Wednesday 29 June 2016

අසරණ වූ කැමරන් පරාජය කෝබින් පිටින් අරී - හොරු රැලකට එරෙහිව කෝබින්

සැබැවින්ම අස් විය යුත්තේ කවුද? 

 කොන්සර්වටිව් පක්ෂයේ යුරෝපා සංගමයට විරුද්ධ වුවන් සැනහීමට හා ජාතිවාදී ෆරාජ් වැන්නවුන් ගෙන් එන තර්ජන වලින් බේරීමට ජන මත විචාරණයක් පවත්වන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 2013 දී පොරොන්දුවක් දුන්නේය. මේ පොරොන්දුවට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සහය දැක්වූයේ නැත. ඩේවිඩ් කැමරන් දෙවන වරටත්  එඩ් මිලිබෑන්ඩ් මෙහෙයවූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පරදවා බලයට පත් වූයේද යුරෝපිය බිල්ලා පෙන්වූ මන්ත්‍රීවරුනට නිදහසේ මැතිවරණ කතා කීමට නිදහස් දීමෙනි. යුරෝපා තනි වෙළඳපළ (Single European Market -ESM)  තබා ගෙන සංක්‍රමණිකයන් අඩු කරන බවට ඉටු කළ නොහැකි පොරොන්දුක් ද ඔහු රටට දුනි. එසේම සහනාධාර අඩු කරන බවටද පොරොන්දු විනි.

මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ යුරෝපා සංගමයේ නායකයන් සමග සාකච්චා වලදී අගමැති කැමරන් දිනා ගත්තේ ඉල්ලීම් කිහිපයක් පමණි. ඒ සහනාධාර රටට පැමිණි ගමන් එකවර  නොදී,  රැකියා කරන යුරෝපීය සංක්‍රමණිකයන්ට රැකියාව නැති වූ විට පමණක් සහනාධාර  ලබා දීමටය. එසේම ඔවුන් ගේ ළමයින්ට දෙන සහනධාරය නොදීමටද එකඟ විනි. යුරෝපීය නිදහස් සංක්‍රමණය ඉවත් කිරීමට මේ අනිකුත් යුරෝපිය රටවල් එකඟ නොවිණි.

මේ තත්වය යටතේ පැවති ජනමත  විචාරණය නිදහස් එකක් වුනි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ හා කොන්සර්වටිව් පක්ෂයේ සාමාජිකයන්ට නිදහසේ ඕනෑම පිලකට බැඳීමට අවසර දී තිබුණි. නමුත් යුරෝපීය නිලධාරිවාදය නිතර විවේචනය කල කම්කරු පක්ෂයේ නව නායක ජෙරෙමි කෝබින් ට පක්ෂ මතයට සහය දීමට සිදු වුනි.  කම්කරු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ට සහය පල කළහ. කැමරන් ගේ කොන්සර්වටිව් පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු බොරිස් ජොන්සන් සමග යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට චන්දය දුන්හ.

ජෙරෙමි  කෝබින් අවංකවම කිවේ තමන් දහයෙන් හතක් 7/10 යුරෝපා සංගමයට කැමති බවත් නමුත් ඔවුන් කරන මුදල් නාස්තිය හා  නිලධාරිවාදී ක්‍රියා අඩු කල යුතු බවත්ය. එය නිවැරදි ස්ථාවරයකි.

යුරෝපා සංගමය පිලිබඳ චන්දයේදී බොහෝ කොන්සර්වටිව් පාක්ෂිකයන් ඉවත්ව යාමට චන්දය ප්‍රකාශ කල අතර බහුතරයක් කම්කරු පක්ෂ සාමාජිකයන් යුරෝපා සංගමය සමග සිටීමට සහය පල කළහ. මෙය වෙනස් වූයේ  සන්දර්ලන්ඩ් වැනි කම්කරු පක්ෂ අසනවලය. එයට හේතුව ඒවායේ කැමරන්ගේ සහනාධාර කප්පාදුවට හසුවුණු බොහෝ කම්කරු පක්ෂ හිතවාදීන් සිටීමය.

මේ නිසා මේ ජන මත විචාරණය පැරදීම මත ඉල්ලා අස් වන්නේ නම් අස්විය යුත්තේ කැමරන් මිස කෝබින්  නොවේ.

කෝබින් නායකත්ව  සටන ගිය අවුරුද්දේ ජය ගත්තේ කෙසේද?

කොන්සර්වටිව් පක්ෂයේ නායකයා පත් කෙරෙන්නේ මන්ත්‍රී වරුන්ගේ චන්දයෙනි. ඒ නිසා මන්ත්‍රීවරුන් නායකයාට ඉල්ලා අස්  වන්නට කිවහොත් ඔහු ඉල්ලා  අස් විය යුතුය. කම්කරු හෙවත් ලේබර් පක්ෂයේ එසේ නොවේ. එහි වෘත්තීය සමිති වලට හා මන්ත්‍රීන්ට චන්දයන් හිමිව තිබුණි. වෘත්තීය සමිති  සාමාජිකයන් ගේ බහුතර ඡන්දය  නොලැබෙන කිසිවකු දිනුවේ  නැත. ලේබර් පක්ෂයේ එඩ්  මිලිබෑන්ඩ් මේ නීති 2010 දී වෙනස් කළේය.  එනම් £3 ගෙවා පක්ෂ සාමාජිකත්වය ගන්නා ඕනෑම අයෙකුට චන්දය දිය හැකි බවයි. වෘත්තීය සමිති  හා මන්ත්‍රීන්ට ද සමාන චන්දයක් හිමි විනි.

පසුගිය වසරේ මැයි මස අට පැවති  චන්දයෙන් මුළු සාමාජිකත්වයෙන් 59.1% හෙවත් 251,417 ක් ලබා කොබින් මුල් තැන ගති.  දෙවැනි තැනට පත්වූ ඇන්ඩි බන්හම් ගත්තේ 19%කි. කෝබින්ට ඉල්ලා අස්  වෙන්නට කියන කූපර් ගත්තේ 17% කි. බ්ලෙයාර් වාදී ලිස් කෙන්ඩොල් ගත්තේ 4.5% කි. එනම් චන්ද හාරලක්ෂයකින් දහඅට දහසක් වැනි සුළු සංඛ්‍යාවකි. මන්ත්‍රීන් 172 දෙනෙකු ඉල්ලා අස් වෙන්නට කියන්නේ මෙවැන්නෙකුටය.

එසේ නම් සියලුම මාධ්‍ය හා මන්ත්‍රීන් කෝබින්ට එරෙහි ඇයි?

මෙයට බොහෝ දුරට හේතුවක් වන්නට තිබෙන්නේ චිල්කොට් වාර්තාවයි. හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය ඉරක යුද්ධයට කැඳවා  ගෙන ගියේ සදාම් හුසේන් මිනිසුන් සමුල ඝාතන කිරීමට අවි නිපයා ඇතැයි අමුලික බොරුවක් කියමිනි. එයට ඔහු වරද කරුවකු  කර තිබෙන  මේ වාර්තාව එලියට එන්නේ ජුලි 6 දාය. මේ අනුව ඉරාක  යුද්ධයට සහය දුන් සියලු මන්ත්‍රීවරුන් යුද අපරාධයකට වැරදි කරුවන් වෙයි.  ඉහත 172න්  අතර බහුතරය එවැනි අයයි. කොටින්ම මේ කැරකෙන්නේ ටෝනි ගේ  සල්ලිය.

ලෝකයේ වෙනත් රටවල යුධ අපරාධකරුවන් අල්ලා  පරසක්වළ ගැසීමට කතා කරන යුරෝපීයයන් තමන් ගේ අයෙකුට එවැනි චෝදනාවක් එනවිට සැරසෙන්නේ මෙසේය.
ජෙරෙමි කොබින් සෑම යුද්ධයකටම විරුද්ධ වූවෙකි. ඔහු ලංකාවේ යුද්ධයට මෙන්ම , ඉරාක යුද්ධය ට ද සිරියාවේ බෝම්බ දැමීමටද විරුද්ධ වූ අයෙකි. අද කෝබින්ට එරෙහිව චන්දය දුන් මන්ත්‍රීන් 172 න්  වැඩි දෙනා  ඉරාකයට පහර දීමට අත්  එසවූ යයි. චිල්කොට් වාර්තාවට ඔවුන් බිය වන්නේ එය එලියට ආ  පසු ඔවුන් පක්ෂයෙන් එළවා දැමීමට අවශ්‍ය නම් කොබින්ට හැකි බැවිනි.

ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත් වීමට සහය නොදුන් අයෙකි. නමුත් යුරෝපය ට පක්ෂව ඔහුගේ ඉදිරිපත් වීමෙන් සිදු වුයේ  කම්කරු පාක්ෂිකයන් අතිශයින් අප්‍රිය කරන තැනැත්තෙක් වූ ඔහු නිසා ජනමත විචාරණයේදී  තවත් චන්ද අඩු වීමයි.

අවසන් වශයෙන් ඇසීය  යුත්තේ බහුතර සාමාජිකයන් ගේ චන්දයෙන් පත් වූ
නායකයෙකු කැමරන් කිවූ පලියට, මන්ත්රිලා 172 කියූ පලියට අස්  වුනේ නැත්නම් ඒකාධිපතියෙකු වන්නේ කෙසේද යන්නයි.  ඔහු නැවතත් ඡන්දයකට සුදානම්ය. ඒකාධිපතියන් චන්ද වලට අකමැතිය.





