Saturday 19 July 2014

අගෝරාවට හෙළි කල රත්න ශ්‍රි ගේ විරහ ගීතය

අගෝරා කියන්නේ ලන්ඩනයේ අපේ හිතවතුන් පිරිසක් පිහිටුවා ගත්ත සංස්කෘතික කලා  කවයක්. මේ ලඟදි තිබ්බ මුහුරත් උළෙලට  මමත් සහයෝගයක් දුන්න. ඒකෙ වැදගත්ම අංගය වුනේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් ලබා දුන්න සම්මුඛ සාකච්චාව. ඒක ඉතාම රසවත්. ළඟදීම ඒක  යුටියුබයට ඇතුලත් කරන්න බලා  පොරොත්තු වෙනවා.  

දැන් මේ සාකච්චාවේ අග හරිය විතරක් මම ලියන්න තීරණය කලා . ඒකට  හේතුව අපි යථාර්තවාදී කලාව ගැන කොච්චර කිව්වත් කලා කරුවෙක් යථාර්තය අත්  විදින්නේ නැත්නම් ඒ යථාර්තය හරි හැටි නිර්මාණයෙන්   පිළිබිඹු වෙන්නේ නැහැ කියන අදහස ඉස්මතු කරන්න මට අවශ්‍ය නිසා.
රත්න ශ්‍රී කියන සංවේදී කලාකරුව, ගීත රචකයා  කියනවා  මෙන්න මෙහෙම. 

මං ලිව්ව දේවල් මමම වර්ණනා කරන එක සදාචාරාත්මක නැහැනේ . නමුත් මට ලිව්වේ ඇයි කියල කිව්ව හැකි. විශ්වනාත කියල භාරතීය විචාරකයෙක් කියනවා මෙහෙම එයාගේ දර්පනය කියන පොතේ . "බලන්න අර තණ  පිටිය දිහා. තණ පිටියේ තියෙනවා තැන කොළ , කටු පඳුරු , ලැහැබ් හැම දෙයක්ම තියෙනවා. එතන එළ  දෙනක් බැඳලා ඉන්නවා. ඒ එළදෙන අර ඔක්කොම තෘණ සහ කටු ඇතුළු හැම දෙයක්මත් අනුභව කරලා සුදු පාට  කිරි ලෝකෙට දෙනවා. නිර්මාණත් හරියට මේ කිරි වගේ. නිර්මාණ වල තණකොළ නෑ . කටු නෑ . මොනවත් නෑ . හැබැයි මේ එළදෙන කිරි විතරක් නෙමේ සමහර විට ගොමත් පිට කරනවා. නිර්මාණත් ගොම වගේ ඒවා තිබෙනවා. ගොම වලින් ටිකක් හරි ප්‍රයෝජනයක් තියෙනව, ගහකට පොළොවකට වුනත් දාන්න  පුලුවන් .  ඒ වගේම එළදෙන  තව වැඩක් කරනවා. දවල් තිස්සේ කාපුවා  රෑට ඔක්කාරය කරනවා. නිර්මාණත් ඔක්කාරය වගේ ඒවා තියෙනෙවා. ඒ නිසා මම ලියපු දේවල් කිරිද, ගොමද , ඔක්කාරයද කියල තීරණය කරන්න ඕනේ අහන අය මිසක් මම නෙමේ. නමුත් මට අර තණ පිටිය නැත්නම් ගෝචර භුමිය ගැන කියන්න පුළුවන් කම තියෙනවා. ඒ අත්දැකීම් තමයි කිරි වෙන්නේ , ගොම වෙන්නේ. "

මින්පසු රත්න ශ්‍රී එනවා තමන්ගේ ම වූ අත්  දැකීමකට. 

අවසන් වශයෙන් එකම එක අත්දැකීමක් මම කියන්නම්.  මානව ජිවිත වල තියෙන මානව සම්බන්ධතා වල තිබෙන ප්‍රබල කම තේරුම් ගන්න.  මේකත් මේ මම රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් වැඩ කරන කාලේ මුහුණ දීපු අත්දැකීමක්. මට එක සැරයක් යන්න තිබුන නිල කටයුත්තකට දඹුල්ල අනුරාධපුර මාර්ගයේ සිවලාකුලම හන්දියෙන් හැරිලා තෝඩ  මඩුව කියන ගමට. ගමට යන පාර වැටිලා තිබුනේ වැව් බැම්ම උඩින්.  ඒ ගියපු කාර්යය  ප්‍රජා  ශාලාවේ සිද්ධ වෙන අතරේ ලොකු වතුර තිබහක් දැනුනා. අපි ගියා  කිට්ටුව ගෙයක් හොයාගෙන වතුර ටිකක් බොන්න. මේ මධ්‍යම පාන්තික ගෙදරක්. ලොකු මිදුලක් තියෙනව. ගේ ඇතුලේ සාලේ  ගොඩ ගහල තියනවා ලොකු ලුණු,  මිරිස් අස්වැන්න නෙළල. මිදුලේ කෙලවරේ නුග  ගහක් තියෙනවා. නුග ගහ වටේට මල් වවල ලස්සනට. පාන් පැලක්  තියෙනවා එතන . එතන අවුරුදු අසුවක විතර කෙනෙක් මිදුල අතු ගානවා ඉදලකින් වටේට . එයා  සරම උඩ  අමුණ ගෙන කොන්ඩෙත් බැඳලා , කොණ්ඩේ  ඉදිලා , රැවුල ඉදිලා. අපි ගිහින් අහනවා මාමණ්ඩි  වතුර ටිකක් බොන්නෙ කොහොමද  කියල.  ඉන්ඩ  මහත්තැන් කියල ඉදල හේත්තු කරලා ගෙට ගිහින් ජෝගුවට අපට වතුර ගෙනත් දෙනවා බොන්න. බොන ගමන් අහනවා මේ "මහත්තය බුන්නද ඇති වෙන්න " කියල එයාගේ භාෂාවෙන් අහනව. බොහොම ආදරෙන් . ඉතින් මන් ඇහුව මාමණ්ඩි අර ළුණු එහෙම ගන්න පුලුවන්ද අපට කියල. ඉන්ඩ මහත්තැන් කියල ගෙට ගිහිල්ල බෑග් දෙකකට පුරවල ගෙනල්ල දුන්න. සල්ලි දෙන්න හැදුවම කියනවා "චී  මහත්තය සල්ලි වලට දෙන්නේ නැහැ . මට සල්ලි තියෙනවා. මගේ පුතාල දෙන්නට බස් දෙකක් තියෙනවා දකුණු අනුරාධ පුරේ වැඩ කරන." මේ  මාමණ්ඩිගේ නම මුතු බණ්ඩා.

