හොඳ පින්වන්තයෙකු ලෙස උසස්වීමක් ලබා තිබේ.  "ඔබ සතුටින් නම් මමත් සතුටින්" බව මවට දැන්වූයෙමි .


ජෝන් එඩ්වර්ඩ් - http://johnedward.net/
එඩ්ගාර් කේසි -  https://www.edgarcayce.org/edgar-cayce/his-lifehttp://www.edgarcayce.org.uk/index.html
ස්පිරිචුවලිස්ට් පල්ලිය  http://beaconoflightenfield.co.uk/
අමරාවතී භාවනා මධ්‍යස්ථානය - http://www.amaravati.org/about/
මායා කාරියන් යයි පවසා මරා දැමුණු කාන්තාවෝ : https://en.wikipedia.org/wiki/List_of_people_executed_for_witchcraft

~ මතු සම්බන්ධයි
(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී විල්සන් හල් මගේ යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්න  ඇසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ. එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත.)

Monday 19 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දෙවන කොටස

මුල් ලිපිය:
භෞතිකවාදයෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි  -1 


මගේ මව අපේ පළමු දරුවා බැලීමට පමණි අවස්ථාවේ පවුලේ අය ගාල්ලේ සාස්තර කියන තැනකට  ගිය බව කීවාය. එතන විශේෂත්වය වන්නේ මළවුන් ගෙන්වන බව කී ඈ  සොයුරියකගේ දැඩි ඉල්ලීමට එහි ගිය බවද  කීවාය. මා ඒවා විශ්වාස නොකරන නිසා ඇය මට එය කලින් කියා තිබුනේ නැත. එහිදී මගේ පියා කතා කරන කට හඬින්ම කතා කළ තැනැත්තා  "ලොකු පුතා කොහිද "යැයි ඇසු බවත්  ඔහු ආවේ නැහැ නේද යයි ඇසූ  බවත් ඇය කීවාය. මා මළගමට පැමිණි බව ඈ විසින් පැවසූ බවත් එවෙලේ සියල්ලන්ම හඬන්නට පටන් ගැනීම නිසා එතනින් ඉවත්ව ආ බවත් කීවාය. ඒ වෙලේ ඒවා බොරු විය හැකි බවත් කවුරුන් හෝ දැනසිටි දෙයක් කීවා විය හැකි බවත් මා ඇයට පැවසුවෙමි.

මා එසේ කීවද එවැන්නක් ගැන රුසියාවේ සිටියදී අසා තිබු බවක් මට සිහිවිය.  මෙවැනි හැකියාවන් තිබූ අය කේජිබී  එක මගින් අත්අඩංගුවට ගෙන පර්යේෂණ කිරීම  සඳහා විද්‍යාඥයන්ට භාර දී තිබුණි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු නිදහස් වූ  මෙවැනි අය ගැන නිරතුරුව රූපවාහිනිය මගින්  පෙන්වන ලදී.  සිතේ බලය හා මොළයේ ක්‍රියාවලිය අතර සම්බන්ධය ගැන සෝවියට් දේශයේ ආරක්ෂක අංශ නිතර පර්යේෂණ කළහ. කෙතරම් භෞතිකවාදී ලෙස ක්‍රියා කළද සෝවියට් දේශයේ විද්‍යාඥයන් හා ආරක්ෂක අංශ ඒවා මගහැර තිබුනේ නැත.

ඒ කාලයේ 2001 දී පමණ ගූගල් තිබුනේ  නැති අතර මම සෝවියට් උපාධි අවසන් කළ අය සඳහා  MSN සමූහයක් (ගෘප් එකක්) පවත්වාගෙන ගියෙමි.  එමගින් අනිකුත් සමුහයන් ගැන ද අවශ්‍ය නම් සොයා බැලිය හැකි විය. මෙයින් එකක් මගේ ඇස ගැටුණු අතර එය "වේලයෙන් පසු පස" (behind the veil ) නම් මළවුන් සමග කතා  කරන අයගෙන් සමන්විත අන්තර්ජාලයේ කටයුතු කරන කණ්ඩායමක් විය. එහි නිර්මාතෘ අන්තර්ජාල නම වන  ලවුලන් (Loullen) නමින් හැඳින්වූ කැනේඩියානු කාන්තාවකි. ඇගේ  නියම නම ජැමී විල්සන් හල් වන අතර ඇය මගේ ෆේස් බුක් හි යහළුවෙකු බව සමහර අය දැක ඇති.  එදා 2001දී  හඳුනාගත් ජැමි හා  මම අදත් හොඳ  මිතුරන්ය.

එම කණ්ඩායම තෝරා ගැනීමේ අනිත් හේතුව වූයේ ඔවුන් මුදල් අය නොකිරීමයි. මුදල් අය කරන අයට ඒ නිසාම මොනවා හෝ කීමට සිදුවෙයි. ඒ අනුව ඕනෑම බොරුවක් කිරීමටද අවකාශය ඇත.