Friday 24 June 2016

"පොල්කට්ටෙන් එපිටට " පොත ගැන පුංචි විචාරයක්

දෙතුන් දෙනෙක්ගෙන් මට විචාර කිහිපයක් ලැබුන.  හැබැයි ලියවිල්ලක් හැටියට ලැබුනේ මේක විතරයි.

පොල් කට්ටෙන් එපිටට හෙවත් කැස්බෑවා දුටු මාලුන් නොදුටු ලෝකය.

පොත් වලට ඒව ඇතුලෙ තියෙන දේවල්වලට මෙලෝ සම්බන්ධයක් නැති නම් වැටෙන් කාලේ පොල් කට්ටෙන් එපිටට. නම කියවපු ගමන් මට මගේ ගමත් ජන වහරත් එක පාරටම හිතේ මැවුන. මමත් දුශ්කර කටුක ගමකින් කොලඹ හරහා ලන්ඩනයට පැමිනි උභය ජීවියෙක්. ඒනිසයි පොතේ ඇතුලාන්තයම එහි නමෙන් මට හැඟෙන්න ඇත්තේ. අපේ ගමේ ගෙවල් වලට නිතරම ගෙම්බො අමුත්තො හැටියට කඩා වදිනව. මෙහෙම එන ගෙම්බො නිදහස් වෙලාවකට එලියට ගිහින් දාන්න බලාගෙන පොල්කට්ටකින් වහල බරක් තියනව. මෙහෙම වැහුන ගෙම්බගෙ ලෝකෙ පරන ලෝකෙටත් වඩා පුන්චි වෙනව. මේ නිසයි අපේ ගැමි වහරේ 'ලින් මැඩිය වගෙ' එහෙමත් නැත්නම් පොල්කාට්ටෙන් වහපු ගෙම්බ වගේ' 'ගෙම්බ ගෙයින් එලියට විසි කරා වගේ', 'වැහි කලු මතුවෙන කොට බකබක ගාන ගෙම්බො වගේ' යන මේ කී නොකී උපහැරන තියෙන්නේ. මෙබඳු ජනශෘති මූලාශ්‍ර  මත පිහිටා හිතන කොටම රචකයා අපට කියන්න යන දේ ගැන අපුරු ඉඟි සපයනවා. 

රසිකයෙක් විදිහට මට රචකය පොල්කටුව ඇර පෙන්වූ ලෝකය හරියටම අපේ ගමේ බාසවෙන් කිවුවොත් 'අර ගොඩට ගිය කැස්බෑවා මූදෙ යාලු මාලුවන්ට ගොඩබිම ගැන විස්තර කිරීම' වගේ. අපි මුලු තරුන කාලයම සමාජවාදය වෙනුවෙන් සටන් කලත් ලෝකයේ මුල්ම කමකරු පලනයක් ඇතිකල සෝවියට් සන්ගමය වගේම පැරනි නැගෙනහිර යුරෝපය පිලිබඳ කතුවරයා අප සමග බෙදා ගන්නා අත්දැකීම් හරිම අපුරුයි.මට මේ පොත ජිවිත කාලයෙන් අවුරුදු කීපයක් ඉතිරි කරල දුන්න වගේ හැඟුන. ඒ කතුවරයා කියන ජීවන අත්දැක්කිම මට නැවත නොලැබිය යුතු නිසා. පොත් නැති ලෝකයක් තුල මනුශ්‍යයන්ට දුක්ම ගෙන අවුරැදු දහස් ගනක් ජීවත් වෙන්න වේවි. කොහොම වුනත් අපට පොල් කට්ටෙන් එලිය පෙන්වීම හොඳ කුශල කර්මයක්. ස්තුතියි අජිත්....!

Nandana Weerarathne
Documentary Film Maker/Writer
Formerly Stringer and Producer for BBC World Service's Sinhala Service, London

Thursday 16 June 2016

තාරකා ඡායාරූපකරණය

තාරකා නිරීක්ෂණය ඡායාරුප ගැනීම සඳහා  හොඳ වෙබ් අඩවියක්  තිබෙනවා. එය නිර්මාණය කර ඇත්තේ නිශාන්ත කරුණාරත්නයි. මගේ බ්ලොගයට ඔහු ප්‍රතිචාරයක්  මිට බොහෝ දිනකට කලින් දමා තිබුනත් මට එහි යන්නට හැකි වුනේ නැහැ නෙළුම් යාය සම්මාන උලෙළේ කටයුතු නිසා. මේ දින ටිකේ මගේ අනිත් විනෝදාංශය වන තාරකා නිරීක්ෂණය පිලිබඳ ටිකක් හිත යොමු කලා නැවතත්.

 ඒ නිසාම මම නැවතත් නිශාන්තගේ වෙබ් අඩවියට ගියා.  එහි ආධුනිකයෙකුට අවශ්‍ය  බොහෝ විස්තර සමුහයක් තිබෙන අතර ඉහත පින්තුරය රැගෙන තිබෙන්නේත් නිශාන්ත විසින්මයි.  ඔහුගේ ඡායාරූප බොහොමයක් උසස් තත්වයේ.  බ්‍රහස්පති ග්‍රහයාගේ ඡායාරුප රැගෙන තිබෙන්නේ අඟල් අටේ  සෙලස්ට්‍රෝන් දුරදක්නයකින්.

ඔහුගේ වෙබ් අඩවියේ තාරක නිරීක්ෂණය හා ඡායාරුප ගැනීමට වැඩිදුර විස්තර සඳහා වෙනත් වෙබ් අඩවිවල විස්තරද බොහොමයක් සඳහන් වෙනවා.

මෙහි දක්වා ඇති සඳේ ඡායාරුපය විශිෂ්ටයි කියා මට සිතේ.

එසේම ඔහු ආධුනිකයන් සඳහා මුදල් අය කරන පන්තිද  පවත්වනවා.

ඔහුගේ වෙබ් අඩවියට   යොමුව  මෙතැනිනි.

Tuesday 14 June 2016

නන්දන මාරසිංහ ගේ මරණය

ලඟකදී මාද  සම්බන්ධ වූ කතා බහකදී 1989 දී රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසින් මරා දමා  හිස පමණක් වැටක  ගසා තිබු ඉතා අනුවේදනීය සිද්ධියක් ගැන සිහිපත් වීමක් කෙරුණි. එම කතාව  ඉතා ශෝකජනකය. කතාව පැවසූ මිතුරා ද හැඟුම්  බර වුනු බව පෙනුනි.

ඒ  එසේ වුවද 1987-1990 කාලය තුල ජවිපෙ නැවතත් කලේ නරෝද්නික් වාදී දේශපාලන ත්‍රස්තවාදයක් බව මම එදත් අදත් දැරූ  මතයයි. මෙය ජවිපෙ සාමාජිකයන්ගේ මුහුණටම පැවසීම ට 1987 දී මට ශක්තියක් තිබුණි.  නරෝද්නිකවාදී ත්‍රස්ත කියා හා ජනතා අරගල යනු එකක් නොව දෙකක් බව මුලින්ම කියා දුන්නේ ඔවුන් අනුගමනය කරනවා යයි කියන ලෙනින් මය. ලෙනින් තමන්ගේ සහෝදරයා විසින් කරන ලද සාර්  රජුට බෝම්බ ගැසීම වෙනුවට නරෝද්නික් වාදයේ තිබු ජනතා විරෝධතා පමණක් තෝරා ගත්තේ ඇයිද යන්න සුළු කාලයක් පමණක් රුසියාවේ සිටි විජේවීර නොදැන සිටියා වත්ද?

මට මෙය සිහිවුනේ  සමහරුන් තමන්ව මිනීමරුවන් ලෙස හඳුන්වන්නේ ඇයිදැයි ජවිපෙ හා ඉන් ඉවත්ව ගිය හිතවතුන්ට අදත් ප්‍රශ්නයක් වන හෙයිනි.

කලාත්මක මෙන්ම නිර්භීත  චරිතයක් වූ නන්දන මාරසිංහ ගේ මරණය මට ඉමහත් ශෝකයක් දැනවූ සිදුවීමක් විය. මේ වැරැද්ද නිවැරදි කිරීමක් ගැන මම ජවිපෙන් වෙන්වී ගිය පක්ෂයක සාමාජිකයෙකු ගෙන් වරක් විමසුවෙමි. ඔහු නන්දන මාරසිංහ කරන ලදැයි කියන ද්‍රෝහී ක්‍රියා කිහිපයක් ගැන මට පැවසීය. ආණ්ඩුවට ඔත්තු සැපයීමේ චෝදනාවක්ද ඒ අතර විය. මා ඔහුගෙන් ඇසුවේ ඒවා ඔප්පු කිරීමට ඔහුට හැකිද සහ ඒවා මිනිසකු මරා දැමීමට තරම් බරපතල ඒවා ද කියායි. සමහරවිට මරා නොදැමිය යුතුව තිබූ බව පමණක් ඔහු කිසියම් උදාසීන බවකින්  පැවසිය.

මේ සියල්ල නැවත මතක් වුයේ මේ ලිපිය නිසාය. 71 කැරැල්ලේ කළු රන්ජි කියන කතාවක් මෙහි ඇත.

ඒ සංවේදී මිනිසා  ගැන රන්ජි  කියන්නේ මෙසේය.

