Sunday 22 May 2016

සමාජවාදය එළඹෙන තුරු උදව් නොකරමු - රජය අහෝසි වී යාමට ඉඩ නොදෙමු

සමාජවාදය යයි කියා රාජ්‍ය ධනවාදය කර පින්නා  ගත් රටවල් බොහොමයක් දියවී ගියහ.  ඉතිරිව ඇත්තේ උතුරු කොරියාව, චීනය හා කියුබාව පමණකි. රාජ්‍ය ධනවාදය ගැන මා මුල් වරට කතා කලේ අරුණි ශපිරෝ ගේ බ්ලොගයේ 2012 පමණ දීය. කාල් මාක්ස් ගේ දාස් කැපිටාල් කෘතියට බෝවෙර්ම් බර්ක් ගේ අදහස් මගින් කල විවේචනයකට දුන් පිලිතුරකදී එය සඳහන් කලෙමි.

රාජ්‍ය ධනවාදය යනු රජය විසින් ශ්‍රමිකයා සූරා කමේදී ඇතිවන තත්වයයි. බොහෝ විට දියුණු ධනවාදී රටකට වඩා දරුණු ලෙස සමාජවාදී රටවල ශ්‍රමිකයා  හෙවත් තමන් ට වැඩ කරන අය ගේ මුදල් බදු හරහා මෙන්ම අඩු පඩි හරහාත් සූරා කෑහ. ඉහල නිලධාරීන් නොයෙකුත් දුෂිත ක්‍රම මගින් තම ආදායම සරි කර ගත්හ.  පහල නිලධාරීන් ද එය අනුගමනය කළහ.

ධනවාදය වෙනුවට රාජ්‍ය ධනවාදය පිහිටුවීමේ තේරුමක් නැති බව වටහා ගත්  ටිටෝ යුගෝස්ලාවියාවේ නිර්මාණශීලි ජනතාවට සුළු පරිමාණ වෙළඳාම් හා කර්මාන්ත ක්‍රමයක් හඳුන්වා දුන් මුත් ඔහුගේ ඇවෑමෙන් එය කඩා වැටුණි.

මහජන චීනය එළිපිටම රජය සමගම ධනවත් සමාගම් පිහිටුවීම මගින් ක්‍රමය වෙනස් කරගෙන තිබේ. නමුත් එහි ශක්තිමත්ම බලය ඇත්තේ රාජ්‍යය හා පක්ෂය අතය.

රාජ්‍යය අහෝසි වී යා  යුත්තේ කිනම් අවධියකදී ද ? එය වියැකි යායුත්තේ නම් ඒ බලය මාරු විය යුත්තේ කා  හටද?

මට මේ සියල්ල  මතක් වුයේ w3ලංකා බ්ලොගයේ මේ ලිපියට අරුණ පෙරේරා දැමු ප්‍රතිචාරය කියවිමේදීය.
//මට හිතෙන්නේ මේ අත්‍යාවශ්යම අවස්තාවේත් සමහරුන්ගේ අදහස් පටු දේශපාලනිකයි සහ න්‍යායත්මකයි කියලා. ආපහු පට්ට ගහන තියරි ටික ගංවතුරත් එක්ක එලියට ගේනවා. මීඩියා කාරයෝ දන්නවා උන්ගේ ගේම. පක්ෂ දන්නවා උන්ගේ ඇජෙන්ඩා එක. හැබැයි මේ මොහොතේ කන පරිප්පුවට ඔය කිසිම මගුලක් අදාල නැහැ. බඩගින්නට පාන් බාගයක් ඕන මිනිස්සුන්ට, සමාජවාදය හැදෙනකම් ඉන්න කියනවාට වඩා රතු කොඩියක් හෝ රතු ලන්කට් එකක් ගහගෙන හරි වැඩේට බැහපු එවුන් පිලිබඳ විවේචන තියෙන්න බැහැ. එතන තියෙන්නේ දේශපාලනික කුහකත්වය. සමාජවාදී සුපිරි රාජ්‍ය ගොඩනගනකම්, ඔලුවට උඩින් වතුර ගලන කම් බලා ඉමු. මලවුන් අතරින් නිර්මානය වෙන ඒ රාජ්‍යයේ අපි ස්විමින්ග් සූට් ඇඳන් පීනමු. පීනන ගමන් මැරිච්ච එවුන්ට රතු රෙදි අන්දලා ජීවිත පුදකරපු එවුන්ට දිනයක් වෙන්කරමු. දාස් කැපිටාල් එකේ හරි පිටුව හොයාගන්නකං තොපි ගිලිලා මැරියවු.//
- අරුණ පෙරේරා

 මේ ලිපියට විරුද්ධ අදහසක් දරන  ලිපියක් ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවී තිබේ. මගේ මිතුරෙකුද ෆේස්බුක් හි පින්තූරයක් හා ලිපියක් බෙදා ගෙන තිබුණි. සිරස, දෙරණ වැනි මාධ්‍ය මේ ගංවතුර විපත උපයෝගී කර ගනිමින් තම ආයතන වල ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමට කරන ක්‍රියා මාර්ග එහි විවේචනය කර ඇත. පල කර ඇත්තේ විවර නිව්ස් ය.   නමුත් පින්තුරයේ ඇත්තේ ජවිපෙ නායකයෙක්ය. 

මෙහි තක්කඩින් වශයෙන් බැණ  වැදී ඇත්තේ සිරස ඇතුළු මාධ්‍ය ජාලයටය. නමුත් ඡායාරූපයේ සිටින්නේ ජවිපෙ නායකයෙකි.  මෙහිදී සිරස අයිති කරුට  බනින ගමන්ම වෙබ් අඩවිය සියුම් පහරක් තමාගේ මහා අනිකාට ගසා තිබේ.

මා මෙහිදී ඇසුවේ මෙවැනි ප්‍රශ්නයකි. 2004 දී සුනාමියේදී කුමාර් ගුණරත්නම් මහතා ද නායකයෙකු වශයෙන් සිටි ජවිපෙ රතු තරුව සංවිධානය මෙවැනි උදව් කලේ නැත්ද යන්නය. එසේ නම් එදා එය වැරැද්දක් නොවුයේ ෆේස්බුක් එතරම් ජනප්‍රිය නොවුණු නිසාද? නමුත් පුවත්පත් වල විස්තර ගිය අතර එය වැරැද්දක් හැටියට මම නොදකිමි.  ජවිපෙ යනු පාර්ලිමේන්තුවාදී පක්ෂයකි.  චතුරිකා සිරිසේනට, නාමල් රාජපක්ෂට, හිරන්ති රාජපක්ෂට , සුජීව සේනසිංහට, දහම් සිරිසේනට හොඳ නම් ජවිපෙට එය නොකිරීමට හේතුවක් නොමැත. පාර්ලිමේන්තුවට යාමට ඡන්ද අවශ්‍යය.  ඡන්දයට නොඉල්ලන කුඩා පක්ෂ වලට මේ දෙය කිරීමේ තේරුමක් නැත.

ත්‍රිමාණ වෙබ් අඩවියේ වසන්ත මහතා අර්ථ දක්වා ඇත්තේ මේ mass hysteria තත්වයක්  තුල ඇතිවුණු  mass altruism එකක් බවයි. මේ ආස්ථානයන් දෙකෙහිම කිසියම් වැරැද්දක් මම දකිමි.

