Wednesday 28 January 2015

කේ පී සමග පොත් බෙදුවෙමු

ඒ 2010 වර්ෂයයි. කේ පී  ශ්‍රී ලංකා රජයෙන් රඳවා ගෙන සෑහෙන කළකි. ඩි  බී  එස්‌  ජෙයරාජ් මහතා තමන්ගේ වෙබ් අඩවියේ කේ පි ඇතුළු රඳවා සිටින හිටපු කොටි සාමාජිකයන් යුද්ධයෙන් අනාථ  වූ දරුවන්ට උදව් කරන බව ලියා තිබුණි. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උදව් ඇතුව NEDRO නම් සංවිධානයක් පිහිටුවා තිබුනු බවක් සඳහන් විනි. ජෙයරාජ් මහතා දුන් තොරතුරු අනුව  මේ දරුවන්ට උදව් කිරීමට අප තීරණය කෙළෙමු. මෙයට හේතුව යුද්ධය පැවති කාලයේ සුනාමියෙන් පසු උතුරේ හෝ නැගෙනහිර දරුවන්ට උදව් කිරීමට තැත්  කල මුත් එයට අවස්ථාවක්  නොලැබුණු හෙයිනි. ඒ අවස්ථාවේ ළමයි සඳහා වන මුදල් විමුක්ති කොටි සංවිධානය යටතේ ඇති සංවිධානයකට බැර කරන ලෙස අපට දැන්වූ  පසු අප එය ප්‍රතික්ෂේප කල හෙයිනි. එංගලන්තයේ තහනම්,  දේශපාලන වශයෙන් ත්‍රස්තවාදී යයි සැලකෙන සංවිධානයකට අනුබද්ධ ආයතනයකට අප සහයෝගය නොදක්වන බව කී  පසු ඔවුන් කිවේ උතුරේ හැම දෙයකම පාලනය ඔවුන් යටතේ පවත්නා බවයි.   
යුදයෙන් පසු සුනාමියෙන් වුවක් මෙන්ම දෙමාපියන් අහිමිවූ දරුවන් බොහොමයක් සිටින බව අපට  දැන ගන්නට ලැබුණි. ඒ නිසා NEDRO හරහා අපි ඔවුන්ට පොත්පත් , පාසැල් බෑග් යනාදිය පිරි නැමුවෙමු. පහත ඇත්තේ ඒ පින්තුරයි. NEDRO මුලිකයා  වශයෙන් කුමාරන් පත්මනාදන් (කේ පී) ද එයට සහභාගී වුනි. ඔහු එවිටත් හමුදාව යටතේ සිටි අතර මෙසේ සහභාගී වුයේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය සහිතව  යයි සිතමි.



මෙයින් පසු මා කලේ මා  දන්නා හඳුනන දෙමල ඩයස්පෝරාවේ යහළුවන්ට මේ ගැන කියා ළමයින් සඳහා උදව් ඉල්ලීමයි. බොහෝ අය ගත් කටටම කිවේ ඒ සල්ලි ගෝටාගේ සාක්කුවට යන බවයි. මෙය ගෝඨාභය රාජපක්ෂ මතාගේ අවසරය ඇතිව කරන දෙයක් බව පැහැදිලි මුත් මුදල් යන්නේ ළමයින්ගේ සුභ සිද්ධිය සඳහා පමණක් බව මම පැහැදිලි කලෙමි. එසේම ඒ සඳහා වගකීමද භාර ගතිමි. නමුත් කිසිවෙක් සුබසාධකයන් (sponsor) වීමට කැමති වුයේ නැත. "ඔබලාට දකුණේ බෝම්බ පුපුරන්නටත් , වෙනම රටක් හැදීමටත් මුදල් යවත හැකි වුවත්, ඔබගේ ළමුන් එංගලන්තයේ හොඳින් ඉගෙනීම ලබද්දී, ජීවිතය සතුටෙන් ගෙවද්දී, තමන්ගේ වරදකින් තොරව අසරණ වුනු  මේ ළමයින්ට  උදව් කිරීමට නොහැක්කේ මන්ද යයි "මම එක දෙමල පරිගණක ඉන්ජිනේරුවෙකුගෙන් ඇසුවෙමි. ඔහු අදටත් මා  සමග කථා  කරන්නේ නැත. 
දැන් විජිත හේරත් මහතා  ප්‍රමුඛ ජවිපෙ කේ පී ට දඬුවම් කරන්නට උසාවි නියෝගයක් ලැබීමට ගොස්ය. මා මෙහිදී කේ පී වත් කරුණාවත් නිදොස් කරන්නට කතා නොකරමි.  කරුණා කැඩුනේ රනිල් වික්‍රමසිංහ ගේ සාම ගිවිසුම් කාලයේ බවත් චන්ද්‍රිකා රජය කරුණාගේ උදව් ගැනීම ප්‍රතික්ෂේප කල බවත් සඳහන්ය. වෙරුගල් නදිය අසලදී කරුණාගේ ළමා සොල්දාදුවන් LTTE ය විසින් මරා දැමු පසු කරුණා ශ්‍රී ලංකා හමුදාවන්ට එකතුවූ බවත් ඔහු යුද්ධයේදී කිසියම් මෙහෙයක් කල බවත් හැමෝම දනිති. එදා හෙළ උරුමයට හෝ ජවිපෙට මේ ගැන ප්‍රශ්නයක් තිබ්බේ නැත. 
මේ දේශපාලන ගේම් එක තව දුරටත් ගෙන යා  යුතුද? කල යුතුව  ඇත්තේ reconciliation commission හෙවත් සංහිඳියා කොමිසමක් පිහිටුවා එයට නෛතික බලයද දී කරුණාට හෝ  කේපීට මෙන්ම අනිත් වරද කරුවන්ටද දඬුවම් ලබා දීමයි. වහාම කල යුතුව ඇත්තේඅර අහිංසක ළමයින් මෙන්ම යුද්ධයෙන් වැන්දඹුවන් බවට පත්වූ දස දහසක් පමණ කාන්තාවන් හා ඔවුන්ගේ පවුල් ගැන සොයා බැලීමයි. 

මේ ගැන හොඳ වැඩ පිළිවෙලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කර තිබෙණු මම දුටිමි. ඒ අතර දෙමල වැසියන්ගේ නිවාස ප්‍රශ්න, වැන්දඹුවන්ගේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න විසඳීමට වැදගත් යෝජනා තිබුණි.  ඔවුන් ස්වයං නිර්ණනය ප්‍රශ්නය මෙන්ම සමාජවාදය එනතුරු බලා නොසිට ප්‍රයෝගික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇත. 
ලන්ඩනයේ පැවති  එක්තරා සම්මන්ත්‍රණයකදී LTTE යෙන් මරා දැමූ රාජිනී තිරානගමගේ සොහොයුරිය නිර්මලා රාජසිංහම් පැමිණ සිටිනු දුටුවෙමි. නිර්මලා රාජසිංහම් යනු LTTE යේ උදව්වෙන්  වැලිකඩ බන්ධනාගාරයෙන්පැන  ගිය, එහෙත්  පසුව LTTE යෙන් ඉවත්වූ අයෙකි. ස්වයං නිර්ණනය හා වෙනම රටක්  පිලිබඳ ඇගේ දැන් ස්ථාවරය  කුමක්දැයි ඇසුවෙමි. ස්වයං නිර්ණනය ගැන කතා නොකරන බවත් දැන් ඇත්තේ දෙමල වැසියන්ගේ ප්‍රශ්න  නිරාකරණය කිරීමේ අවස්ථාවක් බවත් ඇය පැවසුවාය.
ප්‍රශ්නය ඇත්තේ එතැනය. මුළු උතරු නැගෙනහිර ජනතාවම  ඊලම් වාදීන් ලෙස සලකා මෛත්‍රීට  චන්දය දුන්නේ ඊලම පිහිටවන්න යැයි  ජාතිවාදීන් කෑ ගහන රටක කේ පී ට වඩා මේ අහිංසක දෙමල දරුවන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ඇති ප්‍රශ්න නිරාකරණය කරමින් ඔවුනුත් ලංකාවේම වැසියන් බව ඒත්තු ගැන්වීම වඩාත් ප්‍රයෝගික බව මගේ හැඟීමයි. එසේම ජෙයකුමාරිට කිසිම චෝදනාවක් නැත්නම් ඇය  නිදහස් කර ඇගේ  දරුවා ඇයට  භාරදීම සඳහා ජවිපෙට ආණ්ඩුවට බල කළ  හැකියි. 

ප.ලි. 
අපගේ චැරිටි  පදනම ෂෙයාර් ඇන්ඩ් කෙයාර් යනුවෙන් හඳුන්වන අතර අප දෙමල ළමුන්ට පමණක් නොව සිංහල  ළමුන්ටද උදව් කළෙමු. (ජාතිවාදීන්ට මෙයත් ප්‍රශ්නයක් විය හැකි නිසා)හම්බන්තොට හා මාතර මෙවැනිම ළමා කඳවුරු පවත්වා  කොළඹ  ළමා පොත් සංගමය සමග පොතපත සපත්තු ආදිය බෙදුවෙමු.  2007දී සීදුවේ  ඇති හමුදාවේ විශේෂ බලකායට කිහිලිකරු වැනි උපකරණ පරිත්‍යාග කළෙමු.
පහත ඇත්තේ අප මාතර ප්‍රදේශයේ උදව් කල ළමුන් සමුහයකි. 

-- අජිත් 

නිර්මලා රාජසිංහම් ගැන  - https://www.opendemocracy.net/authors/nirmala-rajasingam

Thursday 22 January 2015

හඳ පෙන්නුවාම ඇඟිල්ල දකින මෝඩ අපි?

මේ කාටුන් එක  තිබුනේ ෆේස්බුක් එකේ. දාල  තිබුනේ දිමුතු  කියල මහත්මයෙක්.  මේ පින්තුරේ ඉන්නේ ජවිපෙ නායක අනුර කුමාර. කලින්ම පැහැදිලි කරන්න ඕනේ මම ජවිපෙ සාමාජිකයෙක්වත් සහයෝගය දෙන්නෙක්වත්, සහය දීල බ්ලොග් ලියපු කෙනෙක්වත් නෙමෙයි.
කාටුන් එක ගාව මෙහෙම හැඳින්වීමකුත් තිබුන.
(මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ හැඟීම)
"ජරාජීර්න ධනපති ක්රමය එසේම තිබියදී ඊට 'යහපත් නායකත්වයක්සහ 'වාම තල්ලුවක්ලබා දීමෙන් සොරකම් සහ දූෂන නවත්වා යහපාලනය ගොඩ නැගිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණෙහි අචල විශ්වාසයයිධනපතික්රමය වෙනුවෙන් සිතන මතන සහ මෙතරම් මහන්සි වන පිරිසක් ධනපතින්ට තම පංතියෙන්වත් නොලැබෙන බව සහතිකයි.
.වි.පෙසොයුරනි
විමසන්න.... 
නැවත නැවතත් විමසන්න‍."