"නන්දනව මරන්නෙ ඇයි?
87 විතර කාලේ මාරෙව කෙලීව අපි ඔක්කොම මරන්න ජේ.වී.පී. එක තීරණය කරලා තිබුණේ. අපිට එළියේ යම් හයියක් තිබුණු එක ජේ.වී.පී. එකට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකෙනුත් මාරෙ විශේෂයි. මාරෙට අනතුරක් තියෙනවා කියලා දැනගත්තම කෙලීයි මමයි මාරෙව කොළඹ ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට මාරෙ අනුරාධපුරේ හිටියෙ. මම අනුරාධපුරේ ගිහින් මාරෙ හම්බවෙලා කියනවා කොහොමහරි උඹව රට යවන්නම් කියලා. මම එතකොට මැලිබන් හන්දියේ කඩයක් කළා ඉලෙක්ට්‍රික්  බඩු විකුණන. මම ඒ බඩු ටික ඔක්කොම විකුණලා මාරෙව රට යවන්න හැදුවේ. මාරෙ ඒකට කැමැති වුණේ නෑ. එතකොට මාරෙ සෙරෙප්පු බිස්නස් එකක් කළා. මාරෙ කිව්වා සුමාන දෙකකින් විතර කොළඹ එන්නම් කියලා. හරියටම මාරෙ කොළඹ එනවා කියපු දවසෙ තමයි අනුරාධපුර පොළේදී වෙඩි තියලා මැරුවේ.

මාරෙ මට දවසක් කියනවා, ගාල්ලේ ගුරුවරයෙක් ඉන්නවා. එයා කොළඹ ගෙන්නලා කාමරයක් දීලා එයාට ලියන්න කියන්න පහසුකම් හදලා දෙන්න ඕන කියලා. පඩියක් දෙන්න විදියකුත් ලෑස්ති කරන්න ඕන කියලා කියනවා. මොකද එයා කවි සින්දු එහෙම ලියන කෙනෙක් කියලා මාරෙ මට කියනවා. මාත් ඒක බාරගන්නවා කරමු කියලා. ඒත් මාරෙ ඊට කලින් මැරෙනවා. ඒ ගාල්ලෙ ඉඳලා කොළඹ ගෙන්නමු කියපු කවි සින්දු ලියපු ගුරුවරයා තමයි රත්න ශ්‍රී විජේසිංහ. මාරෙ මැරුණට පස්සෙ මම මේක රත්නශ්‍රීට කිව්වම රත්නෙ ඇඬුවා. මාරෙ ඒ වගේ තමයි මිනිස්සුන්ට ආදරේ කළේ."

නන්දන මාරසිංහ ගැන ලියූ බ්ලොග් පොස්ටුවක් මෙහි ඇත. මේ බ්ලොගය කිසියම් හේතුවකින් දැන් ලියැවෙන්නේ නැත.

ඉහත රත්න ශ්‍රී විජේසිංහ ගේ කව උපුටා ගත්තේ මේ බ්ලොග් අඩවියෙනි.

එදවස කලාව ගැන කෙරුණු සංවාද සඳහා මුලිකයෙකු වූයේ නන්දන වීරරත්නයි. නන්දන වීරරත්නලා  මහජන පුස්තකාලයේ සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයේ රැස්වීම්  වලට මා සහභාගී වුයෙමි. 1985 වැනි කාලයක නන්දන වීරරත්න  ජවිපෙන් ඉවත් වුනු බව මට පැවසීය.

මට නැවතත් නන්දන මුණ ගැසුනේ ලන්ඩනයේ අගෝරා කලා කවයේ රැස්වීමකදීය.   පසුගිය දිනෙක ඔහුත් සමග නැවතත් කල දීර්ඝ කතා බහකදී අපට නැවතත් නන්දන මාරසිංහ සිහියට නැගුණි.

"මේ වගේ මිනිස්සු මරා කල හැකි විප්ලවය කුමක්දැයි " විජය කුමාරතුංග මාරසිංහගේ අවමගුල දා  විමසූ  බව ඉහත බ්ලොගයේ සඳහන් වේ. විජය කුමාරතුංග ද කිහිප දිනකින් ජිවිතයට සමු දුන්නේය.

අසූවේ වර්ජනයට සහභාගී වුන ගුරු මහතෙකු විය. ඔහු නව සම සමාජ පක්ෂයට සම්බන්ධව දේශපාලනය කළේය. ජවිපෙට එරෙහිව ආත්මාරක්ෂාව සඳහා  එවකට පැවති  රජය ආයුධ  බෙදා දුන් අවස්ථාවේ ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය.   කිසිදා දුෂිතයෙකු නොවූ සැබෑ මානව හිතවාදියෙකු වූ මේ ගුරු මහතාගේ පුත්‍රයා  මගේ හා නන්දන වීරරත්න ගේ යහළුවෙකි. ඔහුගේ පියා මරා  දැමුනු  පසු අවමගුලට සහභාගී වීමට ඔහු මොස්කව් පැමිණ  ශ්‍රී ලංකාවට  ගිය දිනයේ මමද ශේරෙමිතොවා   ගුවන් තොටුපලට ගියෙමි. පියතුමාගේ ගේ දෙන පොළොවෙන් අඩි කිහිපයකට වඩා උසට ගෙන නොයෑමට නීතියක් ද පනවා තිබුණි. මා දන්නා පරිදි මගේ මිත්‍රයා   එය නොසලකා හැර තම පියාගේ දෙන ඉහළින් ඔසවාගෙන ගියේය. පියාගේ මරණයෙන් පසු ඔහු දැඩි ලෙසින් මත්පැන් පානය කරන වෙනස්ම චරිතයක් ඇත්තෙකු විය.

 ඕනෑම ගැටුමකදී මිනිසුන් මිය යති. මිනිසුන් දිවි දෙති. විප්ලවීය අවස්ථාවක මිනිසුන් මිය යෑම නොවැලැක්විය හැකි දෙයකි. කිසිවකු බලය ලෙහෙසියන් අත් නොහරින බැවිනි.  එහෙත් හිතා මතා  සැලසුම් කර මිනිසෙකුගේ දිවි තොර කිරීම මිනී මැරුමකි. එය කරන්නේ දේශපාලන අරමුණක් උදෙසා නම් එය දේශපාලන ත්‍රස්තවාදයකි. මේ ක්‍රම දෙකෙන්ම වන්නේ මිනිසුන්ගේ විමුක්තිය පිලිබඳ සිතුම් පැතුම්  අගරු කොට ඒවා විනාශ කර දැමීමයි.

මෙහිදී කිසිවිටෙක ඒ සමයේ සිදුවුනු  පැහැරගැනීම්, අහිංසකයන්ගේ ඝාතන හෝ  මුදා හැරුණු රාජ්‍ය භිෂණය සාධාරනීකරණයක් නොකෙරේ. බොහෝ තරුණ තරුණියන්  වධකාගාර වල දරුණු වධ විඳි බවත් මරා  දැමුණු බවත්  මම දනිමි. ඒ දරුණු මර්දනයට ද සමාවක් දිය නොහැකිය. එහෙත්  ඒ රාජ්‍ය භීෂණයට කලින් ආ පක්ෂ භිෂණය බොහෝ විට අමතක කෙරේ.

  දෙමළ  විමුක්ති ව්‍යාපාරය තමන් සතු කරගත් වේළු පිල්ලේ  ප්‍රභාකරන් වරක් තමන්ගේ සහෝදරයන් මෙන් සිටි වෙනත් සන්නද්ධ ව්‍යාපාරයක (TELO)  සගයන් එක් දිනකදී පන්සීයකට වැඩි ප්‍රමාණයක් මරා  දැම්මුවේය.

ප්‍රභාකරන් ගේ ඉරණම එලෙසින්ම විසඳෙන බව මම වරක් කොටි සංවිධානයට හිතැති නීතිඥ මහතෙකුට  පැවසුවෙමි. ඒ කොටි  සංවිධානය ලන්ඩනයේ සැණකෙළි  කෙළි කාලයකය. ඔහු මා සමග එදා එකඟ නොවුනත් පසුගිය අවුරුද්දේ ඔහු නැවත  හමුවූ වෙලේ ඔහු එය සිහිපත් කළේය.  මා  අනාවැකි කියන්නෙක් යයි ඔහුගේ බිරිය පැවසුවාය.  දේශපාලනය ගැන ඉගෙනීම හා කියවීම්  වැදගත් වන්නේ ඒ නිසා යැයි මා ඇයට පැවසුවෙමි. ඒවා අනාවැකි නොවේ.


ලංකානිව්ස්වෙබ් ලිපිය:  http://sinhala.lankanewsweb.net/interviews/item/4296-71
කවිය උපුටා ගැනීම: nandana-marasinghe-fallen-bird

Thursday 9 June 2016

එට්කා ව එළවමු. ඉන්දියානුවන් පන්නමු

මට හදිසියේම ජන මාධ්‍යවේදියෙකු ලෙස රැකියාවක් ලැබුණි. මේ දිනවල ලංකාව  පුරාමත් සිරි ලාංකිකයන් ජිවත් වන ලෝකයේ සෑම රටකමත් පැන නගින අසාමාන්‍ය ආකාරයේ මහා උද්ඝෝෂණ පිළිබඳව වාර්තා කිරීමට  මගේ පුවත් පත් ආයතනය මා යැවීය.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් දිගින් දිගටම පෙළපාලි යමින් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා  සිටින්නේ  ඔවුන් සියල්ලන්ම ශ්‍රී ලංකාවට යවන ලෙසයි. ශ්‍රී ලංකාවෙන් ගුවන් යානා හා බෝට්ටු වලට බලයෙන් පටවා  ගෙන ඔස්ට්‍රේලියාවට ගෙන ඒම හා රැකියා අවස්ථා ලබාදීමෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට කළ අසාධාරණයට එරෙහිවය ඒ.  විශේෂයෙන්ම ආදිවාසී අබෝරිජින් වරුන්ට වෙන අසාධාරණය ගැන හැඬු කඳුලින් මට පැහැදිලි කල පෙළපාලි කරුවෝ තමන්ව ලංකාවට යවන තුරුම  දිගින් දිගටම උද්ඝෝෂණවල හා උපවාසයේ යෙදෙන බව පැවසූහ.