ඔහුගේ ඉහත අර්ථ දැක්වීම මෙන්ම විවර නිව්ස් අර්ථ දැක්වීමද සිහියට නගන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අත ඇත්තෙක් ගිලෙන්නෙකු ගේ ඡායාරුපයක් ගැනීමටය.

ආපදාවේ  මුල් දින කිහිපයේ රජය නොව ආධාර දීමට හා තම අසල්වැසියා රැක ගැනීමට ඉදිරිපත් වූයේ සහෝදර ජනතාවය . ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කරමින් ඔවුන් සංවිධානය වූහ. රජයට කලින් මාධ්‍ය වලට කලින් ඔවුන් ගේ සංවිධානය වීම බුකියට පින්තුරයක් දැමීමට යයි කීම මේ තත්වය ඉතා ලඝු කොට ගැනීමකි. පින්තූරය රැගෙන වුවත් උදව්ව කෙරී තිබුණි.

මහත්වරුනි, කාල් මාක්ස් කිවේ ධනවාදීන් ගේ කාර්යයන් සඳහා පමණක්ම රාජ්‍ය බලය පවතින්නේය යන්නය. ඔහුගේ අදහස වුයේ පසු ධනවාදී සමාජයක රජය අහෝසි වී යා හැකි බවයි. ( "The executive of the modern state is but a committee for managing the common affairs of the whole bourgeoisie." )
ඉතින් මහත්වරුනි, මිනිසුන් රජයක් තමන් පාලනය කරන බව අමතක කර තමන් සංවිධානය වන විට ඔබ බිය වන්නේ ඇයි? රජයේ මැදිහත්වීම ඉල්ලා හඬන්නේ ඇයි?

එංගලන්තයේ හා ග්‍රීසියේ මොමන්ටම් සංවිධානය මෙන්ම නගර චතුරශ්‍ර වල හිඳගෙන විරෝධය පෑමේ සංවිධානද ගොඩ නැගුනේ සමාජ ජාල, වෙබ් අඩවි  හා බ්ලොග් අඩවි  හරහාය.

මා නිරීක්ෂණය කල දෙවැනි කරුණ නම් රජය උදව් නොකරනවා  යනුවෙන් විවේචනය කරන බොහෝ අය හමුදාව විසින් කරන ආධාර දීමේ කටයුතු පිලිබඳ වාර්තා ඉතා කැමැත්තෙන් ලයික් දමමින් ෂෙයාර් කරන බවය. මමද නාවික හමුදාව, ගුවන් හමුදාව හා යුධ හමුදාවේ එවන් කටයුතු ගැන පලවූ ඡායාරුප වලට ලයික් දැමුවෙමි. (මේ නැත්නම් හොඳ නෑනේ යන හැඟීමෙනි. එනම් කවුරුන් කළත් හොඳ වැඩක් නම් අගය කරමු න්‍යායෙනි.)

2009 නන්දිකඩාල් වලින් අවසන් වූ යුද්ධයේ ජයග්‍රහණය පිලිබඳ ගෞරවය ලැබුනේ දේශපාලන බලයකටය. දේශපාලන නියෝජනයටය. හමුදාවට නොවේ.  හමුදාව  රණ විරුවන් වූවා පමණි. නමුත් මේ ආපදා  සමයේ හමුදාවේ ක්‍රියා ජනතාව (බුකියේ ජනතාව හා නිව්ස් වලින් පෙනෙන පරිදි) හමුදාවන් ගේ ස්වාධින ක්‍රියා වශයෙන් පිලි ගත්තා මිස ඔවුන් (හමුදාව)  රජයේ නියෝජිතයන් බව පිළි ගත්තේ නැත. රජය කිසිවක් නොකළේ යයි කියන අයද හමුදාවේ පින්තුර බෙදා ගත්හ. මෙය අපූරු තත්වයකි.

   මේ හැම දෙනාම හදිසියේ ම  මේ රජය නොව හමුදාව යයි සිතුවේ කෙසේද? හමුදාවන් යනු රාජ්‍ය බලයේ (executive) නියෝජිතයන්ය. රාජ්‍යය වෙනුවෙන් ඔවුන් ගේ වගකීම හිරිහැරයට පත් ජනතාවට  උදව් කිරීමය. එය රාජකාරියයි. අවාසනාවට ජනතාව ඝාතනය කිරීම ද ඒ රාජකාරියටම අයත්ය.  හමුදාව කලින් කලේ එයයි. ඒද රජයේ නියෝගය පරිදිය. මා  මේ සඳහන් කරන්නේ  රජයට විරෝධය එල්ල කළ අවි අතට ගත්
සංවිධාන වල සාමාජිකයන් සමග සටන් කර ඔවුන් ඝාතනය කිරීම  ගැන නොවේ. එය නිත්‍යානුකුලව  රජයේ හමුදාවක් ඉටු කරන හෙවත් රජයේ ආධිපත්‍යය පතුරුවලීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයකි.  ලෝකයේ ඕනෑම රටක එය එසේය.


මේ ආපදාවන් පිලිබඳ  ස්වයං සංවිධානය මෙතනින් නතර වී නොමැත.  පශ්චාත් ආපදා කාල සීමාව සඳහාද ඔවුන් සංවිධාන ගොඩ නංවති. ගං වතුරෙන් පසු නිවෙස් වල රැඳෙන කුණු කසල ඉවත් කරන්නට උදව් වීමට ස්වේඡාවෙන් ඉදිරිපත් වෙති .

මේ ශ්‍රමදාන වැඩ පිලිවෙළම  බයිකල් අමුර් දුම්රිය මග ගොඩ නැංවීමටද සෝවියට් ජනතාව ක්‍රියාත්මක කළහ.  ආඃ, මට අමතක වුනු කරුණක් තිබේ. එය පක්ෂය විසින්  සංවිධානය කරන ලද්දකි. (ස්වේඡා සේවකයන්ට පසුව මුදල් ගෙවන ලදී). පක්ෂය විසින් සංවිධානය වී රාජ්‍යයේ අනුග්‍රහයෙන් කිරීම මිස ජනතාව තමන්ම සංවිධානය වී ක්‍රියා කිරීම මාස් හිස්ටිරියාවකි. දැන ගත්තේ ලඟදිය.

 උදව් කරන්න යයි ඉල්ලා එවුනු ෆේස්බුක් හරහා පණිවිඩයක අතහිත නැමති වෙබ් අඩවියක් ගැන දක්වා තිබුණි. ඒ තමන්ගේ පොත් පත් හා අධ්‍යාපන සටහන් ගංවතුරෙන් විනාශ වුනු  සිසුන් ගේ උපකාරයට නිර්මාණය කරන ලද වෙබ් අඩවියකි. ඒ හරහා සංවිධානය වී ඔවුන්ට අවශ්‍ය සටහන් පිටපත් කර දෙන්නට , නිදහස් අධ්‍යාපනයට සහයෝගය දෙන්නට ඉදිරිපත් වීමකි. එසේ ඉදිරිපත් වන ඇතැමෙක් පෞද්ගලික විදුහල් වලින්ය.

ඊළඟට  එන උපද්‍රවයකදී මෙතනින් නොනැවතී රජය සතු ශාලා, ගබඩා, යාන  වාහන ද මේ සන්ධානය වන ජනතාව විසින් පවර ගත හොත් කුමක් වේද?.  විශේෂයෙන්ම දේශපාලකයන් ගේ වටිනා යාන වාහන ආදියද, . තමන් ගෙවූ බදු මුදලින් ගත් ඒවා නිසා ඒවා අයිති මිනිසුන් විසින් බලහත්කාරයෙන්  ඒ වාහන අත්පත් කරගෙන  මේ ආධාර බෙදා දීම ආදියට යෙදුවොත් කුමක් සිදු වේද?