ඉතින් මම මේකට කොමෙන්ටුවක් දැම්ම මෙහෙම. 
ඒ කියන්නේ හොරු අල්ලන එක වැරදිද? සමාජවාදය තුලත් කොච්චර හොරු ඉන්නවද?

සාන්ත කියල මහත්මයෙක් මෙහෙම උත්තරයක් දීල තිබුන මට .

"අපි හදට අැගිල්ල දිගු කරන විට ෙමාඩෙයා් අැගිල්ල ෙදස බලති " කතාව මතක් වුනා අජිත් ධර්ම කීර්ති ලියපු ඒක දැක්කම. ධනපති ක්‍රමය තුළ ඉන්න ෙහාරැ අල්ලලා දීම කියන්ෙන් ධකපති ක්‍රමය පිරිසිදු කර පවත්වා ගැනීමට උදවි කිරීම.උන්ම දකිනවා ෙමි දූෂණ, ෙහාරාකෑමි ක්‍රමෙය් පැවැත්මට මාර තර්ජනයක් කියලා. ඉතිං වම නමින් ෙපනී ඉන්න පිරිසක් අැවිත් ඒ්ක පිරිසිදු කරලා ෙදන ඒක උන්ට මාරම මාර උදවිවක් ෙනාවන්ෙන ෙකෙස්ද .. "

මම මෝඩයෙක් කියමු. ප්‍රශ්නයක් නැහැ. මෝඩයොත් ඉන්න එපයි නැත්නම් නුවණැත්තන් ව අඳුන ගන්නේ කොහොමද? මගේ ප්‍රශ්නේ එතකොට හොරුඅල්ලන්නත් සමාජවාදය එනකන් ඉන්න ඕනේ කියල අදහසක් නෙමෙයිද ඕකෙන් මතු වෙන්නේ. හොරු සම්පුර්නයෙන්ම තුරන් කරපු සමාජවාදයක් තමා හදන්න යන්නේ කියල තමා මේ කතාවෙන් මතු වෙන්නේ. හොරු අල්ලලා දුන්නයි කියල ධනපති ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ තමා.මේක සමාජය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් විතරයි.  ධනපති ක්‍රමය වෙනස් කිරීම කියන්නේ භෞතිකවාදී ක්‍රියාවලියක්. ඉතින් හොරු , දුෂණ වංචා කරපු අය ඉන්නවනම් ඒ අය හෙළි දරව් කරන එක සමාජයට සෙත සලසන ක්‍රියා දාමයක් මිසක් අර ක්‍රියාවලියට අයත් වෙන්නේ නැති දෙයක්. නමුත් ඒකෙන්  අදහස් වෙන්නේ නැහැ වාමාංශික පක්ෂයක් හෝ එවැන්නක් යයි තමන් කියා ගන්නා පක්ෂයක් හරි රාජ්‍ය මට්ටමින් හෝ නිලදාරී මට්ටමින් කරන දුෂණ කෙලි දරව්  නොකළ යුතුයි කියල.

සෝවියට් දේශයේ දැන් ඉන්දියාවේ තියෙනව වගේ නිලධාරිවාදී දුෂණ වැහි වැහැල  තිබ්බේ. සෝවියට් වැසියෝ විහිළුවට කිව්ව කතාවක් තමයි පුර්ණ කොමියුනිස්ට්වාදය ආවහම දුෂණය සම්පුර්නයෙන්ම අහෝසි වෙනව කියල. ඇයි  එහෙම කියන්නේ කියල ඇහුවාම  පිළිතුර වුනේ "පුර්ණ සමාජවාදයේදී රාජ්‍යය අහෝසි වෙනව කියල මාක්ස් ම කියල තියනවනේ"ඒකයි  කියල.  
(මේ උපහාසයේ අදහස තමා දුෂිත රාජ්‍යය අහෝසි වුණාම දුෂණය අහෝසි වෙනවයි කියන එක)
චීනයේ , කියුබාවේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකන්ගෙන් වෙන දුෂණ දැන් දැන් අල්ලනවා. චීනයේ නම් මිනිස්සු ඉදිරියට එනවා අන්තර්ජාලයෙන් හෙම විරෝධය දක්වමින්. 
මම මොස්කව් ඉන්න කාලේ ගොර්බචෝව් යෙල්ට්සින් කියල දක්ෂයෙක් මොස්කව් පක්ෂ ලේකම් හැටියට පත් කලා . මිනිහ ආපු  ගමන් මොස්කව් වල ගොඩනැගිලි හදන අමාත්‍යංශයේ ගැහිලි නතර කලා. ඊට පස්සේ මිනිහ කිව්වා පක්ෂයේ අයට  වෙනම සුඛෝපභෝගී  භාණ්ඩ විකුණන වෙළඳ සල්  අවශ්‍ය නැහැ කියල ඒවා වහන්න හැදුව. මිනිහව පක්ෂය විසින් බලයෙන් පහ  කලා. සෝවියට් දේශය වැටිලා ආපු ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති වුනේ ඔහු. නමුත් මිනිහ ඒ රජයේ නම් සම්පුර්නයෙන්ම දුෂණයට ඉඩ දුන්න. 
සමහරවිට ඒ මනුස්සයට අර කල වැඩේ කරගෙන යන් ඉඩ දුන්නනම් කියලත් වෙලාවකට හිතෙනවා. 
දැන් එතකොට "ජනරළ " පත්තරෙත් සෑහෙන්න ලියනවා දුෂණ ගැන. මේ පාර එකෙත් "අලි හොරු හා වන ජිවියේ හොර අලි " ගැන දාල තිබුන ලිපියක්. මම දැනගෙන හිටියේ නැහැ පත්තරේ අනුරට සපෝර්ට් කියල. 

දැන් හඳ කියන්නේ සමාජවාදය නම් එතනට යන ගමන අරගල තුලින් යන එකක් වෙන්න ඕනෙනේ. හොරකම් සහ දුෂණ වලට විරුද්ධ වීම ඒකට අයිති නැත්ද? මේ අති වාමාංශයේ ළදරු වලිප්පුවද?


ප.ලි :  ජවිපෙ තක්කඩිකමක් ඇති ඒ පැත්තේ (පෙසපේ)  ඉඳන් බැලුවහම. නමුත් දුෂණ වලට විරුද්ධවිමෙන් අපි සමාජයට කරන්නේ යහපතක් නොවේද කියන ප්‍රශ්නය මතු කල යුතුයි. 

මාධව වීරසිංහ ගේ පිළිතුරත් මෙහි පල කරනවා:
  "සමාජයක් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකට ලක් කිරීමේදී දූෂන සහ හොරකම් වැළැක්වීම අත්‍යවශ්‍ය කාරනයක්. නමුත් ගැටළුව තමයි ලංකාවේ අබල දුබල, පසුගාමී ධනේෂ්වරයට ඒ සදහා මැදිහත් විමට ඇති නොහැකියාව. 

පසුගිය අවුරුදු 66 දෙස බලන්න. 
කුමක්ද සිදුව ඇත්තේ?

දිනෙන් දින තත්වය වඩ වඩාත් අර්බුදකාරී වන බව දකින්න පුළුවන්. හැම දාම අපි ‍'හොරුන් ඇල්ලීම' සහ 'දූෂන වැළැක්වීම' ගැන බරසාර විදිහට කථා කරනවා. කවුද එවැනි දේ වැළැක්වීමට සක්‍රියව සහ අවංකව මැදිහත් වීමක් කර ඇත්තේ. ඒ වගේම අදාළ පුද්ගලයින්ට දඩුවම් කර ඇත්තේ. කිසිවෙක් නැහැ. තිත්ත ඇත්ත එයයි.

මේ ආන්ඩුව දිහාම බලන්න. රනිල්, මෛත්‍රි, රාජිත, රවි, සහ අනෙකුත් බොහෝ දෙනෙකුට තියෙන්නේ දූෂන සහ හොරකම්වලට සම්බන්ධ හෝ එවැනි දෑ ඉවසූ ඉතිහාසයක්. මීට වසර කිහිපයකට කලින් අපි දැක්කෙ මොකක්ද? එදා ජ.වි.පෙ. කථා කලේ ඉහත කී පුද්ගලයන්ගේ දූෂන සහ හොරකම් ගැනයි. උත්ප්‍රාසාත්මක ලෙස අද වෙන කොට ජ.වි.පෙ. ඒ අය සමග රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න පෙළ ගැහිලා. 

මේක තමයි ජඩ කම!
මේක තමයි තක්කඩි කම! 

