Saturday, 9 September 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම

මුල් ලිපිය මෙතැනින්  කියවන්න.
විජේවීර ලුමුම්බාවේ 

ලංකා සමසමාජය ගැන කතා කරන විට පොපි මල් එකතු කිරීමේ ව්‍යාපාරයට එරෙහිව සුරිය මල් ව්‍යාපාරය පැන නැගුනු හැටි මතක් කලෙමි. එලෙසම ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයටද පැරණි වාමාංශික නායකයන් මහත්  සේ සහය දුන්හ. මිනිසුන්ට ඒ කාලයේ පරිප්පු ඇතුළු සහනාධාර බෙදු හෙයින් ඇන් ඇම් "පරිප්පු මහත්තයා"  වශයෙන් ද ප්‍රසිද්ධ විය. එනිසාම  ඔහු 1977 දක්වාම රුවන්වැල්ල ආසනය නියෝජනය කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් සටනේ පුරෝගාමීන් වූයේද ඔවුන්ය.  බ්‍රිතාන්‍යයෙන් පුර්ණ නිදහස ඉල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රම ක්‍රමයෙන් සහන ලබා ගැනීම මගින් නිදහස දිනා  ගැනීමට එෆ් ආර් සේනානායක ප්‍රමුඛ ලංකා ජාතික සභාව (Ceylon National Congress) කටයුතු කළේය. ඔහු සමග දෙමළ  ජාතික පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී බි ජයතිලක , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර , ඊ  ඩබ්. පෙරේරා , එච් ඩබ් අමරසුරිය ආදීන්ද වූහ .

වර්ෂ 1943 දී ඩී එස් සේනානායක මහතා ජාතික සභාවෙන්  ඉවත්  වූයේ ඔවුන් (ජාතික සභාව)  ඩොමිනියන් තත්වයෙන් පමණක් සෑහීමට පත් වීම නිසාය. එක්සත් ජාතික පක්ෂය 1946 දී  බිහි වූයේ මින් පසුවය. මේ නිසා ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඇන් ඇම් කොල්වින්ලාගේ සම සමාජයද රටේ පූර්ණ නිදහස උදෙසා සටන් කළහ.

මා පෙර ලිපිය අවසන් කලේ පැරණි  වමට සෝවියට් සාහිත්‍යයේ  බලපෑමක් සිදු නොවීයයි යන නිගමනයට එළඹෙමින්ය.

පැවති එජාප පාලනය බිඳ දමා බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ 1956 දීය. මේ වනවිට ලංකා සම සමාජ පක්ෂයෙන් බිඳුණු සෝවියට් වාදී  එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය ලෙස නම වෙනස් කරන ලදී. මහජන එක්සත් පෙරමුණ වශයෙන් ඔවුන් හා සම සමාජ පක්ෂය බණ්ඩාරනායක රජයට එක්විය.  බණ්ඩාරනායක ආණ්ඩුව කිසිම බල කඳවුරකට නොබැඳී සිටීමේ ප්‍රතිපත්තිය යටතේ සෝවියට් දේශය සහ චීනය සමග තානාපති සම්බන්ධතා 1957 දී  අරඹන ලදී. සෝවියට් ශ්‍රී ලංකා  මිත්‍රත්ව සංගමය 1959 දී පිහිටුවන ලදී.ඉතා සීමිත ලෙසින් සෝවියට් සාහිත්‍යය හා පුවත්පත් ශ්‍රී ලංකාවට ඒමට පටන් ගත්තේ ඉන් පසුවය. ඔරුවල වානේ කම්හල, මෝදර පිටි කම්හල හා කැලණිය ටයර් කම්හල පිහිටුවීමට ගිවිසුම් අත්සන් කෙරුණේද මේ කාලයේය.

එවකට පැවති දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් වැසියන්ගේ වීරකම් මෙන්ම රතු හමුදාවේ ජයග්‍රහණයන් ලොව පුරා ප්‍රචාරණය කිරීමට "සෝවියට් සතිය " නමින් සඟරාවක් 1942 දී පමණ සෝවියට් විදේශ අමාත්‍යංශය හා සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පළ කරන ලදී. මේවා මුලදී බෙදා හරින ලද්දේ තානාපති කාර්යාල මගිනි. පසුව "සෝවියට් දේශය" යනුවෙන් මාස් පතා පල කෙරුනේ මේ සඟරාවයි.

ස්ටාලින්ගේ මරණයෙන් පසු  චීනය සෝවියට් දේශයට ප්‍රතිවිරුද්ධ මතයක සිටියේය. එයට හේතුව නිකිතා කෘෂෙව් (1953-1964)  හා ඔහුගෙන් පසු බලයට පත්වූ සෝවියට් ජනාධිපති/පක්ෂ ලේකම් වරු ස්ටාලින් වාදයට විරුද්ධව අදහස් පල කිරීමයි. ලෙනින් අසලම  එම්බාම් කර සංරක්ෂනය කර තිබු ස්ටාලින්ගේ මිනියද කෘෂෙව්  ගේ අණින්   ඉවත් කර ලෙනින් ගේ සොහොන්  ගෘහය පිටුපස තාප්පය අසල මිහිදන් කරන ලදී.

නිකිතා  කෘෂෙව් ස්ටාලින් විසින් පක්ෂයට කරන ලද ද්‍රෝහී ක්‍රියා ගැන ප්‍රසිද්ධ කතාවක්  කරන ලද අතර මේ ක්‍රියාවලිය "ස්ටාලින් ඉවත් කිරීම   de-Stalinization" ලෙස නම් කරන ලදී.  ස්ටාලින් ගේ අණින්  මරණ ලද හෝ සයිබීරියාවේ වැඩ කඳවුරු (ගුලාග්) වලට යවන ලද  මිලියන් 20ක පමණ සෝවියට් ජනතාව ගැන ප්‍රසිද්ධියේ  විස්තර සපයන ලදී.  එසේම ගුලාග් (වැඩ කඳවුරු) වසා දමා  සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලදී. රුසියාවට අයත්ව තිබූ ක්‍රිමියාව උක්රයිනයට භාර දුන්නේද මේ කෘෂෙව් මය.
ස්ටාලින් වළ දමා ඇති ස්ථානය (පින්තූරය මා විසින් ගත්  එකකි)

මහජන චීන ජනාධිපති හා කොමියුනිස්ට්  පක්ෂ සභාපති මා ඕ සේතුං හා අගමැති චෞ එන් ලායි සෝවියට් දේශය ස්ටාලින්වාදයෙන් පිට පැනීමට විරුද්ධ විය.  මේ නිසා සෝවියට් දේශය සහ චීනය අතර මතවාදී  විරුද්ධත්වයක් හට ගැනිණි. " මොස්කව් වල වැස්සොත් කොළඹ කුඩ ඉහළනවා" යයි විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා පීකිං වල වැස්සොත් කොළඹ කුඩ ඉහලන චීන පිල ලෙසින් බෙදිණි. චීන පිල බිහි වූයේ 1960 පමණය.

සෝවියට් දේශය ස්ටාලින් වාදය ඉවත දමමින් නැවතත් මාක්ස් ලෙනින් වාදයට යාම පිලිබඳ ප්‍රකාශ නිකුත් කරන සමයේ චීනයේ මාඕ සේතුං සංස්කෘතික විප්ලවය දියත් කරන ලදී. (cultural revolution) මේ සමයේ මිලියන් 30 කට අධික චීන ජනතාවක්  ඝාතනය වුනි. මාඕ ට සහය දුන් සටන් සගයන් පවා "නැවත ඉගෙනීම" පිණිස අති  දුෂ්කර තත්වයන් යටතේ ජිවත් වීමට ගම්වලට පටවන ලදී. (ඩෙන් ෂියා ඕ පින් එවැන්නෙකි)

වසර 1963 දී කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පදවියට පත් වූයේ මාඕවාදී පොල්පොට්ය. වසර 1979 දක්වා පැවති ඔහුගේ පාලනයේදී "නැවත ඉගෙනීම" සඳහා ගම් වලට  යැවුණු  මිලියන් 1 සිට 3 දක්වා ජනතාවක්  ඝාතනය විය.

ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය  නැවතත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ 1962 සභාග ආණ්ඩුවකට පිවිසුණි. එක්සත් වමේ පෙරමුණ යටතේ කොමියුනිස්ට් පක්ෂය, ට්‍රොට්ස්කිවාදී සම සමාජය හා මහජන එක්සත් පෙරමුණ රජයේ සිටියද ඇමති ප්‍රශ්න නිසා එය බිඳී ගියේය.  ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සිසුන් 31 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට පිටත් කෙරුනේ මෙම වාමාංශික රජය සමග අත්සන් කළ ගිවිසුමකිනි. ශිෂ්‍යත්ව ලබා දුන්නේ මිත්‍රත්ව සංගමය හරහා වන අතර බොහෝ විට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සිසුන්ට පමණක් අවස්ථා ලැබිණි. සමහර විට  අයදුම් කරන ලද්දේද ඔවුන් පමණක් වන්නට ඇත.

මෙසේ ගිය එක සිසුවකු වන රෝහණ විජේවීර  වසර කිහිපයකින් පසු රෝගී තත්වයක් උඩ ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට ඔහු චීන පිලේ නිසා රුසියානු තානාපති කාර්යාලය වීසා ප්‍රතික්ෂේප කල බව කියති. මේ කතාව  පිළිගත නොහැක්කේ සෝවියට් වීසා ලබා දෙන්නේ කාල වකවානුවකට බැවිනි. එම කාල වකවානුව තුළ නැවත පැමිණීමේ ගුවන් ගමන් බලපත්‍රය ඇත්නම් රුසියානු තානාපති කාර්යාලයට යාමේ අවශ්‍යතාවයක් නැත.

මා වඩාත් විශ්වාස කරන කතාව නම් විජේවීර සමග කිසියම්  අමනාපයකින් හෝ ඉරිසියාවකින් සිටි සිසුවෙකු හෝ දෙදෙනෙකු ඔහුට එරෙහිව මිත්‍රත්ව සංගමයට චෝදනා කළ පසු ඔහු විශ්විද්‍යාලයෙන් පහ කිරීමට මිත්‍රත්ව සංගමය කටයුතු කල බවය.  ඔහුට එරෙහි චෝදනාවල ඔහු චීනයට පක්ෂව කතා කරන බවටද චෝදනාවක් අඩන්ගුවී තිබුනේ යයි කියති. විජේවීර පැහැදිලිව කියා තිබුනේ සෝවියට් දේශය ධනවාදය කරා ගමන් කරන බවත් මාඕ ගේ ස්‌ථාවරය නිවැරදි බවත්ය. විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නිසා ඔහු සෝවියට් දේශයට පැමිණියේ එහි එවකට නායක එස් ඒ වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහයෙන් බව කියවේ.  එසේම නැවත රුසියාවට පැමිණීමට ඔහු පක්ෂයේ උසස් අයගේ උදව් පතා ගියත් එයද නොලැබී තිබුණි.

මිත්‍රත්ව සංගමය හෝ කොමියුනිස්ට් පක්ෂය හරහාත්  පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාත් ගිය සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි  කල හැකි වුයේ අදාල විශ්ව විද්‍යාලයට සහ මිත්‍රත්ව සංගමයටය.

(මේ තත්වය වෙනස් වූයේ 1980 දී ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය සෝවියට් දේශය සමග ගිවිසුමක් ගැසීමෙනි. සෝවියට් ශිෂ්‍යත්ව වල අගය වටහා ගෙන සිටි ජේ ආර් ශිෂ්‍යත්ව සඛ්‍යාව 75 දක්වා වැඩි කිරීමට සෝවියට් දේශය එකඟ කරවාගෙන දෙරටේ අධ්‍යාපන අමාත්‍යංශ අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. අපොස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් සංවිධානය කළ සම්මුඛ පරීක්ෂණ දෙකක් හරහා තෝරා යවන ලද්දේ ඉන් පසුවය. මා  සම්මුඛ පරික්ෂණයට අයදුම් කලේද මේ ශිෂ්‍යත්ව පිලිබඳ දිවයින පුවත් පතේ පල කල දැන්වීමකට අනුවය.මේ සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ හැක්කේ පක්ෂයකට හෝ මිත්‍ර සංගමයට නොව රුසියානු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණය.)

කේ ශන්මුගදාසන් ගේ නායකත්වයෙන් යුත්   කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට මුලින් බැඳුනු විජේවීර මහතා  ඉන්පසු තමන්ගේම පක්ෂයක් සංවිධානය කළේය. නව වම වුයේ ඔහු විසින් එසේ පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණයි.

වසර  1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටවූ  සමගි පෙරමුණු රජයට කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ද ඇතුලත් වුනි. වසර 1971 වනවිට සිංහල තරුණයන් බහුතරයක් විසින් වාමාංශික සමගි පෙරමුණු රජයට එරෙහිව කැරැල්ලක් ගසන ලදී. කැරැල්ලේ න්‍යායවාදී නායකයා වූ විජේවීර අනුගමනය කළේ චීනයට හා මාඕ වාදයට පක්ෂ ප්‍රතිපත්තියකි. ඔහුගේ එක පන්තියක් වුයේ ඉන්දියානු ව්‍යාප්තවාදය යන්නය. ඉන්දියාව සමග දේශ සිමා යුද්ධයක පැටලී සිටි චීනය ඉන්දියානු  ව්‍යාප්තවාදය තදින් විවේචනය කළ රටකි. (නමුත් සැබවින්ම සිකීමය හා ටිබෙටය ආක්‍රමණය කළේ චීනයයි.)  මේ කැරැල්ලට විරුද්ධව සිරිමාවෝගේ රජයට සහය දීමට ඉදිරිපත් වූ එක රටක් වන්නේ සෝවියට් දේශයයි.කැරැල්ලට පක්ෂ යයි සැක කල එකම රට වුයේ උතුරු කොරියාවයි.

රුසියානු සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වන චෙකොව් ගේ පොත් ඒ පී ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද්දේ 1949 තරම් ඈත කාලයේය. (රුසියානු කෙටි කථා) ඉන්පසු බොහෝ රුසියානු සාහිත්‍ය පරිවර්තන කෙරුණු අතර කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව කටයුතු කල උඩකැන්දවල  ශ්‍රී සරණංකර හිමියන් පලකල "නවලෝකය " සඟරාවේ  ඒවා පළවන්නට විය.  මේ සාහිත්‍ය පරිවර්තන බොහොමයක්ම ප්‍රේමකතා සහ පූර්ව  විප්ලවීය සම්භාව්‍ය  රුසියානු සාහිත්‍යය කෘති වීය.

විජේවීර මහතා ගේ ලුමුම්බා සමකාලීනයකු වූ පද්මහර්ෂ කුරණගේ  මහතා  චෙකොව් ගේ මෙන්ම වෙනත් කතුවරුන්ගේද කෘතීන් අනගි ලෙස  පරිවර්තනය කරණ ලදුව මොස්කව් ප්‍රගති ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කර බෙදා හරින ලදී. මේවා කිසිවක් රුසියානු විප්ලවයට සම්බන්ධ ඒවා නොවීය.  දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තන එන්නේ පසු කාලයකය.


 මේ නිසා මේ 1971  කැරැල්ලට සහභාගී වූ තරුණයන්ට සෝවියට් සාහිත්‍යයේ බලපෑම එතරම් ප්‍රබල වුවක් යයි කීම ඉතා අපහසුය.මගේ නිගමනය නම් 1971 කැරැල්ල දක්වා වූ කාලය අතර තුර නව වමට බලපෑවේ සෝවියට් සාහිත්‍යය නොව විජේවීරගේ මාඕ වාදය බවයි. ග්‍රාමීය තරුණයන් කැරැල්ල සඳහා  විජේවීර සංවිධානය කළේත් මාඕ වාදය අනුව මිස ලෙනින් වාදය අනුව නොවේ. ලෙනින් ඔක්තෝබර් විප්ලවය ට්‍රොස්ට්කි සමග සංවිධානය  කලේ පෙත්රෝගාඩ් (සෙන්ට් පිටර්ස්බර්ග්) නාගරික කම්කරුවන් හා සොල්දාදුවන් අතර මිස රුසියානු ග්‍රාමීය ගොවි ජනතාව  අතර නොවේ.

~මතු සම්බන්ධයි
https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20160304/282510067654331

https://www.thoughtco.com/body-of-stalin-lenins-tomb-1779977




Monday, 4 September 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (19) - වීසා පෝලිමේ



ගමන් මාර්ගය මොස්කව් සිට බෙලෙරුසියාවේ මින්ස්ක්, බ්‍රෙස්ට්, පෝලන්තයේ වර්ෂාවා, පොස්නන්, ජර්මනියේ බර්ලින්, කොලෝන්, බෙල්ජියමේ බ්‍රසල්ස් හෝ ඕලන්දයේ ඇම්ස්ටඩෑම්  හා හාර්විච් හෝ ඩෝවර් හරහා  ලන්ඩන් 
"මට ටිකක් අප්සෙට් උඹලා මේ ලෙනින්ට බනින එක. විහිළු කරන එක. කොච්චර වුනත් අපිට ශිෂ්‍යත්වයක් දීල උගන්වනවා මේ රට. අපෙ දෙමව්පියන්ට අපිව  ඇමරිකාව, එංගලන්තය වගේ රටකට යවන්න  සල්ලි නැහැ. විශ්ව විද්‍යාලෙට යන්න ලකුණු යන්තම් මිස් වෙච්ච ගමන් අපි ලංකාවේ අනාථයි. මේ රටනේ අපිව බේරා ගත්තේ. දේශපාලනේ ගැන කතා නොකර සරලව ගත්තොත් මම සෝවියට් දේශයට ආදරේ ඒකයි"
තාන්යා රැගෙන යාමට කොල්ලන් එකඟවූ පසු ගිහාන් සතුටු සිතින් කීය.

"අනික නැත්නම්  උඹට තාන්යා හම්බවෙන්නෙත් නැහැනේ " තෙන්නේ කීය.

"ඒක තමයි වැදගත්ම එක. නැත්ද මචං " සුහදය පිටට තට්ටුවක් දැම්මේය.

"අපි වුනත් බනින්නේ නැහැ මචන්. අපි මේ කතා කලේ ඇයි රුස්සෝ මේ වගේ උපහාසෙන්  උන්ගේ රට ගැන කතා කරන්නේ කියල. අපට සලකන එක නෙමෙයි. ඔන්න උඹට ඕක ගැන හොඳ විවරණයක් අහ ගන්න පුළුවන් අර ....සන්  එක්ක කතා කරානම්." ප්‍රියාන් පැවසුවේය.

"අපොයි පොර නේද අර උදේට තේ එකට වොඩ්කා  බොන්නේ. දවල්ට කන්නේ නැතිව රෑට බත් එකට වොඩ්ක  බෙදාගෙන කන්නේ කියල මුන් කාඩ් ගහන්නේ, හැබැයි හරි අහිංසක හොඳ බොහිමියන් බුවෙක්. හැබැයි දැක්ක වෙලේ  මට භය හිතුන හුළඟට වැටෙයි කියල බං"

"ඒ ..සන් තමා. ...සන් කියන්නේ  අර පක්ෂය ගහන පත්තරේ කර්තෘ ගේ පුතා නේද? ඒ කර්තෘ ත් නියම පොරක්. ඒ  පත්තරේ විතරයි කියවන්න පුළුවන් දේශපාලනික පත්තරයකට තියෙන්නේ එයා නිසාම.   කොමියුනිස්ට් පක්ෂයේ ගොඩක් අයට වඩා කෙලින් පොරක්." ගිහාන් කීය.