අවාසනාවකට මෙන් ලංකාවේ වාමාංශික  පක්ෂ මෙන්ම රජයේ හා විපක්ෂ දේශපාලකයන් ද සිටින්නේ තරුණ පිරිසට ගව් ගානක් පිටුපසින්ය.

බස්සිගේ මේ වචන ස්වල්පයෙන් ලිපිය හමාර කරමි. උපුටා ගත්තේ ෆේස්බුක් එකෙනි.

//ඉවසලා ඉවසල බැරිම තැන මේ ටික කියන්නෙ.
අනිත් මිනිස්සු වෙනුවෙන් තම තමන්ට පුළුවන් capacity එකේ වැඩ කරන මිනිස්සුන්ගෙ සේවය හෑල්ලු කරන හාන්සිපුටු විචාරකතුමාලා, ප්ලීස් උණුවතුර ටිකක් බීලා නිදාගන්ඩ.
අරූ ඕක කරන්නෙ නම අප් කරගන්ඩ, මේකිලා ඔය සහන සේවෙට බැස්සෙ තමන්ගෙ සංවිධානෙට ලකුණු දාගන්ඩ වගේ අනුන්ගේ ඇජෙන්ඩා දිවැසින් දැක්ක වක්තෘ මහත්තුරු නෝනලා, වැඩක් නැත්නං කටපියාගෙන ගිහින් ස්වප්නා බලන්ඩ.
වතුර බහින්ඩ ගත්තු වෙලේ ඉඳන් කැමරා කරේ තියන් කන සාක්කුවෙ වැටෙන්ඩ බීලා ඩිසාස්ටර් වොචින් යන පොස් නෝනා මහත්තුරු මිනිස්සුන්ගෙන් ගල් පාරවල් නොවදින්ඩ කෝකටත් කියලා හෙල්මට් බොඩි ආමර් ඇඳගෙන යන්ඩ.
මේ මිනිස්සු ක්ෂුද්‍ර පරිමාණයෙන් තමන්ට පුලුවන් දේ කරන්නෙ එයාල මහ දානපතියො නිසාවත්, ඕනෙ තරම් ෆ්‍රී ටයිම් තියෙන්න ජොබ්ලස් නිසාවත් නෙමෙයි. "අච්චරක් ස්පෙන්ඩ් කරන්න බැරි මොකද?, මෙච්චර වෙලා ගිහිනුත් එච්චරද කලේ?, කොච්චර දුරට ප්ලෑන් එක හැදුවද?" වගේ මරිමෝඩ ප්‍රශ්ණ අහලා ඒ මිනිස්සුන්ගේ මූඩ් කාබාසිනියා කරන්නෙ නැතුව, වෙන වැඩක් ඇත්තෙම නැත්තං ගිහිං වත්ත පහල කංකුං ටිකක් හිටවගන්ඩ.// - බස්සි 

47 comments:

  1. මේ අවස්ථාවේ දී අපට කළ හැක්කේ මුදල් ආධාර දීම පමණයි. මා කිහිප දෙනෙකුට පණිවිඩ දැම්මා.

    වසර කිහිපයකට පෙර මෙහේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මහා ගංවතුර ව්‍යවසනයක් ඇති වුණු වෙලේ පොලිටික්කන් ගොස් අස්පස් කිරීම්වලට උදව් දෙනවා ඡායාරූප පළවුණා. එහි වරදක් නෑ, කිසිවෙකු සිනාසෙනවා මා ඇසුවේ නෑ.

    ඊළඟට රජය කළේ වන්දි ගෙවීම් සහ නැවත ගොඩ නැගීම් උදෙසා රටේ සැමටම බද්දක් පැනවීමයි.
    https://en.wikipedia.org/wiki/Flood_levy

    ඊට පෙර සුළි සුළඟකින් එක් ප්‍රදේශයක් විනාශ වී ගිය අවස්ථාවේ ඒ නගරය ගොඩ නැගීමට රජය පත් කළේ හමුදා නායකයෙකු වුණු පීටර් කොස්ග්‍රෝවයි. ඔහු තමයි දැග් රටේ නාමික නායකයා හෙවත් අග්‍රාණ්ඩුකාරයා.
    https://en.wikipedia.org/wiki/Cyclone_Larry

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩ පිළිවෙලක් දැන්වත් හදන්න ඕනේ.

      Delete
    2. ඊළඟට රජය කළේ වන්දි ගෙවීම් සහ නැවත ගොඩ නැගීම් උදෙසා රටේ සැමටම බද්දක් පැනවීමයි.//

      හනෙ අම්මෝ.. මේ කකා... මේ ආණ්ඩුවට ඇහෙන්න බදු කියන නමවත් කියන්න නං එපා.. කියන තැනකට වඳින්නං... පෙරුං පුරල ගේ හදන්න පටං ගත්ත.. මුන්ගෙ මේ බද්ද නිසා යකඩ කම්බියක් කෙලින්ම රැපියල් 20කින් වැඩි වෙලා... අනිත් ඒවත් එසේමයි....

      Delete
    3. ගිය ආණ්ඩුවෙන් ගත්ත නය ගෙවන්න නේ කව්ශී. අනුකම්පා කරල ගෙවල දාන්න

      Delete

  2. ඊළඟට එන උපද්‍රවයකදී මෙතනින් නොනැවතී රජය සතු ශාලා, ගබඩා, යාන වාහන ද මේ සන්ධානය වන ජනතාව විසින් පවර ගත යුතය. විශේෂයෙන්ම දේශපාලකයන් ගේ යාන වාහන ගත යුතුය. තමන් බදු ගෙවා ඇති නිසා ඒවා අයිති මිනිසුන්ටය. ඒවා රැගෙන මේ ආධාර බෙදා දීම ආදිය වඩා හොඳින් කළ යුතුය


    කඩේ යාමක්ද , කුකුල්ලු කෙටවීමක් ද , ලකුණු දාගැනිමක්ද,--- යාය ප්‍රචාරයක්ද , බස්සි කිව්වා වගේ අනාගත ආයෝජනයක් ලෙස වත්ත පහල කන්කුන් හිටවා ගැනීමක්ද
    අජිත් ඔබ මේ කරන්නේ