මේ අර්බුදය පවතින ජරාජීර්න සමාජ ක්‍රමයත් එක්කයි ගැට ගැහිලා තියෙන්නේ. විසදුම සම්බන්ධව ඇත්තේ එහි තිරනාත්මක වෙනසක් සමගයි. ඒකට සූදානම් නොවෙන තාක් හොරු ඇල්ලීමේ මෙවැනි සංදර්ශන සහ හොරකම් මෙන්ම දූෂනත් දිගටම පවතීවි. "-

Friday 16 January 2015

තාරකා නිරීක්ෂණය - දෙනෙති (Binoculars) සහ මෘදුකාංග තෝරා ගනිමු

තාරකා නිරීක්ෂණය - දෙනෙති  (Binoculars) සහ මෘදුකාංග තෝරා ගනිමු 

තාරකා නිරීක්ෂණය (star  gazing)  කියන්නේ හොඳ විනෝදයක් සපයනවා  වගේම තමන්ගේ දැනුම දියුණු කරගන්නත් පුළුවන් වන විනෝදාංශයකි.  පටන්ගැන්මේදී පළපුරුදු අය ආධුනික තාරකා විද්‍යාඥයකුට  / නිරික්ෂකයකුට උපදෙස් දෙන්නේ මිල අධික දුරේක්ෂයක් වෙනත් විධිහකට පවසනවානම් ටෙලස්කෝපයක් ගන්නට  කලින් දෙනෙතියක්  (හෙවත් බයිනොක්යුලර් -Binocular) මිලදී ගන්නා  ලෙසයි. මෙයට හේතුව එසේ  දුරේක්ෂයක් එක්වරම මිලදී ගෙන එංගලන්තය වැනි  රටක නම් සීතලේ වෙව්ල වෙව්ලා  තරු සොයනවාට  වඩා තරු පිරි අහස ගැන හොඳ අවබෝධයක් මුලින් ලබාගෙන ටෙලස්කෝපයක් භාවිතා කරන එක සුදුසු නිසාය. උදාහරණයක් වශයෙන් ප්ලේයඩිස්  pleiades හෙවත් හත්දින්නත් තරු (සෙවන් සිස්ටර්ස් ලෙසත් හැඳින් වේ) ගොන්න ලෙහෙසියෙන්ම බයිනොක්යුලර් මගින් සොයා ගත හැකිය. අනික ඒ හතට අමතරව තියෙන අනිකුත් තාරකාත් නිරීක්ෂණය කල හැකිය.
හත් දින්නත් තරු 

මේ සඳහා හොඳ  බයිනොක්යුලර් කීපයක් නම් කල හැක. එංගලන්තයේ හෝ ජර්මනියේ ජිවත් වනවානම් ලිඩ්ල් නමැති සුපර්මාර්කට් මගින් විකුණන බ්‍රෙසර් එක හොඳ එකකි. එය ස්ටර්ලින් පවුම් 15-20 වන අතර හොඳම  ඒවා පවුම් 80-90 ට හෝ මිලදී ගත හැකිය. ඔබෙර්වර්ක් මයිනර් (8 x  40) නමැති ජර්මන් වර්ගයත් බොහෝ අය කැමති එකකි.  මේවායේ  සූම් (zoom) එක 8 හෝ දහය  සහ කාචය මිලිමීටර 50 හෝ 56 විය හැකියි. මෙවැනි (8 x  56), (10 x 50) (7 x 35), (7 x50) වර්ග කීපයක් තිබේ. 7, 8 10 ට යනු magnification (විශාල කිරීම) හෙවත් බයිනොක්යුලර් එකේ  power එක නමින් හැඳින්වේ. අනික් නොම්මරය  කාචයේ විශාලත්වයයි. දෙනෙති (බයිනොක්යුලර්) වලින් අහස බැලීමේදී එය තදින් සෙලෙවෙන්නේ නැතුව අල්ලා  ගැනීම
වැදගත්ය. අවශ්‍ය නම් ට්‍රිපොඩ් tripod එකකට බැඳ හෝ වෙනත් ලීයකට බැඳ පොළොවේ හිටුවා හෝ බිත්තියක, ගහකට හේත්තුවී හෝ බැලිය යුතුය. මෙමගින් තාරකා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කල  හැකි වන අතර මෙහි මූලික අභිප්‍රාය වන්නේ ඒ ඒ තාරක මණ්ඩල අහසේ නියමිත කාලයේ නියමිත වෙලාවට  කොතැනක තිබෙන්නේද වශයෙන් දළ අදහසක්  ලබා ගැනීමයි.  ටෙලස්කෝපයක් ගත යුත්තේ මෙසේ රාත්‍රී අහස ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමෙන්ය.
දෙනෙති (බයිනොක්යුලර්) ගැන වැඩි දුරටත් පහත ලින්ක් එකෙන් බලන්න.

http://www.space.com/26021-best-binoculars.html

මෘදුකාංග (Software):
මම වඩාත්ම ප්‍රියකරන මෘදුකාංගය ස්ටෙලාරියම් ය. එය open  source හෙවත් නිදහස පරිගණක පද්ධතියට අනුව  ලියන ලද ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගත හැකි එකකි. එය ලබා ගත හැක්කේ මෙතැනිනි.
http://www.stellarium.org/en_GB/

මේ මෘදුකාංගයේ වැදගත්කම නම් ඔබට තමන් සිටින ස්ථානය අක්ෂාංශ දේශාංශ අනුව සටහන් කල පසු තමන් සිටින තැන අහසේ සම්පුර්ණ තාරක පද්ධතියම පෙන්වීමයි. මේ ඉහත පින්තුරයේ පෙන්වන්නේ අද(16-01-2015) රාත්‍රියේ එංගලන්ත වේලාවෙන් 7.48 ට පමණ දකුණු දිග අහසයි. ඔබට ඉදිරි ඕනෑම දිනයක අහස ද දිනය වෙනස් කිරීමෙන් ලබා ගත හැක. ඕනෑම චක්‍රාවාටයක්, අපේ සෞර  ග්‍රහ මණ්ඩලය සහ සමහර ග්‍රහලෝකත් , නොමෑඩ් නමැති තාරකා  කැටලෝගයේ ඇති  විශාල ගණනක් තාරකාත් (99%) මෙහි ඇතුලත් කර ඇත.  මෙය පරිගණකයේ  දමා  ගත් පසු සෙට් අප්  කිරීමට මේ යොමුවට යන්න.
http://www.stellarium.org/wiki/index.php/Configuration
අනිත් වැදගත් කම නම් ස්ටේලාරියම්  අයිෆෝන් (iphone) හා ඇන්ඩ්‍රෝයිඩ් වලට පහසුවෙන් බාගත හැකි වීමයි. තවත් හොඳ මොබයිල් මෘදුකාංග නම් ස්කයි වීව් හා ස්ටාර්ස් (skyview, stars) ය. මේවාද  ඔබ සිටින  තැන අනුව තාරකා හඳුනා ගැනීමට සමත්ය.

මා  කැමති තවත් මෘදුකාංග දෙකක් නම් world wide telescope හා celestia යන දෙකයි. සෙලෙස්ටියා එකෙන් අස්ටෙරොයිඩ්ස් (උල්කාපාත) , ධූම කේතු හා චන්ද්‍රිකා ආදිය තිබෙන තැන පෙන් වයි.

මෘදුකාංග සඳහා හොඳම  යොමුව මෙයයි.
http://www.techsupportalert.com/best-free-astronomy-software.htm

අවසන් වශයෙන් තාරකා  විද්‍යාව හා තාරකා  නිරිකෂනය දැන් ඉතා ජනප්‍රිය වන අතර පුරවැසි  විද්‍යාඥයන් පිරිසක් දැන් බිහි වෙමින් තිබේ. වෙබ් ලෝකයේ පුරවැසි මාධ්‍යකරුවන් මෙන්ම මේ පුරවැසි  විද්‍යාඥයන්ද මහත් සේවයක් කරති. එනම් හොඳ ටෙලස්කෝපයක් ඇත්නම් පෘථිවියට එන හදිසි උල්කාපාතයක් හඳුනා ගැනීමට, මන්දාකිණි වර්ග කිරීමට, හිරුගේ හදිසි වෙනස් වීම මැනීමට , සුපර්නෝවා හඳුනා ගැනීමට ඔවුන්ගේ සේවය භාවිතා  වේ. ඔබට ඔබගේ නිවසේ පරිගණකය අසල සිටම මේ මෙහෙය කිරීමට වෙබ් අඩවියක් දැන් අවුරුදු තුනක හතරක සිට ක්‍රියාත්මක වේ. මෙයට කියන්නේ සුනිවර්ස් (Zooniverse) කියයි. මෙහි බලාපොරොත්තුව  පුරවැසි විද්‍යාව (citizen science) දියුණු කිරීමයි.  මෙහි යොමුව https://www.zooniverse.org/. මෙහි සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව ඔබට පුරවැසි  විද්‍යාඥයකු වශයෙන් මන්දාකිනි වර්ග කිරීමෙන් හා හිරුගේ රශ්මිය අධ්‍යයනය කිරීමෙන් තාරකා විද්‍යාඥයන්ට උදව් කල හැකිය.

ඊළඟ ලිපි වලින් අපි ටෙලස්කෝප හෙවත් දුරේක්ෂ තෝරා ගැනීම ගැන කතා කරමු.
මුලාශ්‍ර:http://ww4rf.net/m45-large.html

- අජිත් ධර්මකීර්ති
Fellow of Royal Astronomical Society  

Friday 9 January 2015

ජාතිවාදය අවුස්සන්න එපා

නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය බොහෝ දෙනාට ආශ්වාදයක් ගෙන දී තිබේ. ඔහුට උතුරු නැගෙනහිරින් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන්ද බහුතර චන්ද ප්‍රමානයක් වැටී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බොහොමයක් දකුණේ පිරිස් චන්දය දී ඇත. මෙම චන්ද දුන් සිතියම් ඇසුරු කරගෙන ජාතිවාදී අදහස් වැපිරවීමට  හා ශ්‍රී ලංකාව යලි අස්ථාවර  කිරීමට ෆේස්බුක් සමාජ ජාලයේ ඇතැම් පිරිසක් කටයුතු කරනු දැකිය හැකිය. මේ අය බොහෝ විට දැන් අක්‍රිය වී ඇති ලන්කාසීනිව්ස් රසිකයන් විය හැක. මේ අදහස සමපාත  වන්නේ දැනට සොයා ගත නොහැකි විමල් වීරවංශ මහතාගේ දේශනා වලට හෙයිනි. පහත ඇත්තේ මෙසේ ප්‍රචලිත කරන එක්  ඡායාරූපයකි.
ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය විසින් ප්‍රසිද්ධ කරන ලද ඊලාමයේ සිතියම සිරිසේන මහතා දිනු දිස්ත්‍රික්ක වලට සම කර තිබේ. මින් අදහස් කරන්නේ මේ පළාත්වල ජනතාව දෙමල ඊළමක් සඳහා චන්දය දුන් බවකි. මෙය සහමුලින්ම වැරදියට අර්ථකථනය කිරීමකි. ඇත්ත වශයෙන්ම මේ චන්ද ප්‍රථිපලය  සතුටු විය හැකි කාරණාවකි. මේ පළාත්වල දෙමල ජනතාව සිංහල අපේක්ෂකයකුට, ජාතික හෙළ උරුමය පවා සහයෝගය දෙන සිංහල අපේක්ෂකයෙකුට චන්දය දමා  තිබේ.  තවද මේ පළාත්වල දෙමල ජනතාව හා මුස්ලිම් ජනතාවද සෑහෙන ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට චන්දය දී තිබේ. ඒ සියල්ලෝමත් හෙළ උරුමය හා ජනරාල් ෆොන්සේකා සහය දුන් මෛත්‍රිපාල සිරිසේනට චන්දය දුන් අයත් ඊළමට සහයෝගය දෙන්නන් ලෙස සැලකීම එක්කෝ මෝඩ කමකි. නැත්නම් කෛරාටික කමකි. මට සිතෙන්නේ දෙවැන්නයි.
මේ අනිත් පින්තුරයයි.
මෙහි ඉතා වංචනික ලෙස සිරිසේන මහතාට චන්දය දුන් අය ලෙස කතා කරමින් ඉහත කී  කෛරාටික වංචාවම  කරති. මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගත්තේ ඉහත කහ පාටට පෙනෙන චන්ද වලින් පමණක් නොවේ. ඔහුට දකුණේ නිල් පාටට පෙනෙන පැතිවල 35% සිට 45% දක්වා ප්‍රමාණයක් චන්දය දුන්හ.  මොවුන් කියන්නේ මේවා බොහොමයක වෙසෙන සිංහල චන්දදායකයන් ඊළමට චන්දය දුන් බවද?