එහි මළවුන් සමග කතා කරන අයට කියන්නේ මාධ්‍ය (medium) කියාය. මවගේ ඉහත සඳහන්  කතාව මෙන්ම පියා ගේ හදිසි අභාවයෙන් ඇතිවූ ශෝකය මත ඔහු හා සම්බන්ධ වන්නට ඇත්නම් හොඳය යන අනියත ආශාවක්  මට ඇතිවුනි. එයට හේතුව සමහරවිට මගේ දැඩි ශෝකය තාර්කික බව අභිබවා යාම විය හැක. එහි සාමාජිකයකු වී දෙතුන් දිනකින් මගේ වාරය එළඹුණේ ලවුලෙන් විසින් මා ඇමතීම නිසාය. එම්එස්එන් කණ්ඩායම් කතා කරන අන්තර ජාල චැට් රූම් තිබේ. එදා එහි ඇමෙරිකන් කාන්තාවන් වන ඩොන්නා , රූත් සහ ඕස්ට්‍රේලියන් මහතෙකු වන W ද සිටියහ.

ලවුලෙන් කිවේ කිසියම් වයස එතරම් වැඩි නොවන අයෙකු මට කතා කිරීමට බලා සිටින බවයි. ඔහු හමුදාව වැනි ආයතනයක සේවය කරන අයෙකු ලෙස හා තවත් විස්තර පැවසිනි.  මගේ සිතේ ඇති සැක සහිත භාවය නිසා මේ කරුණු වලට මා කෙලින් පිළිතුරු දුන්නේ නැත. ලවුලෙන් මදක් කෝපයට පත්ව ඇය කිසියම් නිවැරදි දෙයක් කියන්නේ මා ඔව් යයි පිළිතුරු දිය යුතු බව කීවාය. එහිදී මා ඇයට පැහැදිලි කළේ මා මේවා එතරම් විශ්වාස නොකරන බවත්, නමුත් ඕනෑම දෙයක් සොයා බැලීමේ අදහසින් පැමිණි බවත් ඇය කියන තොරතුරු වලින් සමහර ඒවා කෙනෙකුට තර්කානුකුලව සිතා කිව හැකි බවත්ය.

ලවුලෙන් ගේ මා වඩාත්ම ගරු කරන ගතිය මා  දුටුවේ එහිදීය. මා සමග වාද කර හෝ තමන් කරන දේ නිවැරදි යයි කීම වෙනුවට ඇය මට අවශ්‍ය ලෙස කටයුතු කිරමට එකඟ වුනාය . ඇය මෙය කරන්නේ විනෝදයට නිසා එහි ප්‍රශ්නයක් නැති බව පැවසුවාය. ඉන්පසු ඇය කියන  දේ වලින් මට  විද්‍යානුකුලව හෝ තර්කානුකූලව පිළිතුරු සෙවීමට නොහැකි දේ මෙසේය.

එක සාක්ෂියක්?

ඇය පැවසුවේ එහි (ඈ ඉදිරියේ) පෙනී සිටින තැනැත්තා  ජිවත්ව සිටියේ මා සිටින තැනින් හැතැප්ම හයදාහක පමණ දුරින් බවය. (ලන්ඩනය හා කොළඹ අතර දුර කිලෝමීටර 8000 පමණ වේ, හැතැප්ම 5000 පමණ.) මා ලන්ඩනයේ ජිවත්වන බව ඇය දැන  සිටියාය. සාමාජිකයකු වන විට එම විස්තර ඉදිරිපත් කළ යුතුය. මගේ පියා  මිය ගියේ ශ්‍රී ලංකාවේ බව පිළිගතිමි. ඇය එවැනි රටක් ගැන දැන සිටියේ වත් නැත. (රටවල් ගැන ඇගේ දැනුම ඉතා අඩුබව පසුව දැන ගතිමි) ඉන්පසු ඔහුගේ නමේ මුල අකුර ඇය නිවැරදි ලෙස කීවාය. මගේ මව ඔහු නිතර සිහි කරන බව කීවාය. එනිසා ඔහු තමන් යන තැන පමා කරමින් සිටින බවද පැවසුවාය.

මේ මිඩියම් වරියන්ගේ අදහසට අනුව මියගිය පසු එක්තරා ආලෝකයක් දෙසට ඔවුන් යා යුතුය. ඔවුන් බොහෝ විට තමන් කරා එන මියගිය ආත්මයට එසේ යන ලෙස උපදෙස් දෙන බවද කීවාය.

ඊළඟට ඇය කී දෙයින් මා  වඩාත් විමතියට පත්වීමි. ඔබට දරුවෙකු සිටීද කියා ප්‍රශ්නයක් ඇසීමට පෙර මට දුවක් සිටින  බව ඇය පැවසීමෙනි.

මගේ ලොකු දුවගේ නහය ඔහුගේ වගේ යයි කියමින් "මගේ පියා"  සිනාසෙන බව ඇය කීවාය.  ඔබ දුවක් කියා දන්නේ කොහොමද යයි මම ඇසුවෙමි. තමන් එහෙම දෙයක් දන්නේ නැති බවත් මගේ පියා හඟවන්නේ එලෙස බවත් කී ඇය එය එසේ දැයි ඇසුවාය. මා එසේ යයි පැවසුවෙමි.

නැවත  ටික වෙලාවකින් ඈ කී දෙයින්  මගේ විමතිය දෙගුණ විය. මේ කියන දිනය මට මතක තිබීම එයට හේතුවයි.
"ඔබේ පියා කියන්නේ එසේ කිව්වේ ඔබේ මව බවයි. ඇය සිනාසුන නිසා ඔහුත් සිනාසෙන බවයි. " ලවුලන් කීවාය.