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්.
      1. මේ කැළණි ගඟ උතුර යාම පවතින්නේ මම ලංකාවේ හිටි කාලේ ඉඳන්. ඒ වස් වල ආර් ආර් සමරකෝන් මහතා ගේද කොහෙද "කැළණි පාලම" කියල නාට්‍යයක් තිබුණා ඒ මිනිසුන්ගේ දුක ගැන කියා. කිසිම රජයක් ෆ්ලඩ් ඩිෆෙන්සස් කරනන් කියල කිසිම දෙයක් කලේ නැහැ අද වෙනතුරු.
      2. ඔය ඉන්න අර ආණ්ඩුවෙන් මේ පැත්තට පැනපු ගෙඹි මහතාව රිටයර් කරලා ආපදා අමාත්‍යංශය හොඳ කෙනෙකුට භාර දෙන්න. රට පුරා ආපදා මධ්‍යස්ථාන හදල ගං වතුර එන තැන වල flood defences හදන්න. අර මුඅදලක් පිහිට වන්න. සුනාමියෙන් පස්සේ කලානේ සමහර වැඩ ටිකක්. නමුත් ආපදාවක් ආපු වෙලේ ඉඳන් රට අරාජිකයි. දවස් ගානක් යනවා වැඩක් කික් වෙන්න.
      3. ඔය රසික ඉහල කියල තියනවා වගේ බ්‍රිතාන්‍යයේත් ගැන වතුර එනවා. ස්වභාවික විපත් නේ. හැම අවුරුද්දෙම ඒවා හොයල අලුත් වැඩ පිලිවලවල් ක්‍රියාත්මක කරනවා. මිනිස්සු දුව දුව උදව් කරන්න ඕනේ නැහැ. ඊට අදාල ආයතන වහාම වැඩ පටන් ගන්නවා. මිනිසුන් උදව් කරනවා කැමති අය. ඒ වගේ ක්‍රමයක් මේ රජයට හදන්න පුළුවන්. මහා ලොකු දෙයක් නෙමෙයි නේ. දැන් ලැබෙන ආධාර වලින් හරි කරන්න පුළුවන්. නැත්නම් වෙන්නේ ඔය මම කියපු එක. මේ කරලා තියෙන්නේ සුළු අනතුරු ඇඟවීමක්.
      3.යාය ප්‍රචාරය - අපෝ නැහැ. කොළඹ ගමයා ගේ දේශපාලන අදහස් කොළඹ ගමයාගේ මිස යායේ නොවේ. යායේ හැම අදහසකටම ඉඩ ඇත. ඕනෑම දේශපාලන අදහසක් (මිනිස්සුන් මරන්නට කියන්නේ නැත්නම් විතරක් ) යායේ පල කෙරේ. ලියා එවන්න.

      Delete
  3. මේ ආපදා තත්වය ඉතා පුළුල්ව කාලීන සංවාදයක් ලෙස බ්ලොග් ලෝකය පුරාම පැතිරී තිබීම හොඳ ලක්ෂණයක්. මමත් අද ලිපියක් පළකලා.

    මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය ඉතා හොඳයි, හිටපු යුද හමුදා සාමාජිකයෙකු වශයෙන් ඔබට අත් දැකීම් තිබෙනවා නේ.

      Delete
  4. මනා සම්බන්ධීකරනයකින් මේ වගෙ වැඩ කරන්න රාජ්‍යයක් අවශ්‍ය නති තරම්.

    මාක්සාගමේ තියන විදියට රාජ්‍ය අහෝසිවීම කොහොමවුනත් රාජ්ය තවදුරටත් තහවුරු වීමයි ඊනියා සමාජවාදී රටවල වුනේ. ඒවගේම සූරාකෑම වඩා දරුනු වුනා. මාක්ස්ගෙ පොත ක්‍රියාවට නංවන්න ගිය ලෙනින්ලගෙයි වරද. මට නම් මාක්ස්වාදය කියන්නෙ මර්ධනකාරී රාජ්‍ය තන්ත්‍රයක් නිර්මානය කරන සත්වයෙක්.මා එයට විරුද්ධ ඒ නිසයි.

    සමාජයේ තියන පීඩාකාරී පිරමිඩාකාර ව්‍යුහයන් දුර්වල වී සමාජය ශක්තිමත් ස්වයංපෝශිත කන්ඩායම් රැසක එකතුවක් වීමයි අවශ්‍ය වන්නෙ.එය ක්‍රමානුකූලව සිදුවිය යුත්තක්. එය සපත්තුවෙ හැඩයට කකුල කැපීමක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදය එකිනෙකා වටහා ගන්නේ වෙනස් විධියට. තවත් දර්ශනයක් විධිහට අරගෙන හැදෑරුවම හරි. හදාරන්නේ නැතුව වීවෙචංඅය් අක්රන් එක තේරුමක් නැති දෙයක්. //සමාජය ශක්තිමත් ස්වයංපෝශිත කන්ඩායම් රැසක එකතුවක් වීමයි අවශ්‍ය වන්නෙ// එකඟයි.

      Delete
    2. හිටපු ගමන් මේ ලියන අකුරු හොල්මන් වෙලා යනවා. සමාවෙන්න. කියන්න ඕනෙ වුනේ හදාරන්නේ නැතුව විචේචනය කරන එක තේරුමක් නැති දෙයක්.

      Delete
  5. "විචාරක" "අරූ" ? මුන් මේ දාගෙන ඉන්න නම් නිසා නිදහසේ මොනවත් ලියන්නත් බෑ අපිට. අපහාසකරයි කියයි, බයයි:-D

    ගංවතුර හා ආපදා නැරඹීමේ චාරිකා නිසා පාරවල් අවහිරවීමත් අතුරු විපතක්.වතුරට කොටුවෙලා හිටපු මිනිස්සු දැන් ට්‍රැෆික්වලට කොටුවෙනවා

    ReplyDelete
    Replies
    1. මං දවස් දෙකක් එලියට යන්න බැරුව හිටිය වතුරට බහින්නෙ නැතිව. දැන් වාහනයකින් එලියට ගියාම ආපහු ගෙදරට එන එක ප්‍රශ්නයක් සංචාරකයින් නිසා

      Delete
    2. ඔය සංචාරකයන් ගෙන් චාර්ජ් කරන්න.

      Delete
  6. අජිත්ගේ ලිපියේ ලින්ක්ස්වල ඇති ලිපි කියෙව්වා. ඒ ලිපි ලියු දෙපලම ව්‍යංගයෙන් හෝ කියන්නට තටමන්නේ ආධාර බෙදාදීම සඳහා ජවිපෙ මැදිහත්වීමයි. මේ දෙදෙනාටම මේ ක්‍රියාවලිය තුල රජයේ මැදිහත්වීමේ දුර්වලතාවයන් ගැන වගේ වගක් නැත. ගංවතුර අස්සේත් තම දේශපාලන කුහකකම් එලියට දාගන්නේ විලි ලැජ්ජාවකින් තොරව වීම කනගාටුවකි.

    ජවිපෙ සම්බන්දව මගේ කියවීම කෙසේ වෙතත්, දන්නා කාලයේ සිට ආපදාවන්හීදී ඔවුන් දැක්වූ දායකත්වය පටුවෙන් සලකන්නේ නම් ඒ තරම් කුහකත්වයක් තවත් තිබිය නොහැක. අන් කිසිම දේශපාලන පක්ශයකට ඔවුන් තරම් ඉක්මනින් සංවිධානය වීමේ හැකියාවක් නොමැතිබව මගේ අදහසයි. සමහරුන්ට ප්‍රශ්නයවී තිබෙන්නේ රතු කොඩි සහ රතු කමිසය. මා දන්නා කඩුවෙල ප්‍රදේශයේ මිනිසුන් නම් කියන්නේ රතු කොඩි බැරිනම් සුදු කොඩි දැම්මත් වැඩේ වෙනවානම් කාටවත් ඇති රුදාව කුමක්ද යන්නත් ඔවුන්ට ඒ වෙනුවෙන් ස්තූති කලයුතු බවත්ය.