දැන් අපි ඊළම සඳහා යම් චන්ද පදනමක් තිබුනේ දැයි බලමු. ටැමිල්නෙට් හා වෙනත් LTTE ව්‍යාපාරයට සහය දෙන වෙබ් අඩවි කියා සිටියේ චන්දය වර්ජනය කරන ලෙසය.  ආනන්දී සශිධරන්  මහත්මියගේ සැමියා එම සංවිධානයේ සිටි නිසා ඇයවත් එතනට දමමු. ඇයද කිවේ චන්දය දෙන්නට එපා කියාය. (වෙනත් හේතුන් මත) එතකොට ප්‍රතික්ෂේපවූ චන්ද ගණන යාපනය 495ක් හා වන්නියේ 895 කි. ස්වයං නිර්නන අයිතියට  සහයෝගය දෙන වමේ අපේක්ෂකයන් සිටියේ දෙදෙනෙකි. ඒ  පානි සිරිවර්ධන (63ක්, 57 ) හා සිරිතුංග ජයසුරියයි (34ක්, 100) . මෙය අසාධාරණ යයි සිතුනත් ඔවුන්ට  උතුරේ දැමු චන්දත් එතනට දමමු. (වරහන් තුල ඇත)   හොඳයි නැගෙනහිරත් එකතු කරමු. එය ප්‍රතික්ෂේප කල චන්ද 442 + පානිට  44+ හා සිරිට 18 වේ. දැන් මේ සියල්ල එකතු කරමු. සියල්ල 2014කි.  එය 0.1%ටත් අඩු සංඛ්‍යාවකි. 
අප වලංගු චන්ද සංඛ්‍යාවෙන්  ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව  අඩු කලත් ඉන් ලැබෙන්නෙත් ලක්ෂයකට අඩු සංඛ්‍යාවකි. අප්‍රකාශිත චන්ද වලින් බොහොමයක් රටේ නැති අයගේ හෝ මියගිය එහෙත් මරණය ලියා  පදිංචි  නොකළ චන්දය. 

මේ නිසා ඉහත පළාත්වල බහුතර චන්ද ප්‍රමාණයක් ඊළමට දුන්  ඒවා යයි සැලකීම මිත්‍යාවකි. මේ නිසා මෙය  චන්ද පැරදුනු ජාතිවාදීන් දුකට කරන දෙයක් ලෙස නොසැලකිය යුතුය.  මේ නැවත ජාතිවාදය ඇවිලවීමට ගන්නා  පහත්  උත්සාහයකි. ශ්‍රී ලංකාව ජාතිවාදී යුදයෙන් හා කෝලාහල වලින් ඇති පදම්  බැට  කෑ රටකි. අපේ පවුල් හා නෑදෑයන් ජිවත් වන මේ සුන්දර රට මේ  ජාතිවාදී කුහකයන්ට නැවතත් ඇවිලවීමට  ඉඩ නොදෙමු.
ප.ලි.
නිවැරදි සිතියමක්:


Wednesday 7 January 2015

ඔටෝක්‍රසි හා ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න -учиться, учиться и учиться

ඉහත කී  පාඨය මට කියන්නට සිදුවුවකි.  උචිත්සා  යනු ඉගෙන ගන්න (learn) යන තේරුම ඇති රුසියානු වචනයයි. ඒ මම  සොවියට්දේශයේ ඉගෙනුම ලබද්දී පළමු අවුරුද්ද අවසන්වූ කාලයේ තිබු රුසියානු භාෂා උත්සවයටය. මගේ පියකරු කරුණාවන්ත රුසියන් ගුරුතුමිය මෙම වදන් පෙළ අඩංගු පරිච්චේදය එම උත්සවයට වේදිකාවේ සිට කියැවීම සඳහා පැවරුවේ මටය. ඒ 1984 දීය. එම පරිච්ඡෙදය  ඇය රැගෙන තිබුනේ ලෙනින්ගේ ලිපියකිනි.  2014 දී එම පරිච්ඡෙදය වෙන හේතුවක් සඳහා ලියන්නට වේයැයි හීනෙන් වත් නොසිතුවෙමි. එයට පෙර කියයුතු තව කතාවක් මතකයට නැංවේ.

1985 උපාධිය පාඨමාලාවේ පළමු අවුරුද්දේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය උගන්වයි. මෙය ඉන්ජිනේරු, වෛද්‍ය ආදී ඕනෑම පාඨමාලාවක් කරන අය ඉගෙන ගත යුතුය. මෙහිදී වසර අවසාන විභාගයේ ප්‍රතිපලය උපාධියේ අවසන් ලකුණු ලේඛනයට යන නිසා වැදගත්ය. මෙහි එක ප්‍රශ්නයකට තිබුනේ ලෙනින්ගේ "පියවරක්  ඉදිරියට පියවර දෙකක් පසුපසට" පොත් පුන්ච ගැනයි. සියලුම ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු සැපයු මම පිළිතුරු පත්‍රය සමග මදක් තද ගතියකින් කටයුතු කරන ඉතිහාසය ගුරුතුමිය ලී.***** ලඟට  ගියෙමි. ඇය සියලුම ප්‍රශ්න සලකුණු කල නිවැරදි බව කියා ඉන්පසු ඉහත පොත් පිංච මොන අවුරුද්දේ ලීවක්ද  කියා ඇසුවාය. මම හරි පිළිතුර දුන්  පසු ඇය ලෙනින්ගේ "ඉගෙන ගන්න යනුවෙන්  තෙවරක් තිබෙන" පොත් පුන්ච ඉදිරිපත් කල වර්ෂය ඇසුවාය. එය නොදන්නා බව කියූ මම එහි ඇති දේ හා ලියුවේ ඇයි  කියා පැහැදිලි කල හැකි බව කීවෙමි. නමුත් ඇය පන්න පන්නා වර්ෂයම  ඇසුවාය. එතැන සිටි විදේශ ශිෂ්‍යයන් භාර අංශයේ පීඨාධිපතිනිය දෙනිසෝවා  (අපේ විභාග නිරික්ෂනයට ඇය  පැමිණ සිටියාය)  මෙහිදී මා හොඳට පිළිතුරු දුන් බවත් මට මුළු ලකුණු දීම යෝග්‍ය බවත් කියා සිටියාය.  එය ප්‍රතික්ෂේප කල ඉතිහාස ගුරුතුමිය කීවේ මා විභාගයට ආවේ නොගරුවෙන් බවයි. අනික මා පන්තියේදී පවා ප්‍රශ්න අසමින් වාද කරන බවයි. එහිදී මට තේරුනේ අනික් පිරිමි සිසුන් සියලු දෙනාම පාහේ  ටයි කෝට් දමා පැමිණි අතර ටි ෂර්ට් එකක් ඇඳන්  සිටියේ මා පමණක් බවයි.  එය හොඳ සුදු ටි ෂර්ට් එකක් මිස අනං මනං ලියා  තිබූ  එකක්වත් නොවේ. කෙසේ වතුදු ඉතිහාස ගුරුතුමිය ලී.***** තරහෙන් මෙන් මට අඩු ලකුණු දුන්නාය.  පීඨාධිපතිනිය කලේ කණගාටුවෙන් බලා සිටීම පමණි.