"ඒක ඇත්ත. ..සන්ට වෙලා තියෙන්නේ පොර ආවේ අර  විප්ලවීය ජිව ගුණයද මොකක්ද කියන එක පිරුණ  පරමාදර්ශී සෝවියට් රාජ්‍යයක් බලාගෙන. ආවහම දැක්කේ වෙන එකක්. මෑන්  ඉන්නේ ඉච්ඡා භංගත්වයෙන් කියල උඹට හිතෙන්නේ නැත්ද?

"ඉච්ඡා භංගත්වේ කොහොම වෙතත් මාර  ලස්සන රුස්සියෝ දෙන්නෙක් එක්ක නම් හිටියා මම එදා යද්දී. අර චිත්‍ර අඳින තේ... ගේ කාමරේ හිටියේ" තෙන්නේ කීය.

"පොර ඉන්න විධිහට කෙල්ලෝ කැමති ඇති. උන් ගැන්සිය ගිටාරයක් අරගෙන සින්දුවක් ගහගෙන ඉන්නවා. අර නියමෙට වයලීන් ගහන පොරකුත් ඉන්නවා ඒ සෙට් එකේ."

" ඔය බජාර් එක ගිය පාර අපේ වෙචේර් එකේ  (වේචේර් යනු විවිධ ප්‍රසංගය යන අරුත දෙන්නකි. ශිෂ්‍ය සභාව විසින් මෙවැනි විවිධ ප්‍රසංග වසරකට වරක් සංවිධානය කරන ලදී)  පොඩි අයිටම් එකක් දැම්මා. දන්නවනේ  විප්ලවීය, වාමාංශික ලෙවල් එකට. ලංකාව නිදහස ගත්ත විධිහ පෙන්වන්න. අර විශ්ව විද්‍යාලයේ උප කුලපතිත් ඉන්න නිසාද කොහෙද? ඒකෙ කෙළවර මුන් බ්‍රිතාන්‍ය කොඩිය කඩලා ඉරල දානවා. මගෙන් අර හාර්කොෆ් ඉඳන් අපූ කොල්ලෙක් අහනවා දැන් අපට ලන්ඩන් යන්න දෙයිද දන්නේ නැහැ නේද සුද්ද කියල."

හැමෝම කොක් හඬලා සිනා සුනහ.

"අපොයි මෙහෙමත් එවුන්. මචන්  වාමාංශික පක්ෂ වල ඇමතිලගේ පුත්තු, අධ්‍යාපන අමාත්‍යංශ යේ ලොකු එවුන්ගේ ළමයි හෙමත් ඔය සෙට් වල ඉන්නවා නේද?  ප්‍රේමදාස ගේ මුස්ලිම් ඇමතිගේ ආධාරකාරයන්ගේ ළමයි සෙට් එකකුත් එවල අර මොස්කව් ළඟ සිටි එකට යවල කියල ආරංචියි. අපිව මුලදී යුනිවසිටි ග්‍රාන්ට් කොමිෂන් එකෙන් එව්වත් දැන් දැන් පේමයාගේ   ආණ්ඩුවත් අත දානවා මේ ශිෂ්‍යත්ව වලට "

"ඇමැත්තා  කියල තියනවලු මුස්ලිම් ළමයි ලංකාවේ මෙඩිසින් යනවා අඩුයි කියල."

"ඉතින් බං මෙහ එවල හරි යනවයි ඔය විධිහට. වෙන එකෙක්ගේ චාන්ස් එකක් නේ මුන් ගන්නේ "

"ඔන්න  ඔතනනේ සෝවියට් නිලධාරිවාදයේ වරද එන්නේ මචන් ලා. සෝවියට් ආණ්ඩුව අර ජෝර්ජ් ඕවෙල් ගේ ඇනිමල් ෆාම් පොතේ වගේ තියෙන ඕන ගවන්මන්ට් එකක් එක්ක සෙට් වෙනවා.  "

"විජේවීර මුන් ධනවාදයට යනව කියල හැට ගණන් වල චීන පිලට සෙට් වුනේ මෙහෙම වෙනවා කියල දන්නා නිසා වෙන්න ඇති"

"අනේ මොන පිස්සුද? පොරට ආපහු මෙහෙට එන්න වීසා දුන්නේ  නැහැ. සෝවියට්  ආණ්ඩුව විවේචනය කරනවා කියල අපේම එකෙක් කට්ට ගහල කියල කියන්නේ දන්නා එවුන්. එහෙම කරපු විවේචනයක් නැතිලු. එන්නේ දුන්නේ නැති වුනහම පොර ගිහින් චීන පිලට සෙට් වුණා. මොකෝ දැන් චීනේ  කියල අමුතුය. කොහොමද ඩෙන් ෂියා ඕ පින් දෙන ගේම. කෙළින්ම  ජේ ආර්  ගේ මාකට් එකොනොමි එක වගේනේ. විජේවීර මොකක්ද ඒකට කියන්නේ "

"ඒකට  මොනවා කියනවද දන්නේ නැහැ. ලංකාවේ  විශ්ව විද්‍යාල නම් වහල. අර පිඑම්සී කේස් එකට. මොරටුවේ ඉන්න  මගේ යාළුවෙක් ලියල එවල තියනවා අපි වාසනාවන්තයි මෙහෙට ආපු එකට දැන් උන්ට  අවුරුද්දක් විතර පන්ති නැහැ. පෙළපාලි යනවා, වැඩිපුරම ඉන්නේ ගෙවල් වල කියල. තත්වේ හෙන අප්සෙට් ලු. ඒ මදිවට ඉන්දියන් කාරයෝ ඇඟිලි ගහලා උතුරේ. අනාතයි ලු බන්. "

"ඔය '71 තුවක්කු කෑලි වලින් පොලිසි වලට ගහපු විප්ලවේදී සෝවියට් දේශය උදව් කළේ සිරිමාටනේ බන්. විජේවීර ගැන අපට කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය  උගන්වන ටීචර් කිව්වේ අර ලෙනින්ගේ පොතේ කෑල්ලක් එක්ක, -අති වාමාංශික ළදරු වලිප්පුව තියෙන උන් කියල"

"ඔව් මුන් කැමති නැහැ දැන් විප්ලව වලට. මුන් නිකරගුවා වලට උදව් කරන්නෙත් ඇමෙරිකන් කාරයා එක්ක තියෙන ඔරොප්පුවට. මටත් හිතෙනවා බන් රටකට  ඉස්සෙල්ලම  ඔය එංගලන්තේ වගේ ධනවාදී දියුණුවක් එන්න ඕනේ කියල. සමාජවාදී ක්‍රමයක් හරියන්නේ එහෙම දියුණුවක් ආවහම කියල. මුන්ට වෙලා තියෙන්නේ  දැන් එතනට ආපහු යන්න බැරි විධිහට දුරක් ඇවිල්ල. එනිසා මේකෙන්ම ගොඩ වෙන්නයි ඕනේ. "

"අඩෝ විජේවීර ලන්ඩන් ගියා නම්, සයිබීරියාවේ රේල් පාර හදන්න  යන්නේ නැතිව '71 කීයටවත් වෙන්නේ නැහැ.  ඒ කාලේ කොල්ලෝ කවුරුත් ගිහිල්ල නැහැ. නැත්නම් අර 60 ගණන්වල ලන්ඩන් පැත්තේ තිබ්බ නිදහස් වාතාවරණයට අහු වුණා නම් කොහොමද? "
 ප්‍රියාන්  අදහස් කලේ ස්වින්ගින් සික්ස්ටිස් යනුවෙන් ඉතිහාසඥයන් හඳුන්වන කාලයයි. බීට්ල්ස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධව සිටි, හිපියන්ගෙන් සහ ලිංගික වශයෙන් මෙන්ම අදහස් අතින්ද නිදහස් තරුණ පරපුරක් එංගලන්තය, ප්‍රංශය , ජර්මනිය ආදී රටවල් සිසාරා පැතිර ගියේය. පැරණ කොන්සර්වටිව් සම්ප්‍රදායන් බිඳ දමමින් ඉදිරියට ආ එම  තරුණ රැල්ලට බටහිර සමාජය දෙදරුම් කෑවේය.

"ඔන්න ඕව නවත්තපල්ලා බන්. ලන්ඩන් ගමනට සෙට් වෙමු. තෙන්නේ උඹ සීල් ගහනවා නේද. මගේ අන්තිම විභාගේ ලබන සතියේ ඉවරයි."

සුහද අදහස් කලේ තමොශ්නයා (රේගුව ) පසු කර එනවිට සිසුන් අතේ ඇති ඩොලර්, පවුම් ප්‍රමාණය සටහන් කර දෙන පෝරමය ගැනය. එහි සීල් එක තම්බපු බිත්තරයකට ගෙන එය අලුතින් දැමු මුදල් ගණන් ඇති  අලුත් පෝරමයකට ගැහීමට තෙන්නේ දක්ෂයෙකි.

වීසා ගැනීමට මුලින්ම යා යුත්තේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයටය. ඉන්පසු නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය හා නෙදර්ලන්ත වීසා ගහ ගත යුතුය. සෝවියට් රුසියාව පුරා සිටින සිසුන්වී සා ගැනීමට මොස්කව් පැමිණිය යුතුය. කිව්, ටිබ්ලිසි, දනියෙත්ස්ක්, හර්කෝෆ්, ඔඩෙස්සා, සඵරෝෂි, වොරනේෂ්, අල්මා අටා  ආදී සතර  කොනින් සිසුන් ඇදී එති. එනිසා මේ දිනවල තානාපති කාර්යාල වල දිග පෝලිම්ය.

විභාග අවසන් වූ පසු උදේ පාන්දරින්ම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ වීසා පෝලිමට යා යුතුය. එහි සිසුන්ම හදන නම්  ලිස්ට් එකක් තිබේ. නම් ලිස්ට් එකට නම් දාගත්  පසු කෙසේ හෝ ඇතුලට පැනගත හැකිය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලොකු මුදලක් පෙන්විය යුතුය. සිසුන් කරන්නේ කිහිප දෙනෙකුගේ මුදල් එකතු කර එම ප්‍රමාණය සාදා ගැනීමයි. ඉන්පසු හැමෝම එය වීසා කාර්යාලයට පෙන්වති.

වරක් ඉතා දිග පෝලිමක සිටි එක ලාංකික සිසුවෙකු ජර්මන් තානාපති කාර්යාලය අසලදී සිහි නැතිව වැටුණි. ජර්මානුන්  ඔහු වහා ඇතුලට ගෙන ප්‍රතිකාර දී වීසා ද දුන්හ. ඉන්පසු අප්‍රිකානු සිසුන්  කිහිප දෙනෙකු එම උපක්‍රමය උත්සාහ කලමුත් හරි ගියේ නැත.

මින් වසර කිහිපයකට කලින් නම් ලාංකිකයන්ට බ්‍රිතාන්‍ය වීසා කලින් ගැනීමට අවශ්‍ය වූයේ නැත. බ්‍රිතාන්‍ය දේශ සීමාවේදී මාස හයකට සියළුම ශ්‍රී ලාංකික, මාල දිවයින්, මොරිෂස් සිසුන්ට වීසා ගසනු ලැබිය. නමුත් 1983 වසරේ  සිංහල දෙමළ  කෝලාහල වලින් පසු බ්‍රිතාන්‍යයට එන දෙමළ ජාතිකයන්ගෙන් 90% පමණ දේශපාලන අනාතභාවයට අයදුම් කළහ. ඉන්පසු අගමැතිනී තැචර් විසින් එසේ තොටුපලේ වීසා දීම නවත්වන  ලදී.

"මුන්ට මේක තේරෙන්නේ නැත්ද බන්. අපි හොර කරනවා කියල" ගිහාන් වරෙක සුහද ගෙන්  ඇසීය. එතනම සිටි  වැඩිහිටි සිසුවෙකු කිවේ සුද්දන් සිසුන්  මෙය කරන බව හොඳින් දන්නා බවය.

"බලපං, උන්ට කොහොමත් සෙනග ඕනේ  සමර් (ගිම්හාන කාලය)  එකට වැඩ කරන්න. අඩු ගානට පඩි ගෙවල. සුද්දන්ට ජොබ් දෙන්න නම් ගොඩක් ගෙවන්න  වෙනවා. ඊට වඩා ලේසියි සුද්දට සහනාධාරයක් දීල අපිටයි,  දේශපාලන අනාථ භාවය ඉල්ලන එවුන්ටයි අඩු පඩියට ජොබ් දෙන එක. අපි ගෙවන ටැක්ස් එකත් උන්ට යන්නේ.  අනිත් කේස්  එක අපි ඒ සල්ලි වියදම් කරලා උන්ගේ බඩුත් අරන් මෙහෙ එනව. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඉතින් මොකටද අපි බොරු කරනවද කියල හොයන්නේ"

"රුස්සත් දන්නවා ශිෂ්‍යයෝ මේක කරනවා කියල. උන්ටත් කිසියම් ප්‍රමාණයකට අපි ගේන දේවල් ඕනේ. එනිසා දෙගොල්ලම නොදැක්කා වගේ ඉන්නවා. මට නම් හිතෙන්නේ  එහෙමයි." සුහද කීය.
විදේශික නොවන වැසියන් යන රුසියානු දුම්රිය මැදිරියක් (1984-85)

ගිහාන් සියලුම වීසා සතියක් තුල ගමන් බලපත්‍රයේ ගසාගෙන  තාන්යා සමග ගොස් ඇගේ  ප්‍රවේශ පත්‍රයද ගත්තේය. තාන්යා සතුව තිබූ  ස්වදේශික ගමන් බලපත්‍රයට කැබින් සහිත යුරෝපයට යන දුම්රිය කොටසේ ඉඩ ලැබෙන්නේ  නැත. ඇයට බ්‍රෙස්ට් දක්වා යන රුසියානුවන්ගේ මැදිරියක ඉඩ ලැබිණි. මේවා නම් කර ඇත්තේ ප්ලස්කර්ත්නයා  යනුවෙනි.
රුසියානු මගී මැදිරියක්  (1986 පමණ )

මෙහි කැබින් එකක  ඇඳන් හතරක් හෝ හයක් ඇති අතර කොරිඩෝරයේ ද ඇඳන් තිබේ. නැත්නම්  සීට් දෙකකි. මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ගාල් වී යන නිසා සුඛෝපභෝගී බවින් අඩුය. නමුත් ප්‍රවේශ පත්‍රය ලාභය.  තාන්යා ගේ මුහුණ ඇඹුල් වුවද  ගිහාන් සමග දවසක් හෝ යන නිසා සතුටු වූවාය.

~ මතු සම්බන්ධයි

සියලු නම් ගම්  මනඃකල්පිතය.


Saturday, 2 September 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (18) -බ්‍රෙස්ට් යමුද තාන්යා

මෙතෙක් කථාව:

එදා ලැබූ මිහිරි අත්දැකීම් මෙන්ම රුස්සන් සමග ගෙවූ දවස ගැනද ගිහාන් නිතර මෙනෙහි කළේය. ශිෂ්‍ය නවාතැනේ යහළුවන්ට සමහර විස්තර පමණක් කීමට ඔහු පරිස්සම් විය. කතාබහේදී කේ ජී බී පාසැලේ ඉගෙන ගන්නා නමුදු පාලනය හා මාක්ස් උපහාසයට ලක් කරන විහිළු කතා ඔවුන් කිව් බව ඔහු ශ්‍රී ලංකික යහළුවන් සමග පැවසීය.

ලෙනින්ගේ ස්මාරකය අසල පොලිස් නිලධාරියෙක් (පින්තුරය කතුවරයාගේය)

"අපොයි මම ඕව ගොඩක් අහල තියනවා." ජ්‍යෙෂ්ඨ සිසුවකු වන මහින්ද කීවේය.
"මතකද අර ලෙනින් ගෙනාපු කතාව, ප්‍රසිද්ධ එකක්" කිරින්ද  ඇසුවේය.
"මොකක්ද" තවෙකෙක් විමසීය.
"ඇමෙරිකන් කාරයෙක් ලෙනින්ගේ මව්සලොයෙම් එක (රතු චතුරශ්‍රයේ ලෙනින්ගේ සිරුර තබා ඇති මැදුර) බලන්න ගියාලු. හෙන පෝලිම. පොර වට පිට බලල ගියාලු ඩොලර් කඩේට. ගත්තලු ටීචර්ස් විස්කි පෙට්ටියක්. ඒක ටැක්සියක දාගෙන ඇවිත්  මුර කරන භටයෙක්  ගාව නැවත්තුවලු. අර භටයා ගාවට ගිහින්  කිව්වලු

"තවරිෂ් සොල්දාත් (සොල්දාදු සහෝදරයා) මට ලෙනින් බලන්න යන්න  ඕනේ. ඒත් හවසට ෆ්ලයිට් එක නිසා වෙලා නැහැ පෝලිමේ ඉන්න. පොඩ්ඩක් එනවද ටැක්සිය ගාවට "

සොල්දාදුවා ටැක්සිය ඇතුලේ බැලුවම දැක්කලු ටීචර්ස් පෙට්ටිය.
සැලියුට් එකක් ගහල කිව්වලු මෙහෙම.

"තවරිෂ් ඇමෙරිකානෙට්ස් (ඇමෙරිකානු සහෝදරයා) ලෙනින් බලන්න යනවද? ලෙනින් මෙතනට  ගේන්නද? "
සියල්ලෝ කොක් හඬලා සිනාසුනහ.
"මේ කතා ඔක්කොම වගේ මෙහෙ තියන නිලධාරීන් ගේ අල්ලස දුෂණයට එරෙහිව කියන ඒවා නේද?" ගිහාන් ඇසීය.

"නැහැ, දැන්  අර මාක්ස් ගේ කතාව වගේ ඒවා කෙලින්ම සිස්ටම් එකට ඇටෑක් එකක්   නේද? ඇමෙරිකන් කාරයෝ හදල එවනවද දන්නේ නැහැ " සුහද විහිළුවට මෙන් කීය.

"මම නම් හිතන්නේ නැහැ මචන්ලා . සම්භාව්‍ය මාක්ස්වාදය අනුගමනය කරන අය  එහෙම නැත්නම් පැරණි මාක්ස්වාදීන් සහ  ට්‍රොට්ස්කිවාදීන් මේ සිස්ටම් එකට මුළුමනින්ම පක්ෂ නැහැ. අනික මෙහෙ මාක්ස් ලෙනින්වාදය අනුගමනය කරනවා  කියලනේ රට ගෙනියන්නේ. නමුත් ඇත්තටම මාක්ස්, ලෙනින්, ස්ටාලින්වාදය නේ තිබ්බේ. කෘෂෙව් ටිකක් වෙනස් කලා. දැන් ගොර්බචොව් හෙනට  වෙනස් කරගෙන යනවා. ඉස්සර මේ කතා කිව්වනම් රුස්සා කෙලින්ම සයිබීරියාවේ වැඩ කඳවුරක නේද" ප්‍රියාන් පැවසීය.

"මේ රට අපේ රටට වඩා දියුණුයි මචන්ලා. අපේ වගේ දුප්පත් මිනිස්සු, මුඩුක්කු වල ඉන්න මිනිස්සු නැහැ. රස්සා නැති මිනිස්සු නැහැ. බඩගින්නේ ඉන්න මිනිස්සු නැහැ. මට පේන්නේ ප්‍රශ්න කිහිපයයි නේ  තියෙන්නේ. එකක් ආණ්ඩුව කෙලින්ම   විවේචනය කරන්න  බැරිකම. ගොර්බා දැන් ඒකත් පෙරෙස්ට්‍රොයිකා ව යටතේ දීගෙන යනවා. අනික නිලධාරීන්ගේ  වංචාව දුෂණය, මිනිස්සු වැඩ කරන්නේ නැති කම, අයිස් ගහනවා, බටහිර රටවල වගේ සුඛෝපභෝගී භාණ්ඩ අඩුයි. ඕව හදාගන්නනේ ඕනේ ?" ටිකක් වමට බර යහළුවකු වන අමල් පැවසීය.