    සමාජසේවා සඳහා දායකත්වය දැක්වූ පමනින් ඡන්ද ලබාගත හැකිනම් අද ජවිපෙ ලංකාවේ අංක එකේ දේශපාලන පක්ශය විය යුතුය. එය එසේ නොවේ. අපේ මිනිසුන් ඡන්දය දෙන්නේ වෙනත් අරමුණු සාක්ශාත් කරගැනීමේ චේතනාවෙනි. ජෙප්පෝ මෙය වටහාගෙන තිබුනේ මින් බොහෝ කලකට පෙරය.ආපදාවට ලක්වූවන් එම නිසා ඔවුන්ගේ මේ මැදිහත්වීමට ගරු කරනවා හැර ඔවුන්ට ඡන්දය ලබාදීමට ඉදිරිපත්වේ යැයි ජවිපෙ පවා නොසිතන බව මට හැඟේ. එසේ සිතනවා නම් එය මුලාවකි. එම නිසා ඔය දෙඤ්ඤං බැටේ කියා හිතට එන දේවල්වලින් දමා ගැසීම යුක්ති සහගත නොවේ.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඒකමයි. තමනුත් උදව් කරනවා මිස රතු කොඩියක් හෝ රතු තරුවක් දමාගෙන යාම ප්‍රශ්නයක් කර ගත යුතු නැත.

      Delete
    2. පැරා ගැන නොදැනද අරූ.....

      Delete
  7. කවුරුන් හෝ මේ අවස්තා වලට මැහැදිහත් වී කටයුතු කරනවානම් ඔහුගේ දේශපාලනය,ජාතිය,රැකියාව හෝ හැකියාව වැදගත් නොවන බවයි මගේ අදහස.....දේශපාලුවා වේවා එන්ජීඕ කාරයා වේවා සමාජ සේවකයා වේවා සාමාන්‍ය ජනයා වේවා සියල්ලෝම ඒකහාසමානව වැදගත්වේ...අනික් කාරනේ වැඩක් කරද්දි බැනුම් අහන එක...අජිත් අයියට නන් ඒගැන හොදටම අත්දැකීම් ඇතිනෙ...හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. අපොයි මල්ලියේ බැනුම් අහනවා කෙළවරක් නැතුව. සමහර බ්ලොග් සයිට් වලට අඩිය තිබ්බ වෙලේ හිටන්. ඕව කව්ද ගණන් ගන්නේ. දෙයක් පටන් ගන්න අමාරුයි. කරගෙන යන්න ඊටත් අමාරුයි. ඒත් ඔයාල වගේ මිනිස්සු අපි අඳුර ගන්නේ නැහැනේ නැත්නම්.

      Delete
  8. මීඩියා කාරයින්ගේ බෙදිල්ල ගැන බොහෝ විවේචන තිබේ. ඒ ඔවුන් ප්‍රචාරය පිනිස මේ භාවිතාකරන බවයි. එය බොහෝ දුරට සත්‍යය විය හැකි මුත්, ඔවුන් මේ වෙනුවෙන් දක්වන දායකත්වය සහ කැපවීම පිලිබඳ කිසිවෙක් කතානොවේ. මෙවන් ආපදාවකදි තනි තනි මිනිසුන් හෝ කුඩා කංඩායම් වශයෙන් මේ මහා දැති රෝදය තුලට පිව්සීමට යා යුතු නොවේ. මේ නම් ඉතා සංවිදානාත්මක ක්‍රියාවලියකි. අපට කලහැකිවන්නේ පංමල්ලේ සිට ඩිමෝ බට්ටාගේ දමාගෙන හෝ ගෙන ගොස් බෙදාහැරීමේ ජාලය ශක්තිමත් ආයතනයන් වෙත කුඩා දැති රෝදයන් තල්ලු කරගෙන යෑමයි. එසේ නොවී අප මිනිසුන් ලෙස තනි තනියෙන් බෙදන්නට ගියා නම් තත්වය කුමක් වේද? වාහන තදබදයන්, අන්වශ්‍ය අපතේ යෑම්, වැනි අතොරක් නැති ගැටලු මතුවන්නේ මහා දැති රෝදයේ වැඩ කොටස කුඩා දැති රෝද හරහා කරන්නට යැමෙන්ය. මොන තරම් විවේචන තිබුනත් මේ අවස්තාවේ මාධ්‍ය ආයතන දැක්වූ දායකත්වය සහ කැපවීම ගැරහිය යුතු නොවේ.

    ආපදා සමනයවූ දිනයේ සිට මට බත් පැකට් එක දුන්නේ ජවිපෙ කියා ජවිපෙට කතිරය ගැසීමටවත්, මට වතුර බෝතලය දුන්නේ සිරසෙන් කියා සිරස චැනලය ඔබන්නටවත් ජනතාව පෙලඹේ යැයි කිසිවෙක් සිතා සිටීනම් එය මුලාවකි. සමහරුන් ජවිපෙට පහරගහනේ එය එසේ වේ යැයි උපකල්පනය කරමින් ඇතිකරගත් මනෝ භ්‍රාන්තියන්ය.. හොඳ දේට හොඳ කීමටත්, නරක විවේචනය කිරීමත් හැර අතට අහුවෙන හැම බෙට්ටක්ම ඇඟේ උලාගෙන ගඳයි ගඳයි කියමින් රටම ගඳ ගස්සවන්නේ කිසිම වැඩක් නැති නිකමුන්ය.

    ReplyDelete
    Replies
    1. //එසේ නොවී අප මිනිසුන් ලෙස තනි තනියෙන් බෙදන්නට ගියා නම් තත්වය කුමක් වේද? වාහන තදබදයන්, අන්වශ්‍ය අපතේ යෑම්, වැනි අතොරක් නැති ගැටලු මතුවන්නේ මහා දැති රෝදයේ වැඩ කොටස කුඩා දැති රෝද හරහා කරන්නට යැමෙන්ය. // එක හරි. අරුණ ඔබ දන්නවා මම ජවිපෙ දේශපාලනය සෑහෙන දුරට විවේචනය් කරන කෙනෙක් බව. ඒ මතවාදීමය වශයෙන් විතරයි. නමුත් තරහට පහර ගැහීමක් නැහැ. මෙතන මට හිනා ගියේ පහර ගැහීම කරන්නේ වෙන මානයකින් නිසා.

      Delete
  9. මමත් මෙල්බන් වල අපේ හිතවතෙක් කාරනා පාසැල් ලිපිද්ද්‍රවය උපකරණ ලබාදෙන වැඩ පිළිවෙලකට උදව් කළා . මගේ මුහුනුපොතේ පලකරලා ප්‍රචාරයක් දෙන්න හැදුවම ඔහු එය ප්‍රතික්ෂේප කළා... අපේ බ්ලොගර්ස් ලා "නලින් දිල්රුක්ෂ වැනි" සැහෙන්න මහන්සි වෙන බව පෙනෙනවා.. මටත් ඔය හඳුන්නෙත්ති ඉන්න පින්තූරයක් දමා මාධ්‍ය වලට බනින පොස්ට් එක දැක්කම හොල්මන් වුනා වගේ දැනුණා පස්සෙයි තේරුණේ බලාපොරොත්තු වුයේ මොකක්ද කියලා... හොඳ වැඩක් කරන ගමන් කුහකගති ඇති අයගේ ප්‍රකාශ වලට බයවී "නෑ මේ අපි නෙවෙයි කරන්නේ " කියා හැංගෙන්න අනවශ්‍යයි...

    ReplyDelete
    Replies
    1. එක මිනිසුන්ගේ කැමැත්ත. සමහරු ප්‍රසිද්ධියට ආසයි. සමහරුන්ට ඒක අවශ්‍ය නැහැ. එපමණයි.

      Delete
  10. කවුද බස්සිට උදැල්ල දාල තියෙන්නේ,,

    ReplyDelete
    Replies
    1. දන්නේ නැතෝ. බස්සිට යි බස්සටයි සපෝර්ට් එක නොදී කොහොමද?