ඕස්ට්‍රේලියාවේ සිටින ජවිපෙ හා පෙසප නියෝජිතයන් දෙදෙනෙකුද යුඇන්පී හා සිරි ලංකා වරුන් අතර සිටිනු දුටු මම ඔවුන්ට කිට්ටු කලෙමි.
"කට්ටිය දැන් එකට වැඩද?"
"ඒකනේ. අපි සම්පුර්ණයෙන් එකඟයි. හැමෝම ලංකාවට යන්න. අපි ඕස්ට්‍රේලියන් කම්කරුවන්ගේ අයිතීන් සුරකින්න ඕනේ. මෙහේ වැඩ කරන එක සම්පුර්ණයෙන්ම වැරදියි. ඕස්ට්‍රේලියන් කම්කරු රස්සා අපි පැහැර ගන්න එක හොඳ නැහැ. අඩු පඩියට අපිව සූරා කන්න දෙන ගමන් උන්ගේ  රස්සාත් නැති කරන එක කොච්චර වැරදිද? "
"ඒක ඇත්ත. ඒක ඇත්ත"
ඔවුන්ට සුභ පතා අල්ලපු වත්තේ නවසීලන්තයට ගියෙමි. වෙලිංටන් පැත්තේ ලංකාවට එන්න බලන ප්රෝෆෙසනල්ලා හෝ ගාලාය. දොස්තර මල්ලි කෙනෙකුට කතා කෙරුවෙමි.
"දොස්තර මහත්මයා , මොකද ආපහු යන්න හදන්නේ "
"හරි නෑනේ,  අජිත්. අපි නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන මෙහෙ ආවහම එහෙ දොස්තරලා අඩු වෙනවනේ. ඔය අයිටම් බයිටම් කියල හොර ඒවා දාන්නෙත් දොස්තරලා අඩු නිසානේ. අපි ගියහම ඒවත් වැහෙනවා. දොස්තරලා වැඩි වෙනවනී"
"හොඳයි හොඳයි. මට නම් අදහන්නත් බැහැ "
"මොකද බැරි. බලන්න කොපමණ හොඳ වැඩක්ද? මෙහේ හකා නටන මල්ලිලා නංගිලා ඊට පස්සේ ඉගෙන ගනීනේ. අපි ඇවිත් මේ රස්සා ගත්තම හරි යනවද"
"හොඳයි මල්ලි නියමයි."
 ඔහු සමග සෙල්ෆියක් ගසා  බුකියට දැම්මෙමි.

එතනින් කෙලින්ම ගුවන් යානයකින් පැරිසියට පැමිණියෙමි. චාල්ස් ඩි ගෝල්  ගුවන් තොටුපලේ එකම කලබලයකි.කට්ටිය ලංකාවේ වගේ. සිරි ලංකා කාරයෙක් වගේ පෙනුණු  අයෙකුට  ලං වුනෙමි.
" මේ මොකෝ හදිසියේ ඔක්කොම ලංකාවට යන්න වගේ "
"ඔව්, ඔව් මේ ඉන්දියන් හැතිකරෙන් ලංකාව  බේරා ගන්න අපි  යනවා. අනික ප්‍රංශයේ දැන් හරියට රිෆුයුජි ලා. ඒ ගොල්ලන්ට රස්සා දෙන්නවත් රස්සා නැහැ. ඇයි එතකොට ප්‍රංශේ  මිනිස්සු. අපි  වැඩි පඩියට වැඩ නොකරන නිසා අපි ගියහම උන්ට ටිකක්  වැඩි ගානට මේ රස්සාම කරන්න  පුළුවන්. "

එතැනින්ම ආපසු හැරුන මා කෙලින්ම ඉතාලියට  ගියේ එහිද මේ කලබලය ඇත්දැයි බලන්නය.
වෙරෝනාවේ තිස් දහසක් වන ශ්‍රී ලාංකිකයෝ නගර මධ්‍යයේ බස් හා දුම්රිය වලට පොර කති.  පෙසපේ සගයෙක් ජනතාව හසුරුවයි.
"මොකෝ මේ. ඔක්කොම පෙසපෙට හැරිලද? "
"නැහැ සහෝදරයා. අපට වැටහුනේ දැනුයි. අපි ඉතාලි නිර්ධන පන්ති ජනතාවගේ,  කම්කරුවන්ගේ  රස්සා අඩු පඩියට රැගෙන ඉතාලියානු නිර්ධන පන්ති විප්ලවයටත් ලොකු හානියක් නේ කරන්නේ. මේ ජනතාව තමන්ගේ කාර්යභාරය තේරුම් ගෙන යුගයේ සුවිශේෂී වූ ස්ව යුතුකම් ඉටු කිරීම සඳහා මාතෘභූමිය වෙතට පිටත් වෙනවා. අපි එහි පෙරගමන්කරුවෙකු පමණයි. "
"හරි හරි අර ජවිපෙ කට්ටියත් ඉන්නේ."
"ඒ සහෝදරවරුත් යුගයේ අවශ්‍යතාවය සාධනීය ලෙස ඉටු කිරීමට අප සමග  එකතු වී සිටිනවා."
එතැනින් මිදුණු මම රෝමයට ආවේ ගුවන් යානයක ලන්ඩන් ඒමටය. කොහෙද? ඒවා පිරි ඉතිරි ගොස්ය. සිරි ලංකා කාරයන්, ඒකාබද්ධ  විපස්ස කාරයන් එකට එකතු වී කෝපි බොති.
"රස්සාවල් දාල යනවා වගේ "
"ඔව්, ඔව් ඉපදුනු මාතෘභූමිය බේරා  ගැනීමේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය කරන්න  මෙහෙ ඉඳල පුලුවනෑ "
බොහොම අමාරුවෙන් හිත්රෝ වලට පැමිණියෙමි.
අමෙරිකාවෙන් ලංකාවට යන අයගෙන් ට්‍රාන්සිට් කෑල්ල පිරි ඉතිරි ගොසිනි. අහලා වැඩක් නැත. සියල්ලෝම ලංකාවට යන්නේ ලංකාවේ  සියලුම රස්සා වලටද? අයිටී  රස්සා වලට  විතරද කියා හිතා ගන්නට වත් බැරිය.

හිත්‍රොව් වල යුඇන්පී කාරයන් ද පිරි  සිටිති.
"දැන් ඕගොල්ලෝ සපෝර්ට් කරන්නේ නැත්ද එට්කා  එකට? "
"පිස්සු කතා කරනවද? මේ යහපාලනේ අනා ගෙනනේ තියෙන්නේ. දැන් බලන්න. චීන්නුන්ගෙන් සල්ලි ගත්ත. වරාය  හැදුව, පාරවල් හැදුව. ඔක්කොම වැඩ කලේ වැඩිපුරම චීන්නු. කවුරුත් වචනයක් වත් කීවද? ගිවිසුම් ගහල කරනවද ඕව. ඔය හොරෙන් සල්ලි ටික අරගෙන අපටත් කියක් හරි හොයාගන්න දීල ඉන්දියන් කාරයන්ට සංචාරක වීස වලින් වැඩ කරන්න කිව්වා නම් ඉවරනේ."

"ඉතින් ඔයාල ලංකාවට  යන්නේ"
"අපිටත්  ගානක් හොයා ගන්න දෙන්නේ නැත්ද කියල අහන්න "
"අනික බලන්නකෝ අර ගිය ආණ්ඩුවේත් මාටියා ගහපු ජම්පින් ඇමතිලට දීලා තියන කිරි ටොයිය කාර්  ටික. අපට තමයි මුකුත් නැත්තේ "  තව කොළ සහෝදරයෙක් මැදින් පැන කීවේය. කට්ටිය සමග සෙල්ෆියක් ගසා යන්තම් එලියට පැන්නෙමි.

පෙසපේ පොරක් ජවිපේ  පොරක් සමග අත්වැල් අල්ලා ගෙන කඩයක් දමාගෙනය. මම හෙමිහිට කිට්ටු කලෙමි.
"අහන්න දෙයක් නැහැ. ඉතාලියේදී දැන ගත්තා . එංගලන්තේ විප්ලවෙට එකතු වෙලා සහයෝගය දෙන්න නේද හදන්නේ." මම කීවෙමි.
"එංගලන්තේ විප්ලවේ කරන්න නෙමේ.  අපි ලංකාවට යනව එංගලන්තේ කම්කරුවන්ට සහ රැකියා නැති වැසියන්ට රැකියා අවස්ථා ටික නැවත ලබා දෙන්න. " පෙසපේ සහෝ කීවේය.