ලන්ඩනයට පැමිණි දවසේ සිට මගේ මව සිටියේ දුකිනි. පියා සමග ආ යුතු ගමනක් ඇය තනිව ආ බව ඇය නිතර සිහි කළාය. මගේ පියා  හා මව එකිනෙකා  කෙරෙහි ඉතා ආදරයෙන් සිටි, කිසි දිනෙක එකිනෙකාට බැන නොවැදී සිටි යුවලකි.

මගේ බිරිඳ තම දෙමව්පියන් සමග විසිත්ත කාමරයේ සිටියදී මා මව සමග නිදන කාමරයේ අළුත උපන් දියණිය සමග සිටියෙමු.  දුව දෙස බලා "ඔයාගේ දූගේ නහය තාත්තාගේ වගේ" යයි කියමින් මව සිනාසුණාය, ඇය අදහස් කළේ මගේ  පියා ය. ලන්ඩනයට ආ දවසේ සිට  ඈ පළමුවරට සතුටෙන් සිනාසුනේ එදාය.

මම ලවුලන්  නිවැරදි බව එවේලේ පිලි ගතිමි. ඇය මේ විස්තර  කියන්නේ කිසියම් ක්‍රමයකින් මා සිතන දේවල් දැන ගෙනදැයි ඇසුවෙමි.  මා එවේලේ එම සිදුවීම ගැන සිතුවා දැයි ඇය පෙරලා ඇසුවාය. එසේ කළේ නැති බව පිලි ගතිමි. මගේ පියා එදා කාමරයේ සිටියාද යයි විමසුවෙමි. ඔහු සිටින්නට ඇත්දැයි ඇය නොදන්නා බවත් නමුත් ඔවුන් සිහි කරන විට ඔවුන් එතැනට ආ හැකි  බවත් ඇය පැවසුවාය .

ලවුලෙන් හෙවත් ජැමි විල්සන් හල් හා මා අතර අවුරුදු ගණනක මිතුරුකම පටන්ගත්තේ එලෙසය.

ඉන්පසු මම නිතර එම අන්තර්ජාලයේ එම චැට් රූම් එකේ ලවුලන් හා රූත් මළවුන්ගෙන් ලැබෙන විස්තර අනිකුත් සාමාජිකයන්ට කියනු බලා සිටියෙමි.

දෙවන සාක්ෂිය ඊළඟ ලිපියෙන්.

මතු සම්බන්ධයි.

(මා තවමත් භෞතිකවාදියෙකු බව සිතමි. එහෙත් මා නොදන්නා දේවල් ගැන සෙවීම කවදාවත් අත් හැර නැත.  එනිසා පුර්ව-විනිශ්චයකින් තොරව ලිපි පෙළ කියවන්න. මේ ලිපියේ සඳහන්  ලවුලන් හෙවත් ජැමී මගේ
යෙහෙළියක වන අතර ෆේස්බුක් හි ඇගෙන් ප්‍රශ්න  ඇසීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. මා ලියන දෙයෙහි හරි වැරැද්ද ඇයට මතක නම් ඇගෙන් ඇසීය හැකිය. මා මේ ලිපිය ලියන බවට ඇයට දන්වා තිබේ.
එහෙත් මළවුන් සමග කථා කිරීමට ඇයට යෝජනා නොකරන්න. ඇය දැන් එයින්  ඉවත් වී සිටී . එයට හේතුව මේ ලිපි පෙලේම ඉදිරියේදී ලියවෙනු ඇත)

Saturday 17 September 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - 1

පල්ලිය ඉදිරිපස - මෙය ග්‍රීසියේ ඇතිනා දෙවඟන සඳහා කළ පාර්තිනොන් මෙන් ඉදිරිපස කුළුණු රාශියක් පේලියට තිබේ.

පල්ලියේ ඇතුලත  මධ්‍ය ශාලාව ඉතා විශාලය.

මුළු පල්ලියම අඩ කවයක් ලෙස දෙපසට විහිදේ. මෙහි ඇති කුළුණු අතරින් ගමන් කළ හැකිය.
අප පසුගියදා රුසියාවේ කල සංචාරයේදී විශාල රෝමානු කතෝලික පල්ලියක් බලන්නට ගියෙමු. කතෝලික පල්ලි රුසියාවේ බහුලව නැත්තේ ඒ රටේ අදහන්නේ  ඔර්තොඩොක්ස් ක්‍රිස්තියානිය නිසාය. මේ පල්ලියේ විශේෂත්වය වන්නේ එය පමණක්ම නොවේ. සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු පල්ලි සමතලා කල අතර සමහර පල්ලි පිහිනුම් තටාක, ශිෂ්‍ය නිවාස ආදීයට පරිවර්තනය කෙරුණි. ඒ සෝවියට් රජය නිරාගමික එකක් වූ නිසාය. මේ තත්වය පැන නැගුනේ ලෙනින් ගේ කාලයේ නොව ස්ටාලින් ගේ කාලයේය.
පිහිනුම් තටාකයක් බවට පරිවර්තනය කළ ප්‍රොතෙස්තන්ත පල්ලිය 

ස්ටාලින් ඉහත සඳහන් විශාල පල්ලිය විනාශ කළේ නැත. ඒ වෙනුවට එය කෞතුකාගාරයක් කරන්නට නියෝග කළේය. පල්ලිය සතුව තිබූ රත්රන් රජය සතු කලේ ඒවායින් මාර්ග සැදිය යුතු බව දන්වමිනි.