      Delete
  11. // ඉතිරිව ඇත්තේ උතුරු කොරියාව, චීනය හා කියුබාව පමණකි// ප්‍රජාතන්ත්‍රවාදය කියා කෑ ගැහුවට, ලංකාවෙ තියෙන්නෙත් ඔය වගේම තත්වයක් නෙවෙයිද අජිත් අයියා...? වෙනසකට ඇත්තේ වෙන උන් පෙන්න පෙන්න කන අතරෙ, අපේ උන් නොපෙනෙන්න විදියට, පේන්න කෑමයි... මූණ ටීවි එකේ, පත්තරේ වැටෙනවනම් එච්චරයි....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලංකාවේ තියෙන්නේ භාග සමාජවාදය හා විකෘති ධනවාදය

      Delete
    2. මිනිස්සු රාජ්‍යයෙන් එළියේ සංවිධානය වෙලා වැඩ කිරීම (ගංවතුර ආධාර බෙදීම ) කියන්නේ රාජ්‍ය අහෝසිවිමද ? ධනවාදයේ මීලග face එක දේශපාලනය cooperate body එකට මාරු වෙන එක කියල වෙරුෆක්ස් කියනවා.

      https://yanisvaroufakis.eu/2016/05/07/on-the-future-of-capitalism-new-school-new-york/

      මේ වෙලා තියෙන්නේ shok එකක්ද.? ගංවතුරට කලින් සතියේ එකිනෙකාට බයෙන් අනෙකා ගැන සැකයෙන් සිටී හුදී ජනයා එකපාරම ගංවතුරත් එක්ක ගලාගෙන ආපු කරුණා දයා දියෙන් නෑවිලා තොග වශයෙන් උදවු කරනවා. උදවු කරන අය මාර අයද ? උදවු නොකරන, කරන්න අපහසු අය අලයෝ, අපතයෝද ?

      තව දවස් කිහිපයකින් ගංවතුර බැහැගෙන යනවාත් සමගම වියලි යන හුදී ජනයාගේ මහා කරුණාව සහ උඩට මතුවන 'අනෙකාට ගේම දීගෙන යන' උපයෝගිතා සමාජය ආයෙත් මතුවෙන්නේ ඇයි ?

      පිටරට මිනිසුන් පවා පුදුමයට පත්වෙනවා යැයි කියන ( ? ) මේ mass philanthropy සමාජයට තවමත් සමාජීය වශයෙන් ගොඩ එන්න බැරි උනේ ඇයි කියල පිටරට මිනිස්සු ප්‍රශ්ණ නොකරන්නේ අපේම වාසනාවටය.

      හැමෝම සහනාධාර දීම මැනේජ් කරන එක ගැන කථා කරනවා. ලබන වසරේ ගංවතුර එනකොට කොලබ ගමයා පොස්ටුව බලල ඒක හොදට මැනේජ් කරන හැටි ඉගෙනගන්න පුළුවන්. ඒත් වාර්ශිකව සිදුවෙන ගංවතුර නවත්වන්න හෝ පාලනය කරන්න නම් mass හිස්ටිරියා සුව කර ගන්න වෙනවා.

      මේ වෙන්නේ mass හිස්ටිරියා නෙමේනම් වෙන මොනවද ?



      Delete
    3. රාජ්‍යය අහෝසි වීමට ඔයිට වැඩිය ගොඩක් දේවල් වෙන්න තියනවා සරද. තුන්වන ලෝකයෙන් යන්තම් හිස ඔසවා ගෙන අධ්‍යාපන, සාක්ෂරතාවය හා සෞඛ්‍ය පැත්තෙන් සංවර්ධිත මට්ටමේ තියෙන රටකට රාජ්ජය අහෝසි වෙන්න කලින් තියෙන රාජ්‍ය ක්‍රමය හරියට හදා ගන්න වෙනවා. නමුත් රජය එකට අසමත් වුනොත් ස්වේච්ඡා ව්‍යාපාර ගොඩ නැගෙයි. ගං වතුර බැහැගෙන යනවා වගේ තමයි අරගල බැහැගෙන යන්නෙත්.
      කොළඹ ගමයා පොස්ටුව ට වඩා හොඳ පෝස්ටු ලියවිලා තියනවා ගංවතුර මැනේජ් කරන එක ගැන. මේක වැඩක් නැහැ. පක්ෂයකට පහර දෙන්න සමාජවාදය උපයෝගී කරගෙන ඇන ගනන්වට වඩා වෙරුෆාකිස් කියන එක අහගෙන ඉන්න එකනම් හොඳයි.
      සුනාමි කාලේ රතු තරුව හරහා කලෙත් mass හිස්ටිරියා වැඩක්ද? දැන්නේ තේරුනේ.

      Delete
    4. ah වරුඵකිස් ගෙන් ඇහුවනම් මේ ටිකත්:
      //එංගලන්තයේ හා ග්‍රීසියේ මොමන්ටම් සංවිධානය මෙන්ම නගර චතුරශ්‍ර වල හිඳගෙන විරෝධය පෑමේ සංවිධානද ගොඩ නැගුනේ සමාජ ජාල, වෙබ් අඩවි හා බ්ලොග් අඩවි හරහාය.//

      Delete
    5. //භාග සමාජවාදය හා විකෘති ධනවාදය// මේ අර්ථදැක්වීමටනම් මමත් එකඟයි.

      Delete
    6. @ SARADA...MASS HYSTERIA කියන්නේ COLLECTIVE BEHAVIOUR කියන අරුතෙන් ගත්තොත් ඔය ලෝකයේ බොහෝ අරගල, සටන් ව්‍යාපාර නිර්මාණය වෙලා තියෙන්නේම එහෙමයි. ජන්තාව එක් අරමුනක් වෙනුවෙන් එක් රොක්වීම තමයි ඔය සියලු අරගල පිටිපස්සේ තියෙන්නේ. ඒ කියන්නේ COLLECTIVE BEHAVIOUR වැරදියි කියන එකද? එදා සුනාමියේ වුනෙත් මේ දේම නේද? කුමාර මහත්තයා කරන කොට හරි වෙන්නත්, අනිත් අයට එය වැරදි වීමත් හරි අවස්තාවදී සුලුයි.

      මේ අවස්තාවේ අන්තරේ ශිෂ්‍ය ව්‍යාපාරය පවා ඔය මතුවී තිබෙන සාමුහිකත්වය සහ සහයෝගිත්වය හා බද්ධවී නිවාස පිරිසිඳු කිරීමේ ව්‍යාපාරයටවත් තල්ලුවක් දෙන එක තමයි කලයුතුවෙන්නේ. රතු කැප් බැරිනම් කළුපටි බැඳගෙන හරි ගේමට බහින්න කියලා පනිවිඩයක් යවපන් බං. උඹ කොහෙද අන්තරස්දාන වෙන්නේ හිටපු ගමන්?

      Delete
  12. කොහොමත් වැඩක් කරද්දී කැපවෙලා කරන්න කට්ටිය අඩු උනාට කරපු දේ ඇද හොයන්න නම් ඕන තරම් නෝනා මහත්තුරු ඉන්නවා. ඒක හැමදාටම එහෙමයි නේ.

    ReplyDelete
  13. හිස්ටිරියව කියන්නේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. දීප්තිගේ පොතක් තියනවා අරන් බලන්න.

      Delete
  14. අපි හරිම දියුණු ජාතියක්. ඒත් කාලය ගෙවෙන්න ගෙවෙන්නෙ අපේ මනසත්, හොද ගතිත්, ප්‍රතිපත්තිත් ගෙවිලම යනවා.