දැන් මේ අවුරුදු දහයකට විතර කලින් වෙච්ච සිද්ධියක් මං මේ කියන්නේ. මං එන ගමන්, කඩුල්ල පැත්තට යන ගමන් අහනවා මාමණ්ඩි ඇයි මෙතන මේ ලස්සනට මල් වවලා. මේ පාන් පැලක් හෙම හදල, මේ ලස්සනට මේ තියන් ඉන්නේ මොකද කියල. එයාගේ මූන වෙනස් වුනා  එක පාරටම. මගේ දිහා විනාඩියක්  විතර කතා නොකර බලන් ඉඳලා කියනවා "මහත්තැන් මේ මගේ පවුල නිදා ගන්න  තැන. එයාගේ නම සුදු බන්ඩි . එයාගේ සොහොන මේ. එහෙම කියල කවියක් කියනවා.

"කපා  කොටා බටු තිබ්බටු සිඟිත්තෙ
රන් මැණිකා  අද නිදිදෝ කනත්තේ "

කියලා.
අන්තිමට  මේ මුතු බණ්ඩා මාම  කියනවා "මහත්තැන් දැන් මං  මේ කරන වැඩේ මට හෙට අනිද්දට කරන්න හම්බ වෙන්නේ නැහැ."  මං ඇහුව ඇයි  මොකද වෙලා තියෙන්නේ . "දැන් මගේ මලය" -එහා පැත්තේ ඉඩමක් පෙන්නලා කියනවා- "අර හේරත් බණ්ඩා මේකට නඩුවක් දාල  මේ ඉඩමට. නඩු තීන්දුවත් ලැබිලා තියෙන්නේ. " තීන්දුව විධිහට තියෙන්නේ අර සොහොන එහා පැත්තට යන විදියට තමයි මේ මායිම වැටෙන්නේ . දැන් මේ මායිම හරහා වැටක් ගැහුවොත්, කම්බි ගැහුවොත්, තාප්පයක් බැන්දොත් එහෙම මේ මුතු බණ්ඩා මාමණ්ඩිට බැරි වෙනවා තමන් මේ දිනපතා  කරන මේ චාරිත්‍රය කරන්න.  එයා  හරි දුකෙන් කිව්වේ. මං  දැන් මේ කල්පනා කරන්නේ මේ අසු හැවිරිදි මහල්ලා මේ මනුස්සය තාම කොච්චර තමන්ගේ මියගිය බිරිඳට ආදරේද? දැන් ඉඩම් කියන්නේ සීමාකාරී සාධකයක්. ඔය මහවැලි කලාප වල ඒවා බෙදිලා බෙදිලා යන කොට කැඩෙනවා මේවා. ඒකත්  වලක්වන්න බැරි කාරණයක්. ඉතින් මේක ලියන්න මන් කල්පනා කලේ. මේක දැන් කෙනෙකුට පුළුවන් තව තොරතුරු එකතු කරගෙන කෙටි කතාවකට ලියන්න. කවියකටත් හොඳයි. නමුත් මේ හැඟීම හරි ප්‍රබලයිනේ. මේක වඩාත්ම ගැලපෙන්නේ ගීතයකට කියල මන් තීරණය   කරනවා.

ගීතය-
ඒ නිසා මන් තීරණය කරනවා මේක පටන් ගන්නේ කොහෙන්ද? දැන් මට මතක් වෙනවා තාම  මේකේ සිද්ධ වෙච්ච නැති දෙයක් තියනව . ඒ තමයි කවද හරි දවසක  දැන් නඩු තීන්දුව දීල තියෙන්නේ. දැන් මිනිදෝරු කන්තෝරුවෙන් ඇවිල්ල ජීප් එකේ තිරිංග තද කරලා නවත්තල සද්ද කරලා සපත්තු අඩි  වලින් මල්  පැල පාගල එහාට මෙහාට ඇවිදලා දම්වැල අල්ලලා ලකුණු කරලා මායිම ලකුණු කරන වෙලාව. තවම වෙලා නැහැ . කවද හරි වෙනව  ඒක හැබැයි. එතකොට මේ මුතු බණ්ඩා මාමා මොනවා කරනවා  ඇත්ද ? මුකුත්ම  කර කියා ගන්න දෙයක් නැතිව අන්ත අසරණ විධිහට බලා  ගෙන ඇති . එතනිං පටන් ගන්න මම තීරණය කරනව.

මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනවද
ඈ ඇහැ ඇරේවි යන්න හොදයි දංවැල් අරගෙන
තරහ අවසරයි යනවද දංවැල් අරගෙන

පිං කුඹුරු නෙලන කාලෙට මට හීල අරන් එන
හිස විසාදියට තෙල් උළලා තොන්තුවා වෙන
රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙණියේ පස් යට

දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
තෙල් පාන උනත් නිවා දමයි සංහිඳ පාමුල
වාවන්නෑ මේ දුරුත්ත සංසාරෙ තනි මට

සංගීතවත් කලේ එච් එම් ජයවර්ධන දිවුල්ගනේ ගායනා කලේ. හැබැයි මේක ලියන කාලේ මගේ බිරිඳ හිටිය. දැන් කල්පනා  කරන කොට හිතෙනවා මේක මගෙත් කතාව තමයි කියල ඇත්තටම.  මමත් ඒ මුතු බණ්ඩා මාමාගේ තත්වෙට ඇවිල්ල කියල මට හිතෙනවා. 

(සාකච්චාව මෙතනින්  අවසාන වෙනවා. )

දැන් මෙතන රත්න ශ්‍රිට මේ සින්දුව කීප විදියකින් ලියන්න තිබුන.  එකක් තමයි නිලධාරිවාදී කෑල්ල. ඒ කියන්නේ සපත්තු වලින් මල පාගන කතාව. නමුත් සියුම්ව මග හැරෙන ඒ කොටස ඔහු දම්වැල්  වලින් නතර කරනවා. අනික තමයි මහවැලි කලාපයේ ඉඩම් ප්‍රශ්න. නමුත් ඒක ලීවොත් මේ ගීතය නීරස වෙනවා ඒක දේශපාලනිකයි . අනික මධ්‍යම පන්තික පවුලක්නේ. ඕක වෙන පන්තියකට අදාළත්  නැහැ.  ඒක  නිසා අපට  තීරණය  කරන්න සිද්ධ වෙනව  මේක ආදර  විරහ ගීතයක් කියල. 