"මචන්ලා විප්ලවය වෙනකොටත් රුසියාව ලෝකයේ ප්‍රබල රටක්. සාර් දරුණු විධිහට රට  පාලනය කලා කියලත් අපි දන්නවා. කෙටියෙන් කියනවනම් පළමු ලෝක යුද්ධය නිසා ප්‍රශ්න, සොල්දාදුවෝ පලා එනවා, මිනිසුන්ට ඉඩම් නැහැ, කන්න නැහැ . ඒනිසා විප්ලවය වුණා. නමුත් මචන් මාක්ස් ඕක  වෙන්න ඕනේ කියල කිව්වේ ජර්මනිය, එංගලන්තය වගේ ඒ දවස්වල කාර්මික වශයෙන් දියුණු ධනවාදී රටකනේ. එනිසා රුස්ස  තමන්ව  සංසන්දනය කරන්නේ දියුණු ධනවාදී රටක් එක්ක  මිසක් ලංකාව, ඉන්දියා ව එක්ක නෙමෙයි. ඕකයි අපි වටහා ගන්න ඕනේ. අනිත් එක වෙන රටවල මිනිසුන්ට වගේ රුස්සට වෙන කිසිම රටකට යන්නත් බැහැ. වෙන නගරෙක නිදහසේ පදිංචියට යන්න පුලුවන්ද අපට වගේ. රෙජිස්ටර් වෙන්න ඕනේ . පක්ෂේ ඉන්නවා නම් තියනවා යම් නිදහසක්.  ඇයි  මේ රට මෙච්චර හොඳනම් , ස්ටාලින් කිව්වා වගේ කොමියුනිස්ම් ඇවිල්ල නම් ඒ ගොල්ලන්ට  පුළුවන්නේ මිනිසුන්ට යන්න  දෙන්න අනිත් රටවල් බලල එන්න. " ප්‍රියාන් සුපුරුදු ලෙස  දිග හෑල්ලක් දෙඩුවේය.

"හරි හරි ඒක කිව්වහම මතක් වුනේ. තාන්යා කියනවා එයාව එක්ක යන්නලු   එංගලන්තේ යන දවසට බ්‍රෙස්ට් එනකන්. ඊට පස්සේ එයා  නිවාඩුවට වොරොනේෂ් හරහා ගෙදර යන්නම්ලු. රොස්ටොව්  පැත්තේ ගෙවල්. " ප්‍රියාන් කීවේය.
සිතූ ලෙසින්ම සුහදට පමණක් නොව අනිත් එවුන්ටද මළ පැන්නේය.

"පිස්සු කතා කරන්න එපා යකෝ. ඒකිව කැබින් එකට ගෙනිහින් කොහොමද අපි අර හොර ගේම් ටික ගහන්නේ, අනික උන්ට බ්‍රෙස්ට් එනකන් යන්න පුලුවන්ද ? බ්‍රෙස්ට් තියෙන්නේ බෙලොරුසියාවේ නේ " සුහද කෑ ගැසුවේය.

එංගලන්තයට යන ගමන තුල  ප්‍රශ්න කිහිපයකි. සිසුන් විසින් ලංකාවෙන් රැගෙන එන්නේ සීමිත  මුදල් ප්‍රමාණයකි. සමහර දෙමාපියන්ට ලොකු වත්කම් නැත. එනිසා මසකට දෙන රූබල් අනූවෙන් මුදලක් ඉතිරි කර ගත්  පසු එංගලන්ත ගමනට මුදල් ඇතිය. ඉන්පසු කෙරෙන්නේ රුස්සන් ට අවශ්‍ය දේ ගැන ඕඩර් ගැනීමය. ලෙවයිස්  ජීන්ස්, සංගීත තැටි (රෙකොර්ඩ්ස්) පමණක් නොව ගැහැණු ඇඳුම් හා සුවඳ විලවුන් ආදී දේටද ඇණවුම් ලැබේ. මේවා සෝවියට් දේශයේ නැති සුඛෝපභෝගී ගණයට වැටෙන  භාණ්ඩය. රුසියානුවන් මේවාට මුදල් දෙන්නේ රූබල් වලිනි.  ගෙනෙන්නට වඩා ලාභ දේ නම් ඇම්ප්ලිෆයර්, ඉලෙක්ට්‍රික් ගිටාර්, මෙන්ම සෝනි, සන්යෝ  වැනි කැසට් ප්ලේයර් සෙට් ආදියයි. ඒවායින් එන ලාභය වැඩිය.

මේවාට  ලැබෙන රූබල් ඩොලර් වලට මාරු කෙරෙන්නේ ශිෂ්‍ය නේවාසිකාගාර වලම සිටින ඇරබ්බන් හෝ විට්ටන් (වියට්නාම් සිසුන්) ගෙනි. හොර බියුරෝ දෙ ශාන්ෂ්(ජ්‍) (ප්‍රංශ -Bureau De Change) පවත්වා ගෙන යන්නේ උන්ය. සිරියානු, ජෝර්දාන් අරාබීන්ට  උන්ගේ රටවලින්  මසකට ඩොලර් 50 ක් 100ක් පමණ ලැබේ. උන් ඒවා මෙසේ බ්ලැක් මාකට් මාරු කරති. විට්ටන් කරන්නේ තනිකර බිස්නස් එකය.

මේ බිස්නස් කිසිවක් නොකළ එකම එක සිසුන් කණ්ඩායමක් පමණක් සිටියහ, ඒ උතුරු කොරියානුන්ය. ඔවුහු කිසිවෙකු සමග අවශ්‍ය ප්‍රමාණයට වැඩිය ඔවුන් කතා නොකළහ. කතා කළත්  "ඔව් නෑ" පමණය. ගිහාන් හේතුව දැන ගත්තේ කියුබානුවෙකු ගෙනි. කොරියානුන් අතර දේශපාලන කොමිසාර් ලෙස සිතෙන්නේ (ඔත්තු කරු) කවුරුද යන්න කිසිවෙක් නොදත්හ. හැම කොරියානුවෙක්ම පැමිණ ඇත්තේ එක්කෝ දරු පවුල නැත්නම් දෙමාපියන් උගසට තබාය. පොඩි වරදකදී හිරේට යැවෙන්නේ උන්ය.

බොහෝ සිසුන් කරන මේ වෙළඳාම ට දක්ෂ නොවන ගිහාන්, ප්‍රියාන් වැනි සිසුන් බොහෝවිට කළේ ලන්ඩනයට ගොස් ගිම්හාන රැකියාවක් කිරීමය. ලන්ඩනයට මේ කාලයට පිරෙන  සංචාරකයන් නිසා විශේෂිත දක්ෂතා අවශ්‍ය නැති රැකියා බහුලය. සංචාරක කාලය අවසන් වූ පසු එම රැකියාද නැත.  වෙළඳම් කරන සිසුන් ගේ මුදල් සඟවන්නේ බොහෝවිට දුම්රියේ කැබින් එකේය. තමන්ගේ රටේ සිට එනවිට පිරවීමට දෙන පත්‍රිකාවේ ගෙනා මුදල සඳහන් කළ යුතුය. එය වෙනස් කර රුසියන්  තමොශ්න්යා (රේගුව) ගහන මුද්‍රාව වෙනස් කරන සිසුන්ද සිටී . නමුත් එය තරමක් අනතුරුදායකය.
දුම්රිය කැබින් එකක් තුල 
 දුම්රිය පෙට්ටියේ සැඟවීම ඊට වඩා පහසුය. ඉස්කුරුප්පු නියන් හා පොඩි පිහි ඇති ස්විස් පෙන් නයිෆ් (swiss penknife) බොහෝ සිසුන් ළඟ ඇත.දුර ගමන් යන මේ දුම්රිය කැබින් වල ඇඳන් හතරක් තිබේ. උඩ ඇඳන් දෙක නැමිය හැකිය. (folding bed)   ඒවායේ පැත්තේ හෝ දොර අසල ඇණ ගලවා මුදල් සැඟවීමට කියා දී ඇත්තේද රුසියානුන්මය.

ගමන යන්නේ බෙලොරුස්කයා වක්සාල් හෙවත් දුම්රිය පලේ සිටිය. දුම්රියේ සෝවියට් ගමනාන්තය බෙලොරුසියානු සෝවියට් සමුහාණ්ඩුවේ  බ්‍රෙස්ට් නගරයයි. සෝවියට් දුම්රිය මාර්ග පද්ධතිය එවකට ලෝකයේ තිබූ  විශාලතම දුම්රිය පද්ධතියයි. එහි පළල මදක් වෙනස් නිසා (european-to-russian gauge (1435 to 1524 mm).) බ්‍රෙස්ට් නගරයේදී දුම්රිය පැය 4ක් පමණ නවත්වනු ලැබේ. එසේ නවත්වන දුම්රියේ පෙට්ටි යුරෝපයට යන රෝද  පද්ධතියට තබනු ලැබේ.
එසේ වෙනස් කරන අවස්ථාවක් පහත ඇත.

රෝද වෙනස් කිරීම 


බ්‍රෙස්ට් වලින් පසු දුම්රිය පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය, බෙල්ජියම හෝ ඕලන්දය (ප්‍රවේශ පත්‍රය අනුව) වෙත ලඟාවේ. ඒ බ්රුගේ හෝ හුක් වැන් හොලන්ඩ් නම් වරායන් ඇති නගරයන්ටය. ඉන්පසු නෞකාවෙන් ඉංග්‍රීසි ඕඩය තරණය කළ යුතුය. ඩෝවර්, හාර්වීච්  හෝ රම්ස්ගෙට් වලින් නැවත ලන්ඩනයට දුම්රියෙන් පැමිණේ.

"මචන් රුස්සන්ට බ්‍රෙස්ට් එනකන් ආව හැකිනේ. ඉතින් උඹට සල්ලි තියනවනම් තාන්යා එතනට එනකන් අරන් පලයන්. පව්නේ මචන්. ගිහිල්ලත් නැතිව ඇති. අර  අනිත් වැඩ ටික සුහද ලාට කලින් ගිහිල්ල කර ගන්න  පුළුවන්නේ. කොන්දොස්තරව අල්ල ගන්න බලපල්ලා මොනවා හරි දීල " ප්‍රියාන් පැවසීය.

සුහදද එම සැලසුමට එකඟවිය.

මේ දුම්රිය වල කොන්දොස්තරවරු සිටිති. නිදා ගැනීමට අවශ්‍ය අදියාලි හෙවත් ඇඳ රෙදි දෙන්නෙත් තේ සාදා දෙන්නේත් ඔවුහුය. ඔවුන් යාළු කර ගැනීම වාසි සහගතය.