"දැන් අජී  බලන්න.  වැඩ කරන ජනතාව අතරේ ජාත්‍යන්තර සහයෝගයක් තියෙන්න ඕන නේ. මේ යුරෝපිය වැසියනුත් ඇවිල්ල මෙහෙ මිනිස්සුන්ගේ රැකියා කොල්ල කාල නේද. අපි ඒවා කරන්න  හොඳ  නැහැ. අපි ලංකාවට ගිහිල්ල ඔය ඉන්දීය ආක්‍රමණය වහාම නවත්වන්න ඕනේ. අපේ රස්සා අපිට." ජවිපෙ ලොකු අයියා කිවේය.
"ඉතින් ඔයාට මෙහෙ පුරවැසි භාවය නේ තියෙන්නේ " මම ඇසුවෙමි.
"මේ සහෝදරයා. නිර්ධන පන්ති ජාත්‍යන්තරය රැස්වී සිටින මේ තීරණාත්මක මොහොතේ කඩාකප්පල් කාරී කතා කියන්න එපා. ඕව ප්‍රතිගාමී වැඩ"
"අම්මට හුඩු " මට ඉබේටම කියැවුණි. ඒ නිව් සෝෂලිස්ට් එකේ ට්‍රොට්ස්කිවාදියෙකි.

හීන් සීරුවේ එතනින් ෂේප් වී හිත්රෝවේ ටර්මිනල් එකෙන් පහතට එනවිට මුණ ගැසුනේ රට ජාතිය බේරා ගැනීමට පෙළපාලි යමින්, අන්තර්ජාල සටන් කරමින් කටයුතු කල ලන්ඩනයේ  සිංහල වීර ගැන්සියේ චේතිකා ය.
"ආ චෙතිකා නංගි මේ පාරනම් ලංකාවට ඇත්තටම යන්නම වගේ නේද "
"ඔයා මට ඔලොක්කුවටමයි අනී කතාව  අයියා.  මම මේ යන අයට උදව් සංවිධානය කරනවා"
"ඔයා යන්නේ නැත්ද?"
"මම ගියොත් කවුද මේව කරන්නේ. ඕනෙම වුනොත් යනවා. අනික ඔය ඉන්දියන් කාරයන්ට විරුද්ධව උද්ඝෝෂණයක් කරලා මෙහෙනුත් එළවන්න  ඕනේ. බලන්න අර හින්දුජා ලා හෙම කොච්චර සල්ලිද මෙහෙන් හූර කන්නේ "
"මම නම් හිතුවේ උන් ඉන්දියාව හූර කනවා කියල මෙහෙට ජොබ් ටික දීලා"
"ඔයා අනී පත්තරයක් වත් කියවනවයි. ඔය බ්ලොග් හුචක්කු කියවල මොනවාද දැන ගන්න පුළුවන්. අර ෆේස් බුක් එකටවත් ගියානම් ඔයාට ඇත්ත දැන ගන්න පුළුවන් අනේ." චේතිකා පොඩි කොමලයක් දැම්මාය.
අපි නම් අහුවෙයි ඕවට.
"ඒක තමයි. ඔයා කීව  හින්ද ඇස් පෑදුන . මාත් යනවා ලංකාවට."

චේතිකා ගෙන් වැඩි ගානට එවෙලේම  මිලදී ගත්  ටිකට් පතකින් යන්තම් සිරි ලන්කන් යානයක පුට්බෝඩයේ එල්ලි කටුනායකට පැමිණියෙමි.
එතනත් කලබලය. හෙන පෝලින්ය. එන එන දේශප්‍රේමී හැමෝම අඩුම කස්ටම් පරීක්ෂාවකින් වීසා බලන්නේ වත් නැතුව ඇතුලට යවති.

වදෙන් පොරෙන් එලියට එනවිට දන්නා අඳුනන පරිගණක ක්ෂේත්‍රයේ මල්ලිලා නංගිලා ටිකක් ඇතුලට එන්න පෝලිමේය.
  "හා අයි ටී මල්ලිලා මොකෝ මේ. අපිව පිලිගන්නද?"
"පිස්සුද අයියා, මමයි කෙල්ලයි මේ ලන්ඩන් යන්න කියල. මේ යාලුවෝ ඇමෙරිකාවට. මෙයා  ඔසී වලට. අර කට්ටිය  අරහෙට .... අර ගොල්ලෝ "
"ඒ කියන්නේ ඔයාල මෙහෙන් යනවා " මම හරස් කැපුවෙමි.

"අයියා මේ චාන්ස් එක අත අරින්න පුලුවන්ද? ජොබ් ගොඩක් ඕපන් වෙලානේ ලන්ඩන් වල, ඇමෙරිකාවේ වගේ රටවල. කියක් හරි හොයා ගන්න පුළුවන්නේ. අපේ ගේත් බාගෙට හදල තියෙන්නේ  "
"මල්ලි මම හිතුවේ ඔයාලට මාර හොඳයි කියලනේ මෙහෙ. ජොබ් වලත් හොඳට  ගෙවනවා නේද? අනික් ඔය එන්න ඉන්න ඉන්දියන් කාරයන්ට එන්න නොදී ඔය ජොබ් වලම ඉන්න එපැයි"
"ඔය කිව්වට අයියේ  ඉතින් හොඳම නැහැ. ගූගල් එකේ වගේ ජොබක් සෙට් වුනොත් කොහොමද? අය්යා සිලිකන් වැලි එහෙම යන්න කාටද ආස නැත්තේ "
"මල්ලි ඉතින් ඒවායේ ගොඩක් කොම්පැනි වල චිෆ් ලා සීඊඕ ලා ඉන්දියන් කාරයෝ නේ. අප්සෙට් නැත්ද උන් යටතේ වැඩ කරන්න."
"පඩි ගෙවනවා නම් මොකක්ද අයියා ප්‍රශ්නේ. අනික මෙහෙ ජොබ් වලට දැන් ඔය පිටරට අත හැරල එන කට්ටියට යන්න පුළුවන්නේ. " මල්ලියා කිවේය.

"අනී  අය්යා අපේ ගෙදර වැඩ කාරියෙක් වත් නෑ අයියෝ. අම්මිට හරී අමාරුයි. වැඩට ගන්න කට්ටිය ඔක්කොමල්ල ඩුබායි ගිහින් නේ . ඉන්දියන් ගෑණු ටිකක් ආවොත් අපේ අම්මිටත් අඩු පඩියට කෙනෙක් ගන්න පුළුවන්." අයිටී මල්ලිගේ   අතේ එල්ලී සිටි අයිටී නංගී තොඳෙලෙට කීවාය.
"අපේ ගේ හදන්න  බාස්ල වත් නෑ අයියා. අර මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ගෙන්නුවා  වගේ ශිල්ප ටිකක් දන්න බාස් ල ටිකක් ගෙන්වන්න කියන්න. මගේ ගේ වැඩ ගොඩක් ඉතුරු වෙලා" ඇමෙරිකාවට  යන්න  බලන් ඉන්න මල්ලියා කිවේය.

"හරි මල්ලි" ඔහුට අත වනාගෙන වහා ආපසු හැරුනෙමි. මගේ ඔළුව ඇඳ  විට්ටමේ දඩාස් ගා වැදිණි. ඒ සමගම මොබයිලේ එලාමය මහා හඬින්  වැදුනේය. දුවගෙන නාන  කාමරයට ගොස් මුහුණ සෝදා හැඳ පැළඳ ගෙන උදෑසන අහර ගැනීමට කෑම මේසයේ හිඳ  ගතිමි.

බිරිඳ රූපවාහිනිය ක්‍රියාත්මක කලාය.
යුරෝපා සංගමයෙන්  ඉවත්ව යාමට සහය දෙන කණ්ඩායම තිරය මත පෙනී සිටියහ.

නාසි වාදීන් රොත්තක්ද, බොරිස්  ජොන්සන්ද, අන්ත ජාති වාදී ඉංග්‍රීසි ලීගයේ එවුන්ද ,  නාසි පෙගිඩා එවුන්ද,  බංගලි දේශ කරි හවුස් සංවිධානයද, ඉන්දියන් කාරයින්ද , ඉන්දියන් මන්තිරි ලා ද යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමේ ව්‍යාපාරයට සහය දීමට එක වේදිකාවේ ය .
" එංගලන්තයේ රස්සා බේරා  ගනු. සෞඛ්‍ය සේවය බේරා  ගනු.  සංක්‍රමණිකයන් නවත්වනු.  " ඉන්දියන් කාරයෙක් කෑ ගැසුවේය.

මම හරියටම ඇහැරිලා දායි දැන ගැනීමට කිහිප වරක් මේසයට ඔළුව  ගැසුවෙමි. බිරිඳ ඇම්බියුලන්ස් එකට අමතනවා   හීනෙන් මෙන් ඇසුනි.

Sunday 5 June 2016

අයිත්මාතව් හැඬවූ ගම්ලතුන් ගේ ශෝකාන්තය

ගුරුගීතය චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ උපාලි ගම්ලත් මහතා විසිනි. එය නිෂ්පාදනය කිරීමේදී ඉමහත් වෙහෙසක් දරා ඇති බව පැහැදිලිය.  නේපාලයේ, ඉන්දියාවේ හා රුසියාවේ එය රූගත කළ බව වෙළඳ ප්‍රචාරණ වල සඳහන් විය. රොෂාන්  රවීන්ද්‍රගේ (දුයිෂෙන්) හා කල්පනී ජයසිංහ (අල්තිනායි) ගේ රඟපෑම් විශිෂ්ඨය. එහෙත් කිසියම් අන්දමක මළානික බවක් (මෙලන්කොලියක්) චිත්‍රපටිය බැලීමෙන් පසු මසිතේ සටහන් විය.