හැබැයි මේ කියන කොටසේ වඩාත්ම සංවේදී කොටස තමා මේ සින්දුවේ කියන කතාවේ මුතු බණ්ඩා මාමණ්ඩි ගේ තැන රත්න ශ්‍රී විසින් ගැනීම. හංසයන් යුවලක් තම ජිවිත කාලය පුරා එක යුවලක් වශයෙන් ආදරෙන් බැඳිලා ඉන්නවා කියල අපි දන්නවා. එක පුරුෂයකුගේ හංස ගීතය (මෙහි හංස ගීතය යනු  - අවසන් ගීතය යන අරුතින් ලියුවක් නොවේ, විරහ ආදර ගීතය යන අරුතෙන් ලියුවකි).  උදෑසන  පාන් පැල  අවට නමදින විටත් කල කරුවාගේ හංස ගීතය ගීතයක් ලෙසත් අප හා මුසු වෙනවා. මේ ගීතය යථාර්තවාදී වෙන්නේ එතන.  තවත් දෙයක් තිබෙනවා.  
අර මල්  පැල පාගයි,  දම්වැලෙන්  මනියි කියල රත්න ශ්‍රි උපකල්පනය කරන  මිනින්දෝරු මහත්තුරු  , මහවැලියේ ඉඩම් දෙන කට්ටිය දැන් නියෝජනය කරන්නේ  සින්දුව ගයන දිවුල්ගනේ ආණ්ඩුකාර තුමා. 

රත්න ශ්‍රිට ස්තුතියි. 

මේ සින්දුවේ පදමාලාව සම්පුර්ණයෙන් මෙතන තිබෙනවා.  මම ලිව්වට පස්සේ සින්දුව හොයන කොට දැක්කේ . ඒ නිසා කොපි කලේ නැති වුනත් යොමුව දාන එක හොඳයි කියල හිතුන. 

http://geepadura.blogspot.co.uk/2012/11/minindoru-kanthoruwe-karunarathna.html

සින්දුව මෙතන තිබෙනවා. Youtube 

-අජිත් 

Thursday 17 July 2014

ධනවාදය පවත්වා ගැනීමේ අලුත්ම ස්ට්‍රැටජිය (උපාය)

ආණ්ඩුව: අපි මුදල් සුරැකුම්පත්  (බැඳුම්කර -bonds) ඔබට විකුනන්නම් ඔබේ නය වලින් ඔබව මුදවා ගන්න.
බැංකුව : අපි සල්ලි නයට ගන්නම් ඔබෙන් , එතකොට අපිට පුළුවන් ඔබෙන්  සුරැකුම්පත්  (බැඳුම්කර -bonds)  (මිලදී ගන්න. 
අපි පෙර ලිපියෙන් සාකච්චා කලේ ලාභය ගැන හෙවත් අතිරික්ත වටිනාකම ගැන. ඒ ගැන ඇතිවුන සංවාදයේදී වැදගත් කරුණු කීපයක් මතු වුණා. ඒ ලිපිය  හා කොමෙන්ටු මෙතනින් .

එනම් මාක්ස් කිව්වා වගේ ලාභය දිගටම වැඩිවෙන මේ අනවරත ක්‍රියාවලිය දිගටම ගෙන යන්න බැරි වුණාම , සූරා කෑම සාධාරණිකරණය (justify ) කරන්න බැරි වුනහම මොකද කරන්නේ. මෙතන අර්බුදයක් ඇති වෙන බව පෙනෙනවානේ. මාක්ස් ඉන්න කාලේ මේ අර්බුදය මිට වඩා දරුණුවට තිබ්බ. එතකොට මොකද වුණේ ? එංගලන්ත අධිරාජ්‍යය මිනිසුන්ව පැටෙව්වා අධිරාජ්‍යය පුරාවට. ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි රටවල් ඇති කලා. අලුත් ධනවාදී රටක් (ඇමෙරිකා එක්සත් ජනපදය) බිහි කලා අධිරාජ්‍යවාදය විසින්.  මාක්ස් කියපු ධනවාදයේ අවසන් වීම වුනේ නැහැ. මේ ගැන ලියු ලිපිය මෙතනින් බලන්න.