මින් අවුරුදු තුනකට පමණ පසු මා ශිෂ්‍ය සංගමයේ ලේකම් කාලයේ ප්‍රදර්ශනයක්  සංවිධානය කලෙමි. එයට පැමිණි ඇය (ලී.*****) මා හොඳින් ඉගෙන ගන්නා බව දැනගන්නට ලැබුණු බවත් මගේ ප්‍රදර්ශන වැඩ ආදිය  ඉතා හොඳ බවත් පැවසුවාය. මෙහිදී මා ඇයට කිවේ ඇඳුමින් මිස දැනුමෙන් මිනිසුන් මැනිය නොහැකි ඇය ගැන මට  වැඩිපුර ප්‍රසාදයක් නැති බවයි. මා කියනදේ මුහුණට කෙලින්ම කියන බව පැවසූ ඇය මගේ දේශපාලන ආර්ථික විද්‍යාව ගුරුතුමියට කථා කල බවත් මා  පන්තියේදී වාද කරන බව එය නුසුදුසු බවත් පැවසුවාය. මා එහිදී කිවේ මේ යන විධිහට ගියොත් සෝවියට් දේශය වැඩිකල් නොපවතින බවත් ආර්ථිකය දුර්වල බවත් ආර්ථික ප්‍රතිපත්ති වැරදි බවත්ය. මෙහිදී කෝපාවිෂ්ට බවක් පෙන්වූ ඇය කිවේ මා නිවාඩුවට ධනවාදී රටවලට යන නිසා ඔලුව කුරුවල්වී ඇති බවයි.  මා සෝවියට් දේශයට ආදරය කරන බව පවසා ඇයගෙන් ඉවතට ගියෙමි.
පසුව මා ඇය දුටුවේ  දෙතුන් වතාවක් පමණි. ඉන්පසු එළඹියේ 1991 වසරයි. සෝවියට් දේශයේ පෙරේස්ත්රෝයිකාව (perestroika)  වැරදී ගොර්බචෝව් සෝවියට් කඳවුර විසිරෙවූ කාලයයි.  පෝලන්තය කඳවුරෙන් ඉවත ගොස් තිබුණි. අගෝස්තු 19 දා  යෙල්ට්සින්  ටැංකියක් උඩ නැග කතා කරන විට මම  ඒ අසල (තරමක් දුරින්) සිටියෙමි. ඒ දිනවල මා  යහළුවී සිටි රුසියානු පෙම්වතියගේ නිවස තිබුනේ ක්‍රෙම්ලිනයට  හැතැප්ම  භාගයක් පමණ එහා අර්බාත්සකයා   නමැති පෙදෙසේ හෙයිනි. ජර්මන් ජනතාව නොවැම්බර් 9 ජර්මනිය  බෙදන තාප්පය  බිඳ හෙලන ලදී. ඒ ආසන්න දිනෙක මා අර්භාත්සකයා  වලින් උමන් දුම්රිය ගැනීමට පාර හරහා ඇති පොලව යට උමගින් ගමන් කරමින් සිටියෙමි. මේ දිනවල රූබලය වැටී තිබුන අතර උද්ධමනය අහස උසට නැග  තිබුණි.  ලැබෙන පඩියෙන් සුමානයක් වත් ජිවත් වීමට නොහැක. ඒ නිසා බොහෝවිට මහලු අය පමණක් නොව කන්තෝරු රැකියා කල අය පවා කිසියම් දෙයක් විකුණා මුදලක් සපයා ගන්නට පාරවල් වල , උමන් දුම්රියට යන මාර්ග දිගේ පේලියට සිටියහ. එදා මා යනවිට තමන් වියූ සීත  සෘතුවට අදින ජර්සියක් විකුන්නනට බලා සිටියේ ඉතිහාස ගුරුතුමියයි. මට ඉමහත් දුකක් දැනුනි. මා ඇය අසලට ගොස් කතා කර කෝපි එකක් බොන්නට ආරාධනා කලෙමි. ඉන්පසු රුසියානු කෑමක් වන පිරශ්කි (මස් හා බත් ඇතුලට දැමු රෝල්ස් වර්ගයක්) සමග කෝපි එකක් රැගෙන දුනිමි. කතාව අතරතුර ඇය මුලින්ම අවුරදු හයකට පමණ කලින් මට අකාරුණිකව  සැලකු බව සිහිපත් කලාය. ඇයට එය මතක තිබ්බේ ඇයිදැයි මම නොදනිමි. එසේම මා මේ තත්වය එන බව කී  නමුත් ඔවුන්ට උගන්වා තිබුනේ පක්ෂය විශ්වාස කිරීමට බව මට කීවාය. ඇය අමාරුවෙන් ජිවත් වන බවත් හැකිනම් රැකියාව නැතිවී සිටින ඇගේ  පුත්‍රයාට වෙළඳාමක්  කිරීමට උදව් කරන ලෙසත් ඉල්ලා සිටියාය.  නැවත සමාජවාදයක් එනතුරු සිටින්නයි ඇයට කීමට මට සිත් දුන්නේ නැත. ධනවාදී යයි කියන චැරිටි (සුභ සාධන) මාර්ගයේ යාමෙන් පමණක් ඇයට උදව් කල හැකිව තිබුණි. ඇය මගෙන් මුදල් ප්‍රතික්ෂේප කළ නිසා ජර්සිය මිලදී ගත්  මා පසුව ඇගේ  පුත්‍රයාට ඒ දිනවල පරිගණක ආදිය විකිණීම කරන අයෙකු හඳුන්වා දුන්නෙමි.

ලෙනින් "ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න"  කියා ලියු පොතේ නම "රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිගාමී  නැඹුරුව " යන්නයි. එය ඉංග්‍රීසියෙන් A Retrograde Trend in Russian Social-Democracy යනුවෙන් හැඳින්වේ. රුසියානු ප්‍රකාශනය පහත ඇති මුලශ්‍ර යොමුවේ ඇත.

මෙය වැදගත් ලිපියකි. අර ඉගෙන ගන්න කියන කොටසේ පරිවර්තනය මෙසේයි.
"ඉගෙනීම ලබා තිබෙන සමාජ කොටස් අවංක එහෙත් නීති විරෝධී ප්‍රකාශන (කොමියුනිස්ට් ප්‍රකාශන මේ දිනවල නීති විරෝධීව තිබුණි) කෙරෙහි ඇති උනන්දුව හීනවී ඇති මේ අවස්ථාවේ දැනුම ලබා ගැනීම පිළිබඳවත් සමාජවාදය පිලිබඳවත්  උද්යෝගිමත් ඉමහත් අභිරුචියක් ශ්‍රමිකයන්  (වැඩ කරන ජනතාව) අතර ඇතිවී තිබේ. ඉතා අසීරු ජීවන තත්වයන් මැද, කම්හල්වල වහල් කම වැනි රැකියා කරමින්  බලවත් අසීරුකම් මධ්‍යයේ නියම වීරයන් මොවුන් අතර බිහි වෙමින්, ඔවුන් ඉගෙනීම, ඉගෙනීම හා නැවතත් ඉගෙනීම කරමින් තමන් නියම සවිඥානක සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බවට පත් වෙති. ඔවුන් සැබෑ වැඩ කරන ජනතා බුද්ධිමත්හුය.

ඕනෑම භාග සමාජවාදී රටක වුවද දැනුමට සහ ඉගෙනීමට මේ අනුව ලබා දී තිබුනේ ඉතා ඉහළ තැනකි.
ඉහත ලිපිය ලෙනින් ලියුවේ 1899 වසරේදීය. 

මෙහි තවත් වැදගත් කොටසක් තිබේ. ඒ ඔටෝක්‍රසි  යනු කුමක්ද යන්නය. මේ ලිපිය ලියා ඇත්තේ "රබෝචය මිස්ල්" හෙවත් "ශ්‍රමයේ තේරුම" නමැති රුසියානු සඟරාවේ ඒකධිපතිවාදය ගැන  ලිපි පෙළකට පිළිතුරු වශයෙනි.
ඔහු (ලෙනින්) මෙසේ කියයි.
"පරණ රුසියානු විප්ලවවාදීන් වන නරෝද්නයා වොල්යා  (ජනතාවගේ අභිප්‍රාය) වරුන් බලය විප්ලවාදී පක්ෂයක් මගින් ලබා ගැනීමට යත්න දැරුහ. බලය ලබා ගැනීම මගින් තමන්ට ඔටෝක්‍රසියේ "පුද්ගලික බලය " අභිබවා යාමටත් තමන්ගේ නියෝජිතයන් ඒ ඒ තැන් වලට පත් කිරීමටත් ආර්ථික බලය අල්ලා ගැනීමටත් හැකි යැයි  සිතූහ. එයින් සමාජ විප්ලවය සඳහා අවශ්‍ය මුල්‍ය බලය ලැබෙනු ඇති සිතුහ. ප්ලෙඛානොව් ඇතුළු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මෙම විප්ලවවාදී තියරියට විරුද්ධ වුහ.

රුසියාවේ දැන් ඇත්තේ සමාජවාදයක්ද ඔටෝක්‍රසියක්ද?

ඔටෝක්‍රසි යනු කුමක්ද? ඔටෝක්‍රසි  හෙවත් නිරපේක්ෂ බලය, අසීමාන්තික (බලැති) රාජාණ්ඩුව යනු සම්පුර්ණ සුපිරි බලයම එක රජෙක් සාර්  කෙනෙක් අතර රඳවා  ගත් පාලන ක්‍රමයකි. ඔහු නීති නියම කරයි, නිලධාරීන් පත් කරයි, රටේ ලැබෙන අදායම  පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෝ පාලන තන්ත්‍රයකින් තොරව තම හිතු මතයේ වියදම් කරයි. මේ නිසා ඔටෝක්‍රසි යනු රාජ්‍ය නිලධාරීන්ගේ නිරපේක්ෂ සුපිරි බලයක්  හා අයිතිවාසිකම් රහිත ජනතාවක්ය. මෙම අයිතිවාසිකම් නැතිවීම මගින් මුළු මහත් ජනතාවක් පීඬා  විඳින මුත්  ප්‍රාග්ධන හිමියන් (මහා ඉඩම් අයිතිකරුවන්  සහ ධනපතියන්)  රෙජීමයේ නිලධාරීන් කෙරෙහි බලවත් බලපෑමක් ඇත්තන් වෙති.
ඔටෝක්‍රසිය පරාජය කිරීම යනු කුමක්ද? එහි තේරුම සාර්  ගේ නිරපේක්ෂ බලය අත් හැරීමයි. මිනිසුන්ට තමන්ගේ නියෝජිතයින් තෝරා ගැනීමට ඇති අයිතියත් , රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා අධීක්ෂණය කිරීමේ බලයත්, රාජ්‍ය ආදායම එකතු කිරීමේ හා  නිසි පරිදි බෙදාහැරීමේ බලයත් ලබා ගැනීමය. මෙවැනි රජයක් ව්‍යවස්ථාදායක රජයක් වේ.  මේ නිසා ඔටෝක්‍රසිය පරාජය කිරීමෙන් ඒකාධිකාරී රජයක් ව්‍යවස්ථාමය රජයක් මගින් ප්‍රතිස්ථාපනය කෙරේ.

ඔටෝක්‍රසිය පරාජය කිරීම රුසියානු වැඩ කරන පන්තියේ මුල්‍ය කාර්යභාරය විය යුත්තේ ඇයි ?
එයට හේතුව ඔටෝක්‍රසිය යටතේ වැඩ කරන පන්තියට තමන්ගේ අරගලය පුළුල් ලෙස වර්ධනය කිරීමට අවස්ථාවක් නොලැබේ . වැඩ කරන පන්තියට ආර්ථික හෝ දේශපාලන ක්ෂේත්‍රයේ ස්ථිර තත්වයක් ලබා ගැනීමට නොහැකි වේ. ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩ නඟා සමාජ විප්ලවයේ ධජය  වැඩ කරන මිනිසුන් ඉදිරියේ දිග හැර ඔවුන්ට අරගලය කිරීමට ඉගැන්වීමට නොහැකි වේ. ධනවාදී පන්තියට එරෙහි මුළු මහත් වැඩ කරන ජනතාවගේ අරගලය කල හැකි වන්නේ දේශපාලන නිදහස තිබ්බොත් පමණි. ධනය විරහිත පන්තියේ අවසාන අරමුණ දේශපාන බලය ගැනීම හා සමාජවාදී සමාජයක් ගොඩ නැගීමයි. සංවිධානාත්මක ධනය විරහිත පන්තියේ අරගලයන්  ගැන දීර්ඝ කාලින ඉගෙනීම තුලින් දේශපාලන බලය ජය ගැනීම යනු ධනවාදී රජයක නියම "පුද්ගල බලය  පෙරලා   ආර්ථික බලය" අල්වා  ගැනීමයි. රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් මේ බලය අල්ලා  ගැනීමක් රුසියන් ශ්‍රමික පන්තියේ  ක්ෂණික කාර්යයක් හැටියට එලියට දමන්නේ නැත. රුසියානු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් සැමවිටම දරන මතය වන්නේ දේශපාලන නිදහස යන කොන්දේසිය මත, පුළුල් මහජන අරගලයක් ඇති විට , රුසියන් වැඩ කරන පන්තිය සමාජවාදයේ අවසන් ජයග්‍රහණය සඳහා සංවිධානයන් වර්ධනය කරන බවයි."