    ReplyDelete
  15. ගං වතුරේ සෙල්ෆි ගහපු උන්ට නම් එවේලෙම ෆ්ලෑෂ් ලයිට් පත්තු වෙන්නම වැදුනා...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. නිදහස නේ

      Delete
  16. 1. හදිසි ආපදා තත්වයකදී රජය සංවිධානාත්මකව මැදිහත්වී නැහැ කියන කරුණ පළමුව ප්‍රතික්ෂේප කරන්න වෙනව, පළමුව ජනතාවට සහන ලබාදුන්නේ සමාජ ජාල මගින්ද, මාධ්‍ය ආයතන මගින්ද රජයේ ආයතන මගින්ද යන්න සලකා බැලිමේදි මම දකින්නේ තමන්ට පුලුවන් පළමු අවස්ථාවේදීම රජය මැදිහත්වුනා කියල, මම සමාජ ජාල හා මාධ්‍ය හා අනෙකුත් සංවිධාන අවිධිමත්ව ලබාදුන් සහයෝගයන්ට අමතරව රජය විසින් විශාල කාර්යයක් සිදුකලා ප්‍රචාරණයකින් තොරව

    2. අපදා තත්වයකදී පළමුව කරන්නේ අවධානමට ලක්වී සිටින ජනතාව ආරක්ෂිත ස්ථානකරා රැගෙන එ්ම, ඒ සදහා අවශ්‍ය ඔරු බොට්ටු යොදාගනිමින් ආරක්ෂක අංශ, පොලිසිය, අපදා කළමනාකරන මධ්‍යස්ථාන හා ප්‍රාදේශිය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල කටයුතු කලා. සමහර පුද්ගලයින් තමන්ගේ නිවාසවල ආරක්ෂාව වෙනුවෙන් අනාරක්ෂිත ස්ථානවලම දින කිහිපයක් ගතකලා ඔවුන්ව ආරක්ෂිත ස්ථානවලට ගෙනඒමේ හැකියාව පිලිබද ගැටලුවකට වඩා තිබුනේ ඔවුන් ඒ සදහා පොළඹවා ගැනිමේ නොහැකියාවක්, එම නිසාම සමහර පුද්ගලයින්ට සහන සැලසීම විශාල බාධාවක් සහ අමතර වියදමක් සහ අවදානමක් ගතයුතු කටයුත්තක් වුනා,

    3. අපදාවට ලක්වී ආරක්ෂිත ස්ථානවලට පැමිණි ජනතාව වෙනුවෙන් සහ අනාරක්ෂිත ස්ථානවල සිරවි සිටින පුද්ගලයින් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සැපයිමේ හැකියාව රජයට තිබුන සහ රජයේ නිලධාරින් ඒ වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා කටයුතු කරමින් සිටිය. ඒ සදහා ජනතාවගෙන් විශාල ආධාර ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවලට ලැබුනා සහ රජය සතුව හොද යාන්ත්‍රණයක් තිබනා එය බෙදාහැරීම සදහා, එය අවතක්සේරුකරන බොහෝ දෙනෙක් එලෙස කරන්නේ රජයේ හැකියාව හෝ ශක්තිමත්භාවය පිලිබදව හොද අවබෝධයක් නැතුව කියලයි මම හිතන්නේ....

    4. ඇයි මාධ්‍ය ආයතන, දේශපාලකයින් සහ දේශපාලන සංවිධාන හා අනෙකුත් ස්වේච්ජා සංවිධාන මෙන්ම තනි තනි පුද්ගලයින් මෙවැනි තත්වයකදී ඉතා ඉක්මනින් ආධාර ලබාදෙමින් සංදර්ශනාත්මක කාර්යයවල යෙදෙන්නේ, මමනම් දකින්නේ එවැනි සංදර්ශනාත්මක කටයුත්වලින් කරන්නේ තමන් හොද මිනිහෙක් බව අනෙක් මිනිසුන්ට පෙන්වීමට උත්සහ කිරීම, ඇයි බහුතරයක් මිනිස්සුන්ට ප්‍රදර්ශනාත්මක නොවි ආධාර සහ උපකාර ලබාදීමට කටයුතු කරන්නට බැරි, අපි ආධාර බෙදනවා සහ සහන සැලසීමට කටයුතුකරමින් සිටිනවායැයි සමාජජාල මගින් ප්‍රචාරය කිරිමේ වාසිය ලැබෙන්නේ කාටද? මෙවැනි කටයුතු වලින් රුවටීමට උත්සහකරමින් සිටින්නේ කාවද?

    5.මේවා පිලිබදව විචාරය කරගැනිමකින් තොරව සමාජය වෙනස් කිරීමක් කල නොහැකියි, එම රුල්ලේම ගොස් ප්‍රචාරකවැඩ කිරිමෙන් සිදුවන්නේ සමාජය වෙනස්කිරීම අරමුණුකරගත් සංවිධානයන් ජනතාව ආකාරයේම වීම පමණයි. එබැවින් ජවිපෙ විසින් සිදුකල ප්‍රචාරාත්මක සහන සැලසිම් මා දකින්නේ විකාරයක් ලෙසයි. එයින් වාමාංශික ව්‍යාපාරයන් ජනතාව මෙවැනි පිඩාවකදී සහන සැලසීමට සමාජවාදය උදාවනතුරු සිටිය යුතුයැයි කයන්නේ නැහැ, එය කල යුත්තේ ජනතාව අතර සංවිධානයන් ගොඩනැංවිමේ ක්‍රියාවලියක් විදිහට මිස තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ජනතාවට සහන සලසමින් තමන්ගේ සංවිධානයන්ට පිරිස් එකතු කිරිමේ අරමුණකින් නොවෙයි, එය සහන සලසනවා කියමින් තමන්වම රවටා ගැනිමක් පමණයි....

    ReplyDelete
    Replies
    1. 1. ඔය පළමුවන කාරණය තමා ප්‍රශ්නේ - හැකි පුළුවන් අවස්ථාවේ මැදිහත් වෙන්න රජය කියන්නේ පෞද්ගලික ආයතනයක් නෙමෙයි. ඒ අදහසම වැරදියි. රජයක් විසින් මුල් මොහොතේ සිටම ඉතා විශිමත් ලෙස මැදිහත් විය යුතුයි. ඇමති කෙනෙක් පඩි දීල දාල තියෙන්නේ, ආපදා මධ්‍යස්ථානයක් පඩි දීල හදල තියෙන්නේ ඒකට . ඊළඟ ගංවතුරකදී ප්‍රශ්න අඩුවෙන්න සැලසුම් යෝජනා කර ක්‍රියාත්මක කළ යුතුයි.
      2 සහ 3 ට එකඟයි. ආරක්ෂක අංශ රජයේ. ඔවුන් ඒවා කල යුතුමයි. නමුත් රජය ප්‍රමාදයි. මෙතැන් ප්‍රධාන තර්කය එයයි.
      4. අනිත් මිනිසුන් ප්‍රදර්ශනාත්මක ලෙස හෝ නොකළේ නම් මිට වැඩිය ගොඩක් ය බඩගින්නේ. ගොඩක් අය මිය යන්නත් තිබුන කියල තම මට ලැබුණු ප්‍රවෘත්ති වලින් දැන ගන්නට තිබුනේ.
      5. දේශපාලන ව්‍යාපාරයකින් සහන සැලසීම වරදක් නෙමෙයි. එහෙම නම් රජයේ මන්ත්‍රීවරු වෙනම ගිහින් තමන්ගේ ෆොටෝ ගහගෙන කරනන් ඕනෙත් නැහැ. ඇමතිවරු ගියේ පමා වෙලා .