මේ කෞතුකාගාරයේ ප්‍රධාන ලක්ෂණයක් නම් එහි එල්ලා  තිබූ විශාල ෆුකෝ ගේ අවලම්බයයි (Foucault pendulum). ප්‍රංශ භෞතික විද්‍යාඥයෙකු වන ලියොන් ෆුකෝ පෘථිවිය තමන්ගේ අක්ෂය වටා කරකැවෙන බව ඔප්පු කරන්නට විශාල අවලම්බයක් භාවිතා කළේය. එම ක්‍රමය මෙහි සඳහන්ව ඇත.  අවලම්බය පෘථිවිය කරකැවෙන ආකාරයට කරකැවෙන බව ඔහු ඔප්පු කළේය. අදේවවාදියෙකු වූ ස්ටාලින් එය එල්ලීමට අණ කලේ බයිබලය සාවද්‍ය බව පෙන්වීමට සාධකයක් වශයෙනි. මුළු පල්ලිය පුරාවට ආගම් ඇදහීමේ වැරදි  දක්වා ලිපි ලේඛණ හා ප්‍රදර්ශන භාණ්ඩ තබා තිබුණි.

සෝවියට් දේශය ට යාමට ප්‍රථම කාලයේ පවා මා පන්සල් වල හෝ කෝවිල් වල තිබූ  දේව ප්‍රතිමා වලට  වලට වන්දනා කලේ නැත. මේ ගැන මා මෙහි ලියා ඇත. සෝවියට් දේශයේ දී රුසියානු මිතුරු මිතුරියන් සමග ඉතිරිවී තිබූ ඔර්ත්ඩොක්ස් පල්ලි කිහිපයක් නැරඹීමට ගියෙමි.

සෝවියට් දේශයේ සිට ලංකාවට පැමිණි වරක බෙල්ලන්විල පන්සලට ගියේ මවගේ බල කිරීමට, ඇගේ සිත රිදවීමට නොහැකි නිසාය. පිටරට යන මා  වෙනුවෙන් ඇය මොකක්දෝ භාරයක් වී තිබිණි.

සෝවියට් දේශයේ සිට පැමිණ, එංගලන්තයේ ගතකළ කාලය තුල පන්සලකට ගියේ කවුරු හරි දානයක් දෙන විට එයට සහභාගී වීමට ආරාධනා ලැබුනොත් පමණකි.  නමුත් ඒ අතරතුර අමරාවතී නම් භාවනා මධ්‍යස්ථානයක් සහිත පන්සලට නම් කිහිප වතාවක් ගියෙමි. ඒ එය සුන්දර පරිසරයක පිහිටා  තිබීමත් සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් ලෙස බෞද්ධ කටයුතු සිදු කිරීමත් නිසාය.

මගේ පියා අවසන් හුස්ම හෙළුවේ 1998 දීය. පරිගණක භාෂා සහිතව ඉංජිනේරු කළමනාකරණය පිලිබඳ උපාධිය මා අවසන් කලේද එම වසරේය.  ඉන් පසු සෑම වසරකම ඔහු වෙනුවෙන් මව දෙන  දානයේ බරපැන මා දැරුවෙමි. අර කි අමරාවතී පන්සලටද දානය ගෙන ගියෙමි. මගේ පෙම්වතිය (දැන් බිරිඳ) බෞද්ධ පොත්පත් කියැවූ හෙයින් පන්සල් යාමට ඇයද එක්වුණේ කැමැත්තෙනි. ඇයට බෞද්ධ පොත්වල ඇති දේ විස්තර කිරීම සඳහා  මටද අවුරුදු ගණනාවකට  පසු ඒවා නැවත හැදෑරීමට සිදුවුණි. අමරාවතී පන්සලේ ඇති තිබ්බත රටේ  පොතපත ඈ වැඩිපුර කියවූවාය.
අමරාවතී භාවනා මධ්‍යස්ථානය 

ඉන් වසර දෙකකට පසු අප විවාහ වන විට මගේ බිරිඳට අවශ්‍ය වුයේ සිංහල සිරිතට උත්සවයක් ගැනීමටය. බොහොම අමාරුවෙන් ඉන්දියාවේ දී දෑතින් නිමවූ (යන්ත්‍ර වලින් නිමවූ සාරිද තිබේ යයි ඔවුන් කීහ )  සාරියක් වෙම්බ්ලි වලින් ගත්තෙමු. සිංහල සිරිතට ජාතික ඇඳුම හැඳිම  ඇගේ දැඩි අකමැත්ත මධ්‍යයේ මා  ප්‍රතික්ෂේප කළ හෙයින් ටයි එක නොමැතිව ඉන්දියානු ක්‍රමයට උඩුකය කබාය නිමකර ගත්තේද වෙම්බ්ලි හිදීය.