මේ අවධියේ ලෙනින් සමග ට්‍රොට්ස්කි , පානි, සිරිතුංග, නාගමුව හා ශාන්ත සිටියේ නැත. 1917 පෙබරවාරි මස ධනපති දේශපාලන විප්ලවයෙන් සාර් බලයෙන් පහ කල පසු ට්‍රොට්ස්කි ලෙනින් සමග එකතු වි ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුනි. අනිත් අයට මොනවා වුණාදැයි දන්නේ නැත.

ලෙනින්ගේ පොත් තම තමන්ගේ පොත් රාක්කවල තබාගෙන තමන් මාක්ස්ලෙනින්වාදීන්  යයි බුකියේ තර්ක කළාට කම් නැත.  ඒවා ඉඳහිට කියවීමද කල යුතුය.


--අජිත් ධර්මකීර්ති
ප.ලි.
ලෙනින් ඉගෙන ගන්න කිවූ කොටස:
 В то время, как образованное общество теряет интерес к честной, нелегальной литературе, среди рабочих растет страстное стремление к знанию и к социализму, среди рабочих выделяются настоящие герои, которые — несмотря на безобразную обстановку своей жизни, несмотря на отупляющую каторжную работу на фабрике, — находят в себе столько характера и силы воли, чтобы учиться, учиться и учиться и вырабатывать из себя сознательных социал-демократов, “рабочую интеллигенцию”. 
ඉංග්‍රීසි පරිවර්තනය 

 At a time when educated society is losing interest in honest, illegal literature, an impassioned desire for knowledge and for socialism is growing among the workers, real heroes are coming to the fore from amongst the workers, who, despite their wretched living conditions, despite the stultifying penal   servitude of factory labour, possess so much character and will-power that they study, study, study, and turn them selves into conscious Social-Democrats—“the working-class intelligentsia.” 

Notes:
Old Russian revolutionaries (of the Narodnaya Volya) strove for the seizure of power by a revolutionary party. They thought that by the seizure of power the “party would overthrow the personal power” of the autocracy, i.e., appoint its agents in place of the government officials, “seize economic power,” i.e., all the financial means of the state and carry out the social revolution. The Narodnaya Volya members (the old ones) actually did strive to “overthrow the personal power and seize the economic power” of the autocracy, to employ R. M.’s clumsy expression. The Russian Social-Democrats have decidedly set themselves against this revolutionary theory. Plekhanov subjected it to trenchant criticism in his essays, Socialism and the Political Struggle (1883) and Our Differences (1885), pointing out the task of the Russian revolutionaries—the foundation of a revolutionary working-class party whose immediate aim should be the overthrow of the autocracy. What is meant by the overthrow of the autocracy? To explain this to R. M. we must answer the question: what is the autocracy? The autocracy (absolutism, unlimited monarchy) is a form of rule under which all supreme power is wielded wholly and indivisibly by an absolute monarch, the tsar. The tsar issues laws, appoints officials, collects and disburses the national revenues without any participation by the people in legislation or in control over the administration. The autocracy, therefore, means the absolute power of government officials and the police and the absence of rights for the people. The entire people suffers from this absence of rights, but the propertied classes (especially the rich landed proprietors and capitalists) exercise a powerful   influence over the bureaucracy. The working class suffers doubly: both from the lack of rights to which the entire Russian people is subjected and from the oppression of the workers by the capitalists, who compel the government to serve their interests.

What is meant by the overthrow of the autocracy? It implies the tsar’s renunciation of absolute power; the granting to the people of the right to elect their own representatives for legislation, for supervision over the actions of the government officials, for supervision over the collection and disbursement of state revenues. This type of government in which the people participate in legislation and administration is called the constitutional form of government (constitution law on the participation of people’s representatives in legislation and the administration of the state). Thus, the overthrow of the autocracy means the replacement of the autocratic form of government by the constitutional form of government. For the overthrow of the autocracy, therefore, no “overthrow of personal power or seizure of economic power” is necessary, but it is necessary to compel the tsarist government to renounce its unlimited power and convene a Zemsky Sobor[2] of representatives of the people for the elaboration of a constitution (“to win a democratic constitution” [people’s constitution, drawn up in the interests of the people], as it is put in the draft programme of the Russian Social-Democrats published in 1885 by the Emancipation of Labour group).

Why must the overthrow of the autocracy be the first task of the Russian working class? Because under the autocracy the working class is not able to develop its struggle extensively, to gain for itself any stable positions in either the economic or political fields, to establish sound mass organisations and unfurl the banner of the social revolution before the masses of the working people and teach them to struggle for it. The decisive struggle of the entire working class against the bourgeois class is possible only under conditions of political liberty, and the final aim of that struggle is for the proletariat to win political power and organise a socialist society. The conquest of   political power by an organised proletariat that has gone through a lengthy schooling in struggle will really be “the overthrow of the personal power and the seizure of the economic power” of the bourgeois government; but the Russian Social-Democrats have never put forward this seizure of power as the immediate task of the Russian workers. Russian Social-Democrats have always maintained that only under conditions of political liberty, when there is an extensive mass struggle, can the Russian working class develop organisations for the final victory of socialism.

මුලාශ්‍ර :


තාරකා කිසි දෙයක් කීවේ නැත

ඊයේ රාත්‍රියේ අහස හොඳින් පැහැදිලිව තිබුණි. හේතුව උෂ්ණත්වය සෙන්ටිග්ග්‍රේඩ් 0 ත් 1ත් අතර දෝලනය වුනු නිසාය. රාත්‍රී නමය වනවිට උෂ්ණත්වය සෘණ දෙකක් පමණ විය.
මගේ සෙලෙස්ට්‍රෝන් ටෙලස්කෝපය එලියට රැගෙන තාරකා  නිරීක්ෂණය කරන්නට තීරණය කලෙමි. ඔරායන් තාරකා  මණ්ඩලය පැහැදිලිව දකුණු අහසේ පෙනුණු අතර බ්‍රහස්පති ග්‍රහයා චන්ද්‍රයා අසල විසල් ලෙසින් දිළිසුනේය. සඳේ අපැහැදිලි පින්තුරයක් දෙකක් ගැනීමට හැකි විනි. 

සඳ සහ බ්‍රහස්පති දෙස සැහෙන වෙලාවක් බල සිටියෙමි. තාරකා දෙසත් බලා සිටියෙමි. බිටල්ජූස් , බෙලට්‍රික්ස් , මින්ටක , රීගල් යන ඔරායන් මණ්ඩලයේ තාරකාත්  සීරියස් තරුවත් සීරියස් ලෙසින්මා  දෙස බලා සිනහ වෙන සෙයක් හැඟිනි.

නමුත් කිසිම තාරකාවක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය දිනන්නේ කවුදැයි කිවේ නැත.

නක්ෂත්‍රකරුවන් තාරකාවලට කතා කරන භාෂාව ඉගෙන නොගැනීම ගැන ඇත්තේ බලවත් කනගාටුවකි.

ප.ලි.
හොඳ කොමෙන්ටුවක් ලැබුණු නිසා එය ඇතුලත් කලෙමි.

නක්‌ඛත්තං පතිමානෙත්තං
අත්ථෝ බාලං උපච්ජගා
අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
කිං කරිස්‌සන්ති තාරකා"

අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය.- බුදුන් වහන්සේ 

http://buddharashmi.blogspot.com/2013/04/thiryak-79.html

- අජිත් 

Sunday 4 January 2015

කුමාර් ගේ පිහිටට විමල් විමල්ගේ පිහිටට කුමාර්?

පන්ති අරගලයේ කොටසක් ජය ගෙන තිබේ. ඒ 2015 ජනවාරි 1 වනදා සිටය. සමහර පිට රටවල සිටින ලංකාවේ ඉපදී ඇති වැසියන්ට දැන් ද්විත්ව පුරවැසි භාවය ලබා ගත හැකිය. එක්සත් රාජධානියේ සිටින අයට එය තවම ලැබී නැත. ඒ නිසා අරගලය තව දුරටත් ඉදිරියට ගෙන යා  යුතුය.