කොන්දොස්තර නංගිලා දෙන්නෙක් 
සුභ ආරංචිය ඊළඟ දවසෙම තාන්යා ට කීමට ගිහාන් සිතා ගත්තේය. ගිය අවුරුද්දේ ලන්ඩන් ගොස් ඉතිරි කරගත් මුදල් ඇති නිසා ඇය සඳහා  ප්‍රවේශ  පත්‍රයක් ගැනීම ප්‍රශ්නයක් නොවේ.

~~~~~~~~~~~~~මතු සම්බන්ධයි.
සියළු නම් ගම් මනඃකල්පිතය.

Wednesday, 30 August 2017

අර්බුස් ගෙඩිය හා කුකුළා - සෝවියට් විහිළු කතා

සෝවියට් විහිළු කතා ගැන ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ බ්ලොග්  නවකතාවේ සඳහන් කල පසු එම කතා පිලිබඳ කුඩා සංවාදයක් ගොඩ නැගුණි. ඒ අනුව මේ කතාවද  ලියන්නට සිත් වුනි. එහි මාක්ස් විසින් "සලක ලෝක වාසී කම්කරුවනි , මට සමාවෙන්න " යයි කියන කතාව  ඇත්තටම ගොතා  ඇත්තේ සෝවියට් ක්‍රමයට විරුද්ධ සෝවියට් වැසියන් නොව එම ක්‍රමයට පක්ෂ අය විසින් බව රුසියානුවන්ගේ විශ්වාසයයි. එයට හේතුවූ   කතාව ගෙතී ඇත්තේ ස්ටාලින්ගේ කාලයේදී ඔක්තෝබර්  විප්ලවයට දායක වුනු බොහෝ පරණ කොමියුනිස්ට් වාදීන් හා වාමාංශිකයන්  මරා දැමීම හෝ ගුලාග් (වැඩ කඳවුරු) වලට පිටුවහල් කිරීම නිසා බව ඔවුන්ගේ විශ්වාසයයි. කාල් මාක්ස් පැමිණියා නම් ඔහු ඔවුන්ගෙන් සමාව  අයදින බව මේ සමහර වාමාංශිකයන්ගේ විශ්වාසය විය.

මේ තරමක් දිග විහිළු කතාව ද සෝවියට් සමාජයේ පැතිරී තිබු එකකි. විහිළුවට අමතරව උපහාසාත්මක ලෙස එදා සමාජය, පක්ෂ තනතුරු බෙදා හදා ගැනීම ආදිය පිලිබඳ කිසියම් විවේචනයක් ද කතාවේ තිබේ. මේ කතාවේ කොටස් කෙටි කර කියනුද  මා  අසා තිබේ.

වොවච්කා හෙවත් වෝවා මේ විහිළු වල නිතර සිටින ප්‍රධාන චරිතයකි. මේ කතාවේ වොව්කා යන්තමින් තරුණ වියට එළඹුණු ගැටවරයෙකි. (teenager).

ගම්වල ඩිස්කෝ : (ඒ කාලයේ බොහෝ සෝවියට් රුසියානු (අනිත් රටවල් ගැන දන්නේ නැත) ගම් වල ප්‍රජා ශාලාවේ මෙවැනි සංගීත සන්ධ්‍යා  පැවත්වුනි. බොහෝ විට තරුණයෙක් තරුණියක් හා හමුවීමට මෙන්ම පෙම්වතුන් බවට පත්වීමෙන් පසු මේ ඩිස්කෝ සන්ධ්‍යාවකට යාමද සිරිතක් වශයෙන් කළහ. මේ හා සම්බන්ධ විහිළු කතා ද බොහෝය.)

වැඩිවිය පැමිණි වෝව්කා ට තමන්ගේ ගැටවර වියේ පෙම්වතිය ගමේ  ඩිස්කෝ එකට ගෙන යාමට අවශ්‍ය විනි.  වෝව්කා ගණන් බැලුවේය. පෙම්වතිය ගෙනයන පළමු වර නිසා ත්‍යාගයක් අවශ්‍යය. ඇය කැමති ඔරලෝසුවක් කෙනකු ළඟ තිබෙන අතර එය රූබල් විස්සකි. වයින් බෝතලයක් වත් පසුව බීමට ගත යුතුය. ප්‍රජා ශාලාවේ විකුණන යුෂ වීදුරුවක් හා පිරශ්කි ගැනීමට මුදල් අවශ්‍යය. අවශ්‍ය වන සම්පුර්ණ මුදල රූබල්  30 පමණය.

පොඩි පොඩි හොර වෙළඳම් කළද වොව්කා අතේ එතරම් මුදලක් නැත. නිවසේ  එහා මෙහා යමින් සිටි වෝවා පාරට වැටුනේය. තම පෙම්වතියද ජිවත් වන ගමේ පක්ෂ ශාඛාවේ ලේකම් ගේ නිවස ඉදිරියෙන් යන ඔහුට ගෙවත්තේ වැවී ඇති විශාල අර්බුස් ගෙඩියක් දුටුවේය. අර්බුස් යනු විශාල පැණි කොමඩු වර්ගයකි.




ප්‍රීතියෙන් පිනා ගිය වොව්කා වත්තට පැන  බෑගයකින්ද වසා  ආරක්ෂා කර තිබූ පක්ෂ ලේකම් ගේ අර්බුස් ගෙඩිය කඩා  ගත්තේය.  එයත් රැගෙන තම නිවස දෙසට එන විට තම පියාගේ කුකුළු රෑන දුටුවේය. (සමුහ ගොවිපළවල් අසල නොමැති ගම්වල රුසියානුවන් බිත්තර සඳහා මෙන්ම ඉඳහිට සාදයකට මරා කෑමට ගැනීමට හෝ වෙනයම් දෙයකට හුවමාරු කිරීමට කුකුළන් ඇති කළහ).

රෑනේ සිටි හොඳම කුකුලා අල්ලාගත් ඔහු උගේ බෙල්ල කරකවාගෙන ලණුවක පටලා   ගත්තේය.

අර්බුස් ගෙඩිය හා කුකුළා රැගෙන පාරේ යමින් සිටි ඔහු දේශපාලන කොමිසාර් ගේ රන්වන් කෙහෙ හා නිල් ඇස් ඇති රූමත්  බිරිඳ තම නිවස ඉදිරිපිට පෙම්වතෙක් එනතුරු බලා සිටිනු දුටුවේය. කොමිසාර් බලපුළුවන්කාරකම් පෙන්වා කසාද බැඳ ගත්තා යයි ගම්මු කියන ඇය කොමිසාර් ට රිදවීමට  පෙම්වතුන් කිහිප දෙනෙකු තබා ගෙන සිටින බව කොමිසාර් හැර ගමේ අනිත් සියල්ල දත්හ.

(දේශපාලන කොමිසාර් යනු පක්ෂයට වග කියන දේශපාලන දැනුමෙන් පොහොසත් ලෙස සලකන තැනැත්තාය. බොහෝ විට කේජිබි එකට අනුබද්ධ හෝ ඔත්තු දෙන්නෙකි. ස්ටාලින් ගේ කාලයේ ඔවුන්ට විරුද්ධව යාම මරණයට අත වැනීමකි.)

තරුණිය ගැහැණිය ඉදිරියට ගිය වොව්කා, තවරිෂ් ශෙනා කොමිසාරා (කොමිසාර් ගේ බිරිඳ සහෝදරී )  අර්බුස් ගෙඩියකුයි කුකුළෙකුයි රූබල් දහයකට ගන්නවා දැයි ඇසීය.

ගැටවරයා ගේ හිසේ සිට දෙපතුල දක්වා විමසුම් බැල්මක් හෙළු කොමිසාර් බිරිඳ සිතුවේ පමාවුනු පෙම්වතා වෙනුවට මේ කොල්ලා වුනත් නරක නැහැ කියාය. "අර්බුස් ගෙඩිය ගන්නම්" කියා, කොල්ලාගේ කමිස කරෙන් ඇද ගෙතුලට ගත් ඈ  පෙම්වතා නොපැමිණීමෙන් පමාවුනු   කාර්යය කර ගන්නට ගත්තාය. 

ඒ අතර දොරට තට්ටුවක් වැටිණි.

කොමිසාර් බිරිඳ වහ වහා  කොල්ලාගේ ඇඳුම්, අර්බුස් ගෙඩිය හා කුකුළා අතට දී විශාල රෙදි කබඩ් එකේ   සැඟවූවාය. 
(රුසියානු ගෙවල් හා තට්ටු නිවාස  වල  නිදන කාමරයේ බිත්තියක් වැසෙන්නට සීලිම  තෙක් උස විශාල රෙදි අල්මාරි සාදා තිබේ. මේවා නිවසත් සමගම ලැබේ. )

පමාවී පැමිණි පෙම්වතා සමග අහවල් වැඩේ යෙදී සිටිද්දී තවකෙක් දොරට තට්ටු කරනු ඇසිනි. වහවහා එම පෙම්වතා ද කබඩ් එකට දමා වැසූ ඈ ඊළඟ පෙම්වතා ගෙතුලට ගත්තාය.

වෝව්කා තමන්ගේ චාන්ස් එක දුටුවේය.

"මේ තවරිෂ් (සහෝදරයා) අර්බුස් ගෙඩියක් ගන්නවද"
"තොට පිස්සුද යකෝ, අර ආවේ කොමිසාර් නම් අපිට වෙඩි තියයි.  හිටු" අල්මාරියේ අනිත් පසින් කෝපවත් හඬක් ඇසුනි. 
"එහෙනම් කුකුලෙක් ගන්නවද? අර අහවල් ගෙදර හොඳම  කුකුලා " වොව්කා තමන්ගේ ගෙදර තිබෙන තැන සඳහන් කළේය.
"තෝ මගේ කුකුළා හොරකම් කරාද, තෝව මරනවා. " අනිත් පසින් ගෙරවිල්ලක් ඇසුනි.
"ආ මේ තාත්තද , මම මේ වෝවා, තාත්ත ඔච්චර වැඩ කාරයෙක් කියලා දන්නේ නැහැනේ. අම්මට කියන්නද, නැත්නම් අර්බුස්  ගෙඩියයි කුකුළයි ගන්නවද දෙකටම දහයයි " 
"හපොයි තෝ  වගේ එකෙක් හැදුවනේ" කි වොව්කා ගේ පියා රූබල් දහය දී අර්බුසය හා කුකුළා ගත්තේය.

ටික වෙලාවක් ගියේය. එළියේ වැඩේ තවම යයි.

වෝවා: "තාත්තේ, තාත්තේ, කුකුලයි ගෙඩියයි අපහු දියන්"
"තොට පිස්සුද , කුකුළා කොහොමත් මගේ තෝ වික්කට, මම සල්ලි දුන්නේ තොට "
"මම කෑ ගහන්නද දන්නවනේ තවරිෂ් කොමිසාර් මාමගේ හැටි "
"ආ ගනින් ආපහු."

කවුදෝ නැවතත් දොරට තට්ටු කරුණු  ඇසුණි. කලබල වුනු කොමිසාර් බිරිය වහා එම පෙම්වතා ද අල්මාරියේ මැදට අමාරුවෙන් ඔබා තල්ලු කර දොර වැසුවාය. එවර ආවේ ගෙහිමියා වන දේශපාලන කොමිසාර් වරයාය. 

වොව්කා තමන්ගේ වාසනාව නැවත උරගා බැලුවේය.
"මේ ඕයි කුකුලෙක් ඉන්නව ගන්නවද රූබල් 5යි. "
"මොන කුකුල්ලුද ඕයි . මගේ රැවුල ගිනි අරන් තමුසේ සුරුට්ටු පත්තු කරනවද " අලුත් අමුත්තා හොරෙන් මිමිණුවේය.
" ආ මේ අපේ පක්ෂ ලේකම් තුමා නොවැ. තවරිෂ් ලේකම් තුමා මම කොමිසාර් තුමාට කියන්නද ඔබ මෙතැන කියල "
"කට කට දීපන් කුකුළා "
"ආ කුකුළාට පහයි අර්බුස් එකට පහයි දෙකටම දහයයි."
"මට අර්බුස් තෝ මගේ අර්බුස් ගෙඩිය නේද මේ හොරකම් කරලා තියෙන්නේ , මං තෝව "
"ඔන්නොහෙ ඕක ගන්න ලේකම් තුමා.මාත් ගත්තා. අපි ඔක්කොම එක බෝට්ටුවේ " පසෙක සිටි වෝවා ගේ තාත්ත කීය.
"ආ වොව්කා  ගේ තාත්තා. ඔහෙත් මේ බෝට්ටුව පදින කෙනෙක්ද? කෝ දීපන් එහෙනම්. මෙන්න රූබල් 10."

ටික වේලාවකින් වොව්කා ලේකම් ගෙන් අර්බුස් ගෙඩිය  හා කුකුළා නැවත ඉල්ලීය. 
"තොට පිස්සුද යකෝ මම  ගත්තේ සල්ලි දීලනේ  "
"ඔන්නොහෙ දීලා දාන්න ලේකම් තුමා " අනිත් පැත්තෙන් හඬ නැගුණි.

"හඃ මම හිතන්නේ තාත්තයි පුතායි මාව මේ උගුලට ඕන කමින්ම අහු කරලා. මේක අපේ හතුරන්ගේ කුමන්ත්‍රණයක්. අපේ ගමට විරුද්ධව මම කරන සේවයට අකුල් හෙලන්න. අපේ පක්ෂය අපකීර්තිමත් කරන්න. උඹල ඇමෙරිකන් ඔත්තු කරුවන්ද දන්නේ නැහැ. මම අල්ල ගන්නන්කො "
"මොන පිස්සුද ලේකම් තුමා ඔබමනේ ආවේ කොමිසාර් ගේ ශෙනා (බිරිඳ) ට කෙළින්න. අපි කිව්වයි " වොව්කා ගේ තාත්තා සැර  කළේය.
"තවරිෂ් ලේකම් මාමේ , එහෙනම් මම තවරිෂ් කොමිසාර් මාමට කතා කරන්නම් මේක විසඳන්න " වොව්කා කීවේය.
"හා හා එච්චර දුර යන්න ඕනෙද තරුණ සහෝදරයා. අපි සාකච්ඡා කරල විසඳ ගමු. මෙන්න අර්බුස් ගෙඩියයි. කුකුළයි ගන්න ඉස්සෙල්ල "

ඒ අතරේ වොඩ්කා බීගත් පසු අහවල් වැඩේ කළ වහාම තම ස්වාමියා වන කොමිසාර් කඩා වැටී නිදන බව දත් ගෘහණිය ස්වාමියා නිදි ගත්  වහාම එකා බැගින් හැංගී සිටි පෙම්වතුන් එළියට දැම්මාය.

යන්නට කලින් පොරොන්දු වූ පරිදි අර්බුස් ගෙඩිය දී තව රූබල්  පහක් කොමිසාර් බිරිඳ ගෙන් ගන්නට වොව්කා අමතක නොකළේය.

රූබල් 25 ට තෑග්ග ද මිලදී ගත් වෝවා තම පෙම්වතිය වන පක්ෂ ලේකම්ගේ දියණිය කැටුව ඩිස්කෝ යාමට පැමිණෙද්දී ලේකම් ගේ බිරිඳ රාත්‍රී ආහාරයට බිම පිණිස වයින් බෝතලයක් මේසයේ ලැස්ති කර තිබුණාය.  වෝවා ලේකම් ගේ බිරිඳ ට   "තමන්ගේ හොඳ කුකුළා " පෙන්වා  වයින් බෝතලයට වඩා කුකුළා වටින  බව කියා හුවමාරු කර ගත්තේය. 

ඩිස්කෝ එක අවසානයේ පෙම්වතිය සමග ඔහුගේ නිවසට ගිය වෝවා දැක අම්මා කෑ ගැසුවාය.
"උඹ කොහෙද ඔය පොඩි කෙල්ල එක මෙහෙ රිංගන්නේ. කෙල්ලව ගිහිල්ලා ලේකම් ගේ ගෙදර දාල වරෙන් "
"පිස්සුද අම්මේ ලේකම් නැන්දමයි මේ වයින් බෝතලෙත් දීලා යන්නේ කිව්වේ " කියා අම්මාද චාටුවෙන් රැවටූ  වෝවා කෙල්ල සමග කාමරයට වැදුනේය.

වයින් බෝතලය වෙනුවට තමන් මිලදී ගත් කුකුලාම නැවත ලැබී ඇති බව දුටු ලේකම් කෝපාවිෂ්ටව  ප්‍රාදේශීය පක්ෂ කාර්යාලයෙන් නිකුත් කල ගිනි අවියදා රැගෙන වෝවා සොයා ගියේය.

ගෙදර දොර ඉදිරියේ ලේකම් තැන වෝවා ගේ පියා  හා මව සමග යන දබරය ඇසී ජනේලෙන් හිස එලියට දැමු වෝවා 
"තවරිෂ් ලේකම් මාමේ , දුව ඉන්නේ මෙහෙ, අර කොමිසාර් ගෙදර දී පොරොන්දු වුණා වගේ. ආ අර අර්බුස් ගෙඩිය ඉල්ලලා දෙන්නද ආපහු?" කියා කෑ ගැසීය.

"පිස්සුද ඒවා ඕනේ නැහැ, කට කට. මේ වෝවගේ තාත්තේ , මම මේ කල්පනා මට පක්ෂයෙන් ප්‍රාදේශීය ශාඛාවේ ලේකම් කම ප්‍රදානය කරල තියෙනවා. මගේ කෙල්ලත් මූට කැමති එකේ ලේකම් කම අපෙන් පිට යවන්නේ මොකටද? වෝවා හොඳ දක්ෂ කොල්ලෙක් කියල මට තේරුණා. මම වෝවව මගෙන් පස්සේ හිස් වෙන ගමේ පක්ෂ ශාඛාවේ ලේකම් ධුරයට යෝජනා කරනවා. "

ගමේ පක්ෂ රැස්වීමේදී හිටපු පක්ෂ ලේකම් ගේ යෝජනාවෙන් හා දේශපාලන කොමිසාර් ගේ සම්මතයෙන් ඉදිරිපත් වූ එකම නාම යෝජනාව වන වෝවච්කා ට බිහිරි වලොද්යා ගේ හැර 99% ක්ම චන්ද ලැබී තිබුණි.

ප.ලි.
පළතුරු වලට කියන රුසියානු නම් මේ වීඩියෝවේ  දැක්වේ.



Monday, 28 August 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (17) - රුසියානු ආත්මය

මෙතෙක් කථාව:
රාත්‍රියේ වැව් පෙදෙසේ 
මේ වනවිට මධ්‍යම රාත්‍රියද පසුවී පාන්දර යාමය  උදා වෙමින් තිබුණි.
 හොඳ වෙලාවට විහිළු කතා ඇස් රතු වීමෙන් අවසන් වූයේ නැත. නිහඬව සිටියේ තාන්යා පමණි. තාන්යා වයින් පමණක් බිව් අතර ගිහාන් රුසියානු බීර හා වොඩ්කා ද බි සිටියේය. ඔහුට මත්  ගතියක් දැනුනි.
"ඔයා එකක් කියන්නේ නැත්ද" ගිහාන් ඇසුවේය.
"ඔයා කීවෙත් නැහැනේ"
"ඔන්නොහෙ නිකන් ඉමු".

 ලියොනිඩ් තවත් සින්දුවක් පටන් ගත්තේය. එය නිවාඩු කාලයට යන රුස්සන් නිතර කියන සින්දුවකි. සින්දුවේ නම "කාමරෝවා" ය. ඊගර් ස්ක්ලයාර්  නැමති ගායකයාගේ මේ ගීතය ජනප්‍රිය එකකි.

"සතියකට දෙවෙනිදා වෙනකන් මම යනවා කාමරෝවා
මගේ පුංචි කරපු දෑසින් බෝල්ටික් මුහුදේ රැළි  බලන්න
මම හදිසියේ ගිලුනොත් යලිත්  මුහුදු ගල්ෆ් එකේදී හම්බ වේවි"

කාමරෝවා තිබෙන්නේ  ශාන්ත පිතර්බුර්ග්  (පරණ ලෙනින්ග්‍රාඩ් ) නගරය ආසන්නයේ කරෙලියන් ඉස්ත්මස් නමැති බිම්  කඩක් අසලය. මෙය තිබෙන්නේ ගල්ෆ් ඔෆ් ෆින්ලන්ඩ් නමින් හඳුන්වන බෝල්ටික් මුහුදු ප්‍රදේශයට ආසන්නවය.  ගිම්හාන  සමයේ කාමරෝවා පෙදෙස මුහුදේ  නෑමට හා හිරු එළිය තපින්නට එන ජනතාව ගෙන් පිරී ඉතිරි යයි.

ලියෝනිඩ්, ස්වේතා හා ආල්ලා ගේනා ගේ ගිටාර් හඬට නටන්නට විය. මද වෙලාවකට පසු වලොද්යා හා ලේනා කුඩාරම පැත්තෙන් ගසක් අයිනට ගියහ. ටිකකින් ලේනාගේ කෙඳිරිමක් ඇසෙන්නට වුනු අතර එය ක්‍රමයෙන් වැඩි වෙද්දී "ගහ පෙරලන්නට එපා" යයි ලියොනිඩ් කෑ ගැසීය.

 ලියොනිඩ් හා  ස්වෙතාද නටමින්ම කූඩාරමකට  ගිය බව  ගිහාන් දිටීය.
"මට නිදිමතයි " කි තාන්යා හින් සීරුවේ ගිහාන් ගේ අතින් රැගෙන අඳුරු කුඩාරම තුලට වැදුනාය.
"ඔයා එදා මාව සතුටු කරපු හැටි තවම මතකයි."
"කවද්ද"
"අර පළමුවෙන්ම හමු වෙච්ච දවසේ"
"මගෙ කකුල් දෙක පණ නැති වෙලා ගියා. ඔන්න අද ඔයාට ආපහු හම්බවෙනවා " ඇය අඳුරේම ඔහුගේ කම්මුලට අතින් සිහින් පහරක් ගැසුවාය. ගේනා ආල්ලා සමග ගිටාරය වයමින් වෙනත් ගීයක් ගයති. ඒ අතින් තවත් කිචි බිචියක්  ළඟ කුඩාරම දෙසින් ඇසේ. අඳුරු කුඩාරම තුල තාන්යා ගිහාන් ගේ සිරුර පුරා වෙලෙමින්  ඔහු කුස පෙදෙස සිප ගනිමින්  පහලට ඇදුනාය.

ප්‍රීතිමත් ප්‍රමෝදයක් ගත පුරා වෙලෙමින්  උතුරා යද්දී තාන්යා කූඩාරමේ පිවිසුම හැර එලියට දිව ගියාය. ගිහාන් ඔහේ ඇලවී සිටියේය.  තමන්ට නින්ද ගොස් සිටි බව ඔහුට දැනුනේ කවුරුන් හෝ එළියේ කෑ ගසන බව ඇසීමෙනි. හදිසියේම කූඩාරම් පිවිසුමෙන් හැඩි  දැඩි අත්දෙකක් ඔහුව එලියට ඇද්දේය. තමන් සිටින්නේ නිරුවතින් බව ඔහුට හදිසියේම වැටහිණි.
"එපා එපා " ඔහු කෑ ගැසීය.
එලියට ඇදී ගිය ඔහුව තවත් දෙදෙනෙකු විසින් උරහිසින් ඔසවන ලදී.
"ඇඳ ගන්න දෙන්න. ඇඳ ගන්න දෙන්න.  කෝ තාන්යා, තාන්යා " ගිහාන් ඔවුන් ගෙන් මිදීමට දැඟලීය.

අරුණාලෝකය එළඹෙමින් තිබුණි.

තමන් ඔසවා ගෙන යන්නේ  වලොද්යා, ලේනා හා ගේනා බව ගිහාන් ට පසක්  වුනි. ඔහුව ඔසවා ගෙන යද්දී "දවයි දවායි "   යනුවෙන් සියල්ලෝ කෑ ගැසූහ.
හදිසියේම ඔවුන් කරන්නට යන්නේ කුමක්ද යන්න ගිහාන් ට පසක් වුනි.
ගිහාන් ඔසවා ගෙන ගිය රුස්සන් ඔහුව ජබෝස් ශබ්දයක් නගමින් වතුරට අත හැරියහ. වාසනාවකට ගැඹුරු නොවූ වතුරේ ගිහාන් සිට ගන්නට යත්න දැරීය. දැඩි ශීතලක් ඇට මිදුළු සිසාරා ගිය බව ඔහුට දැනුණි.

කොහේදෝ  සිට පිහිනා ආ තාන්යා ඔහුව පිටුපසින් බදා ගත්තාය.

අරුණාලෝකය පැතිරෙද්දී ජලයේ 
දැනුණු සිතල මග හැරී ගියේ යයි ඔහුට සිතුනි. සියලුම රුසියානුවන් සමූහය  සිටියේ වතුරේය.   ඔහු අසලට පිහිනාගෙන පැමිණියේ වලොද්යාය. ඔහු ඇතැම් විටෙක කටයුතු කළේ මේ කුඩා කණ්ඩායමේ නායකයා ලෙස යයි ගිහාන් සිතුවේය.

"ගිහාන් , උඹ රුසියන් කෙල්ලෙක් එක්ක බුදිය ගන්නේ, රුසියන් වොඩ්කා බොන්නේ, රුසියන් භාෂාවෙන් කතා කරන්නේ, රුසියන් ජිවිතේ උඹ තෝරාගෙන ඉවරයි. උඹ රුස්සෙක් බ්‍රාත් " කියූ වලොද්යා ඔහු වැළඳ ගත්තේය. සාමාන්‍යයෙන් රුස්සන් කෙනෙකු අමතන්නේ තවරිෂ් (සහෝදරයා - දේශපාලනික) හෝ ඔහුගේ මුල් නමිනි. බ්‍රාත් හෙවත් සහෝදරයා  යන්න වඩා හෘදයංගම යෙදුමකි.

තමන් මේ කුඩා කණ්ඩායමට ඇතුලත් කර ගත්තා වැනි හැඟීමක් ඔහුට ඇති විය.

පෙම්වතුන් හා පෙම්වතියන් හදිසියේම නිහඬ වූහ.

නිසසල දිය මත ඉතා  කුඩා රැල්ලක් ඇදී නැතිවී ගියෙය. ගස් හා තෘණ පඳුරු හරිය තවමත් කලුවරය. එහෙත් නිසල ජල කඳ  වඩ වඩා පැහැදිලිව පෙනේ. අරුණාලෝකයට ආසන්න  බව ගිහාන්ට පෙනුනි.  ආකාශය,  ගිම්හානයේ ලා  රත් පැහැය පසු බිමේ ඇති නිල් සහ කහ වර්ණයන් යන්තමින් මුසු කරගත් සන්ධ්‍යා  සාදයකට යන සුන්දරියක ගේ දුහුළු වස්ත්‍රයක් මෙන් දිස්වුනි.

සියල්ලෝම නිහඬව සොබා දහමේ සුන්දරත්වය විඳින්නට විය.
සොබා දහම හා එක්ව සීතල ජලය නිරුවත් සිරුරු  සිප ගනිද්දී එකට බැඳී සිටින නිහඬ මොහොතක්  වීය එය.

විශිෂ්ට රුසියානු කතුවරයන් වන ලියෝ ටොල්ස්ටෝයි, නිකොලායි ගොගොල් මෙන්ම දොස්තයෙව්ස්කි  ද රුසියානු ආත්මයක් (russian soul)  ගැන තම ග්‍රන්ථයන්හි විස්තර කර තිබේ. රුසියානු භාෂාවෙන් එය හැඳින්වෙන්නේ රූස්කයා දුෂා යනුවෙනි. එය ඔවුන්ගේ ශෘංගාරාත්මක් බව යනුවෙන්ද කිව හැකිය. තමා අත්විඳින්නේ එම ගත් කතුවරුන් විසින් විස්තර කළ රුසියානු ආත්මය විය යුතු යයි ගිහාන් සිතීය.

උදේ පාන්දර හිරු එලිය වැටෙද්දී කුඩාරම තුල රස්නයට  නිදා ගත් ඔවුහු දවස අවසානයේ සියල්ල අස් පරස් කර පිටත් වූහ. බෙලොරුස්කයා දුම්රිය  පළේදී එකිනෙකා වැළඳ  වෙන්වන විට තද මිත්‍රත්වයක් බැඳීමක් ඇතිව තිබුණි.

තාන්යා නවාතැනට හැරලා එද්දී ඇය  පළමු බෝම්බය හෙලුවාය.

"ලන්ඩන් එනකන් යන්න  බැරි වුනත් මම එනවා රුසියාව  ඉවර වෙන  හරියට දුම්රියේ"
"තානිච්කා මගේ රත්තරන් ඒක  කරන්න බැහැ. සුහද හෙම අකමැති වෙයි"
"එයා අකමැති වෙන්නේ මොකටද? මම එයාගෙන් අහන්නම් "
"ඔයාට තේරෙන්නේ නැහැ මීලයා (දයාබරිය) ". ඊයේ සින්දුවෙන් උපුටාගත්  කෑල්ලක් ගිහාන් භාවිතා කළේය.
"මම එනවා මයි " ඔහුට උණුසුම් චුම්බනයක් දී සමු ගනිමින් ඇය පැවසුවාය.
"සුහදයා ට යකා නගියි ඕක කිව්වොත් "
ගිහාන් වික්ෂිපතව  තම නවාතැන බලා පිටත් වූයේය.

කාමරෝවා ගීතයේ මුල් ගායකයා.

වඩා විනෝදකාමී ඉදිරිපත් කිරීමක්.


කාමරෝවා ගීතය ඉංග්‍රීසියෙන්. (1985 වසරේ සෝවියට් රුසියාවේ  හොඳම ගීතය ලෙස තේරුණි )
පින්තූරය: https://www.pinterest.com/pin/248190629434624844/

Thursday, 24 August 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (16) - සෝවියට් විහිළු

මෙතෙක් කථාව:

ගිහාන් අදත් වඩාත්ම කැමති ගීතය වූයේ යූරි විස්බර් නමැති ගායකයාගේ "මීලයා මයියා " යන ගීතයටය. එහි තේරුම "දයාබරිය (හෝ දයාබරය)  මගේ " යන්නය.

එම ගීතයේ මුල් කොටස ඔහුට තවමත් කට පාඩම්ය. ඉන්පසුත්  කිහිප වතාවක්ම තාන්යා හා ලේනා  එම ගීතය ඔහු නිසාම ගැයුහ.

ගීතයේ මුල් පද ටික මෙසේය.

අපේ හැම හමුවීමක්ම අහෝ, විනිශ්චයකින්,  වෙන්වීමක්ය
රන් පැහැ පයින් ගස අසල දොළ නිහඬව ශෝකයෙන් ගලයි
කඳවුරු භුමියේ ඇවිලුණු ගිනි මැලයේ  පුලිඟු අළු වලින් වැසී ඇත
හැම දෙයක්ම අවසානය - වෙන්වන  මොහොත එළඹ ඇත

රුසියානු බසින්
ව්සියෙම් නාශිම් ස්ත්රෙචම් - රස්ලුකි උවි සුශ්දෙනි
තිහ් ඉ පෙචලෙන් රුචෙයි උ යන්තර්නෙය් සොස්නි