විවාහයෙන් පසු ඇගේ පවුලේ අය හා අපේ පවුලේ අයද සමග රට වටා කළ සංචාරයේ මුලින්ම ගියේ සුන්දර බදුල්ලටය. එහි දුන්හිඳ පැත්තේ හෝටලයක නතර වුනෙමු. මට එහි නම මතක නැත.

දුන්හිඳ බැලීමට යාමේදී එළියේ සිටින පිරිසක් බිරිඳ හා ඇගේ  පවුලේ අය දැක දුන්හිඳ බැලීම ට යාම ජීවිතයත් මරණයත් අතර සටනක් බව දක්වා රැගෙන යාමට නම් එක් අයෙකුට රුපියල් 2000 ගණනේ ගෙවිය යුතු බව කීවෝය . මම එය ප්‍රතික්ෂේප කලෙමි. මා නිතර පැමිණ ඇති බව පැවසූ විට ඔවුන් කිවේ මා  ගිය මාර්ගය දැන්  වතුරට සේදී ඇති බවත් එනිසා ඔවුන් පමණක් දන්නා මාර්ගයේ නිරුපද්‍රිතව යා හැකි බවත්ය.

මගේ පියා විසින් අප දුන්හිඳ බලන්නට රැගෙන ගිය අයුරු මට මතක තිබූ ඔවුන්ගේ කීම බැහැර කර දුන්හිඳ බැලීමට ගියෙමි. මගේ මව මෙහිදී පියා  සිහි කරමින් ඔහු මග පෙන්වනු ඇති යයි කීවාය. මම ඈට කිසිවක් නොකීවේ ඒ වනවිට ඔහු අපට අහිමිව අවුරුදු දෙකහමාරක් පමණක් වූ  නිසා ඇගේ මතකයට අනුකම්පාවෙනි.

මාර්ගයේ එක තැනක්  සෝදාගොස් තිබු අතර එතනින්  පැන යාමට ලෑලි දමා ඒදණ්ඩක් සකස් කර රුපියල් 100 බැගින් අය කරන දෙදෙනෙක් සිටියහ. මම මගේ පියා මට පෙන්වා ඇති, මේ මාර්ගයේ ඇති වෙනිවැල්ගැට වැල්, සුදු ජාතික තරුණියක් වතුරට වැටී මිය ගිය ස්ථානය ආදිය ද පියකරු දිය ඇල්ලද  පෙන්වා ආපසු පැමිණෙද්දී අර  කට්ටිය විමතියෙන් බලා සිටියහ.

මගේ වැඩිමහල් දුව අපට ලැබුණේ ඊට මාස දහයකට පසුය. මේ වනවිට මා නැවත   බෞද්ධ පොත්පත කියවා  පන්සලට දානයද ගෙන යන අයෙක් බවට  පත්වී සිටියෙමි. (මා ළමා වියේදී  දහම්පාසල් අවසන් විභාගයට පෙනී සිටි ,ශිලා ව්‍යාපාරද සංවිධානය කළ අයෙක්මි. )

මා ඉහත විස්තරය කළේ ඊළඟට කීමට යන කතාවට අවශ්‍ය පසුබිම සැකසීමටය.
https://en.wikipedia.org/wiki/Foucault_pendulum

Wednesday 7 September 2016

පලුටාව පුරා රැව්දෙන වේදනාවේ ගීතය

 මම මේ කියන්න යන්නේ වාර්තා චිත්‍රපටියක් ගැන. චිත්‍රපටියේ අධ්‍යක්ෂක නන්දන වීරරත්න. මේ වාර්තා චිත්‍රපටයෙන් විස්තර කරන්නේ  පලුටාවේ සිදුවූ දරුණු සිද්ධියකින් පසු වැසියන් තම දැඩි වේදනාවන් සමනය කර ගත්තේ කොහොමද යන්න ගැන.
(පළමු පින්තුරයේ ඇත්තේ පලුටාව යන නම ගිනි දැල්වෙන කහ අකුරෙන් ලියා දකුණු පස ගිනි ගොඩකි.)

පලුටාව කියන්නේ මධ්‍යම පළාතේ පුංචි ගමක් . අධ්‍යක්ෂකවරයා පවසන විධිහට මේ ගම්වැසියන් ලංකාවේ  ආදී වාසීන් වන වැඩි ජනතාව ගෙන් පැවත එන අය. නන්දන විරරත්නට අනුව මුළු ගමේම වාසගම් හතරලු  තියෙන්නේ.

පලුටාවේ ජිවත් වුනු මිනිස්සු බොහෝ විට මියෑදුනේ ස්වභාවික හේතුවකින් මහලු වියේදී, නැත්නම් ඉඳ හිට අලියෙක් මුලිච්චි වෙලා, එහෙමත්  නැත්නම් ලෙඩකින්. වසර 1987 අග  වන කොට ලෝකේ විශාලම හමුදාවකින් ලක්ෂ දෙකහමාරක සොල්දාදුවෝ ලංකාවට ගොඩ බැස්ස. ඒ ගොඩ බැස්ස ඉන්දියන් හමුදාව සටන් කළේ වන්නිකරේ ඊලම් කොටි එක්ක. ඒක මේ ගමේ නිසසල බවට බලපෑමක් කළේ නැහැ.

නමුත් 1989 වප් මස (ඔක්තෝබර්) හත් වනදා  මේ හැම දෙයක්ම වෙනස් වුනේ ගම ළඟම සිදුවුණු  බෝම්බ පිපිරීමකින්.

ඒකාලේ වෙනකොට ඉන්දියන් හමුදාව හා කොටි එක පැත්තක රටේ සටන් වදින කොට ශ්‍රී ලංකාවේ  දකුණු පැත්තේ වෙනම සිවිල් යුද්ධයක්. පිඩිත කියල කියන ජනතාව  එකට සටන් කළ යුතුව තියෙද්දී සටන් කරන්නෙ  බෙදිලා. උතුරේ අය නාසිවාදීන් වගේ. දකුණේ අය  පොල්පොට් ල වගේ.  තනිකරම ලේ ගංගාවක් සුන්දර ශ්‍රී ලංකාව පුරා  ගලා යනවා.

(මේ පින්තුරයේ ඇත්තේ පියා  නැති මිනිබිරියට මිත්තනිය ඉතිහාස කතාවක්  වැව අද්දර සිට කියන අයුරුය. ඈතින් පෙනෙන්නේ සිගිරි ගලයි.)

ඒ තීරණාත්මක දවසේ 1998 ඔක්තෝබර් 7 පලුටාව ගම  අසල බිම් බෝම්බයක් පුපුරා යනවා.   දකුණේ සිංහල සටන්කාමීන් රජයේ හමුදාවට විරුද්ධව ඇටවූ බෝම්බයෙන් ගජබා රෙජිමේන්තුවෙන් යැවූ නිරීක්ෂණ හමුදා ඛණ්ඩයක සිංහල හමුදා භටයන් දෙදෙනෙක් මිය යනවා. දෙමළ සටන්කාමීන් සමග තිබූ යුද්ධයේ මෙවැනි තත්වයකදී මැරෙන  එක සොල්දාදුවෙකුට දහ  දෙනෙක් මරණ පුරුද්දක් රජයේ හමුදාවලට තිබුණලු. හැබැයි ඒ මරණ දහ දෙනා හොයා ගන්නේ අහල පහලින්. සටන්කාමීන් හෙවත් ත්‍රස්තවාදීන් පැනල යනවා  හමුදාව එනකොට. ඉතින් හමුදාව වාඩුව අල්ලන්නේ ළඟම තියෙන ගමෙන්. මේ දවසේ ඒ අවාසනාවන්ත වළාකුල පෑයුවේ පලුටාවට.

හමුදාවේ අනුපාතයට අනුව විස්සක් ඕනෑ වුනත් ඔවුන්ට විසි තුනක් ම හිටිය. මේ පිරිමි වයස දාහතරේ සිට හතළිස්  පහ දක්වා අය. පෝලිම් ගස්සල වෙඩි තියන කොට එක්කෙනෙක් වෙඩි වැදිලා වගේ වැටුන . ඒ ගමගෙදර අබේරත්න. මේ තේරුමක්  නැති සමූල ඝාතනයේ එකම සාක්ෂිය. මම අසූ ගණන් වල මේ වගේ දේවල් වෙනවා කියල ඇදහුවේ ලතින් ඇමෙරිකාවේ එල් සැල්වදෝරය වගේ රටවල. මා උපන් රටේ මෙහෙම වෙනවා කියල දැනීමත් දරුණු කම්පනයක් ඇති කරනවා.

(මේ පින්තුරයේ පලුටාව ප්‍රධාන මාර්ගය දැක්වේ.  හමුදා වහනය සිරකරුවන් රැගෙන ගිය මාර්ගයේ ගස් වල දෙපස ඇත.)

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන නන්දන වීරරත්න පලුටාවේ වැසියන්ව මුලින්ම හමුවෙන්නේ 1990. ඔහු විසින් ඉන්පසු කඩින් කඩ ගමට යමින් චිත්‍රපටිය රූගත කළා.

මියගිය අහිංසකයන්ගේ සහෝදරියන්, බිරියන් , මව්වරුන් හිතේ දැවෙන දරුණු විරහය මැඩ ගෙන පිළිතුරු දෙනවා කැමරාවට. නමුත් ඒ මුහුණු මහන්සියෙන් දුක් ගින්නෙන් වේලිලා, වැටෙන කඳුළු වලින් ඒ මුහුණු තෙත් වෙන්නේ නැහැ. 

 තාත්ත නැති එක දරුවෙක් නෙමෙයි. දරුවෝ ගොඩක්. අපි දන්නවා තාත්තා නැති රණ විරුවන් ගේ ළමයි ඉන්නවා කියල. ඒ දරුවෝ විඳින දුකක් තිබෙනවා. නමුත් රට වෙනුවෙන් දිවි දුන් රණ විරුවන් ගේ දරුවන් හැටියට ඔවුන්ට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ආධාර ලැබෙනවා . පාසල් ලැබෙනවා. නමුත් මේ "ද්‍රෝහීන්" ගේ ළමයි. ඇත්තටම ඔවුන් ගේ පියවරුන් වරදක් නොකලත් හමුදාවේ වරදක සාක්ෂි වෙන ළමයි රොත්තක් මේ. උන් ගැන කවුරුත් බලන්නේ නැහැ.

නන්දන වීරරත්න කැමරාව මෙහෙයවන්නේ ඉතාම සුක්ෂම නමුත් පියකරු ලෙසට.  සංචාරකයන් වශී වෙන සුන්දරත්වය විටෙක පෙන්වන ඔහු බුදු දහමින් සැනසෙන ජනතාවක් බුදුන් පුදන නිවී සැනහුන ස්වභාවය පෙන්වන කොට හිතෙන්නේ මේ සංචාරකයන් වෙනුවෙන් කළ චිත්‍රපටියක් කියල. සිගිරි ගල නිල්වන් ජලාශය උඩින් ඈතින් පෙනෙනවා. 

මේ අතිශයින් සුන්දර දර්ශන මැදින් දිළිඳුකමින් නිරන්තරයෙන් පීඩා විඳින ගම්වැසියන් සමුහයක් නෙතට හමුවෙනවා.  තමන්ගේ සිතේ වේදනාවක්, කරදරයක් කාට හරි කියන කොට ඒකෙන්   කියන කෙනාගේ හිතට සැහැල්ලුවක් ඇති වෙනවා කියල අදහසක් තිබෙනවා. සමහර විට ඔවුන් නන්දන වෙනුවෙන් මේ කතාව කිව්වේ එනිසා වෙන්න පුළුවන්.

ඔවුන්ගේ දුක් දෝමනස්සයන් කැටිව ගෙන කඳුළු අතරින් කියවෙන කතාව අවසන් වෙන්නේ අපේ නෙතටත්  කඳුලක් උනමින්. ඇත්තෙන්ම මේ වාර්තා චිත්‍රපටය එතරම්ම ප්‍රබලයි.  ඉතින් මේ වාර්තා චිත්‍රපටය අවසානයේ ලන්ඩනයේදී එක් රැස් වෙලා  අපි කතා කලා


මේ ගමට යුධ සෙබළුන් පැමිණියේ අසල තිබූ පැල්හවැර ගජබා රෙජිමේන්තුවේ හමුදා අණුකණ්ඩයෙන්. එම 1990 වසර අවසන් වනවිට සිංහල ත්‍රස්තවාදීන්  යැයි සැක  කල සියල්ල සමූල ඝාතනය කිරීමෙන් අනතුරුව සෙබළුන් දෙමළ ත්‍රස්තවාදීන් මර්දනයට උතුරට පිටත් කෙරුනා.



(පලුටාවේ ඝාතනයේදී දරුවන්, සැමියන්, සහෝදරයන් අහිමි වූ කාන්තාවන්)

එවකට ගජබා රෙජිමේන්තුවේ මාතලේ දිස්ත්‍රික්කය  භාර අණදෙන නිලධරයා වුයේ කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතායි. (ඔහු මේ සිදුවීමට සම්බන්ධයක් ඇතැයි  මේ ලිපියෙන් අදහස් කෙරෙන්නේ නැති බවත් පැහැදිලිව කිව යුතුයි)
පලුටාව 
(ළා කොළ පැහැති  නව ගොයමින් පිරුණු සුන්දර පලුටාව ගම)

මට නම් ඛේදවාචකය හැටියට පෙනුනේ සෝමවංශ අමරසිංහ මහතාගේ හා ජවිපෙ භූමිකාව. එදා පැවති දේශපාලන ත්‍රස්තවාදය පටන් ගැනීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කාර්යභාරය අවතක්සේරු කරන්නට බැහැ. දයා පතිරණ, නන්දන මාරසිංහ, කොමියුනිස්ට් පක්ෂයේ එල් ඩබ් පණ්ඩිත, එජාප නිලතල දරන්නන් වැනි  බොහෝ අය මරා දැමුණා.  හමුදාවේ සිට නිවසට එන අය මරා දමන්නට ජවිපෙ යයි කියන කොටසකින් නියෝගයක් එවුනා. නොයෙකුත් අනීතික හමුදා කණ්ඩායම් හා රජය  පැත්තෙන් එකට දහයේ නොව එකට  සියයේ අනුපාතයට තරුණයින් මරා දැමුණා හෝ අතුරුදහන් කෙරුණා.  සමහර අය ජවිපෙට කිසිම සම්බන්ධයක් නොතිබූ අහිංසකයින්. ජවිපෙ හිතවාදීන් ට තර්ජන එල්ල වුණා. ත්‍රිම විතාන, විජේදාස ලියනාරච්චි ආදීන් දරුණු වධ දී මරා දැමුණා. 

එදා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අය බිම් බෝම්බයක් තබා බියගුළුව  සැඟවුණා. ගම්  වැසියන් මරණ බව ඔවුන් නොදැන සිටින්නට විධිහක් නැහැ. ද්‍රවිඩ කොටිනුත් මේ දේම කළා. බිම්  බෝම්බ තබා පැන ගොස් හමුදාව දෙමළ ගම විනාශ කළ පසු ඒවා රූපගත කර බටහිර රටවල පෙන්වා මුදල් රැස්  කිරීම ඔවුන් කළා.  මිනිසුන් සැඟවී  සිටින කෝවිලක සිට ඉන්දියන් හමුදාවට පහරදී, ඉන්පසු ඉන්දියන් හමුදාව ඒ පහර දුන් තැනට ප්‍රති ප්‍රහාර එල්ල කරන විට එතැනින් පැන ගිය දෙමල සටන්කාමීන්, පසුව පැමිණ  ෂෙල් පහරින් මැරුණු මිනිසුන් වීඩියෝ කරන විට එයට විරුද්ධ වූ  කෙනෙක් තමා වෛද්‍ය නිර්මලා රාජසිංහම් (තිරාණගම) . ඔවුන් (ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සටන්කාමීන් )  ඇයව යාපනයේ දී මරා දැමුවේ ඒ නිසයි.