මාක්ස්වාදය පොතේ ගුරුවාදයක් වන්නේ කෙසේදැයි අප දැන ගත්තේ පොල්පොට් ගෙන්ය. නිෂ්පාදනය ගැන හැඳින්වීමේදී ගෝත්‍රික සමාජය දියුණුවී primitive communism හෙවත් ආදිකල්පික කොමියුනිස්ට් ප්‍රජාවක් බිහිවූ බව මාක්ස් පෙන්වා දුනි.  පුද්ගලික දේපල ක්‍රමය බිහිවුයේ මින් පසුවය. වඳුරාට දැලි පිහිය ලැබුවාක්  මෙන් පොල්පොට් කලේ අති  ශුද්ධ කොමියුනිස්ට් සමාජයක් පිහිටුවීමට කම්පුචියානුවන් මිලියන් ගණනක් මරා දමමින් ගම් වලට දක්කා ප්‍රාග් ඓතිහාසික කොමියුනිස්ට් සමාජයක් පසුගාමී කම්පුචියාවේ පිහිටුවීමට තැත්  කිරීමයි. ඒ පොතේගුරුවාදයට ගිය මාක්ස්වාදී භාවිතාවයි.
දුමින්ද නාගමුව දිල්කා සමන්මලී සමග කළ සාකච්චාවේ යොමුව (link එක) බුකිය පුරා  පැතිරී තිබුණි. දිල්කාගේ ප්‍රශ්න වලට දේශපාලකයන් ගල් වන අයුරු අප දැක
ඇතත් නාගමුව නාගත්තේ නැත. දෙදෙනා අතර කෙමිස්ට්‍රිය කොපමණද යත් සාකච්චාව අවසානයේ ඔවුන් එවෙලේම ලාස්  වේගාස්  ගොස් විවාහ වෙයිද කියාත්  සිතුනි. සාක්ෂියට මහින්ද හෝ රනිල් කැඳවා ගත හැකිව තිබුණි. (කැසිනෝ අග නගරය වන ඇමෙරිකා  එක්සත් ජනපදයේ වේගාස්  හි ඔබට එවෙලේම කසාද බැඳීමට හැකිය. අවශ්‍ය සාක්ෂි දෙකක් පමණය.)  එහෙත් සන්නද්ධ අරගලයක් නැවත  කරන්නේද යන ප්‍රශ්නයට ඔහු හරි පිළිතුරක් දුන්නේ නැත. මර්දනය එනවිට එසේ විය හැකිය යන්න
ඔහුගේ පිළිතුර විය. මාක්ස්වාදීන් විශ්වාස කරන්නේ මහජන අරගලය බව ඔහු පැවසුවේ නැත. මහජන අරගලයකදී වන්නේ ජනතාව සමග අවිගත් හමුදාවන්ද එක පෙලට සිට ගැනීමයි. ඔක්තෝබර විප්ලවයේ සිට කියුබානු විප්ලවය  දක්වා සිදුවුයේ එයයි. එසේ නොමැතිව  ජනතා විමුක්ති පෙරමුණ විසින්  මර්දනයට එරෙහිව කියා කල නරෝද්නික්වාදී අවි ගැනීම නොවේ. නරෝද්නික්වාදයෙන් සිදුවන්නේ මර්දනයෙන් සමුල ඝාතනයකට ලක්වීමයි. ලෙනින් සාර් විසින් එල්ලා මරා දැමූ තම සහෝදරයා වන ඇලෙක්සැන්ඩර් උල්යානොව් ගත්  මග ගත්තේ නැත........... 1917
පෙබරවාරිහිදී  සාර් පාලනය පෙරලා දැමු  ධනපති විප්ලවයට එරෙහිව නොගිය ලෙනින් එම අවුරුද්දේ ඔක්තෝබරය (නව කැලැන්ඩරයේ නොවැම්බරය) වන විට පක්ෂ ගණනක එකතුවෙන් කැඳහැලියක්ව තිබු  කෙරෙන්ස්කි ආණ්ඩුව පෙරලා සාර්ථක ලෙස මහජන අරගලය මෙහෙයවා බලය ලබා ගත්තේය. ඒ මාක්ස්වාදය ටූල් එකක් නැත්නම් තමාගේ ගමනට අවශ්‍ය උපකරණයක් ලෙස සාර්ථකව භාවිතා කිරීමෙනි.
ඇලෙක්සැන්ඩර් උල්යනොව් 

දුමින්ද නාගමුවගේ ප්‍රධාන තර්කය වුනේ උනුත් එකයි මුනුත් එකයි යන්නය. මේ නිසා ධනවාදය පරදවා අර බුකියේ එවන පින්තුරවල ඇති පරිද්දෙන් කොම්පියුටරයක් මගින් ක්‍රමය වැරදියි හරි ක්‍රමයක් ස්ථාපිත  කරන්න කියා ක්ලික් කල යුතුය. "අද දෙරණ" නාලිකාවේ චතුර සමග සංවාදයකට එක වෙමින් කුමාර් ගුණරත්නම් පවසා  සිටියේත් එයයි. නමුත් සත්‍ය තත්වය එයද? තිබෙන ධනවාදී ක්‍රමය දෙපක්ෂයම ඉදිරියට ගෙන යන බව පෙනෙන්නේ මතුපිටින් අත ගා  බැලූ විටය.
1970-1977 සිරිමා ආණ්ඩුවට තිබු ප්‍රධාන චෝදනාව මතකද? සිසිර කුමාර මානික්ක ආරච්චිගේ හත් අවුරුදු සාපය  පොත මතකද? එහි තිබුනේ පවුල් ගසක් ගැනයි. ධනවාදී ප්‍රගතිය වලකන වැඩවසම් හා රාජ්‍ය ඒකාධිකාරී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් 1977 වාමාංශික ආණ්ඩුවක් නාමයෙන් ඒ වනවිට ලංකාවේ පැවතුනි. එයට ධනවාදී  ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ජේ ආර්ට රැල්ලක් ඇති විය. ජේ ආර් ට එය හොඳින් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුනේ ඔහු පාදඩ ධනපති පන්තියකට ඉඩ  දුන් බැවිනි.
කුමාර් ගුණරත්නම් ගේ නොනිල නායකත්වයෙන් හා සෝමවංශගේ නිල නායකත්වයෙන්, විරවංශ ගේ ප්‍රචාරයෙන් යුත් ජවිපෙ හා චම්පක රණවක ප්‍රමුඛ හෙළ උරුමයේ උදව්වෙන් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රාජ රාජ චෝලයන්ගේ අලුත් අවතාරය වන මිස්ටර් ප්‍රභාකරන් ගේ තර්ජනය මැඩ පවත්වා  රට එක් සේසත් කර ජනාධිපති පදවියෙන් රාජ්‍යත්වයට පත් වුනි. ඉන්පසු ගෙවී ගිය අවුරුදු දහය සමන්විත වුයේ පවුලේ රාජ්‍ය බලය බලවත් කිරීමටය. මෙහිදී ප්‍රාදේශීය රජවරුන් බොහොමයක් හා ජනතාව පෙලන ඔවුන්ගේ පුත් කුමාරවරුන් බොහොමයක් බිහි වුනි. පොළොන්නරු යුව රාජ  සිරිසේන හා ඔහුගේ සහෝදර පිරිසද හොඳට උපයා ගත්හ. නිතිය ක්‍රියාත්මක වන්නේ රජුගේ වචනයට හෝ ප්‍රාදේශීය රජවරුන්ගේ වචනයටය. පොලිසිය හා නීතිය වැඩ කරන්නේ පිළිගත් සම්මත නීතිමය රාමුවෙන් ඔබ්බට වී අපරාධකරුවන් තමන්ම ගඟට පැන  දිවි නසා ගන්නා රාමුවකය.

දැන් පොතේ ගුරු මාක්ස්වාදීන්ට අනුව වැඩවසම් පාලනයන් පෙරලා ධනවාදය ඇතිවී බොහෝ කල්ය. නමුත් මාක්ස් කිවේ මේ හැම අවධියකම ලක්ෂණ ඊළඟ පරිණාමික අවධියේ ඇති බවයි. උදාහරණයක් ලෙස පකිස්ථානයේ කරච්චිය ධනවාදී රජයක් යටතේ පාලනය වුවත් බලුකිස්තානය හා එපිට පාලනය වන්නේ ගෝත්‍රික නායකයන්ගේ ඕනෑ එපාකම් අනුවය. එයට අන්තවාදී දක්ෂිණාංශික මුස්ලිම්  ආගමේ සහයද ලැබේ. මෙයට විරුද්ධව ඇතිවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී  ලෞකික (secular)  ධනවාදී හෝ සමාජවාදී අරගලයකි. බොහෝවිට ධනවාදී එකකි. ලෙනින් පින්ලන්තයේ  ස්‌වය තීරණය අයිතියට ගරු කිරීමේදී අවධාරණ කල එක් කරුණක් වුයේ පින්ලන්තයේ ධනවාදී සමාජ ක්‍රමය  ළදරු සෝවියට් රාජ්‍යයට වඩා ඉහලින් පැවතීමයි. එහි උදව් පසුව ලබා ගැනීම සඳහා පින්ලන්තය ආක්‍රමණය කිරීම නොකලේය.
පොතේගුරු මාක්ස්වාදයට අනුව උනුත්  එකය මුනුත් එකය (කරච්චි ආණ්ඩුව හා ගෝත්‍රික පාලනයන්). ලංකාවේ තත්වය කුමාර් ගුනරත්නම්ට අනුව නම්  තේරුම් ගැනීමට ලොකු මාක්ස්වාදී දේවල් ඉගෙන ගන්නට අවශ්‍යද  නැත. (එහෙනම් අවුරුදු දෙකක සංවාද කරන්නට අවශ්‍යද නැත...........) අවුරුදු 66ක ශේෂ පත්‍රය බැලුවිට ඉබේ පැහැදිලිවේ.

පොතේගුරු  මාක්ස්වාදයට පිටින් බැලුවිට,  මාක්ස්වාදී උපකරණයෙන් විග්‍රහ කල විට අපට පෙනී යන්නේ වෙනත් දෙයකි. වැඩවසම්  පාලනයකට යාමට යත්න දරන පාලනයකට විරුද්ධව දයලෙක්තිකව ධනවාදී රැල්ලක් ගොඩ නැගී තිබේ. මෙය 1994 පැවති  මර්දනයට විරුද්ධව පැන නැගුනු රැල්ලම නොවේ.  ධනවාදය තමන්ගේ දියුණුවට තහංචි වැටුණු වහාම එයින් මිදීමට මං සොයයි. බුෂ් ජන අප්‍රිය වනවිට ඔබාමා නම් මිශ්‍ර සම්භවයකින් යුත් කළු ජාතිකයා ගේන්නේ එබැවිනි. නියම මාක්ස්වාදියාගේ කර්තව්‍යය මෙය හොඳින් හඳුනා ගැනීමයි.
භාගයක් බාහුගේ පක්ෂයෙන්, භාගයක් ජවිපෙන්, අනිත් පක්ෂවල අරික්කාල් වලින් ගොඩ නැගු භාග වමේ පෙරමුණෙන් දැන් සිදුවන්නේ එය නොවේ. ඉංග්‍රීසියෙන් කියන
විධිහට Scores settle (ලකුණු සම කිරීම) කිරීමකි. කුමාර් හා දිමුතු ඉස්සුවේ හා කුමාර් රටින් පිටිවහල් කිරීමට හේතුවුයේ යම් ජවිපෙ නායකයන් පිරිසකගේ පාවාදීමක් නිසා යයි රාවයක් පැවතුනි. දැන් වෙන්නේ රුපවාහිනී නාලිකාවල සිට නාගමුව හා ගුණරත්නම් ඔවුන්ට කොකා පෙන්නීමයි. පන්ති අරගලය ඇත්තේ තමන් හිටපු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ සමගය. මුළු බුකිය පුරාවට සිදුවන්නේත් එයයි.
චන්ද්‍රිකා හොඳ  පාලිකාවක් හෝ නරක පාලිකාවක් වුනේ නැත. ඇය උදාසීන පලිකාවකි. රාජිත  ප්‍රා එකට නායකත්වය දුන්නේය. රනිල්ට බටලන්ද ගැන චෝදනා තිබේ. ෆොන්සේකා කර්නල් සමයේ කුමාර් මහත්තයා  ඔහු යටතේ සිරකර  සිටියේය. ඒ නිසා මෛත්‍රි පිලට පෞද්ගලිකව සාධාරණ විවේචනයක් හා scores settle කිරීමක් කුමාර් ගුනරත්නම්ගේ පැත්තෙන් තිබේ. හැබැයි මේ පන්ති අරගලය නොවේ. පතිරනලාගේ ස්වාධින ශිෂ්‍ය සංගමයේ සිට රණවක දක්වා විරුද්ධත්වයද අපට හඳුනා ගත හැකිය. නමුත්  ත්‍රිමා විතානට ඇන ගැසූ අය හා විශ්ව විද්‍යාල සිසුන්ට පහර දුන් අය සිටින්නේ රජය පැත්තේය. ඒ නිසා අනියම්ව හෝ ඔවුන්ට සහයක් වීමද කල නොහැක්කකි.  කුමාර්ට පතුරු යන්න විවේචනය කළ  මහා සෙනෙවි විරවංශ මැතිඳු ගේ අඩවියේ අද ඔහුට පක්ෂව ලියවේ. රණවක පතුරු ගැසූ සඳරුවන්ගේ ප්‍රතිපත්ති විරහිත දේශපාලනය දැන් ඔහුට පක්ෂව ලියවෙන්නාක් මෙන් , බෙදුම්වාදයට එරෙහිව ජාතිවාදින්වූ  රණවක හා රතන හිමි දැන් බෙදුම් වාදීන් කරන ප්‍රතිපත්ති විරහිත දේශපානය මෙන්,
 මෛත්‍රි - ජවිපෙ ගිවිසුම හරහාද  කුමාර් මහත්තයා ප්‍රතිපත්ති විරහිත දේශපානයක් එලියට දමා තිබේ. චන්දය දෙන මිනිසුන්ට මෛත්‍රි - ජවිපෙ ගිවිසුමක් හෝ මහින්ද - කුමාර් ගිවිසුමක් අදාල නොවන බව ඔවුන්ට වැටහී නැත.  මේ යන්නේ හතරබීරි දේශපාලනයකි.

මැකියාවෙලි අධ්‍යනය කර හෝ නොකර ජේ ආර් ගෙන් පසු ලංකාවේ බිහිවූ හොඳම දක්ෂිණාංශික නායකයා  මහින්ද රාජපක්ෂය විය යුතුය. ඔහු විසින් එතරම් දක්ෂයයි බොහෝ දෙනා සැලකු ත්‍රස්තවාදී නායක මිස්ටර් ප්‍රභාකරන්වත් ඇන්දුවේය. රට වැඩවසම් පාලනයකට ගෙන නොයා, අන්ත දූෂණයට ඉඩ නොදී, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහිතව නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ හරියට කලේනම් ඔහු හොලවනු බොරුය. ඔහුට විරුද්ධව නව ධනවාදී රැල්ලක් පන නැගී ඇත්තේ එහෙයිනි. ලෙනින් කලේ මාක්ස්වාදය හරියට කියවා  තමාගේ වාරයට සුදානම් වීමය.

අන්තරයේ නජිත් ඉන්දික හා අනිකුත් මල්ලිලාට කිවයුතු දෙයක් තිබේ. නජිත් ඉන්දික තමන් ඉගෙනීම අතහැර පුර්ණ කාලින දේශපාලනයේ (පෙසප දේශපාලනයේ) යෙදෙන බව කියයි. උල්යානොව් සහෝදරයා මර දැමු පසුත් ලෙනින් ගෞරව සහිතව තම ජිම්නාසියම (රුසියාවේ එවකට පැවත උසස්  විදුහල්) අවසන් කළේය. දේශපාලනයට බැස්සේ ඉන් පසුවය. රෝහණ විජේවීරගේ වෛද්‍ය අධ්‍යාපනය අවසන් වූයේ අවස්ථාවාදී බලලෝභී දේශපාලනයේ යෙදුනු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් නිසාය. එසේ වතුදු දක්ෂයකු වූ ඔහු පක්ෂයක් ගොඩ නැගුවේය. ඔහුට ඉගෙනීමට ඉඩ දුන්නා නම් ඉගෙනීම අවසන් කර පැමිණ ඔහුට  වඩාත් හොඳ  පක්ෂයක් ගොඩ නැංවීමට ඉඩ තිබුණි. දෙමල හා සිංහල ඩයස්පෝරාවේ එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ ඔබට සහය දෙන බොහෝ දෙනාගේ දරුවන් ඉගෙනීම ලබන්නේ ශිෂ්‍යත්ව විභාග සමත් වී හොඳම විදුහල් වලය. ඒ දරුවන් පසුව හොඳ රස්සාවලට යනු ඇත. මට නම් එහි කිසිම වැරැද්දක් නොපෙනේ.
රාජකීය විද්‍යාලයේ අපට ඉහල පන්තිවල සිටි වෙනුරගේ හෝ ටයිටස් ගේ මව අද කොතැනදැයි  ඔබ දන්නවාද? ත්‍රිමා විතානගේ දෙමාපියන් කොහිදැයි ඔබ දන්නවාද? ඉගෙන ගන්නා ගමන් තමන්ගේ ඉඩ ඇති වෙලාවට දේශපාලනයේ යෙදෙන්න. කියවන්න ඉගෙන ගන්න. නැත්නම් ඔබලාටත් සිදු වන්නේ  සිගිරි නොගිය හේතුවෙන් උණු කඳුළු හෙලමින් දක්ෂිණාංශික දේශපාලකයෙකුගේ තුරුල්ලට පැන ආත්මය වනසා  ගන්නටය.

වරුණ දීප්ත යල්පැනගිය අධිරාජ්‍ය විරෝධයක් ගැන කතා කරනවිට අලුත් බෝතලයක පරණ වතුර දමා ඇතිබව මම ලීවෙමි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තවම ඇත්තේ පරණ වතුර බව නැවතත් සිතේ. වැරදී ඇත්තේ මටය.

වරුණ දීප්ත  රාජපක්ෂට ජය වේවා!
මහින්ද රාජපක්ෂ රජ තුමාට ජය වේවා !
මෛත්‍රි යුව රජ තුමාට ජය වේවා!
පන්ති අරගලයට ජය වේවා!

ඉහත කි සියල්ල එකවර සිදුවන දේවල් නොවන නිසා තව දුරටත් එංගලන්තයේ නිර්දේශපාලිනිකව සිටීමට තීරණය  කෙළෙමි.


ප.ලි. ලංකාදීප 31/12/2014
http://www.lankadeepa.lk/index.php/articles/286827?utm_medium=facebook&utm_source=twitterfeed
//තාවකාලිකව නතර කර තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබා දීම නව ක්‍රමයක් යටතේ අද (31) සිට යළි ඇරැඹූ බව ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය කීවාය.
නව ක්‍රමයෙන් ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම ද්විත්ව පුරවැසි බව ලබා ගත හැකි බව ද ඇය පැවසුවාය.//

Friday 2 January 2015

නෙලුම් යායෙන් පිදෙන 2014 බ්ලොග් සම්මාන

පුරවැසි මාධ්‍ය කලාව තව දුරටත් ජනප්‍රිය කරවීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම පුළුල් කිරීම උදෙසා කරන සේවයත් ඇගයීම සඳහා නෙලුම් යාය සහෘද සමුහය විසින් පහත සඳහන් බ්ලොග් අඩවි සම්මාන සඳහා තෝරාගෙන තිබේ.



  • 2014 වසරේ හොඳම බ්ලොග්  කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ 


     බ්ලොගය: http://maathalan.blogspot.co.uk/ - ත්‍යාගය රුපියල් 15,000 හෝ ඒ හා සමාන වටිනාකමක්
     ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි

           දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html - ත්‍යාගය රුපියල්        
           10,000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි 


           බස්සි  (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-              
            http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html
           - ත්‍යාගය රුපියල් 7500 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන  ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය 


           දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html
           - ත්‍යාගය රුපියල් 5000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  - ප්‍රථම ස්ථානය - 

             ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html
             - ත්‍යාගය රුපියල් 10,000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -දෙවන  ස්ථානය - නිල්  කට්රොල් මල්  
          - රවී වීරසිංහ

             http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

              - ත්‍යාගය රුපියල් 7500 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ


  • 2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය  -තුන්වන   ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් 

             ඉවාන් පව්ලුශා - http://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

        ත්‍යාගය රුපියල් 5000 හෝ ඒ හා සමාන වටිනාකමක් ඇති ග්‍රන්ථ

මෙම ත්‍යාගයන් පිරිනමනු ලබන්නේ නෙලුම්යාය සහෘද සමුහය විසිනි. එහිලා ලංකානිව්ස්වෙබ් අඩවිය හා සංස්කාරක මණ්ඩලය දුන් විශිෂ්ට සහයෝගය ආදරයෙන් සිහිපත් කරමු. තේරුණු ස්ථාන සඳහා මුදලින් ත්‍යාග පිරි නමනුයේ නේෂන් බිල්ඩින් සොසයටි (Nation Building Society) අනුග්‍රහයෙනි.

සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග  දෙසීයකට අධික ප්‍රමාණයක් ඇති බව අපි දනිමු. අපට පසුගිය තෙමසක පමණ කාලය තුල කියවීමට හා නෙළුම් යායේ  පල කිරීමට හැකි වුයේ බ්ලොග් අඩවි සීමිත ප්‍රමාණයක් පමණකි. එසේ පළ කෙරුණු  බ්ලොග් අතරින් මෙම ස්ථානයන් තීරණය කළෙමු. මෙයින් අනිත් බ්ලොග් ලියන සහෘදයන් වඩා උනන්දුවෙන් බ්ලොග්කරණයේ යෙදෙනු ඇති බවට උදක්ම බලාපොරොත්තු වෙමු.  මේ අවුරුද්දේ දී  ඉහත සඳහන් ස්ථාන වලට අමතරව හොඳම බ්ලොග් කෙටි කතාව, විද්‍යා ලිපිය, ගීත විග්‍රහය  හා වෙනත් වර්ගීකරණයන් ද හඳුන්වා දීමට බලාපොරොත්තු වෙමු.

ඔබ සැමට සුභ බ්ලොග් අවුරුද්ද්දක් වේවා

- නෙළුම් යාය සහෘද සමුහය

ඉහත සඳහන් බ්ලොග් අයිතිකරුවන් කරුණාකර තමන්ගේ විද්‍යුත් ලිපිනයන් මගින් අප හා සම්බන්ධ වන්න. ත්‍යාග ඉදිරියේදී ශ්‍රී ලංකාවේදී ප්‍රදානය කෙරෙනු ඇත.