එම තත්වයන් දෙකක් ලෝකයේ නැවත ඇතිවුනා . රැකියා විරහිත භාවය හා සම්පත් කොල්ල කෑම වැඩි වුනා. ඊට පිළිතුර වුනේ පලවන ලෝක යුද්ධය. ඉන්පසු ආව ආර්ථික අවපාතය. ඊට ධනවාදයේ පිළිතුර හිට්ලර් ගෙන් පටන් ගත් ජාතිවාදී සමාජවාදය. ඉන්පසු දෙවන ලෝක යුධ්දය ඇරඹුන. ධනවාදය සෝවියට් දේශයේ හැකියාවන්ට තර්ජනය කලේ එහෙම. සෝවියට් දේශයේ ක්‍රියාත්මක වුනේ ස්ටාලින්ගේ රාජ්‍ය ධනවාදය. සමාජවාදී ලක්ෂණ සහිතව.
දැන් නැවත ඇතිවෙන ආර්ථික අවපාතය හා කඩා  වැටීම ජර්මනිය හා බ්‍රිතාන්‍යය තරමක් දුරට නවත්වා ගෙන තිබෙනවා. නමුත් ඇ.එ. ජනපදයට එය තවම කරන්න බැරි වෙලා තිබෙනවා. චීනයේ ලාභ ශ්‍රමය නැති වී ගෙන යනවා. චීනය දියුණු වෙමින්  යන නිසා. අප්‍රිකාවේ ශ්‍රමය තවම දියුණු නැහැ ආසියාවේ තරම්. යුරෝපයේ රටවලට සමාජ සුභ සාධන ගෙවීම් (benefit ) දෙන්න තවත් බැහැ . බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් රජය සුභ සාධක ගෙවීම් කපා  ගෙන කපා  ගෙන යනවා. සෝවියට් දේශයට පෙනෙන්න හා ජනතාව මුලා  කරන්න මේවා දුන්නට බදු වලින් හා තමන්ගේ ලාභයෙන් මේවා ගෙවන්න ධනපතියෝ කැමති නැහැ (දැන් සෝවියට් දේශය නැති නිසා ) . මධ්‍යම පන්තිය මේ සුභ සාධන වලට එරෙහිව ක්‍රමානුකුලව පෙළ ගස්සනවා ධනපති මාධ්‍ය විසින්. අපිත් සමහර වෙලාවට මේ පච වලට අහු වෙනවා.
නැවත ලෝක යුධයක් ඇති කරන්න බැහැ . සම්පත් හා දේශපාලන බලය  බෙදා ගැනීම සඳහා  යුරෝපියානු සංගමය හා රුසියාව අතර ඇතිවී තිබෙන සීතල යුද්ධය යුක්රේනයේ රට බෙදා ගැනීමේ සිවිල්  යුද්ධයක් දක්වා පරිවර්තනය වී අවසන්. රුසියාව තම අධිරාජ්‍යවාදී වුවමනාවන් සපුරා ගැනීම සඳහා යුරේසියානු සංගමයක් පිහිටුවාගෙන තිබෙන අතර පුටින් තම ධනපති ක්‍රමය වස ගැනීම සඳහා සහෝදරයා යන සමාජවාදී ව්‍යවහාරය භාවිතා කරමින් රුසියානු ජනතාව මුල කරමින් සිටිනවා. ඒ බව හෙළි කරමින්  ලියු ලිපිය මෙතැනින් බලන්න.  ඒ සඳහා රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් නුත් සහයෝගය දෙනවා. රුසියාවට පක්ෂ සාමාන්‍ය  යුක්රේනියානු ජනතාව මේ සිතා  සිටින්නේ නිවැරැදි සෝවියට් බලයකට ඔවුන් නැවත යන බවයි. ඔවුන් භාවිත කරන දැකැත්ත සහ මිටිය කොඩි, ඔවුන්ගේ සටන් පාඨ  මේ සඳහා  උදාහරණ.
සිදුවන්නේ කුමක්ද යන්න ගැන වාමාංශික පක්ෂ වලට හැඟීමක් තිබෙනවද?  රුසියාව, ඉන්දියාව, චීනය, බ්‍රසීලය තම BRIC සංවිධානය මගින් බැංකුවක් පිහිටුවා අවසන්. ඔවුන් ඩොලරයට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිටිනවා.
මම පසුගිය 2010 වසරේ  රාජකීය තාරකා  සංගමයේ (Royal  Astronomical  Society ) දේශනයකට ගියා.  මාතෘකාව උල්කාපාත (වචනය හරිද දන්නේ නැහැ)  හෙවත් ඇස්ටරොයිඩ  (asteroid ) වල වටිනා  ලෝහ කැනීම් ගැන.
එම දේශනය මෙතනින් බලන්න. 
අජටාකාශ යානා උල්කාපාත /ඇස්ටරොයිඩ   වලට බස්සා ඒවා හාරා වටින මුල ද්‍රව්‍ය රැගෙන ඒම . මේ අදහස වැඩි දියුණු වී තිබෙනවා තව දුරටත්. BBC ලිපිය බලන්න.
හේතුව නම් සම්පත් සඳහා වන අරගලය උත්සන්න වීම හා ලාභ අඩු වීම. අනික විද්‍යාවේ දියුණුවට කාටවත් අභියෝග කරන්නත් බැහැ. නමුත් රුසියාව විසින්  අගහරු ලෝකයට යාම පරික්ෂ කිරීම සඳහා දවස් 200ක් මිනිසුන්  අජටාකාශ යන කාමරයක තබාපරීක්ෂා   කිරීමෙන් පසු ඇමෙරිකාව, චීනය, රුසියාව හා යුරෝපා සංගමය සඳේ හා අඟහරු ලෝකයේ ජනාවාස පිහිටුවන්න සැලසුම් කරනවා කියල හෙළි වුණා.
දැන් කල්පනා කරලා බලන්න. මාක්ස් කීව  පෙරලිය සිදු වුනේ නැහැ ඉහත කිව වගේ අධිරාජ්‍යවාදය වෙන  රටවල් සූරා කෑම (සම්පත් සඳහා) සහ ,  තම දුප්පත් හා සුළු අපරාධ කල ජනයා අල්ලා  ගත්  රටවල් වල පදිංචි කිරීම මගින්.
දැන් වෙන්න යන්නේ ඊට සමාන දෙයක්. අජටාකාශ යානා නිපදවිමම ලොකු කර්මාන්තයක් . බ්‍රිතාන්‍යය  අජටාකාශ යානා  නැවතුම් (space  port ) පොලක් සැදීමට සැලසුම් ගහල ඉවරයි. ලබන දශකය තුල ඇස්ටරොයිඩ හෑරීම, හා ලග ලෝක වල ජනාවාස පිහිටුවීම සැලසුම් කරගෙන යනවා. මේවා වල වැඩ කරන්න ගෙනි යන්නේ හා පදිංචි කරන්න ගෙනි යන්නේ කවුද? යුරෝපයේ හා බ්‍රිතාන්‍යායේ රැකියා විරහිත , සමාජ ආධාර (benefits ) වලින් ජිවත් වෙන මිනිස්සු. යන්න බැහැ  කිවොත්  ආධාර කපල එලියට දානවා ගෙවල් වලින්. නැත්නම් හිරේ. අපරාධකාරයෝ ඇස්ටරොයිඩ කැණීම සඳහා පුහුණුව දී ගෙන යාමට හැකියි.
අනිත් ප්‍රශ්නය තමයි විද්‍යාවේ දියුණුව සමග මිනිසුන් හුඟක් වැඩ වලට අවශ්‍ය වෙන්නේ නැහැ. යන්ත්‍ර සුත්‍ර වලින් ඒවා කෙරුව හැකි. විරැකියාව තව වැඩි වෙනවා වෙන කර්මාන්තයට යෙදෙව්වේ නැත්නම්. ඒක එන්නේ හඳේ සහ අඟහරු ලෝකයේ ජනාවාස පිහිටුවන්න අවශ්‍ය දේ හදන විශාල කම්හල් එක්ක.
දැන් මේ කතාව හීන මවන පිස්සෙකුගේ කතාවක් හැටියට පෙනෙන්න පුලුවන් . බ්‍රිතාන්‍යය වගේ "මානව හිමිකම් " රකින රටක එහෙම වෙන්න පුලුවන්ද?
මේ බ්‍රිතාන්‍යයම තමයි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ගෙවන්න කිව්වේ. බොරිස් ජෝන්සන් (ලන්ඩන් නගරාධිපති ) කැරලි මර්දනය කරන්න වතුර බවුසර් අරගෙන ලෑස්ති වෙනවා.
මම මේ කියන්නේ තව අවුරුදු 20කින් 2020 -2050 අතර මේ දියුණු රටවල් කරන්න බල පොරොත්තු වෙන දෙයක්.
ඉන්දියාව කරන අඅභ්‍යවකාශ  වැඩ මෙතනින් . . 
අර ඔස්ට්‍රේලියාව පිහිටුවද්දී සිද්ධ වුන වගේ දෙයක් නැවත සිද්ධ වෙනව. මාක්ස් කීව  මතකද ඉතිහාසය පුනරාවර්තන වෙනවා සර්පිලාකාරව කියල.  දයලේක්තිකව පලවන මොහොතට වඩා ඉතිහාසය නැවත රඟ දැක්වෙන  දෙවන මොහොත උසස්. (තාක්ෂනය මුදල් ආදී දේ බැලුවහම ).
මෙතැනදී තව කරුණක් කියන්න ඕනේ? විද්‍යාඥයන් මෙතන දිනයිද යුද වාදීන් දිනයිද කියන එක විශ්වාස නැහැ?
ජේම්ස් බොන්ඩ් හා ඒ වගේ අනිත් අමෙරිකානු චිත්‍රපටි  වල දුෂ්ටයා  වුනේ උතුරු කොරියාව හා කියුබාව දැන් අවුරුදු දහයකට කලින්. දැන් දැන් ඒ තැන නැවතත් රුසියාව හා මුස්ලිම් ත්‍රස්තවාදය අරගෙන වගේ. (මෙතැනදී තවත් ධනවාදී රටක් වන රුසියාව ශුද්ධ කරන්න මට අවශ්‍යතාවයක් නැහැ)  24 වගේ රුපවාහිනී සිනමාව ගෙන බලන්න කවුද දුෂ්ටය කියල? මහජන මතය හදන හැටි බලන්න නැවතත් යුද්ධයකට?
වාමාංශික පක්ෂ කියන විධිහට ධනවාදය භංග වේද ? ඊළඟ පිම්ම පනීද  ?

Thursday 10 July 2014

මාක්ස් ලාභය ගැන - අතිරික්ත වටිනාකම -(ප්‍රාග්ධනය අංක 8)

(ප්‍රාග්ධනය අංක 8)

අතිරික්ත වටිනාකම හෙවත් අපි සුලභව හඳුන්වන ලාභය ගැන මාක්ස් ලිව්වේ මෙහෙම දෙයක්. අපි පසුගිය ලිපියේ කතා කලේ භාණ්ඩ - මුදලට හා මුදල් නැවත භාණ්ඩ වීමේ ක්‍රියාවලිය. ( C - M - C - commodity  - money - commodity  )

(මෙය මෙහි පැහැදිලි කර ඇත. සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය)

දැන් අපි අරගමු මෙන්න මේ ක්‍රියාවලිය. මුදලින් භාණ්ඩයක් ගැනීම සහ එය නැවත විකිණීම (හෙවත් මුදලට හුවමාරු කිරීම ) - මුදල්-භාණ්ඩ - මුදල් හෙවත් M - C - M ක්‍රියාවලිය. මෙය බැලූ බැල්මට නැවත නැවතත් සිදුවන තේරුමක් වැඩිය නැති ක්‍රියාවලියක් වගේ. හුඟක් වෙලාවට මුදලේ ප්‍රමාණය වෙනස් වෙන්න හෝ භාවිතා කරන මුදලේ වර්ගය වෙනස් වෙන්න හෝ පුළුවන්. ඒ කියන්නේ පවුම් 10 කට අරගෙන එයම පවුම් විස්සකට හුවමාරු කිරීම (විකිණීම) නැත්නම් ඩොලර් 10 කට අරගෙන පවුම් 10කට දීම. මේ තේරුමක් නැති M - C - M ක්‍රියාවලියට තේරුමක් එන්නේ එහෙනම් භාවිතා කරන ප්‍රමාණය මත. වැඩි ගණනකට හුවමාරු වෙනවා නම් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු වෙනව.

අපි හිතමු වටින සේද රෙද්දක් පවුම් 100 කට ගත්ත කියල. ඒක මම විකුනනවා 110 ට. මේ ක්‍රියාවලිය අර සමිකරනයෙන්ම ලියුවොත් එන්නේ මෙහෙම.

මුදල්-භාණ්ඩ - මුදල්' හෙවත් M - C - M'.
මෙන්න මේ ලකුණ ' බලන්න;
ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි.
එනම් මුදල' හෙවත් M' = M +ΔM. මෙහිදී ΔM=පවුම් 10. 

[ මේ ලකුණ Δ ග්‍රීක අකුරක් වන ඩෙල්ටා - මෙහි ගණිතමය අදහස වන්නේ වෙනස (difference) හෝ අගයේ (සංඛ්‍යාත්මකව) වෙනස් වූ ප්‍රමාණය යන්නයි]
මෙන්න මේ වෙනස් වූ අගයේ ප්‍රමානාත්මක වටිනාකම වන ΔM (ඩෙල්ටා M) අතිරික්ත වටිනාකම (surplus-value) යනුවෙන් හඳුන්වනවා. ඔබට පෙනෙනවා ඇති භාණ්ඩයේ මුල් වටිනාකම වෙනස් නොවී පවතින අතර එයට අතිරික්ත වටිනාකම එකතුවී එය තව දුරටත් ප්‍රසාරණය වී ඇති බව.(expands itself)

මෙන්න මේ ක්‍රියාවලිය මුදල් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කරනු ලබනවා.
(මෙසේ කියා ඇත්තේ මාක්ස් ගේ ප්‍රාග්ධනය මුල් කොටසේ පලමුවන වෙළුමේ, මතක තබා ගත යුතු දෙයක් වන්නේ මාක්ස් මෙය තව දුරටත් විකාශනය කරමින් ප්‍රග්ධනය ඇතිවන හැටි පෙන්වා දෙනවා ප්‍රාග්ධනය 2 වන වෙළුමේ)

ඒ කියන්නේ මාක්ස් කියන විධිහට මේ අතිරික්ත වටිනාකම හෙවත් ලාභය ප්‍රග්ධනය හැටියට පරිවර්තනය වෙනව. (මෙහිදී සඳහන් කරන්න ඕනේ මෙයට පිළිතුරු ලෙස බොහෙම් බෝවෙර්ක් ලියු ලිපියෙන් පසු මාක්ස් මේ ගැන දෙවන වෙළුමේ දීර්ඝ පැහැදිලි කිරීමක් කල බව. ඒවා මෙතන සාකච්චා වෙන්නේ නැහැ. )

අනවරත (නොනවතින) ලෙස සිදුවන භාණ්ඩ - මුදල් - භාණ්ඩ C - M - C ක්‍රියාවලිය පාලනය කරන්නේ මුලිකවම පරිභෝජනය විසින්. එනම් මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. නමුත් මුදල්-භාණ්ඩ- මුදල්; M - C - M, යන ක්‍රියාවලිය ගත්තොත් මුල හා අග ඇත්තේ මුදලයි. මෙය මෙම ක්‍රියාවලිය අනන්තය දක්වා දික් ගස්සනවා.
M + ΔM ( delta M) යන්න නම් M මුල් මුදලේ අගයෙන් වෙනස් වන මුත් එයත් කිසියම් මුදල් ප්‍රමාණයක් විතරයි (උදා. 110). හැබැයි අපි එය වියදම් කලොත් එය තව දුරටත් ප්‍රාග්ධනය බවට පරිවර්තනය නොවේ. එසේම අපි එය මේ ක්‍රියාවලියෙන් (මේ සන්සරණයෙන්) ඉවත් කලොත් එය නිධානයක් (එකතු කර ගත්;තොගයක් හෝ සංචිතයක් - මාක්ස්ගේ වචනය hoards) බවට පත් වෙනවා. වටිනාකම ප්‍රසාරණය වීමේ උවමනාව හඳුනා ගත් පසු එය පසු; මුදල' (M' ) හා මුල් මුදල (M ) යන දෙක අතරේම පවතින බව පෙනේවි. ඒ නිසා ප්‍රග්ධනයේ චලිතය (ගමන) සිමා රහිත බවත් එහි අරමුණ මේ ක්‍රියාවලිය මුදුනේ හෝ අග හෝ සාක්ෂාත් කරගෙන නැති බවත් තේරුම් ගත යුතුවේ. (මාක්ස් මෙතන මේ කියන්නේ ලාභ ලබා ගැනීමේ කෙළවරක් නැති බවයි).

මේ ක්‍රියාවලියේ ප්‍රධාන නියෝජිතයා වනමුදල් අයිතිකරුවා ධනපතියා (capitalist) බවට පත් වේ. මෙතැනදී කල්පනා කරන්න මෙහෙම. ඇයි  ධනපති හෝ දිළිඳු රටවල බැංකු වලින් පුංචි ව්‍යාපාර සඳහා නය ආධාර දෙන්නේ. ඔබ යම් මුදල් ප්‍රමාණයක අයිතිකරුවකු වෙන තුරු ඔබ ධනපතියකු වීම සඳහා අඩිතාලම වැටෙන්නේ නැති නිසා. ඊළඟට හැමෝම ලොකුවට කතා කරන බිල් ගේට්ස් ගමු. ඔහු තමන් මුලින් බිස්නස් කල හොයා ගත්  මුදලින් සියැටල් කොම්පැනියකින් ඩොලර් 50000 ගෙවා ගත් පරිගණක මෙහෙයුම් පද්ධතිය මදක් වැඩි දියුණු කර IBM වලට විකිණුව. ඔහු ලාභය ගත්තේ එහි license හෙවත් බල පත්‍රය පාවිචි කරන ගානට විකිණීම හා එහි අයිතිය තමන් සතුව තබා ගැනීමෙන්. අනිත් අයට විකිණීමේදී එහි ලාභය හැම වෙලේම වැඩි කලා. එය අනවරත ක්‍රියාවලියක් නිසා ඔහුගේ ආදායමත් ඒ වගේම වැඩි වුණා. මෙතැනදී ඔහු විසින් එම මෙහෙයුම් පද්ධතිය අලුත්වැඩියා කිරීම හා රැකියා අවස්ථා ඇති කිරීම ගැන සාකච්චා කරන්නේ නැහැ.

මෙය ලියුවේ පහත කොමෙන්ටුව තේරුම් ගන්න ආධාරයක් වශයෙන්.

බ්ලොග් කරුවෙකුගේ ප්‍රශ්න:
 සමාජ සුභ සාධක - මට තියන ප්‍රශ්නෙ තත්වය ඕක නම් කොහොමද ලාභය අනවරත ව වර්ධනය වෙන්න කිසිම විදියක් නෑ.එක නිෂ්පාදකයෙකුට ආදායමක් ලැබෙන්නෙ එයාගෙ නිෂ්පාදන විකුනලයි.ඒ නිෂ්පාදන මිලට ගන්න අය ට සල්ලි ලැබෙන්නෙත් වෙනත් නිෂ්පාදකයකු ලඟ සේවය කරලයි.එහෙමනම් ලාභ ලැබීමේ වේගය වැඩි වෙන්න බෑ.කිසියම් අවස්ථාවකදි මේක හිර වෙන්න ඕන නේද?පොදුවෙ ගත්තම ලාභ ලැබීම නතර වෙන්න ඕන.මට හිතෙන්නෙ යුරෝපයෙ දැන් ඒක වෙලා කියල.ප්‍රාග්ධනය ගැන ඔයාට හොඳ දැනුමක් තියන හින්ද ඔයාට කොහොමද ඒක හිතෙන්නෙ.මම නම් ප්‍රාග්ධනය පොත කියවල නෑ.ඔය වටින් ගොඩින් අහපු දැනගත්ත දෙයක් මිස.

පිළිතුර - ඒක හින්ද තමයි මාක්ස්වාදයේ කියන්නේ ලාභය කෘතිමව  වැඩි කරනවා කියල. මේ ලාභය තමා ධනපති පන්තිය බිහි කරන්නේ. ලාභ ලැබීමේ වේගයත් කෘතිමව තමා වෙන්නේ. මාක්ස් මේක තම ග්‍රන්ථයේ පලවෙනි කොටසේ ලිව්වා එකට බොහෙර්ම් බෝවෙර්ක් එකඟ නොවී විවේචනයක් ලියා පළ කලා. පස්සේ මාක්ස් දෙවෙනි වොලියුම් එකේ දී නැවතත් පැහැදිලි කලා . යුරෝපයේ හැම භාණ්ඩයකම සංයුක්තව ගත්තම ලාභ ලැබීම නතර වෙලා නැහැ. එයට හේතුව යුරෝපයේ නිෂ්පාදකයා පාවිචිචි කරන්නේ අඩු ශ්‍රමය. එංගලන්තයේ මාර්කස් ඇන්ඩ් ස්පෙන්සර් කම්හල තියෙන්නේ ලංකාවේ හොරණ. අයිෆෝන් කම්හල් තියෙන්නේ චීනයේ (අඩු පඩියට ) ඒ වගේ. ඊළගට යුරෝපයේ හොඳ වාහන වැඩි ගානට විකිනෙන්නේ දුප්පත් රටවල් වල හා චීනයේ, රුසියාවේ. එනිසා ඒ ලාභ එහෙමමම්යි. නමුත් මදි. මේක හදන්න නම් යුද්ධයක් ඕනේ. ඔයාට ඔය තේරෙන හැටි හරි. දැන් උක්රයිනය අවුලන්නේ ඒකයි . ඔය ඉරාකේ ගහන අයිඑසයිඑස් එකට මුලින් ආයුධ දුන්නේ කවුද සිරියාවේ ගහන්න ?

 සමාජ සුබසාධක: ඔබ හරි. ඔය දේ තමයි වෙන්නෙ. දැනට යුරෝපයෙ නිෂ්පාදන වල ලාභය ක් ඇති.ඒ ආසියානු අප්‍රිකානු රටවලින් ලාභ ශ්‍රමය ගන්න නිසා. ඒත් මේ වැඩේ හැමදාම කරන්න බෑ. අපේ රටේ වුනත් ගාමන්ට් වල වේකන්සි පුරවන්න බෑ. මොකද මේ පඩියට කට්ටිය එන්නෙ නෑ.අපි දන්නව ගාමන්ට් වල උපරිම ශ්‍රම සූරාකෑමක් වෙනව .මෙහෙම සූරාකන එකෙත් සීමාවක් තියනව.පුටුවෙ වාඩිවෙන එක තහනම් කරල,මුත්‍රා කරන එකට කාඩ් ක්‍රම හදුන්වල දීල කරන්න පුළුවන් උපරිම වධ දීලත් සූරාකන්න පුළුවන් උපරිමයටම සූරා කාල දැන් ඉතිරිවෙලා තියෙන්න කස පහර දෙන එක විතරයි. ජීවන වියදම ඉහල යාමත් එක්ක මේ පඩි මදි.අපේ වගෙ රටවල ආර්ථික වර්ධනය වෙන කොට ජීවන වියදම වැඩි වෙනව.තව දුරටත් ලාභ ශ්‍රමය සොයාගෙන ආසියාවට අප්‍රිකාවට යන්න බැරි වෙනව.වැඩි පඩි ගෙව්වොත් ලාභයක් නැතිවෙනව කියමු.එහෙම වුනොත් ඉදිරියෙදි ආසියාවෙයි යුරෝපයෙයි නුපුහුණු කම්කරු වැටුප් සමාන වෙයි.
ලාභ ශ්‍රමය ගැන කියනවනම් ඔය කම්හල් ලඟදිම වැහෙනව.දැනටත් ගාමන්ට් වැහීගෙනනෙ යන්නෙ.ආසියාවට අප්‍රිකාවට අලුත් කර්මාන්ත ඉදිරි දශාක්යෙදි එයි කියල හිතන්න අමාරුයි.

පිළිතුර:මේක කාලය පිළිබද ප්‍රශ්නයක්.කවදහරි ලාභය වර්ධනය වෙන එක නතර වෙනව. ධනපති පන්තියෙ අවසානය උදා වෙන්නෙ එදාටයි.මේක ස්වාභාවික ක්‍රියාවලියක්.

මට හිතෙන විදියට ලංකාවෙ ශ්‍රමිකයකුගෙ වැටුප වගෙ දහ ගුණයක් දියුණු යැයි කියන රටක ශ්‍රමිකයෙකුගෙ වැටුප. අපේ රටවල වැටුප් වැඩි වුනාට ඒ වේගයෙන් අර රටවල වැටුප් වැඩි වෙන්නෙ නෑ.අපේ රටවල වැටුප් අර මට්ටමට එනව මිස.ග්‍රීසිය,ස්පාඥය වගෙ දකුණු යුරෝපීය රටවල ආර්ථිකය ඍන වෙනව.මේ දෙරටත් කඩා වැටෙන එක පටන් අරන්ද මන්ද.යන්තම් අල්ලගෙන ඉන්නෙ බ්‍රිතාන්‍යයයි ජර්මනියයි විතරයි.මම හිතනව සමස්තයක් වශයෙන් චීනය හැර ලෝකෙ හැම ආර්ථිකයකම වර්ධන වේගය 2.0 ට අඩු වෙලා.දැනටම ඒක වෙලා හුඟක් රටවල. මේක මෙහෙම වෙලා අද හෙටම ආර්ථික වර්ධනය 0 වෙනව. ධනපති ක්‍රමය නතර වෙන්නෙ අන්න ඒ වෙලාවෙ.

ප්‍රශ්නය - සමාජ සුභ සාධක කියනවා වගේ ලාභය වර්ධනය වන එක නතර වෙනවද? මාක්ස් කියන විධිහට M -C -M' ක්‍රියාවලිය දිගටම (නොනැවතී) සිදුවෙන නිසා ලාභය වර්ධනය වීම නතර වෙන්නේ නැහැ. ලිව්වේ 7 July 2014

Thursday 3 July 2014

දක්ෂිනාංශයෙන් සමාජවාදයක් පැතීම හා මාක්ස්වාදී රනිල්

මේක ලියන්න හිතුනේ (වෙන මාතෘකා දාහක් හිතේ නලියද්දි) ත්‍රිමානයේ  තිබ්බ ලිපියකට දාපු කොමෙන්ටුවක් දැකලා . ඒකෙ  කියල තිබෙනවා මා  වැනි ප්‍රගතිශීලින් (මන් දන්නෙත් නැහැ මං  ප්‍රගතිශීලි ද කියල) රනිල්ට සහයෝගය දක්වනවා කියලා . ඒ කියන්නේ මෙහෙම දෙයක්. 

"3මාන වෙබ් අඩවියට එම කමෙන්ටු යොමු කරනා “ප්‍රගතිශීලීන්” මූලික වශයෙන් අවබෝධ කොටගෙන ඇති ප්‍රධානතම කාරනාව වන්නේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒම යුගයේ ප්‍රගතිශීලීම කටයුත්ත බවය. මාගේද දේශපාලන ස්ථාවරය එය වේ."

මගේ ලිපි වලින් වත් කොමෙන්ටු වලින් වත් එහෙම දෙයක් කොහෙවත් ලියවිලා තිබෙනවද කියල මම කල්පනා කලා  ඇත්තටම? මම දන්නා විධිහට නම් නැහැ. මේ කොමෙන්ටුවෙන්  ගම්‍ය වෙන්නේ මෙහෙම දෙයක්. එක්කෝ මේ ලියන තැනැත්තා එජාපය ට ලැදී කෙනෙක්. එහම නැත්නම් වෙන මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් පොඩි ටෙස්ට් එකකට ලියපු දෙයක්.
 
මගේ යහළුවෙක් ඉන්නවා බොබ් චැප්මන් කියල ඇමෙරිකානු ජාතික විශ්‍රාම ලත් ඉංජිනේරුවෙක්. ඔහුගේ වෙබ් අඩවියේ ලින්ක් එක මගේ ඉංග්‍රීසි බ්ලොගයේ තිබෙනවා. මිනිහ උග්‍ර දෙවියන් අදහන  ක්‍රිස්තියානි ආගමිකයෙක්. ඒ වගේම අමෙරිකන් තේ පක්ෂයේ  "tea party movement " http://en.wikipedia.org/wiki/Tea_Party_movement   අනුගාමිකයෙක්. මාත් එක්ක ගිය ඊමේල සංවාදයකදී මිනිහ කිව්වා:
 අජිත් මම ඔබේ අදේව වාදය හා මාක්ස් වාදය පිළිගන්නේ  නැහැ කියල. මන් කිව්වා බොබ් ප්‍රශ්නයක් නැහැ.
 මට මේ ටික කියන්න. ඔබට මිනිස්සුන්ට රස්සා  දෙන්න ඕනේ නේද? ඔව් .  
ඔබේ දෙවියෝ මිනිසුන් වහලුන්  කර ගන්න  එකට සූරා කන එකට විරුද්දයි නේද? ඔව්
ඔබට ඔබම ගත්ත නය ගෙවන්න ඕනේ නේද? ඔව් 
ඇමෙරිකාවේ මිනිස්සු හැමෝම නය වෙලා නේද? ඔව් . 
ධනපතියෝ තව පෝසත් වෙනවා නේද?  ඔව්
ධනපතියෝ ඔයිට වැඩිය අඩුම ගානේ   දෙවියෝ කිව විධිහටවත්  ඉන්න ඕනේ නේද? ඔව්. 
ඔබට ඇමෙරිකන් රාජ්‍ය මැදිහත්වීම අඩු කරන්න ඕනේ නේද? ඔව්
නය අඩු කරන්න ඕනේ නේද? ඔව් 
රජය අහෝසි වෙලා යනවට ඔබ කැමති නේද ? ඔව් 
ඔබේ පළාතේ මිනිස්සු පළාතේ වැඩ තම තමන් විසඳ ගන්න හදනවා  නේද?  ඔව් . 
ඉතින් බොබ් මාක්ස් කියන්නෙත් ඕකමනේ? ...බොබ්   බොබ්..
.සුමානෙකට පස්සේ බොබ් ලියනවා  අජිත් ඒ වුනාට මම නිදහස් ආයෝජනයට, නිදහස් වෙළදාමට  කැමතියි. දියුණුවෙන්න පුළුවන් ඒකෙන් විතරයි
බොබ් යුරෝපේ හෙම නය වෙලා නිසා ආයෝජනය කරන්න එන්නේ අදේවවාදී චීන කොමියුනිස්ට් කාරයොයි රුස්සෝ ටිකයි නේද? ඔව්--

බොබ් දැනට ඇමෙරිකාවේ ඔත්තු සංවිධාන මාක්ස්වාදීන් හොරෙන් ඝාතනය කරලා (බොබ් ඔබේ යහලුවත් එතනට ඇතුලත්) , නැති කරලා දාන නිසා අඩුම ගානේ  අන්ත දක්ෂිණාංශික බවක් පෙනුනත් රජය අහෝසි කරන්න කැප වෙලා ඉන්න නිසාත් , ඔබ හොඳ  පුද්ගලයෙකු නිසාත්  ඔය පක්ෂෙන් හරි ඇමෙරිකාවේ ඔය ක්‍රමයට හා ඔබාමාට විරුද්ධව සටන් කරන එකට මගේ වචනෙන් හරි සහයෝගය දෙනවා. අජිත් බොහොම ස්තුතියි. අදේවවාදියෙක් වුනත් ඔබ හිතන්නෙත් අපි හිතන විධිහට

පිස්සුද බොබ් මම කල්පනා කරන්නේ ඔබේ පවතින තත්වයට සාපේක්ෂව. ....

දැන් රනිල් ඇතුළු විපක්ෂේ ඔය කියන තරම්ම හොඳ නැහැ. පුබුදු ජයගොඩ කියනවා වගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව රනිල් ගේනවා මටත් මතකයි. එහෙම කෙනෙක් මැරිලා උපදින්න විධිහක් නැහැ. රනිල් කවදාවත් පන්ති අරගලයකට සහයෝගය දෙන්නෙත් නැහැ. ඒ නිසා මම එජාපය බලයට ගෙන ඒම  හෝ රනිල් සජිත් බලයට ගෙන ඒම  ප්‍රගතිශීලි කියල කවදාවත් හිතන්නේ නැහැ.නමුත් පවතින අසාමාන්‍ය ලෙස බෙලහීන විපක්ෂයේ බෙල්ලට පොලුපාරවල්  දෙන්නත් මට ඕන කමක් නැහැ. ගහ මරා  ගන්නේ නැතුව ඕන දේශපාලනයක්. 
ත්‍රිමාණ යේ කොමෙන්ටුව: http://3mana.com/%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D/#comment-6748