චිත්‍රපටිය නරඹා එද්දී අපි ඒ ගැන අදහස් හුවමාරු කර ගත්තමු. මගේ බිරිඳගේ අදහස වූයේ එය කලාත්මක බැවින් උසස් බව මුත් එය  "පළමු ගුරුතුමා - පියෙර්වී උචිතියෙල්" නමැති කෘතිය කිසියම් ආසියාතික අදහසකින් ඉදිරිපත් කර ඇති බවත්ය.  ඇය එම ග්‍රන්ථය හඳුනාගෙන තිබුනේ දේශපාලනික එකක් හැටියටය. එයට හේතුව චින්ගීස් අයිත්මාතව් පොත ලියුවේද සමාජවාදී සමාජයක් ගොඩ නැගීමට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ කර්තව්‍යයට ආධාර පිණිස බව අන්තර්ජාලයේ විචාර වල අවධාරණය කර ඇති නිසාය.

 මගේ වැඩිමහල් දියණිය පැවසුවේ  චිත්‍රපටියේ අධ්‍යක්ෂක පොතට මෙන්ම ඉහත සඳහන් කළ නළු නිලි දෙපල ටද සාධාරණයක් ඉටු කර නොමැති බවයි. මටද තරමක්
දුරට එයට එකඟ වන්නට හැකි විය. උක්ත නළු නිළි දෙපලගේ රංගන හැකියාවන්
තුලින් මිට වඩා ප්‍රබල ලෙස කතාව ඉදිරිපත් කළ හැකිව තිබුණු බව සිතේ. ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂකවරයෙකුට ප්‍රශ්න  බොහොමයක් ඇති බවත් රටවල් තුනක් පමණ සම්බන්ධ කරමින් චිත්‍රපටියක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් මා ඇයට  පැවසීමි.

 වයසින් ළාබාල මගේ දෙවෙනි දියණියට තිබුනේ වෙනත් ප්‍රශ්නයකි. "අර ගැහැණු ළමයා හැම තිස්සේම අඬන්නේ මන්ද " යන්න ඇගේ ප්‍රශ්නය විය.  අල්තිනායි පැහැර   ගෙන ගොස් බලෙන් අඹු කමට ගත්  දිනට පසු හඬා වැළපීම ඔවුන්ට සාධාරනීකරණය කළ හැකි වුනත් චිත්‍රපටිය පුරා  ගලා යන ඇයගේ හැඩීම ශෝකාලාපයක් බවට පෙරලී  ඇති බවට ඔවුන්ගේ අදහසට මට ද එකඟ නොවී සිටීමට නොහැකිය.

සම්මාන දිනූ වාර්තා චිත්‍රපටයකින් සිනමාකරණයට පිවිසෙන උපාලි ගම්ලතුන්ගේ මේ කුළුඳුල්  වෑයම අප අගය කළ යුතුය. විවේචනයක් ඉදිරිපත් කිරීම යම් විටෙක පහසු දෙයක් වුවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ.  චිත්‍රපටියේ ඉතා ප්‍රබල දර්ශන කිහිපයක්ම තිබේ. අල්තීනා ගේ අකාරුණික නැන්දනිය ලෙස රඟපාන නිළියගේ රඟපෑම සහය නිළියක වශයෙන් විශිෂ්ඨය. නමුත් ඇයගේ ස්වාමි පුරුෂයා ගේ රඟපෑම බොහෝවිට ඉතා ආධුනික විලාසයක් ගනී. මෙවන් චරිත කිහිපයක්ම තිබෙන අතර ඒ රඟපෑම් නළු නිළියන්ගේ නොහැකියාවන් ටත්  වඩා අධ්‍යක්ෂක වරයාගේ නොසැලකිලිමත් වීම යයි සිතේ.

චිත්‍රපටියේ ආරම්භය ශ්‍රී ලංකාවේ දී රූප ගත කර ඇත. මුල් පොතේ දැක්වෙන පරිදි අල්තිනායි ගේ ගමට පැමිණෙන එම ගමේම උපන් ප්‍රසිද්ධ සිත්තරා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ අසේල නමැති පියානෝ වාදකයෙකි. දර්ශනවාදය පිලිබඳ මොස්කව් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක වන අල්තිනා සුලෙයිමානොවා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ සංගීත ගුරුවරියකි.  මේ වෙනස්කම් ප්‍රශ්නයක් නැත. පොතේ විධිහටම
කතාව ලියන්නට අවශ්‍යද නැත. නමුත් ශ්‍රී ලංකාවේ  කතාවෙන් එක්වරම පරණ රුසියාවේ දර්ශනයකට කතාව පිවිසෙයි. පසුව නැවතත් වර්තමානය ලංකාවේ ලෙස වෙනස් වේ.  එහි සංගීත පාසලේ අධ්‍යක්ෂක ලැප්ටොප් පරිගණකයක් වසනු රූප රාමුවක දැක්වෙතියි මගේ දියණිය පැවසුවාය.

එසේම පරණ ගල් අඟුරු දුම්රියේ කොන්දොස්තර ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඉන්දියාවේ සිටි කොන්දොස්තර වරයෙකුගේ නිල ඇඳුමෙන් සැරසී සිටියේය. අල්තිනායි දුම්රිය පළේදී හමුවන අනිත් සිසුන් අසල නවීන වර්ගයේ ඇඳුම්  ගෙනියන බෑග තිබුණි. පැරණි රුසියාවේ දුප්පත් මිනිසුන් බඩු  ගෙනිච්චේ බැඳගත් පෙට්ටි වලය.

මේ කොටස් සියල්ල මදක් ව්‍යාකුල සහගතය.  ලංකාවේ සිදුවන ආකාරයට ලිව්වා නම් නාමයන් සියල්ල එසේ වෙනස් කල හැකිව තිබුණි. හයිබ්‍රිඩ් වර්ගයේ ලංකාවේ නම් සහිත වර්තමානයකුත් රුසියානු නම් සහිත අතීතයකුත් කතාවේ නිර්මාණය කර තිබේ.

චිත්‍රපටියේ තැන්  කිහිපයකම අල්තිනායි හඬන්නීය.  මුල් කතාවේ එවන් තැන්  දෙක තුනක්  තිබුනද පැය  එකහමාරක සිනමා නිර්මාණයකට  ඒ සියල්ල අවශ්‍ය  නැත. සිනමා නිර්මාණයේ හඬන අවස්ථා වැඩිය. එයින්ම මේ කතාව, ප්‍රේමයේ වියෝගය,  විරහ වේදනාව,  සුන්දර එහෙත් අමතක කරන ලද ආසියානු ආදර කතාවක්  බවට අධ්‍යක්ෂක වරයා පරිවර්තනය කර තිබේ.  ඒ අනුව සංගීත අධ්‍යක්ෂක වරයා විසින් යෙදූ  ඉතා පියකරු කිර්ගිසියානු පන්නයේ ගීතය වෙනුවට වික්ටර් රත්නායක ගේ "දෛවයෝගයකින් නොවේදෝ" ගීතය පසුබිම් ගායනයට වඩාත් ගැලපේ. නෝ මෝර් මාක්ස් නමැති බ්ලොග්කරු ලාංකීය සමාජයේ පසුගාමීත්වය යනුවන් අදහස් කළේ මේ පරිවර්තන කරන ලද කතාව විය යුතුය.  ලංකාවේ ඒ දිනවල පළවූ "කුමරි" පත්‍රය හා "තරුණයා " පත්‍රය කියවන ප්‍රේමවන්තයන් ඉලක්ක කොටගත් කෙටි කතා හා නවකතා වල මේ හැඩිම්, වැළපීම් නම් සුලබය.

මාත් මෙවැනි කතා කිහිපයක්ම මගේ බ්ලොගයේ මේ දිනවල ලියන්නේ අනිවාර්යයෙන්ම ඒවා හිට් වේ යයි සිතමිනි.

මා දන්නා අයිත්මාතව් ගේ ගුරු ගීතය ලිව්වේ 1962 දීය (ලෙනින් ත්‍යාගය ලැබුණු) . ඒද ලෙනින් විප්ලවය කර බොහෝ කලකට පසුය.  අයිත්මාතව් ගේ පියා, ටොර්කුල් විප්ලවයට තම දිවිය කැප කළ මුල් කොමියුනිස්ට් වාදියෙකි.  ටොර්කුල් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස ඉතා පසුගාමී කිර්ගිස්ථානයේ දියුණුවට වැඩ කරද්දී  ස්ටාලින් ගේ දරුණු එන්කවද රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නේ "සුළු ධනේෂ්වර ජාතිවාදියෙකු" ලෙස චෝදනා කරමිනි. 1937 දී "ද්‍රෝහියෙකු" ලෙස බොරුවට හංවඩු ගසා ඔහුව මරා දැමිණි.

ඔහුගේ පියාට ආදරය කළ මිනිසුන් චින්ගීස් පුතා අනාථ කලේ නැත. අයිත්මාතව්, කෘෂෙව් ගේ ප්‍රතිසංසස් කරණ කාලයේදී සියලු "ස්ටාලින්ගේ ද්‍රෝහීන් හා පවුල් " පුනරුත්ථාපනය කිරීමෙන් පසු  මොස්කව් ගෝර්කි සාහිත්‍ය විශ්ව විද්‍යාල මණ්ඩපයට ඇතුලත් වුනි.