      Delete
    2. මිනිසුන් ප්‍රදර්ශනාත්මකව නොකලේනම් ගොඩක් අය මියයන්නට පවා ඉඩ තිබුනා යන අදහස වැරදියි, එය හුදු ප්‍රබන්ධයක් පමණයි. රජය පවා සහන සැලසුවේ ජනතාවගෙන් ලැබුනු ආධාරයන් භාවිතාකරමින් එලෙස ආධාර නොලැබියන තත්වයක් ඇතිවී තිබුනත් ජනතාවට අවශ්‍ය ආහාර සැපයිමේ හැකියාවක් රජයේ ආයතනවලට තිබුනා සහ රජයේ ආයතන මගින් එය හොදින් සම්බන්ධිකරණය කලා,
      මෙහිදි මතුවුනු ප්‍රධාන ගැටලුවක් වුනේ ජනතාව අනාරක්ෂිතව හෝ තමන්ගේ නිවාසවල ජිවත්වීම තිරණය කිරීම හා සිරවි සිටින ප්‍රදේශවලින් ඉවතට පැමිණිමට දැක්වු මැලිකම, මෙයට ප්‍රධාන හේතුව අවසාන මොහෝත දක්වා මෙපමණ වතුරක් පැමිණේයැයි අපේක්ෂා නොකිරිම හා තමන්ගේ දේපළ ආරක්ෂාකර ගැනිමේ අවශ්‍යතාවයයි.

      මා රජය හැකි පළමු අවස්ථාවේදීම ලෙස සටහන්කලේ ගංවතුර තත්වය ආරම්භවුයේ ඉරිදා දිනයකදීවීම සහ එවැනි තත්වයක් මුහුණදීමට අවශ්‍ය තරමේ පුර්ව සුදානමක් නොතිබිම ගැටලු රජයේ නිලධාරින්ට තිබුණා,

      දේශපාලන ව්‍යාපාරයකින් සහන සැලසීම මැති ඇමතිවරුන් සහන සැලසිමේ මට්ටමට පැමිණිම (සැබවින්ම ඇමතිවරුන්ට සහ අනෙක් දේශපාලන පක්ෂවලට වැඩි සහන සැලසීමක් ජවිපෙ විසින් සිදුකලා)තමයි මම දකින ගැටලුව, ජවිපෙට හෝ වෙනත් වාමාංශික ව්‍යාපාරයකට මෙම අවස්ථාව ප්‍රචාරක කටයුත්තක් සදහා භාවිතා නොකර සාමාන්‍ය ජනතාවට සංවිධානයවිය යුතු පිලිවෙල සහ ඒ සදහා ජනතාව ඒ සදහා පෙළඹවීමට කටයුතු කිරීමට ඉඩ තිබුනා, ප්‍රදර්ශනාත්මකව වැඩ කිරීම මගින් පෙන්වීමට උත්සහ කරන්නේ අපේ දේශපාලන ව්‍යාපාරය ජනතාවට සෑම අවස්ථාවකදීම උදවු කරන බව පෙන්වීමයි, එහෙත් සිදුවිය යුත්තේ ජනතාවගේ සියලුම අපදාවන් හා ගැටලුවලදි ජනතාව සාමුහිකවී විසදුම් සෙවිය යුතු බවට පෙළඹවීමක් ඇතිකිරිමයි, ජනතාවට ඔවුන් තුලින්ම සංවිධානයවීමට ඉඩක් ඇතිකර දීමයි

      Delete
    3. // එවැනි තත්වයක් මුහුණදීමට අවශ්‍ය තරමේ පුර්ව සුදානමක් නොතිබිම ගැටලු රජයේ නිලධාරින්ට තිබුණා,// මේක වැරැද්දක් නොවන්නේ කොහොමද ?
      දේශපාලන ව්‍යාපාරයක් ප්‍රදර්ශනාත්මක ලෙස ආධාර දීම අවශ්‍ය නැහැ, මම එයට එකඟයි. මෙතැන් පෙන්වා දී තිබෙන්නේ වෙනත් කාරණයක්. sarcasm එකක්. එනම් ගුණරත්නම් මහතා ජවිපෙ සිටිද්දී රතු තරුව විසින් සුනාමි ආධාර දීම හා එයට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලැබීමත්. දැන් ඔහු වෙනත් පක්ෂයක නිසා එහි හිතවතුන් රතු තරුව සහනාධාර ගැන සිනා වීමත්. එය උපහාසාත්මක නිසා මම එය ලියුවේ.
      //රජය පවා සහන සැලසුවේ ජනතාවගෙන් ලැබුනු ආධාරයන් භාවිතාකරමින්// ඒ ඇයි ? ජනටහ්වගෙන ආධාර නොගෙන එය කරන්නට තිබුණා නොව. ඔබ මොන නිව්ස් දුටුවද මං දන්නේ නැහැ. රජය ක්‍රියාත්මක වුනේ පරක්කු වෙලා බවයි මගේ වැටහීම නම්. මේ ලිපියේ අදහස ඊළඟ වතාවේ එය නොකරන්න කියා කීමයි. ගංවතුර තිවෙන්න මුලික හේතු වලටත් පිලියමක් යෙදීම මෙන්ම flood defences ආදිය නිර්මාණය කිරීම. රජය නිහඬ සේවයක යෙදුනට වඩා ඒ ඒ තැන්වල හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඉදිරිපත් වුණා කියල මම දැක්කේ.

      Delete
    4. ප්‍රදර්ශනාත්මක වැඩ නොකරන දේශපාලන පක්ෂ හොයන්න නම් ලංකාවේ උත්සාහ කරන්න එපා. ඒවා අපරාදේ වචන නාස්ති. තර්කය තියෙන්නේ කවුද කරේ කියන එක නෙමේ, වැඩේ කරාද සහ කරනවාද කියන එක. ඇතිවෙච්ච තත්වයට ඒ මොහොතේ ලැබිය යුතු අවම උපකාරය කරන්නේ බෙර ගහලද නලා ගහලද කියන එක අදාල නැහැ. වතුරේ ගිලිනු එකාට මිස ගොඩ හිටිය එකාට බරපතලකම තේරෙන්නේ නැහැ.

      Delete
  17. පිස්සුත් හැදෙනවා මේවා අහද්දී

    ReplyDelete
  18. බොහොම ස්තූතියි අජිත්. ඊයෙ මෙහෙමත් සිද්ධියක් ආරංචි වුනා. අපේ සටහන් බෙදාහරින වැඩේ කරන මල්ලි කෙනෙක්ට දුරකතන ඇමතුමක් ඇවිත් ලොකු දුක්ගැනවිල්ලක් එක්ක. සටහන් ඉල්ලලා. එයා මහන්සි වෙලා උදේ වරුවම අදාල විෂය ධාරාවට අදාල සටහන්, වීඩියෝ ටියුටෝරියල් එහෙම එකතුකරල එව්වට පස්සෙ මෙහෙම පිලිතුරක් ලැබිලා;
    "මට මෙව්ව එපා. මම මේ බැලුවෙ උඹල ඇත්තටම නෝට්ස් එවයිද කියලා."

    ඔන්න ලංකාවේ සමහර මිනිස්සු.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .