Thursday, 29 October 2015

පහේ පන්තියේදී

මම ලුණුගල සුන්දර පරිසරයක තුබුණු මාධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගත් අවධියේ  ගුරුවරයෙක් විසින් අහිංසක ළමයෙකුට දැඩි ලෙස වේවැල් පහර දුන් ආකාරය පැවසුවේ මේ බ්ලොග් ලිපියෙනි. (ලිපිය) ගුරුවරයාගේ බිරිඳ අපේ පන්ති භාර ගුරුතුමියයි. තුනේ පන්තියේදී අනුරාධපුරය ගැන මා ලියූ රචනාවක් ඉතාමත් අගය කල ඇය එය පන්තියටම ඇසෙන්නට කියවන ලෙස කීවාය. මා පටන් ගත්තේ "අපේ පෞරාණික ශ්‍රී විභූතිය විදහා පෙන්වන " වැනි වචන පෙළකිනි. ගුරුතුමිය "ඔය වචන ටික හොයා ගත්තේ කොහෙන්ද?" යයි පසුව විමසුවාය. අප ගිය එක්තරා නිවසක නවයුගය, ශ්‍රී සඟරාව වැනි පත්තර සඟරා බොහොමයක් තිබුණි.මට මතක විධිහට අති විශාල වත්තක් මැද ගොඩ නැගු සුවිසල් සුන්දර එම නිවාසය වටේ පැෂන් වගාවක් සහිත වතු යායක්ද තිබුණි. මෙම වත්තේ ම එක කෙළවරක නෑමට හැකි ශීතල ජලයෙන් පිරි දිය පිහිල්ලකි. ඒ නිවසේ තිබු පත්තර සඟරා හැකි විට කියවූ මා වචන සොරා ගත්තේ ඒවායිනි. ඒ මම ඩීමන් ආනන්දගේ පොත් වගයක් ලැබී කියවූ කාලයද විය.

ඉතින් නවයුගය මිහිර  වැනි පත්තර  වලට අමතරව ලන්දේසි කතාව, සඳ කුමරිය, විදියේ බණ්ඩාර ආදී  චිත්‍ර කතා මෙන්ම "නොගැලපෙන රෝදේ" වැනි සෝවියට් ළමා කතාද බහුලව කියවූ කාලයකි මෙය. පාසැල අවසන් වූ පසු මිතුරු සෝමේ  සමග පරණ ටයර් සුදු වැලි පාරේ කන්ද උඩ සිට පහල දොලට යවන, පොඩි කැලෑවල් තුලට වැදී හිඹුටු, මාදන්, ජම්බු ආදිය රස විඳින, පහළ කුඹුක්කන් ඔයේ පැන නාන සුන්දර අතීතයක් විය එය.

මේ සියල්ල අවසන් වුයේ සොයුරිය ශිෂ්‍යත්වයෙන් කොළඹ විශාඛා විද්‍යාලයට තේරුණු පසුවය.  අපි සියල්ල පදිංචියට කොළඹ පැමිණියෙමු.කොළඹ පැමිණි අලුතම එක දිනෙක නිල් සහ කහ පැහැති ටී ෂර්ට් දෙකක් ඇඳගත් මමත් මල්ලීත් පිටියේ සෙල්ලම් කළෙමු. එතැනට පැමිණි සම වයසේ පිරිමි ළමුන් කීප දෙනෙකු අපෙන් ඇසුවේ "ඕගොල්ලෝ රෝයල් ද" කියාය. මට එය තේරුනේ නැත.  අපට උපහාසයට මෙන් සිනාසුනු ඔවුන් වෙනත් ළමුන් දෙදෙනෙකු පෙන්වා "මේ ගොල්ලෝ රෝයල් ඒ ගොල්ලන්ට තමා නිල් කහ අඳින්න පුළුවන්" යයි පැවසීය. එසේ කියූ එකා යන්නේ මහානාමෙ ට බවද උජාරුවෙන් පැවසීය. වහා නිවසට පැමිණි අපි මේ ටී ෂර්ට් මෙහෙ අඳින්න තහනම් කියා මව පුදුමයෙන් බලා සිටිද්දීම ගලවා වීසි කෙරුවෙමු.

කොළඹ දී ළමයෙකුට විදුහලක් සෙවීම ඉතා අමාරුයි දෙයකි. බැරිම තැන පියා විසින් මාත් මල්ලීත් දැමුවේ කොල්ලුපිටියේ විදුහලකටය. එය පහේ පන්තිය දක්වා පමණක් වූ ප්‍රාථමිකයක් විය.මේ විදුහල අතීතයේදී පාලනය වූයේ ඒ ළඟම තිබු පල්ලියෙනි. එයට යාබදව එහිම කාන්තා විදුහලත් තිබුණි.  මේ පල්ලිය 1887 පිහිටවූ ඇන්ග්ලිකන් දේවස්ථානයකි. පෞරාණික වූ එය ගලින් නෙලා බදාම කළ අගනා  නිර්මාණයක් බව පෙනුනි. මේ දේවස්ථානය එහි දේවගැති තැන මිනීමැරුමකට අසුවූ නිසා පසු කලෙක කුප්‍රසිද්ධ වුවකි.

රසික, ඉකොනයා සහ රවී පෙන්වා දුන් පරිදි 1961 සි සිරිමා ආණ්ඩුව විසින් කන්‍යාරාම හා පල්ලි වලින් මෙහෙයවුණු විදුහල් සියල්ල "නිදහස්" අධ්‍යාපනයේ නාමයෙන් රජයට පවරා ලදී. ඇය උගත් සෙන්ට් බ්‍රිජට් හා සමහර පල්ලි වලින් පාලනය වුන කොළඹ උසස් යයි සැලකෙන විදුහල් කීපයක් හැරෙන්නට රජයට පවරා ගත් අනිකුත් විදුහල් වල පරිපාලනය හා අධ්‍යාපනය මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් ඉතා පහලට වැටුණි. මේ විදුහල් දෙකටද සිදු වුනේ එයමය.මේ විදුහල් වලට ආවේ ඒ ළඟ බේරේ වැව අසල පැල්පත් වල ජිවත් වූ ළමයි සහ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරත් පොලිසියත් අතර වැඩි වත්කම් නැති නිවෙස් වල ළමයින්ය. මේ කාලයේ බේරේ  වැවේ පැල්පත් පිහිටි ප්‍රදේශය කොරියාව ලෙස හැඳින්විණි.

මේ විදුහලට ගිය අළුත "ඇයි අනේ ඔය කොරියාවේ ඉස්කෝලේ නැතුව වෙන ඒවා තිබුනේ නැත්ද" යයි කඳුළු පිරි නෙතින් මව පියා ගෙන් විමසුවා මට මතකය. පියා පැවසුවේ "ඕක තමා ලැබෙන්න පුළුවන් හොඳම එක කාගෙවත් පස්සේ යන්නේ නැතුව. (අධ්‍යපන කාර්යාලයේ දන්නා අයෙකු සිටියත්). ඉගෙන ගත්තොත් හොඳ ඉස්කෝලයක් ලැබෙයි." යන්න පමණි.

 පහේ පන්තියට ගිය අළුතමා සමග කතාවට වැටී මුලින්ම යහළු වුයේ උදය නමැති සිසුවෙකි. පන්ති භාර ගුරුතුමිය ගුරුතුමිය පමණක් මුළු දවසටම සිංහල හා තවත් කුමක් දෝ ඉගැන්වූ පසු ඔහේ කතා කර කර ඉඳීම හෝ දැඟලීම මිස වෙන කල යුතු යමක් නැත. මෙහෙම වෙලාවක උදය හා මා අතරවූ කතාබසක් මෙසේය. "ඔයා දන්නවද මම ඉන්නේ මේ ළඟ" "හා" "ඔයාට කෙල්ලෙක් ඉන්නවද" "නැහැ" "අයියෝ මට නම් ඉන්නවා. රෝසි. ජම්බේ වගේ. මම ඊයෙත් ග...කැපුවා" ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි මට මේ කිසිවක් නොතේරේ. "උඹට තේරෙන්නේ නෑ නේද මැට්ට" ඔයා යනුවෙන් ඇමතීම ඉවරය. ඌ අනිත් එවුන්ටත් කියා මට හිනාවෙයි. ගුණසේන කියා එකෙක් මා ළඟ පැමිණ ඉඳ ගනී. "ඔයා ගණන් එන්න එපා. ඔය උදය මහා එපා කරපු එකෙක්. ඌ හොරෙන් ගන්ජත් බොනවලු රෝසි එක්ක. රෝසි ට අවුරුදු දාසයයි. ඒකි මහා අම්මන්ඩියක්." මේ දරුවන් අකාලයේ වැඩි විය පැමිණියවුන් බව මට තේරුනේ පසු කාලයකය. ඔවුන්ට පහේ පන්තියෙන් එහාට යාමට පාසලක් සෙවීම අමාරුය. බොහෝ අය අවුරුදු දෙක තුන අසමත් වෙමින් පහේ පන්තියේ සිටිති. උදය මේ අනුව අවුරුදු 13 පමණද ගුණසේන අවුරුදු දාහතරක පමණද වූ මට වඩා වැඩිවියේ වූ ළමයින් විය. මගේ වයසේ ළමුන් සිටියේ තවත් කීප දෙනෙකි. නමුත් ඔවුන් ද මට වඩා ඇට්ටර වුනු අයයි.

දින දෙකකට පසු ගණිත ගුරුතුමා පන්තියට පැමිණියේය. ඔහු පළල් උරහිස් සහිත කැරලි ගැසුණු විශාල කොණ්ඩයක් ඇති උස මහත පෙනුමින් බියකරු අයෙකි. මහත වේවැලක් සමග ඔහු එන විටම දැඩි නිහඬතාවයක් පන්ති සියල්ල පුරාම පැතිර ගියේය. තට්ටු හතරක ගොඩ නැගිල්ලක් වූ මෙහි උඩම තට්ටුවේ පන්ති දෙක තුනක් තිබුණි. අපේ පන්තිය කවදත් හසුරුවා ගැනීමට නොහැකි පන්ති භාර ගුරුතුමිය ගේ මුහුණේ අපුරු උපහාසාත්මක සිනාවක් රැඳෙනු මම යන්තම් දුටුවෙමි. සිනාවට හේතුව සැනෙකින්ම පසක් වූයේ පිට රත් කරමින් වැදුන පහරකිනි. ගණිත ගුරුතුමා මුළු පන්තියටම පිට හරහා ගහගෙන ගහගෙන ගියේය. පහරට අත ඉස්සු අයට දෙකක් වැදුනි. ගුණසේන, උදය වැන්නවුන්ට තුන හතර වැදුනි. මුළු පන්තියම අල්පෙනෙත්තක් වැටුනත් ඇසෙන තරමට නිහඬය. ඔහු ඉන්පසු ඉතිරි ගුරුවරුන් හා කතාවට නික්ම ගියේය. ඔහු විදුහලේ සිටින බව මුළු විදුහලම දන්නා සෙයකි. මුළු විදුහලම නිහඬය. ගුරුතුමියන් ඔහුගේ පැමිණීම ප්‍රිය කරන සෙයක් දැනුනි. ඔහුගේ පහර දීම් වලින් තමන්ගේ කීම් අසන්නේ නැති සිසුන් පීඬා විදින බව දැනීමෙන් ඇතිවූ සතුටකි එය. ජර්මන් බසින් මෙයට ශඩෙන්ෆ්රෞද (schadenfreude) කියා හඳුන්වනු ලැබේ.

 උදය නැවත මගේ උදව්වට පැමිණියේය. "ඕක තමයි ගණන්, ඉතිහාසේ හෙම උගන්වන්නේ. ආපු ගමන් ගහනවා. යනකොට හිතුනොත් ආයි ගහනවා." "පොඩි පන්ති වලටත් ගහනවද? "හතරේ එවුන්ටත් ගහනවා.මූ මහෙස්ත්‍රාත් කෙනෙක්. අපේ ඉස්කෝලෙට එන්නේ සමහර දවස් වලට විතරයි. මහේස්ත්‍රාත් වැඩේ බාගෙට. මේක භාගෙට. ටීචර් ලා නැති නිසා එන්නේ."

සෑහෙන වෙලාවක් කඩේ දමාගෙන සිටි ගණිත ගුරුවරයා නැවත පැමිණියේය. මම පිට හරි බරි ගසා ගෙන සුදානම් වුනෙමි. මට දැන් මොහු එපාවී හමාරය. අර ලුණුගල විදුහලේ සිදුවීමෙන් පසු මට ගහන ගුරුවරුන් එපාවී තිබුණි. ඒ වෙලේ ඔහු ගණන් කීපයක් බෝඩ් ලෑල්ලේ ලියා ඒවා හදන්නට නියම කර නැවතත් කොහේදෝ ගියේය. ඒ ඔහුගේ ගජ මිතුරකු වන විදුහල්පති සමග කතා කරන්නට බවත් ඔහු පැය භාගෙකින් නැවත එන බවත් උදය ගාම්භීර පුර්වකව දැනුම් දුන්නේය. මේවා හැමදාම වෙන දේවල් විය යුතුය. කජු කනවාක් මෙන් ඉතා පහසුවෙන් ගණන් ටික සාදා නිම කර මම බලා සිටියෙමි. මා ගණන් සෑදූ බව දැනගත් උදය මගෙන් ඒවා කොපි කර ගත්තේය. සැනෙකින් මුළු පන්තිය වට මගේ රූල් පොතත් මගෙන් කොපි කර ගත් අනිත් ගණන් පොතුත් ගියේය. මම දැන් සිටියේ හොඳටම භය වෙලාය. අම්බානක ගුටි කන්නට නියමිතය. ගුරුවරයා පන්තියට පැමිණියේය. ගණන් ටික සාදා පෙන්වන්නට සැරසුණු ඔහු මගේ පොත දිග හැර තිබෙනු දුටුවේය. බියෙන් සලිත වී සිටි මා අසලට පැමිණි ඔහු ගණන් ටික බලා ලොකු හරියක් දැම්මේය. ඉන්පසු ඊළඟ පොත් ටික බලාගෙන ගිය ඔහු පළමුවන පේළියේ "සියල්ලෝම" ගණන් ටික සාදා තිබෙනු පසක් කර ගත්තේය. ඉන්පසු මට ගණන් ටික හදන හැටි පන්තියට පෙන්වන ලෙස නියම කල ඔහු ඊළඟ පන්තියේ සිටි පන්ති භාර ගුරුතුමිය අසලට ගියේය. මා පෙන්වමින් ඔවුන් මොනවාදෝ කතා කරනු දුටිමි.

 දෙවන දිනයේද පැමිණි ඔහු ගණන් ටිකක් දී මට ඒවා පන්තියට හදන හැටි කියා දෙන ලෙස නියම කර සුපුරුදු සතුටු සාමීචියට ගියේය. සුපුරුදු ලෙස ගුටි කන්නට බලා සිටි ළමුන් විමතියෙන් මා දෙස බැලුවා මිස කිසිවෙක් කිසිවක් කිවේ නැත. ගුණසේන පමණක් පැමිණ මගේ පිටට තට්ටුවක් දැම්මේය. ටික දිනකට පසු ගණිත ගුරුවරයා නැවත පාසලට පැමිණියේය. මෙදින ඔහු අත ප්‍රශ්න පත්තර බණ්ඩලයක් තිබිණි. ඔහු ඒවා මට දී වෙනත් හිස් පන්තියක මා වාඩි කරවා ඒවා කරන්නට මට අණ කළේය. "ඕවා කරලා ශිෂ්‍යත්වෙන් පාස්වෙන්න බලන්න. ඔයා ට මෙතන අනාගතයක් නැහැ." ඔහු කීවේය. එයින් පසු නිතර මට කරන්නට ප්‍රශ්න පත්‍ර ගෙනවිත් දුන් ඔහු නැවත ළමයින්ට ගැසුවේ නැත. ගැසුවා නම් අපට නොපෙනෙන්නට විදුහල්පති තුමා ගේ කාමරයේදී ඉතා අකීකරු ශිෂ්‍යයෙකුට හෝ අනිත් ගුරුවරුන් ගේ කීමට පමණි. විදුහල්පතිවරයා ළමුන්ට වැඩිය පහර නොදෙන ළමුන්ට කෑ ගසන්නට ඉඩ දී සිටි නිහඬ අයෙකු වීමද එක හේතුවක් වන්නට ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසින් මුළු පාසලෙන් ම සමත් වී තිබුනේ මා පමණි. මේ වන විට ගණිත ගුරුවරයා ගේ ගැහිල්ල නතර කළ ශිෂ්‍යයා ලෙස මට සෑහෙන පිලි ගැනීමක් තිබුණි. විදුහලේ ත්‍රිපෝෂ බිස්කට් හයක් දෙන අතර එය බෙදීමට භාර දී තිබුනේද මටය. මම ගුණසේන හා තව කීප දෙනෙකුත් සමග එය කලෙමි. බඩගින්නේ වැඩිපුර සිටින මේ ළමයින් බිස්කට් ටික එනතුරු බලා සිටින බව මට පසුව අවබෝධ විනි.

මේ පාසලේ අඹරල්ලා ගෙඩි එකට ගසා වඩා හොඳින් එය කුඩු කල තැනැත්තාට ගෙඩි දෙකම අයිති වන ලෙස කරන සෙල්ලමක් තිබිණි. මේ දඩබ්බර ළමයි "අඹරැල්ල සෙල්ලමේ " විනිශ්චය කරු ලෙස යොදා ගත්තේද කොට පුංචි එකෙකු වූ මාවය. ඒ වන විට ඔවුන්ගේ මතයට අනුව මම එයට සුදුස්සෙකු වී සිටියෙමි. ඒ සෙල්ලමේ නිතරම දිනුවේ ඈෂ්ලිය. ඈෂ්ලි නිතරම කිව්වේ ඔහු පියා පැමිණි පසු ඔස්ට්‍රේලියාවට යන බවය. බර්ගර් ළමයෙකු වූ ඔහුගේ සුදු පැහැපත් මව තව දරුවෙකුද සමග පැමිණ ඔහු පාසල අවසන් වූ පසු රැගෙන යනු මම කීප වරක් දුටිමි.

උදයගේ ප්‍රවෘත්තිය ඉක්මනින් ලැබුණි. ඈෂ්ලි ගේ පියා ඔස්ට්‍රේලියාවට ගියේ ඔහුගේ මව අතහැර නියම "කෑල්ලක්" සමග බවත් ඔහු නැවත කිසිදා නොඑන බවත් උදය පැවසීය. ඈෂ්ලි අඹරල්ලා සෙල්ලම නිතර දිනන්නේ ඔහුට දවල් කෑම නොලැබෙන නිසා බවද ඔහු කීය. සමහර විට ඈෂ්ලි දිනු අඹරැල්ල බිස්කට් වලට මාරු කරනු මා දැක තිබේ. ඒ මව සමග එන නංගීට දෙන්නය. බොහෝ සිසුන් බිස්කට් වලට ඔට්ටු අල්ලනු සහ බිස්කට් සීට්ටු දමනු මා දැක තිබේ. ඒ ගෙදර ගොස් පාසල් නොඑන නංගිලා මල්ලිලාට දී ඔවුන්ගේ කුස ගිනි නිවිමටය.

ශිෂ්‍යත්ව විභාගයේ දෙවන කොටසින් මා සමත් වූ බව දැන ගන්නා විට ගණිත ගුරුතුමා පාසලෙන් නික්ම ගොස් තිබුණි. ඔහු නැවත ගුරු වෘත්තියට නොපැමිණ මහේස්ත්‍රාත් වරයෙකු ලෙස කටයුතු කරන බව පමණක් පන්ති භාර ගුරුතුමිය කීවාය. මට ඔහුට ස්තුති කිරීමට පවා නොහැකි විනි. එම විදුහලේ පසුගිය අවුරුදු ගනනටම ශිෂ්‍යත්වයෙන් සමත්ව සිටියේ මා පමණක් බව විදුහල්පති මගේ පියා සමග පැවසීය.

 මට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් පසු ලැබී තිබුනේ ආනන්දයයි. ඒ වන විට ආනන්දයේ 6 වසර ඇතුලත් වීමේ විභාගයෙන් ද සමත්ව මම ආනන්දයට ඇතුලත් වී සිටියෙමි. ඒ දිනවල එහි පිහිනුම් තටාකය සාදන කාලය නිසා අලුත් සිසුන්ගෙන් ඒ සඳහාද මුදලක් අය කරන ලද බව මට මතකය. රාජකීය විද්‍යාලයේ ඇතුල් වීමේ විභාගයෙන් ද මා සමත් බවට ලිපියක් ලැබුණි. එක්තරා හිතවත් පිරිසක ගේ තදබල කීමට මගේ පියා මා ආනන්දයෙන් අස් කර රාජකීය විදුහලට ඇතුලත් කළේය. ආනන්දය මරදානේ තිබීම, බස් දෙකකින් යාමට තිබීම ආදී නොයෙක් හේතු ඔහු කි නමුදු මම ඒ ගැන දුක් වුනේ කර්නල් ඕල්කොට් මුලික වී ආරම්භ කල විදුහල් ගැන මා ඒ වන විට කියවා තිබු බැවිනි.

 රාජකීය විද්‍යාලයේ මුල් දින අවුලක් නැතිව ගෙවී ගියේය. මම ක්‍රිකට් පුහුණුවට යාමට පටන් ගතිමි. පසුව ප්‍රසිද්ධ වූ ක්‍රීඩකයන් කිහිපයක් ම කනිෂ්ඨ කණඩායමේ සිටියහ. අපි බෝල අහුලන්නට පුරුදු වුන කණ්ඩායමේ සිටියෙමු. එක දිනක් කටයා නමින් හඳුන්වන නියෝජ්‍ය විදුහල්පති තුමා එතනට පැමිණියේය. ඔහු ක්‍රිකට් පුහුණු වන තැන පිටියට නිතර පැමිණෙන බව සිසුන් කීවත් ඒ මා ඔහු දුටු පළමු දිනයයි. ඔහු මාවත් තවත් සිසුන් දෙදෙනෙකුත් ලඟට කැඳවීය. කිසිවක් නොකියාම තුන් දෙනාගේම කම්මුලට තද පාරවල් තුනක් එල්ල විය. ඉන්පසු තවත් කීප දෙනෙකුට කතා කල ඔහු නික්ම ගියේය. මගේ ක්‍රිකට් පුහුණුව එතැනින්ම නිම විය. ඉන් අවුරුදු ගණනක් යන තුරු එනම් නමය පන්තිය වන තුරු මම පාසලින් පසු නතර වීමට සිදුවන කිසිම බාහිර ක්‍රියාකාර කමකට නොගියෙමි.

 ගුරුවරු හෝ දෙමාපියන් ඉතාමත්ම තීරණාත්මක මොහොතක හේතුවකට මිස ළමුන්ට පහරක් නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම අදත් සිටිමි. ඔවුන් ගැසූ නිසාම තමන් හරි වැරැද්ද ඉගෙන දියුණු වුණා යයි කියන සහෝදර සිසුන් එසේ පැවසීමෙන් ම තම දෙමාපියන්ට කරන්නේ නිගරුවක් බව මගේ හැඟීමයි. නැවත සිසුන්ට පහර නොදී රැකියාවෙන් ඉවත්ව ගිය ගණිත ගුරුතුමා අදත් දැඩි ගෞරවාදරයකින් යුතුව සිහි කරමි.


70 comments:

  1. උඹල හැමෝම දැන් "පාසල්" යන්න පටන් අරන් වගේ!

    ReplyDelete
    Replies
    1. හිතුවා විතරයි...:D

      Delete
    2. මධ්‍යස්ථ මතධාරිය හරි රසික හරි පටන් ගත්තේ. වැල වගේ දැන් ඇදිලා යනවා.

      Delete
  2. ඔය කටා ගැන මා අසා තියෙනවා, ටැබූ සහ මාතලන් ලියූ ලිපිවලින්. එවැනි වනචරයින්ට ඔවුන් සහ වෙනත් අය හොඳ කියන්නේ ඇයිදැයි මට නම් තාම හිතාගන්න බෑ!

    ReplyDelete
    Replies
    1. ටැබූ ගේ ලිපිය නම් කියවල තිබෙනවා. මතලන්ගේ එක දැක්කද කියල මතකයක් නැහැ. කටයා වනචරයෙක් නම් නෙවේ. ආනන්දයේ තර්ස්ටන් එකේ පවා එවන "ගහන" ගුරුවරු හිටිය. කටයා දන්නා විනය ක්‍රියාමාර්ගය තමා ඒ. ඒ දවස් වල හැටියට එක හරි වෙන්න ඇති . මට නම් වැරදියි.

      Delete
    2. රසික,
      සමහරවිට මං මේ උදාහරණ ලෙස කියන නම් ඔබ දන්නව ඇති
      මාත් හිතන්නෙ නෑ ගුටි කන කාලෙ නම් "අයිස" "එඩ්ඩා" වගේ ගුරුවරුනුන් හොඳයි කියල කවුරුවත් හිතුවයි කියල. පස්සෙ වැඩිහිටියන් විදිහට තමයි සමහරු එහෙම හිතන්නෙ.නොස්ටැල්ජියා නිසා නරකදේ අමතකව එය ඇඩ්වෙන්චර් එකක් ලෙස හිතෙනවා වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් තමන් තමන්ගෙ ලමයින්ට ගහන එක සාදාරණීකරනය කරන්න අපි ගුටි කාල තමයි මෙහෙම හැදුනෙ කියනව ඇති.
      සමහර ගහන ගුරුවරු ( "වීදියෙ බණ්ඩාර" )ආදරයත් පෙන්නන නිසා හෝ ඔවුන්ගේ පාඩම් හෝ කතා රසවත් නිසා ශිෂ්‍යයන් ඔවුන්ට කැමතියි. ඒත් ගහන එක නිසා විතරක්නම් හොඳක් කියන්නෙ නෑ

      Delete
    3. http://maathalan.blogspot.com/2010/06/dp-deputy-principal-kataya.html

      Delete
    4. මාතේ මේ කතාව කොහෙන් හරි කියෙව්වනේ බන්. මතක නැහැ කොහෙන්ද කියල. අරූ ගුටි කෑ කටහ්ව මම අහුලා ගත්තේ එතනින්. උඹල කටයට හොන්ඩ අකියන එකට මම විරුද්ධ නැහැ. ඒ කාලේ හැටියට පොර දැනසිටි ක්‍රමය තමා ඒ. නීතියට අනුවත් පිළිවෙතට අනුවත් ඒක අනුමත ක්‍රමයක්. කටය කවදාවත් අර ලුණුගල ගුරු භවතා වගේ පිස්සුවෙන් කාටවත් ගහලා නැහැ. එක කම්මු පාරයි. නමුත් ආ පිළිගන්න ක්‍රමය අනුව ඒකත් වැරදියි. ගහල ළමයි හදන්න පුළුවන් නම් ලංකාව විතරක් නෙමේ මේ රටවලුත් ඔය තත්වේ නැහැ.

      Delete
    5. අරූ ගුටි කෑ කතාව මම අහුලා ගත්තේ එතනින්. උඹල කටයට හොඳ කියන එකට මම විරුද්ධ නැහැ. ඒ කාලේ හැටියට පොර දැනසිටි ක්‍රමය තමා ඒ. නීතියට අනුවත් පිළිවෙතට අනුවත් ඒක අනුමත ක්‍රමයක්නේ . කටය කවදාවත් අර ලුණුගල ගුරු භවතා වගේ පිස්සුවෙන් කාටවත් ගහලා නැහැ. එක කම්මුල් පාරයි. නමුත්අද පිළිගන්න ක්‍රමය අනුව ඒකත් වැරදියි.

      Delete
    6. @ අජිත්,
      වනචරයා කීවේ කැලේ හැසිරෙන්නා යන නියම අරුතෙනුයි. ඒ කියන්නේ කැලේ නීතිය ක්‍රියාත්මක කරන්නා. බාහු බලයෙන් ප්‍රශ්න විසඳන්නට තැත් කරන්නා!

      Delete
    7. @ප්‍රා-
      ඇඩිසා, අයිසා, වීදියේ බණ්ඩාර මෙන්ම ජෙසුවා නම් අයෙකු ද මට මතකයි. ජෙසුවා ගැන කතාවක් මගේ "සිව් වසරක් මරදානේ" පොතේ මා ලියා තියෙනවා.

      මා නම් එහි දී ගුටි කා නෑ.

      නමුත්, ගමේ බස් එක නැතුව, පයින්විත්, ප්‍රමාද වී පාසලට පැමිණි දිනවල පොලිමේ තබා ඇඩිසා අවවාද දෙන්නට පටන් ගත් නිසා එදින ඉගෙනීම තවත් ප්‍රමාද වී තියෙනවා.

      Delete
  3. /* පසු ගිය 70-77 කාලයේ පැවති සිරිමා ආණ්ඩුව විසින් */

    Check again. Probably incorrect.

    ReplyDelete
    Replies
    1. වෙනස් කලා . ස්තුතියි උකුසු ඇස.

      Delete
    2. එවකට තිබූ සිරිමා ආණ්ඩුව (1960-65) විසින් 1962දී නේද?

      Delete
    3. මන් හිතන්නේ පනත ගෙනාවේ 70න් පස්සේ කියල. ඊටත් කලින්ද?

      Delete
    4. Assisted Schools And Training Colleges (Supplementary Provisions) Act (No. 8 of 1961) - Sect 3

      Notice relating to property-liable to vesting

      3.
      (1) Where the Minister decides that any property liable to vesting is needed by the Crown for the purpose of conducting and maintaining a school, the Minister may publish a notice in the Gazette stating that such property is so needed and that all or any of the acts authorized by subsection (2) may, if the Director deems it necessary, be done in respect of such property. Such property may be described in the notice in like manner as it is described in the First Schedule to this Act.

      Delete
    5. රසික, ඉකොන් ස රවී බොහොම ස්තුතියි. නිවැරදි කලා. මම හිතන් හිටියේ ම 70 කලා කියල. එච්චර කාලයකට ඈත කියන්නේ ටිකක් පුදුමයිත් වගේ.

      Delete
    6. කටුගස්තොට St. Anthony's College එක නම් රජයේ පාසලක් වුනේ 1977 බවයි මගේ මතකය.

      Delete
  4. පාසැල් මතකයන්

    ReplyDelete
  5. පාසැල් යාමේත් එක ජොලියක් තියෙනවා... විශේෂයෙන් මේ වගේ අවුරුදු විසිපහකට තිහකට පස්සේ ලියනකොට ...

    ReplyDelete
  6. අර අවුලගේ වැඩේ උඹ පටන් ගත්තද?? හැක්..

    කෝම උනත් අමුණපු අකුරු අතරේ සමාජ යථාර්ථයයි දුවන්නේ... ඔය මාතලං හෙමත් කටයගෙන් නැති වෙන්න කාලා තියෙනවා හැක්..

    ReplyDelete
    Replies
    1. දේශක මහතා , ඔබේ සුවිශේෂ විනිවිද දැකීමේ හැකියාවට මගේ ආචාරය.

      Delete
  7. ලස්සනයි......... ඒත් ඇයි අර තුන් දෙනාටම හේතුවක් නැතුව කනට ගැහුවේ?

    ReplyDelete
    Replies
    1. මටත් එක්ක තුන්දෙනා ද? මම තවම දන්නේ නැහැ?
      අරූ කියනවා මම තොල් වේලිලා නිසා දිව එලියට දාන්න ඇතිලු?
      තව එකෙක් කිව්වා කමිසේ උඩ බට්න් එක දාල නැතුව තියෙන්න ඇති කියල. ක්‍රිකට් ප්‍රක්ටිස් යද්දී උඩ බට්න් එක දාල ඉන්නේ මොකටද කියල මම ඇහුවා. එත් ඉතින් ඒක වරදිලු.

      Delete
  8. හරවත් ලිපියක් අජිත් අයියේ..
    ඔබේ පාසල් ජීවිතයේ අත්දැක්ක සිදුවීම් හරහා හැමෝගෙම අවධනය යොමු විය යුතු කරුනු කිහිපයක්ම පෙන්වලා තිබෙනවා....

    ...// "ඕගොල්ලෝ රෝයල් ද"//...

    මේක ඇහුවම අජිත් අයියට අහපු දේ වැටහුනේ නෑ කිව්වම අපේ ගමේ කෙනෙකුටඋන පොඩි කතාවක් මතක් වුනා..මේක ඇත්තම සිද්දියක්..චෙක් පොයින්ට් දාලා තිබුන කාලේ පොයින්ට් එකක බස් එක නැවැත්තුවම හමුදාවෙන් බස් එකට නැගල ඇහුවලු "ෆෝසස්"අය ඉන්නවද කියලා...කවුරුවත් උත්තර දුන්නේ නැල්ලු..ඔය බස් එකේ අපේ ගමේ දෙතුන් දෙනෙකුත් ඉදලා තියනවා..ඒ අයගෙන් එක්කෙනක් නැගිටලා වටපිට බලලා උත්තර දුන්නලු "මහත්තයෝ අපි පෝසත් නෑ ගොඩක් දුප්පත් පොළොන්නරුවෙ යනවා කුඹුරු වැඩවලට"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඒකත් ඇස් අරවන සිදුවීමක්. //"මහත්තයෝ අපි පෝසත් නෑ ගොඩක් දුප්පත් පොළොන්නරුවෙ යනවා කුඹුරු වැඩවලට"//

      Delete
    2. ඕගොල්ලෝ රෝයල්ද කිව්වම තේරුනේ නැති එකට පුදුම වෙන්න දෙයක් නෑ. පහ වසරේ සමාජ අධ්‍යනය පොතේ (මට මතක ඒ විදියට) පාසැල් ලාංඡන ගැන පාඩම තිබ්බ පිංතූර වගයක්.. පාසැල් කීපයකම ඒවා තිබ්බත් එකක් තිබ්බ ඉංගිරිසිත් නොවන වෙන භාෂාවකින් ආදර්ශ පාඨ ඇතුලත් වුනු එකක්. ටීචර් ගෙන් ඒ ගැන ඇහුවම එයා කිව්වෙ " ලංදේසි ඉස්කෝලයක්" වෙන්න ඇති කියල. පස්සේ ශිෂ්‍යත්වේ පාස් වෙලා මාතලං කියන විදියට "සජ්ජුලුවන්ගේ" ඉස්කෝලෙට ආවාමයි දැනගත්තෙ ඒ තිබ්බෙ "සජ්ජුලුවන්ගේ" ඉස්කෝලෙ ලාංඡනේ කියල....

      Delete
    3. හා හා . නයිස්. දිස්කේ ඖට් දිස්කෙඩේ මම දන්නෙත් නැහැ ඕක පලවෙනි සතියේදී. හොඳ වෙලාවට "සියල්ල දත්" කෙනෙක් හිටිය පන්තියේ.

      Delete
    4. දිස්කේ ඖට් දිස්කෙඩේ - ඉගෙනිව් නැතහොත් පිටවෙව්

      Delete
    5. ට්‍රාන්සිල් අපොයි ඒ දවස් වලම දැනගත්තා සිංහල පාසැල් ගීය පටන් ගන්නෙත් ඒකෙන් නේ.
      සජ්ජා උඩ තියෙන එක. :)

      Delete
  9. පිරිමි ගුරුවරු ගැහැණු ගුරුවරු හරි. නමුත් කාන්තා ගුරුවරියන්?

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි පෙන්වා දුන්නාට . නිවැරදි කලා.

      Delete
  10. මේ වගේ පීඩනයට ලක්වී ඔබ වැනි කෙනෙක් අද මේ විදිහර සුරැකී ඉන්නවා. නමුත් ඒ පීඩනය දරාගන්න බැරි ඇය තමයි පසු කාලයේදී කොණ්ඩයන් වෙන්නේ. මේවා අධ්‍යාපන බලධාරීන් නොදන්නවා නොවෙයි. නමුත් තියන ඔලමොට්ටල කම නිසා අවධානයක් දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ලිපියේ ඒ ගැන පැහැදිලිව විස්තර කර තිබෙනවා දැක්කා. ඒ පන්තියේ හිටිය ළමයි අද කොහෙද කියල හොයන්න ඕනේ ඇත්තටම.

      Delete
  11. එක දිනක් කටයා නමින් හඳුන්වන නියෝජ්‍ය විදුහල්පති තුමා එතනට පැමිණියේය. ඔහු ක්‍රිකට් පුහුණු වන තැන පිටියට නිතර පැමිණෙන බව සිසුන් කීවත් ඒ මා ඔහු දුටු පළමු දිනයයි. ඔහු මාවත් තවත් සිසුන් දෙදෙනෙකුත් ලඟට කැඳවීය. කිසිවක් නොකියාම තුන් දෙනාගේම කම්මුලට තද පාරවල් තුනක් එල්ල විය. ඉන්පසු තවත් කීප දෙනෙකුට කතා කල ඔහු නික්ම ගියේය.


    මේ වගේ පහරදීම් තාමත් පාසල් වල වෙනවා. දියුණු සමාජයක පාසලක ගුරුවරයෙක් මෙහෙම දෙයක් කලේ නම් ඔහු පුනරුත්ථාපනයේ. අපි තාමත් කොතරම් පසුගාමීද ?

    ReplyDelete
    Replies
    1. මේ අවුරුදු 39 කට කලින් සිදුවූ දෙයක්. මම හිතන්නේ නැහැ රාජකීය විද්‍යාලයේ වත් වෙන පාසලක වත් දැන් මෙහෙම වෙනවා කියල ලංකාවේ. විශ්ව විද්‍යාල සිසුන්ට නම් ගහනවා.

      Delete
    2. සරල සමීකරණයක් විසඳීම තුලින් අය්යා අංකල් කිරීම..
      හැක්..

      Delete
    3. හා හා . අන්කල් තමා දැන්. පනහක් ළමයෝ.

      Delete
    4. මම රාජකීය විදුහලට ගියේ 1976 දී හයේ පන්තියට.

      Delete
  12. ලඟදි හන්දියා එහෙම මුණ ගැහුනෙ නැද්ද.

    ReplyDelete
    Replies
    1. අපොයි ඊයෙත් කතා කලා. ඕන් මට බැනගෙන බැනගෙන ගියා විවේචන , විරෝධතා කරනවා තද වැඩියි. වහාම නවත් වන්න. කොමෙන්ට් දාන්න යන්න එපා වෙන සයිට් වල. විවේචන වලට පැටලෙන්න එපා වගේ අවවාද ගොඩයි. ලොකු අයිය නේ.

      Delete
    2. ලොකු අයියා කිව්වේ සහෝදරත්වයෙන්. "ලොකු" "අයියා " කියන එක නෙමේ. මේ හන්දිය එක්ක බැහැ.

      Delete
  13. අපූරු ලිපියක්... මම නං දන්නා විදියට හැම ඉස්කෝලෙම විනය භාර ගුරුවරයා විදියට පත් කරලා තිබ්බෙ ඔය විදිහෙ "හැරුණු අතේ ගහන" පොරක්ව.

    ReplyDelete
    Replies
    1. නැත්නම් "හදන්නේ " කොහොමද?

      Delete
  14. ඒක ඇවිල්ල නිකං ඉස්කෝල කතාවකට එහා ගිය ගොඩක් දේ කියන කතාවක් වගේ මට නං. රෝසිල ගැන උදයල ගැන ඈෂ්ලිල විතරක්කෙනී හාෆ් ටීචර් හාෆ් ජජ් වගෙ අය ත් ඒ ඉස්කෝලෙ ටීචර්ලත් රෝයල් කටාලත් එක්ක පොඩි සංසංදනයක් කලාම තියෙන දුරස්ත සමාජ ගතිකය අපූරිවට කිය න කතාවක්...

    අජිත් අය්යට හම්බුනේ නැතෙයි රෝසිව. හැක්

    ReplyDelete
    Replies
    1. මාර දුරස්තයි පුතේ (මල්ලි) (සමීකරණයට අනුව) - රෝයල් එකේ ගුරුතුමන් ල මන් හිතන්නේ උසස් ශ්‍රේණියක වෙන්න ඕනේ. හැමෝම ඒකට පනින්න උත්සහ කරන්නේ හා ලැබුනම මොන සෙල්ලමක් දාල හරි ඉන්න බලන්නෙත් ඒ නිසා වෙන්න ඕනේ.
      රෝසිව දැක්කා. බොහොම ලස්සන කෙල්ලක් කැරලි ගැසූ කොණ්ඩයක් තිබු . උදය තමා තියන් හිටියේ පොඩි පොඩි වැඩ වලට මම හිතන්නේ.

      Delete
  15. මමත් ඔය බිසකට් අපේ පොඩි උන් දෙන්නට ගේනවා.. දවසක් ඉස්කෝලේ ඇරිලා රාජාගේ ගෙදර ගියා.. එදා ඉඳලා මායි පෙරේරයි දෙන්නම ඉස්කෝතු දොළහම රාජට දුන්නා මචං

    ReplyDelete
    Replies
    1. කවුද මචන් රාජා ? රෝයල් එකේ ඒ දවස් වල බිස්කට් දුන්නද?

      Delete
    2. නෑ මචෝ ... ඒ ගමේ ඉස්කෝලෙට ගිය කාළේ...

      Delete
  16. මේ ගහෙන් ගෙඩි එන්නා වගේ ගුටි දීම මම හිතන්නේ නතර උනේ මෑතක වෙන්න ඕනේ. ( ප්‍රසිද්ධ ඒවා) නමුත් පොඩි පාසල්වල තාමත් වෙනවා ඇති නේද? ගොඩක්ම පිරිමි ළමයින්ට මේ සිද්ධි වලට මුණ දෙන්න වෙන එක....

    ඔය වගේ දේවල් වලින් ( ගුටි ඇනිල්ල ) හැදෙනවා කියන එක මමත් පිළිගන්නේ නැති දෙයක්. මම අතින් පයින් නැතුව මානසිකව එහෙම බුලින් වලට ලක්වෙලා තියෙන නිසා දන්නවා පිඩනේ. ඉස්කෝලේ ජනප්‍රිය සහ ශක්තිමත් පෞර්ෂයක් තිබ්බ කෙනෙක් උනත් මම ඒ වෙලාවල් වලදී පුදුම විදියට ඇදවැටුනා මතකයි. ලේසියෙන් කඳුලක් හෙලන්නේ නැති කියන ජාතියේ කැටගරයිස් වෙලා තිබ්බ නිසා ගොඩදෙනෙක් දැක්කේ පිටතින් ශක්තිමත්ව ඉන්න මම විතරයි. සමහර වෙලාවට මම මම ගැනම පුදුම වෙලා තියෙනවා කොහොමද එතරම් පීඩනයක් ඒ වයසේදී දරාගත්තේ කියල.

    අජිත්: මම ඔබ නම්, එහෙම කම්මුල් පාරක් වැදුනා නම්, මම ඊළඟ දවසෙත් එයි. ඇතුලතින් දුක තියාගෙන උනත් මම හිතුනොත් මම නම් ඒක කරලයි පස්ස බලන්නේ. ඒකෙන් මගේ ගොන්කමත් ප්‍රදර්ශනය වෙනවා, නේද?

    මටත් මගේ සමීපතම කැම්පස් යාළුවො කියල තියෙනවා නාලන්දේ සිද්ද උන දේවල්. ඒ සමහර වසවර්ති ගුරුවරු ගොඩදෙනෙක් පස්සේ කාලවල් වල ගොඩක් විඳින ලෙඩ වලින් මැරුණා. ඇත්තටම ඔවුන් ලැජ්ජා වෙන්න ඕනේ පස්සේ කාලෙක ඒ ළමයින් දැක්කහම. මමත් මට වලකපපු ගුරුවරු දැක්කොත් මගේ එක හිතක් කියනවා 'පලයන් ගිහින් කතාකරපන් යකෝ' කියල. අනික් පැත්ත කියනවා 'එපා, දැන් එයාල හදන්න බැහැ. අපිව දැකල නරක මතකයක් ගේන එක හොඳ නැහැ නේ' කියල මගාරින්න කියනවා. ගොඩක් වෙලාවට දෙවනියා දිනනවා. එකපාරටම දුවගෙන ගිහින් කතා කරන්නේ ආදරණිය කෙනෙක්ට විතරමයි. මට එහෙම මගේ සිංහල ටීචර් හම්බුනා ආර්පිකෝ එකේදී. මම ඈ ගැන ලියල තියෙනවා බ්ලොග් එකේ. අපි දෙන්නම බදාගෙන ඇඩුවා එදා.

    ReplyDelete
    Replies
    1. පොඩි පාසැල් වල වුනත් දැන් දෙමාපියෝ ටිකක් දනුවන්තයි. කෙලින්ම පොලිසි යනවා. සමහර අය ගුරුවරුත් දණ ගස්සනවා. ඒ ඕනවට වැඩිපුර ගිහිල්ල. තදින් ඉන්න ඕනේ ළමයින්ට. නමුත් ගහන්නේ නැතුව ඒක කරන්න පුළුවන්.
      මම හුඟක් වෙලාවට කලේ පහර වැදුණු වෙලාවට අයින් වෙලා පැත්තකට එන එක. වැරදියි තමා. නමුත් මට වැරදුනා කියල හිතන්නේ නැහැ. හොඳ ගුරුවරු අනන්ත අප්‍රමාණ ඉන්නවා. ගණිත ගුරුතුමා ඒ වගේ කෙනෙක් මම හිතන්නේ.

      Delete
  17. / "අපේ පෞරාණික ශ්‍රී විභූතිය විදහා පෙන්වන " වැනි වචන පෙළකිනි. ගුරුතුමිය "ඔය වචන ටික හොයා ගත්තේ කොහෙන්ද?" යයි පසුව විමසුවාය. ඒ මම ඩීමන් ආනන්දගේ පොත් වගයක් ලැබී කියවූ කාලයද විය. /

    ඈ බොලේ..ඩීමන් ආනන්දගෙ පොත්වල අපේ පෞරාණික ශ්‍රී විභූතිය ගැනත් තියනවද?....:)

    / ලන්දේසි කතාව, සඳ කුමරිය, විදියේ බණ්ඩාර ආදී චිත්‍ර කතා මෙන්ම../

    ලන්දේසි හටන.....ලන්දේසි හටන පොත් තිබ්බ 7ක් හරි 8ක් වගෙ ගාණක්.....තව තිබ්බ චිත්‍ර කථා තමයි බිලිපූජාව, මුතු කුමාරි....ඔය සඳ කුමරි කතාව ආවෙ 70 විතර. 69 අවුරුද්දෙ නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය වැඩේ රට පුරාම ලොකු ආන්දෝලනයක් ඇතිකලානෙ. ඒ රස්නෙ පිටම තමයි ඔය සඳ කුමරි චිත්‍ර කථාව පිටවුනේ. හඳේ රජ්ජුරුවන්ගෙ දූ කුමාරිව හොයාගෙන රොකට් එකක් හදල ඒකෙං හඳට යන ලංකාවෙ කොල්ලෙක් ගැනයි ඒ කතාව ලියවිල තිබ්බෙ....හෙහ්,හෙහ්,

    / මේ දේවස්ථානය එහි දේවගැති තැන මිනීමැරුමකට අසුවූ නිසා පසු කලෙක කුප්‍රසිද්ධ වුවකි. /

    ඒ කාලෙ මම බොහොම උනන්දුවෙන් කියවපු නඩු විභාගයක් ඔය මිනීමැරුම.

    ReplyDelete
    Replies
    1. මේ ටික කියෙව්වේ නැත්ද? // අප ගිය එක්තරා නිවසක නවයුගය, ශ්‍රී සඟරාව වැනි පත්තර සඟරා බොහොමයක් තිබුණි.
      මා වචන සොරා ගත්තේ ඒවායිනි.// නඩු විභාගය දිගට ඇදිල ගිය. අන්තිමේදී පල්ලියේ දේවගැති තුමා වැරදි කරය උනා නේ.

      Delete
    2. හරි හරි ඒ ටිකත් දැක්ක. ඒත් අජිත් පෞරාණික ශ්‍රී විභුතිය වචන ගත්තෙ කොහෙන්ද කියල ගුරුතුමිය ඇහුවයි කියල ඒ එක්කම ඩීමන් ආනන්දගෙ පොත් ගැන කිව්වම ඒ වාක්‍යයෙන් අදහස් වෙන්නෙ ඒ පෞරාණික ශ්‍රී විභූතිය කොටස උපුටා ගත්තෙ ඩීමන් ආනන්දගෙ පොත්වලින්ය කියලයි.

      මෙහෙම ලිව්වනම් වඩා නිවැරදියි.

      ගුරුතුමිය "ඔය වචන ටික හොයා ගත්තේ කොහෙන්ද?" යයි පසුව විමසුවාය. අප ගිය එක්තරා නිවසක නවයුගය, ශ්‍රී සඟරාව වැනි පත්තර සඟරා බොහොමයක් තිබුණි. ඊට අමතරව ඒ මම ඩීමන් ආනන්දගේ පොත් වගයක් ලැබී කියවූ කාලයද විය.

      Delete
    3. රවී වගේ බ්ලොගන්කුර් (මේ මම කොයින් කරපු වචනයක් . මාතලන්, රවී , රසික, පැරා , දේශක, චානුක , දුමි, ඉන්දි ආදී අංකුරයන් හැඳින්වීම සඳහා. ) කෙනෙක් කිවම නොඅහා පුලුවන්ද. ඔන්න ගෙඩි පිටින්ම දැම්මා වෙනස් කරලා.

      Delete
  18. මේ කාලයේ කොළඹ වගේම පිට පළාත් වලත් අපි කාගේත් අත්දැකීම් ගොඩක් කිට්ටුයි. මමත් ඔය බිස්කට් ගණන් කිරීම සහ බෙදීමත්, සීට්ටු දැමීමත් දෙකම කරලා තිබෙනවා. මගේ ගණන් පොතත් ගොඩක් වෙලාවට ඔය වගේ රවුමේ යනවා.

    ReplyDelete
    Replies
    1. සීට්ටු දැමීම නම් කරලා නැහැ. එහෙම ළමයි හිටිය. පොරවල් සීට්ටු දාන්න ඉගෙන ගත්තේ කොහොමද? බිස්කට් දීල තියෙනව ළමයින්ට. බෙදන නිසා මට වැඩිපුර එනවා. බිස්කට් වලට ඇඹරැල්ල හුවමාරු කරන තියනවා. ඇඹරැල්ල වලට ආස නිසා.

      Delete
    2. ගණන් පොත කොපි කෙරුවම මම හිතුවේ සබ්බුව තමයි කියල. ඒ සර් ගේම හොඳකම. ළමයි අඩුම ගානේ කොපි කරානේ කියල.

      Delete
    3. කොපි කිරීමත් මාර ටැලන්ට් එකක්... චීනා අද ඔය තත්වෙට ඇවිත් තියෙන්නේ කොපි කරලා නේ.. අපිත් අද වෙනකන් කොරන්නේ අනික් උන් කරපු දේවල් කොපි කරන එක නේ..

      Delete
  19. ඇත්තටම අර කටයා ගැහුවේ මොකටද ? තාම හේතුවක් දන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් දැනගන්න විධිහකුත් නැහැ. එහා ලෝකෙදි හම්බ වුනොත් අහන්නම්. මට කියයි "මගේ අතින් ඔය වගේ දාස් ගානක් කාපු එකේ ඔහේ වගේ පොඩි එකෙක්ට ගැහුවේ ඇයි කියල මට මතක් වෙන්නේ කොහොමද?" කියල.

      Delete
  20. යක්ෂයෙක් ඇතුලේ හිටපු දෙවියෙක් වගේ ගුරුවරයෙක්! ළමයින්ට ගහන එකෙන් ඒ ළමයින්ගේ අනාගතය වෙනස් වෙන බව දන්නවා. ගුරුවරුන්ගේ අනාගතය වෙනස් වෙන බව ඇහුවමද කොහෙද.
    පාසල්විය වර්ණනාවනම් බොහොම සුන්දරයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ තත්වේ අනුව ගැහුවට (ඒක අනුමතයි) ඒ ගැහුවේ සමහර ළමයි හදන්නේ මෙහම තමා කියල සමාජය විසින් අපේක්ෂා කල නිසා වෙන්න ඇති. නමුත් අර ළමයි ගණන් ටික කොපි කරලා නිහඬව හිටියමත්, මමත් හදල ළමයින්ට පොත දුන්නමත් ගුරුතුමාට මොකක්ද වුණා . නමුත් මට කරපු ඒ උදව් කිරිල්ල මට තවම මතකයි. දැන් ළමයින්ට සල්ලි දීලා ටියුෂන් දෙන කාලේ නොමිලේ එහෙම උදව් කරපු උසස් මනුෂ්‍යයෙක්. මහේත්‍රාත් කෙනෙක් වෙන් ඕනෙත් ඒ වගේ අයම තමා.

      Delete
  21. අපිටත් ඇත පය දිග ඇරලා ගහන ගුරුවරයෙක් හිටියා ජයරත්න සර් කියලා.තද යුඑන්පි කාරයා.ළමයින්ට ගහන නිසාම සර් ස්කෝලේ විනය නිලධාරී.

    ReplyDelete
  22. හිරි ඇගන්න ගහන ගැහිල්ල.

    ReplyDelete
  23. කොච්චර ඔලමොට්ටලකම් කරත් නන්ගිට බිස්කට් එකක් අරගෙන දෙන්න කට්ට කන ඈෂ්ලිල ගැන නම් මට පට්ට දුකක් අති උනා. ආදර්ශමත් කතාවක්.....

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.