පෙප්ලෝම් න්යේස්මෙල්නීම් පදෙර්නුලිස් උග්ලි කස්ත්‍රා
වොත් ඉ අකන්චිලස් ව්ස්යෝ රස්තවත්සා පරා

ගීතයේ සමූහ ගායනා  කොටස (කෝරස් එක හෙවත් දෙතුන් වරක් කියවෙන කොටසේ)  අදහස මෙවැන්නකි.

"මගේ දයාබරිය සුන්දර කැලෑවේ හිරුපුංච
කොහේද මොන දේශයක ද ඔබ මා  හමු වූයේ"

(මීලයා මයියා සොල්නෙච්ක ලෙස්නොයේ
ග්ද්යේ ව් කකිහ් ක්‍රයාහ් ව්ස්ත්ර්තිල්ස්ය සම්නෝයු )


මේ ගීතය ගිහාන් ගේ හිතට තදින් වැදුනේය. "අප දෙදෙනා හමුවූයේ අහම්බෙනි. ඇය සිටින රට තමන් දැන් සිටින රට වුවත් තව වසර දෙක තුනකින් තමන් ඇය හැරදා  මව් බිමට යනු ඇත" ඒ දවස ගැන සිතීමට ඔහු බිය වූයේය.

ඉන්පසු ගීත කිහිපයක්ම ගායනා වුනි. ඒ අතරේ පඳුරු තැලෙන, ගස් අතු කැඩෙන ශබ්දයක්  මුලින්ම ඇසුනේ වලොද්යා ටය. වොඩ්කා බී  සිටියත්, උස් හඬින් සියල්ලෝම  කතා බහ කලත් ඔහුගේ තියුණු නිරීක්ෂණයට හා ශ්‍රවණයට  ගිහාන් මවිත විය.  "කේ ජි බී "කාරයෙක් වෙන්න නේ පුරුදු වෙන්නේ" ඔහුට සිතුනි. සියල්ලෝම නිහඬව සවන් දුන්හ. ගස් කොළන්  අතුරින් මතු වූ රුව මිලිට්සියා භටයෙකු හෙවත් සෝවියට් පොලිස් නිලධාරියෙකු ගේය. සෝවියට් පොලීසිය මහජන හමුදාවක් ලෙස සැලකෙන නිසා නම් කර ඇත්තේ මිලිට්සියා ව ලෙසිනි.

වලොදින්කා (කෙල්ලන් කතා කරන්නේ වලොද්යා ගේ සුරතල් නමටය) හා ගේන්කා නිලධාරියා ඉදිරිපිටට ගියේය. මදක් කතා කල පසු නිලධරයා ගිහාන් දෙස වරක් දෙවරක් බැලුවේය.
ලුණු දැමූ අගුර්සි ගෙඩි 

ටික වෙලාවකින් සිනාමුසු මුහුණින් ඔවුන් අසලින් ඈඳිගත්  නිලධාරියා වොඩ්කා වීදුරුවක් පුරවා ගත්තේය. කළු පාන් කෑල්ලකට මස් කෑල්ලක් තබා එය කමින් අගුර්සි ගෙඩියක්ද කරස් ගා හැපුවේය. වොඩ්කා වීදුරුව ඔසවා ගිහාන් ට "සැලුත්"කී  ඔහු එය එක උගුරට බීවේය. වොඩ්කා සැපයුම ගිහාන් ගෙන් යයි නිලධාරියා ට වලොද්යා කී  බව තාන්යා පසුව කීවාය.  සමගොන්කි හෙවත් කසිප්පු බෝතල් දෙක ලියොනිඩ් අතින් කුඩාරමක් යට සැඟවෙනවා ගිහාන් නෙත් කොනින් දුටුවේය.

සමගොන්කි ගෙදර හදාගෙන බීමේ තහනමක් නැත. නමුත් විකිණීම තහනම්ය. එනිසා තමන් සිටින නිවසින් පිටත පානය කිරීමේදී මිලිට්සියාවට ඒවා කවුරුන් හෝ විකුණුවේ යයි චෝදනා කළ හැකිය.  ගම්වල සියල්ලන්ම හඳුනන නිසා මේවා ප්‍රශ්නයක් නොවුනත් නගරයේ දී එය ප්‍රශ්නයක් විය හැකිය. නිලධාරියා තවත් මස් කෑල්ලක් උගුරට දෙකට ගිල දමා වොඩ්කා විදුරු භාගයක් අවසන් කර කට පිස දමමින් නැගී සිට සියල්ලන්ටම ආචාර කර පිටත්ව ගියේය.

"සමහරවිට ගිහාන් අපිත් එක්ක එනවා කවුරු හරි දකින්න ඇති. නැත්නම් සාමාන්‍යයෙන් වටේ පිටේ තොරතුරු බලන්න එන්න ඇති. අවුලක් නැහැ." වලොද්යා සිනාවෙමින් තෙපළේය.
ගේනා කළේ මිලිට්සියා වරුන්ට සරදම් කෙරෙන විහිළු කතාවක් කීමය. මේවා රුසියානුන් නම් කලේ අනෙක්දොට් (ඉංග්‍රීසි anecdote) වශයෙනි. මිලිට්සියා විහිළු දේශපාලන විහිළු දක්වා - කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ගේ සිට නිලධාරීන් දක්වා උපහාසයට පත් කරන ඒවා-  ගලා එන්නට වීය. කේජිබි විදුහලේ උගන්නා නමුදු  මේ සිසුන් ඒවා කියා සිනාසීම ගිහාන්ට කුතුහලයට කරුණක් විය. නමුත් සෝවියට් දේශයේ උඩින් පැවති සන්සුන් භාවයට යටින් අතෘප්තිමත් මිනිසුන් සමුහයක් සිටින බවත්, මේ උපහාසාත්මක විහිළු ඒ අතෘප්තිමත් භාවය හෙළිදරව් කරමින් සාපේක්ෂව අනතුරුදායක අඩු වාතාවරණයක  එලියට එන බවත් ඔහු දැන ගත්තේය. එසේම තමන්ටම විහිළු කතා හදාගෙන හිනාවෙන ජාතියක් බලවත් බවද ඔහුට සිතිනි.

ගිහාන් ට කතාවක් දෙකක් මතකය.

වරක් රථවාහන පොලිසියේ මිලිට්සියා භටයෙක් වාහනයක් නැවැත්වීය. එහි සිටියේ වෝවච්කා (රුසියානුවෙක් ගේ නමක් වන මෙය බොහෝ විහිළු කතාවල දැකිය හැකිය) , ඔහුගේ බිරිඳ හා පුංචි පුතාය. ඔහු මත්පැන්  බි ඇතැයි සැක කළ නිලදරුවා මත්භාවය සෙවීමට බ්‍රෙතලයිසරයට පිඹීමට අණ කළේය. ඔහු බී ඇති බව තහවුරු වුනි. රියදුරා කිවේ එය කැඩී ඇති බව හෝ  උපකරණයේ දෝෂයක් ඇති බවයි. එමනිසා  තමන්ගේ බිරිඳද පරික්ෂා කරන ලෙස මිලිට්සියා භටයා ගෙන් ඉල්ලීය. බිරිඳද බී ඇති බව ඔප්පු වුනි. එයද පිලි නොගත් වෝවච්කා පරීක්ෂණය වැරදි යයි තර්ක කරමින් තමන්ගේ දරුවා පරික්ෂා  කරන ලෙස ඉල්ලා සිටියේය.

නිලධාරියා දරුවාට මත්  ගතියක් ඇත්දැයි පරික්ෂා  කලවිට ඔහුත් වෙරි වී ඇතැයි සටහන් විය.  මේ නිසා තම කිට් එකේ  දෝෂයක් ඇතැයි පිළිගත් ඔහු ඔවුන්ට යන්නට කියා තම රථයට ගියේය.

නිලධරයා නෑසෙන මානයට ගිය පසු බිරිය දෙසට හැරුණු වෝවච්කා මෙසේ කීවේය.
"ඕකනේ මම උඹට කිව්වේ පොඩි එකාට  වොඩ්ක ග්‍රෑම් පහක් දුන්නට වරදක් වෙන්නේ  නැහැ කියල."

 ලේනා ගිහාන් ගෙන් ප්‍රශ්නයක් ඇසුවාය.
"සෝවියට් දේශයේ මීටර එකසිය පනහක් දිග හැම වෙලේම අල කන ජිවියා  මොකාද?"

හැමෝම දන්නා අයුරින් කොක් හඬලා සිනා සුනහ.
ගිහාන් පිළිතුර දැන  සිටියේ නැත.
"මස් කඩේ පෝලිම" තාන්යා සිනා වෙමින් කීවාය. "ගිහාන් පෝලිමේ ඉන්නේ නැහැ " ඇය එයට එකතු කළාය.
"ඔව් ඉතින් වරප්‍රසාද සහිත විදෙශිකයෝනේ" ලියෝනිඩ්  ඔලොක්කුවට මෙන් කීවේය.
"වරප්‍රසාද නෙමේ මම ටිකක් වැඩි ගානක් දෙනවා මස් කඩේ තවරිෂ්ට (සහෝදරයාට)" ගිහාන් සිනා සෙමින් පැවසුවේය.

ස්වේතා ද කතාවක්  එකතු කලාය.
"සෝවියට් දේශයේ කවදාවත් වහන්න වෙන  නිසා හෝ පාඩු නිසා අස් කරන්න වෙන්නේ නැති හොඳම රස්සාව මොකක්ද?"
ගේනා පිළිතුරු දුන්නේ  කොමියුනිස්ට් පක්ෂයේ  ලේකම් තනතුර කියාය. වලොද්යා තමාට ඇහැක් ගැසුවේ මද අපහසු බවකින් යයි ගිහාන් ට සිතිනි.
"නැහැ නිවැරදි උත්තරේ ක්‍රෙම්ලින් එකේ  තාප්පේ උඩ නැගගෙන කොමියුනිස්ම් (කොමියුනිස්ට් වාදී සමාජය) එනකන් බලා සිටීම".

මේ කතාවෙන් පසුවද  වලොද්යා ගිහාන් දෙස බලා ඇහැක් ගැසුවේය.
"අපි මේවා කියල අපේ විදේශීය සහෝදරයා නොමග යවලා අන්තර්ජාතික සහෝදරත්වයට තර්ජනයක් එල්ල කරනවා නේද" ඔහු කීවේය. ගිහාන් ඔහු එය කිවේ විහිලුවට ද ඇත්තටම දැයි සිතුවත් සියල්ලෝම මහා හඬින් සිනාසීම නිසා ඔහු කළේ සරදමක් බව වටහා ගති.

"මම සෝවියට් දේශයට කැමැතියි" ඔහු කීවේය.
"උඹලාගේ තියෙන්නේ වෙනම  සිස්ටම් එකක්. අපේ රටෙත් අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ සමහර දේවල් නොමිලේ දුන්නත් ගෙවල් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න තියනවා."
"අපේ රටේ මිනිස්සු වැඩ කරන්නේ නැහැ හරියට" ලේනා කීවාය. ලේනා එයටම සරිලන විහිළු කතාවක් පටන් ගත්තාය.

"මොස්කව් වල කම්හලක තිබූ ජපානයෙන් ආනයනය  යන්ත්‍රයක් කැඩුණි. කැඩුණු යන්තරය සෑදීමට කොතරම් වෙර යෙදුවත් කම්හලේ විශේෂන්ඥ කම්කරුවන්ට  වරද සොයා ගත නොහැකි විය. මේ නිසා ජපානයේ  අදාල  සමාගමෙන් විමසු විට කම්කරු විශේෂන්ඥයෙකු එවන ලදී.  කොන්ත්‍රාත් කම්කරුවකු (විශේෂන්ඥයකු) වූ ඔහුට තිබුනේ මාසයක කොන්ත්‍රාත් එකකි. එම මාසය තුල ජපනා කා  සමගවත් වැඩි කතා බහකට නොගොස් දවසම මහන්සි වී වැඩ කළේය. දහවල් කෑම පැයේදීත් ලොකු මැනුවල් (යන්ත්‍රය සම්බන්ධ  පොත්) පෙරලමින් යන්තරය හැදීමට කරුණු සෙව්වේය. මාසය අවසන් වන විට ඔහුට යන්ත්‍රය අලුත්වැඩියා කර බාරදිය හැකි විය. ඔහු වෙනුවෙන් අවසන් දවසේ රැස්වීමක් හා පුංචි සාදයක් කම්හලේ කොමියුනිස්ට් තරුණ සංගමය  විසින් සංවිධානය කර තිබුණි.
 සංගමයේ ලේකම් ගේ කතාවෙන්  හා ඔහුගේ සෞඛ්‍යය  ට සුභ පතා වොඩ්කා බී මෙන් පසු ජපනා කඳුළු පිරි දෙනෙතින් සභාව ඇමතීය.

"සෝවියට් කම්කරු සහෝදරවරුනි,  ඔබලා මට මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම ගැන ස්තූතියි. ඔබලා දන්නවා ඇති මා කොන්ත්‍රාත් ක්‍රමයට බඳවාගෙන තිබෙන නිසා මට තිබුනේ මාසයයි වැඩ කරන්න. ඉතින් මම ඒ මාසෙම වැඩ කෙරුවා . යන්ත්‍රයත් හැදුව. පිළිගන්න මම මගේ රටේ කම්කරු ක්‍රියාධරයෙක්. උද්ඝෝෂණ සියල්ලට සහභාගී වෙනවා . කම්කරු අයිතීන් ගැන සටන් කරනවා. එනිසා මා  බැගෑපත්ව සමාව ඉල්ලනවා ඔබලාගේ වර්ජනයට සහය නොදීම ගැන.  කරුණාකර මට සමාවෙන්න"

ජපනා  සමාව ඉල්ලූ හේතුව කෙල්ලන් දෙදෙනෙකුට තේරුනේ මදක් පමා වීය. සෝවියට් දේශයේ වර්ජනය කිරීම  තහනම්ය. ඔවුන් කොක් හඬලා සිනාසෙන අතර කේජිබි සිසුවා  තවත් කතාවක් කීවේය. මේ කතාව ලංකාවේ තමන් සමග එකට සිටින වාමාංශික යහලුවෙකුට කිවහොත්  ඔවුන්ට තරහ යනු ඇතැයි ගිහාන්ට  සිතුනි.  දැන් සුළු ධනේශ්වර වී සිටින සෝවියට් වැසියන් තමන් එතනට ගෙන ආ සමාජවාදයට හතුරු වී ඇතැයි ඔවුන් චෝදනා කරනු ඇත්ද?

කතාව මෙසේය.

සෝවියට් රහස් ඔත්තු කරුවන් බොහෝ අමාරුවෙන් කාල් මාක්ස් ගේ ඇට  සැකිල්ල ලන්ඩනයේ හයිගේට් සුසාන භූමියෙන් පන්නාගෙන විත් සෝවියට් විද්‍යාඥයන්ට භාර දුන්හ. ඔවුන් තමන්ගේ උසස්ම සොයා ගැනීම් භාවිතා කර මාක්ස් ට පණ ලබා දුන්හ. සැලසුම සකස් කල කොමියුනිස්ට් පක්ෂයේ පොලිටි බියුරෝව මාක්ස් රට වටා ගෙනියමින් පාසැල්, විශ්ව විද්‍යාල, රෝහල්, සමුහ ගොවිපලවල , කම්හල් , කම්කරු තට්ටු නිවාස, කම්කරු නිවාඩු නිකේතන සියල්ල මාක්ස් ට පෙන්වුහ.  අවසානයේ  සුප්‍රීම් සෝවියට් සභාව  රට පාලනය කරන අයුරු මෙන්ම පක්ෂ ක්‍රියාකාරිත්වය ආදියද ඔහුට විස්තර කරන ලදී.  සියල්ල බලා අසා  මාක්ස් ඉල්ලීමක් කළේය.
"මට සෝවියට් ජනතාව අමතන්න දෙන්න. "
පක්ෂයේ ලේකම්, සභාපති ඇතුළු පොලිට් බියුරෝව  මෙයට එකහෙළා විරුද්ධ වූහ.
"මේක කීයටවත් කරන්න බැහැ. මාක්ස් අපිව විවේචනය කලොත් හෙම? "
"අපි හරියට කරන්නේ නැහැ, හරි පාරේ යන්නේ නැහැ හරි කීවොත්  "
"රජය අහෝසි  කරන්න හෙම කීවොත්"
"පත මාගල් වගේ දේශනා ලියපු , ප්‍රාග්ධනය වගේ නොතේරෙන පොත් ගොඩක් ලියපු මෙයා, මුළු දවසම කතා කරන්නත්  බැරි නෑ පුතය. " වැනි ප්‍රශ්න ගොඩකි.
මාක්ස්ට ප්‍රශ්නය තේරුණි.
"හරි මම  ලොකු දේශනයක් කරන්නේ නැහැ. මට එක වාක්‍යයක් කියන්න දෙන්න"
අන්තිමට පොලිටි බියුරෝව එයට එකඟ විනි.
සියලු රුපවාහිනී චැනල හා රේඩියෝ චැනල වලට  මාක්ස් ගේ වාක්‍යය ප්‍රචාරය  කිරීමට ඉඩ දෙනු ලැබීය.
මාක්ස් කීවේ මෙපමණකි.

"සකල ලෝක වාසී කම්කරුවනි , මට සමාවෙන්න "


~ මතු සම්බන්ධයි


ඉහත  සඳහන් ගීයේ ඉංග්‍රීසි පරිවර්තනය හා රුසියානු ගීතය"

My honey [ Milaya moya (Милая моя) ]

Tuesday, 22 August 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (15) -ප්‍රේමයේ විල් තෙරේ යව්වනේ මල් වනේ




සැන්දෑවේ පෙම් යුවල 
මෙතෙක් කථාව:

ජලාශය අසල කැළයේ පයින් හා බිරියෝසා මෙන්ම ගිහාන් නොහඳුනන ගස් වර්ගද විය. එහෙත් එලි මහන් බිම් කඩ අසල ඇත්තේ සුදු වැල්ල වසා පැතිරුණු උස තෘණ වර්ගයකි.  අතරින් පතර කැලෑ ඇපල් ගස් ද විය. ගිහාන් ඉන් එකක් කන්නට යද්දී තාන්යා ඔහුගේ අතට ගැසුවාය.
"ඔය ඇපල් කන්න එපා. මම හොඳ ඒවා වගයක් ගෙනාව". එසේ කියමින් ඔහුව ගසට හේත්තු කරමු මුව  සිප ගත්තාය.
"ඔයාව හම්බවෙන දවස බල බල හිටියේ" ඇය මිමිණුවාය.
ගිහාන් මේ රුසියන් තරුණිය මෙන්ම අනිත් යුරෝපියානු තරුණ  තරුණියන් තමන්ට අවශ්‍ය  දෙය කියන්නට නොපැකිලෙන බව වටහා ගෙන සිටියේය. ඔවුන්ගෙන් "ඔබට තේ එකක් අවශ්‍ය දැයි " ඇස විට ආසියානු ජාතිකයන් මෙන් තේ එක අවශ්‍ය වුවත් "නෑ , එපා ඕනේ නැහැ. ඔය බොනවා නම් බොන්නම්" වැනි දේ නොකියති.  අවශ්‍ය නම් අවශ්‍යය. සිනි එපා නම් එපාය. "ඔබට බඩගිනිද කෑමට  යමක් ඕනෑද" කියා ඇසුවොත් බඩගිනි නම් එය එසේ යයි කියති. බොරු කෝල බවක් ආරුඪ කර ගන්නේද නැත. ඇගේ ක්‍රියාව ඔහු වටහා ගත්තේ එලෙසිනි.

ගිහාන් කළේ ඇය ගේ ඉන  වටා දෑත  යවා වැළඳ ගෙන සිප ගැනීමය. ලජ්ජාවෙන් රතු වීමට අහල පහල කවුරුත් නැත. ඇය ඔහුගෙන් මිදී විහිළුවට මෙන් ඉවතට දිව්වාය.
  "මේක නිකන් හරියට හින්දි චිත්‍රපටයක්  වගේ, ගහක් යට ආදරේ කරනවා. ඔයා දුවනවා. " ගිහාන් හිනා වෙමින් තෙපළේය.

"ඒකනේ ලේනා කිව්ව ගමන් මම කැමති වුනේ එන්න"
තාන්යා උස්  හඬින් කියමින් උණුසුමට උඩුකය වසා හැඳ සිටි පුලෝවරය ගලවා උස තණකොළ යාය උඩින් ඇතිරුවාය. එහි යන්තමින් හාන්සි වීගෙන හෙලූ ආරාධනාත්මක බැල්ම ගිහාන්ගේ හෘද ස්පන්දනය දෙගුණ කරන්නට සමත් වුනේය. ඇය සිටින තැනින්ම ඈඳිගත් ඔහු ඇගේ නිල්වන් නෙතට එබී බැලුවේය. ඇය හෙමින් සීරුවේ ඔහු අසල ඇලවුණේ ඔහුගේ අත තම අතින්   තදින් මිරිකා ගනිමිනි.
 තම දෑත ඇයගේ හිස යටින් තබමින් සෙමින් උස්සා  ඇය සිප ගනිමින් ප්‍රේමාලිංගනයේ වෙලී සිටි මොහොත කල්පයක් විය.  ඇය ඔහු සිරුර මත දිගාවුනු මොහොතක ඔහුට නීල අහස දිස් විය. සීතල උස තණකොළ මුහුණේ ගෑවී නොගෑවී සුළඟට  රඟ දෙයි.
ඈතින් යහළුවන් දියේ කෙළින හඬ ඇසී නොඇසී යයි. ඒ මොහොත තුල දෙදෙනාම ගිලි ගියේ තමන් අවට ලෝකය අමතක කරලමිනි.

ඔහුට අමරදේව ගයන ගීතයක් හදිසියේම සිහියට නැගුණි.

"කුමරියක පා සළඹ සැලුනා ...
වසා සිටි නෙතු පියන් ඇරුණා "

ඇය සමග එක්වූ හැම වතාවකම පාහේ  තමන්ට සුවිශේෂි නැවුම්  මොහොතක් වූයේ ඇයිදැයි ඔහු කල්පනා කළේය.

"උකුල ළැමහස මලවි කරලීය
මුවාකල ඇගේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස්  සලෙළුන්
උමතුවූ දෙනුවන් දැහැන් ඇද
මෙමා  අබියස මැවුණු තුසිතය
සුරන් නැළවුණු සුයාමය "

උන්මාදයෙන්  නැළවුණු  ඒ සුයාමයෙන් ඉක්බිති ව ඇගේ හිස විවේක ගත්තේ ඔහුගේ උරහිස් ගොබය තුළය. දෙදෙනාම අහස දෙස බලාගෙන නිහඬව වැතිර සිටියහ. ඒ මොහොතවල්  සමුහය දෙදෙනාම එක් අයෙකු ගේ සිතකින් හැසිරවුවක් මෙන්ම  විය.

ඈතින් මෙන් ඇසුණු සොයුරිය ලේනා ඔවුන් කැඳ වන හඬින් සලිත වුනු තාන්යා ඔහුගේ අතින් ඇද ගෙනම යාමට සැරසුණාය.

"අපේ රටේ හුඟක් ඈත කාලේ ඈත ගම්වල ජිවත් වෙච්ච පෙම්වතුන් කළේ "බැද්දට රිංගනවා " කියල කැළයට  ගිහින් සුමානයක් විතර අඹුසැමියන් මෙන් ඉන්න එක.  ඊට පස්සේ දෙන්නා ගමට ආවහම යුවලක් වගේ එක ගෙදර ඉන්නේ".
ගිහාන් ඇයට ඔහු දන්නා පරිදි පහදා දෙන්නට හැදුවේය.
"මෙහෙ ඕක කරන්නේ කොහොමද ශිත කාලෙට. අමු හීතලේ හිම ගොඩේ කැලේ  ගියොත් හොඳට  තියෙයි" ඇය හඬ නගා සිනා සුනාය.

අතින් කටින් ඇඳුම් එල්ලා ගෙන පැමිණෙන  දෙදෙනා දෙස බැලු රුස්සන් විසිල් ගැසූහ.
 "රෑ වෙන්නත් කලින්" එකෙක් කියුවේය.
"මුළු රැයක්ම ඉන්නවා මෙතන. ඔච්චර ඉවසන්න  බැරිද" ගේනා විහිළු කළේය.
"අපොයි මේ දෙන්න හාවෝ වගේ. මම දන්නේ නැත්ද " ලේනාද විහිළුවට මෙන්  කියමින් ගිහාන්ව වතුරට ඇද්දාය.

ජලය ඇත්තටම ශීතලය. නමුත් ජලයට බැස  මොහොතකට පසු සිරුර ශීතලට හුරුවෙයි. පිහිනීමට එතරම් නොදත් නිසා ගිහාන් වැඩි ඈතට ගියේ නැත. දිය කිඳුරියක  මෙන් තාන්යා නම් පිහිනා  ඈතට ගියාය. සොයුරියන් දෙදෙනා මොකක්දෝ විහිළුවක් කරමින් සිනා සුනහ. තාන්යා වතුර පාරක් ලේනාට ගැසුවාය. ඔවුන් දෙදෙනා තමන් ගැන කතා වෙතියි ඔහුට සිතිනි.

වතුරෙන් එලියට පැමිණ රුස්සන් සාදා තිබු ගිනි මැලය ළඟ හිඳගත් විට මහත් සුවයක් දැනුනි. ලියොනිඩ් අතු කිහිපයක් කඩාගෙන ඒ මැද ලීයක් තබා  භාග පනිට්ටුවක් වැන්නක් එල්ලා  වතුර උණු කරන්නේ තේ බිමටය. රුසියානුවන් තේ බිමට ඉතා කැමතිය. තේ එකට සමහර විට දෙහි පෙත්තක් ද දමති.  නමුත්  කිරි නම් දමන්නේ නැත. ආසියානුන්  කිරි දමා තේ බිම පුරුදු වී ඇත්තේ ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඉංග්‍රීසින් ගෙනි. ආල්ලා තේ කොළ රැගෙන එම පනිට්ටුවටම  දැම්මාය . ඉන්පසු බෙලෙක් කෝප්ප රැගෙන සියල්ලටම තේ දුන්නාය.

තේ බොන ගමන් වොඩ්කා බීමද වොඩ්කා බොන ගමන් කළු පාන් පෙත්තක් හැපීමද රුස්සන් නොකඩවා කරගෙන යති. ඒ අතරේ සුරූපී ආල්ලා තේ එකත් රැගෙන අව්ව තපින්නට ඇල වුනාය. අනිත් කෙල්ලන් ටිකද දොඩමළු වෙමින් ඇය අසල වැතිරුනහ. රුස්සන් එකිනෙකා  වතුරට පනිමින් නැවත එමින් වොඩ්කා  බොමින් කාලය ගත කළහ.

 ඒ අතරේ වලොද්යා මස් පලහමින් ඒවා බෙලෙක්  පිඟන් හා පොලිතින් කවර මත ඇතිරුවේය. ඔවුන් ඒවා එකවර කන්නේ නැත. සියල්ලෝම කමින් බොමින් කාලය ගත කිරීමට කැමතිය.

හවස් වන විට ගිනිමැලය වටා රැස් වී කරන කතාබහ ගී ගායනා කීමකට  පෙරලුනි. ගිහාන්ට තේරුණු එක දෙයක් නම් රුසියානුන් මෙවැනි විනෝදකාමී අවස්ථාවල   දේශපාලනය කතා නොකරන බවයි. ලංකාවේ සිසුන් අතර බෝතලයක් අවසන් වන විට දේශපාලන වාද හට ගනී. සමහරවිට ඒවා කෙළවර වන්නේ කවුරුන් හෝ තරහ වීය. මේ නිසා ඇතැම් සිසුන් කලේ ගීත වාදනය කර නැටීමය. එවිට දේශපාලන වාද වලට ඉඩක් නැත.  ලුමුම්බා විශ්ව විද්‍යාලයේ සිසුන් අතර දේශපාලන බෙදීම් නිසා  කණ්ඩායම් කිහිපයක් ඇති බව ප්‍රසිද්ධය. ලුමුම්බා විශ්ව විද්‍යාලය මොස්කව් වල වැඩියෙන්ම සිංහල සිසුන් ඉගෙනගත් ස්ථානයයි. රාජ්‍ය විශ්ව විද්‍යාල සමුහයේ එතරම් සිසුන් සිටියේ නැත. සිටියත් ඔවුන් මොස්කව් නගරය පුරා  විසිරි සිටියහ.

ගිහාන්ට සිංහලෙන් ගීතයක් ගැයීමට එන ඉල්ලීම බලවත් විය. වැඩියෙන්ම ඉල ඇටයට අනිමින් පෙරැත්ත කළේ තානිච්කා ය. අන්තිමේදී වතුර ගෙන ආ කෑන් එකට තට්ටු කරමින් ඔහු තමන් ඉතා ප්‍රිය කරන ගායිකාවක් වූ මාලනී බුලත්සිංහල ගේ "ප්‍රේමයේ විල්තෙරේ" නම් ගීය බැරි මරගාතේ හෝ ගායනා කළේය.

එය ගායිකාවක ගේ වුවත් එම ගීතයට තමන් කැමති බව පවසා ගීතය රුසියානු බසට දන්නා ලෙසින් පරිවර්තනය කළේය.

"ප්‍රේමයේ විල්තෙරේ
යෞව්වනේ මල්වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කළා

සීත  පවනැල් ගලා
නීල  තුරු මල් සලා
ආදරෙන්  පිබිදිලා
ලෝකයම හිනැහිලා "

ගීතයේ පරිවර්තනයට හැඟුම් බර වුනු තාන්යා ඔහුගේ වම් උරහිස පැත්තෙන් අත වෙළාගෙන ඔහුගේ ගෙලට හිස තබාගෙන ඇලවී සිටියාය.  ආදරයෙන් මුසපත්වුණු යුවතියක්, ඩොල්පින් මාළුවෙකු මිනිසුන් හැර යාමට අකැමැතිව වටේ රැඳෙමින් පිහිනන්නාක් මෙන්, තමන් අසල දැවටී දැවටී සිටින්නේ යයි කවුදෝ කියනු ඔහුට මතකය.

ඔහු වඩාත්ම කැමති වූ  රුසියානු ගීතය ලේනා ගිටාරය වයමින් පටන් ගත්තේත් අනිකුන් සියල්ලෝම ඊට හවුල් වූයේත් ඉන් පසුය.

~~~~~~~මතු සම්බන්ධයි.


-  කතාවේ  උපුටා ගෙන ඇති විශාරද අමරදේව මහතා ගායනා  කළ "කුමරියක පා" සළඹ සැලුණා" ගීතය ලියා ඇත්තේ කේ ඩී  කේ ධර්මවර්ධන මහතාය.
ඡායාරුපය අන්තර්ජාලයෙනි.

ප්‍රේමයේ විල්තෙරේ ගීතය නැසීගිය සංගීත විශාරද මාලනී  බුලත්සිංහල මහත්මිය ගයන ලද්දකි. පද රචනය කුලරත්න ආරියවංශ , සංගීතය එච් එම් ජයවර්ධන


මේ ප්‍රබන්ධයේ විස්තර වන  කාල පරාසය 1980 දශකයේ අග භාගය වන අතර කතාවට පාදක වන්නේ  බිඳී විසුරුණු සෝවියට් දේශය නමැති රාජ්‍යයේ විශ්ව විද්‍යාල සිසුන්ය.



Sunday, 20 August 2017

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ - (14) -ප්‍රේමයෙන් වෙලී නදිය අසබඩ

මෙතෙක් කථාව:
සේරෙබ්‍රෙන්නයා බ්‍රෝ ජලාශය අසල 

සෙනසුරාදා පැහැපත් දිනයක් විය. තරමක්  සීතල ගතියක් දැනුනද තමන්  එනතුරු බලා  සිටි තාන්යා දැකීමෙන් ගත මෙන් සිතද  උණුසුම්  වූ බව ගිහාන් ට  දැනුනි. දෙදෙනාම උමන් දුම්රියේ නැගී බෙලොරුස්කයා නමැති දුම්රියපල දක්වා ගියහ. දුම්රියේ යද්දී තාන්යා තොර තෝංචියක් නැතිව මොනවදෝ  කියෙව්වාය. ඇගේ සතිය ගෙවුන හැටි , දේශනයකදී ගුරුවරයෙකු කළ විහිළු කතාවක් හෝ හවස කෙල්ලන් සමග වූ දබරයක් ඒ අතර විය. ගිහාන්ට වඩාත් මතක හිටින්නේ ඇය දෑස මුදු කරමින් ඔහු දෙස බැලීමත් සුමුදු ලෙස ඔහුව වැළඳ ගැනීමත්ය. දුම්රියේ සමහරු ඔවුන් දෙස බැලුවද වෙනදා මෙන් ඔහුට චකිතයක් දැනුනේ නැත. එය දුරුව ගොස්ය. 

බෙලොරුස්කයා වලින් බහිද්දී "දිගටම යද්දී ඊළඟ දුම්රිය පල දෙක එයාරෝපොර්ට් හා සෝකල්. මගේ යාළු ලංකාවේ ශිෂ්‍යයෝ ඉන්නව එහෙ " ගිහාන් කීවේය.

"මාදි විශ්ව විද්‍යාලය නේද " ඈ   පිළිතුරු දුන්නාය.  මොස්කව් වාහන හා මහා මාර්ග ඉදිකිරීම සඳහා වූ  විශ්ව විද්‍යාලය පිහිටියේ ඉන් මද දුරක් වෙන්නටය.  ඔවුන් එදින දවස ගෙවීමට යන ජලාශය පිහිටි ස්ට්‍රොගොනොවා දිස්තික්කයේ තමන්ස්කයා මාවතට යන බසයක නැගුනහ.  මැද රබර් වැනි දෙයකින් සාදන ලද හැරවෙන කොටසක් ඇති මෙවැනි දිග හංගේරියාවේ නිපදවන ලද  ඉකාරුස් බස් රථ මොස්කව් වල බොහෝ පෙදෙස්වල  දක්නට ලැබුණි. 
ඉකාරුස් බසයක් 
තාන්යා කළේ බසයේ හරියට අර කැරකැවෙන මැද  කොටසේ සිටගෙන ගිහාන් ගේ බෙල්ලේ එල්ලී සිටීමයි. ගිහාන්ට සිනහව වළකා ගන්නට නොහැකි වූයේ බසය හැරවෙන වාරයක් පාසා ඇය ඔහුගේ සිරුරේ වෙලෙමින් බෙල්ලේ එල්ලෙමින් කෙලින් සිටගෙන සිටීමට ගත වෙහෙස බලාය. ඇය එය කරන්න ඕනෑ කමින් බව ඔහුට වැටහුනේ මදක් පමා වීය.

සේරෙබ්‍රෙන්නයා බ්‍රෝ ජලාශය සෑදී තිබුනේ මොස්කව් නදිය හැරෙමින් ගලා යන තැනක දුපතක් ඇති පහත්  බිමකට ජලය ස්වභාවිකව ගලා ගොස් එක්වීමෙනි. මොස්කව් වල විශාල ජලාශයක් වූ මෙහි සිනිදු වැලිතලාවක් වටේට ම  සෑදී තිබුනේ අභ්‍යන්තර මුහුදක් පරිදිය.  සිහින් රැලි එහි නැගෙන යුරු ගිහාන් නිරීක්ෂණය කලේ මොස්කව් ගඟ හැරෙන තැන ජලාශයේ පිවිසුම අසලදීය. පයින් ගස් හා බිරියෝසා  ගස් පිරුණු කැලෑවක් බඳු පෙදෙසකට ඉදිරියෙන් සුදු වැලි තලාව තිබුණි. මෙවැනි පිරිසිදු දර්ශනීය වැලි තලා ඇති ජලාශ අසල ගිම්හානයේදී මොස්කව් වැසියෝ අව්ව තැපීම ට හා ජල ක්‍රීඩා පිණිස රැස් වෙති. ජූනි අග හෙයින්  වැඩි සෙනගක් මේ දිනවල නැත. හිරු රැස් තිබියදීත් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20ට ඉහලින් තිබුනද  ජලයද තවම ශිතලය. 
( ගුගල් සිතියමක් බව සලකන්න )
 

සේරෙබ්‍රෙන්නය බ්‍රෝ 
මොස්ක්වා නදිය හා ජලාශය හමුවන තැන තාන්යා ගේ සොයුරිය ලේනාත් අගේ පෙම්වතා වලොද්යා හා ඔවුන්ගේ මිතුරන් හා මිතුරියන් දෙදෙනෙකුත් ලට්ට ලොට්ට කරේ එල්ලා ගෙන ඔවුන් එනතුරු බලා සිටියහ.

සොයුරින්ගේ වැළඳ ගැනීමෙන් පසු ඇය විසින් කණ්ඩායමට ගිහාන්ව හඳුන්වා දුන්නාය. සාමන්‍යයෙන් රුසියනුන් තදින් අත  මිරිකමින් අතට අත දී ආචාර කරති. වලොද්යා ගේ යහළුවන් වන ගේනා හා ලියොනිඩ් ද ඔවුන්ගේ මිතුරියන් වන ස්වේතා  හා ආල්ලා ය.

ඔවුන් මිනිසුන් හා ගැහැනුන් ද ළමයින් ද අව්ව තපිමින් හා මස් පළහා  බදිමින් දවසේ විනෝද සංචාර සඳහා පැමිණ සිටි පිරිස් පසු කරමින් තවත් වනය තුලට වැදුනහ.  වනය අවසන් වන  තැන තවත් පයින් යායක්  මැද්දෙන් ගමන් කළ ඔවුහු එළිමහන් වෙරළකට පිවිසුනහ. එහිදී දුටු දෙයින් ගිහාන්ගේ ඇස් උඩ ගියේය.

 එහි මිනිසුන් සහ ගැහැනුන් සමුහයක් අව්ව තපිමින් සිටියේ ඇඟේ නූල් පාටක් වත් නැතිවය. මෙවැනි තැන තිබෙන බව ඔහු අසා  තිබුනේ බටහිර යුරෝපයේ, එංගලන්තයේ හා ඇමෙරිකාවේ පමණය. සෝවියට් දේශයේ එවැනි 'නිදහස්" මිනිසුන් සිටින බවක්  ඔහු දැන  සිටියේ නැත. සෝවියට් දේශය තද නීති ඇති කොමියුනිස්ට් රටක් බවට සෑම විටකම සිසුන්ගේ සිත් වල තිබුණි.

මේ ගැන ශිෂ්‍ය නේවාසිකාගාරයේ කතාවක දී වැඩිහිටි සිසුවකු වන නන්ද කීවේ අමුතු කතාවකි. ඔහු නැගෙනහිර ජර්මනියට ගිය අවස්ථාවේ  මෙවැනි නිරුවතින් අව්ව තපින වෙරළවල්  මෙන්ම උද්‍යානද තුබුණු බව ද දැක තිබේ, හංගේරියාවේ හා බල්ගේරියාවේදී මේවා ප්‍රචලිතය. මේ රටවල විශේෂයෙන් නැගෙනහිර ජර්මනියේ නීති ඉතා තදය. නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය වන "ස්ටාසි " සමාජයේ හැම තැනම වාගේ  ක්‍රියාත්මකය. එනිසාම  මිනිසුන් කිසියම් නිහඬ ප්‍රතිවිරෝධයක් සඳහා මෙවැනි ලෙස ඇඳුම් උනා දමා නිදහසේ හැසිරෙන බව ඔහුගේ තර්කය විය.

කණ්ඩායම එම "නිදහස්" තීරයද පසුකර  ඉදිරියටම ගියහ. ළඳු කැලෑවක් මැද්දෙන් කුඩා පිවිසුම් මගකට  පිවිසුණු පසු එතැන තිබුනේ ජලාශයට යෑමට ඇති සිනිදු වැල්ලෙන් පිරි වෙරලක්ද  සහිත එළිමහන් බිම් කඩකි. සොයා ගැනීමට ඉතා අපහසු මෙම එළිමහන් ඉඩ ගිහාන් පසුව හැඳින්වූයේ "කේජිබි කෑල්ල " යනුවෙනි.

ගිහාන් මස් ජාති දෙක තුනක් සකසා ගෙනා අතර රුස්සන් ගේ දෙනෙත් ඒවා දැක දීප්තිමත්  විය. ඔවුන් වඩාත් සතුටු වූයේ ගිහාන් විසින් මිරිස් තුනපහ දම පිළියෙළ කර තිබු බෑගය දැකීමෙනි. තාන්යා ගිහාන්ගේ "රටේ" කෑම ගැන වර්ණනාවක් කර තිබුණි.
එළිමහනේ වැඩ වලට කවදත් දක්ෂ රුසියානුවන් තිදෙනා වහ වහා  කුඩා කුඩාරම් හතරක්  තැනූහ. ඒවා කොලපාට වහළ පහත  ඒවා විය. යන්තමට දෙදෙනෙකුට නිදා සිටිය හැකිය.
සෝවියට් හමුදා කුඩාරම් 
"මේවා කොහෙන්ද" ගිහාන් ඒවා පෙන්වමින් තාන්යා ගෙන් ඇසුවේය.
"ආමි කෆෙද්රා එකෙන්" එනම් හමුදා දෙපාර්තමේන්තුවෙන් යයි ඈ පිළිතුරු දුන්නාය.මොස්කව් හි සෑම  විශාල රුසියානු විශ්වවිද්‍යාලයකම හමුදාවට සම්බන්ධ දෙපාර්තමේන්තුවක් තිබුණි. එහි සෑම සිසුවෙකුටම යුද පුහුණුවට අදාල යම් යම් දේ ඉගැන්වූ අතර වසර දෙකේ අනිවාර්ය  යුද පුහුණුවට යන හා එන සිසුන් සම්බන්ධව කටයුතුද කළහ. වලොද්යා මේ කුඩා කැන්වස් වලින් සෑදු කුඩාරම් හතර ගෙනවිත් තිබුණි.

කෙල්ලන් ටික වහ වහා හිඳ  ගැනීමට තැනක් පිළියෙළ කල අතර දෙදෙනෙක් අසල කැළයෙන්  දැව සොයාගෙන පැමිණියහ. ගිහාන් තමන් ගෙන ආ වොඩ්කා බෝතල් දෙකක්  ඒ අසලින් තැබූ අතර රුස්සන් විසින් ඇපල්  යුෂ බෝතලයක්ද බියර් බෝතල් හා "සමගොන්කි" බෝතලයක්ද තැබුහ. සමගොන්කි යනු ගෙවල් වල සාදන ඇල්කොහොල් වර්ගයකි. එය නිත්‍යානුකුල නැත. මේ කේජිබි කාරයන් වන්නට ඉගෙන ගන්නා  වුන්ට එහි වගේ වගක්ද නැති බව ගිහාන්ට සිතුනේය.

රුස්සෙක් අසල කැළයෙන්  කාරයකහෝ පරණ  ජීප් රථයක දොරක් වැනි  කොටසක් ගෙනාවේ ලොකු කම්බි කණු දෙක තුනක්ද සමගිනි. ඒවා එතන සඟවා තිබුණු ඒවා බවත් මේ ස්ථානය තවත් අය යන එනතැනක් බවත් ගිහාන්ට වැටහුණි. ඔහු මස් පලහන්න්ට  ඒවා වැල්ලේ සවි කළේ යටට දර දමමිනි.
කල්බසා නමැති සොස්ජ් වලින්  පෙති කිහිපයක් කෙල්ලන් කපා පිළියෙළ කල අතර කිහිප දෙනෙක්  අගුර්සි නමැති පිපිඥ වර්ගය සමග පාන් වල තබා ඒවා කෑහ.

"අපි කෑම හදන්න  කලින් නාමුද" ලේනා ඇසුවාය. ඒ වදන් ඉවර වෙන්නත් කලින් රුස්සන් දෙදෙනෙකු ඇඳුම් උනමින් වතුරට පැන්නාහ. ඔවුන් යට ඇඳුමින් සරසි සිටියද ඒවා දුටු ගිහාන්ට සිනහ  ගියේය. රුස්සන් යටට ඇන්දේ ඇතැම් ගැහැනුන්  අඳින බාච්චු  කොට කලිසම් වර්ගයකි. ඔවුන්ට ඇත්තටම හොඳ  යට ඇඳුම් තිබුනේ නැත. එසේම පිහිනුම් ඇඳුම කියා යමක් කිසිවෙක් ගෙනත් තිබුනේද නැත. ගිහාන්ට ලංකාවෙන් මිලදී ගත හැකි පන්නයේ ඒවා වුවත් රුසියාවේ බහුලව නැත. රට කෙතරම් එක පැත්තකින් දියුණු වුවද බටහිර තරම් විච්චුර්ණ ඇඳුම් සොයා ගැනීමට ඔවුනට  නොහැකිය.  නමුත් තරුණ තරුණියන්  ඇත්තටම කඩවසම්ය. කෙල්ලන් සම්පුර්ණයෙන් ඇඳුම් ඉනුවේ නැතත් වතුරට බැස්ස පසු ඔවුන් ඒවා ගලවා වෙරළට විසි කල බව ඔහු හොරැහින් දුටුවේය.

ලජ්ජාවෙන් රතුවී සිටින ගිහාන්ගේ අත ගත් තාන්යා අපි කැලේ ඇවිදිමු යැයි කීවාය.

"අපි වටේ පොඩ්ඩක් බලන්න යනවා" යයි අත වනා  පිරිසට කි ඔවුහු වෙරළ දිගේ පියමන්  කළහ.

~~~~~~මතු සම්බන්ධයි.

මෙය ප්‍රබන්ධයකි.  සියළු නම් ගම්  මනඃකල්පිතය.


Wednesday, 16 August 2017

හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත

"All good things must come to an end " හෙවත් "හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසකුත් එනවා" කියල කතාවක් තියෙනවනේ. මටත්  එහෙම දවසක් ඇවිත්.

 මේ තමයි නෙළුම් යාය 2014 ප්‍රථම බ්ලොග් සම්මාන උළෙල ගැන කියල දාපු ලිපිය. එහිදී කළ හැඳින්වීමේ කතාව තමා මෙතන තියෙන්නේ. වසර 2014 ලියූ බ්ලොග් වලට  සම්මාන දෙන බ්ලොග් සම්මාන උළෙල පැවැත්වුනේ 2015 මාර්තු වල . හැබැයි  එතකොට ලංකාවේ අලුත් ආණ්ඩුවක් පත්වෙලා.  අලුත් මාධ්‍ය ඇමති කෙනෙක් ඇවිල්ල.
පළමු උළෙලේ ගීතයක් ගයමින් -මනෝජ්, දිලිනි 

අපි තුන්දෙනෙක් කතා වුනාට දෙදෙනයි වැඩේ කරන්න ඉතුරු වුනේ. එක මහත්මයෙක් දැන් වෙන්වෙලා විරුද්ධ පාර්ශවයක හිටියත් අවවාද අනුසාශන, බ්ලොග් තේරීම් වලට එහෙම උදව් දුන්න ඒ දිනවල.   සමරු සඟරාවේ හැඳින්වීමේ ලිපියට මාතලන් ඇතුළු කිහිප දෙනක් දාපු ප්‍රතිචාර තමා මේ:


පොඩි පොඩි අඩු පාඩු තිබුනට, මෙතක් තිබූ කිසිම උළෙලකින් නොලැබුන තරමේ ප්‍රතිචාරයක් මේ මඟින් ලැබුනා.. වැඩේ අල කරන්න දඟලපු පිරිස අද හොල්මන් වෙලා ඉන්නේ. උන් බයිලා ගැහුවට අද වෙනකන් බ්ලොග් වලට කරපු මෙළෝ දෙයක් නෑ. මීළඟ එක මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියළු ධෛර්යය ශක්තිය ලැබේවා...!!!

බන්ධුල නානායක්කාරවසම් වගේ සාම්ප්‍රදායික පොරකට, මාතලන් කියන නම මතක තිබුන එකත් ළොකු දෙයක්. අනික පොර බ්ලොග් වලට හොඳ රැකොමන්ඩේසොන් එකක් දුන්නා. පොර පුදුම උනා මේකේ උන්ගේ ටැලන්ට් ගැන. විශේෂයෙන් බ්ලොග් කවි ගැන. මම දැක්කා සම හරක් කියලා තිබුනා සයිබර් එකේ තියෙන්නේ කවි නෙමෙයි වෙන මොනවද කියලා. එහෙම උන්ගේ කනට ගහපු එකයි බන්ධුල කළේ. එහෙම දෙයක් මීට කලින් කවදාවත් වෙලා නෑ.
මේ කල්‍යාණ මිත්‍රගේ ප්‍රතිචාරය;
අජිත් අයියා.. මට හිතෙන විදියටනම් මේක ආරම්භයක් විදියට පට්ට සාර්ථකයි.. ඔක්කොම අඳුරට බැන බැන හිටියට එකෙකුටවත් බැරි උනා මෙච්චරකල් එක පහනක්වත් පත්තු කරන්න. ඔයා ලංකාවෙත් නොයිද මේ කරපු හරිය හොඳටම ඇති.. වැඩේ කරගෙන යද්දි වෙච්චි සමහර දේවල් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ.

මේ බස්සිගේ ප්‍රතිචාරය:
මම වගේ බ්ලොග් ලියන්න අරන් අවුරුදු දෙකක්වත් නැති කෙනෙක්ටනම් ඒ උත්සවයේ උත්කර්ෂය ඉහටත් උඩින්. ඇත්තටම වැඩේ හොඳටම කෙරුනා. අනික තමයි දේශපාලනය ගෑවිලා තිබුනා කියකියා දොස් කියන අයට කියන්න ඕනෙ, ලංකාවේ කිසිම දෙයක් දේශපාලනයෙන් ස්වායත්ත වෙන්නේ නැහැ. ඒත් පවත්නා රජයන්වල වැරදි අඩුපාඩු පෙන්නලා දෙන ලංකා නිවුස් වෙබ් එකෙන් කරපු උත්සවයකට මෙතරම් අනුග්‍රහයක් ලැබීමම මොනතරම් වටිනවද?
සමා වෙන්න අනිත් අයගේ අදහස්  දැම්මේ නැහැ. මේ තුන තෝරා ගත්තේ බ්ලොග් ලෝකයේ ප්‍රබලයන්ගේ කතා ගැන කියන්න.
බදුල්ලේ පොත් බෙදන්න ගිය සුමිත් කලණ සිරි 

ඉතින් ඊට  පස්සේ මම කාලයක් අයින් වෙලා හිටිය කිසියම් ප්‍රශ්න වගයක් මතු වුනු නිසා. අපේ අදහස වුනේ  බ්ලොග් සංසදයක් පිහිටුවන්න. ඉන් පස්සේ බ්ලොග් කරුවන් අතරින්ම කට්ටිය තෝරලා ඔවුන් සංවිධායකයන කරගෙන දෙවෙනි සම්මාන උළෙල පවත් වන්න. බ්ලොග් සංසදය පිහිටවීමේ වැඩ කටයුතු ඉතා හෙමින් තමා සිද්ද වුනේ.
සම්මාන ලැබූ අයගේ බ්ලොග් ලේඛන සඳහා බ්ලොග්පවර් කියල මමත් සින්ඩියක් හැදුව. මාතලන්  තමා අපි පාවිච්චි කළේ. තව කිහිපයක් අළුත් සින්ඩිත් බිහි වුණා. ඇත්තටම බ්ලොග් කියවීම හොඳ විනෝදාංශයක්. ඒ වගේම නොදන්නා දේ දැන ගන්නත් හොඳ මාර්ගයක්. එසේම  පිස්සුවෙන් වගේ බ්ලොග් කියවපු කාලයකුත් තිබුන.  මගේ අදහස වුනේ දෙවන බ්ලොග් සම්මාන උළෙලින් පසු විශ්‍රාමයක් ගන්න බ්ලොග් වැඩ වලින්. මොකද මම කාලයක් තිස්සේ සැලසුම් කරපු පෞද්ගලික කාර්යයන් කිහිපයක් අතපසු වෙවී තිබෙන නිසා.

පළමු සම්මාන උළෙලේ දේශපාලනඥයෝ දෙදෙනෙක් සහභාගී වුණා. කරු පරණවිතාන මහතා  තමා ශාලාව ලබා දුන්නේ. මේ සහභාගී වීම තුල සම්මාන උළෙලට කිසියම් දේශපාලනික භාවයක් ලැබුණ කියල හිතෙනවා. නමුත් අපේ  අවංක අදහස වුනේ සම්මාන උළෙල රජයේ උත්සවයක් කරන්න පුලුවන්ද කියල බලන්න. එනිසා එම සහභාගිවීම සතුටින් භාර ගත්ත. කථානායක තුමා සහභාගී වෙන එක හොඳ දෙයක් කියලයි මම සැළකුවේ.  නමුත් මේ සම්මාන උළෙලවල් දෙකම පැවැත්වුනේ රජයේ අනුග්‍රයෙන් නොවෙයි. ශාලාව ලැබීම පමණයි වුනේ. ඒකත්  මාධ්‍ය අංශයට වැටෙන වැඩක් නිසා.  බ්ලොග් තේරීමට ඔය කිසිම දේශපාලනඥයෙක් අත දැම්මේ නැහැ.

 පළමු උළෙලේ සංවිධාන කටයුතු රාශියක් මමත් ලංකා නිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන විධායක චන්දිමත්, හිමාශි කරුණාරත්නත්, උපුල් නිශාන්තත්  තමයි කළේ. හුඟක් වියදම් දරුවෙ අපේ අතින්. ඒ මේක සාර්ථක වෙනවා දකින්න ඕනේ නිසා. සමරු පොතේ ලැබුන දැන්වීම් වලට මුදල් නොලැබුනත් අපි පාඩුව විඳ ගත්තේ සම්මාන උළෙල පැවැත්වීමේ  සතුට නිසා.
දෙවන උළෙලේ නාට්‍යයෙන් 

දෙවන උළෙලේ සංවිධාන කටයුතු බොහොමයක් කළේ බ්ලොග්කරුවන් 20-30 ක් සමග සාකච්ඡා කරලා. මාස  ගණනක් තිස්සේ ඇදුනු සාකච්චාවේ ඊමේල් පණිවිඩ 200 කට වැඩිය හුවමාරු වෙලා තිබුන. නාට්‍යයකුත් සංවිධානය වුණා තරුරසී ගේ උදව්වෙන්. ඒ ගැන ලිපියක් මෙතැන් තිබෙනවා.

මේ ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර කිහිපයක්.

පොස්ට් හතරම එක හුස්මට් කියෙව්වා.
බොහොම ප්‍රශංසා කරනවා මේ වගේ උවමනාවෙන්ම කට්ටක් හොයාගෙන ඒ කට්ට කාගෙන මේ වගේ වැඩක් සාර්ථකව කිරීම සම්බන්ධයෙන්.
මේ වගේ වැඩක තියෙන සංවිධාන කිරීමේ බර මම බොහොම හොඳින් දන්නවා.
චෝදනා කරන යට චෝදනා කර කර ඉන්න කියන්න. ඔබේ වැඩේ ඔබ ඔහොම්මම කරගෙන යන්න.අපිත් ඉන්නවා ඕනෑම වෙලාවක සපෝර්ට් එකට.
ජය වේවා!!!
නෙළුම්යාය හොඳ ස්ථාවරයකට පැමිණ තිබෙන බව මේ ලිපි පෙළෙන් පැහැදිළි වුනා. දැන් මෙය අපි ඔක්කොම බඩ බැඳගෙන ඉටු කලයුතු වගකීමක්/යුතුකමක්/සේවයක්/ බව පෙනෙනවා. මා හිතන්නේ මෙතැන් සිට බොහොමයක් බ්ලොග්කරුවන් නෙලුම්යායේ සුවඳ විඳගනු ඇති.
වැරදි කියන්න ගොඩක් අය ඉදි එත් වැඩ කරන්න ඉන්නේ ටික දෙනයි ඒ නිසා ඒවා ගන්න ගන්න එපා
සහයෝගය දුන්නු හැම කෙනෙකුටම ඉස්තුති මොකද මම බ්ලොග් වලට ආදරය කරන එකෙක් නිසා
සුන්දර මතක පෙළක් තමා අජිත් අයියා. අපි ඒ වෙලාවේ අපිට හැකි සහයෝගයක් දුන්නා. ඉදිරියටත් හැකි සෑම සහයෝගයක් ම දෙනවා. අපිට අවශ්‍ය බ්ලොග් කෙරුවාවට හොද අනාගතයක් හැදීම පමණයි.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අජිත් අයියා. මේ වැඩකට බින්දුවකවත් සහයක් නොදී ප්‍රශ්ණ කරන අයට උත්තර දෙන්න හෝ ඔවුන්ගේ කතාවලට අනුව වැඩ කරන්න හෝ යෑම හොද දෙයක් නෙමෙයි. ඔවුන් අවශ්‍ය අපිව සීමා කිරීමටම තමා. ඒ නිසා ඒවා පැත්තකින් තබා අපි අපේ ගමන යායුතු බවයි අපිනං විශ්වාසකරන්නේ. නැත්තං වෙන්නේ අපි ඔවුන්ව තෘප්ත කරකර සිටීමක් පමණයි. මේ දෙවැනි අවුරුද්ද. අපි දෙවැනි අවුරුද්දෙදි අතිශය සාර්ථකයි. දැන් අපි තුන්වැනි අවුරුද්දට ලෑස්ති වෙනවා. ඊළගට ඉදිරි අවුරුදු වලට ලෑස්ති වෙනවා. අඩුපාඩු හදාගන්නවා සහ හොද ක්‍රමවේදයන් ගොඩනගා ගන්නවා. එහෙම නැතුව දෙවැනි අවුරුද්දේ සම්මාන නොලැබුණ හෝ හිතේ අමාරු හැදුණ අයගේ ගැටලු වලට උත්තර බැද බැද ඉන්නවා නෙමෙයි.

අජිත්ගේ බ්ලොග් මිතුරකු මෙන්ම, පෞද්ගලික මිතුරකුද වන මම මේ පෞද්ගලිකව අජිත්ට කරන මඩ ගැසීම ගැන කනගාටුවෙමි. මට නෙලුම්යාය හෝ අන් ආයතනයකට සම්බන්ද්යක් නැති මුත්, අජිත් පෞද්ගලිකවම බ්ලොග්ස් වෙනුවෙන් කරන කැපකිරීම මම දැක ඇත්තෙමි. අජිත්ට පඩිපත හම්බවෙන ලන්ඩනයෙ ඔහුගේ සේවාස්ථානයට නම් මම වරක් ගොඩවී ඇත්තෙමි. නෙලුම් බැරිනම් හබරල යායක් දාගත්තාත් මට නම් කමක් නැත. නමුත් පෞද්ගලික මිතුරකුසේ අජිත් වෙනුවෙන් පෙනී සිටීම මගේ යුතුකමයි. එසේ පෙනී සිටින්නේ නෙලුම් හිටවන්න හදන කාලේ පටන් මා දන්නා නිසාය. Aru.

මේ කටයුත්ත පිටුපස මොන තරම් ශ්‍රමයක්, කැපකිරීමක් තියෙනවද කියල හරිම පැහැදිලියි. ලබන සැරේ වැඩේට මීට වඩා උදව්වක් දෙන්න උත්සාහ කරන්නම්. ස්තුතියි අජිත් අයියා, කළණෙ, ඉයන්, ඉවාන් ඇතුළු ඒ හැමදෙනාටම.

බ්ලොග් කියවන්න කාලය ලැබෙන්නෙ අඩුවෙන් නිසා නිර්දේශ කිරීම්වලට සාධාරණයක් ඉෂ්ට කරන්න අමාරු වේවි. ඒ වැඩේ බාරනොගත්තෙ ඒ නිසා. නමුත් මගේ ඇහැ ගැටෙන මට දැනෙන ලිපි ගැන දැනුවත් කරන්නම්.
දෙවන උළෙලින් පස්සේ බ්ලොග් තේරීමට සෑහෙන උනන්දුවක් කිහිප දෙනෙකුට   තිබුන. අප අතරින් නික්ම ගිය විචාරක මහතා මෙන්ම අටම්පහුර ප්‍රධානව තවත්  කිහිප දෙනෙක් බ්ලොග් පොස්ට් එකතු කරන්න ගත්ත වෙනම අඩවියක. ඒ තරඟ විනිශ්චය සඳහා.

දෙවන සම්මාන උළෙලට කල්‍යාණ මිතරට අමතරව ඉවාන්,  මනෝජ්, දිලිනි, ඉයන් ඇතුළු බ්ලොග්  කරුවන් රාශියක් සහයෝගය දුන්න.  අජිත් පැරකුම් සහ නාලක වෙනද වගේම සහභාගී වුණා.  ප්‍රථම වරට බ්ලොග් වලට සහ සමාජ ජාල වලට කළ සේවය සඳහා විශේෂ සම්මානයකුත් හැදුව. මුල් වරට නම් කලේ නාලක හා රසිකලොජි ව.

සම්මාන උළෙලවල් දෙක අතරතුර ප්‍රජා  සත්කාර කිහිපයක්ම කෙරුණා. බ්ලොග්කරුවන්ගෙන් මුදල් එකතු කරලා සහ නෙලුම් යාය ඉතිරි මුදල් පියවල. කඳුකරයේ  පාසල් දෙකකට පොත්පත් බෙදා දීම, වතුර ලබා දීම, රත්නපුරයේ පාසලකට විදුලිය ලබා දීම සඳහා  දායක වීම  වගේ දේ. සමහර බ්ලොග්කරුවන් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග මේ ප්‍රජ සත්කාර වැඩ වලට නැවත ප්‍රදානය කලා.

එසේම මාසිකව හොඳම බ්ලොගයට මුදල් ත්‍යාගයක් දීමටත් යෝජනා කෙරිලා ටික කාලයක් පවත්වාගෙන ගියා. එසේ කලේ නිර්මාණ සහ බ්ලොග් තවත් ජනප්‍රිය කරවන්න. එයට ලැබුණු විරෝධය නිසා පසුව ඒ වැඩ සටහන අත් හැරලා දැම්ම. 
තෙවන උළෙලේ නොබැලූ නාට්‍යය 

 තුන්වන නෙළුම්  යාය උත්සවයට මට සහභාගී වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. වැඩ අධික වීම නිසා. උදව් කරන්න පොරොන්දු  වෙලා හිටියේ. නමුත් කිසියම්  අසත්‍ය ප්‍රචාර සමූහයක් නිසා 2016 අග භාගය වනවිට තත්වය උණුසුම් වුණා කීවොත්  නිවැරදියි. අපි බ්ලොග්කරුවන් හා කතා කරගෙන තෙවෙනි වරත් සංවිධානය කරන්න යත්න දැරුවත්  එය සාර්ථකව ඉටු වුනේ නැහැ. මොකද යෝජනා ආවත් ඉදිරියට එන පිරිස අඩුයි. කල්‍යාණ මිත්‍රත්,  අටමත් තවත් දෙතුන් දෙනෙකුත් ඇරෙන්න වෙන සහයෝගයක් ලැබුනේ නැහැ.  එනිසාම  උළෙල සංවිධානය  කිරීමේ කටයුත්ත ලංකානිව්ස්වෙබ් අඩවිය භාර ගත්ත. එසේම  චන්දිම විතාන ආරච්චි විසින් උළෙල සංවිධානයත් ඒ සඳහාම කැපවුණු පිරිසකට භාර දී තිබුන. පවත්වන තැන ගැන මම දැන  ගත්තෙත් ටිකක් පමා වෙලා.

සම්මාන වලට නිර්දේශි වූවන් මේ ලිපියේ. අජිත් පැරකුම් ට සම්මානයක් නිර්දේශ වී තිබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කළා නෙළුම් යාය  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙලා උන්නු නිසා.  එසේම  කිසිම සම්මාන  තේරීමකට කාගේවත් දේශපාලනයක්  නම් හරස් වුනේ නැති බව පැහැදිලිව කියන්න ඕනේ. කරු පරණවිතාන මහතාට මෙවර ආරාධනා කර  තිබුනේ නැති අතර ආරාධනා කර තිබූ දේශපාලනඥයකු වන රාජිත සේනාරත්නට දැඩි විරෝධයක් බොහෝ අය මතු කරලා තිබුන. ඔහු පැති  මාරු කළ නිසා ආව පැත්තේ අයත් භීෂණ සමයට සම්බන්ධයි කියා වාමාංශික කොටසකුත් මේ විරෝධය පළ කලා. ඒ ගැන මේ ලිපියේ  වඩාත් සවිස්තරාත්මකව ලියල තියනවා.  මට ලංකාවේ දේශපාලනය තේරුණු අයුරින් තමා මේක ලියුවේ.

හැබැයි මෙහෙම ප්‍රශ්නයක්  නැගුවොත් මේ දෙගොල්ලටම තරහ යනවා. ඔය කියන දේශපාලකයා තමන් ගේ පැත්තේ ඉන්න කොට ප්‍රශ්න  තිබුනේ නැත්ද කියන කාරණයත් ඒ දේශපාලකයා  හිටි ආණ්ඩුව මගින් යුද්ධය මෙහෙයවද්දී  එයට  සහය දුන් ප්‍රධාන වාමාංශික පක්ෂයට අර කිව්ව "භිෂණය " මතක් වුනේ නැත්ද යන්නත්.  (ඒවා අහන කොට පුද්ගලික මඩ ප්‍රහාර නම් ලැබෙනවා). නමුත් මුලික වශයෙන් දේශපාලනඥයන් ගෙන්වනවද  නැත්ද කියන එක සංවිධායකයන් අත  තියෙන්නේ. බොහෝවිට එහෙම  කෙරුවම භේද ඇතිවෙනවා තමයි. ඒකට  හේතුව යුරෝපයේ හෝ බටහිර වෙනත් රටවල වගේ දේශපාලනය හා දේශපාලකයන් එතරම් ගණන් නොගන්නා ජනතාවක් ලංකාවේ නැති එක.   යුරෝපයේ ඉඳන් ලංකාවේ දෙයක් සංවිධානය කරනකොට  එන ප්‍රශ්න තමයි ඒවා. මිමි දෙකක් තියාගෙන කටයුතු  කරන්න අමාරුයි. 

මේ ඒ ලිපියට ලැබුණු  ප්‍රතිචාරයන් .
අජිත්, ඕනෑම තැනක ප්‍රශ්න තියනවා. තමන්ගේ උවමනාව සමග ඒ අනිත් දේවල් කොච්චර ගැටෙනවද, තමන්ගේ මූලික උවමනාවට ඒවායින් කොච්චර බලපෑමක් වෙනවාද යන දේවල් කල්පනා කර තමන්ට තීරණයකට එළඹිය හැකියි. යම් යම් ප්‍රශ්නකාරී දේවල් තිබ්බත්, මම නම් අජිත්, සුමිත්, අටම් ඇතුළු පිරිස කරපු මේ වැඩේ ගැන බොහොම සතුටු වන කෙනෙක්. සමහර දේවල් වල ආරම්භය මෙහෙම තමයි. ඔය කියන හැමෝගෙම විවේචන එක්ක තමයි ටිකෙන් ටික වේවා හැදෙන්නේ. නමුත් අර ආරම්භක තල්ලුව දෙන්න තමයි අමාරු. කාලයත් සමගම සම්මාන උළෙල මීට වඩා වෙනස් ස්වරූපයක් ගනීවි. නමුත් පුළුවන් කාලයක් ඔබගේ දායකත්වය ඊට ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.

මොකා මොන බයිලා ගැසුවද නෙළුම් යාය සම්මාණ උළෙල ඉදිරියටම යා යුතුය. මෙවර සම්මාණ උළෙල බොහෝ අයගේ ගර්හාවට හා කතා බහට ලක් වන්නේ එහි ඇති සාර්ථකත්වය නිසාමය.

මඩ කාගෙන මේ වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම මාතලන්ගේ ප්‍රණාමය....
නෙළුම් යාය ඉදිරියට යා යුතුයි. බ්ලොගර්ලා සම්මාන උලෙලකට මේ තරම් බය ඇයිදැයි නම් නොතේරේ. බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ට විරුද්ධ වෙන්නටත්, සහභාගී වන්නන්ට සහභාගී වන්නටත් හැක. 

සම්මාන උළෙලවල් ගැන කතා කරන කොට අමතක කරන්න බැරි බොක්කෙන්ම බැහැල  වැඩ කරපු කෙනෙක් ඉන්නවා. ඒ සුමිත් යාපා හෙවත් කල්‍යාණ මිත්‍ර. ඉන්දික , ඉයන් සහ නෙළුම් යායෙත්, තවත් බ්ලොග්කරුවන්/කාරියන්  ගේ ධන පරිත්‍යාගයෙන් කළ සමාජ සත්කාර වලදී මුලිකත්වය ගෙන වැඩ කල කෙනෙක්. දෙවන හා තෙවන සම්මාන  උළෙල දෙකේදීම නිදි මරාගෙන,  නිර්දේශිත  බ්ලොග් කියවමින්, වේදිකාවේ කියවීමට අවශ්‍ය හැඳින්වීම් ලියමින්, තමන් ගේ  පුංචි දුවා දරුවන් බලන්න යන වෙලාව කැප කරමින් ඔහු කටයුතු කලේ. ඔහුගේ කාලය මෙන්ම ගමන් වියදම් පවා වැය කරගෙනයි ඒ උදව් කළේ.  කිසිම  බ්ලොග්කරුවෙක් ඔහුට ස්තූති කළාද කියන්න දන්නේ නැහැ. මම නම් ඒ ස්තුතිය කරනවා හැමෝම වෙනුවෙන්.

එසේම ඉවාන් පවලුශා හා  අටම්පහුර අමතක කරන්නත් බැහැ. මුල් උළෙලේ ගීත ගයපු දිලිනි සහ මනෝජ් , නාට්‍ය ගෙන්වන්න  උදව් කරපු තරංගනී මෙන්ම සම්මාන  සඳහා මුදල් පරිත්‍යාග කල බ්ලොග් කරුත් අමතක කරන්න බැහැ. පළමු හා දෙවන සම්මාන උළෙලේදී ලංකානිව්ස්වෙබ් හි උපුල් නිශාන්ත, සංජිව සහ ජයම්පතිත්  සෑහෙන්න මහන්සි වුණා. උපුල් නිදි මරාගෙන කුසගින්නේ තැවී ගෙන,  අර සමහරු ලී කෑලි කියල කියන සම්මාන හදාගෙන එන්න වෙහෙසි  වුණා . ඒ මහන්සිය දැක්ක නම් එහෙම කියයිද දන්නෙත් නැහැ.  සම්මාන උළෙලවල් තුනේම සංවිධානය සඳහා මුලිකව මහන්සි වුනේ ප්‍රධාන විධායක චන්දිම විතාන ආරච්චි සහ ලංකානිව්ස්වෙබ් ආයතනය. ඔවුන්ගේ සංවිධනාත්මක සහය නැතිනම් මෙය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ සංවිධානය කිරීම උදෙසා ඔවුන් කිසියම් වියදමක් දැරූ බවත් මම දන්නවා.

තෙවන සම්මාන උළෙලේ දී එක අයෙකු ඉවත් වුනාට පස්සේ බ්ලොග් නිර්දේශ කිරීම කළේ මමයි කල්‍යාණයි. ඒ වගේම සම්මාන තුනටම කිසිදු වියදමක් අපෙන් ලබා නොගෙන නොමිලේ සහභාගී වුන දෙදෙනෙක් හිටිය. ඒ නාලක ගුණවර්ධන සහ අජිත් පැරකුම් ජයසිංහ. කවුරු මොන චෝදනා  ඉදිරිපත් කලත් ඔවුන් උත්සව තුනටම ආලෝකයක් සැපයුවා.  නාලක ගුණවර්ධන, සරෝජ පතිරණ,  චන්දිම, කල්‍යාණ මිත්‍ර තමයි විනිශ්චය මණ්ඩලයේ හිටියේ. ඔවුන්ගේ ස්වාධින තීරණ වලටත් ඒ සඳහා වැය  කල කාලයත් අමතක කරන්න බැහැ.

බ්ලොග් සම්මාන ගැන මුලින්ම දන්නා මහත්මයෙක් මෙහම   කතාවක් කිව්වා මට. "අජිය ඕක උඹ නැත්නම්  කෙරෙන්නේ නැහැ. උඹ ඔතන ඉන්න ඕනේ" කියල. මම ඒ කතාවත් සෑහෙන්න විශ්වාස කළා. හැබැයි මම හිතනවා මම නැතිව මේ සම්මාන උළෙල කරගෙන යන්න පුළුවන් කියල. අපි පුද්ගලවාදී වෙන්න ඕනේ නැහැ. බ්ලොග්කරුවන්ට ඒ සඳහා ඕන කමක් තියනවා නම් ලංකානිව්ස්වෙබ් ආයතනයට ඕනෑකම තියනවා නම් කරන්න  පුළුවන්. පදනම දාල තියෙන්නේ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ අභියෝගය අපිම නිර්මාණය කරගෙන අපිම සාර්ථකව ඉදිරිපත් කළා කියල. ප්‍රශ්න සහ වරදවා වටහා ගැනීම් තිබ්බ තමයි. ඒත්  මම හොඳින් නිරීක්ෂණය කළ දෙයක් තමයි බොහොමයක් සම්මාන ලබා ගත්ත සහ උත්සවයට සහභාගී වුන බ්ලොග්කරුවන් එය ප්‍රීතියෙන් සැමරූ බව. බොහෝ අය ආඩම්බරයෙන්  එම සම්මාන ලබා ගත් බව හා තම තමන් ගේ බ්ලොග් වල එය ප්‍රදර්ශනය කළ බව.  බ්ලොග් දැන් ආපහු ජනප්‍රියත්වයෙන් හීන වීගෙන යනවනම් ඒ කියන්නේ නිර්මාණ හිඟ වීමක් හෝ සමහර කාල වල බ්ලොග්කරුවන් ගේ ඉවත්ව යාමක් වෙන්න පුළුවන්. එසේම එහෙම නැති වී යනවනම් ඒකට කරන්න දේකුත් නැහැ. ඒක තමයි ලෝකයේ නෙමේ මේ විශ්වයේත් ස්වභාවය. අලුත් දේවල් එනවා පරණ දේවල් නැති වෙලා යනවා. සනාතන  ධර්මයක්. බ්ලොග් වලට වුනත් එහෙම වෙන්න පුළුවන්.

ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මම ඉතා සතුටක් ලැබුවා නෙළුම් යාය තුලින් කල වැඩ කොටස සහ බ්ලොග් සම්මාන උළෙල ගැන. නමුත් තව දුරටත් කාලය ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ නැහැ.

ඉතින් ආයුබෝවන් නෙළුම් යාය ගරු.

ප.ලි. - ලියන්න අමතක වුනු දෙයක්. සමාවෙන්න. මට ආදරණිය යහළුවෝ  සැහෙන ප්‍රමාණයක් හඳුනාගන්න ලැබුණා බ්ලොග් ලිවිල්ලෙන් මෙන්ම නෙළුම් යාය සම්මාන උළෙල නිසා.
යොමු:

ප්‍රථම සම්මාන උළෙල 

ප්‍රථම උළෙලේ හැඳින්වීමේ කථාව