 ජවිපෙ ප්‍රසිද්ධ නායක සෝමවංශ අමරසිංහ හා නිල නොවන නායක කුමාර් ගුණරත්නම් ඉන්පසු උතුරේ යුද්ධයට හමුදාවට සහය දීමට ජවිපෙ මෙහෙය වූවා. මේ ගම වැනි තැනක වුනු සමුලඝාතන වලට විරුද්ධව  එදා හඬ නැගුවා නම් බොහෝ විට පසුව සිදුවූ දෙමළ වැසියන් ඝාතනය මග හැර ගන්නට ඉඩ තිබුන. 

ඉතින් අපි හමුදාවට චෝදනා කරනවද , දේශපාලකයන්ට චෝදනා කරනවද , මෙහෙයවන්නාට චෝදනා කරනවද කියල මට හිතා ගන්න බැහැ. මේ ලිපියේ අරමුණ මුළු හමුදාවකටම චෝදනා එල්ල කිරීම  නොවේ. හමුදාව කියන්නේ මනෝමුලික ආයතනයක්. එවැන්නක් පිහිටුවීම හෝ විසුරුවා හැරීම රජයකට හෝ ජනතාවකට කරන්න පුළුවන්. මේ මගේ අදහස පවසා  කාලයකට කලින් පල කෙරුව ලිපියක් . දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදී රජය බිඳ වැටුනට පස්සේ කළු හිරකරුවන්ට වධ දුන් හා මරා දැමූ   පොලිස් නිලධාරියෙකු සාක්කි දුන්නා. එම නිලදරුවා  කඳුලින් තෙත් කරමින් කළු සිරකරුවන් ඔහුට සමාව දුන්නේ ඔහු කළේ අණ පිලි පැදීම පමණක් කියා.

මේ සමුලඝාතනයෙන් මාස  14 කට පසු එවකට පැවති රජය මරණ සහතික නිකුත්  කරලා එක පවුලකට රුපියල් 50,000 බැගින් වන්දියක් ලබා දුන්නා. ගැමියන්  එම මුදලින් ඝන්ඨාර කුළුණක් ඉදි කර තිබෙනවා. මරණ සහතික වල දක්වා ඇත්තේ මේ හමුදාව හා ත්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවකදී මිය ගිය අය වශයෙන්.   

මා දකින්නේ මේ චිත්‍රපටිය යථාර්තවාදී සිනමාවක අති ප්‍රබල නිරුපණයක් ලෙසින්.

බටලන්ද ඝාතන ගැන චෝදනා ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය දැන් අතුරුදන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටවල තියනවා. ජනතා විමුක්ති පෙරමුණ එයට සහයෝගය දීල තිබෙනවා. ඇතැමුන් චෝදනා කරනවා මේ කරන්නේ හමුදාව එල්ලන්න වැඩක් කියල. නැහැ,  මුළු හමුදාවක්  එල්ලන්න කාටවත් බැහැ.  නමුත් සංහිදියාවක් ඇති කරන්නට හැමෝටම පුළුවන්. වේදනාව සමනය කර ගන්නට උදව් කරන්න පුළුවන්. එනිසා මෙවැනි දෙයකට දායක වුනු පක්ෂ දෙකකින් එහෙම කමිටුවක් බිහි කර ගැනීමම ජයග්‍රහණයක්. 

සමහර විට අපට මේ සොල්දාදුවන් සහ ගැමියන් මුණගස්වා අර පියවරු නැති ළමුන්ට තෑගි ටිකක් දුන්නා නම් හොඳයි කියලත් මට හිතෙනවා.  ඒකෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවත් ඇත්ත. නමුත් දුක තුනී වෙන්න පුළුවන්. රටේ ජනතාවට සත්‍යය පහද දෙන්න පුළුවන්.
"චිත්‍රපටිය අවසාන වන එක රූප රාමුවකි. තනි කොකෙකු අඳුරු දියේ නොසැලී බලා සිටි. ඒ අසල දියේ වැටී බිඳී ගිය ගහකි. මා සිතන පරිදි මේ පින්තුරයෙන් අතිශයින් ප්‍රබල පණිවිඩයක් ලබා දෙයි. ලෝකයේ තනිවූ බිඳී ගිය සිතක් සහිත රුවක් මගේ මනසේ මැවේ."

- ඉදිරිපත් කර ඇති චිත්‍ර වාර්තා චිත්‍රපටයේ රූප රාමු වලින් ගත්  ඒවාය.
- අධ්‍යක්ෂක වරයා විසින් චිත්‍රපටියේ ඩිවිඩි වෙළඳපලට ළඟදීම නිකුත් කරනු ඇත.