තමන්ගේ ජිවිතයේ අඳුරු කාලය  සෝවියට් ක්‍රමයේ වරදක් නොව මිනිසුන් ගේ ස්වභාවික හැසිරීමේ වරදක් ලෙස දුටු අයිත්මාතව් සෝවියට් හා කිර්ගිස් සමාජයේ දුර්වලතා, මිනිසුන්ගේ දෝෂ සහගත හැසිරීම් සෝවියට් ක්‍රමයේ ප්‍රගමනයේදී වෙනස් වනු  ඇති  බවට අවංකවම විශ්වාස කළේය.  ගුරු ගීතය ඒ විශ්වාසය මතම ලියූ කතාවකි.

"පළමු ගුරුවරයා " ලෙස චින්ගීස්  නම් කල කතාවේ දුයිෂෙන් වැඩි උගත්තකු නොවූවත් කොමියුනිස්ට් පක්ෂයේ නියෝගය පිළිපැද ගමට අධ්‍යාපනය ගෙන දීමට පැමිණි තරුණ කොම්සොමෝල් (කොමියුනිස්ට් සංගමය) සාමාජිකයෙකි,  හෙවත් චින්ගිස් ගේ පියා  මෙන් "මුල් කොමියුනිස්ට් කාරයෙකි".

අල්තිනායි ඔහුව අමතක නොකළාය. ප්‍රථම වතාවට නැවත දුයිෂෙන් බලන්නට ගමට පැමිණි ඇයට පොප්ලර් ගස් දෙක බලා සැනහෙන්නට වෙයි. දුයිෂෙන් සෝවියට් දේශය බේරා ගැනීමට යුද්ධයට ගොස්ය.

වරෙක ඇය හදිසි දම්වැල ඇද දුම්රියක් මග නවත්තා දුයිෂෙන් වැන්නකු සොයා දිව ගියාය. යුදයෙන් නැතිවූවන් සොයන්නියක ලෙස මිනිසුන් ඇයට අනුකම්පා කළහ.

කුරුකෙව් ගමේ අලුත් පාසැල විවෘත කිරීමට අර ගමේ උපන් පරසිඳු (කතාව කියන) සිත්තරා  මෙන්ම මොස්කව් වලින් මහාචාර්යවරිය අල්තිනායි ද ගමේ පක්ෂ කවුන්සිලයේ ආරාධනාවට අනුව  පැමිණෙයි. කවුදෝ දුයිෂෙන් ගැන උපහාසයෙන් කතා කරයි. නව සෝවියට් ගම්වැසියන් දුයිෂෙන් ගේ මුල් දිනයේ මෙන්ම ඔහුට උපහාසයෙන් සිනාසෙති.  ගමේ ප්‍රාදේශීය සභා සභාපති, පක්ෂ ලේකම් සිටින රැස්වීමට පැමිණෙන "තැපැල් කරු " දුයිෂෙන් ලියුම් බෙදයි. අවාසනාවකට මේ දුයිෂෙන් අර "දුයිෂෙන්" මය. ලේකම් වරයා ඔහුට ඇතුලට ඒමට ඇරයුම් කරතත් ඔහු වඩා වැදගත් ලියුම් බෙදීමට යයි. සෝවියට් රජයෙන් දෙන මේ අලුත් පාසැල විවෘත කිරීමට, එදා සියලු බාධක මධ්‍යයේ ගමට පැමිණි පළමු ගුරුවරයාට ආරාධනා කිරීමට කිසිවෙකුට මතක් නොවෙයි. පසු කාලින සෝවියට් නිලධාරීන්  "මුල් විප්ලව කරුවන් " අමතක කලේ එසේය.

කොටින්ම අල්තිනායි පවා තම ගුරුවරයා පිළිගන්නට එළියට  ගියේ නැත. අවසානයේ මොස්කව් යන ඇය තම සිතේ ඇතිවන වරදකාරී හැඟීමෙන් බේරෙන්නට සිත්තරාට ලිපියක් ලියන්නිය.  ගම්ලත්ට හසු නොවුනේ මේ සත්‍යයය.  අයිත්මාතව් දිගින් දිගටම ලිව්වේද ඒ ගැනය. 1988 පෙරෙස්ට්‍රොයිකා කාලයේ කිර්ගිස් සමාජයේ මත් ද්‍රව්‍ය භාවිතය ගැන නවකතාවක් ද ඔහු ලිවිය.

උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය ආදී කාලින ඩයිනොසර් යුගයේ හිටපු ඇතැම් ජවිපෙ සාමාජිකයන් ගේ සිහිනයක් සැබෑ වීමකි.  වර්තමාන (ජවිපෙ) පරපුර ඔයාකාරයේ   ගුරු ගීත පසුකර බොහෝ දුර ගොස්ය.



අයිත්මාතව් මිය ගිය දින ගාඩියන් පුවත්පතේ ලිපිය:
https://www.theguardian.com/books/2008/jul/15/culture.obituaries

Wednesday 1 June 2016

පොල්කට්ටෙන් එපිටට පැමිණි සොඳුරු සැන්දෑව


උදයේ සිට දිගින් දිගටම නද දුන්  මගේ දුරකතනයෙන් පැවසුනේ බොහෝ අයට
 එදින පැමිණීමට නොහැකි  බවකි. මා විද්‍යුත් තැපෑලෙන් හා ෆේස්බුක් මගින් කළ දැනුම් දීම් හැරෙන්නට කිසිවකුට පෞද්ගලිකව අමතා ආරාධනා කලේද නැත. ලංකාවේ දී එළි දැක්වීමේ උළෙලට සහය දුන් බ්ලොග් මිතුරන් සමුහය හා චුලානන්ද සහෘදයා ද මෙහි නැත.   අවසානයේදී මා සිතුවේ විස්සට වඩා පිරිස වැඩි වුවහොත් එය හොඳ ලකුණක් බවයි.

නමුත් ඔවුහු පැමිණියෝය. ලන්ඩනයේ පොතක් එලි දැක්වීම සඳහා,  කියවීමට ලැදි අය තිස් ගණනක්  සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. අවුරුදු සැණකෙළි වලට හා පන්සල් වල  දාන වලට මිස මිනිසුන් පොත් එළි දැක්වීමක් සඳහා යන්නේ නැති බවට වූ මිත්‍යාව බොරු කරමින් ඔවුහු පැමිණියහ.

පොල් ගෙඩියක් නැකතට දෙපලු කර දෙවන එළි දැක්වීමේ උළෙල ආරම්භ කෙරුවෙමි. නැකතට පසු පොල්කට්ටෙන් එපිටට මුලින්ම පැමිණියේ සරෝජ් පතිරණය. ඔහුගේ "ද්‍රෝහියාගේ දියණිය" පොත හඳුන්වා දීම සඳහා මා අප කියවූ රුසියානු හා සෝවියට් සාහිත්‍යය යුග වලට බෙදුවෙමි.

රුසියානු විප්ලවයට පෙර යුගයේ ලියෝ ටෝල්ස්ටෝයි (ඇනා කරෙනිනා),  ගොගොල් (මළ මිනිස්සු) , තුර්ගේනිව්,  දොස්තයෙව්ස්කි, පුෂ්කින් ආදී දැවැන්තයන්ගේ නිර්මාණ  මුලිකත්වය ගති. විප්ලවය අවධියේ  හා ඉන්පසු අවධියේ ඒ තැන ගත්තේ මැක්සිම් ගෝර්කි (අම්මා), මයකෝව්ස්කි, නිකොලායි ඔස්ත්රෝව්ස්කි (වානේ පන්නරය ලැබූ හැටි) ආදීන් ගේ විප්ලවීය නිර්මාණයන්ය. සමාජවාදී යථාර්ථවාදය යන අදහසේ නිර්මාතෘ ද ගොර්කිය. පසු කාලින සෝවියට් සාහිත්‍යය ගොඩ නැගුනේ මේ සමාජවාදී යථාර්ථවාදය (socialist realism) පදනම්වය. මා  මේ ගැන  මේ බ්ලොගයේ කිහිප විටක්ම සඳහන් කර ඇත.

දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් අළලා ලියවුනු ලෝක පුජිත නිර්මාණ ඉන්පසු බිහි විනි. මිහයිල් ෂෝලහොව් (පෙරළු නැවුම් පස, දොන්  නදිය නිසලව ගලා  බසී) , යුරි බොන්දර්යේව් (සැබෑ මිනිසෙකුගේ කතාවක්) සිහිපත් කළෙමි.
හැත්තෑව දශකයෙන් පසු කාලයේ සෝවියට් රජයට පක්ෂව මෙන්ම කොමියුනිස්ට්වාදී සර්ව සම්පුර්න සමාජයක් පිහිටුවා ඇති බවට  උදම් අනන වාර්තා වැනි සාහිත්‍ය නිර්මාණ බිහිවුණි.

ද්‍රෝහියෙකු ලෙස පසුව හැඳින්වුන මිහයිල් සොශේන්කෝ මෙන්ම මාස්ටර් සහ මර්ගරීටා ලියු මිහයිල් බුල්ගකොව්ද, සොල්ශේනිට්සින් සහ පැස්ටර්නක් ද මේ වාර්තාකාරි සෝවියට් සාහිත්‍යට එදිරිව විවේචනාත්මකව ලියු අයයි. එහිදී සමිස්දාත් යන රුසියානු වදනේ භාවිතාව  වැදගත්ය. රාජ්‍යයට විපක්ෂව රහසේ කරන නිර්මාණ මෙසේ හැඳින්විණි. මේ නිර්මාණ සෝවියට් සමාජවාදී යථාර්ථවාදය යටතේ ලියවුනු පක්ෂය හා රජය අලංකාර කරන ලද වාර්තා වෙනුවට "සැබෑ යථාර්ථයේ නියෝජනයක් " සහිත නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.

"ද්‍රෝහියා ගේ දියණිය" පොතේ විස්තර කරන්නේ මේ කාල පරිච්චේදයයි. එහිදී මේ පොතේ කියවීම තුල ඇත්තේ සෝවියට් සමාජයේදී ද්‍රෝහියෙකු කරන ලද පියෙකුගේ දියණියක වන අන්නා සැබවින්ම මුහුණ දෙන්නේ කුමන පීඩනයකටද  යන්නයි.
 ඇය මුහුණ දෙන්නේ  මිනිසුන් ගේ නරක සම්බන්ධතාවයන් හා කුහක කම් වලටද නැත්නම් සෝවියට් සමාජයේ සමාජවාදී දුර්වලතාවයන් හා නිලධාරිවාදයටද? ඇමෙරිකා  එක්සත් ජනපදයේදී ඇයට සිදුවුයේ කුමක්ද?  එහිදී ඇය වංචාවක ට ලක්වුයේ ඇයි?

ඉන්පසු එළඹුණු සංවාදයේදී නන්දන වීරරත්න, අරුණ පෙරේරා මෙන්ම ආශා සුරියබණ්ඩාර ද අදහස් දැක්වුහ.

ඉන්පසු මවිසින් ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් සභාවට හඳුන්වා දීමේ දී බ්‍රෙෂ්ට්
ගේ "එපික් තියෙටර්" පිලිබඳ කෙටි  හැඳින්වීමක්  කලෙමි.  එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය.  විජිත ගුණරත්නයන්ගේ  අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය.  මේ ගැන රැස්වූ සභාවේ තියුණු සංවාදයක් ඇතිවූ අතර විපුලි පලිහක්කාර, නන්දන, සුදත්, ආශා හා ධරණී ගමගේද අදහස්  දැක්වූහ. මෙහිදී ඉස්මතු කළ එක් අදහසක් වුයේ  හෙන්රි ජයසේන, රන්ජිත් ධර්මකීර්ති ආදීන්ගේ සෞන්දර්යාත්මක නාට්‍ය කලාව ශ්‍රී ලංකාවට  වඩා  ගැලපෙන බවකි. සෞන්දර්යවේදීන් හා බ්‍රෙෂ්ට් වාදීන් අතර ගුරුකුලයන්  නිර්මාණය කෙරෙන තරමේ අදහස් ප්‍රමාණයක්  හුවමාරු වුනි.

විජිත ගුණරත්න විසින් කල ප්‍රධාන දේශනයේ දී ඔහු පැහැදිලි කලේ ජර්මනියේ බැවේරියාවේ උපන් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය කලා සම්ප්‍රදායයි.  ඊට හේතුව "පොල්කට්ටෙන් එපිටට" පොත පිලිබඳ ඔහුගේ විග්‍රහයේදී  බ්‍රෙෂ්ට් ගේ Verfremdungseffekt හෙවත් පරාත්වරෝපණය (රුසියානු භාෂාවෙන් ප්‍රි-අස්ත්‍රානේනිය)  යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද යන්න පැහැදිලි කරමින් ඔහු දැක්වූ අදහසයි. මෙහි ඉංග්‍රීසි වදන "alienation effect" හෝ  "estrangement effect" යන්නය. එපික් තියෙටර් පිලිබඳ  අදහස   ක්‍රියාත්මක කිරීමේදී උපයෝගී කරගන්නා  ක්‍රමය (technique) වැඩි දියුණු කරන ලද්දේ මේ අදහසිනි. අර්වින් පිස්කටර්, ව්ලදිමීර් මයකොව්ස්කි හා ව්සේවෝලඩ් මෙයර්හෝල්ඩ්  විසින් මුලින්ම යොදා ගත්තේද  මේ ක්‍රමයයි.



මුල මැද  සහ අගක් මෙන්ම වෘත්තාන්තයක් ද නැති බ්‍රෙෂ්ට් නාට්‍ය කලාවේ එපික් තියෙටර් සම්ප්‍රදාය මෙන් "පොල්කට්ටෙන් එපිටට "  පොතේද මුලක් අගක් හා මැදක් නැති බව විජිත ගුණරත්න පැවසීය. ඕනෑම තැනකින් ලිපියක් තෝරා කියවා  ඒ දෙස, කතුවරයා ගෙන් වියුක්තව,  විවේචනාත්මක ඇසකින් බලන්න යයි ඔහු තව දුරත් පැවසිය.

"පොල්කට්ටෙන් එපිටට " කියවීමේදී බොහෝ විට ඇත්තේ කතුවරයාගේ අත්දැකීම් ඇසුරෙන් කිසියම් සංසිද්ධියක් ගැන විස්තරයකි. එහිදී ඔබ කතුවරයා පිලිබඳ බැඳීමක් ඇති නොකර ගත යුතුය. ඔබට ඇත්තේ ඒ පිලිබඳ විවේචනාත්මකව බැලීම හා හේතුවාදී ලෙස විග්‍රහ කිරීමය.

මේ ආකාරයේ නාට්‍යයක පිළිඹිබු වන්නේ යථාර්ථයේ නියෝජනයක් මිස යථාර්තය නොවේ. පොතේ අදහස් ද යථාර්ථයේ නියෝජනයක් පමණි. එහි අවසන් පරිච්චේදයේ පියා ගැන විවරණය හුදෙක් සංවේදී ලෙස බැලීමට වඩා කිසියම්  සුළු සිද්ධියකින් ඔබේ ජීවිතය වෙනස් වූවාදැයි බැලීම වටී. ඔබ එවැනි සිද්ධියක පාත්‍ර වර්ගයාගෙන් අයෙක් වූයේ ඇයි දැයි සිතුවේද?

කතුවර චූලානන්ද සමරනායක මහතා  ඒ (පියා ගැන)  ලිපිය තෝරා  ගැනීමේදී සිහිපත් කල සිද්ධියක් විය. ඔහු අත් අඩංගුවට ගත් අවස්ථාවේ අපිරිසිදු වැසිකිළියක දම්වැලකින් බැඳ සිටිය අයුරුත් ඉන්පසු එම වැසිකිලියටම "අත්  අඩංගුවට ගන්නා ලද පොත් "  ද භටයන් විසින්  "ගාල් " කල අයුරුත් මට පැවසීය. වැසිකිලියේ දම්වැලින් බැඳ සිටියදී ඔහු ඒ සියලු පොත් කියවූ අතර "මේ පොත් කියවන්නා  " දෙස  සානුකම්පිතව බලන හා එයට වක්‍රාකාරයෙන්  උදව් දෙන භට පිරිස පිළිබඳවද ඔහු දැනුවත් විය. ඔහුගේ ජීවිතය වෙනස් වීම සඳහා අඩිතාලම දැමුනේ එතැනින්ද? එය වෙනස් ආකාරයකින් විග්‍රහ කිරීමට අපට හැකිද?

එසේම කියුබාව සමාජවාදීද යන්න හෝ මාක්ස් ඇත්තටම ආගම අබිං කීවා ද යන්න ඔබම විමසිය යුතුය. පුටින් හා එර්ඩොගන් එකම කාසියක දෙපැත්ත බව ඔබට වැටහේද? විජේවීර හා ප්‍රභාකරන් එකම කාසියක දෙපැත්තද?  මහින්ද හා රනිල් එකම කාසියක දෙපැත්තද? මේ දෙයාකාරයට අනිත් ප්‍රතිවිරෝධය නැතුව පැවතිය හැකිද? රුසියානු යුධ බලය නැතුව නැටෝවට පැවතිය හැකිද?

 මෙහිදී බ්‍රෙෂ්ට් විසින් ඉදිරිපත් කල වේදිකාවේ රංගන ක්‍රියාවකට අදාළ "නිර්මාණාත්මක ක්‍රියාවක් නිපදවී ඇත්තේ තවත් එවැනිම ක්‍රියාවකට  ප්‍රතිවිරෝධයක් පෑමේ ආශාව (desire) නිසාය "  යන්න පොතෙහි භාවිතා විනිද යන්න සොයා ගැනීම කියවන්නාට භාරය.

පොත් එලි දැක්වීම අවසන් වුයේ වළා පටල  චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමෙන් හා සියල්ලෝම එක්ව මිදී යුෂ (wine) පානය කරමින් ගී ගැයිමෙනි.  මුලින්ම ගැයුනේ සෞන්දර්යවාදී හා ජනප්‍රිය නාට්‍ය කලාවේ පසිඳු ගීත වන "ප්‍රේමයෙන් මන රන්ජිත වේ  නන්දිත වේ "

හා "සෝභාව දේ" යන ගීතයන්ය. 

සමිස්දාත්: මමම ලියමි, මමම ව්‍යාකරණ  නිවැරදි කරමි, මමම වාරණය කරමි,  මමම බෙදා හරිමි. මමම ඒ වෙනුවෙන් සිරයේ ලගිමි. - ව්ලදිමීර් බුකොව්ස්කි

ව්ලදිමීර් බුකොව්ස්කි යනු සෝවියට් රජය විසින් සිර ගෙට යැවූ නිදහස් මතධාරියෙකි.

"Samizdat: I write it myself, edit it myself, censor it myself, publish it myself, distribute it myself, and spend jail time for it myself "- Vladimir Bukovsky 

ඡායාරුප -බුද්ධික සුදර්ශන